08
~~~~යශෝධරා ~~~
08 කොටස
ළමා නිවාසයේදී අනුශිකාගේ අඩත්තේට්ටම් වැඩිවෙද්දී මා නිහඩව සියල්ල ඉවසා උන්නෙමි .. ඒකාකාරී නීරස ජීවිතය ගෙවා දැමීම අපුලක් උවද මම ජිවත්විය යුතු උවෙමි … සෙනුලි නිසා නොවෙන්නට මට ළමා නිවාසයෙන් පැන යෑමට සිතෙනු නියතය …
‘ඔය ළමයි හැමෝම ඉරිදාට පොඩි ගමනක් යන්න තියෙනවා ලැහැස්ති වෙන්න ..’
පාලිකාව දැරියන්ට පැවසුවේ සිකුරාදා රාත්‍රී ආහාරයෙන් පසුවය …
‘ අපි කොහෙද යන්නේ මිස් …’ ඒ අනුෂිකාය
‘බණ්ඩාරවෙල ඉදලා බදුල්ල වෙනකන් කෝච්චියේ ට්‍රිප් එකක් …’
‘ නියමයිනේ ….. ’
‘ඉරිදා උදේම පහ වෙද්දී හැමෝම ලැහැස්ති වෙලා ඉන්න … හරියට වෙලාවට ආවේ නැති අයට මෙහෙට වෙලා ඉන්න වෙයි ..’
‘අපි හරියට වෙලාවට ලැහැස්ති වෙන්නම් මිස් …. ‘
දැරියන් උන්නේ ප්‍රීතියෙන් උදම්ව ගිය මනසිනි …… ගමන පිළිබද නිමක් නැතිව කියවූ කෙල්ලන් නින්දට වැටුනේ ගමන පිළිබද සිහින දකිමිනි …
පසු සෙනසුරාදා දැරියන් සියල්ලම පාහේ සුදානම් උවේ ඉරු දින ගමනටය …. ළමා නිවාසේ හිරවී ගෙවන දැරියන්ගේ ජීවිතවලට මෙවැනි අවස්ථා පැමිණෙන්නේ කලාතුරකිනි …. අන් දැරියන් මෙන් මාද උන්නේ සතුටිනි .. කෝච්චියේ ගමන් යෑමට කොහොමත් මා ප්‍රිය කලෙමි ..
‘සෙනු මම අදින්නේ මොකක්ද …’
‘අර දම්පාට මල් තියෙන ගවුම ඇදපන් ඒක උබට ලස්සනයි ..’
‘ස්විටර් එකක් ගෙනියන්න වෙයි නේද …’
‘නැතිව ..නැතිව ගන්න ’
කෙල්ලන් සියල්ල පසුදා ගමනට සියල්ල සුදානම් කරගෙන බලා උන්නේ පසුදින එළබෙන තුරුය … දිනය ගෙවී ගියේ වෙනදාට වඩා බොහෝ සෙමිනි …ඒ රාත්‍රියේ බොහෝ වෙලා යනතුරු දැරියන් උන්නේ කුටු කුටු ගාමිණි …. විදුලි බල්බ නිවා දැමු පසුද කිසියම් කෙල්ලක් රහසින් තවත් කෙනෙකුට යමක් පවසනු බොහෝ වෙලා යනතුරුම මට ඇසුනි ..
මැදියම් රැය වෙනතුරුම අවදිව උන් මට එක්වරම ඇසුනේ ළමා නිවාසයේ මිදුලේ රියක් නවතන හඩකි ..මේ රාත්‍රියේ මෙහි පැමිණෙන්නේ කවුරුන්ද … මෙහි පැමිණි පළමු රාත්‍රියේද මැදියම් රැයේ පැමිණි රියක හඩක් මට ඇසුනා මතකය ..
සෙමින් කාටත් නොඇසෙන්න අවදිව යහනෙන් බිමට බැස මා ඇවිද ගියේ ශාලාවේ කොනක තිබුණු කව්ළුව වෙතය .. හඩ නොනැගෙන සේ කව්ළුව මදක් විවර කල මා හිස හොවා මිදුල දෙස බැලීමි … මිදුලේ නවතා තිබුණු මෝටර් රථය ඉදිරියේ උන්නේ හිස ආවරණය කරගත් මිනිසෙකි… ඔහු ඉදිරියෙන් සිටගෙන හිටියේ බ්ලැන්කට් එකක් දවටා ගත් කෙනෙකි …මේ ඉන්නේ කවුරුන්ද … කොතරම් උත්සහ කලද ඔහු කව්රුන්දැයි නිසියාකාරව දැක ගැනීමට අපහසුය ….මද වෙලාවක් කතා බහ කරමින් සිටි දෙදෙනා අතර කිසිවක් හුවමාරු විය …. ඉන් පසු රථයට නැගුණු ආගන්තුක මිනිසා වේගයෙන් රථය හරවාගෙන යන්න විය .. සිදුවූ දේවල් දෙස බලා උන් මගේ සිතෙහි බොහෝ ගැටළු විය …මේ කව්ද … මොහු මෙහි කුමක් සිදු කරන්නේද ….. යලිත් යහනට වැටුණද පාන්දර යාමය වෙන තෙක්ම මා නෙතට නින්දක් නොවුනි …
බිත්ති ඔරලෝසුවේ පහේ කණිසමට අවදිවුනත් මගේ දෑස් තවමත් නිදිබරය …
‘යශෝ …අක්කි …නැගිටින්න ….. ට්‍රිප් එක යන්නේ නැද්ද …’ අවදිවී උන්නද යහනෙන් නොබැස උන් මගේ යහනට නැගී තරු මගේ අතින් අදින්න වුවාය ….
‘නිදිමතයි බබා ..’
‘අපි ඇදගෙනත් ඉවරයි …ඔයා විතරයි තාම ඉවර නැත්තේ …’ මට ගමන සිහිවුවේ එවිටය ….කඩිමුඩියේ යහනෙන් බිමට පැනගත් මා පෙරදා සුදානම් කර තිබුණු ගවුම අතට ගත්තෙමි … ගැහැණු ළමුන් සියළු දෙනාම උන්නේ හැඩ වැඩ වෙමිනි ….
‘ කට්ටියම පහලට යන්න .. ස්ටේෂන් එකට යන්න වෑන් එක ඇවිල්ලා තියෙන්නේ ..’
අනුශිකාගේ කටහඩ ආවේ ශාලාවට එපිටිනි …. මා තප්පරයට දෙකට නාන කාමරය දෙසට යද්දී අනුෂිකා මා දකින්න ඇත …
‘හරියටම විනාඩි පහකින් පහලට එනවා නැති නම් මෙහෙට වෙලා ඉන්න වෙයි ..’ අනුෂිකා මා උන් අයුරු දැක එලෙස පවසද්දී කිසිවක් නොකියු මම නාන කාමරයට වැදුනෙමි …
විනාඩි පහට මුහුණ කට හෝදාගෙන ඇද පැළද මම පහල මාලයට දිව ගියෙමි … දැරියන් කිසිවෙකුවත් වෑන් රියවත් පේන්නට නැත ….ඔවුන්ට මා තවමත් මෙහි බව අමතක උවාද …. මා සිව් දෙසම බැලුවත් එහි උන් එකම එක කෙනා සුමනා අම්මා පමණි …. ගේට්ටුව දෙස නෙත් හෙලාගෙන උන් ඈ ආපසු හැරෙද්දී මම ඇය අසළට දිව ගියෙමි …
‘සුමනා අම්මා වෑන් එක කෝ ..’ හති දමමින් විමසද්දී ඈ මා දෙසට හෙළුවේ දුක්බර බැල්මකි
‘හරියට පහට වෑන් එක මෙතනින් ගියා …සෙනුලි කිව්වා ඔයා මෙහෙ කියලා … ඒත් ඔය දරුවා දන්නවා නේ මේට්‍රන් ගැන …… එයා කිව්වා විනාඩියක්වත් පරක්කු වෙන්න බෑ යමු කියලා ..’
දෑසට කදුලු නැගෙද්දී මම උන් තැනම බිම වාඩිවුනෙමි … මෙතරම් වෙනස් කමක් …… හදවත රිදුම් දුන්නේ නෙතට කදුළු වැස්සක් එක්කරමිනි .
‘ඔය දරුවා ගිහින් නිදාගන්න තව ටිකක් .. .’
‘ ඔයා යන්න සුමනා අම්මා …. මම ටිකකින් යන්නම් .’
ශීතලේ ගැහෙමින් පාන්දර අදුර දෙස බලමින් උන් මට දැනුනේ ආත්මානුකම්පාවකි ….මා මෙතරම් අවාසනාවන්තද …. පමා උනේ විනාඩි පහක් පමණි …එහෙත් ඔවුන් මා දමා යෑමට තරම් නපුරුවී ඇත
රිදුම් දෙන හිස ඔඩොක්කුවේ සගවා ගත් මා සෙමින් ඉක්බින්දෙමි … ඒ මා ගැන උපන් දුකකිනි …
ඔඩොක්කුවේ හිස හොවාගෙන උන් තැනම මගේ නෙතට නින්ද ලගාව් තිබුනේය .. මා අවදිවුනේ වේගයෙන් පැමිණි රියක් තිරිංග තද කර නවතන හඩකිනි …..
‘මේට්‍රන් ඉන්නවද …’ පැමිණ උන්නේ අභිතය .. සිරුරම ආවරණය වෙන පරිදි කබායක් ඇදගෙන උන් ඔහු මා දෙසට හෙළුවේ තියුණු බැල්මකි …. ඒ බැල්මට මගේ හිත ගැස්සෙද්දී අසුන්ගෙන උන් තැනින් නැගී සිටි මා සිනාසීමට උත්සහ කලෙමි …
‘එයාලා ට්‍රිප් එකක් ගියා ..’
‘එයාලා කිව්වේ ..’
‘මෙහෙ ඉන්න හැමෝම ගියේ ….’
‘යශෝධරා ගියේ නැද්ද …’
මගේ දෑසේ වූ බලාපොරොත්තු සුන්වූ බැල්ම ඔහු හදුනා ගන්න ඇත …
‘මම පරක්කු උනා සර් ..’
‘ඔයාව දාලා ගිහින්ද එයාලා ..’ මා පිලිබදව උපන් අනුකම්පාවකි ඒ මුහුණේ උවේ ….
‘හ්ම්ම්ම් …’ දුක නොපෙන්නා මා සිනාසීමට උත්සහ කලෙමි
‘දුකද ඔයාට දරුවෝ ….’ ඔහු උවමනාවට වඩා මා වෙනුවෙන් දුක්ගෙන තිබුනි …..
‘දුක ….දුක කියන හැගීම අපිට අමුතු දෙයක් නෙවෙයි සර් ..’ මම මද සිනා පෑවෙමි….. ඔහු මා ගැන මේ දක්වන සැලකිල්ල නිසා මට දැනුනේ අපහසුවකි …
‘යශෝධරා කැමති නම් මම ඔයාව ඇවිදින්න එක්කන් යන්නම් ..’
‘මේට්‍රන් මට බනි …’
‘මම ඉන්නවා නේ බය වෙන්න එපා …’ නෙතේ වියලි ගිය කදුළු අළුත් වෙන්නාක් මෙන් දැනෙද්දී මම වේගයෙන් ඇසිපිය හෙළුවෙමි ….
‘එපා සර් …මම මෙහෙම ඉන්නම් …. මට කොහෙවත් යන්න ඕන නැහැ ..’
‘දැන් මම තීරණය කරලා ඉවරයි …කව්ද දැන් මෙහෙ ඉන්නේ ..’ ඔහුගේ දැඩි තීරණය හමුවේ මට කිසිවක් වෙනස් කල නොහැකි බව මම දැන උන්නෙමි …
‘සුමනා අම්මා …’ මම උන්නේ අපහසුවෙනි …. සුමනා අම්මා මා පිළිබද වරදවා වටහා ගනු ඇතැයි බියකි මා සිතෙහි උවේ ….
‘සුමනා …සුමනා ..’ අභීත මිදුලේ සිටම කෑ ගසද්දී සුමනා අම්මා පිටතට දිව ආවාය …
‘පොඩි මහත්තයා මේ හදිස්සියේ …’
‘සුමනා …. ඔයා මේ දරුවත් එක්ක ලැහැස්ති වෙලා එන්න ගමනක් යන්න ..’ අභිතගේ තීරණය ස්ථිරය
‘එහෙමයි මහත්තයා …’ මගේ හිතට සැනසීමක් ලැබුනේ සුමනා අම්මාද අප සමගින් පැමිණෙන දැන ගත් පසුවය ..
තප්පර කීපයකින් සුමනා අම්මා ඔසරියකින් සැරසී පිටතට එනතුරුම අප උන්නේ ගොළුවන් ලෙසටය ..
‘යශෝධරා ඉස්සරහින් නගින්න …’
අභිතට විරුද්ධ නොවී මා ඔහු අසල අසුන් ගත්තෙමි .
සැඩ හිරුද බණ්ඩාරවෙල පරිසරයට පෙම් කල බවකි පෙනුනේ …. හිරු රැසින් කිසිදු හිරිහැරයක් නොමැති බණ්ඩාරවෙලා තෙතබර පරිසරය මගේ ගතට ගෙන ආවේ සුන්දර හැගීම්ය …
‘යශෝධරා දන්නවාද අපි මේ යන්නේ කොහෙද කියලා ..’ මගේ ගොළු පිළිවෙල දැක අභීත විමසුවේය ….ඔහුට උවමනා වෙන්න ඇත්තේ මා කතාවට අල්ලා ගැනීමටය …
‘’කොහෙද සර් අපි මේ යන්නේ … ‘
‘බණ්ඩාරවෙල තියෙන ලස්සනම තැනකට තමයි අපි දැන් යන්නේ ..’
‘ඒ කොහෙද සර් …’
‘ගිහිල්ලාම බලමුකෝ …’
ඔහුට උවමනා වෙන්න ඇත්තේ මා පුදුම කිරිමටය …. ඉතින් මා ඔහුගෙන් කිසිවක් ඉන්පසු නොවිමසුවෙමි …පසුකරගෙන යන සුන්දර බණ්ඩාරවෙල නගරය දෙස බලාගෙන උන් මට පෙනුනේ එය පුරාන නගරයක සිරියක් ඉසුලු බවකි …. තැනින් තැන පිහිටා තිබුණු ගල් පල්ලි නිසා නගරයට එක්කර තිබුනේ එංගලන්තයේ නගරයක පෙනුමකි ….. ඒ සුන්දරත්වයෙන් වශිව දෑස් දල්වා උන් මට අභීත ලගින් උන් බවද අමතකව ගොස් තිබුණි …
මතු සම්බන්ධයි