30

~~ සමනළ වසන්තය ~~~~
30 කොටස
‘හිරූ සදූ නැගිටින්න ඉස්කෝලේ යන්නේ නැද්ද …’
දවස් ගානක් ඉස්කෝලේ යන්නේ නැතිව ගෙදරට වෙලා හිටිය අපි දෙන්නාම අම්මාගේ කටහඩ ඇහිලා නැගිට්ටා …
‘අපි කොහොමද අම්මා ඉස්කෝලේ යන්නේ ..’ වෙනදා වගේ කම්මැලි කමට ඇදට වෙලා ඉන්නේ නැතිව මම නැගිටලා අම්මා ලගට දුවලා ගියා ….
‘දැන් දවස් කියක් ඉස්කෝලේ ගියේ නැද්ද …හැමදාම ඉස්කෝලේ යන්නේ නැතිව ඉන්නද … දෙන්නාම ගිහින් ලැහැස්ති වෙන්න …’
දවස් ගානක් කල්පනා කර කර එකතැනකට වෙලා හිටිය අම්මා එකපාරටම හිත හදාගෙන වගේ තමා හැසිරුනේ … අප්පච්චිට සීමාවක් නැතිව ආදරේ කරපු අම්මා හිත හදාගෙන ඉන්නේ නම් අපි දෙන්නා නිසාම වෙන්න ඕන … සදුයි මායි දෙන්නාම අම්මා කියන දේ පිළි අරගෙන ඉස්කෝලේ යන්න ලැහැස්ති උනේ අපි හිතුවක්කාර උනොත් එයාගේ හිත රිදෙයි කියලා හිතලා ..
‘අම්මා කල්පනා කරන්නේ නැතිව ඉන්නවා නේද අපි එනකන් …’ ඉස්කෝලේ යන්න මිදුලට බහින්න කලින් සදුට ඕන උනේ අම්මාගෙන් අඩන්නේ නැතිව ඉන්නවා කියලා පොරොන්දුවක් ගන්න ..
‘මම ගැන බයවෙන්න එපා මම අඩන්නේ නැහැ …’ අම්මා සදුවයි මාවයි දෙන්නාම තුරුළු කරගෙන පොරොන්දු උනත් මම දැනගෙන හිටියා ඒ පොරොන්දුව එයාට රකින්න බැරි බව …
‘හීන් නැන්දා ඔන්න අම්මා ලගින්ම ඉන්න ඕන අපි එනකන් ….එයාට අඩන්න දෙන්නේ එහෙම නැහැ හරිද …’ මම හීන් නැන්දා දිහා බලලා එහෙම කියද්දී ඇස් වල කදුළු නලියද්දි එයා හිනාවුනා
‘පුංචි නෝනලා බය වෙන්න එපා මම ලොකු නෝනා ලගින්ම ඉන්නම් ..දැන් හිත සැනසිල්ලේ ඉස්කෝලේ ගිහින් එන්න …’ හීන් නැන්දා එහෙම කියද්දී අපි දෙන්නා බිම බලාගෙනම මිදුලට බැස්සා ..වෙනදා වගේ සදුව දාලා යන්නවත් …. එකට එක කරලා සතුටු වෙන්නවත් මට ඕන උනේ නැහැ ..
ස්කුල් බස් එක අපි ඉස්සරහා නවත්තද්දී මම සදුගේ අතින් අල්ලාගෙන බස් එකට නැග්ගා …. බස් එකට නැග්ග ගමන් මම හෙව්වේ දිනිතගේ ඇස් …. මම දිනිතගේ ඇස් හොයද්දි බස් එකේ හිටපු හැමෝම අපි දෙන්නා දිහා බලන්න පටන්ගත්තා …
‘අද ඩබල් දාලාම යන්නේ හිරු සදු දෙන්නාම …. කව්ද හිරු …කව්ද සදු …’
‘පුදුමයි කවදාවත් නැතිව හිරු සදු දෙකම එකවැර පායාලා …’
බස් එකේ හිටිය කොල්ලෝ එක එක කතා කියනවා … සදූ ලැජ්ජාව නිසාම රතුවෙද්දී මම කලේ රවලා බැලුව එක …
‘මොකද මොකද මේ මගේ හිරූට සද්ද දාන්නේ ….’ පිටිපස්සේ ඉදලා එහෙම කියාගෙන සදුගේ පැත්තකින් හිටගත්තේ දිනිත ….. කොල්ලා මං කියලා සදුට ලංවෙද්දි මාත් මොනවත් කියන්නේ නැතිව වෙන්න යනදේ බලාගෙන හිටියා …
‘අද බස් එකට ඉරවල් දෙකයි එක හදයි …’ දිනිතගේ යාළුවා කසුන් පැත්තක ඉදලා කතාවට හොට දැම්මේ දිනිත ඇස් වලින් පෙන්නන ගමන්මයි … දිනිත කියන නමේ තේරුමත් ඉර කියන එක හින්දා වෙන්න ඕන එයා එහෙම කිව්වේ ….
‘අද මොකද මගේ කෙල්ල ලැජ්ජා හිතිලා වගේ බිම බලාගෙනම ඉන්නේ …’ දිනිත සදූ දිහා බලාගෙන එහෙම අහද්දී මට හිතුනේ අද නම් මෙයාට හොදටම අපි දෙන්නාව පැටලිලා කියලා ..
‘මම …මම …’ සදූ ගොත ගැහුවේ ලැජ්ජාවෙන්මයි …
‘මොකද මේ රතුවෙලා ‘’
එයා එහෙම කියලා සදු දිහාව හොරෙන් බලද්දී එකපාරටම අනිත් පැත්තේ හිටපු මාව දැක්කා …. ඒ බැල්මෙන්ම ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටපු දිනිත ගැස්සිලා වගේ පස්සට උනේ ලැජ්ජාව නිසා කන්දෙකම රතුකරගෙනමයි
‘ සොරි … ‘ දිනිත සදු දිහා බලලා හරි හෙමින් එහෙම කියද්දී හිරකරගෙන හිටපු හිනාව මගේ කටෙන් එළියට පැන්නා
‘හිරූ හොර ගෙඩියා මාව රැවට්ටුවා නේද ..මේ අක්කයි නංගියි දෙන්නා එකතු වෙලා …’ මගේ ලගට පැනපු දිනිත මගේ කන අල්ලලා තදට මිරිකුවා
‘අනේ ඌයියියයා … අතාරින්නකෝ මාව …’ දිනිත අල්ලාගෙන හිටිය මගේ කණ අතෑරියේ නැහැ ..
‘සොරි කියනවා මෝඩ ගෙමිබි ….. ‘’
‘හරි ඉතින් සොරි …. මම හිතුවේ ඔයා මාව අදුරගයි කියලානේ …ඔයාට මාව අදුරගන්න බැරිවුනා නේ ..’ මම නහයෙන් අඩන ගමන් එහෙම කියද්දී දිනිත හෙමින් මගේ කණ අතෑරියේ මුහුණ කළුකරගන්න ගමන්මයි ..
‘ඇයි මේ මුහුණ කළු කරගත්තේ …’
‘මට දුකයි හිරු මට ඔයාව එකපාරටම අදුරගන්න බැරිවුනා නේ ..’
‘ඉතින් ඕකට දුක් වෙන්න ඕනද … බලන්න මට කොච්චර දුක් වෙන්න දේවල් තියෙනවාද .. ඒත් මම හිනාවෙලා ඉන්නේ … පුංචි දේකට ඔහොම හිත රිද්දා ගන්න එපා ..’
‘අප්පච්චි ගැන ආරංචියක් නැද්ද හිරු …..’
‘අප්පච්චි ගැන තාම කිසිම ආරංච්යක් නැහැ …මට හිතාගන්න බැරිව ඉන්නේ අම්මාගේ හිත හදන්නේ කොහොමද කියලා ..’
‘අප්පච්චි එයි හිරු බයවෙන්න එපා …එයා ඉක්මනින් ඔයා ලගට එයි .. ‘’
‘මම දන්නවා දිනිත අප්පච්චි දවසක එනවාමයි ..එයා කවදාවත් අපි තනිකරලා යන්නේ නැහැ ….ඒත් එතකන් මගේ අම්මාගේ හිත හදන්නේ කොහොමද මම ..’ මම එයා දිහා බැලුවේ උත්තරයක් ඉල්ලලා
‘ ඔයාගේ පුංචි හිතට පුළුවන් හිරු …හැම හිතකම දුක නිවලා හිනාවක් ගේන්න ඔයාට විතරමයි පුළුවන් ’
දිනිත ස්ථිර විදිහට එහෙම කියලා මගේ ඔළුව අතගෑවා … මම එයා දිනා බලලා ලස්සනට හිනාවුනා ..දිනිත වගේ මං ගැන හිතන ආදරවන්තයෙක් ඉන්න එක ගැන මට සතුටක් දැනුනේ
‘ හිරූ උබ ශක්තිමත්ව හිටපන් …. උබ දුර්වල උනොත් සදු ඊට වඩා දුර්වල වෙයි … උබ වැටෙන්නේ නැතිව ඉස්සර වගේ හිනාවෙලා ඉදපන් …. මුළු පවුලම රැක ගන්න එක දැන් උබේ අතේ තියෙන්නේ ..’
පුජනී අප්පච්චිගේ සිද්දිය දැනගත්තට පස්සේ කිව්ව ඒ වචන ටිකේ හැංගිලා ලොකු කතාවක් තිබ්බා ..
‘උබ කියන්නේ ඇත්ත බන් ….. මම අදින් පස්සේ ඉස්සරලා වගේම හිනාවෙලා ඉන්නවා ..මම හිනාවුනොත් අපේ ගෙදර හැමෝම හිනාවෙයි …මම ඇඩුවොත් ඒ හැමෝම අඩාවී ..ඒ හින්දා මම හිනාවෙලා ඉන්නවා ….’ මං ලොකු විශ්වාසෙකින් තමා එහෙම කිව්වේ …
*****
මුළු ගෙදර පිරෙන්න තිබ්බ නිහඩතාවය මට දරාගන්න ගොඩක් අමාරුවුනා …මට ඕන උනේ ඉස්සර වගේ ගෙදර හෙල්ලෙන්න කෑ ගහන්න ….. ඒ උනත් කිසිම කෙනෙක් ශබ්ද කෙරුවේ නැත්තේ දෙයකට බයවෙලා වගේ …
රෑ වෙද්දී ටීවී එක දිහාවට ඇස් දෙක තියාගෙන සදු නිව්ස් බලනවා කිසිම හාවක් හුවක් නැහැ ..අම්මත් නිව්ස් බලන ගමන් හුල්ලනවා …..
‘සදු …. ප්‍රේම දඩයම දානවා මට ඔය බෝරින් නිව්ස් බලලා ඇතිවෙලා තියෙන්නේ …’ සදුගේ අතේ තිබ්බ රිමොර්ට් එක උදුරලා අරන් මම ටීවී චැනල් එක මාරුකරා …
‘අනේ දානවාකෝ හිරු ඔයා එක්ක නම් මොකුත් කරන්න බැහැ මේ ගෙදර ..’ සදු මගේ අතේ තිබ්බ රිමොර්ට් එක උදුරන්න හැදුවාම මම කලේ පුටුව උඩට නැග්ග එක ….
‘අල්ලයි මගේ නැට්ට හු හු ..’ සදු පුටුව උඩට නැග්ගම මම පුටුවෙන් බිමට පැන්නා ..එයා බැස්සම මම ආයෙම පුටුව උඩට නැග්ගා …එකම විකාරයයි …
‘හයියෝ …. එකපාරම බිමට පනින්න යද්දී කකුල ලිස්සලා මම බිම වැටුනා ….
‘අයියෝ ..අම්මෝ මගේ කොන්ද කැඩූනො …’ බොරුවටත් එක්ක මම හයියෙන් කෑ ගහද්දි …සදු මගේ අතේ තිබ්බ රිමොර්ට් එක උදුරා ගත්තා … අම්මාටයි සදුටයි දෙන්නටම හිනා මම හිටිය හැටි දැක්කම … කොන්ද රිදුම් දුන්නත් මට සතුටක් දැනුනේ ඒ දෙන්නාගේ මුහුණු වල හිනාවක් දැක්කාම ..
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *