13

~~~~~යශෝධරා ~~~~~~
13 කොටස
තරූ කම්පා වෙමින් …හඩා වැටෙද්දී … ඇය සැනසීමට කිසිවෙකුට හැකිවුවා නොවේ …… මව්පියන්ගේ වියෝවෙන් පසුව තරූ නිවස කරගත් ළමා නිවාසය හැරයාම ඇයට බොහෝ දුෂ්කර වෙන්න ඇත …. මට හෝ කිසිදු දැරියකට ඇය වෙනුවෙන් කළහැකි යමක් උවා නොවේ ..
ඔරලෝසුවේ කටු කැරකුණේ වෙනදාට වැඩි වේගයෙනි …. වෙලාව ගෙවී යද්දී තරූ වෙනුවෙන් තිබු අවසාන බලාපොරොත්තුවද බිද වැටෙමින් පැවතුනි ….. කඩවුණු බලාපොරොත්තු වලින් හිත පෑරෙද්දී මම ගේට්ටුව දෙස බලා උන්නෙමි ….
තරූගේ නව දෙමාපියන් පැමිණියේ වෑන් රියකිනි … …. කිසිදු කාරුණික බවක් නොපෙනුණු ඔවුන් මැදිවියද ඉක්මවමින් උන්නෝය …
‘ඇන්ජලා කොයි අපිට දෙනවා කිව්ව දැරිවි …’ පැමිණි කාන්තාව දැරියන් දෙස බලා උන්නේ ගිලගන්න මෙනි …
‘තරූ ඉස්සරහට එන්න ..’ මට මුවාවී උන් තරූ ඉදිරියට පැමිණියේ පාලිකාවට බියෙනි …
‘අනේ බලන්න මහත්තයා හුරතල් කෙල්ලක් නේද .. ’ කාන්තාව ඇයට නුහුරු කරුණාවක් පෙන්වීමට තැත් කළාය …
‘ඔයා කැමති නේ ….’
‘ඔව් .. මම කැමති …මේ කෙල්ලෝ ඔක්කොම ටික හරි මට දෙනවා නම් ..’ ඇය නැවත නැවත අප දෙස බලන්න උවේ ලෝභකමකිනි …
‘ මිස්ටර් සිරිමෙවන් මේ ලියකියවිලි ටික අත්සන් කරලා දෙනවද ..’ පාලිකාව ෆයිල් කවරයක් ගෙන සිරිමෙවන් මහතා ඉදිරියේ තැබුවෙත් වේගයෙන් පැමිණි ජීප් රියක් ළමා නිවාසේ ඉදිරියේ නැවතුනෙත් එකමවරය ….
‘මොකද මෙතන වෙන්නේ …’ අභීත රියෙන් බැස්සේ ගුගුරමිනි …
‘මිස්ටර් සේනාධීර මෙහෙ …..’ පාලිකාවගේ මුහුණ හුණු කෑල්ලක් මෙන් සුදුමැලිව ගොසිනි …
‘ඇන්ජලා මොකද වෙන්නේ කියලා කියනවාද හරියටම මට ….’ පොළොවේ අඩිය ගසමින් අභීත කෑ ගැසුවේය ….. කෝපය නිසාවෙන් ඔහුගේ මුහුණේ විරූපී භාවය වැඩිව ගොසිනි
‘මිස්ටර් සේනාධ්ර වාඩිවෙලා ඉමුකො ..’ පාලිකාව සංසුන් වීමට උත්සහා කලත් ඇගේ මුහුණ තවමත් නොසන්සුන්ය
‘මට වාඩිවෙලා සතුටු සාමිච්යේ යෙදෙන්න වෙලාවක් නැහැ ඇන්ජලා මට කියන්න මේතන සිද්ද වෙන දේ ..’ එවර අභීත කතාකලේ මදක් සන්සුන් ස්වරයෙනි
‘මේ මිස්ටර් සිරිමෙවන් ඇවිල්ලා තියෙන්නේ මේ ළමයාව හදාගන්න ගන්න … අපි …හිතුවා …මේ ළමයාට දෙමව්පියෝ ….’
‘ඇති ඇන්ජලා ඔය කතාව ඇති කොහොමද ඔයා තනි මතේට ඔය වගේ ලොකු තීරණයක් ගන්නේ …අනික මේක ළමයෙක්ගේ ජිවිතේ ගැන ප්‍රශ්නයක් ..’ පාලිකාවගේ කතාව අවසන් කිරීමට නොදුන් අභීත ඈ දෙස බලා උන්නේ දැවී අළු වේනාකාර බැල්මකිනි ..
‘මිස්ටර් සේනාධීර මම හිතුවේ මේ ළමයාට දෙමවිපියෝ ලැබුනොත් අනාගතය සුරක්ෂිත වෙයි කියලා ’
‘එහෙම දෙයක් කරනවා නම් ඒ දේවල් කරන්න ඕන නීතිමය විදිහට ..නැතිව මේ වගේ කොළ කෑල්ලක අත්සන් කරලා නෙවෙයි ….මම හිතුවේ නැහැ ඇන්ජලා මේ වගේ වැඩ කරන ගැහැනියක් කියලා …. ඔයා මේ කරන වැඩ නිසා අන්තිමේට මට වෙන්නේ හිරේ ලගින්න ..’
පාලිකාවගේ මුහුණ සෙමින් රත්පැහැ ගැන්වෙමින් පැවතුනී … එකවර ඇයට එල්ලූ චෝදනාව නිසා කතාකිරීමට අපහසු බවකි ඒ මුහුණේ තිබුනේ ….
‘ඇන්ජලා පුළුවන් ඉක්මනින් මට මෙහෙන් පිට කරපු ගැහැණු ළමයින්ගේ තොරතුරු ඕනේ ….මම ඔයාට සතියක් දෙනවා ඒ කාලේදී මට ඒ සියළුම විස්තර ලබාදෙන්න ඕන ..’
තර්ජනයක් විලස පාලිකාවට පැවසු ඔහු ඉන්පසු හැරුනේ අර යුවළ දෙසටටය …
‘දැන් ඔය දෙන්නා මෙහෙන් පිටවෙලා යන්න ….’
‘එතකොට අපේ ළමයා ‘’
‘අපි මේ ළමයා ඔයාලාට දෙන්න තීරණය කරලා නැහැ ..ඔයාලාට ළමයෙක් හදාගන්න ගන්න ඕන නම් …ලෝයර් කෙනෙක් එක්ක ලීගල් ඩොකියුමන්ට් හදාගෙන එන්න …. ‘’
සේනාධීර යුවළ පිටව යන්න ගියේ කෝපයෙන් පුපුරමිනි …. අභිතට මුහුණ දීමේ නොහැකියාවෙන් පාලිකාව ඇගේ කාමරයට පිවිසෙද්දී දැරියන් සතුටු සිනා පාමින් තරූ වටකර ගත්තේය …. අප දෙසට යොමුව පැවති ඔහුගේ දෑස දිලිසෙමින් තිබුණි . ..
‘මට ගොඩක් සතුටුයි …. දෙවියෝ මම කිව්ව දේ ඇහුවා … ‘’ කුඩා දැරිය අප එකිනෙකා තුරුළු කරගෙන සතුටු කදුළු වගුරන්න විය ..
අභීත ගැන සිත තුල තිබු ගරුත්වය දැන් බොහෝ වැඩිය … මම සියල්ලටම හොරා ඔහු දෙස බලා ස්තුතිපුර්වක සිනාවක් පෑවෙමි …
‘යශෝධරා පොඩ්ඩක් එන්න … ’’ පිටව යෑමට සුදානම්වී අභීත මා ඔහු අසලට කැදවද්දී මම ඉදිරියට ගියෙමි ..
‘සර් …බොහොම ස්තුති ඔයාට ..’ කිසිවෙකුට නොඇසෙන සේ මා සිහින් හඩින් තෙපලුවෙමි
‘යශෝධරාට දැන් සතුටුයිද …’
‘ඔව් මහා හුගක් සතුටුයි …මම ගොඩක් බයෙන් හිටියේ සර් එන්නේ නැතිවෙයි කියලා ..’
‘මම ඊයේ ආපහු එන්න හිටියේ ඒත් හදිස්සි වැඩක් යෙදුනා … අද පාන්දරම කොළඹ ඉදලා මම ආවේ … බණ්ඩාරවෙල ආව ගමන් මම මෙහෙට දුවලා ආවා ….. මට හිතුනා යශෝධරා බයෙන් ඉන්නේ කියලා … මම ඉන්නකන් කිසිම දෙයකට බයවෙන්න එපා ..’
‘මම දන්නවා සර් කොයි වෙලාවක හරි එනවා කියලා … ’
ඔහුට සිනාගියේ මා එය පැවසු මෝඩ තාලයට විය යුතුය …අභීත ඔහු මට මෙතරම් ඇලුම් කරන්න කාරණය මම සිතන්න වෙහෙසුනෙමි … මා වැනි කිසිම වැදගැම්මකට නැති කෙල්ලක වෙත බැදීමට ඔහුට උවමනාවක් නැත ….
‘යශෝධරා එක පාරම හිතින් කොහේදෝ දුරකට යනවා ….’ බොහෝ වෙලාවක් ඔහු දෙස බලා නිහඩවම උන් මට නැබුරුවූ ඔහු එලෙස පවසද්දී තිගැස්සුණු මා පසෙකට වීමි …
‘එහෙම දෙයක් නැහැ සර් ..’
‘එහෙම දෙයක් නැති වෙන්න බෑ . …හරි කියන්න බැරි නම් මම බල කරන්නේ නැහැ දරුවෝ …දැන් මම ගෙදර යනවා …මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න …’
අභීත පිටව ගියපසු මගේ හිතට දැනුනේ කාන්සියකි .. ඔහු පිලිබදව නොසිතන්න මගේ හිතට බැරිවූ හැඩකි …..මගේ හිත මේ තරමට ඔහු ගැන හිතන්න පුරුදු උනේ කෙදිනක සිටදැයි මම නොදැන උන්නෙමි …හිතට උවමනා උවේ ඔහු ගැන සිතන්නය …
‘යශෝධරාට මේට්‍රන් එන්න කිව්වා … ‘ අභීත ගැන සිහින දකිමින් උන් මා පියවි ලෝකයට පැමිණියේ අනුශිකාගේ හඩිනි ..

පාලිකාව උන්නේ කාර්‍යාලයේය …බිත්තියට රවාගෙන උන් ඇය මා අසලට යනතුරුම නොදැක්කා වෙන්න ඇත …. මුහුණේ ලේ බිදකදු නොමැති ඒ මුහුණේ උවේ දරුණු පෙනුමකි …
‘මිස් මට එන්න කිව්වාද …’ මම සෙමින් කටහඩ අවදි කලෙමි …
‘යශෝධරා මට ඇත්තම කියන්න ඕන …’ ඇයගේ තියුණු දෑස් මගේ පාදාන්තය දක්වා හිස දක්වා යද්දී මම බිම බලාගත්තෙමි …
‘යශෝධරාද ළමා නිවාසේ තොරතුරු පිටට දුන්නේ ..’ ය කතාකළේ බොහෝ සංයමයෙනි
‘මිස් මොනවා ගැනද අහන්නේ ..’ මගේ දෙපා වෙව්ලා ගියේ හිතේවූ ආවේගය නිසාවෙනි
‘මම ඇහුවේ මෙතැන සිද්ද වෙන දේවල් තමුන්ද අභිතට දුන්නේ කියලා ..’ බොහෝ සෙමින් කතා කල ඇගේ කටහඩ එක්වරම ඉහල යද්දී ඒ මුහුණේ වූ දරුණු පෙනුම මා කිසිදිනක දැක නැති ආකාරයේ එකකි …
‘මම …මම …’ මම ඇයට පැවසීමට පිළිතුරක් සෙව්වෙමි …
‘මම දන්නවා ඒ තමුන් කියලා … මෙතැන පරණ දේවල් ආයෙත් මතු උනොත් තමුන්ට ලැබෙන දඩුවම හිතාගන්නවත් බැරිවෙයි ….’ පුටුවෙන් ඉදිරියට නැවි මා දෙස බලා උන් ඇගේ දෑස් දිලිසුනේ ගිනි පුලිගු මෙනි …
‘අනුෂිකා ..අනුෂිකා ….’ කතාව අවසන් කල ඇය අනුෂිකා අමතා කෑ ගැසුවාය . ..
‘මිස් …’ අනුෂිකා කාර්යාල කාමරයට එබී බැලුවාය ..
‘මෙන්න මෙකි එක්කන් යනවා …. එක්කන් ගිහින් සතියක් රෑ කෑම එක කපා හරිනවා ….. පුංචි හරි වෙනස්වීමක් තිබුනොත් …මුරණ්ඩු වැඩක් කලොත් මට දැනුම් දෙනවා …..දැන් යන්න පුළුවන් ..’
ඇය මා ගැන සැක කරන්න කාරණය කුමක්ද … මම සිතීමට වෙහෙසුනෙමි ….කිසිවෙකු විසින් මම ඔහු හමුවූ බව මැයට පවසන්න ඇතිද …….. එසේ නම් ඒ කවුරුද …..
කෙසේ වෙතත් අදින් පසුව මට බොහෝ පරිස්සම් වෙන්න සිදුවෙන්න සිදුවෙනු ඇත ……..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *