~~~~ යශෝධරා ~~~~28 කොටස
ඒ රැය පුරා සුසුම් හෙලමින් උන්නා මිස මා නෙතට නින්දක් නම් නොවිය … අභීත මට දැනුනේ මගේ හදවතේ කොටසක් යුරිනි … හදවතේ කොටසක් මග දමා නැවත හැරී යෑමට තරම් මා අවාසනාවන්තියක වීමි…
දයාබර අභීත සර් …
අභීත සර් , මම සදහටම බණ්ඩාරවෙල අත ඇරලා යන්න යනවා … කාත් කවුරුත් නැති මට ඔයා ඕනෑවටත් වඩා කරුණාවන්ත උනා … ඔයා මට දයාබර වෙද්දී … මම ඔයාගේ ඒ දයාබර කමට හරි ලෝභ උනා … ඒත් මට ආදරය කරුණාව හිමි නැතිව ඇති …. හරි චුටි කාලෙකින් ඔයාව මට අහිමිවෙලා ගියේ ඒ නිසා වෙන්න ඇති … මම මෙහෙන් ගියාට හැමදාටම මට ඔයාව මතක තියේවි … මගේ හදවතේ ලොකු තැනක් ඔයා වෙනුවෙන් වෙන්වෙලා ඉවරයි .. අද ඔයාගෙන් වෙන්වෙලා ගියාට පස්සේ ඒ තැන හිස් වෙයි .. ඒ අඩුව පුරවන්න කාටවත් බැරි වෙයි ….
හරි හරි ඔයාට දුක හිතුනා නේද සර් …. ප්ලීස් මම ගැන හිතලා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා .. මම දුකින් ඉන්නේ නැහැ …. හැමදාම හිනාවෙලා ඉන්නවා …ඔන්න මම ඔයාට දෙන පොරොන්දුවක් මේක … ඔයා මට පොරොන්දු වෙන්න ඕන ඔයා මම ගැන හිතන්නේ නැහැ කියලා .. මාව හොයන්නත් එපා .. මම මේ ලෝකේ කොහේ හිටියත් ගොඩක් සතුටින් ඉන්නවා කියලා පොරොන්දු වෙනවා … මේ ලෝකේ තැනක ඔයා ගැන ගොඩක් හිතට …. ඔයාට ගොඩක් ගරු කරන අනාථ කෙල්ලක් ඉන්නවා කියලා මතක තියාගන්න ….
මා ඉතින් යන්න යනවා …..
මට යන්න අවසරයි …..
මට අරන් යන්න ඇත්තේ ….
මේ මතකය විතරයි …..
යශෝධරා ……..
හිස් කොලයක් පුරාවට මම ඔහු වෙනුවෙන් සටහනක් තැබුවෙමි …… ලය බොහෝ බරවී තිබුනේ ඔහු නමිනි ….
වේලාව පාන්දර පහට පමණ වෙන්න ඇත … අහුරා තිබු ගමන් මල්ල අතට ගත් මම කාමරයෙන් එළියට බැස්සෙමි …. පහල මාලයේ ඇති අභීතගේ කාමරය අසලදී නැවතුනු මම මදක් එලෙසම උන්නෙමි …ඉන්පසු පියවරෙන් පියවර අඩිය තබා කාමරයට ලන්වුනෙමි … ඔහු දැන් සුව නින්දක වන්නට ඇත …ඉතින් මට උවමනා උවේ අවසන් වරට ඔහු දැකගැනිමටය ….
අභිතගේ කාමරයේ දොර තිරය මෑත් කර හිස දැමු මා ඔහු සුව නින්දක බව සහතික කරගතිමි … ඉන් පසුව සෙමින් සෙමින් කාමරයට පිවිසි මම ඔහුගේ මුහුණ දෙස බැලීමි ….. නිද්දෙදි අභීතගේ මුහුණ පුරා තිබු අවිහිංසක බව මගේ හිත තුල ඇතිකළේ සියුම් හිරියකි … තවත් ඔහු දෙස බලා හිදිනු නොහැකිය … එසේ උවහොත් මගේ හිත බිදී යනු ඇත …..
‘මම යනවා සර් ….. ගොඩක් සතුටින් ඉන්න …’ හිතින් එලෙස මුමුණා මේසය මත ලිපිය තැබූ මම තවත් එකදු වරක් හෝ ඔහු දෙස නොබලා කාමරයෙන් පිටතට ඉක්මන් පියවර තැබුවෙමි …
නිවසින් පිටත පරිසරයේ පැවති ශීතල දරාගැනීමට නොහැකි තරම් ප්රබලය .. වෙන දිනක නම් මෙතරම් ශීතලේ මම පිටතට නොයන්නෙමි …. එහෙත් මා අද මේ නගරය හැරදා යා යුතුය … පාන්දර ශීතලේ ගැහෙමින් මම දිගු අඩි තබමින් නගරය දෙසට ඇවිද ගියෙමි .. මුළු බණ්ඩාරවෙල නගරය හිස්වූ බවක් ඉසිලු ඒ පාළු උදෑසන මම කෙලින්ම ඇවිද ගියේ බණ්ඩාරවෙල බස් නැවතුම වෙතය ….
පාන්දර හයට කොළඹ බලා පිටත්වෙන බසයට නැගුනු මම හිස් අසුනක අසුන්ගෙන හිස පිටතට දැමුවෙමි …. මට අභිතව සිහිවුනි … උදැසන අවදිවූ පසු ඔහු මා සොයනු ඇත … මා නොදැක ඔහුට බොහෝ දුක් සිතෙනු ඇත … මම දිගු සුසුමක් පිටකර අසුනට බරදී දෑස් තදින් පියා ගතිමි … තවත් පැය ගාණක් යනතුරු මේ බසයේ යෑමට ඇත්තේ දුර ගමනකි …
‘ එක්ස්කියුස්මි මට මෙතන වාඩිවෙන්න පුළුවන්ද …’ දැඩි නින්දකට පිවිස උන් මා කිසිවෙකුගේ කටහඩක් ඇසි තිගැස්සී අවදිවුනෙමි … මා ඉදිරියේ උන්නේ තරුණයෙකි … ලොකු ගමන් මල්ලක් කරමත හොවාගෙන උන් ඔහුගේ බැල්ම මගහැර මම ඉවත බැලුවෙමි ….
‘මිස් මේ මම ඔයාගෙන් ඇහුවේ …මම වාඩිවෙන්නද මෙතන …’ තරුණයා නැවත වරක් එලෙස අසද්දී මා දෑස් ඔසවා ඔහු දෙස නැවත බැලීම් ….. ඔහු මට වඩා වසර දෙකක් පමණ වැඩිමහල් යොවුන් තරුණයෙකි … ගෙල දක්වා කෙස්වැටිය වවාගෙන උන් ඔහුගේ පෙනුමේ තිබුනේ හිතුවක්කාර බවකි ….
‘මේ බස් එකේ අයිතිකාරයා මම නෙවෙයි නේ …. ඕන කෙනෙක්ට වාඩිවෙන්න අයිතියක් තියෙනවා …’ මම පිළිතුරු දුන්නේ ඔහු නැවත එම පැනය මගෙන් අසාවි යැයි සිතුනු නිසාවෙනි …
‘හප්පට මම හිතුවේ ගොලුවෙක් කියලා බලද්දී කතා කරන්න පුළුවන් නේද ..’ ඔහු මා අසලින් අසුන්ගත්තේ එලෙස පවසමිනි …..ඔහුට කිසිදු සංවර බවක් නැති තරුණයෙකි … ඉයර් ෆෝනය කනේ ගසාගත් ඔහු ගීත අසමින් දෙතොල හැඩකර ජනප්රිය ඉංග්රීසි ගීතයක් ගායන කරන්න විය …
‘මේ මිස් කොළඹටද යන්නේ …මාත් යන්නේ කොලඹ .. ඔයා තනියමද මේ යන්නේ .’ මද වෙලාවක් තනිව ගිත ගායනා කල තරුණයා මා දෙස දෑස් කොනින් බැල්මක් හෙළිය …. මා උත්තරක් නොදීම කවුළුවෙන් පිටත බලා උන්නෙමි …
‘ මම තාරුක සෙනේෂ් වීරකෝන් .. … ඔයාගේ නම මොකක්ද …’ ඔහුට මා පිළිතුරු දුන්නද නොදුන්නද කිසිදු වගක් නැත … මට උවමනා උවේ නිහඩව අභීත ගැන සිතීමට උව තාරුකගෙන් ඊට ඉඩක් නොවිය ……
‘මිස් බිස්කට් එකක් කමුද …’ මා ගණන් නොගත්තා කියා නොතකා ඔහු බිස්කට් පැකට්ටුවක් දිගු කළේය
‘මොන වදයක්ද …මේ ප්ලීස් මට කනක් ඇහිලා ඉන්න දෙන්නකෝ …’ ඉවසීමට බැරිම තැන මා එය පැවැසුවේ මදක් තදිනි
‘හම්මේ තරහා ගියා නේද …මේ මිස් ගැහැණු ළමයි ඔහොම තරහා ගන්න හොද නැහැ හරිය … මම මනුස්ස කමට කතා කරේ …’ එලෙස පැවසු ඔහු තනිව බිස්කට්ටුවක් ගෙන රසවිදින්න විය ….
නාදුනන තරුණයෙක් හා මිතුරුවිමට මට උවමනා නොවුනි ….. මම කලේ කවුළුවෙන් පිටත බලාගෙන හිදිම පමණි ….
බස් රිය කොළඹ බලා ධාවනය වෙන්න ආරම්භ උවේ උදෑසන හයටය ….. බණ්ඩාරවෙල මිදුම කපාගෙන ඉදිරියට ඇදී යන බස් රථයට පසුවෙන තේ වතු දිය ඇලි දෙස බලා උන්නා මිස තාරුක න දෙස නොබලන්න පරිස්සම් උනෙමි …මා කතාවට ගියොත් ඔහු මගෙන් ප්රශ්න විමසනු ඇත ….ඉතින් මට නාදුනන තරුණයෙක්ට පිළිතුරු දීමට උවමනා නොවුනි …
බස් රථය නුවරඑළියට ආසන්න වෙන විට මහා වරුෂාවක් ඇදහැලෙන්න පටන්ගෙන තිබුණි … තද වැස්ස කපාගෙන බස් රථය ඉදිරියට ඇදීගෙන යන්න විය
‘ඉස්සරහා පස් කන්දක් කඩාගෙන වැටිලා ….. බස් එක ටිකකට නවත්තලා තියන්න වෙයි ..’
එලෙස පැවසුවේ මාර්ගයේ උන් රථවාහන පොලිස් නිලධාරියෙකි ..
‘කරන්න දෙයක් නැහැ ටික වෙලාවක් බස් එක නවත්තලා තියන්න වෙනවා …’
රියදුරා බස් රථය මාර්ගය අද්දර නැවතුවේය …
‘ තලවාකැලෙන් ට්රේන් එකට නගින්න පුළුවන් … අපි යමුද … දැන් මේ පස් කන්ද අස් කරද්දී කීය වෙයිද දන්නේ නැහැ …’
මගියන් දෙතුන් දෙනා බස් රථයෙන් බැස පිටව ගියේය … මට එලෙසට දුම්රියෙන් යෑමට මුදක් ඉතිරිව තිබුනේ නැත … සන්තකටම තිබුනේ රුපියල් පන්සියකි ….බස් රියට ප්රවේශපත්රය මිලදී ගත් පසු මා අත ඉතිරිව තිබුනේ සුළු මුදලකි …එය වියදම් උවහොත් මට අතරමග නවතින්න සිදුවන බව නම් නියතය ….ඉතින් කළහැකි දෙයක් නොමැති නිසාවෙන් එහිම බස් රියෙහි රැදි සිටීමට මම තීරණය කලෙමි ..
බස් රථය තුල ඉතිරිව හිටියේ මගියන් විස්සක් පමණි … අන් සියලු දෙනා පිටව ගොසිනි …. මම එහා පස උන් තරුණයා දෙස බැලීමි ….දෑස් තදින් පියා උන් ඔහු මර නින්දකය ….
බොහෝ වෙලාවක් යනතුරු මා කලේ කල්පනා කිරීමය ..අහිත නෙත්මා සේම මා ගැනද මම බොහෝ සිතුවෙමි … අභීත නුදුරු දිනක නෙත්මාගේ අත ගනු ඇත … නෙත්මාගේ ආදරය හමුවේ ඔහුට මා පිළිබද සුළු මතකයක්වත් ඉතිරි නොවෙනු ඇත ….මම දිගු සුසුමක් හෙලමින් දෑස් තදින් ගැසුවෙමි ….ඒ මට ඇඩේන්න ආසන්නවූ බැවිනි ….
‘මම හිතුවේ සුළි සුළගක් ඇවිත් මාව ගහගෙන යනවා කියලා …’ මම ගැස්සී තාරුක දෙස බැලීමි …. ඔහු බොහෝ වෙලාවක් මා දෙස බලා හිදින්න ඇත …. සියුම් ලැජ්ජාවකින් මුහුණ රතු වෙද්දී මම බිම බලාගෙන මද සිනාවක් පෑමි ..
‘හිනාවෙන්නත් පුළුවන් නේද …. ආ ..මේ ඒක නෙවේ මොකද අර තරම් තදට හුස්ම ගත්තේ …’ ඔහුට උවමනා වෙන්නඇත්තේ මා කතාවට අල්ලා ගැනීමටය ..
‘හරි හරි කතා කරන්න එපා .. කතා නොකෙරුවාට බුම්මට්ටෙක් වගේ ඉන්න එපා …එතකොට ඔයා වැදිරියක් වගේ කැතයි …. ඒ නිසා හිනා වෙන්න … ගැහැණු ළමයි හිනාවෙද්දි තමා ලස්සන ……..’
මා කතා නොකලා කියා ඔහුට කිසිදු වගක් නැත …. ඔහු දිගටම කියවයි ….. ඉතින් මා කලේ ඔහු කියන්නට කන්දීගෙන හිදිමය ….
මතු සම්බන්දයි