~~~~~~ යශෝදරා ~~~~~~~~01 කොටස – Bleyar
මිදුම් කුමරිය සිය සළුවෙන් මුළු ප්‍රදේශයම වසා ගන්නා හිමිදිරි උදෑසන බණ්ඩාරවෙල නගරය බලා ධාවනය කෙරෙන දුම්රියෙන් පිටතට හිස හොවා මා අවට පරිසරය නැරබීමට උත්සහ කළෙමි … පාන්දර මද අදුර නිසාවෙන් අවට කිසිවක් නිසියාකාරව නොපෙනුණුද අවට සුන්දරත්වය දෑසින් උකහා ගැනීමට තිබු නොනිමි උනන්දුව නිසාම මදකදු දෑස් ඉවතට ගැනීමට මට උවමනා නොවුනි ….
‘කීයද කෙල්ලේ වෙලාව ….’ මේරි නැන්දා දිග ඈනුමක් අරිම්න් මා දෙස බලා දෑස් පොඩි කළාය
‘පාන්දර පහට ලගයි නැන්දේ …’ අත බැදී ඔරලෝසුව දෙස බලා ඇයට පිළිතුරු දුන් මා නැවත පිටතට එබුනෙමි
‘බණ්ඩාරවෙල ස්ටේෂන් එකට ඇනා එනවා කිව්වේ හයට …..’
‘තව වෙලා තියෙනවානේ …නැන්දා කලබල වෙන්නේ නැතිව ඉන්නකෝ …’
මා ප්‍රති උත්තර දුන්නේ ඈ දෙස බලා නොවේ …
‘මම තව ටිකක් නිදාගන්නම් කෙල්ලේ … ’ මේරි නැන්දා යළි දෑස් වසා ගත්තේ ගමන් විඩාව දැඩි නිසා වියයුතුය ….
මා මේ බණ්ඩාරවෙල එන්නේ ජිවිතේ පළමු වතාවටය … කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ඇති රාත්‍රී දුම්රියෙන් පිටත්වූ මොහොතේ සිට මගේ දෑස් මදකට හෝ නොපියවිණි … ඒ මගේ සිතේ වූ නොඉවසිල්ල නිසාවෙනි …
දුම්රිය කව්ලුවෙන් එපිට අදුර දෙස එක එල්ලේ බලා උන් මට විටෙක මා පිළිබදව උපදින්නේ කනගාටුවකි ….. අම්මා තාත්තා පිළිබද මට නිරවුල් මතකයක් නොවේ …. මා දන්නා වියේ පටන් හැදී වැඩුනේ ආච්චි අම්මා ලගය … ආච්චි අම්මා පැවසු පරිදි මා ඇගේ එකම දියණියගේ දියණියයි …..
‘ වරුණි කොළඹ ගාමර්ට් එකකට යද්දී මම හිතුවේ ඒකිට ඕන දේවල් හොයාගත්තාවේ කියලා ..ඒත් ඒකි ආපහු ආවේ බඩ ගෙඩියකුත් උස්සාගෙන … මම ඒකිට බැන්නා ගැහුවා ….ඒත් මේකට වග කියන්න ඕන එකා කවුද කියලා කවදාවත් කිව්වේ නැහැ … එකම දරුවානේ ඔහේ දරුවා හදාගෙන හිටියාවේ කියලා මම ඊට පස්සේ හිත හදාගත්තා ..ඒත් උබ ඉපදිලා මාස තුනක් යන්න කලින් උබවත් දාලා මේකි ගෙදරින් පැනලා ගියේ මටවත් කියන්නේ නැතිව …. මම හෙව්වේ නැති තැනක් නැහැ … අනේ අම්මපා මේකි කොහොම හිත හදාගත්තාද කිරි කැටියෙක් දාලා යන්න … පස්සේ මම හිත හදාගත්තා උබව හදාගන්න … උබ වෙච්ලිච්ච පපුවේ මුහුණ තියාගෙන උබ කිරි හොයද්දි මට කිරි එරුනේ නැහැ මගේ පුතේ . ..ඒත් මම කොහොම හරි උබව උස් මහත් කළා ’
පෙර දිනවල ආච්චි අම්මා ඔය කතා ව නිතර කිවා මට මතකය ….
‘අවජාතකි ….’ මගේ සම වයසේ සම වයසේ දරු දැරියන් අමනාප වූ විට එලෙස කියා බැන වැදුණේය …
‘මොකක්ද ආච්චි අම්මේ අවජාතකි කියන්නේ …’ මම සෙල්ලම පසෙක තබා ආච්චි අම්මා සොයා දිවයන්නෙමි … මද වෙලාවක් මා දෙස බලා සිටිනා ආච්චි අම්මගේ දෑසට කදුළක් එක්වන්නේ නිරායාශයෙනි …
‘අවජාතකයි කියන්නේ …. තාත්තෙක් කවුද කියලා නොදැන මේ ලෝකෙට එන එකාට …’ ආච්චි අම්මා වචන බර කර එලෙස පවසද්දී මා එය තේරුම් ගැනීමට වෙහෙසෙන්නෙමි …… කොතරම් හිතුවත් මගේ පුංචි හිතට එය වැටහෙන්නේ නැත …
‘ඉතින් ආච්චි අම්මේ මට තාත්තෙක් නැත්තේ ඇයි …අනිත් හැම ළමයෙක්ටම අම්මලා තාත්තලා ඉන්නවානේ …මට විතරක් තාත්තෙක් නැත්තේ ඇයි …’ මගේ ප්‍රශ්න හමුවේ ආච්චි අම්මා නිරුත්තර වන්නිය ….
අතීත මතකයන් අතර සැරිසරමින් උන් මා එයින් මිදුනේ එක්වරම නැගුනු දුම්රිය හූ හඩ නිසාය .. පාන්දර අදුර කපාගෙන අහස් ගැබට වන් ලා හිරු රැස් තැවරුණු පරිසරය නෙත අභියස මැවූ දසුන් චමත්කාරයජනකය …
මීදුමින් බරවූ කදුපංති මත ඇති තේ යායවල් සිඹගෙන හමා එන සිසි ල් මදනළ මුහුණ මත වැදී මගේ අකීකරු වරලස අවුල් කර දැමුවේ වරක් දෙවරක් නම් නොවේ … මා වරලස සකස් කර ගැනීමේ අසීරු උත්සාහයක යෙදෙමින් කවුළුවෙන් පිටතට තව තවත් ගෙල දිගු කළෙමි …
‘නැන්දේ බණ්ඩාරවෙල ස්ටේෂන් එකට ආවා ….’ බණ්ඩාරවෙල නම ගැසූ ලොකු නාම පුවරුව වෙතම දෑස් දල්වාගෙන මා මේරි නැන්දා ඇමතුවෙමි ..
‘කීයද කෙල්ලේ වේලාව..’
‘දැන් පහ මාරයි …’
‘හා ..හා එහෙනම් ඔය බෑග් එකත් අරන් පරිස්සමට බැහැගනින්කෝ …’
මම ගමන් මල්ල කරේ දමාගෙන දුම්රියෙන් බැස ගත්තෙමි ….
‘ඇනා එනවා කිව්වේ හයට …. අපි තේ එකක් බිලා ඉමු … ‘’
දුම්රිය ස්ථානයේ ආපනශාලාවට ගොස් තේ ඇනවුම් කල අපි දෙදෙනා පසෙක තිබු බංකුවක අසුන්ගත්තේ ශීතලෙන් ගැහෙමිනි …
‘කෙල්ලේ …’
‘ඇයි නැන්දා …’
‘මට පුළුවන් කමක් තිබ්බා නම් උබව මගේ ලගම තියාගෙන හදාගන්නවා ..ඒත් මට කියලා එහෙම පුළුවන් කමක් නැහැ නොවෑ . ..දරුවෝ පස් දෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙච්ච මම කොහොමද බන් උබගේ වගකීමත් භාරගන්නේ …. උබගේ ආච්චි කුසුමා මැරෙද්දි උබව භාරදෙන්න කවුරුත් නෑයෙක් හිට්යේ නැහැ … මේරි මගේ කෙල්ල බලාගනින් කියලා මට භාරදීලා ගිය කෙල්ලව මම කොහොමද අත අරින්නේ …ඒකයි මම උබව මේ ළමා නිවාසෙට භාරදෙන්න කටයුතු ලැහැස්ති කලේ …. ’
සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත් මේරි නැන්දා ආපන ශාලාවෙන් මිලදී ගත් උණුසුම් තේ කෝප්පයක් මගේ අතක තැබුවාය .. ශරීරය වෙලාගෙන තිබු දරුණු ශීතල නොමැකි ගියත් උණුසුම් තේ කෝප්පය ගතට එක්කළේ මද උණුසුමකි …
‘ඇනා කියන්නේ අපේ දුරින් නෑයෝ වෙන නංගි කෙනෙක් …එයා තමා මට ඔය ළමා නිවසේ ගැන කිව්වේ …. ඇනා අදුරන කෙනෙක් ඉන්න නිසා තමා උබව මේකට භාරදෙන්න අමාරුවක් නොවුනේ ’
මේරි නැන්දා ආච්චිගේ එකම හිතවතියයි … මියැදීමට පෙර මා මේරි නැන්දා භාර කල ආච්චි දෑස් පියාගත්තේ ඕ ගැන විශ්වාසයෙනි …
‘අක්කා ඇවිල්ලා ගොඩක් වෙලාද …. ’ මැදිවියේ කාන්තාවක් පැමිණ අප ලග නතර වෙන තුරුම නැන්දා උන්නේ මට බොහෝ දේවල් පවසමිනි …
‘අනේ ඇනා …දැක්ක කල් …අපි දැන් මේ ආවා විතරයි ..’
එකිනෙකා වැළදගෙන සුවදුක් විචාරන ඔවුන් දෙස මා බලා උන්නෙමි …
‘මේ ළමයාද අක්කා කිව්වේ …. ‘’ ඔවුන්ට මා මතක් උනේ මද වෙලාවකට පසුවය …
‘ඔව් මේ කෙල්ල තමා …කාත් කවුරුත් නැහැ නංගියේ ලොකු පිනක් මේ වගේ ළමයෙකුට උදව් කරන එක …’
කුලී රියේ යන අතරතුර ඔවුන් කතාකලේ මා පිළිබදවය …
‘ ළමා නිවසේට මේ ළමයාව භාර කරන වැඩ ටික ඔක්කොම මම ලැහැස්ති කරලා තියෙන්නේ …
බණ්ඩාරවෙල නගරය පසු කරගෙන මද දුරක් කුලී රිය නතරවුණේ පැරණි පන්නයට ගොඩ නැගුනු ගොඩ නැගිල්ලක් අභියසය … ‘සුජාතා බාලිකා ළමා නිවාසය ‘’ ගේට්ටුව අභියස පුවරුවේ සදහන් වූ නම දෙස මා දෑස් අයාගෙන උන්නෙමි ….
‘බහින්න ළමයෝ …’ නැන්දා ඒ ඇමතුවේ මටය … මා බලා උන් ඉමෙන් දෑස් ඉවතට ගත්තේ එවිටය
විසල් ගේට්ටුවක් තිබු ළමා නිවාසය වටා උස්ව නැගී තාප්පය මා සිතේ ඇති කලේ බියකි ….
‘මේට්‍රන් ඉන්නවද …’ ගේට්ටුව අසල උන් වියපත් මිනිසා එහි මුරකරුවා විය යුතිය
‘ ඔව් ….. නෝනලා එනවා කියලා බලාගෙන ඉන්නේ …’ ඇනා ඇසු පැනයට පිළිතුරු දුන් මිනිසා බුලත් කහට බැදී දත් දෙපල විදහා සිනාසෙන්න විය …
ගේට්ටුවෙන් ඇතුළු බිම අක්කර ගානක් පුරා පැතිර පවතින බව ඒ දෙස බැලු ඕනෑම කෙනෙකුට සැනෙකින් අවබෝද වෙයි …. ඉඩම මැද පිහිටි පැරණි ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය කාලයේ සැකසුවක් වෙන්න ඇත ….
‘මේ මිසිස් ඇනා වෙන්න ඕන ..’
ළමා නිවාසේ කාර්යාලය තුල උන් කාන්තාව වයස හතලිහක පමණ අයෙකි …ඇගේ මුහුණ පුරා පැතිර තිබුනේ ගුප්ත හැගීමකි ….
‘ඔව් මම ඇනා …’
‘මට මිස්ටර් සේනාධීර කිව්වා විස්තරේ …. වාඩිවෙලා ඉමුකො ඉස්සරවෙලා …’
අප ඉදිරියෙන් අසුන්ගෙන උන් ඈ මද වෙලාවක් මා දෙස බලා උන්නේ තීක්ෂණ බැල්මකිනි ..
‘මොකක්ද මේ ළමයාගේ නම …’ මේසය මත තිබු පොතක් ලගට ගත් ඈ පැනය ඇසුවේ මගෙනි
‘ යශෝදරා මානවි ’ සැලෙන දෙතොලින් මා වදන් පිට කලෙමි
‘අමුතු නමක් … ඔය ළමයාගේ වයස ’
‘අවුරුදු පහළොවයි …’
‘මේ ළමා නිවාසේ නිතී තියෙනවා …මේකට එන හැම ගැහැණු දරුවෙක්ම ඒ නීති වලට එකග වෙලා ….ඒවා පිළිපදින්න ඕන … ළමා නිවාසේ ඇතුලේවත් පිටවත් අනවශ්‍ය සම්බන්ධකම් පවත්වන්න තහනම් .. අපි මේකට එන හැම ළමයෙක්ම අධ්‍යාපන කටයුතු වලට කන්‍යාරාමයකට යොමු කරනවා … ‘’
ළමා නිවසේ පාලකවරිය බොහෝ දේ කියද්දී මා ඔහේ බලා උන්නෙමි … තව ස්වල්ප මොහොතකින් මේරි නැන්දා මා මෙහි දමා යනු ඇත .. ඉන්පසුව කාත් කවුරුත් නැති ළමා නිවාසයක තනිවෙන බව සිහිවෙන විට සැලෙන සිත මා පාලනය කරගත්තේ අපහසුවෙනි …
මතු සම්බන්ධයි …
කතාව ගැන ඔබේ අදහස් යෝජනා චෝදනා දක්වන්නේ නම් අගය කරමි