25
~~~~යශෝධරා ~~~
25 කොටස
ජීප් රියෙන් බැස ළමා නිවාසය දෙසට පැමිණියේ පෙරදා රාත්‍රියේ මෙහෙයුම ක්‍රියාත්මක කල පොලිස් නිලධාරියාය ..ප්‍රතාපවත් පෙනුමක් තිබුණු පොලිස් නිලධාරියා ගාම්භීර ගමනින් පැමිණ අප අසල නවතිද්දී මම බිම බැලීමි ….
‘ ගුඩ් මෝර්නින් ඉස්පෙක්ටර් රාමනායක …’
‘ගුඩ් මෝර්නින් මිස්ටර් අභීත …. ’
‘ ඉස්පෙක්ටර් මම ළමයින්ව එයාලාගේ භාරකාරයොන්ට භාරදුන්නා .. දැන් ඉස්පෙක්ටර්ට කැමති විදිහට පරීක්ෂණ කටයුතු කරගෙන යන්න පුළුවන් …’
‘එහෙනම් අපි අද ඉදලාම පරීක්ෂණ ආරම්භ කරනවා ..’
‘ඒක හොදයි මට ඕන මේ කාරණේට සම්බන්ධ හැම කෙනාටම දඩුවම් කරන්න .. ආයේ මේ වගේ දෙයක් නොකරන්නම …’ ඔවුන් දෙදෙනා කතාබහ කරද්දී අප කලේ පසෙකට වී බලා හිදිමය …
‘මිස්ටර් සේනාධීර අපි යන්නද … ට්‍රේන් එකට වේලාවත් හරි ’ අවසානයේ ඇනා අවසර ඉල්ලුවේ අත් ඔරලෝසුව දෙස බැල්මක් හෙලමිනි ….
‘මේ ළමයා නේද මේ කේස් එක ඇහෙන් දැක්ක සාක්ෂිකාරයා … ’ පොලිස් නිලධාරියා මා දෙස බලා විමසුවේ අභිත කතාකිරීමට පෙරය ..
‘ඔව් ඉස්පෙක්ටර් යශෝධරා තමා මේ ගැන හෝඩුවාව අපිට දුන්නේ ….’
‘මට කියන්න අමතක උනා මිස්ටර් අභීත ….මේ ළමයාව අපිට ටික දවසක් බණ්ඩාරවෙල තියාගන්න වෙනවා …. එයාලා මේ දේවල් කරපු බවට තියෙන හොදම සාක්ෂිය මේ ළමයා …’
පොලිස් නිලධාරියා එලෙස පවසද්දී මම දෑස් ඔසවා අභීත දෙස බැලීමි …. ඒ මුහුණේවූ හැගිම් තේරුම් ගත නොහැකි ඒවාය …
‘ඉස්පෙක්ටර් යශෝධරා මේ කේස් එකට සම්බන්ධ කරගන්නවාට මම කැමති නැහැ …. එයා මේ කේස් එකෙන් ඈත් කරලා තියන්න .. එයාට මේ නිසා මොනම හරි කරදරයක් වෙනවාට මම කැමති නැහැ ..’ අභිතගේ වචනවල උවේ දැඩි බවකි ….
‘මේ අහන්න මිස්ටර් සේනාධීර මම මේ ගැහැණු ළමයාට කිසිම කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ … අපිට මේ කේස් එක ඉක්මනින්ම ඉවරයක් කරගන්න ඕන නම් මේ ළමයාගේ සාක්ෂි ඕන වේනවා..’
අභීත පොලිස් නිලධාරියාගේ කතාවට එකගවුවේ බොහෝ තර්ක විතර්ක කිරීමෙන් අනතුරුවය ..ඔහු මා නිසාවෙන් බිය ගන්නේ මන්ද යන්න මට නොවැටහුණු කාරණාවකි ….
‘ මිස්ටර් අභිතගේ ගෙදර මේ දරුවා නවත්වා ගන්න .. එහෙ තරම් මේ කොහෙවත් මේ ළමයාට ආරක්ෂාවක් නැහැ ….අපි මේ කේස් එක ඉවරවුන ගමන් යශෝධරාව ආරක්‍ෂිත තැනකට යවමු ..’
කිසිවක් නොකියූ අභීත හිස සැලුවා පමණි ….ඔහුට හැගෙන්න ඇත්තේ මහා ලොකු බරක් හිසට පැටවුවාක් මෙනි ….
‘ එහෙනම් ඇනා යන්න … මේ කේස් එක ඉවරවුන ගමන් මම ඇනාට කතා කරන්නම් … ‘’
පොලිස් නිලධාරියා පිටව ගියපසු අභීත ඇනාට යෑමට අවසර දුන්නේය …. ඕ යන්න ගියේ මේරි නැන්දාට සියල්ල පවසන බවට පොරොන්දු වෙමිනි ….
‘යශෝධරා බෑග් එකත් අරන් ජීප් එකට නගින්න … මම ටක් ගාලා එන්නම් …’
මගේ මුහුණ දෙස වරක් හෝ නොබලා පිටව ගිය අභීත ලිපිගොනුවක් රැගෙන පැමිණෙද්දී මම ජීප් රියෙහි අසුන්ගෙන ඔහු දෙසම බලා උන්නෙමි … ඒ මුහුණේ කිසිම සිනාවක් නැත …. අභීත මේ වෙනස් උවේ පෙරදා සිටය …ඒ නෙත්මා මුණගැසීමෙන් පසුවය ….. නෙත්මාගේ හමුවීමෙන් පසුව ඔහුට මා බරක්විමට හේතුවූ කාරනාව කුමක්ද … මට වටහා ගැනීමට නොහැකිය …. හිතට වේදනාවක් එබෙද්දි මා ඉවත බලාගත්තෙමි … ඔහුට බරක්විමට නොහැකිය …අද ඔහුගෙන් මිදී යෑමට ලැබුනා නම් සියල්ල අමතක කර මට නව දිවියකට එලබීමට හැකි වුවා නොවේද ..
අභිතගේ විසල් නිවසේ ගේට්ටුවෙන් ජීප් රිය ඇතුළු කරන තුරුම ඔහු මා දෙස බැලුවා හෝ නොවේ … දරාගැනීමට නොහැකිවුවේ ඔහුගේ මේ වෙනස්වීමය
‘යශෝධරා බහින්න කල්පනාවක් නැද්ද …’
ජීප් රිය ගාල්කල අභීත රථයෙන් බැස මා දෙස බැලුවත් මම නොසෙල්වී උන්නෙමි …
‘යශෝධරා වාහනෙන් බැහැලා ඇතුලට එන්න …’ දෙවන වරට ඇහුන ඔහුගේ කටහඩ දැඩිය …ප ඔහුගේ නපුරු කම් හමුවේ මා මුරණ්ඩු දැරියක් වී උන්නෙමි …
‘ යශෝධරා මොකද මේ වෙලා තියෙන්නේ …පොඩි දරුවෙක් වගේ වැඩ කරන්නේ නැතිව බහින්න … පුදුම හිතුවක්කාර කමක්නේ මේක … ’ කෝපයෙන් එලෙස පැවසු ඔහු මා උන් පස දොරටුව විවර කර මගේ අතකින් තදින් අල්ලා ගත්තේය ….
‘මාව වෙන කොහේ හරි නවත්වන්න සර් .. ‘’ කුඩා ගමන් මල්ල තුරුළු කරගත් මා ඔහු දෙසට හෙළුවේ අසරණ බැල්මකි
‘ඔයා කොහේ කියලා නවත්තන්නද යශෝධරා ….. ඇයි ඔයාට මාත් එක්ක මෙහෙ ඉන්න බයද ..’
ඔහුගේ මුහුනේවූ බැල්ම දරාගත නොහි මා ඉවත බැලීමි ….
‘මම බය නැහැ සර් ..ඒ උනාට මම මෙහෙ ඉන්න එක ඔයාට වදයක් …’
‘මම ඔයාට කිව්වද එහෙම ..’
‘නැහැ ….ඒ උනාට මට එහෙම හිතුනා ..’
‘පිස්සු නැතිව මෙන්න මෙහෙ බහිනවා …. මගේ යකා අවුස්සන්නේ නැතිව ….. ‘’ ඔහු පුංචි දැරියකට සැරවැර කරන පියෙක් මෙනි ..තවදුරටත් මුරණ්ඩු නොවී මා ජීප් රියෙන් බැස්සෙමි ….
‘විමලා …විමලා …’ අභීත ගෙතුලට පිවිසියේ සේවිකාව අමතමිනි ..
‘පොඩි මහත්තයා මට කතා කලාද ..’
‘ආ ඔව් … විමලා උඩ වහලා දාලා තියෙන කාමරයක් මේ මිස්ට ලැහැස්ති කරලා දෙන්න …. ටික දවසක් යනකන් මෙයා මෙහෙ නවතිනවා ….’
අභිතට පිටුපසින් උන් මා දැක විමලා දෑස් විසල් කළාය …. ඇගේ මුහුණේ උවේ මා පිළිගැනීමට අකැමැත්තකි …එහෙත් ඇය ඔහු ඉදිරියේ කිසිවක් නොකීයා උන්නාය ….
‘මේ කාමරේ අස්පස් කරගෙන ඉන්න එකයි ඇත්තේ ..’ විමලා එලෙස පවසා සියල්ල මට භාරකර යන්න ගියාය …
උඩුමහලේ කෙළවරකවූ එම කාමරය කුඩා මුත් මගේ සිත් ගත්තේය …. කාමරය පුරාවූ මකුළු දැල් කඩාදැමූ පසු මෙය ඉතා සුන්දර තැනක් වෙනු ඇත … මම සතුටින් එහා මෙහා ගියෙමි …. කාමරයේ පිටුපස දොර විවර වී තිබුනේ කුඩා සැදැල්ලකටය … එහි සිට බලන කල පෙනෙන පරිසරය ඉතා සුන්දරය …මිදුම් සළු පොරවා ගත් ෆයිනස් කැලය මෙන්ම බොහෝ දුරට පැතිර තිබුණු කැලෑ රෝස මල් කැලය බොහෝ සොදුරුය ……
අස්පස් කිරීමෙන් පසුව මට උවමනා වුවේ පිරිසිදු වීමටය … කාමරය තුලවූ නාන කාමරය උණුසුම් මෙන්ම සිසිල් ජලයෙන් යුතුය …. උණුසුම් ජලය ස්නානයෙන් පසුව ගවුමකට උඩින් ස්විටර් එකක් දමාගත් මම සැදෑ අසිරිය නැරබීමට සැදැල්ලට පිවිසියෙමි … බොහෝ වෙලාවක් යනතුරු සුන්දර පරිසරය දෙස බලාගෙන දැහැන්ගතවී උන් මා එයින් මිදුනේ වේගයෙන් පිටව ගිය අභිතගේ ජීප් රියේ හඩ නිසාවෙනි …රාත්‍රිය එළබීමට බොහෝ ආසන්නය … මේ යාමයේ ඔහු පිටව ගියේ කොයිබද …..
බොහෝ වෙලා ගෙවියනතුරු අභීතගේ නොපැමිණීම මගේ හිතට බියක් එක්කළේය ….මේ මිදුම් පිරුණු ගොම්මන් යාමේ අභීත කොයිබ යන්න ඇතිදැයි මා සිතීමට වෙර දැරීමි …
‘යශෝධරා උබ මොනවාද හිතට වද දීදී අභීත ගැන හිතන්නේ …. උබගේ හිතේ අභීත ගැන තියෙන්නේ මොන විදිහේ හැගීමක්ද … ඒ ආදරයද නැතිනම් වෙනයම් හැගිමක්ද …. සමහර විට ඒ ආදරේ ’
‘යශෝධරා ඇත්තටම උබට පිස්සුද … උබට වඩා දෙගුණයක් වයසින් වැඩි මිනිහෙක්ට ආදරය කරන්න අනික අභීතගේ හිතේ උබ ගැන දරුවෙක් වගේ හැගීමක් ඇත්තේ ..මතක තියාගනින් එක අතකින් අත්පුඩි ගහන්න බැහැ … ’
‘ ආදරේට වයස ප්‍රශ්නයක් නෙවෙයි ….. ආදරේ කියන හැගීම හිතක ඇතිවෙන්නේ …. වයස කැත ලස්සන බලලා නෙවෙයි …. ඒ ගැගීම ඇතිවෙන්නේ ඉබේමයි … කාලෙත් එක්ක… මොන තහංචි දැම්මත් හිතට තහංචි දාන්න බැහැනේ …. ..’
‘උබ දන්නවද යශෝධරා … ඔය වගේ සම්බන්ධකම් වලට කියන්නේ අසම්මත සම්බන්ධ කම් කියලා …. කිසිම ගැලපීමක් නැති මිනිහෙක්ට ආදරය කරලා උබ පිස්සියක් වෙන්න එපා … අනික අභීත උබට ආදරය කරන්නේ නැහැ ..’
මගේ උඩුහිත යටි හිතත් එක්ක සටන් කරනවා … උඩු හිත කියන දේ යටි හිතවත් යටි හිත කියන දේ උඩු හිතවත් පිළිගන්නේ නැහැ …. බොහෝ වේලා යනතුරු ඔවැනි දෑ සිතමින් උන් මා කල්පනා ලොවෙන් මිදුනේ අභිතගේ ජීප් රිය ගේට්ටුවෙන් ඇතුළු වෙද්දීය …… සැනසුම් සුසුමක් හෙලමින් සැදැල්ලෙන් එබී බැලු මම දුටුවේ ඉදිරිපස අසුනින් බිමට බසින කාන්තා රුවකි …. මේ අවේලාවේ අභීත සමගින් මෙහි පැමිණි කාන්තාව කවුරු වෙන්න ඇතිද …. හිත තිගැස්සී යද්දී මට උවමනා උවේ පැමිණි කාන්තාව කව්රුන්දැයි දැනගැනීමට උවමනාවකි …
මතු සම්බන්ධයි