14

~~~~යශෝධරා ~~~~
14 කොටස
දින ගානක් යනතුරුම මගේ රාත්‍රී ආහාරවේල කපාහැර දමා තිබුණි …. අනුෂිකාගේ දෑස් නිරන්තරයේ මා පසුපස ලුහුබදින්නේ පාලිකාවගේ අනුදැනුම පිට බව මම හොදාකාරව දැන උන්නෙමි … ඉතින් මා කලේ කිකරු දැරියක් ලෙස හැසිරීමය …
‘යශෝධරා හෝල් එක අතුගාලා දාන්න ..’
‘යශෝධරා මකුළු දැල් ටික කඩන්න …’
‘යශෝධරා ගිහින් සුමනා අම්මාට උදව් කරන්න ..’
අනුෂිකා මා උදෙසා කටයුතු කලේ පාලිකාවගේ බලය සියතට ගනිමිනි .. ඇය මගේ වැඩ දෙගුණ තෙගුණ කර බොහෝ සතුටු වන බව මා දැන උන්නෙමි .. …. කොතරම් අපහසු කාර්යක් උවද මුවින් නොබැන ඈ කියන්නක් ඉටු කිරීමට මා උත්සහා කලෙමි ..
‘යශෝධරා අර නාන කාමරේ තියෙන රෙදි ටික හෝදලා දාන්න …’ පාසල් නිමවී ළමා නිවාසයට පැමිණියා පමණි ….මා සොයා පැමිණි පැමිණි අනුෂිකා මට කාර්යක් පැවරුවේ උඩගු සිනාවක් පාමිනි ..
‘තව ටිකකින් හෝදන්නද අක්කි … අව්වේ ඇවිල්ලා හිස කකියනවා වගේ …’ සැබවින්ම මා පැවසුවේ දරා ගැනීමට නොහැකි තරමට හිස රිදුම් දුන් නිසාවෙනි …
‘ඒවා මට අදාළ නැහැ … බෙඩ් ෂිට් ටික වේලිලා තිබ්බේ නැත්තම් මේට්‍රන්ට තරහා යයි …’ අනුෂිකා එලෙස පවසද්දී මා ඉදිරියේ මැවී පෙනුනේ කෝපයට පත්වූ විට පාලිකාවගේ හැසිරීමයි …ඉතින් මා කලේ සුදු ගවුම් ගලවා පාට ගවුමකට මාරුවී නාන කාමරය දෙසට පියමැනිමය …
නාන කාමරය පුරා ඇද ඇතිරිලි සහ තිර රෙදිය .. පැය ගානක් සේදුවත් මේ රෙදි කන්ද සෝදා නිමකර හැකිදැයි සැක සහිතය …. කුමක් කරම්ද … මේ මා ලබා උපන් හැටිය …. අවජාතක දැරියක් ලෙසට උත්පත්තිය ලැබූ මට මෙවැනි ඉරණමක් අත්වීම පුදුමයක් නොවේ …
‘යශෝ හිටපන් මම උබට ඔය ටික හෝදන්න උදව් කරන්නම් ..’ සෙනුලි පැමිණියේ මට උදව් කිරීමට සුදානම්වය ..
‘එපා සෙනු මේට්‍රන් දැක්කොත් තරහා යයි .. ඔයාටත් දඩුවම් කරයි ..’ මා වෙනුවෙන් මගේ යෙහෙළියන් කරදරේ වැටෙනවාට මම කැමති නැත …
‘උබ වෙනුවෙන් කවුරු මොනවා කිව්වත් මම ඒක ගණන් ගන්නේ නැහැ …’
‘ප්ලීස් සෙනු ….. මට මේක කරන්න දීපන් … ’ සෙනුලි යන්න ගියේ මගේ ඇවිටිල්ල නිසාවෙනි …
අත රිදුම් දෙන තුරු ලොකු ලොකු ඇද ඇතිරිලි වල සබන් තවරා කුණු යන තුරු ඇතුල්ලු මම පැය දෙකක් පමණ රෙදි සෝදා අවසන් කලෙමි
‘ යශෝධරා රෙදි ටික ඇවිදගෙන ගිහින් වේලෙයි කියලා හිතුවාද …. රෙදි ටික බේසමට දාලා නෝනා වගේ ඇදේ වාඩිවුණේ .. ‘
ඇග පතේ අමාරුව නිසා යහනේ අසුන්ගත්තා පමණි අනුෂිකා කඩාගෙන බිදගෙන මා අසලය …
‘මම වේලෙන්න දාන්නම් අක්කි …’
‘හොදයි දැන්ම රෙදි ටික වේලෙන්න දාලා ඉවර වෙලා එළවළු කොටුවට ගිහින් වල් පැල උදුරලා දාන්න ..’
‘මම කරන්නම් ….’ මට විරුද්ධ වීමට උවමනාවක් නැත ….. දාසියක් මෙන් ඔවුන් කියනා දෙය නොකර උන්නොත් සිදුවන්නේ දඩුවම් විදීමටය …..
බරැති රෙදි පිරුණු බේසම රැගෙන මා මිදුලට බැස්සෙමි ….. පෙර දින රාත්‍රියේ සිට කිසිදු අහරක් කුසට නොවැටීම නිසා ගතට දැනුනේ අප්‍රාණික බවකි … පියවර කීපයක් අපහසුවෙන් ගමන් කල මා ගේට්ටුව දෙසට නෙතු හෙළුවේ අභිතගේ ජීප් රිය ඇතුල්වෙනු දැකය ….. දින ගානකට පසු ඔහු දැකගැනීම පිලිබදව සිත උදම් වෙද්දී මට උවමනා උවේ ඔහු දෙසට දිව යෑමටය …
‘යශෝධරා මේට්‍රන්ට කේන්ති යයි …’ මගේ හිත පැවසු දේ නිසාවෙන් මා උන් තැනම සෙල්රුවක් මෙන් නොසෙල්වී උන්නෙමි …
අභිතගේ ජීප් රිය වේගයෙන් විත් මා ඉදිරියේ නැවතුනේය …. අභිතගේ බැරෑරුම් මුහුණේ මා දුටු විගස සිනාවක් ඇදී මැකී ගියේ මා උන් අයුරු දැකවිය යුතුය …. කොටු කෑලි වැනි දෙ අතේ රැදී තිබුණු බේසම දැක ඔහු දෑස් විසල් කළේය ….
‘ඇන්ජලා ඇන්ජලා ..’ මගෙන් කිසිවක් නොවිමසාම ඔහු පාලිකාව ඇමැතුවේ රළු හඩිනි …
‘මිස්ටර් … සේනාධීර … මේ .. මේ වෙලාවෙ …’ පාලිකාව ගොත ගැසුවේ අදිසි අමුත්තා දැකය …
‘ඇන්ජලා මට උත්තර දෙනවා ….. මේ පුංචි ගැහැණු ළමයෙක්ගෙන් මේ වගේ වැඩ ගන්න තමුන්ට පිස්සුද ….. බලනවා ..බලනවා .., …මේ ළමයාට මේ බේසම උස්සගෙන ඉන්න ශක්තියක් තියෙනවාද … ඇයි ….ඇයි මේ වගේ ළමා අපචාර කරන්නේ ..’
ආවේගය නිසාම ඒ දැවැන්ත මිනිසා වෙව්ළුවේය ….
‘සර් …මම දන්නේ නැහැ මේ ගැන ….. මම මේ ළමයාට වැඩ කරන්න කියලා කිව්වේ නැහැ ..’
‘ එතකොට තමුන්ද මෙතන පාලිකාව නැත්තම් වෙන කවුරු හරිද …මෙතන සිද්ද වෙන දේවල් නොදන්න තමුසේ බබෙක්ද …’
‘දුවේ ඔයා කියන්න කව්ද ඔයාට ඔය වැඩ කරන්න කිව්වේ …’ බොරු කරුණාවක් මවා ගනිමින් ඕ මා දෙස බලා උන්නත් ඒ දෑසේ ඌ ද්වේශය අදුනාගැනීමට මග අපහසු උවේ නැත …
‘ම …..මට අනුෂිකා අක්කි …’ ඇගේ අනුදැනුම පිට අනුෂිකා මේ ක්‍රියාවන් සිදුකරන බව කීමට උවමනා උනිද ඇගේ දෑසේ තිබුණු ද්වේශය මා බියට පත්කර තිබුණි ..
‘කව්රු උනත් මේ වගේ බරපතල වැඩ මේ වගේ ලමයිට දෙන්න බැහැ …මම ළමයින් වෙනුවෙන් මේ නිවාසේ කරන්නේ ළමයින්ගෙන් වැඩ ගන්න නෙවේ ..මේ ළමයිට හොදට උගන්වලා සමාජයට වැඩදායක මිනිස්සු කරන්න …’
අභිතගේ දෑසේ වේදනාව මා වෙනුවෙන්ද නැතහොත් මේ අනාථ දැරියන් සියල්ලම වෙනුවේන්දැයි මම සිතීමට උත්සහ කලෙමි ..

‘මම මේ ගැන හොයලා බලලා ඒ අදාළ ළමයාට දඩුවම් කරන්නම් සර් …. ‘’
‘ආයේ මේ වගේ දේවල් වෙන්න බෑ ….. කෝ අර හදාගන්න දුන්න ලමයි ගැන විස්තර තියෙන ෆයිල් එක ගෙනත් දෙන්න …’
පාලිකාව කාර්යාල දෙසට පියමං කරද්දී ඔහු මා දෙස දෑස් යොමු කළේය …
‘යශෝධරා තව ටිකක් කෙට්ටු වෙලාද කොහෙද .. ඔයාට කරදරයක් නැහැ නේද …’ අභීත මා දෙස බලා උන්නේ මගෙන් උත්තරයක් බලාගෙනය … එහෙත් මට ඔහුට උත්තරයක් දීමට ඉඩ ලැබුනේ නැත … ගිය සැනින් පාලිකාව ආවේ ෆයිල් කවරයක් අතැතිවය ….
‘සර් මෙතන හැම විස්තරයක්ම තියෙනවා ..’
‘ගරි හරි… මම එහෙනම් ගිහින් එන්නම් … ‘’
දයාබර බැල්මක් මා වෙත හෙළු ඔහු පිටව යද්දී පාලිකාව ගේ මුහුණ විරූපී වී ගොස් තිබුණි …
‘අනුෂිකා අනුෂිකා …මෙහෙ එනවා … ‘
‘මිස් මට කතා කලාද …’
‘ඔව් ..තමුන් මේ කෙල්ලව මේ විදිහට එළියට එව්වේ මොකටද ….තව පොඩ්ඩෙන් මමත් ගස් යනවා … සුමනාට රෙදි ටික වනන්න කියනවා …’
කියවාගෙන කියවාගෙන ගිය ඕ මා දෙස බලා දෑසින් පිටව යන ලෙසට ඉගි කළේය …

************
ඉන්පසුව ගෙවුණු දින කීපයේම මට වැඩ කරන ලෙසට කිසිවෙක් බල කලේ නැත …සියල්ල අභීත පැමිණ ගිය පසු සන්සුන් වෙද්දී මගේ හිත යලිත් තෙවන මහලේ සිද්දිය පිළිබද සෙවීමේ පිපාසාවෙන් පෙලෙන්න විය ….
රාත්‍රී නවය පසුවූ පසු වැරදි හෝ විදුලි බුබුලක් දැල්වීමට නොහැකි ළමා නිවාසයේ දැරියන් ඒ නීති අකුරට පිලිපැද්දේය …… සමහර රාත්‍රීන් වල උදුමහලෙන් පැමිණෙන විවිධ අභූත ශබ්ද පිළිබද දැන උන්නත් ඒ පිළිබද දෙඩීමට කිසිදු දැරියක් ඉදිරිපත් නොවුනේ බිය නිසාවෙනි …
සද එළිය වැටුණු පැහැදිලි රාත්‍රියක් උන ඒ රාත්‍රියේ මා නොසෙල් සවන් යොමාගෙන උන්නෙමි …. රාත්‍රී දහය පසුවෙද්දිම අර යුවතියගේ ඉකිබිදුම් හඩ ඇසෙන්න විය … නෑසුන ලෙසින් සිටීමට මට උවමනා උනිද ….වරින් වර උඩු මහල දෙසින් අර ඇසී නෑසෙන ඉකිබිදුම් හඩ මට බලකලේ යශෝධරා ගිහින් මේ රහස හොයාගනින් යනුවෙනි ….. ඉතින් මා සිතට ඉඩදී දෙපාවලට ශක්තිය ගත්තෙමි …
සෙමින් කිසිදු හඩක් නොනැගෙන ලෙස අඩියක් දෙකක් ඉදිරියට යද්දී මගේ පාදයකට අසුවී බිදී විසුරුණු විදුරු මල් බදුනක් නිසාවෙන් එකවරම ඉටිපන්දමක් දැල්වුණි …… අදුර මැදින් දැල්වූ ඉටි පන්දම් එළියෙන් මට පෙනුනේ අනුශිකාගේ මුහුණයි ……
‘තමුන් කොහේ යන්නද මේ හොර පුසී වගේ යන්නේ …’ ඇගේ දෑසේ උවේ සැකයකි …..
‘මම මේ ….ටොයිලට් එකට යන්න කියලා ආවේ …’ මම උත්තරයක් සොයා ගත්තෙමි
‘ ටොයිලට් එක මේ පැත්තේ නෙවේ …අර පැත්තේ …’
‘ආ …මට අමතක උනා …… මම හිතුවේ මේ පැත්තේ කියලා ..’
‘හරි දැන් ඉතින් යනවා ….. මේ රෑ එහෙ මෙහෙ ඇවිදලා අහුවෙන්න එපා ….’
‘ හා අක්කි …’
මම ආපසු යෑමට හැරිමි ….
‘දන්නවාද .. ’ අඩියක් දෙකක් පෙරට ගොස් මම ගෙල ආපසු හැරවුවෙමි ..
‘මොනවාද අක්කි ..’
‘මේ ළමා නිවාසේ ඉස්සර ඉංග්‍රීසි කාලේ ගොඩක් භයානක දේවල් වලට යොදාගත්ත තැනක්ලු …ගොඩක් මිනිස්සු මෙතන මරලා තියෙනවාලු … සමහර රෑ කාලවලට ඒ මිනුස්සුන්ගේ විලාප හඩ මෙහෙට ඇහෙනවා …. සමහර මිනිස්සු ඔය හොල්මන් එහෙමත් දැකලා තියෙනවා …ඒ මිනිස්සුන්ට පිස්සු හැදුනා … ඒ නිසා මේ ළමා නිවාසේ ඇතුලේ රෑ නවයෙන් පස්සේ ඇවිදින්න එපා . … ඔයාට ඕනේ නැහැ නේද පිස්සු හදාගන්න …’
මගේ සවනට බොහෝ ලංවී ඕ මුමුණන්න උවාය .. …. මුළු ගතම නුහුරු භීතියකින් ගල් ගැහෙද්දි මම හුස්මක් හෝ නොගෙන යහන දෙසට පියවර මැන්නෙමි …
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *