13 කොටස
13 කොටස
‘දැන් කට්ටිය මොනවා හරි කාලා ආයෙම ගමන පටන් ගමු …ගනිල්ලා බලන්න …උබලා හදාගෙන ආව කෑම එහෙම …’
චමත් අයියා එහෙම කිව්වම කට්ටියම තැන් තැන් වල වාඩිවෙලා තමන්ගේ බෑග් වල තිබ්බ කෑම පාර්සල් එළියට අරන් දිග අරින්න පටන් ගත්තා … වසන්තා ඇන්ටි ඊයේ රෑ හදලා දුන්න කිරි අළුවා පාර්සල් එක අතට අරන් මම තේමිය අයියා දිහා බැලුවා ….
‘අපේ ලොකු පුතාගේ ආසම කෑම තමා කිරි අළුවා … ගෙදර ආවම මොනවද පුතේ ඔයාට ඕන කියලා ඇහුවාම එයා කියන්නේ මොකුත්ම එපා කිරි අළුවා විතරක් හදලා දෙන්න අම්මා කියලා …’
ඊයේ රෑ මාත් එක්ක එකතුවෙලා කිරි අළුවා හදද්දී ඇන්ටි කීව කතාව මතක් උනාම මට හිතුනේ තේමිය අයියාට අළුවා කෑල්ලක් දෙන්න ඕනි කියලා ඒත් ඉතින් මම කොච්චර බැලුවත් එයාට මාව ගානක්වත් නැතිව අනුත්තරාලා එක්ක හිනාවෙවී ඉන්නවා …
‘මොකද බන් අලුවා පාර්සල් එක ඔඩොක්කුවේ තියාගෙන භාවනා කරනවාද … දීපන් මෙන්න මෙහාට ….’ මලිෂ් අළුවා පාර්සල් එක උදුරාගද්දී කට්ටියම කපුටෝ වගේ ඒකට වහ වැටුනා … මාත් කොහොමහරි අත දාලා පොරකාලා අළුවා කෑල්ලක් ගත්තේ තේමිය අයියාට දෙන්නම් කියලා හිතාගෙන … අළුවා කෑල්ල පරිස්සමට අරන් මම පැත්තකට වෙලා බලාගෙන හිටියා තේමිය අයියා මගේ දිහා බලයි කියලා ඒත් එයා වගේ වගක් නැතිව ඉන්නවා …. කට්ටිය කෑම කාලා එහෙ මෙහෙ වෙනකන් ඉදලා ඕන කෙන්ගෙඩියක් උනාවේ කියලා මම හෙමින් හෙමින් එයා දිහාවට ලංවුනා …එයා ඈත පේන කදු පන්තිය දිහා දුරේක්ෂයකින් බල බලා හිටියේ ….
‘තේමිය අයියා …. ‘’ මම කතා කරත් ගානක් නැතිව එයාගේ වැඩේ කර කර ඉන්නවා ..
‘තේමිය අයියා …’ මම දෙවෙනි සැරේටත් එයාට කතා කලේ ඉස්සරලා ඇහෙන්න නැතිව නැති කියලා හිතලා …. තවත් විනාඩියකට පස්සේ එයා මගේ දිහා බැලුවා …. මම අතේ ගුලි කරගෙන හිටිය කිරි අළුවා කෑල්ල එයා දිහාවට දික්කරා …
‘මොනවාද …’ එයා කිසිම උනන්දුවක් නැති විදිහට එහෙම ඇහුවේ …
‘කිරි අළුවා …..ඔයා ආසයි නේද ..’ මම ඔළුව ඇලකරගෙන ඇස් පුංචි කරලා එයා දිහා බැලුවේ ඒ ගල් හිත චුට්ටක් හරි මම වෙනුවෙන් උනුවෙයි කියලා හිතාගෙන ..
‘මට එපා …’ එයා මම එයා දිහාවට දික්කරගෙන හිටිය අත එයා අයින් කරද්දී මගේ අතේ තිබ්බ අළුවා කෑල්ල බිමට වැටිලා කෑලි කෑලි වලට කුඩු වෙලා යද්දී මගේ හිත කුඩු පට්ටම් වෙනවා වගේ මට දැනුනේ …
‘ඔයා හරි නපුරුයි අයියා …’ මම එයා දිහා බලලා ….කදුළු එන්න නලියන ඇස් පිහාටු හයියෙන් ගහගෙන ගහගෙන ගියා .. ජිවිතේ කවදාවත් පුංචිම දෙයකටවත් අඩලා නැති මම හැම දෙයක්ම හිනාවෙලා අමතක කරා ….එහෙම හිටපු මගේ ඇස් වලට කදුළු ගේන්න පිරිමියෙක්ට පුළුවන් උනා කියලා දැනගත්තොත් කොන්වට් එකේ මගේ යාළුවෝ පුදුම වෙයි …
‘දේව් උබට මාර ගල් හිතක් නේ තියෙන්නේ …. පන්තියේ කට්ටියම අඩද්දී උබ ගුටි කාලාත් හිනාවුනානේ …අනික පන්තිත් තහනම් සතියක් ’
දවසක් කොන්වන්ට් එකෙන් එහා පැත්තේ තියෙන වත්තට පැනලා යාළුවොත් එක්ක අඹ කඩාගෙන කාපු දවසක ප්‍රින්සිපල් මැඩම්ට අහුවෙලා වේවැල් පාර කාලා සතියක් පන්ති තහනම් කරපු දවසේ මම විතරක් හිනාවෙවී ඉද්දි පන්තියේ යාළුවෝ මට නෝක්කාඩු කිව්වා
‘ආයේ මගේ ඉස්සරහට ඔය ව්දිහට එන්න එපා …’ තේමිය අයියා මම එතන ඉද්දි අනිත් කට්ටිය හිටපු පැත්තට යන්න ගියේ හරි නපුරු විදිහට මගේ දිහා බලලා … මම තොල් විකාගෙන මාව පාලනය කරගත්තේ මට ඇඩේයි කියලා හිතුන නිසා …… කවදාවත් ඇඩුවේ නැති මම මාව රිද්දන කෙනෙක් වෙනුවෙන් මේ තරම් හිත රිද්ද ගන්නේ ඇයි කියලා මට තේරුනේ නැහැ ..අනික මම දැනගෙන හිටියේ නැහැ එයා මට ගණන් උස්සන කාරණය මොකක්ද කියලා ….ඒ මොකක් උනත් බරපතල දෙයක් වෙන්න ඕන
‘මොකද බන් ඇටි කෙහෙල් කාපු මොකාද එකා වගේ පැත්තකට වෙලා බුම්මගෙන ඉන්නේ ..’
හිමායා දුවගෙන ඇවිත් පැත්තකට වෙලා හිටිය මාවත් ඇදගෙන යාළුවො ගොඩ මැද්දට යද්දී මම අමාරුවෙන් මුහුණට හිනාවක් අරගත්තා …
‘දැන් අනිත් කන්දට යන්න පල්ලම් බහිමු … එකෙක්වත් මග ඇරෙන්නේ නැතිව එකා පිටිපස්සෙන් එකා එන්න ඕන …. දන්නවා නේ මේ කැලේ සත්තු සර්පයෝ මහා හුගක් ඉන්නවා ..’
තේමිය අයියා එහෙම කියලා ඉස්සර උනා … තේමිය අයියලා සැරෙන් සැරේ මේ කදු තරණය කරලා තිබ්බත් එයත් බොහොම අමාරුවෙන් තමා පාර හොයාගෙන ඉස්සරහට ගියේ ….. කදු අතරේ තිබ්බ මාන පදුරු නිසා අපේ ගමන ලේසි උනේ නැහැ …. අමාලිට සපෝරට් එකට මලිෂ් එයා ලගින්ම යද්දී හිමායාට හෙල්ප් කරන්න සැරින් සැරේ තරිදු අමතක කරේ නැහැ … ගගුලිත් ජනිත් ලගින්ම ගියේ වෙනදා නොතිබ්බ ලෙංගතුකමකින් … බිනුර නම් ආර්ට් එකේ ඉගෙන ගන්න ගර්ල් ට ආරංචි වෙයි කියලා ගොඩක් විනීත විදිහට ගියේ .. රොනාෂා පස්සෙන් ආව තවත් ගැහැණු ළමයි ටිකකට සෙට් වෙලා හිටියේ අලුතින් හම්බ වුන යාළුවොත් එක්ක එයා හිනාවෙවී ආවත් මගේ හිතට නම් කාත් එක්කවත් යාලු වෙලා කතාකරන්න තරම් ෆිට් එකක් තිබ්බේ නැහැ …
අපි ඉස්සරහාට ඇවිදගෙන ගියේ මහා කැලෑවක් වගේ තැනකින් . හරියට පාරක් හොයා ගන්න බැරි විදිහට කැලෑ වෙලා තිබ්බ නිසා කට්ටියම එක රොත්තට තමා ඉස්සරහට ඇවිදගෙන ගියේ .. කන්ද මගක් බැහැගෙන ඇවිල්ලා කට්ටියම එකතුවෙලා අනිත් පැත්තේ කන්දට යන්න පාර හෙව්වා …
‘ගිය සැරේ එද්දී මෙතන පාරක් තිබ්බා නේ …ඒක නිකන් රහස් උමගක් වගේ එකක් ….කෝ බන් ඒක නැහැ නේ ..’
චමත් අයියා වට පිට බල බල රහස් පාර හෙව්වා
‘දැන් ඉතින් ඔය රහස් පාර හොයන්නම රෑ වෙයි …. එහා පැත්තට යන්න වෙන පාරක් හොයපල්ලා …’
තේමිය අයියා එහෙම කියන ගමන් එහෙ මෙහෙ ගියේ වෙන පාරක් හරි හොයාගන්න වෙන්න ඕන ..
‘අඩෝ චමා මේ බලපන් මෙතන පොඩි පාරක් තියෙනවා …’
තේමිය අයියා ගුහාවක් එකක් මැදින් වැටිලා තියෙන පාරක් පෙන්නුවාම චමත් අයියා දුවගෙන වගේ එතෙන්ට ගියා ..
‘තේමි මේ පාරේ අපි කවදාවත් ගිහින් නැහැ නේ …අපි යමු හැබැයි පොඩි රිස්ක් එකක් ගන්න වෙයි මේ ගමනට ..මොනවාද කියන්නේ ගායිස් ඔයාලා කැමතිද …’
කරන්න දෙයක් නැති කමට වගේ කට්ටියම කැමති උනේ මේ අභියෝගයට මුහුණ දෙන්න ඕන කියන හැගීමෙන් ….
‘හරි එහෙනම් කට්ටියම ඉස්සරහට යමු … ’ තේමිය අයියා ඉස්සර උනාම අපි එයාගේ පස්සෙන් වැටුනා …ඒත් වැඩි දුරක් යන්න කලින් අපිට හම්බ උනේ අඩි පහළොවක් විතර යට ප්රපාතයක් ….
‘දැන් මොනවාද කරන්නේ මෙතනින් පාර ඉවරයි ……මෙතනින් පහලට කබ වලින් තමා බහින්න වෙන්නේ … අකැමති නැති අය ඉන්නවාද…. සමහර විට මෙතනින් පල්ලෙහා එහා කන්දට යන පාරක් තියෙන්න පුළුවන් ’
චමත් අයියා එහෙම කිව්වම කවුරුත් කට ඇරියේ නැහැ බැහැ කියන්න … මෙච්චර දුර ඇවිත් ආපහු හැරෙන්න කවුරුවත් කැමති උනේත් නැහැ … කොහොමහරි තේමිය අයියා බෑග් එක ඇතුලේ තිබ්බ කබයක් අරන් ලග තිබ්බ හයිය ගහක එක කොනක් ගැට ගහලා අනිත් කොන පහලට දැම්මා …
‘දැන් එක එක්කෙනා හෙමින් සැරේ පහලට ලිස්සලා යන්න …’
ඔන්න එක එක ළමයා ගිහින් කබේ දිගේ පහලට යනවා …. මම පැත්තක ඉදලා බලාගෙන හිටියා …
‘ඇයි තමුන්ට පල්ලෙහාට යන්න අදහසක් නැද්ද ..’ මම ගානක් නැතිව පැත්තකට වෙලා ඉද්දි චමත් අයියා එහෙම අහද්දී …තේමිය අයියා මගේ දිහා බැලුවා පැය ගානකට පස්සේ
‘ඔන්න ඔහේ හිටපුදෙන් බන් දිවියෙක් ඇවිල්ලා ඇදගෙන යන්නේ නැතා …’
මේ ගමන එන්න පටන් ගද්දි එක එක ළමයි කිවුව දේවල් මට මතක් වෙන්න පටන් ගත්තා …ට්‍රිප් ආපු ළමයි මේකේ තනියම ඇවිදින්න ගිහිල්ලා දවස් ගණන් අතරමන් වෙච්ච හැටි …. දිවියොන්ගෙන් අනුනවයෙන් බේරුණු හැටි මතක් වුනාම මගේ ඇගේ තිබ්බ රෝම කුප ඔක්කොම කෙලින් උනා .. මම විනාඩියට ගිහින් කබේ එල්ලෙද්දී තේමිය අයියා කට කොනකින් හිනාවෙනවා … ආඩම්බරේ මහා ලොකුවට තියෙනවා ඒ උනාට මට හිනාවෙන්න එනවා …
කට්ටියම පල්ලෙහාට බැහැලා අඩිපාරක් හෙව්වත් පේන මානෙක අඩිපාරක් තිබ්බේ නැති නිසා තේමිය අයියා ඉස්සර වෙලා ඉස්සරහට ඇවිදගෙන ගියේ මාන පදුරු පීරාගෙනමයි …
‘අපි වැරදි පාරක ආවද දන්නේ නැහැ … බලපන්කො පාරක් පේන මානෙක නැහැ …’ චමත් අයියා එහෙම කියද්දී ළමයි කට්ටියම බයවෙලා කියලා ඒ වෙලාවේ ඒ මුහුණු දැක්කාම ඕන කෙනෙක්ට හිතෙනවා
.’ලිදේ වැටුණු කෙනා ලින් කටින්ම ගොඩ වෙන්න එපායෑ …. මොකද කියන්නේ තේමි අපි ආපහු නගිමුද උඩට …’
චමත් අයියා ආපහු හැරිලා යන්න තමා යෝජනා කරේ ..
‘පිස්සු කරන්න එපා … මෙච්චර දුර ඇවිත් ආපහු යන එක අපරාධයක් ..අපි කොහොම හරි මේ ගමන ඉස්සරහට යමු … අපි ලින් කටින් නෙවෙයි ….අලුත් පාරක් කපාගෙන හරි ඉස්සරහට යනවාමයි ..’
තේමිය අයියාගේ කටහඩේ තිබ්බේ අධිෂ්ඨානයක් … එයාගේ කතාව ඇහුව එකෙක්වත් ආපහු යන්න කැමති උනේ නැහැ ….. තේමිය අයියා පස්සෙන් ඔක්කොම ඇවිදගෙන ගියා . අපි ගිය පාර නම් එච්චර ලේසියෙන් යන්න පුළුවන් පාරක් කියලා පෙනුනේ නැහැ …ගස් උඩින් ….ගල් උඩින් බඩ ගාගෙන දන ගාගෙන ඇවිදගෙන ගියපු ඒ ගමන අපේ හිත් බය කරත් කිසිම වෙලාවක තේමිය අයියා අපේ හිත්වල තිබ්බ ශක්තිය නැතිවෙන් ඉඩ දුන්නේ නැහැ …එයා කලේ කවුරු හරි කෙනෙක් වැටෙද්දී එයාට අත දුන්න එක ….
‘මේ වගේ ට්‍රේනින් එකක් ආමි එකට ගියාත් හම්බවෙන්නේ නැති වෙයි …’ තරිදු එහෙම කිව්වේ හිමායාගේ අතකින් අල්ලාගෙන එයාට ඉස්සරහා තිබ්බ ගලකින් තවත් ගලකට මාරු වෙන්න උදව් කරන ගමන් …
‘මේ පාරෙන් යන පලවෙනි ටීම් එක අපිද දන්නේ නැහැ … ‘ ජනිත් එහෙම කිව්වාම බිනුර එක අනුමත කරන්න වගේ ඔළුව හෙල්ලුවා …..
දැන් වෙලාව තුනටත් ලංවෙලා …. කතා නොකරත් තේමිය අයියා සැරින් සැරේ මගේ දිහා බලන විදිහ මම දැක්කා …. එයා ගොඩක් වෙලාවට මට සමාන්තරව තමා ඇවිදගෙන ගියේ …ඒ උනාත් මාත් එක්ක කතා කරන්න නම් එයා ආවේ නැහැ …මාත් ඉතින් එයාට සෙකන්ඩ් වෙන්න යන්නේ නැතිව මගේ පාඩුවේ ඉස්සරහට ඇවිදගෙන ගියා ….මේ වෙලාව වෙද්දී අපි ඇදුම් ඉරාගෙන මඩ නාගෙන කන්ද නගින ගමන් හිටියේ ….
‘ මොණරි බලාගෙන ඔන්න ඔතන තියෙන ගලට අඩිය තියන්න එපා …’
චමත් අයියා එහම කියද්දී මම ඉලගට තිබ්බ ගලට අඩිය තියලා ඉවරයි…… නරක් වුන දතක් වගේ හෙල්ලෙන ගමන් තිබ්බ ගල මගේ බරට පාත්වෙලා ගැලවිලා වැටෙද්දී මගේ තුලනය නැතිවෙලා මාවත් ලෙස්සලා බෑවුම දිගේ පහලට රූටලා වැටෙන්න පටන් ගත්තා …
මතු සම්බන්ධයි