~සමනළ වසන්තය ~01 කොටස – Bleyar

~~~සමනළ වසන්තය ~~~
01 කොටස
‘හේයි මගේ කොණ්ඩ පටි දෙක ගත්තද තමුසේ ..’
කන්නාඩිය ඉස්සරහා හැඩ වේවි හිටිය සදූ මගේ දිහා ඇස් ලොකු කරලා බැලුවේ එයා ගත්තේ නැහැ කියන්න වගේ …
‘කියනවා තමුසේ හැංගුවා නේද මගේ කොන්ඩ පටි ….’ මම කාමරේ දෙක වෙන්න බෙරිහන් දුන්නා
‘මම ගත්ත එකක් නැහැ ….බලාගන්නවා තමුසේ දැම්ම තැනක ඇති ….’
‘මම දන්නවා නේ … ඔය තමුසේ ගැටගහගෙන ඉන්නේ මගේ කොන්ඩ පටි දෙක තමා …මෙන්න මෙහෙ දෙනවා ..’
මම අඩියට දෙකට සදූ ලගට පැනලා එයා පිළිවෙලට ගොතාගෙන හිටපු කොන්ඩේ අග්ගිස්ස ගැටගහලා තිබ්බ සුදුපාට කොන්ඩ පටි දෙක ගලවලා උදුරා ගත්තා …. බලාගෙන ඉද්දි වගේ සදූගේ සුදුපාට මුහුණ ඇපල් ගෙඩියක් වගේ රතුවුණා …. ඔන්න මට දැනුනා දැන් මෙයා අඩන්න ලගයි කියලා
‘අම්මේ මෙන්න මේ හිරූ මගේ කොන්ඩ පටි උදුරගත්තා …..’ එකපාරටම වික්ටෝරියාව වාන් දානවා වගේ සදූ අඩන්න තියාගත්තේ නැතැයි…
‘ඔන්න …ඔන්න ඔයාගේ කටෙන් දිග පණුවෙක් එනවා .. ඊයා …… ’ උරහිස ගාවට වෙනකන් දිග කොන්ඩේ අමාරුවෙන් ගොතන ගමන් මම කලේ සදූව අවුස්සන එක
‘මොකද මොකද උදේ පාන්දර මේ දෙන්නාගේ ගෝරනාඩුව ….. ’ අම්මා හැන්දකුත් අතේ තියාගෙන කාමරේ ඇතුළට එබුනා ….. දැන් ඉතින් මට කනේ ඇගිලි ගහගන්න වෙනවා ෂුවර් ….
‘අම්මේ හිරූ මගේ කොන්ඩේ ගලවලා කොන්ඩ පටි උදුරා ගත්තා …’ සදූ අම්මා ලගට දුවලා ගිහින් ගතු කියන්න පටන්ගත්තා …. මම රවලා එයා දිහා බැලුවේ ඉන්නවා මම පස්සේ අල්ලාගන්නම් කියන්න වගේ …….
‘හිරූ මොකද හැම වෙලේම සදූට වද දෙන්නේ …. මම දැක්කා ඔයාගේ කොන්ඩ පටි මගේ කාමරේ දාලා තියෙනවා ….. මේ කෙල්ලට කිසිම දෙයක් සිහිය නැහැනේ …ගැලෙව්වොත් දෙයක් එතැන …. කවදා හැදෙයිද දන්නේ නැහැ ….. දැන් ගිහින් සදූට කොන්ඩ පටි ගෙනත් දෙන්න …’
අම්මා තරවටු කරද්දී මම සදූට කට ඇද කරලා අම්මලාගේ බෙඩ් රූම් එක පැත්තට ඇවිදගෙන ගියා ..
‘මෙන්න ගැටගහගන්නවා ඔය නීල දිගු වරලස….’ මම කොන්ඩ පටි ගෙනත් දෙන ගමන් සදූගේ අත මිරිකුවා රිදෙන්නම …..
‘ඌයී …’ එයා හෙමින් කෙදිරි ගෑවත් අම්මාට මොකුත් කියන්න ගියේ නැත්තේ මාව අසුස්සා ගත්තොත් සොරි ඩොට් කොම් කියලා දන්න නිසා වෙන්න ඕන …
‘හිරූ ආයේ සදූගේ දේවල් අල්ලන්න එපා .. බලන්න දෙන්නාටම දැන් පරක්කු වෙනවා නේ ඉස්කෝලේ යන්න ….. අයියෝ මේ ළමයිගේ කරදරේ නිසා මට හොද්ද බලාගන්නවත් බැරිවුනා නේ … මොනවා වෙලාද දන්නේ නැහැ …’ අම්මා බැන බැනම කුස්සිය පැත්තට දිව්වා …

සදූ හෙවත් සදපිණිදි විජයබණ්ඩාර කියන්නේ මගේ නිවුන් සහෝදරිය … එයා මට වඩා තප්පර ගානකට වැඩිමහල් උනත් …. මම එයාට කවදාවත් අක්කා කිව්වේ නැහැ …. මම හැමදාම වැඩ කලේ මම අක්කා කියලා පේන විහිහට .. නිවුන්නු උන අපි දෙන්නාගේ රූපය සීයට අනුනවයක් එකයි … මම අනුනවයක් කියලා කිව්වේ මගේ නිකටේ තිබුන පුංචි කළුපාට උපන් ලපය නිසා සීයට සියක් අපි එකම අච්චුවේ නොවුණු නිසා …අපේ ගෙදර අය ඔය වෙනස නිසා අපි දෙන්නාව වෙන් කරලා අදුර ගත්තාට පිට කෙනෙක්ට නම් අපි දෙන්නා කවුද කියලා ලේසියෙන් අදුන ගන්න බැහැ … ඉස්කෝලෙදි උනත් මම කරන දග වැඩ වලට සදූ අහුවුන වාර අනන්ත උනේ ඒ නිසා … රූපෙන් එක සමාන උනාට අපි දෙන්නා ගතිගුණ අතින් නම් සියට දෙසීයක් එකිනෙකාට අසමානයි ….. කරුණාවන්ත නිවුණු හිතක් තිබුණු සදූ ගොඩක් සංවේදී ඒ වගේම අහිංසකයි …. මම ඊට හාත්පසින්ම වෙනස් මට තිබුනේ මුරණ්ඩු හිතක් වගේම පුදුමාකාර දගකාරකමක් ඒක ගෙදරට වගේම ඉස්කොලෙටත් හිසරදයක් උන වාර අනන්තයි ….
මගේ අප්පච්චි රංජිත් විජයබන්ඩාර හමුදාවේ කපිතාන් කෙනෙක් නිතර ගෙදර ආව නොගිය අප්පච්චි ගෙදර ආවා දවසට නම් මම වගේ අහිංසකාවියක් අපේ ගෙදරත් අල්ලපු ගම් හතටවත් නැහැ …අප්පච්චි උස මහත දැඩි පුද්ගලයෙක් උනත් අම්මාට සදූට මට ගොඩක් ආදරේ කරපු බව මම දැනගෙන හිටියා .. මගේ අම්මා සාරදා වියබණ්ඩාර අප්පච්චි වෙනුවෙන් ලොකු කැපවීමක් කරපු කෙනෙක් විවාහ වෙනකොට රජයේ ඉහල තනතුරක වැඩ කරපු අම්මා රස්සාව අත ඇරලා ගෘහනියක් වෙලා තිබුනේ අප්පච්චිගේ ඉල්ලීම නිසා …
අපේ පවුලේ අපි හතර දෙනා ඇරුණු කොට හිටියේ අම්මාගේ උදව් පදව්වට හිටිය හීන්මැණිකේ නැන්දා විතරයි …. අම්මා අප්පච්චිව මැරී කරද්දී දැවැද්ද විදිහට හීන් මැණිකේ නැන්දා ගෙනාවා කියලා අප්පච්චි හැමවෙලාවෙම කියන්නේ හීන්මැණිකේ නැන්දා අපේ අම්මාගේ ගෙදර වැඩට හිටිය කෙනෙක් නිසාම තමා .
***
මම හෙමින් හෙමින් බෑග් එකත් කරේ දාගෙන මගේ ගිරා පැටියාගේ කූඩුව එල්ලලා තිබ්බ ජම්බූ ගහ යටට ගිහින් හෙමිට කූඩුව ඇරලා ගිරා පැටියාව අතට අරගත්තා …. මූව මම හොයාගත්තේ මාස තුනකට විතර ඉස්සරවෙලා අපේ වත්තේ පේර ගහකින් බිම වැටිලා තුවාල වෙලා ඉද්දි …අම්මා කොච්චර එපා කිව්වත් මම මූව හදාගන්න තීරණය කරා …. ගිරා පැටියා මාත් එක්ක හරි ඉක්මනට යාලු උනා ….කූඩුව ඇරලා තිබුනත් ඌ ඊට පස්සේ ඉගිල්ලිලා ගියේ …. කව්රු හරි ගෙදරක හදාගත්ත කුරුල්ලෙක් උන හින්දාද කොහෙට මූ මම කියන කියන එක කියන්න පුරුදු වෙලා හිටියා …
‘ඔන්න පෙත්තප්පු අක්කා ආවා …’
‘අක්කා ආවා ….අක්කා ආවා ..’ මූ එක දිගට කියවන්න ගත්තා
‘හරි පැටියෝ අද ඔයා මාත් එක්ක ඉස්කෝලේ යනවා හොදේ … හැබැයි දග කරන්නේ නැතිව ඉන්න ඕන …නැති නම් මටයි ඔයාටයි දෙන්නාට වෙන්නේ එළියට වෙලා ඉන්න …තේරුනා නේද මගේ හොද ගිරා පැටියෝ ….’
‘ තේරුණා …තේරුණා…’
මම පොත් බෑග් එක ඇරලා පරිස්සමට ගිරා පැටියා අස්සට දාගත්තා …’
‘හිරූ …හිරූ …. ඇවිල්ලා මේ කෑම එක දාගන්න …’ අම්මා කෑ ගැහුවේ මම පේන්න හිටියේ නැති නිසා වෙන්න ඇති ….
‘මේ එනවෝ ….’
මම ගේ ඇතුළට දුවගෙන ගිහින් අම්මා ලැහැස්ති කරලා මේසේ උඩ තියලා තිබුන ලන්ච් බොක්ස් එක බෑග් එක ඇතුලට දාගත්තා ….
‘ඔයත් එන්න බත් කටක් කවන්න ….’ සදූට බත් කව කව හිටිය අම්මා මට ලගට කතා කලා …
‘හැබැයි ඔන්න එකම එක කටයි …කන්න බැහැ ගොඩක් …’
‘මේ ළමයා කන්නත් හොරයි …. නටන්න තියෙනවා නම් ..වෙන මොකුත් ඕන නැහැ නොකා නොබී හරි නට නටා ඉදියි … ‘’’ අම්මා මට බනින ගමන් බත් කටවල් දෙකක් කැවුවා ….
‘ඇති ඇති අම්මා ….. හොදටම බඩ පිරුනා …’
‘හ්ම්ම්ම් ..ලන්ච් බොක්ස් එක ගෙනියලා යාළුවොන්ට දීලා උඩ බලාගෙන ඉන්නවා එහෙම නෙවෙයි හොදද … ‘’ අම්මා එහෙම කියන්න හේතුව වෙන්න ඇත්තේ නම් සදූ …..එයා කියන්න ඇති මම කෑම එක කන්නේ නැතිව යාළුවොන්ට දෙනවා කියලා …. මෙයාත් ඉතින් රොයිටර් පුවත් සේවය වගේ තමා ඉස්කෝලේ වෙන හැම දෙයක්ම අම්මාගේ කනේ තියන්න නම් දෙයියා …..හිටපන්කෝ මගේ දෙයියෝ මම පාරේදී අල්ලා ගන්නම් … මම සදු දිහා රවලා බලලා වතුර එකක් බීගෙන බීගෙන ගියා …
‘ගිහින් එන්නම් අම්මා ..’ අපි දෙන්නාම පාත්වෙලා අම්මාට වැදලා … අම්මා තවත් මොකුත් කියන්න කලින් ගෙදරින් එළියට පැනගත්තා …
‘තමුසේ මොනවාටද අම්මාට කේලම් කියන්න ගියේ ..’ පාරට ගිය ගමන් මම සදූට රවන්නයි ඔරවන්නයි ගත්තා ….
‘මම කීව කේලමක් නැහැ … මේ මට බනින්න එන්න එපා ….’ එයා එහෙම කියලා මට වඩා අඩි ගානක් ඉස්සරටහට ඇවිදගෙන ගියා … පාරේදී රණ්ඩු වෙන්න බැරි නිසා මමත් කටවහගෙන එයා පස්සේ ඇවිදගෙන ගියා …
හීන් දිගැටි මුහුණක් තිබුන සදුගේ එක කැළලක්වත් නැති පුංචි මුහුණ හරිම පියකරුයි ….. උසත් නැති මිටිත් නැති කෙට්ටුත් නැති මහතත් නැති එයා හරිම හැඩයි ….ඒ කියන්නේ ඉතින් මාත් හැඩයි කියන එක තමා මොකද අපි එකම අච්චුව නේ …. ආ මතක නැතිවුනා මගේ මුහුණේ උපන් ලපේ නිසා එයාට වඩා ඩිංගිත්තාක් මම හැඩයි ………උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනගත්ත අපි දෙන්නාම හිටියේ එකම පංතියේ …. ඔන්න ඔය හේතුව නිසා මට කිසිම හොර වැඩක් එයාත් එක්ක කරගන්න අමාරු උනා …
සදුයි මායි පංතියට ගොඩ බැස්සා විතරයි මෙන්න අපේ පංතියේ හිටිය කෙලි පැන්චියෝ ටික මාව වටකරගත්තා …ෂුවර් එකටම පත ඕපයක් ඇති මුන් ලග …..
‘ගුඩ් මෝර්නින් ළමායී ……….’ මම වචන බරකරලා එහෙම කියන ගමන් බෑග් එක ඩෙස්ක් එක උඩ තිබ්බා ….
‘ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් . ….’
‘කිමද මේ උදෑසන මා වටකරගත්තේ කිසියම් ඕපයක් දෙඩීමට තිබේද …’ මම මගේ හොදම යාළුවා පුජනී දිහා බලලා ඇහැක් ගැහුවා …
‘එසේය …එසේය …. ලොකු ඕපයක් …’
‘කියපන් …කියපන් …මොකක්ද …..’
‘අන්න කේතකි ගගුන් එක්ක යාළුවෙලාලූ ….’
‘ගෝඩ් ඕකීට මගේ ක්‍රස් එක විතරද හිටියේ යාළුවෙන්න හැතිරි ….. මට දුක …’ අඩන්න වගේ මුහුණ බේරී කරගෙන මම පුජා දිහා බැලුවා …
‘ඇයි උබට දුකද …’ පුජා මගේ අත තද කරලා අල්ලාගත්තේ මාව සනසවන්න වගේ
‘හ්ම්ම් …. ඔව් බන් මොකද මට දැන් වෙන ක්‍රස් එකක් හොයාගන්න වෙනවා නේ ..’ මම එහෙම කියලා හයියෙන් හිනාවෙන්න ගත්තාම පුජා මුහුණ රතුකරගත්තා කුණුවෙන්න ලංවුණ තක්කාලි ගෙඩියක් වගේ…
‘උබ නම් හිරූ ….. මම තරහයි …’ අනිත් කෙල්ලෝ ටික මුහුණු දෙක කරගෙන තම තමන්ගේ තැන්වලට යද්දී පුජා මට ගස්සාගෙන යන්න ගියා ….
