29

~~~~යශෝධරා ~~~~
29 කොටස
මහා වරුෂාව අතරේ මට කල්පනා ලොවෙහි අතරමංවීමට උවමනා උනිද අනිත් පස අසුනේ උන් තාරුක නිසාවෙන් වරින් වර මගේ කල්පනා දැහැන බිද වැටුණි … තාරුකට උවමනා උවේ මා කතාවට ඇද ගැනීමට උව මම කලේ නොඇසුනා සේ සිටීමය …කියවා කියවා අවසානයේ ඔහු නිහඩවුවේ මගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති නිසාවෙන් විය යුතුය …..
බස් රථය ගමන් ආරම්භ කලේ තවත් පැය දෙකකට පසු අනතුරු දායක තත්වය පහව ගිය පසුවය . තාරුක ඉංග්‍රීසි ගීතයක් මුමුණමින් උන් අතර මට බාධා කිරීමට නො ආවේය ……
බස්රිය කොළඹට ලගාවෙන විට රාත්‍රී අදුර පැතිර යමින් පැවතුනි … අද මා මෙහි පැමිණෙන බව කිසිවෙක් නොදනී …මේරි නැන්දගේ නිවසට ගියොත් සිදුවන්නේ තවත් බරක් ඇගේ හිසට වැටීමය … දරුවන් පස් දෙනාගේ කුස පිරවීමට දහසකුත් වේදනා විදින මේරි නැන්දාට තවත් කුසකට අහර සෙවීමට සිදුවුනොත් …. සිදුවන්නේ ඇය තවත් දුකට පත්වීමය…..
මට කොළඹ නගරයේ සිටින එකම හිතවතිය මේරි නැන්දයි ඇය නොමැතිව මට සෙවනක් දීමට මා දන්නා අදුනන කිසිවෙක්ම නොවේ … මගේ මව තවමත් ජිවත් උවත් ඈ කොයිබද කියා හෝ මම නොදනිමි …
‘ඔයාගේ නම කිව්වේ නැහැනේ ….’ බරැති කල්පනාවක උන් මම ගැස්සී ගියේ තාරුක මගෙන් පැනයක් විමසද්දිය ….
‘මගේ නම දැනගත්තා කියලා මොකක්ද වෙන වෙනස … තව ටිකකින් අපි බස් එකෙන් බැහැලා ගියාට පස්සේ කවදාවත් හම්බ වෙන්නේ නැහැනේ …’ මගේ පුද්ගලික දේවල් නාදුනන පිරිමි ළමයෙක්ට පැවසීමට මට සිත් නොදුන්නේය ….
‘මිස් …මේක පුංචි රටක් …. කියන එක මතක තියාගන්න …. නම ඇහුවා කියලා බොහොම තරහා යන්න ඕනද …’
‘මට කාටවත් මගේ නම ගම කියන්න ඕනි නැහැ … ’ විසල් බෑගය අතට ගත් ඔහු මා දෙසට හෙළුවේ අමනාප බැල්මකි …
‘ඔහ් සොරි මිස් …. මම යනවා ….’ ඔහු බස් රථයේ ඉදිරියට ඇවිද ගියේ මුහුණත් රතුකරගෙනය ..
‘කඩවත බහින අය බහින්න ..’ කොන්දොස්තර ගිරිය කඩාගෙන කෑ ගසද්දී තාරුක බසයෙන් බැස ගත්තේය …. මම කව්ළුවෙන් පිටත දෑස් තියා සෙවුවත් ඔහු පේන මානයක නොවුනි …. නාදුනන තරුණයාට නපුරු උවා යන හැගීම හිතට එබුණත් මම ඒ සිතුවිල්ල දිගේ ඉදිරියට නොගියෙමි … මට හිතන්න බොහෝ දේ විනි …. දැන් රාත්‍රියයි …. ඉතින් මේ රාත්‍රියේ යොවුන් දැරියක් වෙන මා කොහි කියා යන්නද ..
‘මිස් බැහැගන්න බස් එකෙන් …’ බස් රථය කොටුව බස් නැවතුමේ නැවතූ පසුවද මට එයින් බහින්න අමතකව ගොස් තිබුණි …. විගසින් බෑගය කරට දමාගත් මම අඩියට දෙකට බසයෙන් බිමට බැස්සෙමි …
දසත පැතිර යන ඝනදුර විදුලි පහන් ආලෝකය නිසාවෙන් මැකි යමින් තිබුණි …. දිවා රෑ කියා කොළඹ නගරයට වෙනසක් නැත … දිවා කාලයේ මෙන්ම නගරය පුරාම මිනිසුන් විවිධ රාජකාරි සදහා සැරිසැරුවේය ….හිතට බියක් නොදැනුනද ….යා යුත්තේ කොහිද යන පැනය හිතට බොහෝ වදදෙමින් තිබුණි …
මම සෙමින් සෙමින් ගාලු මුවදොර දෙසට ඇවිද ගියෙමි … කාත් කවුරුවත් නැති මට ඉතින් කාගේ නම් පිහිටක්ද ….සිතුවිලි සයුරේ ගිලෙමින්ම පාර හරහා ගමන් කල මම වේගයෙන් පැමිණි රථයක වැදී මදක් පසුපසට විසිව ගොස් බිම වැටුනෙමි …..
පිට කොන්ද බිම වැදීම නිසා මට දැනුනේ නැගිට ගැනීමට අපහසුවකි …. මම එලෙසම හිදගෙන කෙදිරි ගෑවෙමි …..
‘සෝ සොරි දරුවෝ ….. මම ඔයාව දැක්කේ නැහැ …’ පළමුවෙන් මම දුටුවේ උසැති අඩි තිබු කාන්තා සෙරෙප්පු යුවලකි …. අපහසුවෙන් උව මා හිස ඔසවා බැලීමි … මා ඉදිරියේ උන්නේ උසස් යැයි සම්මත පැලැන්තියේ කාන්තාවකි …මුහුණ පුරා ආලේපන තවරාගෙන උන් ඇගේ ඇදුම් ආයිත්තම් ඉතා වටිනා වර්ගයේ ඒවාය … ඒ මුහුණේ තිබුණු හැගීම් ආලේපන නිසා සැගව ගොසිනි . …
‘ ඉන්න මම ඔයාට නැගිටින්න උදව් කරන්නම් ….’ මා දෙසට පහත්වූ ඈ මට නැගී සිටීමට සහය උවාය….. සෙමින් නැගී උන් මා ඈ දෙස බැලීමි ….. ඇය තරුණ විය ඉක්මවා යමින් සිටි කාන්තාවකි ..
‘බොහොම ස්තුතියි .. මැඩම් ….’ මම ඇයට ස්තුති කලෙමි …
‘මට ස්තුති කරන්න ඕන නැහැ මම නිසානේ ඔය දරුවා හැප්පුනේ …’ මම මද සිනාවක් පා ඉදිරියට පියවරක් තැබීමි …. එහෙත් කොන්ද දෙසින් පැමිණියේ දරාගැනීමට හැකි වේදනාවක් නම් නොවේ ..මම සෙමින් කෙදිරි ගෑවෙමි …
‘ ඔය දරුවාට ඔය විදිහට යන්න බැහැනේ …ඉන්න මම ඔයාව ගෙදර ලගින් දාන්නම් …’
‘එපා මැඩම් ….. මම යන්නම් …’
‘ඔය දරුවා තනියම දාලා යන්න බැහැ …. එන්න මම ඔයාව දාන්නම් …’ ඇය බලෙන් මෙන් මා කාරයට නග්ගා ගද්දි මම සිතුවේ කොයි යන්නද කියාය …
‘ඔය දරුවාගේ ගෙදර තියෙන්නේ කොහෙද .. ’ ඉතින් මට ඇයට දීමට පිළිතුරක් නොවුනි …
‘මොකද දරුවෝ කතා නැත්තේ …’
ඇය මා දෙස බැලුවේ මද විමතියකිනි ….
‘මැඩම් මට යන්න කියලා ගෙදරක් නැහැ …’
‘ඒ කිව්වේ …’
‘මම අනාථ ළමයෙක් …මට කියලා කාත් කවුරුවත් නැහැ …..යන්න එන්න තැනකුත් නැහැ … මාව ඔය කොහෙන් හරි දාලා යන්න මැඩම් ….’ මම හුස්මක් හෝ නොගෙන කියවාගෙන ගියෙමි …. මා අසල උන්නියගේ මුහුණ සොවින් බරවී දෑසට කදුලක් උනනු මා බලාගෙනය …
‘මටත් දරුවෝ ඉන්නවා ..ඉතින් කොහොමද මම ඔය දරුවා මග දාලා යන්නේ … අපි අපේ ගෙදර යමු ..පස්සේ හිතමු මොනවද කරන්නේ කියලා ’
ඉතින් මට විරුද්ධ වීමට උවමනා නොවුනි … අනාත දැරියක් වෙන මට කිසිවෙකුගෙන් පිළිසරණක් ලැබේ නම් … එයට විරුද්ධ වීම මට කල නොහැකිය …. මා නිහඩව ඇය පැවසුවට එකග වීමි …
ඉන්පසුව ඇගේ නිවසට යනතුරුම අප දෙදෙනා අතර කතාවක් නොව්නි …
කඩවත නගරයෙන් මදක් ඈතට වෙන්න පිහිටි නිවස ඉදිරියේ කාරය නැවතු ඇය රිමෝර්ට් කන්ට්‍රෝලය අතට ගෙන ගේට්ටුව විවර කළාය … ඉන්පසුව ගේට්ටුවෙන් ඇතුළු කල රිය නැවතුනේ නිවසෙහි රථ ගාලේය ..
‘බහින්න … දරුවෝ ..’ මා රථයෙන් බිමට බැස නිවස දෙස බැලීමි …දෙමහල් නිවස පුරාවට දැල්වූ විදුලි බුබුළු නිසාවෙන් ආලෝකමත්ය …..
‘විදුර මම ආවා …..’
නිවසට ඇතුළු වෙමින් කිසිවෙකු ඇමතු ඇය මා දෙස බැලුවාය …
‘මම මහත්තයා එක්ක කතා කරලා එන්නම් … ඔය ළමයා මෙතන වාඩිවෙලා ඉන්න ..’ විසිත්ත කාමරයේ පුටුවක මා අසුන්ගත් පසු ඇය නිවසතුලට ඇවිද ගියාය … මම පිටව යන ඈ දෙස බලා උන්නෙමි ..
‘පුතා ඔයා දැන්ද ආවේ ..’ විසිත්ත කාමරයෙන් පිටත මට ඇගේ කටහඩ ඇසුණි …
‘මොකටද අහන්නේ …. මම යන එන වෙලාවක් කියන්න ඔයාට බැදිලා නැහැනේ …’ ඇතුළු ගේ තුලින් ඇදී ආ කටහඩ හුරු පුරුදු ලෙස හැගුනත් මට ඒ කව්ද කියා සිහියක් නොවුනි ….
‘ඇයි පුතා ඔයා ඔය විදිහට කතා කරන්නේ … මම ඔයාලා ගැන කොයි තරම් හිතනවාද …’ ඇගේ කටහඩ බෙහෙවින් දුක්බර ය ..
‘මම කියලා තියෙනවා නේ ඔයා මම ගැනවත් නංගි ගැනවත් හිතන්න එපා කියලා ..ඔයා තාත්තා ගැන විතරක් හිතන්න ….’ මහා හඩින් අඩි තබමින් පිටව ගියේ ඇගේ පුත්‍රයා වෙන්න ඇත …
කිසිවෙකුගේ පුද්ගලික කතා බහකට කන්දුන්නා යැයි ලැජ්ජාවක් මගේ හිතට එබුණේය ….
‘විදුර මේ තමා මම ඔයාට කිව්ව ළමයා ..’ මදවේලාවකට පසුව ඇය පැමිණියේ මැදිවියේ පිරිමියෙකු සමගය ..
‘ ආ …මේ ළමයාට කාත් කවුරුත් නැහැද එතකොට …’
‘ඔව් විදුර පව් මෙයාට කිසි නෑයෙක් නැහැලු …’
‘හ්ම්ම්ම් …මෙහෙ ඉන්න පුළුවන් තමන් හොදට හිටියොත් ඕන කාලයක් මෙහෙ ඉන්න පුළුවන් ….’
‘හොදයි සර් …’
‘අපිට සර් මැඩම් කියන්න ඕන නැහැ … ඔයා අපේ සර්වන්ට් කෙනෙක් නෙවෙයි නේ …. මට ආන්ටි කියන්න …මෙයාට අංකල් කියන්න …’
ඇය බොහෝ කාරුණික තැනැත්තියකි …….
‘හොදයි ආන්ටි ….’
රාත්‍රී ආහාරය සකසා දුන් ඇය මා වෙනුවෙන් කාමරයක් පිළියෙළ කර දුන්නේ තමාගේම දියණියකට සලකන්නාක් මෙනි …
‘මෙහෙ කව්ද ආයේ ඉන්නේ ..’
යහන සකසා දුන් ඇය මා අත ගවුම් කීපයක් තබද්දී මම ඇගෙන් විමසීමි …
‘මමයි මහත්තයයි පුතයි දුවයි …’
‘කෝ එයාලා …’
‘එයාලාව හෙට හම්බවෙන්න පුළුවන් දැන් ඔය දරුවා නිදාගන්න … ‘’
මගේ හිස අත ගෑ ඇය පිටව යන්න හැරි නැවත මා දෙසට හැරුනාය …
‘ඔයාගේ නම කිව්වේ නැහැනේ ….’
‘මගේ නම යශෝධරා මානවි … ’ දෑස් විසල් කල ඇය විමතියෙන් මෙන් මද වෙලාවක් මා දෙසම බලා උන්නිය … ඉන් පසුව බොහෝ කල්පනා බරව කාමරයෙන් පිටතට ඇවිද ගියාය …
මට දැනුනේ සැනසීමකි … නාදුනන තැනැත්තියක උවද ඇය මා වෙත පෑ දයාව නොවෙන්න අද රැය මට ගෙවීමට සිදුවන්නේ මේ අහස් වියන යටය …. ඉතින් මා හදවතින්ම ඇයට පින්දුන්නෙමි …

******

‘යශෝධරා ඇහැරලාද ඉන්නේ …’ පසුදින උදෑසනින් මා අවදිවුවේ ආන්ටිගේ කටහඩිනි ….. පෙරදා සුව නින්දක් ලැබුණු හෙයින් මා අවදිවුවේ ප්‍රබෝධමත් ගතිනි …..
‘ගුඩ් මෝර්නින් ආන්ටි ….’
‘එන්න දරුවෝ ..කිරිබත් හදලා තියෙනවා …’ ඇය මගේ අතකින් අල්ලාගෙන නුහුරු නිවසේ කෑම කාමරය වෙත කැදවාගෙන ගියාය …
කෑම මේසය වටා අසුන්ගෙන උන් ඊයේ රැයේ හමුවූ විදුර අංකල් හැරුණු විට මගේ වයසේම ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙකි …පිරිමි ළමයා උන්නේ මට පිටුපාය ..
‘ලැජ්ජා වෙන්න එපා ….එන්න ඇවිත් වාඩිවෙලා කන්න …’ මගේ අතකින් අල්ලා ගත් ඇය අසුනක් ඇද දුන්නේය …. ඉදිරියේ උන් පිරිමි ලමයා මා දුටුවේ එවිටය …. ඔහු පෙරදා මට බස් රියේදී හමුවූ තරුණයාය ….. මා මෙන්ම ඔහුද මා දැක දෑස් විසල් කළේය …මුව සොලවා කිසිවක් විමසීමට ගිය ඔහු නැවත එට ගිලගත්තේ පවුලේ උදවිය උන් නිසා විය යුතුය …

‘මේ ඉන්නේ යශෝධරා … අද ඉදලා මෙහෙ ඉන්නේ … ’ විදුර අංකල් එලෙස පවසද්දී මට එහා පසින් උන් ගැහැණු ළමයා නෙත් අග බැල්මක් හෙළුවාය ..
‘යශෝධරා මේ ඉන්නේ මගේ පුතා තාරුක …මේ මගේ දුව තරුෂි …අද ඉදලා ඔයාගේ සහෝදරයෝ කියලා හිතන්නකෝ ..’
‘හොදයි අංකල් …’
‘සුදු නෝනා … යශෝදරාට කිරිබත් බෙදන්න …’ විදුර අන්කල් ආන්ටි ඇමතුවේ සුදු නෝනා නමිනි …. ඔහුගේ දෑසේ ඈ කෙරෙහි ඌ සෙනෙහස ඔහු හෙලන හැම බැල්මකම සටහන්වී තිබුණි ….
මා වෙනුවෙන් කිරිබත් කැට දෙකක් දැමු ඇය තාරුක දෙස බැලුවාය …. ඔහු පිගාන දෙස බලාගෙන ලොකු කල්පනාවකය …
‘පුතාට තව කිරිබත් කෑල්ලක් දාන්නද ..’
‘නැහැ මට එපා .. මේ ඇති …’ එකදු බැල්මක් හෝ ආන්ටි දෙසට නොහෙළු ඔහු කිරිබත් කෑල්ල සමග ඔට්ටු අල්ලන්න විය ..
‘සුදු නෝනාත් කාලා ඉමු …’ ආන්ටි ගේ මුහුණ අදුරු වීගෙන යද්දී විදුර අංකල් එලෙස පැවසුවේය ..
‘හරි මහත්තයා …මම කන්නම් …’
මොහොතක් යනතුරු යලිත් කිසිවෙකු කතා නොකළේය ….
‘පුතා බණ්ඩාරවෙල ට්‍රිප් එක කොහොමද . …’
‘අවුලක් නැතිව ගිහින් ආවා …’ තාරුක කතා කලේ කිසිදු සතුටකින් තොරවය … පෙරදා මා හමුවේ කියවූ තරුණයා මොහුද සිතෙන තරමට තාරුක වෙනස්ය …
‘ඇයි පුතා තරහෙන් කතා කරන්නේ ..’
‘ එහෙම දෙයක් නැහැ තාත්තා ..’
‘මගේ දිහා කෙලින් බලලා කතා කරන්න එහෙනම් ..’
‘ප්ලීස් තාත්තා මට වද දෙන්න එපා … ‘’ පිළිතුරු ලෙස විදුර අංකල්ට එලෙස පැවසූ තාරුක ආහාර ගැනීමද නවතා පිටව යද්දී ආන්ටිගේ මුහුණ අදුරු වී යන්න විය …’
මතු සමබන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *