~ දෙව්දූ ~~33 කොටස

~~~ දෙව්දූ ~~~~
33 කොටස
නිවාඩුව ඉවර වෙන්න හිතුවාටත් වැඩිය කාලයක් ගියා වගෙයි මට දැනුනේ…. කොහොම හරි හෙමින් හෙමින් දවස් ගෙවිලා ගිහින් නිවාඩුව ඉවරවෙලා මං ආපහු බෝඩිමට යන දවසත් ආවා … අම්මි හදලා දුන්න වැලි තලප පාර්සල් දෙකයි මගේ ලොකු ඇදුම් බෑග් එකයි අතින් කටින් එල්ලගෙන මම කොලඹ නුවර ඉන්ටර්සිටි බස් එකකට නැග්ගා … මගේ හිතට නම් තේමිය අයියා දකිනකන් ඉවසිල්ලක් නැහැ වගේ …. ඉන්ටර්සිටි උනාට බස් එක පේරාදෙණියට ලංවෙද්දි පැය තුනකට වැඩි කාලයක් ගියා..
‘දේව් ….. මම බලාගෙන හිටියේ ඔයා එනකන් …’ වසන්තා ඇන්ටි ගේට්ටුව ලග ඉදලා ඉස්සරහට ඇවිත් මගේ අතේ තිබ්බ ලොකු බෑග් එක අතට ගත්තා
‘ඔයා කොහොමද දන්නේ මම අද එනවා කියලා ..’ මම අද එනවා කියලා වසන්තා ඇන්ටිට කියලා තිබුනේ නැහැ .. කොහොමද එයා මම එන බව දැනගත්තේ
‘රාධා කෝල් කරලා කිව්වා ඔයා එහෙන් පිටත් වුනා කියලා .. ඒ වෙලාවේ ඉදලා මම ඔයා එනකන් මග බලන් ඉන්නේ ….ඔයා එන්න ගොඩක් වෙලා ගියා වගේ ’
‘ ඔව් අනේ නැග්ගේ ඉන්ටර්සිට් බස් එකකට වුනාට ඒකහරිම හෙමින් ආවේ ….හරිම මහන්සි අප්පා ..’
ගේ ඇතුලට ආවාට පස්සේ මම පුටුවක වාඩිවුනා නෙවෙයි ඇදගෙන වැටුනා කිවොත් වැරදි නැහැ ..
‘ඉන්න මම කුල් ඩ්‍රින්ක් එකක් හදාගෙන එන්නම් …’ වසන්තා ඇන්ටි කෑම කාමරය පැත්තට යද්දී මම තේමිය අයියාගේ කාමරේ දිහා බැලුවා …කාමරේ දොර බාගෙට වහලා …ඒ කියන්නේ තේමිය අයියා ගෙදර නැහැ …. තේමිය අයියා දකින්න තිබ්බ නොඉවසිල්ල හිත ඇතුලෙම පරවෙලා යද්දී .. මම බරට හුස්මක් පහලට දැම්මා …
‘මේක බීලා ඉන්න දරුවෝ ..’
ඇන්ටි මගේ අතේ තිබ්බ බිම වීදුරුව එක හුස්මට හිස් කරලා මම කාමරයට යන්න නැගිටලා අම්මි වසන්තා ඇන්ටිට දෙන්න කියලා දුන්න වැලි තලප පාර්සල් එක එයා අතේ තිබ්බා ..
‘ ඇන්ටි මෙන්න අම්මි මේ පාර්සල් එක ඔයාට දෙන්න කියලා දුන්නා ..’
‘මොනවද මේ …’
‘ වැලි තලප වාගයක් ’
මම කාමරටට යන්න හැරුනේ එයාට උත්තර දෙන ගමන්මයි …
කාමරේට ගිහින් චේන්ජ් එකක් දාගෙන ඉවරවෙලා මං කලේ හෙට කැම්පස් ගෙනියන්න ඕන කරන පොත් ටික රෙඩ් කරන එක …. ඔක්කොම වැඩ ටික ඉවර වෙලා ඇස් රිදෙනකන් මග බලාගෙන හිටියත් තේමිය අයියා නම් අද ගෙදර එන පාටක් නැහැ වගේ …එයා මං එන බව දැනගෙන මග ඇරලා ගිහින් කියලා වෙලාවකට මට හිතුනේ … මුළු හිතම අවුල් වෙන්නේ ඔය වගේ දේවල් මතක් වෙද්දී තමා .. හැම දෙයක්ම අමතක කරලා දාලා මම නිදාගත්තේ හෙට කොහොම හරි එයාව හම්බ වෙන බලාපොරොත්තුවෙන්…
*****
‘මොණරි , මහත් වෙලා ලස්සන වෙලා .. ’
මාව දැක්ක ගමන් කට්ටියම ඇවිත් වටකරගත්තා ….
‘මට ඇස් වහ වදියි …තුක් ..තුක් ..’
‘මේකිගේ කට තමා කට …’
‘ආ මෙන්න අපේ අම්මි කැම්පස් ගිහින් කපුටු දානයක් දෙන්න කියලා මේවවා එව්වා ..’ මම වැලිතලප පාර්සල් එක එලියට ගත්තා විතරයි කොහෙන්ද ආව අතකින් ඒක ඇදලා ගත්තා
‘උබලාගේ අම්මිට තව තවත් මේ වගේ බලු කපුටු දාන දෙන්න හිත් පහල වේවා … සාධු කියන්න සහෝදරවරුනි …’
‘සාධු ….. සාධු ….සාධු…’
වැලිතලප පාර්සල් එක අතින් අතට ගිහින් අන්තිමට කොලේවත් ඉතිරි වෙන්නේ නැති විදිහට වාෂ්ප වෙලා … අපොයි මුන් වගේ බඩජාරියෝ ටිකක් …
කට්ටිය එක්ක කතා කරන ගමන් මම වටපිට බැලුවේ තේමිය අයියාව පේන්න ඉන්නවාද කියලා ..
‘කාවද හොයන්නේ ..’ මලිෂ් එහෙම ඇහුවාම මම මොකුත් නොකියා හිනාවුනා
‘ආ ..ආ . අපි දන්නවා කාවද හොයන්නේ කියලා …මෙයාගේ බොක්කේ ලව් එක හොයන්නේ ඔය හතර අතේ ඇස් කරකව කරකවා …’ තරුදු තමා මලිෂ්ගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ ..
‘මන් දැක්කා …අන්න අරහේ ඉන්නවා සින්නො සෙට් එකක් එක්ක …’
ජනිත් එහෙම කීවාම මම අමාලිවත් ඇදගෙන එයා පෙන්නුව දිහාවට ගියා … තේමිය අයියා යාළුවො කට්ටියක් වටකරගෙන අයි ටි සෙන්ටර් එක ලග ඉන්නවා …. ඈත තියාම තේමිය අයියා මාව දකින්න ඇති … කලබලෙන් වගේ එයා එතැනින් යන්න ගියේ මම එන බව දැක දැකමයි … සමහර විට එයා මාව දකින්න නැතිව ඇති හිත රවට්ට ගන්න එහෙම හිතුවත් ඇත්ත කතාව එයා මාව දැක දැක මෙතැනින් පැනලා ගියා කියන එකයි
‘ඒ බන් මොකක්ද අරු ඒ කරපු වැඩේ ..’ අමාලිටත් තේමිය අයියා කරපු වැඩේ නෝට් වෙලා වගේ
‘එයා අපිව දකින්න නැතිව ඇති …’
‘අනේ බන් ඌ අපි එනවා දැක දැකමයි යන්න ගියේ ..ඕනෑම පොට්ටයෙක්ට පේනවා නේ ….මෙච්චර ලග ඉද්දි …’
‘එයා අපිව දැක්කා නම් එහෙම යන්නේ නැහැ අමා ..’ මගේ හඩ මටවත් අදුනගන්න බැරිවිදිහට බිදිලා ගියේ මංවත් දන්නේ නැතිව … අමාලි කියන කතාව ඇත්ත උනත් තේමිය අයියා ගැන කවුරුත් වැරදියට හිතනවාට මම කැමති නැහැ
‘ උබ මට සුදු ලූණු පොඩි කරන්න එපා .. දේව් …උබලා දෙන්නා අතර මොකක් හරි ප්‍රශ්නයක් නම් ඉක්මනට විසදගනිල්ලා …ඔය වගේ ප්‍රශ්න දුර දිග ගෙනියන්න එපා …අන්තිමට උබට කැම්පස් එකෙන් යන්න වෙන්නේ අඩන හිතකුත් අරන් ..’
අමාලි කවදාවත් නැතිව ලොකු දේශනයක් දෙද්දී මම ඔහේ අහගෙන හිටියා … අමාලි කියන වචනයක් ගානේ ඇත්ත කියලා මම හොදටම දන්න නිසා …

****
තේමිය අයියා හම්බවෙන්න කොච්චර ට්‍රයි කලත් එයා මාව මග අරිනවා කියලා මට ටික දවසක් යද්දී තේරුනා .. මාව එච්චර පිළිකුල් වෙන්න තරම් දරුණු වැරද්දක් එයාට කරලා තිබුනේ නැති එකයි මගේ දුකට හේතුව උනේ .. එයා පස්සේ කොච්චර ගියත් එයා මාව හම්බවෙන එක ප්‍රතික්ෂේප කළා .. ඇත්තම කියනවා නම් ඒ වෙද්දී මට එයාගේ මේ හැසිරීම තිත්ත වෙලා තිබ්බේ .. මගේ යාළුවොන්ටත් ඒ වෙද්දී මේ ගැන තේරිලා තියෙන්න ඇති ඒ හින්දාමද කොහේදෝ මගේ ඉස්සරහා තේමිය අයියා ගැන කතා කරන එක නොකරන්න තරම් එයාලා පරිස්සම් වුනා
‘ ඔන්න මචං අපේ වෙලාව ආවා …’ උදේ පාන්දර මලිෂ් දත් තිස් දෙකම පේන්න හිනාවෙලා එහෙම කිව්වාම අනිත් උන් ටිකත් පොරගේ දිහා කන්න වගේ බලාගෙන හිටියේ
‘මොකක්ද බන් දැන් වෙන්නේ ..’ මලිෂ්ගෙන් උත්තරයක් නැති හින්දා කට්ටියම උත්තරයක් දෙනකන් එයාගේ කට දිහාම බලාගෙන හිටියා
‘අඩෝ හෙට ඉදන්අලුත් එවුන්ගේ රැග්‍ සීසන් එක පටන් ගන්නවා …’
මලිෂ්ගේ ආරංචියට කොල්ලෝ ටිකට නම් පට්ට හැපී … මොකද අපි කෑව කට්ට දැන් අලුතින් එන එවුන්ට දෙන්න චාන්ස් එක එන්නේ අපිට නේ ….කාටවත් රැග්‍ කරන්න මගේ හිතේ කිසි කැමැත්තක් නැතත් …. උන් කරන දේවල් වලට හවුල් නොවුනොත් ඉතින් අල වෙන්න තමා වෙන්නේ ..අල වෙනවාට වඩා වාත වෙලා ඉන්න මගේ හිතේ කැමැත්ත තිබ්බේ …
‘හරි හරි දැන් බුලත් එහෙම රෙඩ් කරලා ලැහැස්ති වෙයල්ලා වෙල්කම් පාර්ටි එකට … ’
කට්ටියම කතා වුනේ වෙල්කම් පාර්ටි එක ගැන …. කැම්පස් එකට එන මුල්ම දවසේ කැම්පස් එක ගැන ප්‍රසන්න හැගීමක් අලුත් ළමයිගේ හිත් වලට දෙන්න පුළුවන් උපරිමයට කරන්න තමයි හැමෝගෙම සැලැස්ම වුනේ … හැමෝම කතාකරද්දී මම කලේ පැත්තකට වෙලා ඈත පේන හන්තාන කන්ද දිහා බලාගෙන ඉන්න එක ..එකම එක සැරයක් තේමිය අයියාව හම්බවෙලා කතා කරන්න තියේ නම් කියලා මට දහස් වතාවකට වැඩිය හිතෙන්න ඇති ..
මායාවක්ද මන්දා එක පාරම තේමිය අයියාගේ රූපේ ඉස්සරහ පාරෙන් මතුවෙද්දී මට උන්හිටි තැන් මතක නැතිවුනා .. බිමට බරකරගත්ත ඇස් වලින් ඇවිදගෙන ආපු එයා අපිව දකින්න නැතිව ඇති ..එයා ඉස්සරහට ඇවිදගෙන යද්දී මගේ කකුල් දෙක ඉස්සරවුනා හිතට ඉස්සර වෙලා ..
‘තේමිය අයියා …’ මම එයා බලන්නත් කලින් එයාගේ අතක එල්ලුනා ….එයා කුණු මාළු කෑල්ලක් ගෑවුනා වගේ අත ගසලා දාන්න ට්‍රයි කරද්දී මම තව තවත් ඒ අත තද කරලා අල්ලා ගත්තේ එයා යයි කියලා හිතට ආපු බය නිසා
‘මොකද ආ ..මේ නටන නාඩගම …’
ගොඩක් සැරෙන් එයා එහෙම අහලා මගේ දිහා බැලුවේ පිච්චිලා අලුවෙලා යන තරම් නපුරු බැල්මක් …
‘මාත් එක්ක කතා කරන්න තේමිය අයියා …ප්ලීස් මාව මග ඇරලා යන්න එපා ..මාව පිච්චෙනවා වගේ ..’
‘ඔයා …. මාව රැවැට්ටුවා …. ගොඩක් …. ඇයි එහෙම කලේ දෙව්දූ …’ එක තප්පරයකදී හිතාගන්න බැරි විදිහට තේමිය අයියාගේ කටහඩ බිදිලා ගියා
‘මම ඔයාට වැරද්දක් කලේ නැහැ තේමිය අයියා ..’ මගේ ඇස් දෙකෙන් වැටුණු කදුළු වලින් මගේ මුහුණ හේදිලා යන්න ඇති
‘ඔයා වැරද්දක් නෙවෙයිද දෙව්දූ කලේ … ඇයි ඔයා අර තරම් ලොකු රහසක් මට හැංගුවේ ..’
දෙවියනේ එයා මේ මොනවා ගැනද මගෙන් අහන්න යන්නේ ….
‘මො …මොකක්ද ….’ මගේ දිව පැටලෙනවා වගේ
‘ඔයා අර විකුම් බදින්න ඉන්නවා කියන එක මට හැංගුව එක වැරද්දක් නෙවෙයිද … ඒක වැරද්ද නෙවෙයිද කියන්න ..’
මගේ උරහිස් දෙකෙන්ම අල්ලලා තේමිය අයියා මාව හොල්ලාගෙන හොල්ලාගෙන හියා …තේමිය අයියා හැමදෙයක්ම දැනගෙන …. මම ඒක හැන්ගුවේ තේමිය අයියා මට නැතිවෙයි කියන බය නිසා මිසක් …එයාට වංචා කරන හිතකින් නෙවෙයි කියලා කවදාවත් එයා විශ්වාස කරන එකක් නැහැ …
‘වැරද්දක් …..අයියා ….ලොකු වැරද්දක් ….. මට සමාවෙන්න …’
මාව වෙව්ලනවා ….සට සට ගාලා ඇස් වලින් කදුළු ගලනවා නැවතිල්ලක් නැතිවම …

‘එදා ඔයා කෝල් කරා මතකද …. ඔයා ෆෝන් එක තිබ්බට පස්සේ මට හිතුනා මම වැරදි කියලා .. ටික වෙලාවකින් ආපහු ඔයාට කෝල් කරා මම එතකොට ඔයා ගෙදර නැහැ … උමා නංගි ෆෝන් එක ආනස්වර් කලේ …. එයාගෙන් මම ඇහුවා විකුම් ඔයාලාගේ නෑයෝ වෙන්නේ කොහොමද කියලා … දන්නවද එයා දුන්න උත්තරේ … තාම නම් නෑයෝ වෙලා නැහැ ඒ වුනාට ඉස්සරහට නම් මගේ මස්සිනා වෙන්නේ විකුම් අයියා තමා කියලා … මට මොනවාද හිතුනේ කියලා දන්නවාද …. මගේ ඇගේ කොටසක් මගෙන් අයින් වුනා තරම් වේදනාවක් ….. නැහැ…. නැහැ … ඊට වඩා රිදුමක් ….මගේ හිත මගෙන් ගලවලා කවුරු හරි ගත්තා වගේ රිදුමක් මට දැනුනේ …මම තනියම ඇඩුවා ….ඔයා වැරදි නැහැ කියලා හිතුවා … ඒත් …. ඇත්ත ඒක නෙවෙයි ඔයා මගේ වෙන්නේ නැහැ කියලා කියන එක තමා ඇත්ත කතාව …මම අමාරුවෙන් හිත හදාගත්තා … දන්නවද මම හිත ගලක් කරගෙන ඉන්නේ …මගේ ඉස්සරහට ඇවිත් මේ ගල් හිත උණු කරන්න හදන්න එපා …’

කතාව නවත්තලා හයියෙන් හයියෙන් හුස්ම ගත්ත එයා එක එල්ලේම මගේ ඇස් දිහා බලාගෙන හිටියා …
‘මම බොරුවක් කියන්න ඇති …..ඒත් මගේ ආදරේ බොරුවක් නෙවෙයි අයියා . ….’ මම හෙමින් වචන ගැටගැහුවා
‘ඔයා ඉස්සර වෙලා ඔය කතාව කිව්වා නම් මම විශ්වාස කරනවා …. ඒත් දැන් ඔයා ගැන තිබ්බ විශ්වාසය නැතිවෙලා ගිහින් ඉවරයි …’
එයා එහෙම කියලා මම අල්ලාගෙන හිටිය එයාගේ අත මගෙන් අයින් කරගත්තා ..
‘මට සමාව දෙන්න අයියා …. මම ඔයාට ඇත්තටම ආදරේ …. විකුම් අයියා ගැන කිව්වේ නැත්තේ ඔයාව නැතිවෙයි කියලා බය හිතුන නිසා ..’

‘ පරක්කු වැඩි දෙව්දු …. ආයේ කවදාවත් කෙල්ලක් විශ්වාස කරලා ඇත්තටම ආදරේ කරන්නේ නැහැ …දන්නවද මේ හිත ගොඩක් රිදෙනවා …මම මැරිලා වගේ දැනෙන්නේ … මැරුණ හිතක් තියෙන මිනිහෙක්ගෙන් ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න එපා ..’

තේමිය අයියා එහෙම කියලා මම හිටිය තැනින් ඈත්වෙලා යද්දී මම හිටගෙන හිටිය තැනම බිම වාඩිවුනා …. තේමිය අයියා …මට ඔයාව ඕන …මම ආදරෙයි …කෑ ගහලා එහෙම කියන්න ඕන උනත් මගේ උගුරෙන් එක වචනයක්වත් එලියට ආවේ නැහැ … හුස්ම හිරවෙලා .. මාව මැරෙන්න යනවා වගේ හැගීමක් විතරයි මට දැනුනේ ..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *