24

~~~සමනළ වසන්තය ~~
24 කොටස
කාන්දමක් වගේ දිනිතගේ උරහිසට නිකට තියාගෙන ඇස් දෙක පියාගෙනම හිටිය මට ඇස් ඇරලා වටපිට බලන්න බැරි තරම් බයක් දැනුනේ … මට හිතුනේ අර මැරයෝ ටික ඇවිත් මගේ ඔළුවට පිස්තෝලේ තියයි .. මාව මරයි කියලා ….දෙවියනේ මට දැන්ම මැරෙන්න බෑ …. මට ඉස්සරහට කරන්න කොච්චර වැඩ තියෙනවාද … මගේ හිතේ කොච්චර හීන තියෙනවාද ..
‘හිරුෂි අපි ගෙදර ලගට ඇවිත් ඉන්නේ …’ එකපාරම බයික් එක ස්ලෝව් උන නිසා මම ගැස්සිලා ඇස් ඇරලා බැලුවා …අපි හිටියේ අපේ ගෙදරට මීටර් සියකට විතර මෙහායින් …
‘මෙච්චර ඉක්මනට ආවද ..’ මට දැනුනේ දිනිත එක්ක බයික් එකට නැගලා විනාඩි ගානක්වත් ගෙවිලා ගියේ නැහැ වගේ හැගිමකුයි …
‘ඔව් අම්මා බලාගෙන ඇති ඔයා එනකන් …’ එයා නොකියා කියන්න ඇත්තේ එයාගේ උරහිසේ තිබ්බ මගේ මුහුණ අහකට ගන්න කියන එකයි ….
‘සොරි අයියා ..’ විදුලි සැරයක් වැදුනා වගේ එයාගෙන් ඈත්වෙලා මම හෙමින් එහෙම කියද්දී දිනිත සයිඩ් කන්නාඩියෙන් මගේ දිහා බලන්න ට්‍රයි කලත් කළුවර වැටිලා තිබ්බ නිසා එයාට මගේ මුහුණ හරියට පෙනුනේ නැහැ …
‘ඔයා මෙතනින් බහින්න එහෙනම් ..’ දිනිත එහෙම කියලා බයික් එක නතර කලත් මම හෙල්ලෙන්වත් නැතිව එහෙම්ම හිටියා …
‘මට බෑ ..’ මම ස්ථිර විදිහට එහෙම කිව්වා .
‘ ඇයි .. ‘’’
‘මට බයයි අර මිනිස්සු ඇවිත් මාව මරයි ..’ මම මුරණ්ඩු විදිහට මගේ මතේම හිටියා
‘හිරූ මේ ඉස්සරහා තියෙන්නේ ඔයාගේ ගෙදර ….කවුරුත් එන්නේ නැහැ ඔයාට මොකුත් කරන්න ..දැන් බය නැතිව යන්න ..’ එයා කොච්චර කිව්වත් මම නම් හෙල්ලුනේ නැහැ
‘මට බෑ කියලා කිව්වා නේ ..’ මම හිතුවක්කාර වෙද්දී දිනිත මහා වේගෙන් බයික් එක අපේ ගේට් එකෙන් ඇතුලට දැම්මේ මොකුත්ම හිතන්නේ නැතිවයි …..
අම්මයි දොර ලගට වෙලා බලාගෙන ඉන්නවා මම එනකන් … එකපාරම ගේට් එකෙන් ඇතුලට දැම්ම බයික් එක දැකලා අම්මා ඉස්සරහට දුවගෙන ආවා ..
‘දැන්වත් බහින්න .. අන්න අම්මා එනවා ..’ දිනිත මොනවා කිව්වත් මම හෙලවුනේවත් නැහැ ..
‘මොකද හිරූ මේ …කව්ද මේ පුතා …’ අම්මා බයෙන් වගේ අපි දෙන්නා බලාගෙන ඉද්දි දිනිත එයාගේ හෙල්මට් එක ගැලෙව්වා … දිනිතගේ මුහුණ දැක්කාම බයෙන් පිරිලා තිබ්බ අම්මාගේ මුහුණ සැහැල්ලු වෙලා යන්න ඒ තරම් වෙලා ගියේ නැහැ
‘මේ පුතා නේ .. හිරූ බහින්න බයික් එකෙන් ..’ අම්මා මගේ අතකින් ඇල්ලුවා ….
‘අනේ අම්මා මට බයයි …’ මම වටපිට බලන ගමන් එහෙම කියද්දී මගේ කටහඩ වෙව්ළුවා ..
‘මොනවද පුතා මේ ළමයාට වෙලා තියෙන්නේ ….’ අම්මා කටත් ඇරගෙන අහද්දී දිනිත බයික් එකෙන් බැස්සා
‘ආන්ටි මෙයා මට හම්බවෙද්දී සිහියක් නැතිව පිස්සියක් වගේ පාරේ දුවනවා ..’ දිනිත සිද්ද වෙච්ච දේ එකින් එක අම්මාට පැහැදිලි කරනවා මගේ දිහා බලන ගමන්ම … මම එයා කිව්ව දේවල් ඇත්ත කියන්න වගේ ඔළුව හෙලෙව්වා ….
‘හිරූ ඔයාට දවල් හීනයක් පෙනිලාද කොහෙද ….මෙච්චර සෙනග ඉන්න ටවුන් එකක කොහොමද ඔය විදිහේ මිනීමැරුමක් වෙන්නේ …. ඔයා හිතේ විකාර ඇදගන අන්තිමේට ඔයාම බය වෙනවා …’ අම්මා එහෙම කියන ගමන් මගේ අතින් අල්ලාගෙන මට බයික් එකෙන් බහින්න උදව් කළා .. කිසිම උත්තරයක් දෙන්නේ නැතිව මම අම්මාගේ පපුවට හේත්තු උනා ..ඇත්තටම මම ඒ දැක්කේ ඇත්තක්ද බොරුවක්ද කියලාවත් මට තේරුම් ගන්න බැරිව මම අතරමන් වෙලා හිටියේ …
‘ආන්ටි මම යන්නම් ..අපේ අම්මා බලාගෙන ඉන්නවා ඇති මම එනකන් ..’
දිනිත අයියා අම්මාට එහෙම කියලා ආයෙම සැරයක් මගේ දිහා බැලුවේ මම යන්නම් කියන්න වගේ ..මම කිසිම උත්තරක් නොදී ගොළුවෙලා වගේ බලාගෙන ඉද්දි එයා බයික් එකට නැගලා හෙල්මට් එක දාගෙන බයික් එක ස්ටාර්ට් කරලා හරවාගත්තා …
‘තෙරුවන් සරණයි පුතා ..’ අම්මා එහෙම කියද්දී මාත් හිතින් ඒ ආශිර්වාදයම දිනිත වෙනුවෙන් කළා …
*****
‘හිරූ බබෙක් වෙන්න එපා …දැන් දවස් කියක් එක දිගට ඉස්කෝලේ ගියේ නැද්ද …හිතේ එක එක විකාර රූප ඇදගෙන බොරුවට කාමරේ ඇතුලට වෙලා ඉන්නවා ..අද වෙනකන් ඔහොම මිනි මැරුමක් ගැන ආරංචියක් තියෙනවාද …..ඔන්න මම අප්පච්චිටත් කිව්වා ඔයාගේ හැසිරීම ගැන …’
දවස් ගානක් ඉස්කෝලේ යන්නේ නැතිව ගෙදර වෙලා හිටිය නිසා අම්මාට හොදටම තරහා ඇවිත් ….එයා රට වටේ ගිනි තියලා ඇති දැන් මම ඉන්න විදිහ ගැන ..හෙට අනිද්දා අත්තා මුත්තාගේ ඉදන් කිත්තා කිරිකිත්තා වෙනකන් අය අපේ ගෙදරට එයිද දන්නේ නැහැ මට උපදෙස් දෙන්න …
‘හිරූ ඔන්න මාලා මිස් කිව්වා තව දවස් දෙකක් බලලා ඔයා ප්‍රැක්ටිස් ආවේ නැත්තම් ඔයාගේ ප්ලේස් එක වෙන කාට හරි දෙනවා කියලා ..’
අම්මාගේ කන් කරච්චලේ අස්සේ සදූ එහෙම කිව්වාම නම් මට උන් හිටි තැන් අමතක උනා ..මොකද මම ලොකු බලාපොරොත්තුවකින් හිටියේ මේ සැරේ විවාද තරගෙට ඉදිරිපත් වෙන්න …
හුස්මක් කටක් ගන්නෙවත් නැතිව හිටිය තැනින් නැගිටලා මම බාත් රූම් එකට දිව්වා .. මම මොකටද කාටවත් බයේ මගේ ටාර්ගට් එකට යන එක නැති කරගන්නේ ….. මම එදා දකින්න ඇත්තේ මායාවක් වෙන්න ඕන ..අච්චර ටවුන් එකක් මැද්දේ මිනි මරන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද …. මම හිත රවට්ටා ගත්තේ එහෙම හිතලයි
‘මොකද අර බහිරවයා වගේ හිටිය කෙල්ල එක පාරටම වයින් කරලා වගේ බාත් රූම් එකට දිව්වේ ..’ අම්මා සදූගෙන් අහනවා මට යාන්තමට වගේ ඇහුනා ….
‘දෙවියෝ දනී අම්මා හිරූ කරන දේවල් වේලාවකට මට නම් තේරෙන්නේම නැහැ ..’
මම වොෂ් එකක් දාගෙන සුදු ගවුම ඇදගන්නකොට අම්මාත් සාරි එකක් පටලවාගෙන මගේ ලගට ආවා …
‘අම්මා කොහේ යන්නද ඇදගන්නේ මේ ..’
‘මමත් ඔයා එක්ක එන්නම් ..’
අම්මා මාව ඇරලවන්න ඉස්කෝලෙට එන්න ලැහැස්ති … ළමයි මොනවා හිතයිද පොඩි කාලේ වගේ අම්මා එක්ක ඉස්කෝලේ ගියොත් ….චියා ලැජ්ජාවේ බෑ …තාම අම්මාගේ අතේ එල්ලිලා ඉස්කෝලේ එනවා කියලා අපේ කෙල්ලෝ මට හිනාවෙයි
‘අනේ අම්මා මම යන්නම් ඔයා ඉන්න …’ මම පොත් බෑග් එකත් දාගෙන පාරට බැස්සේ කොහොම හරි අම්මාව ගෙදර නවත්තලාමයි
‘කොහෙද බන් මේ දවස් දෙකේ අතුරුදහන් වෙලා හිටියේ .. …මම සදුගෙනුත් ඇහුවා …ඒකි කිව්වේ උබට ලෙඩක් කියලා …මොකක්ද එකපාර හැදුනු ලෙඩේ .’ පුජනී මාව දැක්ක ගමන් ප්‍රශ්න දාහක් විතර අහන්න තියාගත්තා
‘ මට ජබර කලන්තේ හැදුනා නෙව ..’ මම විරිත්ත විරිත්ත එහෙම කිව්වේ පුජනිව ගොඩක් දවස් ඇවිස්සුවේ නැති හින්දා පොඩි විහිළුවක් කරන්න හිතාගෙන
‘ජබර කලන්තේ ….. ඒ මොන ලෙඩක්ද …මමනම් අදමයි ඇහුවේ …’ පුජනී කටත් ඇරගෙන එහෙම අහද්දී බලන්න එපැයි ලස්සන
‘ඒක උබලා වගේ එළ වැස්සියන්ට හැදෙන එකක් නෙවෙයි බන් ..’ මම එහෙම කිව්ව ගමන් කෙල්ල දැනගත්තා මම කලේ විහිළුවක් කියලා …හම්මේ ඒ වෙලාවේ කෙල්ලගේ මුහුණේ ස්වභාවේ බලන්න එපැයි …මට ගස්සලා පද්දලා යන්න ගියා පංතියෙන් එළියටම.. පැත්තක ඉදලා අපේ කතාව අහගෙන හිටිය තේජා බකස් ගාලා හිනාවෙන්න ගත්තා ..
‘දැන් මම උබට දෙකක් දෙනවා ජබර කලන්තේ හැදෙන්නම …. ඔය සිරික්කිය නවත්තා ගත්තේ නැත්තම් ..’ මම දෙකක් අනින්න කියලා තේජා ලගට පනිද්දී එයත් පුජනී පස්සේ දුවන්න පටන් ගත්තා ..
******
සතියක් විතර ප්‍රැක්ටිස් කරලා අන්තිමේට අපි තරගෙට යන්න ලැහැස්ති උනා …. කේතකියි මායි තවත් අක්කලා තුන් දෙනෙකුයි තමා අපේ ඉස්කෝලේ නියෝජනය කරේ … අපි කට්ටිය ස්කුල් වෑන් එකෙන් ගිහින් බහිද්දී පිරිමි ළමයි කට්ටියක් ඇවිත් අපිව පිලි අරන් හෝල් එකට එක්ක ගියා …අපේ ස්කුල් එක වගේම තවත් ඉස්කෝල පහක් හයක් තරගෙට මුහුණ දෙන්න ඇවිල්ලා හිටියා ……
‘නංගි …. හිරුෂි …’ නිදුකයියා කොහේදෝ ඉදලා මාව හොයාගෙන ඇවිත් කතා කරා …
‘මිස් අයියා එක්ක කතා කරලා එන්නද ..’ මිස්ගෙන් පර්මිෂන් අරන් මම නිදුකයියා ලගට දිව්වා …. නිදුකයියා එක්ක එයාගේ යාළුවෝ වාගයකුත් හිටියා …
‘අයියා …’
‘ඉස්සර නම් මෙහෙම ඉවෙන්ට් එකකට එද්දී නංගි මට සුමානයක් කලින් කියනවා …ඒත් අද පුංචි අම්මාගෙන් දැනගන්න කන් මම දන්නේ නැහැ අද ඔයා ඩිබේට්ස් එකට එනවා කියලා ..’ අයියා ලොකු වේදනාවකින් වගේ කතා කරේ …
‘සොරි අයියා මට මතක නැතිවුනා …’ මම එහෙම කියලා අයියාගේ මුහුණට එබෙද්දි එයාගේ ඇස් දෙකේ තිබ්බ වේදනාව ගොඩක් වැඩියි කියලා මට පෙනුනා …
‘මට බයයි .. හිරු …’ එයා හරි හෙමින් අර වේදනාවෙන්ම එහෙම කිව්වා
‘ඇයි අයියා …’
‘තව ටික දවසකින් හිරුට අපිවත් අමතක වෙලා යයි කියලා ..’
එයා කතා කලේ හදවතේ හිරකරගෙන හිටිය වේදනාවෙන් නිසා ඒ වචන මගේ හාර්ට් එකටම වැදුනා … නිදුකයියා මගේ දිහා බලන්නේ විදිහ සහෝදරියක් විදිහට නම් මට එයාට ගොඩක් ආදරෙන් ඉස්සර වගේම කටපුරා මගේ අයියේ කියන්න තිබ්බා ඒත් එයා මගේ දිහා ආදරවන්තියක් දිහා බලන විදිහට බලද්දී මම කොහොම ඉස්සර වගේ එයාට ලංවෙන්නේ … හැමදෙයක්ම එයාට කියන්නේ …. මම දිග හුස්මක් ගන්න ගමන් අන්ත අසරණ විදිහට එයා දිහා බලද්දී නිදුකයියා මොකුත්ම හිතන්නේ නැතිව මගේ අත තද කරලා අල්ලාගත්තෙත් දිනිත අපි හිටිය තැන පහු කරලා ගියෙත් එකම මොහොතකදීයි …දිනිත නිකමටවත් හැරිලා බලන්නේ නැතිව නොදන්න කෙනෙක් වගේ යද්දී මගේ හිත එකම තැනක නතර වෙනවා වගෙයි මට දැනුනේ …. නිදුකයියාගේ අතකට හිරවෙලා තිබ්බ මගේ අත ගලවාගෙන මම හෝල් එකට දුවගෙන ගියේ මුළු ඇග පුරාම වේදනාවක් ඔඩු දුවනවා දැනෙද්දීමයි …..
තරග පටන් අරන් එකින් එක කණ්ඩායම් තරගෙට සහභාගී වෙනවා … මට ඒ කිසිම දෙයක් ඇහුනේ නැති තරම් … මම ඔහේ බලාගෙන හිටියා විතරයි … දිනිත ආයේ කවදාවත් මගේ දිහා බලන එකක් නැද්ද මගේ හිත පුරාම වයිරස් එකක් වගේ ඒ හැගීම පැතිරිලා යද්දී ඇහැට කදුලක් එන්න දැගලුවත් මම හයියෙන් ඇහිපිහ ගහගෙන ගහගෙන ගියා විතරයි ….
අන්තිමේට අපේ තරග වාරේ ආවා හැමෝම තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා …. කණ්ඩායමේ අය කරුණු සටහන් කරගන්නවා …. මම විතරක් කිසිම දෙයක් නොකර ඔහේ බලාගෙන හිටියා විතරයි ..
‘හිරුෂි ඔයාගේ වාරේ දැන් කතා කරන්න …’ කේතකි මගේ ඇගට අනිනකන් මම හිටියේ සිහින ලෝකයක් ඇතුලේ … ඒ වේලාවේ කොහොම හරි කරුණු ගොනු කරලා මට කියාගන්න පුළුවන් උනේ පහු ගිය දවස් ටිකේම මම හොදට පුහුණුවීම් කරපු නිසයි

*******
කොහොම හරි අපේ ටීම් එකේ තරග කාරයන්ගේ දක්ෂතාවය නිසා අපිව ෆයිනල් එකට සිලෙක්ට් උනා …
‘හිරුෂි ….’ අවසන් තරගෙට අපි කට්ටිය ප්‍රැක්ටිස් කර කර ඉද්දි සුපුරුදු කටහඩක් ඇහුනා අපි හිටිය පංති කාමරයට එහායින් ..කවදාවත් මාව දකින්න එන්නේ නැතිවෙයි කියලා හිතුව දිනිත මාව හොයාගෙන ඇවිත් … මගේ හිතේ තිබ්බ වේදනාව කොහේ ගියාද නැහැ ….
‘මිස් අදුරන අයියා කෙනෙක් කතා කරලා එන්නද ..’ මිස්ගෙන් අවසරේ ලැබෙන්න කලින් මම හිටියේ දිනිත ලග ..
‘දිනිත අයියා ‘ මම එයාගේ ඇස් දෙකට එබුනා ….. ඒ වේලාවේ මට දැනුනා මගේ කටහඩ වේව්ලනවා කියලා
‘හිරුෂි ඔයා තරගෙට ෆේස් කලේ මොන ලෝකේ ඉදලාද …’ අපි තරග කරන වෙලේ දිනිත පෙන්න හිටියේ නැතත් එයා කොහේ හරි ඉදලා මම තරග කරනවා බලාගෙන ඉදලා …
‘ඔයා දැක්කද …’
‘හ්ම්ම්ම් මම බලාගෙන හිටියේ …’ දිනිත එහෙම කියලා මට ටිකක් ලංවෙද්දි මම ලැජ්ජාවෙන් බිම බලාගත්තා
‘මේ බලන්න හිරු ඔයා මේ තරගේ දිනන්න ඕන ….. හැබැයි මේ තරගේ පැරදුනොත් මම ආයේ කවදාවත් ඔයා එක්ක කතා කරන්නේ නැහැ …’ දිනිත ස්ථිර විදිහට එහෙම කියලා තවත් විනාඩියක්වත් පරක්කු වෙන්නේ නැතිව එතැනින් යන්න ගියා …කොහේ ඉදන් ආපු ශක්තියක්ද මන්දා ඒ වේලාවේ මට ආවේ ..මේ තරගේ කොහොම හරි දිනන්න ඕන කියන එක විතරයි මට හිතුනේ …
ෆයිනල් තරගේදී මම තර්ක විතර්ක ඉදිරිපත් කලේ ප්‍රබල විදිහටයි ….දිනිත කොහේ හරි ඉදලා බලාගෙන ඉන්නවා කියලා දන්න නිසා මම මගේ උපරිම දක්ෂතාවයෙන් කරුණු ඉදිරිපත් කළා … මගේ දක්ෂතාවය හමුවේ ප්‍රතිවාදීන්ට කට උත්තර නැතිවෙද්දී අපිට තරගෙන් දිනුම ලැබුනා …. මගේ හිතට ආවේ කිසිම දවසක දැනිලා නැති තරම් සතුටක් …. උදාසීන වෙලා හිටිය මගේ හිත මොහොතකට හරි ඇවිත් ශක්තිමත් කරාට මට දිනිතට ස්තුති කරන්න ඕන උනත් අපි එයාලාගේ ස්කුල් එකෙන් එළියට යනකන්ම ඊට පස්සේ එයා මගේ ඉස්සරහට ආවේ නැහැ
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *