12

~~~යශෝධරා ~~~
12 කොටස
‘සිරිල් කව්ද ඔතැන ඉන්නේ …’ මට අඩි දෙක තුනකට වඩා දුර යන්න ඉඩක් නොවුනි .. ගේට්ටුව අසළින් ඇසුනේ අභිතගේ කටහඩයි …
‘මේ අනාථ නිවාසේ වැඩකට නැති කෙල්ලක් මහත්තයෝ …’ පෙරට තැබූ පය එලෙසම තබාගෙන මම සංවාදයට කන්දුන්නෙමි ..
‘ඔය ළමයාට එන්න කියනවා …. පණ්ඩිතයා නොවී ’ අභීත කෝපයට පත්වෙන්න ඇත්තේ ඔහු හමුවීමට පැමිණි අයෙක් ආපසු හරවා යැවීම ගැනය …
‘ඒයි කෙල්ලේ මෙහෙ එනවා …’ නොරුස්සන සුළු බැල්මක් මුහුණේ රදවාගෙන උන් ඔහු දෙස මම ගෙල හරවා බැලුවෙමි …
‘ඇයි මාමේ …’
‘පොඩි මහත්තයා කතා කරනවා ..’ මගේ මුව මත ඇදුනු සරදම් සිනාව දැක සිරිල්ගේ මුහුණේ තිබුණු අදුරු බව වැඩිවී යද්දී ඔහු ගණන් නොගෙනම මම විසල් ගේට්ටුව පැන්නෙමි …
අභීත උන්නේ ගමනක් යෑමට සුදානම් විය …. අළුපාට දිගු කලිසමට ගැලපෙන සුදුපාට කමිසයක් ඇදවුන් හෙතෙම බ්ලේසරයක් දමාගෙන උන්නේ ඒ ගමන වැදගත් හමනක් නිසාවෙන් විය යුතුය … පැමිණියේ මා බව දුටු ඔහුගේ මුවට නැගුනේ සොදුරු සිනාවකි …
‘යශෝධරා ….’
‘සර්ට මගේ නමත් මතකයි නේ ..’
‘මට අමතක වෙන ලෙඩක් නැහැ ළමයෝ ..’
‘ඒ උනාට මම වගේ නොවැදගත් අනාථ කෙල්ලක්ගේ නමක් මතක තියාගත්තා කියලා සර්ට වැඩක් වෙන්නේ නැහැ නේ ..’
‘පෙනුම පුංචි උනාට කට නම් හොදටම වැඩියි ..’
අභීත සමගින් මම කතා කරමින් සිටියදී සිරිල් දෙතුන් වරක් එහා මෙහා ගියේ අප දෙදෙනා අතර සිදුවන කතාවට සවන් දීමට මෙනි ….
‘සිරිල් ගිහින් මගේ ජීප් එක හෝදලා දාපන් …’ අභිත එලෙස පැවසුවේ සිරිල්ගේ මේ ක්‍රියාව මට මෙන්ම ඔහුටද ගැටලුවක් උන නිසාවෙන් විය යුතුය …
‘එහෙමයි පොඩි මහත්තයා …’ සිරිල් යන්න ගියේ මා දෙස නපුරු බැල්මක් හෙළමිනි ….
‘මොකද යශෝදරා අද ඉස්කෝලේ යන්නේ නැතිව මෙහාට ආවේ ..’ අභිතගේ දෑසේ ප්‍රශ්නාර්ථයකි ..
‘සර් මට ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න තියෙනවා ..’
‘මොකක්ද කියන්න …’
‘සර් …. අපේ ළමා නිවාසේ ගැහැණු ළමයෙක් කාටද දෙන්න හදනවා ..’
‘ඒ කියන්නේ ..’
‘ළමයාව හදාගන්න දෙනවා කියලා කියන්නේ ….. ඒ උනාට ඒ ළමයා කැමති නැහැ කොහෙවත් යන්න …’
‘අනාථ ළමයෙක්ට දෙමව්පියෝ ලැබෙන එක හොදක් නේද …’
‘ඒ උනාට සර් …මේ ළමා නිවාසේ රවිතා කියලා ළමයෙක් හදාගන්න දීලා … තාම ඒ ළමයා ගැන කිසිම ආරංචියක් නැහැ … සර්ට පුළුවන් නම් මේ දේවල් හොයලා බලන්න … වැදලා ඉල්ලන්නම් සර් ..ඒ ළමයාගේ අකැමැත්තෙන් කොහෙවත් යවන්න එපා ….’
දෑත් එක්කර මා ඔහු දෙස හෙළුවෙ බැගෑපත් බැල්මකි …
‘යශෝධරා කිසිම දෙයකට බයවෙන්න එපා … මම මේ දේවල් ගැන හොයලා බලනවා කියලා පොරොන්දු වෙන්නම් ..’
‘මට සර්ව විශ්වාසයි ..ඒකයි ඔයාව හොයාගෙන මෙහෙට ආවේ ..’ කිසිවෙකු නාදුනන මේ බිමේ මට විශ්වාස කල හැකි එකම පුද්ගලයා අභීත පමණකි ….ඉතින් මා ඔහු ගැන බොහෝ විශ්වාසය තබාගෙන උන්නෙමි …
‘අද මම කොළඹ යනවා … ආපු ගමන් මේකට විසදුමක් දෙනවා …. යමු මම යශෝධරාව ඉස්කෝලේ ලගින් දාගෙන යන්නම් …’
‘හොදයි සර් …’
‘සිරිල් සිරිල් …..ඔය ජීප් එක ගෙනින් …’
සිරිල් පදවාගෙන පැමිණි ජීප් රිය අප අසල නවතා ඉන් බසිද්දී එහි නගින ලෙස අභීත මට හිසින් සන් කළේය … සිරිල් රවාගෙන මෙන් බලාගෙන සිටියදී මම ජීප් රියට නැගුනෙමි …
‘යශෝධරා … කිසිදෙයකට කලබල වෙන්න එපා …. මම ආපු ගමන් මේ දේවල් හොයලා බලන්නම් ..’
බාලිකාව අසලින් මා දමා අභීත පිටව ගියේ මට පොරොන්දුවක් දෙමිනි ….ඉතින් මම සිත සැහැල්ලුවෙන් බාලිකාවේ ගේට්ටුවෙන් ඇතුළට පිවිසියෙමි ….
‘ඔයා දැක්කද ….. එක්කෙනෙක් අද ජීප් එකකින් ඇවිල්ලා බහිනවා …’ ශිවන්ති මා දැක පවසද්දී ඇගේ යෙහෙළියක් සිනාසෙන්න විය … මා කලේ කිසිවක් නෑසුනාක් සේ පංති කාමරයට පිවිසීමය ..
‘අපේ තාත්තාගේ වයස ඈති බන් මෑන්ට ..’
‘සල්ලි තියෙනවා නම් වයස ප්‍රශ්නයක් නැතිව ඇති ..’
‘අපේ අම්මි කියනවා අභීත මේ පළාතේ ලොකුම සල්ලි කාරයාලු …ඒ උනාට ඒ මිනිහා හරි ගුප්තයිලු ….කිසිම මනුස්සයෙක් දිහා බලලා හිනාවෙන්නේ නැහැ … ඇගෙන් ඇටයක් යයි කියලා හිතලා වෙන්න ඇති … එයාගේ ගෙදර ඉන්න අනිත් ඈයොත් ඉතින් එයා වගේම තමා … හරියට පිටසක්වල ජීවියෝ වගේ ..’
ඔවුන් මා අරභයා අභීත පිළිබඳව බොහෝ දේවල් පවසද්දී මම නිහඩවම පංති කාමරයෙන් මිදුලට බැස්සෙමි … ඒ ඔවුන් සමගින් රණ්ඩු කිරීමට හිතට ආ සිතුවිල්ල යටපත් කරමිනි …
‘ අහගෙන ඉන්න බැහැ වගේ යන්නේ ….’ කිසිවක් නොකියූ මුත් මා ඔවුන් දේට හෙළුවේ දඩබ්බර බැල්මකි ..
‘මොකද අනාථ කෙල්ල රවන්නේ … ‘ මට උවමනා උවේ ඇගේ කම්මුල රතුවෙන තුරු …මගේ තරහා අවසන්වෙන තුරු පහර දීමටය …
‘වරෙන් යශෝ යන්න … ’ ශිවන්තිගේ වෙලාව හොදය … සෙනුලි විත් මගේ අතකින් ඇදගෙන වෙන අතකට ගියාය ….
‘මොකද දෙන්නා ගහගන්න ලැහැස්ති වෙලා වගේ හිටියේ …’
සෙනුලි විමසුවේ ශිවන්තිලා පසුකර මිටර් ගානක් ඉදිරියට ගොසිනි …
‘ශිවන්ති හැම වේලේම කරන්නේ මගේ හිත රිදෙන දේවල් කියන එක …’
‘ගණන් ගන්න එපා යශෝ ..ඒකි ඔයාට ජෙලස් …. ඔයා හැමදෙයකට දක්ෂයි ….. ටිච්ර්ස්ලත් ඔයාට ගොඩක් ආදරෙයි …. ඔයා ආවාට පස්සේ එයාට පංතියේ තිබ්බ තැන නැතිවුනානේ …’
සෙනුලිට උවමනා වෙන්න ඇත්තේ මගේ හිත සැනසීමටය .. එහෙත් මගේ හිතේ ශිවන්ති වෙනුවෙන් ඇතිව තිබුනේ නොපැහැමකි … අභීත සහ මා සම්බන්ධ කාර ඔවුන් තෙලපු වදන් සිහිකිරීම පවා අප්‍රසන්න සහගතය ….

*******************
තරූගේ දෑසේ කදුළු දකිද්දී මට හිතුනේ අභීත හැකි විගසින් මෙහි එනවා නම් හොදය කියාය … කුඩා දැරිය ළමා නිවාසයෙන් නික්මන් වෙන දිනය ලගාවෙද්දී මගේ හිතට දැනුනු බිය දෙගුණ තෙගුණ වෙන්න උවේ හදිසියෙවත් අභීත නාවොත් සිදුවන්නේ කුමක්ද කියාය …. තරූගේ ප්‍රශ්නය නිසාවෙන් තෙවන මහලේ අභිරහස විසදීම මා පසුවට කල් තැබුවෙමි ….
‘යශෝ අක්කි මට බයයි … හෙට අර කට්ටිය එනවාලු මාව ගෙනියන්න …’ හැඩීම නිසා රතුවූ මුහුණින් මා සොයා පැමිණි කුඩා දැරිය දුක කියන්න උවාය …
‘දුක් වෙන්න එපා පැටියෝ …… අන්තිම මොහොතේ හරි විසදුමක් ලැබෙයි ..’’ මට උවමනා උවේ දැරියගේ මැලවුණු මුහුණේ සිනාවක් දැකීමටය එහෙත් ඇයට සිනාසීමට අපහසු වෙන්න ඇත ..
ඒ රැය ගෙවී ගොස් පසුදාට පහන් උවා ඉක්මන් වැඩිවූවා වෙන්න ඇත …. තරූගේ වෙන්ව යෑම නිසා දැරියන්ට පාසල් නොයා සිටීමට පාලිකාවගෙන් අවසර ලැබී තිබුණි …
‘තරූ බබා ඔයාගේ ඇදුම් බෑග් එක ලැහැස්ති කරගත්තාද …’ අනුෂිකා එසේ අසද්දී දුක් ගත් මුහුණෙන් බලා උන් දැරියගේ මුවින් පිටවුවේ ඉකිබිදුමක් පමණි ….
‘ ඔයා එක්කන් යන්න ඒ අය දහය වෙද්දී මෙහෙට එනවා … ලැහැස්ති වෙලා පහලට ඇවිත් ඉන්න ..මතක තියා ගන්න හොද ළමයෙක් වගේ හැසිරෙන්න ඕන ..’ අනුෂිකා පිටව ගියේ එලෙස පවසමිනි

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *