15

~~~යශෝධරා ~~~~
15 කොටස
අනුෂිකා පැවසු ඒ කතාවේ අරුත කුමක්ද …. සමහර විට එය සත්‍යක් විය හැක … පාන්දර යාමය එලබෙන තුරාවටම මගේ නෙතට නින්දක් හෝ සිතට සැනසිල්ලක් නොවුනි .. විකාර සිතුවිලි වලින් මගේ නින්ද හොරාගෙන තිබුණි … මහා රාත්‍රියේ අර අද්භූත අමුත්තාගේ වාහනයේ හඩ ඇහුණත් යහනේ ගුලිවී උන්නා මිසක මදක් විපරම් කර බැලීමට හෝ සිතට දිරියක් නොවුනි … සැබවින්ම අනුශිකාගේ කතාව මා බිය ගන්වා තිබුණි …
‘යශෝ මොකද යකෙක් දැකලා වගේ මුහුණත් එක්ක සුදු මැලි වෙලා ගිහින් ..’ පසු උදෑසන යහනෙන් නොබැස මා උන් අයුරු දැක සෙනුලි විමසන්න උවාය …
‘මට උණ හැදෙන්න වගේ සෙනු ….. අනේ අද මට ස්කුල් යන්න තරම් ඇගට ෆිට් එකක් නැහැ ..’
මගේ ස්වරය බොහෝ අසරණව ගොස් තිබුණි …
‘මම මිස්ට කියන්නම් …. ‘’ සෙනුලි පාලිකාව සොයා යද්දී මා කලේ පොරෝනය තුල ගුලි ගැසීමය … පෙරදා රැයේ නිදිවැරිම නිසාවෙන් දැනුනු ඇගට දැනුනු තෙහෙට්ටුව නිසාවෙන් මම සිහින් හඩින් කෙදිරි ගෑවෙමි …
‘ යශෝ මිස් කිව්වා සුමනා අම්මා එක්ක ගිහින් ඔයාට බෙහෙත් ගන්න කියලා ..’ සෙනුලි දිවවිත් මගේ කණේ ඒ ආරංචිය තැබුවාය …
‘ බෙහෙත් ඕන නැහැ …දවල් වෙද්දී අඩුවෙලා යයි …’ ලෙඩකට බෙහෙතක් බිමට කිසිම දිනයක මට කැමැත්තක් තිබුනේ නැත …
‘පිස්සු නැතිව නැගිටින්න ….යශෝ ..’
මගේ අතින් අල්ලාගත් සෙනුලි යහනෙන් බැසීමට මට සහය උවාය…. සිරුර පිරිසිදු කරගත් මම ගවුමක් ගත දවටා ගන්නා තුරුම සෙනුලි මා අසලය ..
‘ඔයාට කොන්වන්ට් යන්න පරක්කු වෙනවානේ … ඔයා යන්න සෙනු …’
දැරියන් සියල්ල පාසලට යෑමට පෙළ ගැහෙද්දි මා සෙනුලි දෙස බැලීමි ….
‘එහෙනම් බෙහෙත් අරන් ඇවිත් බෙහෙත් බිලා නිදාගන්න….’
සෙනුලි පිටව ගොස් මද වෙලාවකින් මම පහල මාලයට බැස්සෙමි …. සුමනා අම්මා මා එනතුරු බලා උන්නාය …
‘යමු දරුවෝ …’
සුමනා අම්මාගේ පිටුපසින් මම අපහසුවෙන් පියවර මැන්නෙමි ….
‘හොස්පිට්ල් එකට ගොඩක් දුරද සුමනා අම්මා ..’ පියවර කීපයකින් හති වැටුණු මම ඇගෙන් විමසුවෙමි
‘බණ්ඩාරවෙල ටවුමට යන්න ඕනනේ දරුවෝ ..’
‘මට මහන්සි සුමනා අම්මා …’ වෙහෙස නිසාවෙන් දෑසට නැගුනු කදුළු බිදු කීපයක් පිසදමා මා උන් තැනම නැවතුනෙමි
‘මිස් බස් එකටවත් සල්ලි දුන්නේ නැහැ දරුවෝ …’ ඇය බොහෝ කම්පාවෙන් මා දෙස බලද්දී මම පසෙක තිබුණු ලයිට් කණුවකට ගත බර කළෙමි … ගතට දැනුනු තෙහෙට්ටුව නිසාවෙන් මගේ දෙපා තදින් වෙව්ළුවේය …
‘ සුමනා අම්මා මට හොදටම උන …. ’ මගේ මුළු ගතම ගිනිකබලක් මෙන් රත්ව ගොසිනි ….
‘ඔහොම ඉන්න දරුවෝ මම වාහනයක් නතර කරගන්නම් …කවුරු හරි කෙනෙක් අපිට උදව් කරයි …’ ඇය මාවත ඉදිරියට යද්දී මම විදුලි කණුවට හිස තියා දෑස් තදින් වසාගතිමි ….
වැසූ දෑස් පියන් අතරේ මැවී මැවී පෙනෙන අර විකාරීරූප මගේ හිස තව තවත් අවුල් කර දැමුවේය ..
‘ යශෝධරා මොකද දරුවෝ උනේ …’ එකවරම මට ඇසුනේ අභිතගේ කටහඩයි …. වසා උන් දෑස් විවර කරගැනීමට මට තප්පර ගානක් ගතවුනි … දෑස් අභියස බොදවී පෙනුණු රූපය අභිතගේය … අභීත ඔහු මා දෙස බලා උන්නේ කාරුණික බැල්මකිනි …
‘මට අමාරුයි සර් …’ අඩපණවී තිබුණු ගත කෙසෙල් කදක් මෙන් එකවරම කඩා වැටුනේ ඔහුගේ දෝතටය …
‘යශෝධරා …ඇස් අරින්න දරුවෝ … මම ඔයාව ඉක්මනට හොස්පිට්ල් එකට ගෙනියන්නම් …. ’ අභිත මා රැගෙන ජීප් රිය දෙසට දුවනවා මට සිහිනෙන් වගේ මතකය …..
‘සිරිල් … සිරිල් ඔය ජීප් එක ගනින් …’
අවසානයේ ඔහු එලෙස කිවා මට මතකය ….
****************
ඒ රාත්‍රියේ මා අවදිවුනේ කිසිවකු මරහඩ දෙමින් කෑ ගසනු ඇසීමෙනි … කිසියම් කෙනෙක්ට කරදරයක්ද … දෙවරක් නොසිතා මා යහනෙන් බිමට පැන්නෙමි …සෙමින් සෙමින් පාදයන් තබා මම හඩ පැමිණෙන දිසාවට ගමන් කලෙමි ….. ඒ විලාපය පැමිණෙන්නේ තෙවන මහලෙනි …. කිසිවක් නොසිතා මා එදෙසට ගමන් කලෙමි …
එහි උන්නේ අර හිරකාරියයි … පුටුවකට කර යදම් වලින් බැද දමා තිබුණු දෑත් දෙපා නිසා ඇයට සෙලවීමටවත් නොහැක ….. මුහුණ ආවරණය කර උන් වේවැලක් අතින් ගත් කිසිවෙක් ඇයට තදින් පහර දෙමින් උන්නේය …. හැම පහරකටම අර යුවතියගේ මුවින් වේදනාබර රාවයක් පිටව ආවේය … තවත් පහර කීපයක් ලැබුනොත් නිසැකවම ඇයට සිදුවන්නේ අනතුරකි …. මම දෙවරක් නොසිතා ඉදිරියට පැන අර පහර දෙන්නාගේ අතක එල්ලුනෙමි … කළු පැහැති ආවරණයකින් මුහුණ වසාගෙන උන් එම තැනැත්තාගේ පිටතට අනාවරණය උවේ දෑස් යුවල පමණි ..ඒ දෑස් වල උවේ වියරුවකි … තමාගේ ගොදුරට තිබු අවධානය වෙනස් කල එම පුද්ගලයා මා දෙසට එම බැල්ම යොමු කළේය …ඉන් පසු සිරකාරිය කෙරේ තිබු කෝපය මා දෙසට එල්ල කල එම තැනැත්තා අර දිගු වේවැලෙන් මට පහර පිට පහර දෙන්න විය … ඉතින් මට සිතුනේ මේ මගේ අවසානය බවයි …..
‘මාව මරන්න එපා මට යන්න දෙන්න …මට යන්න දෙන්න …..’ මම මහා හඩින් කෑ ගැසුවෙමි …
‘යශෝධරා ..යශෝධරා … ඔයාට කවුරුත් ගහන්නේ නැහැ දරුවෝ ….. මම ඔයා ලග ඉන්නවා ..’ ඒ ඇසුණේ අභිතගේ කටහඩයි …. ඔහු උන්නේ මට බොහෝ ලගිනි …

‘ මාව බේරගන්න සර් …. මාව බේරගන්න … අර මනුස්සයා මාව මරලා දායි …. මට ගොඩක් රිදෙනවා බලන්නකෝ මේ මට ගැහුවා හොදටම …’
මම බොහෝ වේදනාවෙන් ඔහුට තුරුළු උනෙමි …ඒ ආරක්ෂාව වෙනුවෙනි …
‘ඔයාට කව්රුත් ගහන්නේ නැහැ මම ඔයා ලග ඉන්නේ …. යශෝධරා ඔයා හිනයක් දැකලා ඉන්නේ …’
මගේ දෙකොපුලෙන් අල්ලාගත් අභීත උමතුවෙන් මෙන් උන් මා සන්සුන් කිරීමට වෙහෙස වුවේය ..
‘දැන් හොද ළමයා වගේ මගේ දිහාව බලන්න …කෝ හිත සන්සුන් කරගන්න ..ඔයා හිනයක් දැකලා ..’ අභීත මගේ හිස සෙමින් පිරිමදිද්දී මා කලේ හිස ඔසවා දෑස් අයා ඔහු දෙස බැලීමය … ඔහු පැවසුවේ සැබෑවකි අර භයානක සිහිනය අතුරුදහන්ව ගොස් අභීත මා ඉදිරියේ අභීත උන්නේ යෝධ පව්වක් මෙනි …
‘ මම ..මම ඒ දැක්කේ හීනයක්ද ..’
‘ඔව් දරුවෝ … ඔයා දැකලා තියෙන්නේ හිනයක් … ඔයා පැය ගානක් සිහිය නැතිව හිටියා …. … දැන් බය නැතිව ඉන්න …. මම ඉන්නවානේ …’ අභීත ඔහු මා හැර නොයා අසලින්ම රැදී උන්නේ මගේ වගකීම ඔහු හිසට ගෙන මෙනි … බොහෝ වෙලා අප අතර කතාවක් නොවිය …… ඔහුගේ ඇකයේ හිස හොවා උන්නා මිස මට කතා කරන්න උවමනාවක් නොවුනි ..පියෙකු අසලදී දැනෙන ආරක්ෂාකාරී බවය මට ඔහු ලගදී දැනුනේ …
‘මම ඩොක්ටර් එක්ක කතා කරලා එන්නම් ..’ බොහෝ වෙලාවකට පසු ඔහු මගේ හිස ඔසවද්දී …මා කලේ නැවත ඔහුගේ ඇකයේ හිස හොවා ගැනීමය …
‘මොකද දරුවෝ මේ …’
‘යන්න එපා සර් මට බය හිතෙනවා …’ සැබවින්ම තනිව සිටීමට මගේ හිත තුල උවේ බියකි
‘මොකුත් වෙන්නේ නැහැ …. හරි දැන් ඔයා ඇස් පියාගන්න …ඊට පස්සේ ඔයා ආදරේ කරන දේවල් ගැන හිතන්න …ඔයාගේ හිත ඉල්ලන දේවල් ගැන විතරක් හිතන්න ..’
අභීත බොහෝ සෙමින් මගේ හිස පිරිමදිද්දී මා ඔහු කියූ ලෙසට කලෙමි ..මගේ දෑස් ඉදිරියේ මැවුනේ අභිතගේ රුවයි .. මගේ හිත මේ ලොවේ කිසිවක් ඉල්ලනවා නම් ඒ රුව බව මට ඒ මොහොතේ වැටහෙමින් තිබුණි …. ඉතින් ඔහු මගේ අසල නම් මට කිසිවක්ම උවමනා නොවේ …කිසිදු බියක්ද නොදැනේ … ඒ ඇයිද කියා සිතීමට මට උවමනා නොවුනි …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *