03 කොටස
සිහින අද ඔහුව පළමු වරට මුණ ගැසෙන දවසයි …. ඔහු කොළඹ සිට අද මා බැලීමට බලංගොඩට පැමිණෙයි … වෙනදාට වැඩි වෙලාවක් මා කැඩපත ඉදිරියේ හැඩ වැඩ වූවෙමි …
‘මොකද බන් ක්ලාස් එකට ආව වෙලාවේ ඉදන් වොච් එක දිහා බලන්නේ … ’
මා ඒ පැය කීපයට සියවරක් පමණ අත් ඔරලෝසුව දෙස බලන්න ඇත .. මා උන්නේ බියෙනි … ඒ දුර ගෙවා මා දැකීමට පැමිණි ඔහු දකින්න නොලැබේ යැයි කියාය …
‘අද සිහින අයියා මෙහෙ එනවා කිව්වා මාව බලන්න …’
‘අද …. උබ යනවාද එයාව හම්බ වෙන්න …’
‘ ඔව් ….. එයා පව් ගොඩක් දුර ඉදලා මාව බලන්න මෙහෙට එන්නේ ….’
‘කවුරු හරි දකී පරිස්සමට කරන දෙයක් …’
දිනාරා ඔහු යමුවට යෑමට පෙර මට අනතුරු හැගෙව්වේය …
ඔහු එනවා කි වේලාව පසුවී විනාඩි පහළොවක් පමණ ගෙවී යන්න ඇත … ටෙක් එක ඉදිරි පස මාවත දෙසට මා පියමැන්නේ ගැහෙන දෙපා වලිනි .. කුස තුලින් ආ රිදුමක් ගත දවද්දී මා එය අමතක කර දමා ඔහු දැකීමට ඉවසිලි නැති දෙනෙත් මාවත පුරා ගෙන ගියෙමි …. මා විනාඩි ගානක් පරක්කු නිසා නොඑතැයි සිතා ඔහු ගියාවත්ද …. ඔහු මෙතරම් දුරක් ගෙවා පැමිණ මා නොදැක නොබලා යනු ඇතිද ….
කිසිදිනක නොදුටු දුරකතනයෙන් පමණක් මා ඇමතු ඔහු දැක ගැනීමේ නොඉවසිලෙන් මා වට පිට බැලුවෙමි … ටෙක් එක ඉදිරියේ තිබු කඩයක් ලගට වී බලා මා දෙස වරින් වර බලන තරුණයා ඔහු වෙන්න ඇත …. මදක් සිහින් තරුණයෙක් වූ තලෙළු පාටින් යුතු පියකරු තරුණයෙක් විය .. කළු පැහැ දිගු කලිසමකින් සහ නිල් පැහැති කමිසයකින් සැරසී උන් ඔහු වෙතින් දිස් වුවේ අමුතුම පිළිවෙලකි ….
එක්වරම දුරකථනය වරක් නාද විය …. මා ඇමතුම මගහැර ඉදිරිපස උන් ඔහු දෙස බැලුවෙමි … දුරකථනය සවනේ රදවාගෙන මා දෙස බලා උන්නේ අර තරුණයි …. මා උන් තැනම නැවතී ඉද්දි ඔහු සෙමින් සෙමින් මා ඉදිරියට ආවේය …
‘නිකිණි ….’
ඔහු මා දෙස හෙළුවේ තීක්ෂණ බැල්මකි …’
‘ඔව් අයියා …ඔයා සිහින අයියාද …’
මා වදන් මිමිණුවේ බියපත් මුවැත්තියක ලෙස වෙන්න ඇත …
‘නංගි අපි පොඩ්ඩක් කතා කරමුද .. ’
මා හිස සොලවා එකග බැවු පැවසු පසු ඔහු ඉස්සර විය ….
‘බයද …’
ඔහු ඇසුවේ ඔහුට වඩා මීටර් ගානක් පසු පසින් එන මා දෙස පිටුපස හැරී බලමිනි …
‘නැහැ …. ’
‘එහෙනම් ඇයි ගොඩක් දුරින් ඉන්නේ …’
මා සිනාසී බිමට නෙතු යොමා සිනාසුනෙම් …
‘ලස්සනයි ඔහොම හිනා වෙද්දී …’ අපි නතර වුනේ පාළු පාරක අයිනේය …. නිවසේ කිසිවෙකු දකී කියා හෝ මට බියක් දැනුනේ නැත …
‘ දන්නවාද රෝසි ….මට ඔයාව දැක්කාම අදුරගන්නවත් බැරි වුනා … බටු ගෙඩිය වගේ පුංචියට හිටිය කෙල්ල ලොකු වෙලා ලස්සන වෙලා අදුරගන්නවත් බැරි තරම් … ’
ඔහු මා දෙස බොහෝ වෙලා බලා ඉදින්න ඇත …. මා ඔහුගේ බැල්ම මගහැර බිම බලාගෙන උන්නා මිස ඒ දෑස් දෙස බැලීමට බිය වීමි …
‘අපි එහෙනම් යමු නේද …මට කොළඹ යන්නත් තියෙනවා නේ ..’
තවත් පැය භාගයකට පමණ පසු ඔහු සමුගැනීමට අවසර ගද්දි මගේ දෑසට කදුලක් නැගුනේ නිරායාශයෙනි …
‘මොකද අඩන්නේ ….. මේ ..’
මගේ කදුළු දැක ඔහු කලබල වෙන්න ඇත …
‘ඔයා යනවට දුකයි …’ මා අවසානයේ කතා කලේ ඉකිබිදිමිනි …
‘නාඩා ඉන්න මම පුළුවන් තරම් ඉක්මනින් එන්නම් ..’
එසේ පවසා ඔහු පාරේ කිසිවෙකුම නොමැති මොහොතක මගේ අතකින් අල්ලා ඔහු වෙත ඇදගත්තේය …. කෙදිනකවත් මට පිරිමියෙකු මේ තරම් ලංවී නැත …තාත්තා හෝ අයියාවත් මා ලංකරගෙන සිප ගත් බව මට මතක නැත …ඉතින් මා ජිවිතයේ ප්‍රථම වරට පිරිමියෙකුගේ උණුසුමක් ලැබුවේ අදය .. දෝතින්ම මගේ මුහුණ සෙමින් බොහෝ සෙමින් මලක් මෙන් අල්ලා ගත් ඔහු තප්පර ගානක් ඒ අඩවන් නිදිබර දෑස් වලින් මා දෙස බලා උන්නේ මගේ මුහුණේ හැම රේකාවක්ම මතකයේ රදවා ගන්න මෙනි …. ඔහුගේ මුවින් පිටවූ උණුසුම් සුසුම් නිසා හිතම යමක් අයදිද්දී මා දෑස් පියාගතිමි …. උණුසුම් සුසුම් සමග ශීතල ඔහුගේ දෙතොලේ පහස නළලත මත සටහන් වෙද්දී මා උන්නේ පියා ගත් දෑසිනි …
‘පරිස්සමින් යන්න අයියා … ’
මා ඔහුගේ දෑතින් මගේ අතක් මුදවාගෙන ඔහුගෙන් සමුගතිමි ඒ ජීවිතයේ දුක සැප බෙදාගැනීමට කෙනෙක් හමුවීම නිසා උපන් ප්‍රිතියෙනි ….
‘මැණික …..මම ආදරෙයි ඔයාට ….’
බස් රථයේ අසුනේගෙන ජංගම දුරකථනය අතට ගත් මා දුටුවේ එහි සටහන්ව තිබු කෙටි පණිවිඩයයි …
‘මාත් ආදරෙයි අයියා …’
මම ඔහුගේ පණිවිඩයට ප්‍රති උත්තර ලෙස පණිවුඩයක් යැවුවෙමි …
‘මැණික මට හිතෙනවා කවදා හරි දවසක ඔයාව මට නැති වෙයි කියලා … එදාට මට ලොකු දුකක් විතරක් ඉතුරු වෙයි …’
නැවත ඔහුගෙන් ආ කෙටි පණිවුඩය දෙස බලා සුසුමක් හෙලු මා ඔහුට පිළිතුරු යැවුවෙමි
‘නැහැ කවදාවත් එහෙම වෙන්නේ නැහැ ..කවදාවත් ඔයාට මාව නැති වෙන්නේ නැහැ …. කවුරු මොනවා කිවත් මම ඔයා ලගට එනවා ..’
ඉතින් මා සිහින සිතුම් ජයසේකර නම් ඔහු හා බැදුනේ ඔයාකාරයෙනි … පිටස්තර තරුණයෙක්ට මා පෙම් කිරීමට පටන්ගතිමි …. නොදැක ආරම්භ වූ ආදරය හමුවීමෙන් පසු වඩා වඩාත් වර්ධනය විය . ….. හැම සිතුවිල්ලක්ම ඔහු උන්නා කිවොත් නිවැරදිය ….. මගේ හුස්ම තරමට ඔහු මගේ දිවියට ලංවුනි …
********
මගේම සමනළයෝ..,
මගේ මැට්ටෝ ඔයා මේ වෙලාවේ මොකද කරන්නේ … ම්ම් ..මට නම් පාලුයි ඔයා නැතිව …මට හිතෙවා ඉගිල්ලිලා හරි ඔයා ලගට එන්න තියේ නම් කියලා ..ඒත් කෝ මට අත්තටු …ඔයාගේ අතක් අල්ලාගෙන හැමදාම කොහේ හරි යන්න තියෙනවා නම් ෂෝයි නේද …එතකොට මට පුළුවන් ඔයාට එපා වෙනකන් කියෝ කියෝ ඉන්න ….ඒත් ඉතින් ඔයා දුරයි මගේ අයියේ …ඒ උනාට ඉතින් හැමදාටම නෙවෙයි නේ …මම පුළුවන් උන ගමන් ඉගිල්ලිලා හරි මගේ සමනළයා ලගට එනවා … එතකොට සමනලයාට පුළුවන් ඔයාගේ රෝසි ලගටම වෙලා ඉන්න …
ඔයාට මම ගොඩක් ආදරෙයි අයියේ …. ඔයත් මට ආදරෙයි කියලා දන්නවා …ඒ ආදරේ හැම දවසකම වැඩිවෙනවා මිසක් කිසි අඩුවක් වෙන්නේ නැහැ … දන්නවාද අයියේ ආයෙම ජිවිතයේ කවදාවත් මට ඔයාට වැඩිය ආදරේ කරන කෙනෙක් හම්බ වෙන්න එපා ….ඔයාටත් මට වඩා ආදරේ කරන කෙනෙක් හම්බ වෙන්න එපා ..එහෙම උනොත් අපි එයාලාට ආදරේ කරයි .. අපිට අපිව අමතක වෙලා යයි …. ඒ නිසා කවදාත් එහෙම වෙන්න එපා … කවදාවත්ම එහෙම වෙන්න එපා .. මම එහෙම කිව්වේ මට ඔයා විතරක් ඕන නිසා ….
ආදරෙයි අයියේ …. හැමදාම මම ඔයාගේ විතරයි ….. මම ඔයා ලගටම වෙලා හැමදාම ආදරෙන් ඉන්නවා …
මේ ඔයාගේ රෝසි
පෙර දින රැයේ මා ලියු ලිපිය පොතක සගවා මා කාමරයෙන් පිටතට ආවෙමි ..
‘අද මොකද කුමාරි හාමි උදේම සදළුතලෙන් පහලට බැහැලා’
සහන් මල්ලි මා දෙස බැලුවේ ඔච්චමට මෙන් සිනාසෙමිනි …
‘ අද නිවාඩු නේ හලෝ ……කොහෙද යන්න මේ ලැහැස්ති වෙලා ඉන්නේ ..’
මල්ලි උන්නේ ගමනක් යෑමට සුදානම්වය …
‘නිකිණි අක්කේ මම ගෙදර ගිහින් එන්න කියලා ….සතියක් විතර නිවාඩු යි නේ ..’
‘ මල්ලි පොඩි බඩුවක් තියෙනවා …සිහින අයියාට දෙනවාද …’
‘මොකක්ද …’
‘ඉන්නවකෝ මම ගෙනත් දෙන්නම්…’
‘අනේ මන්ද තමුසෙලා මොනවා කරන්න යනවාද කියලා ..අන්තිමේට කොහෙවත් ඉන්න මටත් මේවාට උත්තර බදින්න වෙයි ..’
මා කාමරයට දිව ගොස් ගෙනා ලිපිය මල්ලිගේ අතක ගුලි කරද්දී ඔහු පැවසුවේ බරපතල ලෙසය ..
‘අනේ මොකුත් වෙන්නේ නැහැ ..මේක ගිහින් දෙනවකෝ ..මම තමුසෙට සලකන්නම් …’
‘නිකිණි අක්කා මේ විහිළු නෙවෙයි …. ලොකු තාත්තා එහෙම මේවා දැනගත්තොත් වාසල හමාරයි …අනික සිහින ඉන්නේ කුලී ගෙදරක … ගෙයක් දොරක් නැති හරියට ජොබ් එකක් නැති කෙනෙක්ට ඔයාව දෙන්න ගෙදර අය කැමති වෙයි ද..’
මල්ලි මා ඉදිරියේ පැහැදිලි කලේ යතාර්ථයයි …. නමුත් මට එය කෙලෙසවත් සිතා බැලීමට වුවමනා වුවා නොවේ ….. මගේ තාත්තාට අවශ්‍ය වුවේ කෙදිනක හෝ මා ධනවත් අයෙකුට විවාහ කර දීමටයි … මා යුවතියක් වූ දින පටන් ඔහු පැවසු යම් යම් කතා නිසා එය මා දැන උන්නෙමි …එහෙත් මට අවශ්‍ය වුවේ ධනයට වඩා ආදරයයි … ධනය තිබී ආදරය නොතිබුනොත් ජීවිතය නීරස වෙන බව මා දැනගත්තේ අම්මා සහ තාත්තා ඇසුරෙනි …
*****
දින ගෙවී ගියේ සිහින අයියා මගේ හුස්ම පොද බවට පත්වෙමිනි … ඔහුගෙන් නොඅසා මා කිසිවක්ම කලාද නොවේ … මට අන් සියල්ලටම වඩා අවශ්‍ය වුවේ සිහින අයියාගේ ආදරයම පමණි …
‘අයියා … ’
‘රෝසි …’
‘මම ආසාවෙන් හිටියේ ඔයා ආයෙම දකින්න …. දන්නවාද …ඔයා එනවා කිව්වාම මේ මැට්ටි ඇගිලි ගැන්නා ..’
මා ඉහු ඉදිරියේ හුරතල් වූවෙමි … මට පළමු දින ඔහු කෙරේ වූ නුහුරු බව නොදැනුනි … ඔහුටද එසේ වෙන්න ඇත …
‘ඒක තමා පුළුවන් උන ගමන් ඔයාව බලන්න ආවේ ..’
‘මම දන්නවා අයියා පුළුවන් නම් හැමදාම හරි ඔයා මාව බලන්න එනවා කියලා …. ‘’
‘ ම්ම්ම්ම්ම්ම්ම් එහෙනම් කෙල්ලට යමක් කමක් තේරෙනවා ..’
‘තේරෙනවා තමා …’
ඔහු සිනාසුනේ මගේ ඇගිලි වලට ඔහුගේ වමතේ ඇගිලි පටලවා ගනිමිනි …. ඒ දෑත් වල පහසින් මුළු ශරීරයම උණුසුම් වෙද්දී මා ඔහුගේ උරයේ හිස හොවා ගතිමි ..
‘මේ ඔයාට බඩුවක් ගෙනාවා ….’
ඔහු අතක රදවාගෙන උන් මල්ලක් මගේ අතක තැබුවේය ..
‘මොනාද තියෙන්නේ මේක ඇතුලේ …… ’
‘බලන්නකෝ ඇරලා …’
මා ඔහුගේ අතක වෙලිගෙනම අනිත් අතින් මල්ල ඇර බැලුවෙමි … මල්ල පුරවා ටොෆි චොකලට් පුරවා තිබුණු අතර පුංචි ටෙඩි බෙයාර් කෙනෙක්ද ඒ තුල විය .. මා එය ලයට තුරුළු කරගත්තේ වටිනා වස්තුවක් මෙනි …
‘තෑන්ක්ස් අයියේ ..’
‘ මෝඩි තෑන්ක්ස් කරන්න මම පිට කෙනෙක්ද ….’
‘නැහැ ඔයා මගේ විතරයි ..’
‘මට පුළුවන් විදිහට පුංචි දෙයක් ගෙනාවා …පුළුවන් වුන දවසට මිට වඩා ගොඩක් වටින දෙයක් ගෙනල්ලා දෙන්නම් …’
ඔහු කතා කරන දෑසින් මා දෙස ආදරෙන් බලා උන්නේය ..
‘මට මොකුත්ම එපා …මේ ආදරේ විතරක් දෙන්න ….මගේ ලග හැමදාම ආදරෙන් ඉන්න …මගේ විතරක් වෙලා ..මගේම වෙලා ඉන්න ..’
මා ඔහුගෙන් අයැදුවේ එපමණකි …
මතු සම්බන්ධයි