~~~~ යශෝධරා ~~~~~~~02 කොටස

‘දුවේ යශෝධරා තමන්ගේ චරිතේ රැකගෙන හොද ගැහැණු ළමයෙක් විදිහට හැදියන් … ’ පිටව යෑමට සුදානම්ව උන් මේරි නැන්දාගේ මුහුණේ සටහන්ව තිබුනේ මහා සංවේගයකි
‘අනේ නැන්දේ මට ගොඩක් බයයි මෙහෙ ඉන්න ….’ දරාගනු නොහැකිව මා ඉකිබින්දේ අදින් පසු මේ ළමා නිවසේ මගේ කියා කවුරුත්ම නොමැති නිසාවෙනි
‘ඔයා වගේ ගොඩක් ගැහැණු ළමයි මේ ළමා නිවාසේ ඉන්නවා …බය වෙන්න එපා දරුවෝ …මාත් ඉන්නේ මේ ලගමයි …මම ඇවිල්ලා ඔයාව බලලා යන්නම්කො ..’ මගේ නොනවතින කදුළු දැක ඇනා මා සැනසීමට වෙර දැරිය ….
‘මට පුළුවන් කමක් තිබ්බා නම් උබව දාලා යන්නේ නැහැ දරුවෝ …. ’ මගේ හිස සිපගත් මේරි නැන්දා දෑසේ වූ කදුළක් සාරි පොටින් පිස දැම්මාය …
මේරි නැන්දා ආච්චි අම්මාගේ හොදම යෙහෙළියයි …. ඈ මා කුඩා වියේ සිටම අපේ ගෙදර ආ ගිය අයෙකි …. අප නිවසට එන හැමවිටකම වාගේ මට ටොෆියක් චොකලට්ටුවක් ගෙන ආ ඈ ආච්චි ලගට මට සෙනෙහස පෑ එකම තැනැත්තියයි … ආච්චි අම්මා සදහටම යන්න ගියදා මේරි නැන්දා මා අසල උන් නිසාවෙන් බියක් නොදැනුනි … අද මට බියක් දැනේ …ඒ මගේ අවිනිශ්චිත අනාගතය සම්බන්ධවයි
‘ජේසු පිහිටයි දරුවෝ …’ මේරි නැන්දාගේ කටහඩ බෙහෙවින් දුක්බරය …. තවත් කිසිවක් නොකී ඈ යළි හැරී නොබලාම ගේට්ටුවෙන් නොපෙනී යනතුරුම මම උන් තැනින් නොසෙල්විමි …
‘සෙනුලි මේ ඉන්නේ යශෝධරා …… අද ඉදලා ඔයාලත් එක්ක ඉන්නේ …මෙයාව එක්ක ගිහින් එයාගේ බඩු අස්පස් කරන්න උදව් කරන්න …’ මේට්‍රන් අසල උන්නේ මගේ වයසේම පමණ දැරියකි … සුදු කෙට්ටු දැරියක වූ ඇගේ මුවේ මද සිනාවකි …
‘යශෝධරා අපි යමු …’ දැරිය ඉස්සර වෙද්දී මා ඈ පිටුපස ගෑටුවෙමි …
කාර්යාලයට යාබදව විසල් ශාලාව පසුකරගෙන මද දුරක් ගිය විට තරප්පු පෙළකි
‘මේ තමා අපේ ක්ෂේම භුමිය ….’ අවසානයේ සෙනුලි නැවතුනේ විශාල ශාලාවකය …. එකකට එකක් සමාන්තරව පිළිවෙලට සැකසු යහන් විස්සක් පමණ තිබු එහි තිබුනේ පුදුමාකාර නිසල නිහඩතාවයකි ..
‘ අද ඉදලා ඔයා මේ උඩ ඇදේ ඉන්න .. මම තමා යට ඇදේ ඉන්නේ ..ඔයා මේ කබඩ් එකේ ඔයාගේ බඩු ටික පිළිවෙලට තියාගන්න ’ සෙනුලි නැවතුනේ ශාලාවේ කොනේම තිබුණු යහනක් අසලය …. ඒ අසලම තිබු කුඩා කබඩ් එකේ පිළිවෙලට මා සතුවූ බඩු භාන්ඩ ඇසිරීමට සෙනුලිද සහය උවාය …
‘ සෙනුලි මට ඇදුම් මාරු කරගන්න ඕන ..’
මම තවමත් සිටින්නේ ඇදගෙන ආ ඇදුම පිටින්ම බව සිහිවී මා සෙනුලි ගෙන් විමසීමි …
‘ආ …මට අමතක උනා නේ ..ඔන්න ඔතනම ඇති බාත්රූම් එක …. ඉක්මනට වොෂ් කරන්න අනිත් කෙල්ලෝ ටික ආවොත් ඔයාට ලේසි වෙන්නේ නැහැ …’
නාන කාමරයේ කරාමය තුලින් ගලා ආ ශීතලම ශීතල ජලය ගතේ හිරිගඩු නංවන තරමට දරුණු උවද ඒ නොතකා සිසිල් ජලයෙන් ගත දොවාගත් මා දණහිස දක්වා දිගු ගවුමකින් සැරසි එහි තිබු කැඩපතට එබුනෙමි …. එහි උන්නේ ශරීරයේ මස් කළදක් හෝ නැති කෙසඟ දැරියකි … වයස අවුරුදු පහළොවක් උවද මට තිබුනේ අවුරුදු දොළහක දැරියකගේ පෙනුමකි … රන්වන් පැහැති කෙස් කලඹක් මට ලැබුනේ කෙලෙසදැයි නොදැන උන්නද මගේ කෙසඟ සුදු මුහුණට එයින් ලැබුනේ ආලෝකයකි … සිනාසෙන විට වළ ගැසෙන දෙකොපුල් ඒ ආලෝකය දෙගුණ තෙගුණ කළේය ….
‘ආ …ඔයා ඔළුවේ නෑවේ නැද්ද …’
සෙනුලි මා එක ඉදිරියට ආවාය …
‘ඔළුවේ නෑවේ නෑ ඇඟ හෝදාගත්තා …මාර ශීතලක් නේ …..’
‘අද නම් ඒ තරම් ගානක් නැහැ …. සමහර දවස් වල ඉවසන්න බැරි තරම් ශීතලයි මෙහෙට …. බලන්නකෝ රෑ වෙද්දී දැනෙන ශීතල ’
සෙනුලි මා සමග මිතුරු වීමට ඒ තරම් වේලාවක් ගතවුවේ නැත ..
‘සෙනු උබ කොහෙද කියලා අපි හෙව්වා …. මොකද එකපාරම අතුරුදහන් උනේ …’ එකවරම ශාලාවට ගොඩවුවේ විස්සක පමණ කෙල්ලන් රොත්තකි ….. ඔවුන් වයස අවුරුදු දහයේ සිට දහඅට දක්වා වයස් සීමාවල උන්නන්ය …
‘මිස් එන්න කිව්වා … මේ අළුත් ගැහැණු ළමයෙක් ආවා ….’ කෙල්ලන් රොත්ත මා දකින්න ඇත්තේ සෙනුලි එසේ පැවසු පසුවය …. ඔවුන් සියල්ලගේම ඇස් මගේ ලග නවතිද්දී මා බිම බලාගත්තෙමි …
‘මේකිට මන්ද පෝෂණයද බන් මේ තරම් ඇට ගැහිලා ඉන්නේ ….’ එකියක් මා වටා වටයක් කැරකුණේ නිරීක්‍ෂණය කිරීමට මෙනී ..
‘කෝටු අත් කකුල් බලපන්කො … හරියට වේලිච්ච දරකෝටු වගේ ….’ තවත් එකියක ඇයට රුකුල් දුන්නාය
‘උබලා දැන් ඔය ළමයාට වදේ ගැහුවා ඇති …ඔය කෙල්ලට පාඩුවේ ඉන්න දීපල්ලා …’ සෙනුලි පැවසුවේ මා පත්ව ඇති අපහසුතාවය අදුනාගෙන මෙනි
‘සෙනු කට වහගෙන හිටපන් උබ …දැන් කියහන් උබගේ නම ගම …’ කෙල්ලන් රෝත්තේ උන් වැඩිමහල් එකිය සෙනුලි කී කිසිවක් ගණන් ගත්තේ නැත …
‘යශෝධරා ….’ මා පිළිතුරු දුන්නේ බිම බලාගෙනමය ..
‘යශෝධරා ……….. කියපන් ඉතිරි විස්තර ටික …’
‘මම කොළඹ ඉදලා ආවේ … ‘’
‘ අම්මාට තාත්තාට මොකද උනේ ..’
මගේ සිතට සිහින් කෝපයක් එක්වෙද්දී හිස ඔසවා ඈ දෙස බැලීමි …
‘මොකද රවන්නේ ….. අම්මා අප්පා නැතිව ඉබේද පහල උනේ . ඒ කියන්නේ උබ ඕපපාතිකයෙක්ද ..’
අම්මා තාත්තා ගැන විමසා මට අපහස කිරීමට ඇයට කිසිදු අයිතියක් නැත …. ඉහමොළ රත්විගෙන විත් දෑස් වලින් ගින්දර පිටවෙන්නාක් මෙන් හැගීමක් සමගින් ඉදිරියට පැන්න මා ඇගේ කම්මුලට වේගයෙන් පහරක් දුන්නෙමි …ඇයට රිදෙන්න ඇත ….හොදටම රිදෙන්න ඇත ….කම්මුලට මත අත තබාගත් ඈ මා දෙස බලා උන්නේ දැවෙන කෝපයකිනි…. තවත් මොහොතකින් ඈ මට පහරදෙනු ඇත …මගේ සිතට ආ පළමු සිතුවිල්ල එයයි ..
‘අළුත් ළමයා අනු අක්කිට ගැහුවා ….අනු අක්කිට ගැහුවා …’ කෙල්ලන්ගේ කටහඩවල් සියල්ල එක්වූ තැන ඇතිවුවේ මහා ඝෝෂාවකි ..
‘ මොකද මෙතැන වෙන්නේ ..’ එක්වරම ශාලාවේ දොර අසලින් ආවේ මේට්‍රන්ගේ කටහඩය .. සැනින් කෙල්ලන්ගේ ඝෝෂාව පහව ගොස් මීයට පිම්බාක් මෙන් නිහඩතාවයක් පැතිර ගියේය ….
‘මම ඇහුවේ මෙතන මොනවද උනේ කියලා ..’ මේට්‍රන්ගේ මුහුණේ කිසිම දයාවක් හෝ අනුකම්පාවක් නැත …. කිසිවෙකුගෙන් පිළිතුරක් නොලද විට ඈ නැවතුනේ අනු අසලය
‘අනුෂිකා දෙනවා බලන්න දැන් මම අහපු දේට උත්තරේ …’ අනුගේ මුහුණේ කෝපය පරදා පැතිර තිබුනේ භීතියකි …
‘මොකුත් නැහැ මිස් …’ අනු බියෙන් මෙන් පැවසුවේය …
‘හ්ම්ම්ම්… හරි .. මම ඒ ගැන පස්සේ බලාගන්නම් ..දැන් මේ අළුත් ළමයාට කියලා දෙන්න මෙහෙ වැඩ කෙරෙන පිළිවෙල …’ මේට්‍රන් පසෙකින් අසුන්ගත් ගත්තේ අනුට එලෙස පවසමිනි
‘හැමදාම උදේ පහ වෙද්දී හැම ගැහැණු ළමයෙක්ම ඇහැරෙන්න ඕන … ඊට පස්සේ මුහුණ කට හෝදාගෙන ඇවිල්ලා … හය වෙනකන් පාඩම් කරන්න ඕන ….. හරියටම හයට උදේ තේ බිලා කොන්වන්ට් එකට යන්න ලැහැස්ති වෙන්න ඕන …. කොන්වන්ට් එකට ගිහින් ඇවිත් ඇදුම් හෝදලා තමන් පිරිසිදු වෙන්න ඕන … තුනේ ඉදලා හතර වෙනකන් සෙල්ලම් කරලා හරියටම හතරට පාඩම් කරන්න ඕන …. හතරේ ඉදලා හය වෙනකන් පාඩම් කරලා හයට බුදුන් වදින්න ඕන .. හතට රෑ කෑම අරන් අට වෙද්දී තම තමන්ගේ ඇදවල් වලට ඇවිත් ඉන්න ඕන … හරියටම නවය වෙද්දී හෝල් එකේ හැම ලයිට් එකක්ම නිවනවා ….. ඊට පස්සේ වෙන වෙන වැඩවල යෙදුනොත් ඒ අයට දඩුවම් කරනවා ’
හුස්මක් හෝ නොගෙන කියවාගෙන ගිය අනුගේ දෑස නැවතී තිබුනේ මා ලගමය ඒ දෑසේ මා පිළිබද අමනාපයකි ….
‘දැන් සෙනුලි කියන්න ඉතුරු ටික .. ‘’
‘ අපේ ළමා නිවාසේ ගැහැණු ළමයි විසි හයක් ඉන්නවා ….. ඒ ළමයි දෙන්නා ගානේ හැමදාම උයන්න උදව් කරන්න ඕන …ඒ වගේ හැම සෙනසුරාදාම පැය හතරක් වගා කටයුතු වලට හැම ලමයෙක්ම සහභාගී වෙන්න ඕන …’
සෙනුලි දිග විස්තරයක් කියාගෙන කියාගෙන යද්දී මම අසාගෙන උන්නෙමි දැඩි නීතිරීති වලට යටත්ව අදින් පසු ගෙවීමට නියමිත ජීවිතය පිළිබද සිතීම පවා මගේ හිතට එක්කලේ බියකි ..
‘ඔයාට දැන් තේරුණා නේද මේයාලා කියලා දුන්න දේවල් ..දන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න …. නීති රීති වලට පිටින් ගියොත් දැඩි දඩුවම් ලැබෙයි … ’
රළු බැල්මකින් සංග්‍රහ කල මේට්‍රන් පිටව ගොස් තවත් සුළු මොහොතක් යනතුරුම එකම කෙල්ලකදු හුස්ම ගන්න හඩක් හෝ ඇසුනේ නැති තරම්ය …
‘මම බයවුණා අද අනු අක්කාව කළුවර කාමරේට දායි කියලා ‘’ අවුරුදු දහයක් පමණ වයසැති දැරියක් අනු අසලට ගොස් ඈ තුරුළු ගත්තේ මේට්‍රන් යළි නොපැමිණෙන බව වැටහුණු පසුවය …
‘බය වෙන්න එපා තරූ බබා … ඔය කළුවර කාමරේට මම කවදාවත් යන්නේ නැහැ ..’ අනු දැරියව තුරුළු කරගත්තේ එසේ පවසමිනි …
යුවතියන් තැන තැන එක්වී මුණුමුණු ගාද්දී මා පසෙකට වී මුළු ගැන්වී උන්නෙමි …. සෙනුලි වරින් වර මා දෙස හොර බැලුම් හෙළුවත් මා අසලට නාවේ මිතුරියන් අමනාප වෙයි කියා විය යුතුය …
බණ්ඩාරවෙල ගෙවන ප්‍රථම රාත්‍රිය එළබියේ බොහෝ සෙමිනි … දිවා කාලයේ පැවති සිසිලස අතුරුදහන්ව ගොස් මදින් මද අදුර පරිසරය ගිලගනිද්දී දරුණු ශිතලකි පැතිර ගියේ .. විටෙක මට සිතුනේ නුහුරු ශීතල මා ගල් කරයි කියාය ….
‘’ඔයා ලග ජර්සි එකක් නැද්ද …’ ශීතල නිසා මගේ දතකට පුට්ටුවී ගිඩි ගිඩි ගැහෙද්දි සෙනුලි මා උන් තත්වය දකින්න ඇත
‘නැහැ …’ ශීතල තොල් අපහසුවෙන් ඒ වචනය පිටවෙද්දී සෙනුලි මා වෙත දිව ආවාය
‘ඔයාට ගොඩක් ශීතලද …. මෙන්න මේ ජර්ස් එක ඇදගන්න …’ ඇද උන් ෂිත කබාය ගලවා මගෙන් පිළිතුරක් නොලැබම මට දිමට තරම් ඈ කරුණාවන්ත විය …
‘මේ බැලන්කට් එකත් ඇගේ ඔතාගන්න ….තාම ඔයාට මේ දේශගුණය හුරු නැහැනේ … ටික දවසකින් පුරුදු වෙයි .. දැන් ඇදේ හාන්සිවෙලා ඉන්න ’
.යහනට වැදී දෑස් පියාගත් මට මැවී පෙනුනේ ආච්චිගේ රූපයයි ….ඈ බොහෝ කනගාටුවෙන් මා දෙස බලා උන්නාය … ඉන්පසු මා අසලට විත් කුඩා කාලයේ මෙන් මගේ හිසගෙන ඇගේ ඔඩොක්කුවේ රදවාගෙන බොහෝ ආදරෙන් මගේ හිස පිරිමදින්න විය ……

මතු සම්බන්ධයි 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *