සුරඟනක් කඳුළක් සලා 48

48 කොටස

සතුට යන වචනය මගේ ජිවිතයට තහනම් වචනයක් වෙලා කදුළු වලින් පිරුණු මගේ ජිවිතේ මට ශාපයක් වෙලා කියලයි මට හිතුනෙම … මම ඇදේ වැතිරිලා කොට්ටයේ මුහුණ හංගාගෙන ඇඩුවා දුක අඩුවෙනකන් .. මේ ශරීරයෙන් ප්‍රාණය ඉවත්වෙනවා නම් හොදයි කියලත් මට හිතුනා .. ඒත් මා ඒ තරමට පින් කර තිබුනේ නැහැ …. තවත් විදවීමට මා පව්කාරියෙකු වී තිබුනා ….
සතුටින් සිටි මගේ හදිස්සි වෙනස කුමක් දැයි තේරුම් ගැනීමට බැරිව මෙන් අම්මි හිල්ලුවාය .. මම හිස ඔසවා උව ඇය දෙස බැලුවා නොව … ඇය යමක් විමසීමට ගොස් එය යලිත් ගිලගත්තේ මගේ දුක වැඩිවේ යැයි සිතාම විය යුතුය ….
මම කවිශ් අයියාව පැතුවේ එක හිතිනි … ඔහු මාගේ ආත්මය සරිය .. නමුදු ඔහු මා වෙත ලබා දීමට තරම් කිසිවෙකු මා හට කාරුණිකව නොවිය …. මා හිත හදා ගත්තෙමි … ඒ අන් අයගේ සතුට වෙනුවෙනි …ඔවුන් සියල්ල වෙනුවෙන් මම මගේ සතුට පරිත්‍යාග කලෙමි…
කලක් මට ආදරය කල මාගේ සෙවනැල්ල සේ උන් මිලාන් ඔහුට මා ලංවෙන්නට සිතුවේ කවිශ්ගෙන් පසුව මා තේරුම් ගත් එකම පුද්ගලයා ඔහු බැවිනි ….. නමුත් මා ඔහු වෙත ලන්වෙන්නට සිතද්දී ඔහු මගෙන් බොහෝ ඈතට ගොස්ය .. මගේම මිතුරිය දිනිති සමග ඔහු ලෝකයක් තනා ගැනීමට යයි .. ඉතින් මට ඔවුන් අතරට කඩා වැදී ඔවුන්ගේ ලෝකය කඩා විසුණු කර සතුට උදුරාගනු නොහැක … එම නිසා මම මාගේ සිතුවිලි සිත තුලම සගවා ගමි ….
ඒ අතීතයේ භාවානා සහ දිනිති යනු මගේ හොදම මිතුරියන්ය … මහමායාවේ දගකල යුවතියන් තිදෙනා ගැන නොදත් කෙනෙක් මුළු පාසලේම නොසිටියේය ….. අපේ මිතුදම ගැන ඉර්ශ්‍යා කල යුවතියන් බොහෝ විය … නමුත් කෙදිනක වත් අපේ මිතුදම පලුදු නොවුනේ අප අතර තිබු බැදීම නිසාමය … එවන් බැදීමක් කැඩී බිදී සි සි කඩ වී ගියේ ප්‍රේමයක් නිසාවෙන්ය … භාවනා පෙර දිනවල ඕනෑම දෙයක් පැවසීමට දිව ආවේ මා වෙතය … මාගේ පුංචිම තුවාලයක් දුටුවද මට කලින් ඇස් වල කදුළු පුරවා ගත්තී ඇයයි …එවන් ඒ මිතුදම අහිමි කරගත්තේ මා විසින්මය . … මම බරට හුස්මක් හෙලුවෙමි …

මගේ හිත හදා ගැනීමට නම් මා කුමන හෝ මගක් සොයාගත යුතුය … මට සිහි උවේ මා අසා ඇති භාවනා අසපුවකි … එය නම් භාවනා කිරීමට සුදුසුම තැනකි … මම තීරණයක් ගත්තෙමි …

*********

මම පෙර දිනක අම්මිගෙන් ඉල්ලා ගත් සුදෝ සුදු සාරියකින් සැරසුනෙමි …. කොණ්ඩයද එක කරලකට ගොතා ගත්තෙමි … මේ මා සැරසුනේ කිසිවෙකුගෙන් අවසර ගෙන නොවේ …

‘ සුදු දු කොහෙද යන්නේ මේ …’ අම්මි කෑ ගසා විමසුවේ මම ගේට්ටුවද පසු කර අඩි කීපයක් ගිය පසුය … මම බිමටම රවා ඉදිරියට ගියා විනා ආපසු හැරී අම්මිට ප්‍රති උත්තරයක් දීමට තරම් උනන්දු උවේ නැත … මා බසයක නැගී ගොස් අසපුව අසලින් බැස ගත්තෙමි …
නිහඩ පරිසරය භාවනා කිරීමට සුදුසු ලෙස සකස්වී තිබුනේය … කසාවතින් සැරසුණු චීවරධාරීන් ගමන් කරන්නේ කුහුබුවෙකු හෝ නොපෑගෙන තරම් පරිස්සමටය …. ඔවුන්ට මේ තරම් සන්සුන් සිත් ඇති උනේ කෙලෙකද කියා මම විමතියට පත් උනෙමි ….

‘අක්කා කාව හම්බ වෙන්නද …’ අතරමන් වූ ලෙස මා වටපිට බලන විට අවුරුදු හයක පමණ පොඩි නමක් මා දෙස බලාසිටදෝ ලගට විත් ඇසුවේය … මම දණ නමා අචාර කෙරුවෙමි ..

‘මම මේ ලොකු ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න කියලා පොඩි සාධු … ’

‘අන්න අතන තියෙන ධර්ම ශාලාවේ තමා ලොකු ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ …’

‘ එහෙයි පොඩි සාධු මම එන්නම් … ’

මම ධර්ම ශාලාව දෙසට පියමැන්නෙමි … මම පාවහන් පසෙක ගලවා තබා දොරටුව දෙසට පියමැන්නෙමි…. ස්වාමින් වහන්සේ කීපදෙනෙක් සමග ධර්ම සාකච්චාවක යෙදී සිටියේය ..

‘ අවසරයි ස්වාමින් වහන්සේ …’ මම ස්වාමින් වහන්සේගේ දෙපා නැමදුවෙමි

‘ මේ දැරිවි කාව හම්බවෙන්නද …’

‘ස්වාමින් වහන්සේ මම කැමති භාවනා වැඩ සටහන් වලට සහභාගී වෙන්න …. ’

‘එහෙනම් මේ දැරිවි අද තියෙන භාවනා පුහුණු වැඩමුළුවට සහභාගී වෙලාම යමු ..’

‘’එහෙයි ස්වාමින් වහන්ස …’

භාවනාවේ යෙදී සිටියදී මගේ සිත පුදුමාකාර ලෙස සන්සුන් වේ.. ….. මම භාවනා කිරීමෙන් බොහෝ දේ අවබෝධ කරගත්තෙමි … සියලු දේ නැසෙන සුළුය … අපි ආසාවන් පසු පස දිවීමෙන් සිදු වන්නේ තව තවත් සසර ගමන දිගු කරගැනීමයි .. එසේ නම් ආසාවන්ට වහල් වී අපි කරගන්නේ දුක තවත් ලංකර ගැනීම පමණක්ම නොවේද .. ඉතින් මම බොහෝ දේ තේරුම් ගත්තෙමි .. ආශාවන්ට වහල් වී නොසිටීමට උගත්තෙමි ..
****************

ඉතින් මා සන්සුන් යුවතියක් උවෙමි … වැලි කැටයකට හෝ නොරිදෙන ලෙස ඇවිදීමට පවා මා උගෙන ගත්තේ සිත තිබු සමාධිය නිසාමය … මා හඩ නගා සිනාසුනා හෝ නොවේ … සියලු දෙනා මගේ හදිසි වෙනස කීම දැයි විමතියට පත්වී සිටියේය .. මම ඇදේ වැතිරී දැස් පියා සිත සමාධියක රදවා ගත්තෙමි …

අම්මි අප්පච්චි සමගින් කාමරයට එනවා වගේ ඇසුණේය …

‘සුදු දු ..’ මම නෑසුනා සේ දෑස් පියාගෙන උන්නෙමි ..

‘කෙල්ලට නින්ද ගිහින් වගේ …’ ඒ අප්පච්චිය

‘ හ්ම්ම්ම්… ඒ වගේ …මගේ කෙල්ල අපිටත් නොකියාම භාවනා කරන්න ගියා කීවාම මගේ හිත වාවන්නේ නැහැ අනේ …’

‘ ඒ උනාට ඔහොම හරි හිත හදා ගත්තොත් ඒක ලොකු දෙයක් … අනික භාවනා කරනවා කියන එක නරක දෙයක් නෙවෙයි නේ ..’ අප්පච්චි කියන්නේ අම්මිගේ හිත හැදීමට විය යුතුය ..

‘ඒක ඇත්ත මහත්තයෝ මම ඉවසන් ඉන්නවා ..කොහොම හරි මගේ දු හිත හදා ගන්නවා නම් ලොකු දෙයක් … මට තියෙන බය කෙල්ල හැම දෙයක්ම අත ඇරලා ගිහින් සිවුරක් පොරෝ යි කියලා තමා ..’

‘ ඔයා ඕනෑවට වඩා හිතනවා එන්න ගිහින් නිදා ගමු දැන් ….’

‘ මගේ දරුවාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි …’ අම්මි පිටව ගියේ එසේ කියාය … හිත පතුලෙන් වේදනාවක් ආවේ අම්මි අප්පච්චි මා නිසා විදින දුකේ කෙළවරක් නොමැති නිසාමය

තරුණ වියේ ගැහැණු ළමයෙකු මෙලෙස ආගමට දහමට යොමුවීම අරුමයක් උවද … මා වැඩි වැඩියෙන් භාවනාව වෙත යොමු උනෙමි … මා හිත හදා ගත්තේ භාවනාව නිසාමය …

***********
මිලාන්ගේ සහ දිනිතිගේ විවාහයට තිබුනේ තවත් දිනයක් පමණි … දිනිති කොතරම් ඇවිටිලි කලද මා ෆේශල් හෝ වෙනත් යමක් කිරීමට අකමැති උනෙමි ….. මට ඒ දින කීපය ගත කිරීමට සිදු උනේ ඇදුම් සහ ආභරණ මිලදී ගැනීමට හා ඇය සමග ගමන් බිමන් යැමටය … ඒ හැම කටයුත්තකටම දිනිතිගේ පියා රථයක් ලබා දී තිබුණු හෙයින් අපහසුවකින් තොරව සියලු වැඩ කටයුතු ඉටු කිරීමට හැකි විය …. කොතරම් අකැමැත්තෙන් උවද මට ඒ කටයුතු වලට සහභාගී වීමට සිදු උයේ ඔවුන් දෙදෙනාගේ සිත් රිදවීමට නොහැකි නිසාමය … මිලාන් වැරදි හෝ තනිව මා මුණ ගැසුනා නොවේ …… වැරදි හෝ මා නෙත් මුණ ගැසුන විට ඔහු ඉවත බලා ගත්තේය ….

ඒ හවස අපි ගත කලේ රුපලාවන්‍යගාරයේය … මනාලියක් ලෙස සැරසීමට ඇගේ පෙර අවසන් රුව සත්කාරය හෙයින් අපි උදෑසන සිට ගතකලේ එහිය .. මා සහ මිලාන් පිළිගැනීමේ ශාලාවේ පසෙක තබා තිබු පුටු දෙකක ඉදගෙන උන්නා මිස කිසිවක්ම කතා කලේ නැත ..

‘මිස් දිනිති මිස් කතා කරනවා …’ එහි සේවය කරන යුවතියක් විත් පැවසුවේය … මා උන් තැනින් නැගිට ඇය උන් තැනට ගියෙමි .. ඈ රුව ආලේපන තවරාගෙන උන්නෙමි … මා දුටු විගස ඇය කතා කරන් පටන් ගත්තේය

‘අනේ කෙල්ලේ බලන්නකෝ …වෙඩින් කේක් එක හදන ආන්ටි කෝල් කරලා කිවා තුනට කේක් එක ගන්න එන්න කියලා හොද ළමයා වගේ ඔයාට පුලුවන්ද මිලාන් එක්ක ගිහින් ඒක කලෙක්ට් කරන්න …’ ඇය මගෙන් ඉල්ලීමක් කළේය … මම හිස වනා එකග වීමි …

‘ඉන්න මම මිලාන්ට කියන්නම් …’ ඇය දුරකතනයෙන් මිලාන් ඇමතිය

‘අනේ බබා කේක් එක ගණන් යන්න කිවා නේ තුනට … ඔයාට පුලුවන්ද සුරංගනා එක්ක ගිහින් කේක් එක ගන්න …’

‘ එහෙනම් පරිස්සමට ගිහින් එන්න …’

මම දිනිතිගෙන් සමුගෙන පිළිගැනීමේ ශාලාව වෙත යන විට මිලාන් කාරයේ නැගී මා එනතුරු උන්නේය ..ඔහු මා සමග නිකමට හෝ සිනාවුනා නොවේ … මා අසුන් ගත්තේ රියදුරු අසුනට මෙහා අසුනෙනි .. මට තවදුරටත් ඔහු හා නොදොඩා සිටිය නොහැකි විය ..

‘ මිලාන් කවද්ද ඉතින් රට යන්න තියෙන්නේ …. ’ මම කතාවට මුල පිරුවෙමි …

‘ ලබන මාසේ යන්න තිබුනේ .. ඒත් මට ලංකාවේ ඉන්න බැහැ සුරංගනා .. මම තීරණය කළා වෙඩින් එක ඉවර උන ගමන් ලබන සතියෙම රට යන්න …’ ඔහු පැවසුවේ මහා බරක් හිස මත ඔසවා හිදින්නෙකු මෙනි …

‘ ඔයා මේ හැම දෙයක්ම කරන්නේ සතුටෙන් නේද මිලාන් … ’ මම ඇසුවේ ඔහුගේ මුහුණේ සතුටක සේයාවක් හෝ නොමැතිව අදුරුවී තිබුනු නිසාය ..

‘ මගේ හිතේ සතුට ඔයත් එක්කම ගියා සුරංගනා ..’ ඔහුගේ හඩේ පෙර දිනවල තිබු ජිවය නොවිය …

මහා හයියෙන් ඉදිරියට ආ බසයක්‌ කාරයේ වැදී නොවැදී ගියේය … මම මහා හයියෙන් කෑ ගැසුවෙමි … මිලාන් රථය බොහෝ අමාරුවෙන් පාලනය කරගත්තේය …අපි බේරුනේ අනුනවයෙන් කිවොත් නිවැරදිය .. මම මිලාන්ගේ අතක් මත මගේ අත තබා ඔහු සන්සුන් වෙන තුරු උන්නෙමි … මද වෙලාවක් නිහඩව සිටි ඔහු මහා හයියෙන් අඩන්න විය ..පිරිමියෙකු මෙලෙස අඩනු මම කිසිදිනෙක දැක නැත … එය ඕනෑම තද හිතක් උණුවෙන දසුනකි

‘ මිලාන් අඩන්න එපා දැන් මොකුත් උනේ නැහැනේ … මේ බලන්න අපි තාම ජීවත්වෙනවා … ’ සැබවින්ම කිවොත් මා බිය වී උන්නේය .. නමුදු මට ඔහුව සැනසීමට උවමනා විය

‘ මම මැරුණා නම් කැමති සුරංගනා .. මට මැරෙන්න ඕන දන්නවද මට ඔයත් එක්ක ජිවත්වෙන්න බැරි උනාට ඔයත් එක්ක මැරෙන්න හරි ආසයි ..’ ඔහු සුක්කානමේ හිස වේගයෙන් ගසාගත්තේය … මම බොහෝ සන්සුන්ව උන්නෙමි …

‘ අපි කවදා හරි මැරෙනවා මිලාන් ඉතින් අද හරි හෙට හරි ඒක උනා කියලා වෙනසක් නැහැ .. එහෙම මැරෙනවා කියලා අපි අපේ ජිවිතේ හිතා මතාම විනාශ කරගත්තොත් ඒක ජීවත්වෙන අයට දුකක් …ඒක නිසා අපි හිත හදාගෙන ජිවිතේ ඉස්සරහට යමු ..’ මම බොහෝ නිවුණු හඩින් පවසද්දී ඔහු දෑස් අයා බලා සිටියේය

‘මට හිතා ගන්න බෑ අර ඉස්සර පිස්සු නැටුව කෙල්ල මෙච්චර වෙනස් උනේ කොහොමද කියලා … මට සතුටුයි සුරංගනා ඔයා හිත හදාගත්ත එක ගැන … ඒත් මම දන්නේ නැහැ මගේ හිත කවදා හදා ගණන් පුළුවන් වෙයිද කියලා … මට ආදරේ කියන දේ දැනුනේ ඔයා ලගදි විතරයි ..ඒක හරි පුදුමාකාර හැගීමක් සුරංගනා ඔයා ලග ඉන්න හැම වෙලේම මේ පපුව ගැහෙන්නේ අමුතු හඩකින් … අනේ මන්දා ඒ තරම් සතුටක් මට කවදාවත් දැනිලා නැහැ …ඔයා මගේ නෙවෙයි කියලා දැනෙද්දී නම් මේ පපුව පිච්චිලා අලුවෙලා යනවා … ඔලුව පිස්සු වැටෙනවා … එදා වගේම ඒ දේ අදත් එහෙමයි ..’
මට තව දුරටත් ඔහු කියන්න අසා සිටිය නොහැක … මම කාරයෙන් එපිට ඉන්නා මිනිසුන් දෙස ඔහේ බලා උන්නෙමි …මම හදිස්සියේ නෙතු ඔසවා ඔහු දෙස බැලුවෙමි ඒ නෙතු වල තාමත් කදුලුය .. ඒ කදුළු පිසීමට හෝ ඔහු සැනසීමට කියා මට කල හැකි දෙයක් නොවේ .. එසේ කර මගේ හොදම මිතුරියකට ද්‍රෝහීවීමට නොහැක .

‘ අපි දැන් යමු නේද මිලාන් …’ මම පැවසුවේ තව දුරටත් මගේ හිත හා සටන් කිරීමට මා හට නොහැකි නිසාය

‘ අද අන්තිම දවස වෙන්න පුළුවන් සුරංගනා අපි දෙන්නා මේ විදිහට කතා කරන … තව චුට්ටක් ඉන්න ..’ ඔහු මගෙන් කලේ ඉල්ලීමකි … ඉතින් මම ඔහුට එකග උනෙමි …

‘ මම දිනිතිට ලන්වුනේ ඇයි කියලා ඔයා අහයි …. මම දිනිතිට ලන්වුනේ ඔයා රිද්දන්න .. ඒ උනාට දිනිති මගේ ආදරේ දිගේ ගොඩක් දුර ගිහින් …එයාව රිද්දලා මට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ … ඒකයි මම එයාව බදින්න කැමති උනේ … අපි වෙඩින් එකට ඔක්කොම ලැහැස්ති කරලා ඔයාව පුදුම කරන්න කියලයි ආවේ … මම ඔයාගේ ඇස්වල ඒ හැගීම් එදා දැක්කම ඔයා ගේ හිතේ මන් ගැන සිතුවිල්ලක් තියෙනවා කියලා මට දැනුනා … මම පරක්කු වැඩි සුරංගනා ඒ වෙද්දී .. මට පිස්සු වගේ ඔයා මට ආදරේ කියලා දැනෙද්දී …. මම වෙඩින් එකෙන් පස්සේ රට යන්න තිරනය කලේ මගේ අතින් දිනිතිට අසාදාරනයක් වෙයි කියලා හිතුන නිසයි …ඔයා දිහා බල බලා ලංකාවේ ඉන්න බැරි නිසයි …’ ඔහු හුස්මක් උව නොගත්තා විය හැක

සංසුන් කරගෙන උන් සිත බිදුනේය සිත දෙදරා ගියේය …. මගේ ඇස් වලට කදුළු ඉනුවේ වක්කඩක් කැඩුවා සේය …. ඉතින් මට නාඩා සිටිය නොහැකි විය …

‘ මම තාමත් ඔයාට විතරමයි ආදරේ සුරංගනා ……මම මැරෙන දවසෙත් මගේ ආදරේ ඔයා විතරමයි …. ඔයා කැමති නම් මම ඔයාව බදිනවා මේ දැන් උනත් … ’ මගේ කදුළු දැක ඔහු දුක් වෙන්න ඇත …

‘අනේ මිලාන් මාව ගෙදරට ගිහින් ඇරලවන්න ….’ මා පැවසුවේ එපමණකි … මිලාන් තේරුම් ගන්න ඇත .. දැන් සියල්ල නිමාවීමට කාලය බව .. ඔහු මාව නිවසට ඇරලුවේ තවත් කිසිවක්ම නොකියාය .. මා ගේට්ටුව ලගින් බැස ආපසු හැරී නොබලාම නිවසට දිවෙමි ….

හෙට තවත් කොටසක් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *