~~~~ දෙව්දූ ~~~~~03 කොටස

සින්නො ටික පේන්නේ නැති වෙනකන් අතින් අල්ලාගෙන ගිය බැචා මගේ අත අතෑරියේ කවුරුත් බලාගෙන ඉන්නේ නැහැ කියලා ෂුවර් එකටම දැනගන්න වට පිට එහෙම බලලා ..
‘කවුරුත් නැහැ නේද …’ කොල්ලා නිකන් සකබබරේ වගේ කැරකෙනවා …මට හිනායන්න ආවත් මම අමාරුවෙන් හිනාව නවත්තා ගත්තා …
‘නැහැ නැහැ දැන්නම් කවුරුත් පේන්න නැහැ …’ මම කොල්ලාට හිනාවෙලා කිව්වා පොර මාරම අහිංසක ඩයල් එකක් කියලා මට මේ ටික වෙලාවට තේරුනා …
‘ඔයා මොන පැකල්ටි එකේද …’ බැචා ඇබරි ඇබරිම මගෙන් අහනවා ..
‘මම ඉන්ජිනියර් ….’
‘මාත් ඉන්ජිනියර් එකේ …මම ජනිත් …’ බැචා එයාගේ නම ගම විස්තර කියන්න පටන්ගත්තා ….මාත් මගේ විස්තර කියලා දැම්මා …..මොකද අද ඉදලා අපිත් එක්ක එකට ඉගෙන ගන්න කොල්ලෙක් නේ …
‘ඔය එක එක තැන්වල ඉන්න ජුන්නො ඔක්කොම අර පිට්ටනිය ලගට එන්නලා ..’
සින්නො කට්ටියක් ඇවිත් අපිට යන්න කිව්ව දිහාවට මම ජනිත් එක්කම ගෑටුවා ..
අලුත් කෙල්ලෝ කොල්ලෝන්ගෙන් පිට්ටනිය පිරිලා වටේටම සීනියර් බැච් වල අයියලා අක්කලා නොහොත් සින්නො හිටියේ ….අපි ජුනියර්ස් ඒ කියන්නේ ජුන්නෝ මැද …
‘හරි දැන් කට්ටියම සීරුවෙන් ඉදපල්ලා …. දැන් තියෙන ලෙක්චර්ස් ඉවර වෙලා හවස ආයෙම මෙතෙන්ටම වරෙල්ලා …. දැන් පේලියට පලයල්ලා .. ‘’

උදේ කාලේ රැග් එක ඉවර වුනේ ඔන්න ඔහොමයි …අපේ ෆැකල්ටිය තියෙන්නේ මහවැලි ගඟෙන් මෙහා පැත්තේ. අනෙකුත් ඔක්කොම ෆැකල්ටි එහා පැත්තේ.. අපේ පැකල්ටියයි අනිත් ඒවයි යා වෙන්නේ පාලමකින්. එක තමා අක්බාර් පාලම….

කොහොම හරි උදේම ලෙක්චර් එක කරපු ප්‍රොෆෙසර් (ප්‍රොෆා ) මැදිවියේ හිටිය ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් …. ලෙක්චර් එක ඉවරවෙනකන් කිසිම කම්මැලි කමක් නැතිව අහගෙන ඉන්න පුළුවන් දේශනයක් තමා සර් කලේ …. පළවෙනි දවස නිසා ගොඩක් සරල විදිහට තමා ඉගැන්නුවේ …
‘දේව් ..’
ලෙක්චර් එක ඉවර වෙලා අමාලි එලියට බහින්න හදද්දි කොහේදෝ ඉදලා දුවගෙන ආපු හිමායා මගේ ඉස්සරහ නතර වුනා …
‘හිමායා …ඊයේ මම ඔයාව කොච්චර හෙව්වද … ‘
‘මමත් ඊයේ ඔයාව බැලුවා හොයා ගන්න බැරි උනා …ඒක නෙවේ ….දේව් අද අපිව දැක්කොත් කොන්වන්ට් එකේ කෙල්ලෝ බඩ අල්ලාගෙන හිනාවෙයි … අපි කවදද හිතුවේ චිත්ත ගවුම් ඇදලා කොන්ඩ ගොතාගෙන සෙරෙප්පු දාගෙන කැම්පස් එන්න වෙයි කියලා නේද .. මට නම් නිකන් මාවම පේන්නේ ජෝකර් කෙනෙක් වගේ ’
හිමායා මගේ දිහා බල බල මහා හයියෙන් හිනාවෙනවා …. අපි දැක්කෙත් නැහැ සින්නො ටිකක් අපිව වටකරගත්තා …
‘මොකද උබලා හිනාවෙන්නේ …. තොපේ හිනාව කපා ගනිල්ලා … ‘’ සින්නො මොනවාද කියන්නේ කියලා දන්නේ නැතිව හිමායයි මායි උඩ බිම බලද්දී අමාලි කලේ හිනාව එහෙම්ම තියාගෙන ඇගිලි දෙක කතුරක් වගේ හදාගෙන හිනාව කපලා දානවා වගේ රගපාන එක … ඒක දැක්ක ගමන් මම හිරකරගෙන හිටිය හිනාව බකස් ගාලා එලියට පැන්නා …
‘උබ …උබ හිනාව ගලවලා මිටියකින් ගහපන් …..’
මම හිනාවෙනවා දැක්ක ගමන් එතන හිටිය සින්නෙක් මහා හයියෙන් මට කෑ ගැහුවා … මොනවා කරන්නද මම හිනාව ගලවලා අතට ගන්නවා වගේ රගපාල .. හිනාවට මිටියකින් ගහනවා වගේ රගපෑවා …. ඒත් ඉතින් මම කරන මේ වැඩ වලට මටම හිනායනවා …
‘උබ හැදෙන්නේ නැහැ මහපන් උබේ කට … ‘’
අන්තිමේට සින්නො ටික එහෙම කිව්වාම මම හිනාව මහනවා වගේ රගපෑවා … ඒත් ඉතින් මේ කරන පිස්සු වැඩ වලට හිනා යන එක නවතින්නේම නැහැ මට .
‘උබ …උබ හැදෙන්නේ නැහැ ….උබට හිනා යනවාද ආ … හිනාව නවත්තා ගන්නම බැහැ නේද …දැන් උබ හිනාව නවත්ත ගන්නේ කොහොමද කියලා මේ ජේෂ්ඨ උත්තමයන් ගෙන් අහලා දැනගනින් ..’
ඒ පාර නම් සින්නා තරහෙන් කෑ ගැහුවේ …. හිමායයි අමාලියි බය වෙලා වගේ බලාගෙන ඉන්නවා … කරන්න දෙයක් නැහැ ….. මම ලගම හිටිය සින්නා ලගට ගියා …
‘අයියේ මට හිනා යනවා මම මොනවාද කරන්නේ …’
‘ඇයි මොකද උබට හිනායන්නේ උබ හිනා ටොෆි කාලාද … &#3#$& පල යන්න මෙතනින් …’
පළවෙනියට කතා කරපු කොල්ලා මහා සැරෙන් තමා එහෙම කිව්වේ
.
ඊට පස්සේ මම ගියේ අනිත් පැත්තේ හිටිය අයියා ලගට …. මම එයා ලග හිටිගෙන ඒ මුහුණ දිහා බැලුවා .. කිසිම හිනාවක් නැති වුනත් ඒ මුහුණ හරිම ආකර්ශනීයයි කියලා එයා දැක්ක ගමන් මට හිතුනා … විනාඩියක් දෙකක් නෙවේ එක දිගට පැය ගානක් උනත් බලාගෙන ඉන්න පුළුවන් ලස්සනක් තමා සුදු මුහුණේ තිබ්බේ අපිළිවෙලට තිබ්බ කොන්ඩේ මුහුණට වැටිලා …. හිනි දිගැටි ඇස් වල තිබ්බේ නිදිබර බවක් …. ඩෙනිමක් ඇදලා ටීෂර්ට් එකක් උඩින් දාලා හිටිය එයා මගේ දිහා බලාගෙන හිටියේ කිසිම හිනාවක් නැති මුහුණෙන් … ටික වෙලාවක් අපි දෙන්නා අපි දෙන්නා දිහා බලාගෙන ඉන්න ඇති ….. මමවත් එයාවත් කතා කරන්න ඉස්සර උනේ නැහැ …

එකපාරටම හතර පැත්තෙන්ම ෂුවක් ආවාම තමා අර මුහුණේ අතරමන් වෙලා හිටපු මම පියවි ලෝකෙට ආවේ … කොහොමහරි කතා කරන්න මම කට හදාගද්දී ඔච්චර වෙලා ඇහිපිය ගහන්නේ නැතිව මගේ දිහා බාලාගෙන හිටපු අර අයියා තවත් විනාඩියක් වත් එතන ඉන්නේ නැතිව කඩාගෙන බිදගෙන එතනින් යන්න ගියා …
‘මචං තේමිය කොහෙද දුවන්නේ …’ තවත් අයියා කෙනෙක් අර අයියා පස්සේ දිව්වා ..ඒ කියන්නේ ඒ අයියාගේ නම තේමිය …මම හිතේ එයාගේ නම ලියාගත්තේ ඇයි කියලා මටම තේරුනේ නැහැ ..

‘ඊලග දවසේ ඔය විදිහට බක බක ගාලා අහුවෙන්න එපා … ’ ඉස්සරලා බැන්න සින්නා මගේ දිහා බලලා එහෙම කිව්වේ අහුවෙන්න එපා ආයේම කියනවා වගේ බැල්මකින් …

‘හොදමයි ජේෂ්ඨ උත්තමයා ….’ මම එහෙම කියලා බිම බලාගෙන හිටියා ..

‘ඒයි චායා උබලා කෑම ගෙනින් මුන්ටත් එක්ක … අනිත් පැකල්ටි වල එවුන් අපේ ජුන්නොන්ට රැග් කරයි අල්ලාගෙන …’

ඒ කියන්නේ මෙයාලා කැමති නැහැ අපි අනිත් ෆැකල්ටි වල සීනියර් අයියලා අක්කලා අතින් රැග්‍ වෙනවාටත් …. කොහොමහරි අර චායා කියන අක්කා කෑම අරන් එනකන් අපිට එතනින් හෙලවෙන්නවත් හම්බ උනේ නැහැ .

‘ජේෂ්ඨ උත්තමාවිය ඉස්සරහා දණින් වැටිලා ස්තුති කරලා කෑම එක ගනිල්ලා ..’
අර අයියා එහෙම කිව්වම අපි තුන්දෙනා අර අක්කා ඉස්සරහා දන ගැහුවා …
‘ජේෂ්ඨ උත්ත්මාවියනි මේ ලබාදුන් කෑම පාර්සලය වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා ..’
අපි එකහඩින් එහෙම කියලා ජේෂ්ඨ උත්තමාවිය අක්බාර් කැන්ටින් එකෙන් අපිට ගෙනත් දුන්න කෑම පාර්සල් දිග ඇරගත්තා … බත් හැදී දෙකක් විතර ප්‍රමානයකට ඇගිලි පුරුක් දෙකක් විතර මස් කෑලි දෙකකුයි හොද්දකුයි තිබ්බ බත් එක මෙලෝ රහක් නැහැ ….මට මතක් වුනේ අම්මි අතින් හදලා දෙන රසම රස බත් එක ..

‘මට කන්න බැහැ ඇති …මේ ..’ බත් කටකට වඩා කාගන්න බැරිව මම කෑම එක විසි කරන්න ගුලි කෙරුවා ..
‘ඒයි නංගි මොනවාද ඒ කලේ …ආ දිග ඇරපන් බත් ඇටයක් ඉතිරි වෙන්නේ නැති වෙන්න ඕක කාපන් ..’
කෑම එක ගෙනත් දුන්න චායා උත්තමාවිය එහෙම කියලා කෑ ගහද්දි අයියලා ටික බනියි කියන බයටම මම අප්පිරියාව පැත්තක තියලා බත් එක කටට දෙකට කාලා දැම්මා ..

‘කෝ කට්ටියම තමන්ගේ කෑම කොළ පෙන්නමු ..’
සින්නො ටික අන්තිමේට අපි කෑව කොළ ටික චෙක් කරලා තමා එතනින් යන්න දුන්නේ .
‘හා හා දැන් ඔය කෑව ඒවා බහින්නත් එක්ක හාවා පැන පැන ලෙක්චර් හෝල් එක ලගට යමු …. හෝල් එක ලගට යන්න ඉස්සර වෙලා එකෙක් හරි නැගිටලා තිබ්බොත් හෙට දෙගුණයක් වැඩියෙන් රැග් කරනවා .. ‘’

අපි තුන්දෙනා හාවා පැන පැන ලෙක්චර් හෝල් එක ලගට යනකොට දෙපැත්තේ හිටිය සින්නො මහා හයියෙන් හිනාවෙනවා අපි දිහා බල බලා ..මොනවා කරන්නද පොඩි කාලේ කොන්සර්ට් එකට පස්සේ ආයෙම හාවෝ පනින්න වෙයි කියලා කව්ද හිතුවේ ..

‘මට නම් ඇති වෙලා දේව් විජේවර්ධන හෝල් එකේ ඉන්න ජේෂ්ඨ උත්තමාවියෝ රෑට රැග් කරනවා ..මෙහෙ ඉන්න උන් දවල්ට රැග් කරනවා …උබේ ලක් එකට බෝඩිමේ ඉදලා එන්නේ …’

හිමායා අඩන්න වගේ කතා කරද්දී මට පව් කියලා හිතුනා ..

‘ටික දවසයි නේ හිමායා .. දුක් වෙන්න එපා . ඉවසගෙන ඉදපන් ..’
මම කෙල්ලගේ හිත සැනසෙන්න එහෙම කිව්වට උදේ දවල් කරන මේ රැග් එක මටත් එපා වෙලා තිබ්බේ

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *