32
~~යශෝධරා ~~~
32 කොටස
අභිතගේ හමුවීම මගේ සිත බොහෝ කලබල කර තිබුණි …. ඔහුට සිදුවුවේ කුමක්ද යන්න දැනගැනීමේ නොනිමි පිපාසය ඉන්පසුව නිරන්තරයේ මගේ හිත පිඩාවට පත් කළේය … හැකි විගස අභීත හමුවිය යුතුය යන තීරණය ගත් මම ඒ සෙනසුරාදා පංති යද්දී ඔහුට දුරකථන ඇමතුමක් ගත්තෙමි …
‘අභීත සර් ….. මම යශෝධරා …’
‘යශෝධරා ඔයා කතාකරයි කියලා මම බලාගෙන හිටියා ..’එහා පසින් ඇසුණු ඔහුගේ කටහඩ හිත කලබද්දී මම මොහොතක් නිහඩව උන්නෙමි …
‘අභීත සර් මට ඔයාව හම්බවෙන්න ඕන …’
‘මටත් ඔයාව හම්බවෙන්න ඕන .. යශෝධරා දැන් කොහෙද ඉන්නේ ..’
‘මම නුගේගොඩ ටවුන් එකේ ඉන්නේ ..’
‘යශෝධරා ඔහොමම ඉන්න මම පැය භාගෙකින් ඔතෙන්ට එනවා …’
‘මම බලාගෙන ඉන්නවා සර් ..’
දුරකථනය තැබූ මම ඔහු එන තුරු මාවත දෙසට නෙත් යොමා උන්නෙමි …. අභිතගෙන් අසා දැනගත යුතු දේවල් බොහෝය …. හරියටම පැය භාගෙකින් අභීත මා අසළය .. …
‘යශෝධරා වාහනේට නගින්න …’ පැළද උන් අව් කන්නාඩි යුවල නිසා ඔහුගේ පෙනුම කඩවසම්ය …. ඔහුගේ පෙනුම මගේ හිත තුල සියුම් ගැස්මක් ඇති කරද්දී මම තවත් කිසිවක් නොපවසා ජීප් රියට නැග්ගෙමි ..
‘ යශෝධරා …. මගේ හිතට සැනසීමක් දැනුනේ එදා ඔයාව දැක්කාට පස්සේ …දන්නවාද මම ගොඩක් බයෙන් හිටියේ ඔයාට කරදරයක් වෙලාවත්ද කියලා …. ‘’ මද දුරක් නිහඩව රිය පදවාගෙන ගිය අභීත මා දෙස බැලුවේය … අව් කන්නාඩි යුවළ නිසා ඔහුගේ දෑසේ හැගීම් පැහැදිලිව නොපෙනුනද මට සිතුනේ ඔහු බොහෝ දුක් ගන්න ඇති බවයි …
එදා ඔයාගේ ලියුම දැක්කාට පස්සේ මට මොනවා උනාද කියලා මම දන්නේ නැහැ …මම පිස්සෙක් උනා …. ඇයි ඔයා එහෙම දෙයක් ලියලා කාටවත් කියන්නේ නැතිවම යන්න ගියේ යශෝධරා …’
ඔහුගේ මුවින් පිටවෙන හැම වචනයක්ම මගේ හිත බොහෝ කම්පාවට ලක් කරේය ….ඇසට කදුළු උනද්දී මම ඔහුගේ අතක් උඩ මගේ අත තැබුවෙමි …
‘ හිතුවේ නැහැ ඔයා ඔච්චර මම ගැන වදවෙයි කියලා ..මට සමාවෙන්න මම කරපු හැමදෙයකටම ..’
පාළු පාරකට හරවා ජීප් රිය නැවතූ ඔහු මද වෙලාවක් මා දෙස බලා උන්නේය …අවසානයේ මගේ බැල්ම දරාගැනීමට නොහැකිවා මෙන් ඔහු ඉවත බැලුවේය …
‘අභීත සර් කෝ දැන් නෙත්මා …’ මම විමසුවේ හිතට වදදුන් පැනයකි …
‘මම එයාට යන්න දුන්නා …… මම තේරුම් කරලා දුන්නා …ආයේ කවදාවත් මට එයාට ආදරේ කරන්න බැහැ කියලා … මම එයාට කාලයක් පණ වගේ ආදරේ කළා …ඒත් එයා මොනවද කලේ මගේ විශ්වාසය කඩලා දැම්මා … මම අවුරුදු දහයක් පිස්සෙක් වගේ එයා ගැන හිත හිතා ජිවත්වුනා …. දවසක් ඔයා මගේ ඉස්සරහට ආවා … ඔයාට මතකද ඔයා අපේ වත්තට හොරෙන් පැන්නා … එදා මට හිතුනේ ඔයා ඈත දවසක ඉදලා මම අදුරගෙන හිටියා කියලා … කිසිම කෙනෙක්ට නැති විදිහට මම ඔයාට කරුණාවන්ත උනා … ඔයා ගැන හොයලා බලන්න කියලා මගේ හිත කිව්වා … මට දැනුනා මම ඔයා ගැන ඕනෑවට වඩා හිතනවා කියලා …ඒත් මම කොහොමද ඔයාට ලංවෙන්නේ …ඔයා මට වඩා ගොඩක් පුංචි කෙල්ලක් …මම ඔයාට ආදරේ කලොත් මිනිස්සු මට මොනවා නොකියයිද … ඒ නිසා මම මගේ හැගීම් හිත ඇතුලෙම හංගා ගත්තා … ’
මද වෙලාවක් කල්පනාවෙන් උන් ඔහු තදින් හුස්ම ගන්න විය …
‘නෙත්මා මගේ ඉස්සරහට ආයෙම ආවත් …. මට එයා ගැන ඉස්සර දැනුන ආදරේ දැනුනේ නැහැ … මගේ හිතේ එයා ගැන තිබ්බ ආදරේ මැරිලා ….. මම ගොඩක් කල්පනා කරලා අන්තිමේට තීරණය කළා නෙත්මාගෙන් ඈත්වෙන්න …’
අභීත වෙනුවෙන් මගේ හිත තුල පිදුණු දුක කදුළක් ලෙසින් දෑසින් පිටතට ගලා ගියේය …..
‘ඇයි ඔයා අඩන්නේ යශෝධරා …’
‘ඇයි සර් ඔයා මට ආදරේ කලේ ..’
‘යශෝධරා ඇයි මට ආදරේ කලේ ..’
‘මම පුංචි කාලේ ඉදලා ආදරයක් ලැබුව කෙල්ලක් නෙවෙයි සර් …ආදරේ කියලා දෙයක් දැනුනානම් ඒ ආච්චි අම්මාගෙන් …එයා නැති උනාට පස්සේ මට කාගෙන්වත් ආදරයක් ලැබුනේ නැහැ … බණ්ඩාරවෙල ගියාට පස්සේ ඔයා මට දයාබර වෙද්දී මගේ හිත ඔයා ගැන හිතන්න ගත්තා ….. ඒ ආදරේ ඇතිවුනේ ටිකෙන් ටික … ‘’
මම ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලාගෙන ඔහේ කියෙව්වෙමි …. මගේ දෑස් වලවූ හැගීම් දරාගත නොහැකිවා මෙන් එක්වරම මා ඔහු වෙතට ඇදගත් අභීත ඒ පපුවේ මගේ මුහුණ හොවා ගත්තේය ..
‘යශෝධරා මට ඔයා නැතිව බැහැ දරුවෝ …’
‘මටත් ඔයාව ඕන සර් …..’
‘එහෙනම් ආයේ කවදාවත් මගෙන් ඈත් වෙන්න හිතන්නවත් එපා ..’
‘කවදාවත් මම ඔයාගෙන් ඈතට යන්නේ නැහැ …කවුරු මොනවා කිව්වත් ඔයා ලග ඉන්නවා ..’
‘සත්තයි කියන්න …’
‘සත්තයි සර් ….මම හැමදාම ඔයා ලග ඉන්නවා ..’
අපි අපිට දහසක් පොරොන්දු දුන්නෙමු …. ඔහුට වඩා වසර ගානකින් මා බාලයි කියා හෝ …ලෝකයා බොහෝ දෑ කියාවි යැයි කියා අපට සිහි නොවුනි … අපට මතක තිබුනේ අපි අපිට බොහෝ ආදරය කරන බව පමණක්මය ..
‘ මම යන්න ඕන සර් …’
‘යන්න හැබැයි ගෙදර ගිය ගමන් මට කෝල් එකක් දෙන්න අමතක කරන්න එපා … මගේ ෆෝන් එක ඔයා ලග තියාගන්න … මට ඔයා එක්ක කතා නොකර ඉන්න බැහැ ..’
හිස අත ගෑ ඔහු ජංගම දුරකථනය මගේ අත උඩ තැබුවේය ..
මම බස් රියට නැගුනු පසු රිය නොපෙනී යනතුරුම ඔහු බසය දෙස බලා උන්නේය …..
‘මම ගෙදර ආවා සර් … ඔයා පරිස්සමට ගියා නේද ….’
නිවසට පැමිණි විගස මා කලේ ඔහුට ඇමතුමක් ගැනීමය ..
‘මම දැන් ගෙදර ඇවිත් වොෂ් එකකුත් දාලා උණුම උණු කෝපි එකක් බොනවා ..’
‘අනේ මම තාම වොෂ් දැම්මෙත් නැහැ .. මම පස්සේ කෝල් එකක් ගන්නම් ….’
මම දුරකථනය විසන්ධි කරද්දීම කාමරයට එබුනේ තාරුකය … ඔහු මා දෙස බලා උන්නේ සැකයෙන් මෙනි ….
‘කාත් එක්කද කතාකර කර හිටියේ …’
‘කාත් එක්කවත් කතා කරේ නැහැ …ලැජ්ජා නැද්ද ගැහැණු ළමයින්ගේ කාමර වලට එබිලා බලන්න ..’
‘මම කියලා තියෙනවා නේ … මේ ගෙදර මට යන්න තහනම් තැනක් නැහැ කියලා ..’ උසුළු ස්වරයෙන් පැවසු ඔහු දොර අසල සිටගෙන උන්නේ මා කියූ කිසිවක්ම කනකට නොගෙනය …
‘ආ …එහෙමද … ඉන්නකෝ එහෙනම් ඔතනම ..’ දොර අසලට ගිය මා ඔහු සිතන්නටදු ඉඩ නොදී එය වසා දැමුවෙමි …
‘මෝඩයා හිතාගෙන ඉන්නේ .. ලොකු එක්කෙනෙක් කියලා ..’
මම නාන කාමරය දෙසට පියමැන්නේ සිතින් ඔහුට බැන වදිමිනි …
*******
පුද්ගලික අයදුම්කාරියක ලෙස මම උසස් පෙළ විභාගයට මුහුණ දුන්නෙමි … මනස නිරවුල්වූ හෙයින් මට අපහසුවකින් තොරව විභාගයට පෙනී සිටීමට මට හැකියාව ලැබුණි ….
‘ එක්සෑම් කොහොමද යශෝධරා ..’ විභාගය අවසාන දිනයේ මා බැලීමට පැමිණි අභීත සර් මගෙන් විමසිය
‘මට නම් සීයට සියක් ෂුවර් ගොඩ කියලා …’
‘දැන් ඉතින් රෙස්ට් එකේ ඉන්න ටික දවසක් …. ඊට පස්සේ හිතමු මොනවාද කරන්නේ කියලා ..’
‘මම ඉගෙන ගත්තා ඇතිනේද සර් ..’
‘ මදි මදි …ඔයා තව ඉගෙන ගන්න ඕන … ‘’
‘මට දැන් ඕන හැමදෙයක්ම දාලා ඇවිත් ඔයා ලග ඉන්න ..’
‘තව ටික කාලයක් ඉවසන්න දරුවෝ ..’
‘මට ඉවසන්න පුළුවන් ඒත් ඔයා පව් සර් …’
‘මට තනියම ඉදලා පුරුදුයි …තව ටික කාලයයි නේ …. ‘’
‘හ්ම්ම්ම් එහෙනම් ඔයාගේ කැමැත්තක් …’
‘සර් …’
‘ම්ම්ම්…’
‘මම ආන්ටි අතින් ඔයා ගැන කියන්නද …’
‘තව ටික කාලයක් ඉන්න ..ඔයා ඉගෙන ගෙන ඉවරවුනාම අපි එයාගෙන් මේ ගැන අහමු ..’
‘ම්ම්ම්ම්ම් … හා එහෙනම් ..’
‘ ආන්ටි කියයිද මට ඔයාව දෙන්න බෑ කියලා …’
‘එහෙම කිව්වොත් මම කියනවා මට ඔයා නැතිව බැහැ කියලා ..’
කතාවෙන් කතාව කඩවතටම මා ඇරලවූ අභීත යන්න ගියේ හැකි විගස නැවත මුණ ගැසීමට පොරොන්දු දෙමිනි ….
කඩවත නගරයේ සිට නිවසට මද දුරක් යා යුතුය ….ඉතින් මා අභීත ගැන සිතමින් ඒ දුර ඇවිද ගියෙමි …. එක්වරම මට දැනුනේ කිසිවෙකු මා පිටුපසින් ඇවිද එන බවකි … ගෙල හරවා පිටත බැලු මා දුටුවේ මා පසු පස ඇවිද එන මර්වින්ය .. ඒ මුහුණ පුරා වැවුණු රැවුල නිසා ඔහුගේ රාක්ෂ පෙනුම වැඩිව තිබුණි … මගේ මුළු ගතම ගින්දරකින් ඇවිල යන්න එතරම් වෙලා ගෙවී ගියේ නැත .. මොහු හිර ගෙදරින් නිදහස් උනේ කෙලෙසද … නඩු තීන්දුව අනුව වසර පහක් යනතුරු මොහු සිටිය යුත්තේ සිර ගෙදරය …. මොහු මගෙන් පළිගැනීමට හිරෙන් පැන ආවාද … මුළු ගතම දාඩියෙන් තෙත්වෙද්දී මම දෙපයට දිරි ගෙන වේගයෙන් ඉදිරියට ඇවිද ගියෙමි …..
මතු සමබන්ධයි