******
‘ළමයි අද මම ඔයාලාට කියලා දෙන්නේ රසාස්වාදය කියන්නේ මොකක්ද කියන එකයි …ඔයාලා කියන්න බලන්න ඔයාලාට හිතෙන විදිහට රසාස්වාදය කියන්නේ මොකක්ද කියලා …’
සිංහල මිස් පංතියට ඇවිත් රසාස්වාදය ගැන තළු මර මර කියලා දෙද්දී මම බෑග් එක ඇරලා වතුර බෝතලේ අරන් බීගෙන බීගෙන ගියා .. එතකොට තමයි මට මගේ ගිරා පැන්චා මතක් උනේ ..කලබල උන පාර මම වතුර බෝතලේ ඩෙස්ක් එක උඩ අත ඇරලා බෑග් එක අතට ගත්තේ ගිරා පැන්චා ඉන්නවද කියලා බලන්න …ඌ බෑග් එකෙන් එලියට පැනලා කියලා දැක්කම මට හීන් දාදියක් දාගෙන ආවා ..
‘ කව්ද ඔයා ….’ සිංහල මිස් ගීතිකා අතේ තිබුන සුදු පාට චෝක් කෑල්ල මගේ අතේ වැදිලා නතරවෙද්දී මම ඔළුව උස්සලා බැලුවා … ෂුවර් එකට එයාට මම සදුද එහෙමත් නැත්තම් හිරුද කියලා අදුරගන්න බැරිව ඇති ….
‘මම හිරුෂි …..මිස් …’ මම බොහොම යටහත් පහත් විදිහට බිම බලාගෙන එහෙම කිව්වා ..
‘හිරුෂි කියනවා දැන් මම රසාස්වාදය ගැන කියලා දුන්නේ මොනවද කියලා ..’
ඇත්තම කියනවා නම් මට එයා කියලා දුන්න මොකුත්ම සිහිය තිබ්බේ නැහැ …
‘රසාස්වාදය …’
‘ඔව් රසාස්වාදය කියන්නේ මොකක්ද ..’
‘ඇත්තම කියනවා නම් මිස් රසාස්වාදය කියන්නේ …අපි හිතමු අපි කෑමක් කනවා කියලා …ඔන්න එතකොට ඒ කෑම ගැන දිවට දැනෙනවා ම්ම්ම්ම්ම් මේක මාර රසයි කියලා …. ඔන්න ඕකට තමා රසාසාසාසා …ස් ….වාදය කියලා …’ මම පණ්ඩිතයා වගේ ඔළුව හොල්ලා හොල්ලා එහෙම කියද්දී ගීතිකා මිස්ගේ මුහුණ හතරැස් මුහුණ තවත් කොටු වෙලා ගියා ….
‘ඉස්සරහාට එනවා හිරුෂි …. දැන්ම ඉස්සරහට එනවා …. ‘’ සිංහල මිස් එහෙම කියද්දී මම නිකන් රොකට් එකක් වගේ ඉස්සරහට දුවගෙන ගියා …
‘තමුන්ගේ මේ ඔළු ගෙඩියේ තියන්නේ ගොමද කියනවා …. ‘’ මගේ ඔලුවෙන් තට්ටුවක් දාලා මිස් එහෙම අහද්දී මම දැක්කා පන්තියේ ඉස්සරහම පේලියේ වාඩිවෙලා හිටපු සදු නොන්ඩියට වගේ කට කොනකින් හිනාවෙනවා ….
‘ දැන් අහගන්නවා .. රසාස්වාද කියන්නේ අසන්නා තුල ඇතිවෙන ආවේග සමුහය …. ඒ කියන්නේ වින්දනයයි ….’
මිස් මගේ දිහා බලාගෙන එහෙම කියාගෙන යද්දී කොහේදෝ ඉදලා ඉගිල්ලිලා ආපු ගිරා පැන්චා මගේ උරහිස උඩ වැහුවා …. දෙන දෙයියෝ උඩ පැන පැන දෙනවා කියන්නේ මේවාට තමා …. සංසුන්වෙලා තිබ්බ මිස්ගේ මුහුණ තරහෙන් පිරිලා ගියා ..
‘කව්ද මේ ගිරවා පංතියට ගෙනාවේ …’ කෙල්ලෝ එකෙක් වත් කිසිම ශබ්දයක් නැහැ ….
‘මම ඇහුවේ කව්ද මේ ගිරවෙක් පංතියට ගෙනාවේ කියලා ….’ මිස් කබඩ් එකේ තිබ්බ වේවැල ඇදලා අරගෙන පංතිය මැදින් එහාටයි මෙහාටයි ඇවිද්දා ….. ගිරවා මගේ කියලා කියන්න ඕන උනත් වේවැල් කසාය කන්න තිබ්බ බය නිසාම මම කට පාලනය කරගත්තා …
‘එකෙක්වත් කියන්නේ නැද්ද …. එහෙනම් හැම එකෙක්ම පේලියට ඇවිත් හිටගන්නවා ….. ‘
කෙල්ලෝ ටික ඔක්කොම ඇවිල්ලා පෙළට හිටගත්තා …. ගීතිකා මිස් ආයෙම කෙල්ලොන්ගේ මුහුණු දිහා බැලුවා …
‘කවුරු හරි දන්නවා නම් කියන එක හොදයි ගිරවා කාගේද කියලා …නැත්තම් හැමෝටම වේවැල් පාර කන්න වෙයි ..’ මිස් එහෙම කියද්දී එක පාරටම ඉස්සරහට් ආවේ සදු ….. දෙවියනේ මේ මෝඩි දැන් ගිරවාගේ අයිතිකාරයා මම කියලා කියයිද …..
‘ඔව් සදපිණි කියන්න ඔයා දන්නවාද කාගේද කියලා මේ ගිරවා ..’
‘ඔව් මිස් මේ ගිරවා අයිති හිරුෂිට …..’ සදුට කියලා ඉවරවෙන්න හම්බවුනේ නැහැ ගීතිකා මැඩම් මගේ පැත්තට හැරුනා ….
‘ඇත්තද මේ සදපිණි කියන්නේ ….. හිරුෂි …’ මෙයා අමු අමුවේම ඇත්ත කියද්දී පිළිනොගෙන බැරි නිසා මම ඔළුව හොලවලා වැරැද්ද පිළිගත්තා ….
චටාස් පටාස් චටාස් පටාස් .. වේවැල දෙතුන් පාරක් මගේ අත උඩට හෙන පුපුරන්නා වගේ පාත්වුනා …….
‘මේ ගිරවත් අරන් පංතියෙන් එළියට ගිහින් ….. පීරියඩ් එක ඉවරවුනාම එනවා …’ ගීතිකා මැඩම් මහා හඩින් බෙරිහන් දෙද්දී මම ගිරා පැටියත් තුරුළු කරගෙන පංතියෙන් එළියට ගියා …
මතු සම්බන්ධයි

සමනළ වසන්තය සොදුරු පාසල් සමය පාදක කරගෙන රචනා කරන සොදුරුම කතාවක් …. ඔයා කතාව පිළිබද දක්වන අදහස් අනුව කතාවේ ඉදිරිය තීරණය වෙයි … මම හිතනවා යශෝධරා කතාවේදී වගේම මේ කතාවේදීත් ඔයාලා මාත් එක්ක රැදී සිටියි කියලා …ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *