සුරඟනක් කඳුළක් සලා 44

44 කොටස

හුරු පුරුදු පරිසරය පසු කරගෙන රිය ඉදිරියටම යයි … මේ හැම ගහකටම මලකටම මා ආදරේ කල ඒ ඉස්සර දවස් වල නම් මම නුවර හැර දමා යනවා තබා සිතන්නේවත් නැත … ඒත් මා වඩාත් ආදරය කල ඔබ නැතිව මේ නගරයේ හුස්ම ගැනීමට පවා මට නොහැකිය … පපුව පිච්චුනා තමා ඒත් ඇස් වලට එකදු කදුලක් හෝ නොආවේය … රිය කඩුගන්නාව පල්ලම බැස එනවිට පටන්ගත් පුජා පුංචිගේ කතාව නම් නිමක් නැත ..ඇය නොයෙක් දේ කියන්නේ මා සිනා ගැස්සීමට විය යුතුය … මම මද සිනාවක් පා ඈ කියන්න ඔහේ අසාගෙන සිටියා මිස ඈ කියූ කිසිවක්ම මොලයට ගත්තා නොවේ ..

අපි දවල් දොළහ පමණ වනවිට මහරගම විජේරාම පාරේ පිහිටි බාප්පාගේ නිවසට පැමිණියෙමු … එතරම් විසල් නොවූ නමුත් නවීන පන්නයට තනා තිබු ඒ නිවස ඉතා මනහරය … බාප්පාට මේ නිවස පුජා පුංචිගේ පැත්තෙන් දායාදය සදහා ලැබී තිබුන අතර බාප්පාට රැකියාව සදහා ද යාමේ පහසුව සදහා ඔවුන් මේ නිවසේ පදිංචි වී සිටින බව පුජා පුංචි මා හට පැවසුවේ පසු දවසක කතා බහ කරමින් සිටින අතරය ..

‘පුජා දු ට එයාගේ කාමරේ පෙන්නන්න …’ බාප්පා පුජා පුංචිට කී පසු …ඇය මගේ අතින් අල්ලාගෙන කාමරය වෙත මා කැදවා ආවාය …

‘එන්න දු ..අපි වොෂ් එකක් දාගෙන ඇදුම් මාරු කරගෙනම එමු කෑම කන්න …’

මා සදහා වෙන්ව තිබු කාමරය දුටු සැනින් මගේ සිත් ගත්තේය …. නගරයේ තිබු කලබලකාරී ශබ්ධ කිසිවක් නෑසෙන සේ සකස් කර එහි ජනෙල් විවර කල සැනින් පෙනුනේ මල් වගා කර තිබු කොටසකි … මා කොහොමත් මල් වලට ආස බව දන්න නිසා බාප්පා මගේ කාමරය මෙහි සකසන්න ඇති බව මට සිතුනි …. කුඩා ඇදක් පොත් මේසයක් සහ කන්නාඩි මේසයක් සහ ඇදුම් රාක්කයකින් යුතු වූ කාමරය … ඉතා පිළිවෙලට අසුරා තිබුනා … කාමරයට යා කර තනා තිබු නාන කාමරයට වැදුණු මා ඇග සෝදාගෙන ඇදුම් මාරු කරගෙන සාලයට එනවිට පුංචි ආහාර සියල්ල සකස් කර කෑම මේසයද සකස් කර තිබුනා …

කිරට සෑදු පරිප්පු මිරිසට සෑදු මාළු පොල් සම්බෝල සමගින් කැකුළු බත් මම ආසම විදිහට හදලා තිබ්බා ..ඒ සුවද නිසා උදේ ඉදලා නොකා ඉදපු බඩ කෑ ගහන්න ගත්තා …

‘ පුන්චියෝ ඔයා මෙච්චර ඉක්මනට මේවා හැදුවේ කොහොමද අනේ …’ මම හිනාවෙලා පුංචි දිහා බැලුවා පුදුමෙන් වගේ ..පැය භාගයක් ඇතුලත එයා මේවා හදලා තිබ්බේ මට නම් හිතන්නවත් බැහැ එච්චර ඉක්මනින් උයන්න
‘ රයිස් කුකර් එකේ බත් එක තිබ්බා …. මාළු එකයි පරිප්පු එකයි ගෑස් එකේ තිබ්බා … ඔයාගේ බාප්පා තමා පොල් සම්බෝල එක නම් හැදුවේ … ඉතින් සිම්පල් නේ … ’ පුංචි හිනා වෙලා බාප්පා දිහා බලන ගමන් අපි දෙන්නාගෙ පිගන් වලට බත් බෙදුව…

‘ අනේ ඔව් පොල් සම්බෝල අනලා මගේ ඇගිලි දානවා … ඔන්න මට නම් කන්න බැහැ අතින් …’ බාප්පා නෝක්කාඩු කියනවා පුංචිට

‘ඒක තමා මහත්තයෝ මේ හැදී තියෙන්නේ ….මෙන්න ගන්න …’ පුංචි හැන්දකුයි ගෑරප්පුවකුයි බාප්පා ට දිගු කරා ..

‘ අයියෝ මට බෑ ඔය හැදී ගෑරප්පු පයිට් කරන්න .. මට ඕනා අතින් අනලා කන්න ….’ එයා පුංචි දිහා බලලා ඇහැක් ගැහුවා

‘අනේ හොර කොල්ලා මගේ අතින් කන්න තමා මේ හැම කතාවක්ම කියන්නේ .. .’ එහෙම කියලා බාප්පාගේ කනින් මිරිකලා බත් එක අරන් එයා බත් කටවල් හදලා බාප්පාට කවනවා … ඒ දෙන්නාගේ ආදරේ දැකලා මෙච්චර වෙලා එකම කදුලක් හරි හෙලන්නේ නැතිව ගල් කරගෙන හිටිය මගේ හිත දියවෙලා ගිහින් මගේ ඇහැට කදුලක් ආවා … මටත් ඕනා උනේ කවිශ් අයියත් එක්ක ඒ තරම් ආදරෙන් ජිවත් වෙන්න …ඒ කදුළු බිංදු බාප්පටයි පුන්චිටයි පේන්නේ නැතිවෙන්න පිහලා දාන්න ඕනා උනත් පුංචි මගේ කදුළු දැක්කා ..

‘සුදු දු මොකද මේ දරුවෝ මේ කදුළු … ‘ එයා බයවෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා

‘ අනේ පුංචි මේ මාළු වල මිරිස් සැර වැඩි හොදටම …බලන්නකෝ කන්නේ නැතිව ඉන්නත් බැහැ හරිම රසයි නේ ..’ මම හිනා උනා බොරුවටත් එක්ක …

**************
මට ඒ රැය පුරාවට නින්ද ගියා නොවේ …. නින්ද යාගෙන එනවිට මම කුසුමා නැන්දාගේ යක්ෂ මුහුණ පෙනී නොපෙනී යයි .. ඉතින් මා බියවී දහදිය දමාගෙන අවදි වෙමි … පහන්ගේ නිවසින් පිටවී ගොස් මගේ නිවසේ සිටි කාලයේදී මට මෙවන් සිහින එකකදු පෙනුනේ නැත … ඉතින් මේ සිදුවන්නේ කුමක්ද මා මේ නිවසේ ගෙවෙන පළමු රැයේම නපුරු සිහින වලින් බිය වන්නට පටන් ගත්තේ කිමද මේ… මා මනස අවුල් වී පිස්සියක බවට පත්වී ද කියා විටක මට සිතුනේ ය .. මම අවදි වී යහනේ අසුන්ගෙන මාගේම අත්වලින් හිසකෙස් ඇදගත්තෙමි …
‘අනේ මට බයයි මගේ අම්මි ..’ මම මගේ මේසයේ තබා තිබු අම්මිගේ පින්තුරය ගෙන පපුවට තුරුළු කරගත්තෙමි …

ඒ රැය පුරා මගේ ඇස් පියවෙන්න නැතිව ඇති .. මම ඇද පාමුල වාඩිවී මුළු රැයම ඉකිබින්දෙමි … බාප්පාට හා පුංචිට ඇසෙනු ඇතයි සිතා මම කොට්ටය ගෙන මුව තද කරගත්තෙමි ….

කවිශ් අයියා සිහි නොවුනා නොවේ .. මම ඒ මතකයන් හැකි තරම් පිටමන් කලෙමි

අනේ දෙවියනේ මට මේ සිදුවන්නේ කුමක්ද … ඒ රාත්‍රියේ මෙන්ම ඉන් පසු උදා උන හැම රාත්‍රියකම කුසුමා නැන්දාගේ යක්ෂ මුහුණ මගේ හිතේ හොල්මන් කළේය …. මම තදින් ඇස් පියා බුදු ගුණ කිවා විනා බාප්පා හෝ පුංචි අවදි කර ඔවුන්ට වදයක් වී ඔවුන්ගේ සතුට සොරා ගැන්මට නොසිතුවෙමි …

‘සුරංගනා දු කම්පියුටර් ක්ලාස් එකක් තියෙනවා … පුංචි එක්ක ගිහින් හෙට ගිහින් බලනවාද .. මහරගම ටවුන් එකේ තියෙන්නේ ..’ බාප්පා කාර්යාලයය යෑමට සුදානම් වී මා දැකීමට පැමිණ විමසයි

‘ ඔව් ඒක හොද ක්ලාස් එකක්ලු මාත් හොයලා බැලුවා … හෙට මම හාෆ් ඩේ එකක් දාලා එන්නම් .. අපි දෙන්නා ගිහින් බලලා එමු .. ඔයාට දවල් දවසේ නැත්තම් තනියම ගෙදර ඉදලා එපා වෙයි …’

මම හිස වනා එකග උනේ ක්ලාස් යෑමට ආසාවකින් නොවේ …මේ ඒකාකාරී ජීවිතය මට එපා වී තිබුණු හෙයිනි … බාප්පා සහ පුංචි කාර්යාලයට ගොස් එනවිට සවස 5 පසුවෙයි …ඒ වෙනතුරු මට මේ නිවසේ තනිව ගෙවනවාට වඩා පිටත සමාජය හා මුහු වීම හොදය ..

**************
පරිගණක පන්තිය සතියේ දින පහේම පැවති අතර සති අන්ත දිනවල නිවාඩුය .. මම පන්තියට ගියේ ඉතා සතුටිනි … මහීමා ඇය නාගරික යුවතියක් වුවත් මා සමගින් මිතුරු උයේ පළමු දිනයේදීමයි… ඇය නිතරම මා හට උදව්වට සිටියේය … කරුණාවන්ත යුවතියක් වූ ඇය මගේ වයසේම පසුවූවාය …

‘ ඔයා ඇයි හැමවෙලේම දුකින් වගේ ඉන්නේ …’ මහිමා අසන්නේ පරිගණක ක්‍රියාකාරකමක් කරන අතරතුරය ..

‘ එහෙම දෙයක් නැහැ මහි …’ මම ඇයට කාරණය සගවමි
‘ උබ කොච්චර හැන්ගුවත් කෙල්ලේ ..ඔය ඇස් දෙක අස්සේ ලොකු කතාවක් තියෙනවා .. ’ පසුව කිසිම දිනක ඇය නැවත මගෙන් ඒ පිළිබද නොවිමසුවේ ….මා එය පවසන්නට අකමැති බව සිතාවිය යුතුය …

‘ සුරංගනා ෂොපින් යමු ද …’ දිනක් පරිගණක පන්ති අතරතුර මහිමා ඇසුවාය

‘අනේ කෙල්ලේ පහට ඉවරවෙලා යන්න ටයිම් මදි නේ … ’

‘පහට නෙවෙයි අපි ඉන්ටර්වල් එකේදී ක්ලාස් එකෙන් පනිමු …’ ඇය දගකාරකමක් කිරීමට යෝජනා කරයි … ඇය පවසන්නට අකැමති විය නොහැකි නිසා මම මද සිනාවක් පා එකග වෙමි

අපි විවේක කාලයේදී පොත් බෑග් කරට දාගෙන මගට බැස්සෙමු … අපි කොල්ලු පිටියේ ලිබර්ටි ප්ලාසා එකට ගොස් මහිමාට අවශ්‍ය කරන භාණ්ඩ කීපයක් මිලට ගත්තෙමු … අපි ලිබර්ටි ප්ලාසා එකෙන් එලියට ආවා පමණි රළු අතක ස්පර්ශයක් මගේ උරහිස මත නතරවිය . ..මම තිගැස්සී හැරී බැලුවෙමි .. අදහන්න මා අසල සිටියේ ඔහුය …පහන් ඔහු එකදු ඇහි පියක් හෝ නොසොල්වා මා දෙස බලා සිටියේය …මා දැක ඔහුට කතා කිරීමට පවා අමතක වූ සේය… මම මදක් හෝ නොසිතා මහිමාගේ අතකින් ඇදගෙන සැනින් අන් අතකට දිව්වෙමි .. ඔහුට මා මගහැරුනා විය යුතුය … මහිමා බයවී උන්නිය …

‘ සුරංගනා මොකක්ද කෙල්ලේ උනේ ඒ කව්ද …’ ඇය එක හුස්මට විමසුවාය

‘ ඒ ඒ මම අදුරන කෙනෙක් … අනේ මගෙන් වෙන මොකුත්ම අහන්න එපා …’ මම සිහිනෙන් හෝ ඔහු හමුවීමට නොපැතුවෙමි …ඔහු ගැන කතා කිරීමට මට කිසිදු කැමත්තක් තිබුනේ නැත .

‘ හිටපන් අපි කැබ් එකක් අරන් යමු …’ අපි කැබ් එකක නැගී නිවසට ගියෙමු … ඇය මගෙන් කිසිවක් නොවිමසුවේ මා බියෙන් ගැහෙමින් උන් නිසා විය යුතුය .. ඇය මා නිවසට ඇරලවා යන්නට ගියේ පරිස්සමට සිටින ලෙස පවසාය

**************
එදා කොල්ලුපිටියේදී පහන් දුටුවාට පසු හිතට නිවනක් තිබුනා නොවේ …. විටෙක මා හේතුවක් නැතිවම බයවෙමි … බාප්පාට හා පුංචිට මාගේ වෙනස තේරුනා විය හැකිය … ඔවුන් වෙනදාට වඩා මා ගැන සැලකිලිමත් විය ..
ඒ සති අන්තයේ සෙනසුරාදා බාප්පා පුංචි සමගින් යාලුවෙකුගේ නිවසට ගියේ උපන්දින සාදයක් සදහාය මම කම්පියුටර් ක්ලාස් එකේ පොතක් කියවමින් සිටියෙමි … වෙලාව දිවා එකට පමණ නොනවත්වා විදුලි සීනුව නාද වෙන හෙයින් කවුරුදැයි විමසීමට මා දොර දෙසට ගියෙමි … දොර විවර කල පසු දුටු දෙයින් මා ගල් ගැසී ගියෙමි …. පහන් ඔහු මා සොයා විත් තිබුණි ..විවර කල දොර නැවත වැසීමට මා පරක්කු වී තිබුණි .. ඔහු නිවසට තුලට අඩියක් දෙකක් තබා තිබුනේය … මා කෑ ගැසීමට මුව විවර කලෙමි ඔහුගේ රළු අත මගේ මුව මත රළු ලෙස නතර උනේය …. ඉන් පසු ඒ ඇස් මා හා කතා කළේය … එයාගේ ඇස් වල තිබුනේ බයවෙන්න එපා කියනවා වගේ කතාවක් …. මා මදක් සන්සුන් වූ පසු ඔහු මුව ආවරණය කල අත ඉවතට ගත්තේය … මම හයියෙන් හුස්මක් ගෙන ලය සැහැල්ලු කරගත්තෙමි

‘සුරංගනා … ඇයි මේ බය වෙලා … බය වෙන්න එපා මම කිසිම කරදරයක් කරන්නේ නැහැ .. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න විතරයි ඕනේ …’ පහන් සන්සුන් හඩින් කිවා

‘ අනේ පහන් අයියේ ඇයි මගේ ජිවිතේ ගිනිතියන්න ඔයා ආයෙම ආවේ … මට පාඩුවේ ඉන්න දෙන්න මම වදින්නම් ..’ මම දෙඅත් එක්කොට ඔහුගෙන් ඉල්ලුවෙමි

‘ මේ අහන්න සුරංගනා … ඔයා මම කියන දේ පිළිගන්න මම හීනෙකින්වත් ඔයාට කරදරයක් කරන්නේ නැහැ ..’ එයාගේ හඩ ඇතුලේ තිබ්බේ එයා කිව දේ විශ්වාස කරන්න වගේ කතාවක්

‘ඔයා ඇයි මාව හම්බවෙන්න ආවේ …මොනවද මට කියන්න තියෙන්නේ ….’ මම හිතට ආව පැනය එයා ඉස්සරහා තිබ්බා

‘ඔයා අවුල් කරන්න ආව ගමනක් නෙවේ සුරංගනා … මට හැමදාම ඕන උනා ඔයාට එක දෙයක් කියන්න …’

‘ මොකක්ද ..’

‘ මට සමාවෙන්න සුරංගනා වෙච්ච දේවල් වලට මට සමාව දෙන්න ..’ එයාගේ ඇස් වල තිබුනේ සමාව ඉල්ලන බැල්මක්

‘ මට සමාව දෙන්න පුළුවන් පහන් අයියේ .. ඔයාට පුලුවන්ද මට රෑට පේන භයානක හීන අරගන්න …ඔයාට පුලුවන්ද මිනිස්සු මට කියන කතන්දර නවත්වන්න … මාසයක් තිස්සේ ගෙදරින් එළියේ ඉදලා කෙල්ලක් ආවාම සමාජේ එයාට කියන දේවල් ඔයා දන්නවාද අයියේ … දන්නවද … මම ඔය දේවල් නිසා මම විදවපු තරම් … මට විතරක්ද මගේ අම්මි අප්පච්චි ට කොච්චර දේවල් කියන්න ඇතිද මිනිස්සු .. අන්තිමේදී මට මගේ ගෙදරත් දාලා එන්න සිද්ද උනා …. මේ හැමදේටම ඔයයි වැරදි පහන් අයියේ … ඔයාට ආයෙම ඒ දේවල් හදන්න පුළුවන් නම් මගේ ලග ඔයාට දෙන්න සමාව තියේවි ..’ මම හිතේ තිබ්බ දේවල් ඔක්කොම එයා ඉස්සරහා කියලා දැම්මේ එයා ගේ හිත රිදෙන බව දැන දැනම

‘ සුරංගනා ඔව් මම දන්නවා මම වැරදි .. මම ඔයාට ඔයාගේ පවුලේ අයට කරපු වැරැද්ද හදා ගන්න බැරිවෙයි තමා නංගි ඒ උනාට මම දැනගෙන නෙවේ ඔය හැමදේම කලේ … දන්නවාද භාවනා නංගි තමා අපේ පවුලේ හුරතලි … අම්මා අප්පච්චි ඒ වගේම මම එයාට පුංචි කාලේ ඉදලාම පුංචිම දුකක් වත් දැනෙන්න දුන්නේ නැහැ … ’ පහන් එයා මගේ දිහා මොහොතක් බලාගෙන හිටියා …

‘ මම ඔස්ට්‍රේලියාවේ ඉදලා ගෙදර ආවේ නංගිගේ වෙඩින් එකට ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙන .. ඒත් මාව ගන්න වත් එයාර්පෝර්ට් එකට කවුරුත් ආවේ නැහැ .. මම ගෙදර ආවා කැබ් එකක් අරගෙන .. ගෙදර එද්දී ගෙදර නිකන් මල ගෙදරක් වගේ … භාවනා දෙවෙනි සැරේටත් ස්ලිපින් ටැබ්ලට් බිලා හොස්පිටල් ඇඩ්මිට් කරලා එහෙම කෙරුවේ කවිශ් ඇවිල්ලා මැරේජ් එක කැන්සල් කරමු කියලා කියපු නිසාලු …. බොහොම අමාරුවෙන් තමා භාවනාගේ ජිවිතේ බේරාගෙන තියෙන්නේ .. ඉතින් එදා රෑ අපි ගියා කවිශ් ගේ ගෙදර මේ ගැන කතාකරලා දෙකින් එකක් තීරණේ කරන්න අපි යද්දී ඔයා එහෙ … අපි ඔයාලා කතා කරන දේවල් අහගෙන හිටියා … ඔයා ගියාට පස්සේ මම අප්පච්චි දාලා ඔයාලා පස්සේ ආවා … මට ඒ වෙලාවේ මොකුත්ම කරන්න මතක් උනේ නැහැ … අප්පච්චි ලග වැඩ කරන මිනිහෙක්ට කතා කරලා කිවා ඔයාව උස්සන්න කියලා .. පස්සේ අප්පච්චිගේ මහගෙදර ඔයාව හැන්ගුවේ ..මම දැනගෙන හිටියේ නැහැ එතන එච්චර භයානක තැනක් කියලා … පස්සේ තමා මම පියදාස මාමාගෙන් දැනගත්තේ කුසුමේ නැන්දාගේ ලෙඩේ …මෙයාලා මේ මනුස්සයාට බෙහෙතක් කරලාවත් නැහැ …. අපි පස්සේ කුසුමේ නැන්දාව අංගොඩ ගිහින් දැම්මා .. මම ඔයාට කරපු වැරැද්ද හදාගන්න එද්දී අප්පච්චි ගෙදර ඇවිත් මට ඒ දේවල් කියන්න උනා .. පස්සේ උන දේවල් ඔයා දැක්කානේ ..’ එයා එක දිගට කියෝනවා එයාගේ කතාව ඇත්තක් කියලා මට තේරුනා එයා කතා කරපු විදිහට … මගේ ඇස් වලින් කදුළු බින්දු ගොඩක් ගලාගෙන ආවා ….

‘මම දැනගෙන හිටියේ නැහැ සුරංගනා ඔයා කවිශ්ට ආදරේ කියලා ..එහෙම දැනගෙන හිටියා නම් මම කවදාවත් ඔය වගේ දෙයක් කරන්නේ නැහැ … මට සමාවෙන්න දහස් වාරයක් …’ එහෙම කියපු එයා මගේ දිහා එක දිගටම බලාගෙන ඉදලා මගේ බැල්ම දරාගන්න බැරිව වගේ ඇස් අයින් කරගත්තා ඊට පස්සේ මම කතා කරන්නත් කලින් නැගිටලා යන්න ගියා …මම බලාගෙන හිටියා එයා තිතක් වෙලා පේන්නේ නැතිව යනකම්ම …. මගේ හිතට කිසිම හැගීමක් ආවේ නැහැ …හරියට හිත හිස් වෙලා වගේ මට දැනුනේ .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *