~~~~යශෝධරා ~~~~24 කොටස

රැය ගෙවී ගියේ ඇසිපිය හෙලන නිමේෂයකිනි …. ගොළුවන් බිහිරන් සේ උන්නද මා මෙන්ම අන් දැරියන්ද පාන්දර යාමය පහන් කරන්න ඇත්තේ නිදි නොමැතිවය … අවිනිශ්චිත අනාගතයක් …අනාරක්ෂිත බවත් සියල්ලට වඩා වැඩියෙන් දැනුනේ මටය ….. තමාගේ යැයි කීමට කිසිදු ඥාතියෙකු නැත්තේ මට පමණක් වෙන්න ඇත …. හෙටින් පසු මගේ ජිවතය කොයි අතක පාව යයිද ….
‘ළමයි හැමෝම නැගිටලා පල්ලෙහා හෝල් එකට යන්න ..’ කාන්තා කොස්තාපල්වරිය පැමිණ පවසන තුරුම දැරියන් උන්නේ සිය යහන් වලට වී ගුලි ගැසීය …
රාත්‍රී ඇදුමින් පාට ඇදුම් වලට දැරියන් කිසිවෙකු තම තමන් අතර වචන හුවමාරු කර නොගත්තේය … ඔවුන්ගේ මුහුණුවල බිය කුතුහලය නොපෙන්වා ඉන්නට වෙර දැරුවද එය සගවා ගැනීමට කිසිදු දැරියක් පොහොසත් නොවිය …
පෙර දිනවල පාලිකාවරිය අසුන්ගන්නා තැන උන්නේ අභිතය …ඔහුට දෙපසින් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හා කොස්තාපල්වරියකි … ලිපි ගොනුවලට එබිකම් කරමින් දුරකථන සංවාදයක යෙදී උන් අභීතගේ මුහුණේ උවේ පාන්දර යාමය පුරාම අවදිව උන් බවකි …. අවුල්වූ කෙස් අතින් හදමින් ඔහු හිස ඔසවා බැලුවේ අපේ පියවර හඩටය …
‘ හැමෝටම සුභ උදෑසනක් …’ දැරියන් දෙස බලා සුභ පැතුවත් ඔහුට හෝ අපට ඒ උදෑසන සුභවීමක් නොමැති බව සතියකය …
‘සුභ උදෑසනක් සර් …’ දැරියන්ගේ වචනවල තිබුනේ උදාසීන බවකි ..
‘ඔය දරුවෝ දන්නවද මම ඔයාලාට කතා කරේ ඇයි කියලා ..’
‘නැහැ සර් …’
‘ඔයාලාගේ මේට්‍රන් ඇන්ජලා තව කීපදෙනෙක් එක්ක එකතුවෙලා මේ ළමා නිවාස භුමිය ඇතුලේ අපරාධ ගොඩක් කරලා තියෙනවා …. ඒ නිසා අපිට සිද්ද වෙනවා ටික කාලෙකට මේ ගොඩනැගිල්ල පොලිසියට භාර දෙන්න … ඔය දරුවෝ මෙතන ඉද්දි එයාලාගේ පරීක්ෂණ කරගෙන යන්න ගොඩක් අමාරුයි …ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා … ඔය හැම දරුවෙක්ම තමන්ගේ භාරකාරයන්ට භාරදෙන්න … ඔයාලා හැම කෙනෙක්ගෙම ඉගෙනීම ඉවරවෙලා ස්ථාවර වෙනකම් ඔයාලාගේ හැම වියදමකටම මම අරමුදක් පිහිටවනවා ….. කවුරුත් බයවෙන්න එපා තමන්ට අසාධාරණයක් වෙයි කියලා … හැම ළමයෙක් ගැනම පුද්ගලිකව හොයලා බලන්න මම පොරොන්දු වෙනවා …..’
කිසිදු දැරියක් හ්ම්ම්ම් හඩකින් හෝ තොරව බලා උන්නේ ඔහු දෙසය … අභිතගේ දෑස වැරදි හෝ මාදෙසට යොමු නොවී තිබුනේ කුමන හේතු කාරනා මතදැයි නොදැන මා ඔහු දෙසම දෑස් අයා උන්නෙම් ..
‘මම හැම ළමයෙක්ගේම භාරකාරයන්ට කතාකරලා තියෙන්නේ … අද දවල් වෙද්දී ඒ අය ඇවිල්ලා ඔයාලාව එක්ක යාවි ..ඒ නිසා හැම ළමයෙක්ම තම තමන්ගේ ඇදුම් පොත්පත් බෑග් වලට දාලා ලැහැස්ති කරගන්න ..’
ඔහුගේ කතාව අවසානයේ බිමට යොමුකරගත් දෑස් වලින් දැරියන් ශාලාවෙන් පිටතට ඇවිද යද්දී නිහඩවම මා ඔවුන්ට එක්විමි …
‘යශෝධරා පොඩ්ඩක් නවතින්න …’ ශාලාවෙන් පිටතට අඩියක් තැබූ මම උන් තැනම නැවතී හැරී බැලීමි ..
දැරියන් සහ පොලිස් නිලධාරින් පිටව යද්දී මම හුස්මක් හෝ නොගෙන ඔහු දෙස බලා උන්නේ සිටි තැනම හිදය ….අදින් පසු අප නැවත හමු නොවෙනු ඇත . …ඒ හැගීමද මගේ හිතට එක්කළේ ඊයාම් බරුවක් වක්කරා මෙන් බරකි …. හදවත තුල ඇතිවූ අමුතුම වේදනාවක් මුළු ශරීරය පුරාම පැතිර යද්දී දෑසට උනන කදුළු නවතා ගන්න මා තැත් කලෙමි ….
මා දෙස නොබලාම ඔහු විනාඩ් ගානක් ෆයිල් කවරයක් තුල අතරමන් වී උන්නේ මම උන් බව මතක නැතිවාක් මෙනි ….
‘සර් මම යන්නද .. ’ බලා හිද අවසානයේ මම ඒ වචන කීපය ඇසුවේ උගුරෙනි …
‘ආ …යශෝධරා සොරි …. පොඩ්ඩක් මෙහාට එන්න . …’ අභිතට වඩා පියවර ගානක් දුරින් උන් මා අඩි කීපයකින් ඔහු වෙත ලන්වුනෙමි … ඔහු බලා උන්නේ මගේ විස්තර සදහන් ලිපි ගොනුව දෙස බව මට වැටහුනේ ෆයිල් කවරය වසා දමද්දිය …
‘යශෝධරා … මම ඇනාට කතා කළා … එයා කිව්වා … අද දවල්ට ඔයාව ගන්න මෙහෙ එනවා කියලා ….එයා මේරි එක්ක කතා කරන්නම් කිව්වා …මම ඔයාට යන හැම වියදමක්ම එයාට දෙනවා ….. එයාට තියෙන්නේ ඔයාව එයාගේ හෙවනේ තියාගන්න එක විතරයි … ’
ඔහු පවසන දෙය මා අසා උන්නේ සිතුවිලි නැත්තියක ලෙසය …
‘මම ලැහැස්ති වෙන්නම් සර් ..’ කිසිවක් නොකියා හිදිම සුදුසු නැති බැවින් මා එලෙස පැවසීමි …
‘යශෝධරා දුකින් වගේ ඇයි …..’ මගේ මුහුණ දෙස එක්වරම බැලු ඔහුට මගේ දුක අවබෝධ වෙන්න ඇතිමුත් මගේ දෑසේවූ හැගීම් වැටහී යන්න නැත ..
‘ එහෙම විශේෂයක් නැහැ සර් … මම මෙහෙ හිටියේ මාස කියද …. ඒ නිසා මගේ හිතට කිසිම දුකක් නැහැ මෙහෙ දාලා යන්න ..’
‘යශෝධරාගේ මුහුණේ තියෙන්නේ වෙන කතාවක් .. ඔයාට දුකද යාළුවො දාලා යන්න …’
මට කෑ ගසා කියන්න උවමනා උවේ අභීත සර් මට දාලා යන්න බැරි ඔයාව විතරමයි කියලා උනත් ….. මම මොකුත්ම කියාගන්න බැරිව අසරණ වෙලා ගියා …
‘කවදා හරි මේ හැම බැදීමක්ම දාලා යන්න වෙනවා නම් අද ඒ දේවල් දාලා ගියා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ …. හෙට වෙන්න තිබ්බ දෙයක් අද උනා කියලා මම හිත හදාගන්නම් ..’
මම හිතට හොරෙන් එහෙම කිව්වත් මගේ හිත මහා හුගක් ඇඩුවා …. අභිතගේ මුහුණ බලාගෙන ඉද්දි වගේ පොඩිවෙලා ගියේ එයාට ඒක දැනුන නිසා වෙන්න ඇති …..
තවත් කිසිවක් නොකියා මම ආපහු හැරුනේ එයා ඉස්සරහා මට කදුළු හලන්න උවමනාවක් නැති නිසාවෙනි …
***********
දැරියන් ගමන් මළු සුදානම් කරද්දී මම පසෙකට වී ඔවුන් දෙස බලා උන්නෙමි …ඒ මට ගෙනයෑමට මහා ලොකු දේවල් මෙහි නැති නිසාවෙනි ….. මේ දැරියන් සියල්ලෝම සුළු කාලයක් තුල මා සමග බොහෝ බැදී උන්නෝය . . අමනාපයෙන් උන්නේ අනුෂිකා පමණි ….
හැම දැරියකටම දුකක් වෙන්න ඇත්තේ යෙහෙළියන්ගෙන් සමුගෙන යෑමය … ඔවුන්ගේ දෑස්වල කදුළු උවත් මම එකම කදුලකදු නොසොල්වා උන්නෙමි ….
‘යශෝ ගහක් ගලක් වගේ ඔහොම බලාගෙන ඉන්න එපා බන් …. මම දන්නවා අපිට වගේම උබටත් දුකයි ..’ සෙනුලි ඔහේ උන් මා දෙස බැලුවේ කම්පාවෙනි ….
‘දුකයි කියලා මැරෙන්නද සෙනුලි ….මේ අපිට අයිති තැනක් නෙවෙයිනේ … අද නැති නම් හෙට යන්න වෙනවා ….. මට දුක් වෙනවා නම් දුක් වෙන්න කාරණා ගොඩක් තියෙනවා … මම අවජාතක කෙල්ලක් උන එක ….මට හිටිය එකම නෑයා ආච්චි අම්මා මාව දාලා ගිය එක …. ඕවා එක්ක බලද්දී මේ කාරණය සුළු දෙයක් ..’
මම හිත ගලක් කරගෙන උන්නෙම් …. සිදුවන කිසිවකට නොසැලී සිටීමට මම මගේ හිතට පොරොන්දු දුන්නෙමි …
‘උබ හොද යාලුවෙක් ….. අපි ටික කාලයක් එකට හිටියට උබේ යාළුකම මට ගොඩක් දැනුනා …’ සෙනුලි කැටුව යෑමට පැමිණි මාමා සමග යන්න ගියේ බොහෝ දෑ කියාය .. …මා වැලදගත් ඈ කදුළු සලද්දී මම කලේ හිත සැනසෙන වදන් කීපයක් මිමිණිමය…
‘අපි ආයේ කවදා හම්බවෙයිද දන්නේ නැහැ ….. අපිට ලියුම් එවන්න ….. ‘’ දැරියන් එකින් එකා නෑයන් සමග පිටව යද්දී අවසානයේ ඉතිරිවුවේ මා සහ අනුෂිකා පමණි … අන් දිනවල මා සමගින් තරහාකාරියක් ලෙස සිටින අනුෂිකා සිනාසීමට වෙර දැරුවාය ..
‘යශෝධරා දැන් කොහෙද යන්නේ …’
අමුත්තන්ගේ කුටියේ මා පසෙකින් අසුන්ගෙන උන් අනුෂිකා හිතවත් වීමට වෙර දැරුවාය …මට වෙනස් කම් කල ඇය ගැන උවද මගේ හිතේ කහටක් නැත …
‘යන්නේ කොහෙද …නවතින්නේ කොහෙද කියලා මමවත් තාම දන්නේ නැහැ අනු අක්කි ….’
මම බලා උන්නේ බිත්තියේ එල්ලා තිබුණු අභිතගේ පවුලේ ඡායාරූපය දෙසය ….. එය ගන්නා අවදියේ ඔහු ඉන්න ඇත්තේ යොවුන් වියේය … මම බරට සුසුමක් හෙලා අනුෂිකා දෙස බැලීමි …ඇගේ මුහුණේ මා පිළිබද අනුකම්පාවකි ….
‘ ඔයාට ගොඩක් දක්ෂ ළමයෙක් …හොදට ඉගෙනගෙන …. අනාගතය හදාගන්න … ‘
අනුෂිකා යන්න ගියේ මගේ හිස පිරිමදිමිනි ……
ඉන්පසු එක දිගට පැයගානක් යනතුරු මා උන්නේ අසුන්ගත් තැනමය …. මා කැටුව යෑමට ඇනා පැමිණියේ දිවා එකට පමණය …. ළමා නිවසේ අභීත උන්නත් ඔහු නිකමට හෝ මා බැලීමට නාවේය … එය මගේ හිතට සතුටක් උවේ …ඔහු දැකීම හිතට වේදනාවක් වන බැවිනි …
‘ යශෝධරා ගැන හැමදෙයක්ම හොදට බලාගන්න … පුංචි වැරද්දක්වත් වෙන්න දෙන්න එපා …එයාට ඕන කරන හැම වියදමක්ම මම බලා ගන්නම් ..’
අභීත කාර්යාල කාමරයෙන් පිටතට පැමිණියේ මා ඇනාට භාරදිමටය … ඔහු පවසන වදනක් ගානේ මම ඔහුගේ ඉරියව් පිරික්සීමි …ඒ මුහුණේ මා ගැන කිසිදු හැගීමක් පේන්න නැත …
‘මිස්ටර් සේනාධීර කිසිම දෙයකට බය වෙන්න එපා .. මම මේරි අක්කා එක්ක කතා කළා …. එයා කැමති උනා මේ කෙල්ලගේ වගකීම ගන්න …’
අභිතගේ මුහුණේ උවේ සැනසීමකි …. ඔහු දෙස වරක් බැලු මම කිසිවක් නොකියාම ගමන් බෑගය අතට ගත්තෙත් පොලිස් ජීප් රියක් ළමා නිවාසේ මිදුලේ නතර කළෙත් එකම වරය….
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *