03

~~~යශෝධරා ~~~~
03 කොටස
‘ යශෝධරා …ඇහැරෙන්න …කෑම කන්න යන්න ඕන ‘ සන්ධ්‍යාවේ මා අවදිවුවේ සෙනුලි කතා කල පසුවය … ගමන් වෙහෙස නිසා දැනුනු තෙහෙට්ටුව නොතකා මම යහනෙන් බිමට පැන්නෙමි

කෑම ශාලාව පිහිටා තිබුනේ ළමා නිවාසයේ පහළ මහළේය … එහි දිගු මේසයක දෙපසින් පුටු තිහක් පමණ තබා තිබුනේ ගැහැණු ළමුන් සියල්ලටම එක්ව ආහාර ගැනීම පිණිසය …
‘ මේ පිගාන ඔයාට …අපි අතනින් කෑම ගන්න ඕන ‘ සෙනුලි මා අත තැබුවේ ප්ලාස්ටික් පිගාන රැගෙන මම ඈ පසු පසින් පියවර මැන්නෙමි …..
ලොකු භාජනවල තිබුණු බත් සමගින් ව්‍යාංජන දෙකක් පමණ ගැහැණු ළමුන්ට සම සමව බෙදමින් උන් කාන්තාව මගේ පිගානට බත් හැදී දෙකක් බෙදා මා දෙස බලා මදහසක් පෑවාය ….
‘මේ ළමයා අළුතින්ද ආවේ …’
‘ඔව් සුමනා අම්මා …මේ යශෝධරා අද ඉදලා අපිත් එක්කයි ඉන්නේ ..’ මා වෙනුවට පිළිතුරු දුන්නේ සෙනුලිය …
ගැහැණු ළමෝ සියළු දෙනා ම තම තමන්ගේ ස්ථාන වල අසුන්ගෙන ආහාර අනුභව කරන අතරතුර මා දෙස හොර බැලුම් හෙලීමට අමතක නොකර තිබුණි …සෙනුලි හැර අන් ගැහැණු ළමුන් මා සමග නොදොඩා සිටින්නේ අනුට බියෙන් විය යුතුය …..
‘මට මේ පරිප්පුයි බතුයි කාලා එපා වෙලා තියෙන්නේ ….’ වටපිට බලමින් කෙදිරි ගෑවේ තරූය …ඕ ගැහැණු ළමුන් සියල්ලගෙන්ම බාලයාය ….
‘ස්ස්ස්ස්ස්ස්ස් … . කියවන්න එපා මේට්‍රන්ට ඇහුනොත් බනි … ‘ තරූ දෙසට යොමුවූ අනුගේ බැල්මේ උවේ තරවටුවකි …
එතැන් සිට ආහාර ගෙන අවසන් වනතුරුම කිසිවෙකු හෝ හ්ම්ම්ම් හඩක්වත් නැගුවේ නැත ….
‘මිස් හැමෝටම හෝල් එකට එන්න කිව්වා …’
පණිවිඩය ගෙනාවේ සුමනා අම්මාය … එකිනෙකා දෙස කුතුහලය පිරුණු බැල්මන් හුවමාරු කරගනිමින් කෙල්ලන් රැස්වීම් ශාලාවට යනවිට පාලකවරිය පැමිණ බලා උන්නාය ….
‘මම ඔය ළමයිට එන්න කිව්වේ විශේෂ දෙයක් කියන්න හෙට සෙනසුරාදා ළමා නිවාසේ වටපිටාව හැමෝම එකතු වෙලා සුද්ද කරන්න ඕන …. ඉරිදාට මිස්ටර් සේනාධීර ළමා නිවසේ බලන්න එනවා …කිසිම වැරද්දක් වෙන්න තියන්න බෑ ..අනුෂිකා හැමදෙයක්ම බලා ගන්න ඕන … හැම ළමයෙක්ටම වැඩ බෙදලා දීලා ඒවා හරියට වෙලා තියෙනවාද කියන එක ඔයා චෙක් කරන්න ඕන ..’
පාලකවරිය සියල්ල භාරකලේ අනුටය . …
‘අනුෂිකා විතරක් නැවතිලා …අනිත් ලමයි ටික දැන් යන්න ..’ අනුෂිකා උඩගු බැල්මක් හෙලා පාලිකාව දෙසට යද්දී …අපි ශාලාවෙන් පිටතට ඇවිද ආවෙමු … අනු අසල නැති නිසාවෙන්දෝ කෙල්ලන් මා දෙස බලා සිනාපාන්න විය …
‘අක්කාට දුක හිතුනාද අනු අක්කි බැන්නාම …’ කුඩා දැරිය තරූ මගේ අතක් අල්ලා ගද්දි එසේ නැති බව පවසන්න මා හිස සැලුවේමි ….
‘ගණන් ගන්න එපා …ඒ තමා අනු අක්කිගෙ හැටි …. එයා කරන කියන දේවල් වැරදි උනත් හරි කියලා කියන්න නැත්තම් එයා හරිම වසයි .. එයා මෙහෙ ඉන්න මේට්‍රන්ගේ දුරින් නෑයෝලු .’
අමිෂා පැවසුවේ පිවිසුම් දොරටුව මත දෑස තබාගෙනය .. ගැහුණු ළමුන් අනුශිකාට බියවෙන්න හේතුව වෙන්න ඇත්තේ ඈ පාලිකාව සමගින් ඇති සබදතාවයය …
‘මම දත් මදින්න යනවා … ’ කතාව නවතා සජිනි නාන කාමරය දෙසට යද්දී අනිත් කෙල්ලන්ද සමග එක්වූ මාද ඒ දෙසට ඇවිද ගියෙමි …. මද වෙලාවකින් පිරිසිදු උන කෙල්ලන් රාත්‍රී ඇදුමින් සැරසී හනි හනිකට තම තමන්ට හිමි යහනට නගිද්දී මාද ඔවුන් අනුගමනය කලෙමි ….
හරියටම රාත්‍රී නවය වෙද්දී මුළු ශාලාවම අදුරින් වැසි ගොස් පුදුමාකාර නිහඩතාවකි පැතිර ගියේ.. ..එකම කෙල්ලක් හෝ හ්ම්ම්ම් කියා හෝ ශබ්දයක් නොනැගුවේ කිසියම් අභූත බියකින් මෙනි …. සන්ද්‍යාවේ නිදාගත් බැවින් නින්ද මා අසලකවත් නොවුනි …..
ඝන අදුර දෙස එක එල්ලේම බලාගෙන උන් මගේ දෑස් මද වේලාවකින් අදුරට හුරු වෙන්න විය …. පැයක් පමණ ගෙවී ගියේය ….. පරිසරයේ පැවති නිහඩතාව බිදී ගියේ මහා හඩින් තිරිංග තද කර නැවතූ වාහනයක් නිසාවෙනි …මගේ අනුමානය නිවැරදි නම් වාහනය නැවතුනේ ළමා නිවාසයේ මිදුලේය … කෙතරම් කන් දුන්නත් ඉන් බොහෝ වෙලාවක් යනතුරු වාහනය පිටවී යන හඩක් නම් නාවේය …
*******
‘යශෝධරා ….ඇහැරෙන්න … මේට්‍රන් ආවොත් ඔයාට බනිවි…’ පසුදා මම අවදී උනේ සෙනුලි ගේ හඩිනි
‘ගුඩ් මෝර්නින් …’
‘ ගුඩ් මෝර්නින් …’
‘මෙච්චර ඉක්මනට උදේ උනාද .. ’ මට දැනුනේ නින්දට වැටුන සැනින් අවදිවුවාක් මෙන් හැගීමකි …
‘ඔව් දැන් පහයි වෙලාව ….එන්න අපි මුහුණ හෝදාගෙන එමු ‘’
උදෑසන ශීතල නොතකා මුහුණ කට දොවාගෙන සුදානම් වූ මා අන් දැරියන් පාඩම් කරන කර නිමවන තෙක් බලා උන්නෙමි …
සියල්ල සිදුවුවේ පිළිවෙලටය … කාලසටහනට වැඩ කරන දැරියෝ ඒ ඒ වෙලාවට අදාළ කාර්යන් අකුරටම ඉටු කළේය …
‘දැන් කට්ටියම පිරිසිදු කරන වැඩ ටික කරන්න ….’ පාලිකාව කියූ සැනින් කෙල්ලන් වත්තට යෑමට සුදානම් විය …
‘අනුෂිකා කට්ටියත් එක්ක තේ වෙලාවට අපහු එන්න … දැන් කට්ටියම යන්න …’
දැරියන් සියල්ලගේම මුහුණුවල සිනා ඇදුනේ පිටතට යෑමට ලැබීම ගැන සතුටිනි ..
උදෑසන මිදුම පැතිර ගොස් තිබුණු නිසාවෙන් පැහැදිලිව වටපිටාව නොපෙනුනත් කෙල්ලන් පිටතට පැන්නේ උණුසුම් හැගීම් වලින් සිත පුරවාගෙනය ..
‘ශීතලයි …’ සජිනි උස් හඩින් එලෙස කියා දෑත් ලංකර පිරිමදින්න විය ….
‘දෙසැම්බර් මාසෙට කොහොමත් ශීතල වැඩියි නේ …’ ඒ සෙනුලිය
සෙනුලිගේ ශිත කබායට පින්සිදු වෙන්න සිහින් උණුසුමක් දැනුනද …. වරින් වර කබාය පසාරු කරගෙන දරුණු ශීතලක් මගේ ශරීරය තුලට කා වැදුණි … අන් කෙල්ලන්ට මෙන් මට මේ ශීතල හුරු නොවූ බැවින් මා උන්නේ බොහෝ අපහසුවෙනි ….
‘සෙනුලි නිලිකා එක්ක මල් පාත්ති සුද්ද කරන්න ….තරූ අමිෂා එක්ක පිටිපස්සේ මිදුලේ වල් පැල ගලවලා දාන්න …. මිලා ඔයා පාලි එක්ක ගේට් එක ලග තියෙන වල් පැල උදුරලා දාන්න …’’
අනුෂිකා කෙල්ලන් එකිනෙකාට කලයුතු රාජකාරි පවරන්න විය අවසානයේ ඉතුරු වුවේ මාය ..
‘යශෝධරා ….ඔයා අර එහා පැත්තේ තියෙන එළවලු කොටුවේ තියෙන පැල වලට පොහොර දාලා පාත්තියේ තියෙන වල් පැල ගලවන්න . ….’
‘මම කාත් එක්කද අක්කි යන්නේ …’ මා එය කිවේ මේ පරිසරයේ තනිව සැරිසරා නුහුරු බැවිනි …
‘ඔයා තනියම යන්න …දැන් හැමෝටම වැඩ පවරලා ඉවරයි …මාත් එක්ක කට ගහන්නේ නැතිව තමුන්ට දුන්න වැඩේ කරනවා ….’ අනුෂිකාගේ කටහඩේ පවා තිබුනේ මා පිළිබද තරහාවකි … ඉතින් ඉන් පසු මා කිසිවක්ම කියන්න නොගියෙමි ….
‘ හැමෝම තම තමන්ට දුන්න වැඩේ ඉවර කරලා හරියටම දහය වෙද්දි මෙතෙන්ට එන්න …කිසිම වැරද්දක් වෙන්න දෙන්න බැහැ ….තම තමන්ට උවමනා කරන බඩු අරගෙන යන්න …. ’
අනුෂිකා එළවලු කොටුව පිරිසිදු කිරීමට සදහා මා පමණක් යොදවන්න ඇත්තේ ඊයේ ඇතිකරගත් සිත් නොහොදකම නිසාවෙන් විය යුතුය .. මා උදැල්ල අතට ගත්තේ බොහෝ සිත් තැවුලෙනි …
‘අනු අක්කි යශෝධරා තනියම නේ ..’ සෙනුලිගේ මුහුණ පුරා ඇදී තිබුනේ දුකකි ….
‘ඔයා පණ්ඩිතයා නොවී ඔයාට දුන්න වැඩේ කරන්න …. දැන් ඉතින් මගේ මුහුණ කන්න වගේ බලාගෙන ඉන්නේ නැතිව ඔයා යන්න එළවළු කොටුවට ….’
අනුෂිකා දෑසින් පෙන්නු දෙසට මා ගමන් කලෙමි … දුටු මොහොතේ පටන්ම ඈ මා සමග අමනාපයෙනි .. මම ඇයට කම්මුල් පාරක් දුන්නේ ඈ මගේ හිතට තරහක් එක්කල නිසාවෙනි … මට අසීමිත ලෙස තරහා යාමට පටන් ගත්තේ කෙදින සිටදැයි මා සිතීමට වෙහෙසුනෙමි …
‘මේ අනුෂිකා නම් මගේ ජන්මාන්තර වෛරක්කාරියක් වගේ …’ මටම එලෙස කියා ගනිමින් මා එළවළු කොටුව දෙසට නෙත් හෙළිමි…..
සරුසාර එළවලු කොටුව එක දිගට අක්කරයක් පමණ බිමක් පුරා පැතිර ගොසිනි …දකින කිසිවෙකුගේ මන පිනවන තරම් කොළ පැහැයෙන් දිදුලන එළවලු කොටුව සාරවත්ය …. ලූණු ගෝවා ලීක්ස් බෝංචි ආදී එළවලු හිමිදිරි පවනින් සැලුණේ මා පිළිගන්න මෙනි ….. හිතේ තිබුණු දුක්බර සිතුව්ලි අතුරුදහන්ව ගොස් සැහැල්ලු සතුටකින් පිරි යද්දී මා කොරටුව දිගේ ඇවිද ගියේ වශීවී ගියාක් මෙනි …. කොළඹ වැනි කර්කශ නගරයකින් පැමිණි මට මේ නවමු අත්දැකීම බොහෝ වටිනේ විය …
එළවලු කොටුව දිගේ බොහෝ දුරක් ගිය මා නැවතුනේ විසල් තාප්පයක් අභියසය…… එය ළමා නිවාසයේ සිමාව විය යුතුය … තාප්පයෙන් එහා පසින් අහසට නැගුනු විසල් ගොඩනැගිල්ල මගේ හිතට ගෙනාවේ කුහුලකි …. මට සිහිවුවේ කුඩා කාලයේ මා උගත් යෝධයාගේ මල් උයනය …. කුඩා පාදවලට ඒ දෙසට යන්න අනුබල දුන්නේ මගේ හිතෙහි ඇතිවූ කිසියම් පෙලබවිමකි … කිසිදු හිඩැසක් ඇති නොවෙන ලෙසට බැද තිබු සවිමත් උස් තාප්පය නිසාවෙන් නිසියාකාරව දර්ශනය නොවුණු එම ගොඩනැගිල්ල දැකීමට මගේ හිතට ආවේ නොනිමි ආශාවකි …
එහා පස ඉඩමට යෑමට කිසියම් මගක් සොයා මද වෙලාවක් පරික්ෂා කල මා ඊට දුටු එකම මග උවේ තාප්පය ආසන්නේ තිබුණු අතු බෙදී එහා ඉඩමටද විහිදුනු පේර ගසකි ….. දෙවරක් සිතීමට මට උවමනා නොවුනි …. පාවහන් යුවළ ගස මුල ගලවා දමා මම ගසට නැග ගත්තෙමි …. ගස මුදුනේ සිට බලන කල එම ඉඩම දර්ශනය වන්නේ ඉතා අලංකාර ලෙසටය …. රෝස කානේෂන් ආදී මල් වර්ග වගා කර තිබුණු ඉඩම දැකීම පමණක්ම සිතට ගෙන එන්නේ අමුතුම සුන්දරත්වයකි ….
‘යශෝධරා හිතුවක්කාර වැඩ කරන්න එපා …මම කියලා තියෙනවා නේ නොදන්නා දේවල් හොයන්න යන්න එපා කියලා ..’ ඒ අතීත දිනවල ආච්චි අම්මා මට තරවටු කරන්නේ මා වීර ක්‍රියාවක් කරන්න උත්සහා කර තුවාල කරගත් පසුවය …..ඒ දිනවලද මට නොදන්නා දේවල් පසුපස යෑමේ නොනිවී ආශාවකි උවේ …
අතීත සිතුවිලි සිත තුලම දියකර දමා මා ගස දිගේ ගොස් තාප්පයට ගොඩවී තාප්පය මතින් එහා ඉඩමට පැන්නෙමි ….
මිදුම නිසා නිසියාකාරව නොපෙනුන මල් පාත්ති අතරින් ඉදිරියට ඇවිද ගිය මා නැවතුනේ රෝස මල් පාත්ති අසලය …. පිනි බින්දු වැටීම නිසා රෝස මල් වල තිබුනේ නැවුම් භාවයකි …. රතුම රතු රෝස මලක් ලග ඇස නවතිද්දී මට උවමනා උනේ එය නෙලාගැනීමටය …
‘කවුද ඔතන ඉන්නේ …’ පිටුපසින් ඇහුණ ගොරෝසු කටහඩ නිසා මා එය නවතා පිටුපස නොබලාම තාප්පය දෙසට දිවීමට සැරසුනෙමි … එහෙත් අඩියකට දෙකකට වඩා යෑමට මට ඉඩක් නොවුනි …ඉදිරියෙන් තිබුණු රෝස පදුරක ගවුම පැටලී මා එතනම බිම ඇදගෙන වැටුනෙමි ….
‘ඔය ළමයා කොහොමද මේ වත්තට ආවේ …..’ මා ඉදිරියෙන් බිම ඇදුනු සෙවනැල්ල යෝධයෙකුගේ මෙනි …මේ අර යෝධයාගේ මල් වත්තේ යෝධයාවත්ද සැනින් මගේ සිතට ආවේ ඒ සිතුවිල්ලය … හිස ඔසවා ඔහු දෙස බැලීමට සිතට ආ බිය නිසා මා වැටි උන් තැන එලෙසම උන්නෙමි ..
‘ඇයි ගොළුද …දැන් කියනවා කොහොමද මේකට රිංගුවේ කියලා පොලිසියට අල්ලලා දෙන්න කලින් …’ මොහු මාව පොළිසියට අල්ලා දෙයිද …මට හිරේ යන්න වෙයිද එකවරම සිතට දැනුනේ බියකි ….
‘අනේ සර් වදින්නම් පොලිසියට කියන්න එපා …මම හොරකන් කරන්න ආවා නෙවෙයි ….’ මම දෑත එක්කොට හිස ඔසවා බැලීමි …මා ඉදිරියේ උන්නේ අවුරුදු තිහක පමණ තරුණයෙකි …. උස මහත සිරුර නිසා ඔහුගේ මුහුණට එක්කර තිබුනේ තේජසකි ….. කම්මුල මත සටහන්ව තිබුණු තුවාල කැළල ඔහුගේ මුහුණට එක්කර තිබුනේ නපුරු කමකි … කිසිම සිනාවක් නැති හිස් බැල්මෙන් බලා සිටි ඔහු මා විශ්වාස නොකරන්න ඇත …
‘ඉස්සරලාම ඔතැනින් නැගිටලා ඉන්නවා …’ ඔහු කළේ අණකි .. එහෙත් බිම ඇද වැටීමෙන් දකුණු කකුල උළුක්කු වී ඇති බවකි මට වැටහුනේ …..
‘මට බෑ …’ සිරුර ඔසවා ගැනීමට උත්සහයක් ගත් මට කකුලෙන් දැනුනු වේදනාව මුහුණෙන් මුර්ති වෙන්න ඇත .. මද වෙලාවක් කල්පනාවෙන් උන් ඔහු නොසිතු මොහොතක පහතට නැවී මා ඔසවා ගත්තේය …මට උවමනා උවේ කෑ ගැසීමටය … මොහු මට අනතුරක් කරාවිද ….. මා සතු එකම වස්තුව මගේ ගැහැණුකමයි …. එය නාදුනන තරුණයෙකු වූ මොහු කෙලසාවිද …සිත තුල එකවර බොහෝ පැනයන් නගිද්දී මට කෑ ගැසීමට උවමනා විය …
‘සිරිල් සිරිල් ….. විමලාට එන්න කියපන් ….’ පැරණි පන්නයට ගොඩ නගා තිබු බංගලාව තුළට මා ඔසවාගෙන යන අතරම ඔහු කෑ ගැසුවේය ….
‘ඔහොම ඉන්නවා …’ කුෂන් පුටුවක මා හාන්සි කල ඔහු ඇතුල් ගේ දෙස බැලුවේ නොඉවසිලිමත් බැල්මකිනි
‘මහත්තයා කතා කලේ …’ ඉදිරියට දුවගෙන ආ නපුරු පෙනුමක් තිබුණු ගැහැනියක් මා දෙස බැලුවේ නොරිස්සුම් සහගතවය ..
‘මෙන්න මේ ළමයාගේ කකුල උලුක් වෙලා මොනවා හරි ගාලා අතුල්ලන්න ….’ ඔහු පැවසුවේ මා දෙස නොබලිමිනි …
‘කව්ද පොඩි මහත්තයා මේ කෙල්ල ’ විමලාගේ දෑසේ විමතියකි
‘කව්ද කියලා එයාගෙන් තමා අහලා දැනගන්න වෙන්නේ …’ ඔහුගේ කටහඩේ කිසිම දයාවක් ගෑවී නැත
‘ඔය ළමයා කව්ද ..’ කකුලේ බාම් එක අතුල්ලන අතර විමලා මගෙන් විමසන්න විය
‘මම අර ළමා නිවසේ ඉන්නේ …’ මා පිළිතුරු දුන්නේ ඔහුටද ඇසෙන්නය .. හදිසියේ හෝ ඔහු මා පොලිසියට භාරදුන්නොත් වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇතිවීමය …
‘ඉතින් ඔය ළමයා මෙහෙට ආවේ කොහොමද ..’
‘අර පේර ගහ දිගේ ඇවිල්ලා තාප්පෙන් පැන්නා …’
‘අද කාලේ හැදෙන ගැහැණු ළමයි කොල්ලන්ගේ වැඩ නේ කරන්නේ … ඔය ලමයා මොකටද මේ වත්තට පැන්නේ’
‘මම මල් බලන්න ආවේ …’
විමලා ප්‍රශ්න විමසන විට මදක් දුරින් උන් ඔහු ඒ සියල්ල අසාගෙන ඉන්න ඇත …
‘සිරිල් …සිරිල් ….’
‘ඇයි අපේ මහත්තයා ..’
‘මේ ගැහැණු ළමයා එක්කන් ගිහින් ළමා නිවාසෙට භාර දීලා එන්න ..’ ඔහු තවත් මොන මොනවාදෝ සිරිල්ට ගියා උන් තැනින් ඉවතට යන්න ගියේ යළිත් මගෙන් කිසිවක්ම නොවිමසමිනි ..
‘ආයේ එහෙම මේ වගේ වැඩ කරලා අහුවෙන්න එපා …අපේ මහත්තයාට ගොඩක් තරහා යයි ..’
සිරිල්ට මා භාරදී විමලා එසේ කිවේ ගොරහැඩි ස්වරයෙනි ….. මා සැනසුම් සුසුමක් හෙළුවේ ඒ විසල් නිවසේ ගේට්ටුවෙන් පිටතට යෑමෙන් පසුවය …
මතු සම්බන්ධයි

කතාව කියවලා ඔයා කතාව ගැන හිතන දේ කියලා යන්න …පුළුවන් නම් ඔයාගේ යාළුවො අතරත් කතාව ෂෙයාර් කරන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *