37

~~සමනළ වසන්තය ~~
37 කොටස
‘ආයෙත් ඇවිත් යන්න එන්න ….’
පහුවදා උදේ ගෙදර එන්න ලැහැස්ති වෙලා අපි මිදුලට බහිද්දී ලොකු අම්මා අපිව තුරුළු කරගෙන අඩන්න පටන් ගත්තා …
‘අඩන්නේ නැතිව ඔය නඩේට යන්න දීපන් යෝදියේ ..’ ලොකු තාත්තා එහෙම කිව්වේ අක්කයි නංගියි අඩන එක නැවැත්තුවේ නැති නිසා ..
‘බුදු සරණයි ….. කිසිම කරදරයක පැටලෙන්න එපා …’ ලොකු අම්මා අම්මාටයි අප්පච්චිටයි උපදෙස් දෙද්දී මම නිදුක අයියා හෙව්වා …. එයා පැත්තකට වෙලා හරි අසරණ ව්දිහට අපි දිහා බලාගෙන ඉන්නවා දැක්කාම මගේ පපුව පිච්චිලා යනවා වගේ දැනුනේ …
‘අයියා අපේ ගෙදර එනවා නේද …’ නිදුකයියා ලගට දුවගෙන ගිහින් මම ඒ දුක් මුහුණට එබුනා
‘එන්නම් …..මට පොරොන්දු වෙන්න සතුටින් ඉන්නවා කියලා ..දැන් අප්පච්චි ඉන්න නිසා කාටවත් බය වෙන්න එපා …’ නිදුකයියා එයාගේ අත මගේ දිහාවට දික් කරාම මම එයාගේ අතින් අල්ලා ගත්තා
‘මම පොරොන්දු වෙන්නම් අයියා …ඔන්න ඔයත් විකාර හිතලා දුක් වෙන්න එපා හොදද ..’
‘ප්‍රොමිස් ….. ගියපු ගමන් දිනිතව හම්බවෙන්න …. ඌ හොද එකා …. ඒ වගේ හොද කොල්ලෙක් ඔයාට ආපහු ලැබෙන්නේ නැහැ …. මෝඩ තීරණ ගන්න එපා ..’ දිනිත අයියාට මම ගත්ත තීරණය කියලා තිබ්බ නිසා එයා ටිකක් තදට එහෙම කිව්වා
‘ෂුවර් අයියා …මම ගියපු ගමන් දිනිතව හම්බවෙනවා ….මට දිනිතව නැති කරගන්න බැහැ ..’
‘ඔය තේරිලා තියෙන්නේ මෝඩයාට මගේ …’
‘මම මෝඩ නැහැ මෝඩයෝ ….’මම හිනාවෙන ගමන් නිදුකයියාගේ අත රිදෙන්න කෙනිත්තුවා
‘ඌයි රිදුනා මෝඩියේ …’ නිදුකයියා මගේ කණ අල්ලන්න ඉස්සරහට පනිද්දී මම අම්මලා හිටිය පැත්තට දුවගෙන ගියා ….
‘ අයියත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තාද …. හිරූ දගලන්න එපා …’ අම්මා එහෙම කියද්දී මම අප්පච්චිට මුවාවෙලා අයියාට විරිත්තුවා …..
‘තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් පරිස්සමට ගිහින් කෝල් එකක් දෙමු ..’
ලොකු තාත්තා එහෙම කියලා අපිට යන්න අවසර දෙද්දී කට්ටියම ජීප් එකට නැග්ගා මෙහෙ එද්දී නම් මට හිතුනේ ආයේ කවදාවත් ගෙදර යන්න හම්බවෙන්නේ නැතිවෙයි කියලා ….ඒත් ආයෙම අපේ පවුලට සතුට අරන් අපේ අප්පච්චි ඇවිත් …..දැන් ඉතින් අපි කාටවත්ම බයවෙන්න ඕන නැහැ ….
අප්පච්චි ජීප් එක ස්ටාර්ට් කරාම මම නිදුකයියා දිහා බලලා අත වැනුවා .. එයත් දුකින් වගේ අත වැනුවා … නිදුකයියාගේ ගෙදර පේන්නේ නැතිවෙනකන්ම මම ඒ දිහාවෙන් ඇස් අහකට ගත්තේ නෑ …. නිදුකයියා එක්ක දවස් හතක් එක දිගට බෝධි පුජා තියපු බෝ ගහ ලගින් යද්දී මම ඒ දිහාවට හැරිලා අත්දෙකට නළලේ තියාගෙන වැන්දා ..
‘මගේ අප්පච්චි ආපහු මට ලබා දුන්නාට ඔබ වහන්සේට ගොඩක් පිං….’ මම හිතින් බෝ සමිදුට පිං දුන්නා …
‘අප්පච්චි දැන්ම වැඩට යන්න එපා ..’ සදූ ඩ්‍රයිව් කරන අප්පච්චි දිහා බැලුවා ආයාචනාත්ම විදහට …
‘මම ආයේ දුරක යන්නේ නැහැ … මට හෙඩ් ඔෆිස් එකට ට්‍රාන්සර් එකක් ලැබුනා ..’
අප්පච්චීගේ ආරංච්ය අපි හැමෝගෙම හිත්වලට සතුටක් ගෙනාවේ …අම්මාගේ ඇස් දෙක දිලිසෙනවා සතුට දරාගන්න බැරිව ..
‘අනේ කොච්චර හොදද …ආයේ නම් මම කාටවත් බයවෙන්නේ නැහැ …’ මම එහෙම කියලා එඩිතර ව්දිහට අප්පච්චි දිහා බැලුවා ….
‘මම දන්නවා මගේ හිරූ කෙල්ල කාටවත් බය නැහැ කියලා….’ එයා මගේ දිහා ආදරෙන් බලද්දී මට තේරුනා අම්මා එදා වෙච්ච සිද්දිය ඔක්කොම අප්පච්චිට කියලා තියෙන බව …
අපි කෑගල්ලේ මහා ගෙදරට එද්දී කතා කරේ නැති තරම් උනාට ආපහු යද්දී අපිට කතා කරන්න දහසක් දේවල් තිබ්බා ..
පැය දෙකක ගමනකින් පස්සේ ආපහු අපි අපේ ගෙදර හිතට දැනුන සතුට සැනසීම කියලා ඉවර කරන්න බැරි තරම් ….
‘ඔන්න අන්තිමේට අපි අපේ ගෙදරට ආවා …’ මම හයියෙන් කෑ ගැහුවා අපි ආපු බව මුළු ගමටම දැනෙන්න …
‘කෑ ගහන්න එපා ළමයෝ …’
‘හරි අම්මා …ඉක්මනට දොර අරින්නකෝ ….’
සුපුරුදු කාමරේට ගිහින් ඇදට වැටෙනකන් මට තිබුනේ පුදුම හදිස්සියක් … ගෙදර තිබ්බ හැමදෙයක්ම අපි දාලා ගිය විදිහට එහෙම්ම තිබ්බා …මට දැනුනේ කාන්තාරයක ඉදලා ක්ෂේම භූමියකට ආවා වගේ හැගීමක් ..මම කාමරයට දුවලා ගිහින් බෙඩ් එකට පැනලා සැනසීමෙන් ඇස්දෙක පියාගත්තා ….. ලෝකේ කොහේ හිටියත් මගේ කාමරේ මගේ ඇදේ තියෙන සැනසීම නම් මට ලැබෙන්නේ නැති බව සහතිකයි ….
******
නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ පටන් ගන්න පළවෙනි දවස අද …. කවදාවත් නැතිව මට පාන්දරම ඇහැරුනා …ඉස්කෝලේ යන්න මට තිබුනේ පුදුම හදිස්සියක් ….
‘මොකද මේ උදේ පාන්දර ඇහැරිලා …’ උදේම නැගිටලා උය උය හිටිය අම්මා මාව දැකලා පුදුමෙන් වගේ ඇස් පුංචි කරා …
‘ඉස්කෝලේ යන්න ඕන නේ …’
‘ඉස්කෝලේ යන්න … තාම පාන්දර පහයි වෙලාව ….මොකද මේ වෙලාවේ ඇහැරිලා වෙනදා උදේ හය වෙනකන් නිදාගන්න ළමයා …’
‘ඔයාට ඒ පණ්ඩිත කම් වැඩක් නැහැනේ මගේ අම්මා ඔයාගේ අතින් හදපු රසම රස කිරි එකක් දෙන්නකෝ ..’
‘හරි මගේ පණ්ඩිත අම්මේ …. ඉන්න මම හදලා දෙන්නම් ..’ හෙමින් ටොක්කක් ඇනපු අම්මා තේ එකක් හදලා මගේ අතේ තිබ්බා … කිරි එක උගුරට දෙකට බිලා මම බාත් රුම් එකට ගිහි මුහුණ කට හෝදාගෙන ලැහැස්ති උනා ……කොහොම හරි මම උදේ හය වෙද්දී ලැහැස්ති වෙලත් ඉවරයි ……
‘සදූ ඉස්කෝලේ යන්නේ නැද්ද … ‘’ පොත් බෑග් එක කරට දාගන්න ගමන් මම සදූගේ පස්සට පාරක් ගැහුවා …
‘මොකක්ද ඕයි ගහන්නේ ..තව වෙලා තියෙනවා නේ …තමුසේ යනවා මම එන්නම් ….මම කොහොමත් අප්පච්චි එක්ක අද ඉස්කෝලේ යන්නේ ..’
‘හූ …හූ …බය ගුල්ලි …’
‘තමුසෙට වැඩක් නැහැනේ …. මෝඩි ….’
‘එහෙනම් මම යනවා …බයගුල්ලි ’
මම කාමරෙන් එළියට යද්දී අම්මා බත් පිගානකුත් අරන් මගේ ලගට දුවගෙන ආවා …
‘ආ … මේ බත් කටක් කාලා යන්න …’
‘වේලා යනවා අම්මා …’
‘තාම හයයි …පණ්ඩිත වෙන්නේ නැතිව බත් කටක් කාලා යනවා ….’
අම්මාගේ වදෙන් පොරෙන් බත් කටවල් දෙක තුනක් කාලා ලන්ච් බොක්ස් එකක් දාගෙන මම ටක් ගාලා එලියට බැස්සේ අප්පච්චි එක්ක යන්න වෙයි කියලා හිතුන නිසා …එහෙනම් ඉතින් දිනිත අයියා දකින්න වෙන්නෙත් නැහැ නේ …
‘පරිස්සමින් යන්න …අර මිනිස්සු දැක්කොත් මග අරින්න ….’ අම්මා එහෙම කියද්දී මම ඔළුව වනලා ගේට්ටුව ලගට දිව්වා ..
‘අක්කි මලක් ගන්න ….එක මලක් රුපියල් දහයයි ….ඊයේ රෑ ඉදලා මොකුත් කාලා නැහැ අක්කි …’
පුංචි කොලු පැටියෙක් ගේට් එක ලගට ඇවිත් රෝස මල් දෙකක් මගේ දිහාවට දික් කරා …
‘ඔයා කාලා නැද්ද පැටියෝ … මෙන්න මේ බත් එක කන්න …’ බෑග් එක ඇතුලේ තිබ්බ ලන්ච් බොක්ස් එක කොලු පැටියාගේ අතේ තිබ්බාම පොඩ් එකාගේ මුහුණට ලස්සන හිනාවක් ආවා ..
‘ස්තුතියි අක්කි ….’ කොලු පැටියා එහෙම කියලා රෝසමල් දෙක මගේ අතේ තියලා කෑම පෙට්ටියත් අරන් පාර දිගේ දුවගෙන ගියා … ‘
මම පාරදිහා බැලුවේ ස්කුල් බස් එක බලාපොරොත්තුවෙන් … දිනිත වැරදිලා හරි ඒ බස් එකේ හිටියානම් …. මගේ හිතේ එයා දකින්න කතා කරන්න පුදුමාකාර ආශාවක් තිබ්බේ …. දිනිතගේ එක්සෑම් ඉවර උනත් මගේ හිතේ පුදුමාකාර නොඉවසිල්ලක් තිබුනේ …
වෙනදා එන බස් එක මගේ ඉස්සරහා නවත්තද්දී මම ටක් ගාලා බස් එකට නැග ගත්තා …. මුළු බස් එක පුරාම බැලුවත් දිනිත නැහැ … සතුටින් පිරිලා තිබ්බ හිතට දුකක් එකතු උනේ හිතුවෙවත් නැති විදිහට …නුගේගොඩ ටවුන් එකෙන් බස් එකෙන් බහිනකන් මගේ හිතේ තිබ්බ දුක අඩුවුණේ නැහැ .. අමතක කරන්න කිව්වාට මගේ හිතම එයාව ආපහු හොයනවා ….
කල්පනා කර කරම පාර දිගේ ඇවිදගෙන යද්දී මගේ ඇස් හැමවෙලේම හොයන දිනිත තවත් යාලුවෙක් එක්ක කතා කරකර මම හිටපු දිහාවට ඇවිදගෙන එනවා …. විශ්වාස කරන්න හිත මහා හයියෙන් ගැහෙන්න ගත්තා ….හරියට පළවෙනි සැරේට එයාව හම්බවෙන්න යනවා වගේ හැගීමක් මට දැනුනේ ..
ටක් ගාලා පැත්තකට පැන්න මම එයාට පේන්නේ නැති වෙන්න මුවාවෙලා දිනිත දිහා බැලුවා …අනේ මගේ මැට්ටා කෙට්ටු වෙලාද කොහෙද …. පව් අසරණයා මම ගැන හිතනවා වෙන්න ඕන …
‘මල්ලියෝ …පොඩි උදව්වක් කරනවාද … ‘ මම ඉස්කෝලේ යන පුංචි කොලු පැටියෙක්ට ලගට කතා කරා
‘ඇයි අක්කි …’ පොඩි එකා මගේ ලගට ඇවිත් ඇහුවේ කාරණේ මොකක්ද කියලා දැනගන්න ඉවසිල්ලක් නැතිව
‘මෙන්න මේ රෝස මල අර අයියාට ගිහින් දෙනවා ද ..’ දිනිතව පෙන්නලා මම එහෙම කියද්දී කොලු පැටියා මගේ අතේ තිබ්බ රෝස මලත් අරගෙන දිනිත එන දිහාවට දුවගෙන ගිහින් එයා ඉස්සරහා නැවතිලා රෝස මල දුන්නා ….
දිනිත පුදුම වෙලා වගේ රෝස මල අතට අරන් වටපිට බලලා මොන මොනවාදෝ අහද්දී පුංචි එකා මං ඉන්න පැත්ත පෙන්නුවා …. මාව දැක්ක පාර දිනිත පුදුම වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉස්සරහට ඇවිදගෙන එද්දී මාත් එයා ඉස්සරහට ඇවිදගෙන ගියේ කාන්දමකට ඇදෙනවා වගේ …
‘හිරූ …..’
‘දිනිත අයියා …’ මම අතේ තිබ්බ අනිත් රෝස මලත් දිනිත දිහාවට දික්කරද්දී එයා ඒක අතට ගත්තා .. ඒ මුහුණේ තිබ්බේ පුදුමයක් ….
‘හිරූ මම දවස් ගානක් ඔයාලාගේ ගෙවල් පැත්තේ ආවා … ගෙදර වහලා තිබ්බා දැක්කාම මම ගොඩක් බයවුනා …. ඔයාලාගේ ගෙවල් පැත්තේ කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ ඔයාලා ගියේ කොහෙද කියලා …නිකමට හරි මට කෝල් එකක් දෙන්න තිබ්බා නේද ….’
‘සොරි අයියා …අපිට ලොකු කරදරයක් උනා ..’ මම සිද්ද උන දේවල් හැමදෙයක්ම එයාට කියද්දී එයා පුදුමෙන් වගේ ඒ දේවල් අහගෙන හිටියේ …
‘දෙවියනේ එදා ඔයාට මොනවා හරි උනා නම් ….’ දිනිතගේ මුහුණේ තිබ්බේ මං ගැන බයක්
‘දැන් අප්පච්චි ආවානේ …මම කාටවත් බයවෙන්නේ නැහැ …’
‘චන්ඩියා උනාට කමක් නැහැ ..ආයේ තනියම ගමන් යන්නේ නැහැ හොදේ ..’ දිනිත එහෙම කියුවේ නම් ටිකක් තදට .
‘හරි …හරි ආයේ මම තනියම ගමන් යන්නේ නැහැ …’
‘මම හවස එනවා ඔයා ගන්න …. ඉස්කෝලේ ඇරිලා තනියම යන්න එපා …’
ඉස්කෝලේ ලගට යනකන්ම දිනිත මාත් එක්කම ගියේ කවුරු හරි මාව පැහැරගයි කියලා බයෙන් වගේ …
‘හොදයි සර් …’
‘මම බලාගෙන ඉන්නවා ….’
ඉස්කෝලේ ගේට්ටුව දිහාවට මම යද්දී දිනිත මගේ දිහා බලාගෙන එහෙම කියද්දී …මම ආපහු හැරිලා එයාට අත වැනුවා …. අප්පච්චි වගේම දිනිතත් මගේ ලගින් ඉන්නකන් මම කාටවත් බයවෙන්න ඕන නැහැ කියලා මට හිතුනේ ….
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *