22

~~~~~ යශෝධරා ~~~~~~
22 කොටස

වේලාව මධ්‍යම රාත්‍රීයයි …. වර්ෂාව නිමවී ගොසිනි .. ඝන මිදුම නිසාවෙන් මාර්ගය බොහෝ අනතුරුදායක උවද මුවින් නොබැන රිය ගේට්ටුවෙන් පිටතට දැමු අභීත මදකට රිය නවතා ජංගම දුරකථනය අතට ගෙන එහි අංකයක් සටහන් කර සවනේ රදවා ගත්තේය …
‘හෙලෝ බණ්ඩාරවෙල පොලිස් ස්ටේෂන් …’
ඔහු නෙතු අගින් මදෙස බලා එහා පසට කන්දීගෙන උන්නේය ….
‘ ඉස්පෙක්ටර් , මම මේ කතා කරන්නේ අභීත සේනාධීර …. සුජාතා ළමා නිවාසසේ ලොකු අපරාධයක් වෙනවා … ඉක්මනට අපිට උදව් එවන්න …’
පොලිස් නිලධාරියාට තොරතුරු ලබා දුන් අභීත ජීප් රිය මාවතට දමා කල්පනා බරව මා දෙසට බැල්මක් හෙළුවේය ….
‘යශෝධරා මේක මට විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි … මම සිරිල් විශ්වාස කරා මිනිහා මේ වගේ භයානක මිනිහෙක් කියලා මම දැනගෙන හිටියේ නැහැ ..’ අභීත කතා කලේ කලකිරීමෙනි
‘සිරිල් විතරක් නෙවේ සර් …. අපේ මේට්‍රන් එයත් මේ දේවල් වලට සම්බන්ධයි …’
‘ඇන්ජලා ….’ අභිතගේ දෑස් නැවතුනේ නළලතයේ …ඔහු විශ්වාස කල අය ඔහුගේ විශ්වාසය බිද දමා ඇත …එය විශ්වාස කිරීමට ඔහුට බොහෝ අපහසු වෙන්න ඇත …
‘ඔව් සර් එයා මුල ඉදලා මේවාට සම්බන්ධයි ….. එයා තමා සිරිල්ට උදව් කරලා තියෙන්නේ ’
සිදුවූ දේවල් මා කෙටියෙන් ඔහුට පැහැදලි කලෙමි
‘අපි ළමා නිවාසේ ලගට ආවා .. ජීප් එක මෙතැන දාලා යන්න වෙන්නේ … මම එනවා දැනුනොත් උන් ටික පැනලා යන්න උනත් පුළුවන් ..’
ළමා නිවාසයට මෙපිටින් ජීප් රිය නැවතූ ඔහු එයින් බැසගත්තේය …
‘යශෝධරා මෙතැන ඉන්න මම ගිහින් බලන්නම් ..දැන් පොලිසියෙනුත් එයි මෙතෙන්ට …’
‘මට බෑ මේක ඇතුලට වෙලා ඉන්න …සර් යන තැනකට මාත් එනවා ..’
අභීත මා දමා යෑමට සැරසෙද්දී මම කාරයෙන් බැස්සේ මුරණ්ඩු දැරියක විලසිනි … ඔහු කිසිවක් නොකියා ඉස්සර වෙද්දී මම පසු පසින් සෙමින් පියවර තැබුවෙමි ….
‘ඉස්සරහ ගේට්ටුවෙන් ගියොත් අපිව දකියි …. ඒ නිසා අපි තාප්පෙන් පැනලා යමු ..’
‘ඒත් මේ තාප්පෙ ගොඩක් උසයි නේ …’
‘ළමා නිවාසේ පිටිපස්සේ මල් තවාන පැත්තේ තාප්පෙන් පනින්න පුළුවන් වෙයි … ඒ හරියේ තාප්පේ එච්චර උසක් නැහැ ….’
තාප්පයේ නොඋස් ස්ථානයක් තෝරා ගත් අභීත පළමුවෙන් මට එයින් පනින ලෙස සන් කළේය ….. අභිතගේ දෙවුරහිස් මතින් තාප්පය මතට නැගගත් මම එහා පසට පැන ගත්තෙමි …..
‘දැන් ශබ්ද කරන්නේ නැතිව ඉස්සරහට යමු …’ තාප්පයෙන් පැනගත් අභීත සාක්කුවේවූ පිස්තෝලය අතට ගෙන තවත් වරක් එහි තිබු පතොරම් පරික්ෂාකර බැලුවේය …
මිදුම පීරාගෙන ඉදිරියට ගිය අපි ළමා නිවාසයේ මිදුලට ලගා උනෙමු … මිදුලේ පසෙකවූ ලොකු රෝස පදුරකට මුවාවූ අප සිදුවෙන්න දෙස නෙත් අයා උන්නෙමු … වළාතිර අතරින් එබිකම් කරන සදවතිය නිසාවෙන් මිදුලේ සිදුවෙන සියල්ල ඉතා පැහැදිලිව අප උන් තැනට දර්ශනය විය …
‘අර කට්ටිය ඉන්නවා සර් … එයාලා වෑන් එකට මොනවද පටවනවා ….’ මම සෙම්න් කෙදිරුවෙමි
‘මම හිතන්නේ එයාලා යන්න ලැහැස්ති වෙන්නේ …’
මම මිදුල සිසාරා බැල්මක හෙළුවේ අර තරුණිය දැකීමේ උවමනාව නිසාවෙනි … එහෙත් ඇය පේන්න උන්නේ නැත .. සිරිල් මර්වින් සෝමේ යන තිදෙනා ගෝනි මළු පටවමින් ලොකු කතාවකය … අපි සෙමින් සෙමින් ඔවුන් උන් තැනට වඩාත් ලන්වුනෙමු ….
‘ සිරිල් අයියා බඩු ටික පටවලා ඉවරයි … අපි කෙලින්ම කොලඹ යන්නම් එහෙනම් …’ මර්වින් පිටවී යෑමට අවසර ගත්තේ සිරිල්ගෙනි ..
‘හරි දැන් පලයන් …අරකිව එහෙනම් ලීනාගේ ලොජ් එකේ නවත්තපන් …මෙන්න මේ සල්ලි ටික ඒකිට දීලා කියපන් වෙන්න ඕන මොනවාද කියලා ..’
කමිස සාක්කුවෙන් මුදල් මිටියක් ඇද සොමේගේ අතේ තැබූ ඔහු වෑන් රියේ දොර තදින් වසා දැමුවේය …. මම අභීත දෙස බැලුවෙමි … ඔහු දත්මිටි කෑවේ තමා ඉදිරියේම සිරිල් විශ්වාශය බිද දැමු නිසාවෙන් විය යුතුය …
‘සෝමා සෝමා ….ඔන්න ඔය කෙල්ල අරන් වරෙන් …’
සිරිල් සහ ඔහුගේ සගයන්ගේ දෑස් රැදි තිබුනේ ළමා නිවාසයේ දොරටුව මතය … දොරටුවෙන් පළමුව එළියට බැස්සේ සෝමාය … කෙස්වැටිය විහිදවාගෙන උන් ඇගේ විරූපි මුහුණ ඒ මොහොතේ සිහිකලේ කිසියම් යක්ෂ රූපයකි … මුව වැසෙන සේ රෙදිකඩක් බැද තිබු සිරකාරිය මිදුලට බැස්සේ ඇන්ජලා සමගිනි … ධවල වස්ත්‍රයෙන් සැරසීගත් ඕ දිස්වුවේ මිහිබට සුරලියක සේය .. මැය මේ ගෙනයන්නේ කොහිද … මා හැරී බැලුවෙමි … මා පසුපසින් උන් අභීත එතැන නැත .. මම ඉදිරිය බැලීමි සිරිල් දෙසට පිස්තෝලය අමෝරාගෙන අභීත එහි උන්නේය ….
හදිසියේ පැමිණි අමුත්තා දැක සිරිල්ගේ මුහුණ සුදුමැලි වී ගොස් තිබුණි …. තවත් වෙස් මුහුණු දමා සිටීම කල නොහැකි බව ඔහු දැනගන්න ඇත ..
අභිතට දැන් මගේ උදව් උවමනා වෙනු ඇත ..විගසින් මම ඔහු අසලට දිව ගියෙමි .. ඇන්ජලා ලගින් මා අසලට දිව ආ සිරකාරිය ඇයගේ මුව ආවාරය ඉවත් කරන ලෙස මගෙන් ඉල්ලුවේ ඉගියෙනි….
‘අභීත මගේ අභීත …’ කතා කිරීමට හැකිවූ පළමු නිමේශයේම ඇගේ මුවින් පිට්වුවේ ඒ වදන්ය …. ඇගේ සුමිහිරි හඩ ඇසුණු අභීත හැරී බැලුවේය ……..

‘නෙත්මා ….’ අභිතට මොහොතක් යනතුරු හුස්ම ගැනීම පවා අපහසු වෙන්න ඇත …. ඔවුනොවුන් දෙස නෙත් අයා උන් දෙපලට අවට ලෝකය ගැන සිහියක් නොවුවා මෙනි … මට තවත් ඔවුන් දෙස බලා සිටිය නොහැකියාවක් දැනෙද්දී මා සෙමින් ඉවතට හැරී අඩි කීපයක් ඉදිරියට ගමන් කලෙම්
‘මුන් දෙන්නාම අල්ලා ගනිල්ලා …’ මට ඇසුණේ සිරිල්ගේ කටහඩයි … මම හැරි බැලුවේ ඔහුට අනතුරු අගවන්නය …. එහෙත් ලැබුණු අවසරයෙන් සිරිල් ගේ සගයන් දෙදෙනා ක්‍රියාත්මකවී අවසන්ය … අභිතගේ පිස්තෝලය උදුරාගත් සෝමේ එය අභිතගේ ගෙලේ තැබුවේය …
‘දැන් ඔක්කොම හරි … එක්කෙනක් නෙවෙයි දෙන්නාම දැන් මගේ අතේ …’ සිරිල්ගේ වියරු හිනාව උස් හඩින් පැතිර ගියේය …
‘ඔයාද එතකොට මෙහෙ හංගගෙන හිටපු හිරකාරි …. සිරිල් මට උබ කිව්වා නේද නෙත්මා පැනලා ගියා කියලා .. ‘’ අභිතගේ කටහඩේ උවේ කෝපයකි …
‘හා ..හා ..හා … ඔව් පැනලා ගියා …ඒ ඔක්කොම මගේ ප්ලෑන් … දැනගන්න ඕනද මොකද උනේ කියලා ..’
‘ඔව් මට දැනගන්න ඕන ඒ දේවල් ..’
‘හරි මම ඔබ තුමාගේ අවසාන කැමැත්ත ඉෂ්ට කරන්නම් … එහෙනම් හොදට අහගන්න .. මේ නෙත්මාට මම කැමති උනේ බණ්ඩාරවෙලදී දැක්ක පලවෙනි දවසේ …ඒත් මේකි හරිම උඩගුයි …මගේ දිහා බලලා හිනාවුනේවත් නැහැ … මම කොච්චර කල් මේ කෙල්ල දිහා බලාගෙන හිටියාද …දවසක් මම දැනගත්තා මේකි අපේ පුංචි මහත්තයා එක්ක යාළු වෙලා ඉන්නේ කියලා … මම තරහෙන් පිස්සු වැටුනා …. මට උවමනා උනේ කොහොම හරි මේ සම්බන්ධෙ කඩලා දාන්න … මම පොඩි මහත්තයා ලියුම් දුන්නාම ගිහින් දුන්නා …ඒ උනාට මම කරන්න ඕන දේවල් ප්ලෑන් කළා … දවසක් මම ලොකු මහත්තයාට මේ දේවල් කිව්වා …. නෙත්මා ගැන පුළුවන් තරම් නරක කතා කිව්වා …. ලොකු මහත්තයා කිව්වා මොන විදිහකට හරි මේ සම්බන්ධෙ කඩලා දාන්න කියලා …. මම අදුරන පොලිසියේ මහත්තයෙක් හිටියා සල්ලිවලට පුදුම කෑදරයි … සල්ලි ගොඩක් දෙන්නම් කිව්වාම මිනිහා කිව්වා කොහොම හරි මේ සම්බන්ධෙ නතර කරලා දාන්නම් කියලා … මිනිහා දැලක් එළලා කෙල්ලව යාළු කරගත්තා ……මම පොඩි මහත්තයා දුන්න ලියුම් නෙත්මාට දෙන්නේ නැතිව විසිකරලා දැම්මා .. පස්සේ නෙත්මා අර පොලිස් මෑන්ට එක්ක සම්බන්ධෙ ගොඩක් දුර ගියා …. කොහොම හරි පොඩි මහත්තයා මේක දැනගත්තා ….පස්සේ දවසක මම පොඩි මහත්තයාට කිව්වා නෙත්මා අර පොලිස් කාරයා එක්ක පැනලා ගියා කියලා … ඒ උනාට ඇත්තටම උනේ අපි දෙන්නාවම පැහැර ගත්ත එක … පුංචි මහත්තයා කොළඹ යන්න ගියා…. ලැජ්ජාව දරාගන්න බැරිව නෙත්මාගේ තාත්තා බණ්ඩාරවෙල දාලා යන්න ගියා …ඊට පස්සේ ලොකු මහත්තයා මේ ගේ සල්ලි වලට් අරන් ළමා නිවාසේ දැම්මා … මට ඕන උනේ මේ දේපල ඔක්කොම මගේ කරගන්න මම දවසක් ලොකු මහත්තයාගේ වාහනේ රෝදෙක හුලං ඇරියා .. එයා මැරුණා … මම කවදාවත් එන්නේ නැහැ කියලා හිතපු පුංචි මහත්තයා ආපහු බණ්ඩාරවෙල ආවා මගේ ප්ලෑන් ඔක්කොම අවුල් උනා … පස්සේ මට ඇන්ජලා උදව් කළා …. නෙත්මාවයි පොලිස් කාරයයි මෙහෙට ගෙනත් හැංගුවා ….. පොලිස් කාරයා පැනලා යන්න හැදුව නිසා අර කාමරේ ඇතුලෙම ඉවරයක් කරලා දැම්මා ….. මේකි මේ අවුරුදු ගානම ඔය කාමරේ අස්සට වෙලා ඉන්නවා … මම මේකිව මැරුවේ නැත්තේ මාව බදින්න කැමති වෙයි කියලා … ඒත් කැමති උනේ නැහැ .දැන් මම මේ හැම දෙයක්ම ඉවර කරනවා …ඊට පස්සේ මේ හැම දේපළක්ම මගේ ….’
මහා හඩින් වියරු හිනාවක් නැගු සිරිල් තමාගේ වීරක්‍රියාව ගැන ආඩම්භරයෙන් මෙන් මිදුලේ එහා මෙහා යන්න විය … මේ විසල් මිනිසුන්ට මා කුඩා වස්තුවක් වූ බැවින් නොපෙනෙන්න ඇත …. මා අභිතට උදව් කල යුතුමය ….
මගේ දෑසට පෙනුනේ මිදුලේ තිබුණු ලොකු ගලකි …..මොවුන්ගේ අවදානය වෙනස් කිරීම කල යුතුය …. විගසින් බිමට නැවුණු මම ගල අතට ගෙන සිරිල්ට එල්ල කලෙමි …. ගල වැදුණේ ඔහුගේ මුහුනේය … මුහුණ අතින් වසාගත් ඔහු වෙඩි වැදුණු වලහෙකු මෙන් මා දෙස බලා ගොරවන්න විය … එක්වරම කඩාපාත්වූ ගල නිසාවෙන් සියල්ලගේ අවධානය වෙනස් වී ගොසිනි …. අඩියට දෙකට මා වෙත පැනගත් සිරිල් ඔහුගේ වේදනාව නොතකා මගේ ගෙලෙන් අල්ලා තදින් සොලවන්න විය .. ඔහුගේ මුහුණේ භයානක පෙනුම ඒ මොහොතේ මා බියට පත් කළේය ….
‘මේකි කොහොමද අතනින් පැනගත්තේ උබටත් මැරෙන්න ඕනද …. හරි හිටපන් මම උදව් කරන්නම් … මර්වින් ඔය තුවක්කුව දීපන් මගේ අතට ..’ සිරිල් බෙරිහන් දෙද්දී මර්වින් තුවක්කුව ඔහු අත තැබුවේය ….. ඉතින් තවත් මොහොතකින් සියල්ල නිමවනු ඇත … සිදුවෙන්නක් උවාවේ සිතු මා දෑස් තදින් පියාගත්තෙමි ……
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *