~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~
20 කොටස
ඒ ගෙවුණු හැම දිනයක්ම ගෙවුනේ සැහැල්ලුවෙනි …පුංචි කැදැල්ලක් තනා ගෙන කූඩු වීම මගේ එකම සිහිනය උවද සිහින අයියා ප්‍රශ්න ගොඩක මැදිව උන් නිසා මා ඔහුට කිසිවක් කියා කරදර කිරීමට ගියේ නැත …
කිසිදු වෙනසක් නොමැතිව ගෙවී ගිය මාස ගානකින් පසුව මගේ විසිවෙනි උපන්දිනය එළබියේය …. නිවසේ කිසිවෙකුට හෝ මා මතක් නොවෙන්න ඇත …. ඉතින් මා හිත හදාගත්තෙමි ඒ සිහින අයියාගේ ආදරේ ගැන සිතමිනි …..මා බලා උන්නේ සිහින අයියා ගේ සුභාශිංසනය ලැබෙන තුරුය …. හරියටම රාත්‍රී දොළහට මා බලාපොරොත්තු වූ ඒ ඇමතුම ආවේය ..
‘හැපී බර්ත්ඩේ මගේ මැණික…’
ඔහු කතා කලේ දරාගැනීමට බැරි තරම් ආදරණිය ස්වරයකිනි …
‘තෑන්ක් යු මගේ පණ …මම බලාගෙන හිටියා ඔයාට මතක තියෙයිද කියලා ..’
‘මට අමතක වෙන්නේ නැහැ මගේ සුදු මැණික ඔයා ගැන කිසිම දෙයක් … ඔයානේ මගේ මුළු ලෝකෙම ..’
‘මම දන්නවා අයියා …. මට ඉන්නේ ඔයා විතරයි නේ …. මට වටිනවා ඔයාව ගොඩාරියක් ..’
‘හෙට මොනවද කරන්නේ බබී ..’
‘. ගෙදරට වෙලා ඉන්නවා ….. ’
‘මට උදේම ඔයා බලන්න එන්න වෙන්නේ නැති වෙයි ….මම හවස් වෙලා එන්නම් …. ඔයා ලැහැස්ති වෙලා ඉන්න පන්සල් යන්න ..’
පාන්දර යාමය වෙනතුරුම මා සමගින් පෙම්බස් දොඩමින් උන් සිහින අයියා දුරකථනය තැබුවේ මා දැකීමට එනබවට පොරොන්දු දෙමිනි …
කිරිබත් හදා කේක් කපා උපන්දිනය සැමරීමට මා අසල කිසිවෙක් උන්නේ නැත ….නිවසේ ගතකල දිනවල නම් හැම උපන්දිනයකටම අයියා සුභ පැතුම් පතා පුංචි තෑග්ගක් මා වෙනුවෙන් තිලින කලයුරු නම් සිහිවෙන විට දෑස් තෙත් වෙන්නේ ඉබේමය … අද අයියාට මා සිහිවෙන්න ඇත ….. උගුරට දැමු බත් පිඩ හිරවී දෑසට කදුළු ඉනුවේ ඒ නිසාය …. නයනි අක්කා විමසුවද මා ඇයට කිසිවක් කියන්න ගියේ නැත ….
මා බලා උන්නේ සන්ධ්‍යාව එළබෙන තුරුය … සිහින අයියාගේ අතක එල්ලී ගමන් යන්න මා බොහෝ ප්‍රිය කලෙමි …ඔහු සමගින් ගෙවන හැම මොහොතකම මා උන්නේ බොහෝ සතුටෙනි …
සුදෝ සුදු ගවුමකින් සැරසී පන්සලට යෑමට ලක ලැහැස්ති වී මා මිදුලට බැස්සේ මල් නෙලීම සදහාය … ගවුම් සාක්කුවේ වූ දුරකතනය නාද වෙන්න ගත්තේ මා මල් නෙලා අහවර කල පසුවය …ඇමතුම සිහින අයියාගෙනි …
‘හෙලෝ නිකිණි මොනවාද කරන්නේ …’ ඔහුගේ ස්වරය වෙනස්ය ..
‘මම මල් කඩනවා අයියා …..ඔයා ලගද ඉන්නේ .. මම ඇදගෙන බලාගෙන ඉන්නේ පන්සල් යන්න .’
‘මම එන්න ලැහැස්ති වෙන්නේ …….බබී මම පොඩ්ඩක් අද යාළුවො එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් ගත්තා …. කමක් නැහැ නේද .. ‘’
ඉතින් මගේ හිත බිදුනි ….උදෑසන සිට සැදී පැහැදී බලා උන්නේ ඔහු සමගින් පන්සල් යාමට නොවේද ..මේ තරම් වැදගත් දිනක මත්පැන් තොල ගෑ ඔහු සමගින් පුදබිමට යන්න මා ආශා කලේ නැත ..මා ඔහු වෙනුවෙන් මෙතරම් කැපකිරීම් කරද්දී ඔහු මා වෙනුවෙන් අද ඔවැනි දේවල් වලට නොයා ඉදින්න තිබුනා නොවේද ….ඉතින් මට දුක සිතුනේ මා ගැනමය …
‘තරහද ඔයා ……තරහා වෙන්න එපා ….මම මේ දැන් එනවා ….ඇවිත් ඔයාව පන්සල් එක්කන් යන්නම් ..’
‘එපා ඔයා එන්න එපා …. ඔහොමම ඉන්න ..මම පන්සල් යන්නේ නැහැ …’
හිතට ආ ආවේගය නිසා ඔහු පවසන්නක් නොඅසාම මා දුරකථනය විසංධි කර දැමුවෙමි ……ඉතින් මට දුක්වෙන්න ඕනා තරම් කාරනා තිබුණි .. අත තිබු මල් පිරුණු බෑගය එතනම දමා කාමරයට දිව ගිය මා කලේ හිතේ දුක අහවරව යනතුරු කදුළු සැලිමය …..සිහින අයියාගෙන් එවැනි හැසිරීමක් මා බලාපොරොත්තු නොවීමි …. මා සිතුවේ අද හවස් වරුවම ඔහුගේ තුරුලේ ගතකිරිමටය ….
‘අන්න මල්ලි ඇවිල්ලා ඉන්නවා ..’ නයනි අක්කා කාමරයට එබුනේ මා යහනේ මුනින් අතට වැටි දුක්වෙමින් සිටිද්දීය ..
‘මම නිදි කියලා එයාට යන්න කියන්න …’ මා මුරණ්ඩු වුවේ ඔහු දැකීමට කිසිම උවමනාවක් නොවූ නිසාවෙනි
‘පිස්සුද හලෝ … අර කොල්ලා කොච්චර දුරක ඉදලාද ඇවිල්ලා ඉන්නේ . මෝඩියක් නොවී ගිහින් කොල්ලා එක්ක කතා කරනවා ..’
මා යහනෙන් නැගිට්ටේ නයනි අක්කාගේ කියවිල්ල අසා සිටීමට නොහැකිවය ..
‘තරහද මාත් එක්ක …’
සිහින අයියා ඔහු ඉදිරියේ සෙටියේ අසුන්ගත් මා දෙස බැලුවේ දුක්බර බැල්මකි ….මා කිසිවක් නොකියා බුම්මාගෙන ඔහේ උන්නෙමි
‘මම බොරුවක් කිව්වේ ඔයා අවුස්සන්න ….. කෝ ඉතින් කියලා ඉවරවෙන්න කලින් ඔයා ෆෝන් එක තියලා ඉවරයි නේ …පුංචි විහිළුවක් කරාම ඔච්චර කේන්ති ගන්නවද … මම කොච්චර ගත්තද ඔයාගේ ෆෝන් එකට ඒත් ඔයා ෆෝන් එකත් ඔෆ් කරලා ’
‘ඔයා කරපු දේ ගොඩක් වැරදි අයියා ….. ගොඩක් වැරදි …මම උදේ ඉදලා කොච්චර ආශාවෙන්ද බලාගෙන හිටියේ ඔයා එනකන් …. ඒ වගේ වෙලාවක ඔය වගේ විහිලුවක් කරාම …දන්නවද හිත කොයිතරම් රිදෙනවද කියලා ..’
රිදුනු හිතේ වූ වේදනාව ඔහු ඉදිරියේ මා වචන කලේ දෑසින් කදුළු ගලද්දීය…..
‘හරි බබී මම වැරදි …..දැන් ගිහින් හොද ළමයා වගේ පන්සල් යන්න ලැහැස්ති වෙන්න ‘
ඔහු කොතරම් ඇවටිලි කලද මා බුම්මාගෙන ඔහේ උන්නා මිසක් අඩියක් හෝ පෙරට තැබුවා නොවේ ..
‘මල්ලියා දැන්ද ආවේ ..’
සජිත් අයියා ගමනක් යන්න ලැහැස්ති වී එලියට බැස්සේ ඔය වෙලේය ….
‘දැන් ටිකක් වෙලා ඇවිල්ලා …අයියා කොහේ හරි යන්නද …’
‘ඔව් මේ යාළුවො වාගයක් සෙට් වෙලා ඉන්නවා … වරෙන් යන්න මාත් එක්ක …ඉක්මනින් එන්න පුළුවන් … ‘’
සජිත් අයියා යන්න ගියේ සිහින අයියාවත් ඇදගෙනය …
වෙලාව ගෙවී යද්දී සිහින අයියා සමග හිත තුල තිබු තරහව වියැකී ගොස් තිබුණි ….
‘අයියා ගෙදර යන්නේ නැද්ද ..’ අදුර වැටෙන තුරුම ඔහු නොපැමිණි බැවින් මා දුරකථනය අතට ගෙන ඇමතුවෙමි …
‘යනවා ..දැන් …. ඔයා මාත් එක්ක තරහද … තරහා නැහැ නේ …. හරි දැන් මම එනවා හොද රෝසි වගේ පොඩ්ඩක් එලියට එනවාද මට ඔයාගේ මුහුණ බලලා යන්න .’
මා දුරකතනය සවනේ රදවාගෙම මිදුලට බැස්සෙමි …..මට ලංවූ ඒ රුව පැමිණියේ වැනෙමිනි …. සිහින අයියා උන්නේ බොහෝ බිමත්වය ….. යටපත්ව තිබු තරහා හිත තුල පිදිගෙන එන්න වුවේ ඉන්පසුවය …
‘මොකද ඔයා මාත් එක්ක කතා නොකරන්නේ ….. ‘’
මා පිළිතුරක් නොදී ඉවත බලාගෙනම ඉද්දි සිහින අයියා මට ලංවී ඔහු වෙත ඇදගෙන තදින් තුරුළු කරගත්තේය …. ඔහු ලගින් ආ තද සිගරට් ගද නහය තුලින් ඇතුළුව මුළු ශරීරය පුරාම පැතිර යද්දී දැනුන පිළිකුල දරාගැනීමට නොහැකිව මා කලේ ඔහුව ඉවතට තල්ලු කර දැමීමය … සත්තකින් කියනවා නම් ඒ පිළිකුලට වඩා මට ඒ මොහොතේ ඔහු ගැන දැනුනේ බියකි ….
‘මොකද මේ ..හරි ..ඔකේ …ඔකේ ..එහෙනම් මම යන්නම් …’
සිහින අයියා තවත් මොහොතක් හෝ පමා නොවී වැනෙමින්ම පාර දෙසට යද්දී මට දැනුනේ කලකිරීමකි …
මතු සම්බන්ධයි …