~~දෙව්දූ ~~~35 කොටස
~~~~දෙව්දූ ~~~~~
35 කොටස
ආදරේ කරපු හිතක් … ඒ හිතින් ලැබුණු ආදරේ …. අමතක කරන එක අමාරු දෙයක් වුනත් … කාලෙත් එක්ක තේමිය අයියාගේ ආදරේ මගේ හිතට විතරක් සිමා කරගන්න මට පුළුවන් වුනා … තේමිය අයියාව පුළුවන් හැම වෙලාවකම මග ඇරලා ඉන්න මම පරිස්සම් වුනා …මම වගේම තේමිය අයියත් මාව ඇස නොගැටෙන මානේ ඉන්න උත්සහ කරනවා කියලා මම දැනගෙන හිටියා …. වෙනදා මාසෙකට සැරයක් ගෙදර ආපු තේමිය අයියා ඒ එන එකත් නතර කරලා දැම්මා … තේමිය අයියාගේ මේ වෙනස් වීම වසන්තා ඇන්ටිට ලොකු වේදනාවක් වුන බව එයා කියන දේවල් වලින් මට තේරුනත් ඒ වෙනස්වීමට හේතුව මම කියන එක නම් මම අගවන්න ගියේ නැහැ ….
කැම්පස් එක ඇතුලේදී මම බොරුවට කෑ ගහලා හිනාවෙන්න පටන්ගත්තා … මට ඕන වුනේ හැමෝටම පෙන්නන්න …. තේමිය අයියා නැතිව මම සතුටින් කියලා …..
‘ උබ හරි වෙනස් වෙලා දේව් …’ මම ඕනෑවට වඩා හිනාවෙද්දි වැඩියෙන්ම කලබල වුනේ හිමායා
‘ මම ….කෝ …..මට පේන්නේ නැහැ නේ එහෙම වෙනසක් ’ මම ඇස් පහත් කරලා මගේ දිහාම බැලුවා
‘ පිටින් පෙන්නුවේ නැතිවුනාට …උබ ඇතුලින් ලොකු දුකක් විදිනවා … හිනාවුනාට …ඔය ඇස් දෙක ඇතුලේ ලොකු දුකක් තියෙනවා … දේව් …උබ කාට බොරු කරත් මට බොරු කරන්න බැහැ …. ඉස්කෝලේ යන දවස් වල උබ හිනාවෙද්දි ඇස් වලිනුත් හිනාවෙනවා … එතකොට මේ ඇස් දිලිසෙනවා ..ඒත් අද උබ හිනාවෙද්දි අර ඉස්සර දවස් වලදී වගේ මේ ඇස් වල එළියක් නැහැ …’
මාව තනිකරගෙන හිමායා හාර හාර අහද්දී කිසිම උත්තරයක් නොදී මම බිම බලාගෙන හිටියා .. මමවත් දන්නේ නැති මොහොතක මගේ ඇස් වලට කදුළු ඉනුවේ උල්පතකට වතුර උනනවා වගේ….
‘මට තේමිය අයියාව ඕන හිමා … එයා මගේ ලගට අද නැති නම් හෙට එයි කියලා මගේ හිතම මම රවට්ට ගන්නවා … .වෙලාවකට මම අඩනවා .. .. . ඒත් මේ කදුළු ඉවර වෙන්නේ නැහැ හිමා …බලපන් කොච්චර ට්‍රයි කලත් ආයෙම ඇස් වලට එනවා ..’ ඇස් වලින් වැටිලා කම්මුලේ රැදිලා තිබ්බ කදුළු බිංදුවක් ඇගිල්ලකට අරන් මම හිනාවෙන්න ට්‍රයි කළා
‘ මම හිතුවේ උබ තේමිය අයියාව අමතක කරලා ඉන්නේ කියලා …ඒත් උබ තාම දුක් විදිනවා …ඌ ගැන මතක් කර කර … මට තේරෙන්නේ නැහැ දේව් ……මම උබට කොහොමද කියලා දෙන්නේ කියලා මේ ආදරේ අමතක කරන හැටි …’
හිමායා ලොකු හුස්මක් පා කරලා තවත් මොකුත්ම කියන්නේ නැතිව මගේ අතින් අල්ලාගෙනම ලයිබ්රි එක පැත්තට ගියා …
‘අපි උබලා දෙන්නව කොච්චර හෙව්වද …. අද රෑට සරච්චන්ද්‍ර වලේ සිංහබාහු පෙන්නවා මොකද කියන්නේ යමුද ..’
‘ නියමයිනේ ….. අපි නම් රෙඩ් නේද දේව් …..’ හිමායා මටත් එක්ක තමා උත්තර දුන්නේ … නාට්‍යක් බලලා රසවිදින්න තරම් හිතක් තිබුනේ නැතත් හිමයාට බැහැ කියන්න මට පුළුවන් වුනේ නැහැ
අපි කට්ටියම වල පැත්තට යද්දී හවස හයට විතර ඇති අපිට කිසිම හදිස්සියක් තිබුනේ නැත්තේ බිනුරගේ යාළුවෙක් සිට් අල්ලලා දෙන්න පොරොන්දු වෙලා හිටිය නිසා …. ළමයි දාහක් විතර ඒ වෙද්දීත් වල වටේට එකතු වෙලා හිටියා …… වල මැද තිබ්බ රොබරෝසියා මල් ගහේ වෙනදා වගේ මල් පිපිලා නැහැ … කොළත් එක්ක වේලිලා හැලිලා ගිහිල්ලා තියෙන හැටි දැක්කාම මගේ හිතට ආවේ මහා මුසල හැගීමක් ….. ඒ හැගීම පහදලා මේ යැයි කියන්න බැරි විදිහේ එකක් …. අතීතයේ දවසක තේමිය අයියා ලගින් ඉදලා මනමේ නාට්‍ය බැලුව විදිහ මතක් වෙද්දී අර මුසල හැගීම මැදින් වේදනාවක් මතුවුනේ …
‘ඒයි හිපාටුවා …..මොකද ලේට් වුනේ …’ බිනුරගේ යාලුවෙක් ඉස්සරහට ඇවිත් අපිව පිළිගත්තා …
‘දන්නේ නැද්ද බන් ගැහැණුත් එක්ක නේ ආවේ ….දන්නේ නැද්ද මුන් ගැන වොෂ් රූම් අස්සේ රිංගලා මේකප් කරලා හැඩවැඩ වෙලා .. පුදුම අමාරුවකින් එලියට ගත්තේ ..’ බිනුර හිනාවෙවී එහෙම කියද්දී කෙල්ලෝ ටික ඔකොම පොරට රවන්නයි ඔරවන්නයි ගත්තා …
කට්ටිය කතා කරද්දී මම වටපිට බැලුවා අහම්බෙන් වගේ මම දැක්කා තේමිය අයියා එයාගේ යාළුවො සෙට් එකත් එක්ක කතා කරකර ඉන්නවා … මම විනාඩි ගානක් තේමිය අයියා දිහා බලාගෙන හිටියා හැමෝටම හොරෙන් … එක කැම්පස් එකක ඉගෙන ගත්තත් මම එයාව දැක්කේ මාස ගානකට පස්සේ … හිතේ එයා නැහැ කියලා හිතුවත් එයාව දකිද්දී මගේ හිත එයාව ඉල්ලනවා ..
‘හරි හරි බන් ඕවවා ඔහොම තමා වරෙල්ලා උබලාට ඔන්න ඉස්සරහාම ෂිට් ටිකක් අල්ලලා තියන්නේ …’
මම තේමිය අයියාගෙන් ඇස් අයින්කරගෙන කට්ටිය පස්සේ වැටුනට හිත නම් එයා ලගම නැවතිලා වගේ මට දැනුනේ …
‘මම ඔයාට ආදරෙයි දේව් …’ තේමිය අයියා පළවෙනියට මට ආදරේ කිව්වේත් මේ රොබරෝසියා ගහ ලග වාඩිවෙලා මනමේ නාට්‍ය බලනගමන් …ඒ මතකය කොච්චර වේදනාකාරී උනත් කැම්පස් ජිවිතේ ලස්සනම දවස් ටික තේමිය අයියා මගේ ලගින් හිටිය ඒ දවස් ටික … හිතද්දී හිතද්දී මට දැනුනේ දරාගන්න බැරි හිසේ ඇම්මක් …
ගල් ලෙන ඇරලා … ලෙන් දොර ඇරලා ….සිංහ බා ….සිංහ බා
සිංහබාහු නාට්‍ය ලග ඇස් නැවතිලා තිබුනත් මටත් හොරෙන් සැරින් සැරේ මගේ ඇස් දෙක ඉබාගාතේ යනවා … ඒ එක ඇස් දෙකක් හොයාගෙන .. ඒ හොයන ඇස් දෙක හම්බවුනේ නැතිවුනාම මගේ හිත අඩන්න ගත්තේ මටත් හොරෙන් ….
‘මම පොඩ්ඩක් අර පැත්තට යනවා …’ මම අමාලිට එහෙම කිවාම එයා නාට්‍ය දිහා බලාගෙනම ඔළුව දෙපැත්තට වැනුවා …
මම වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා ළමයි අස්සෙන් රිංගලා වලෙන් එපිටට ආවා …… මුළු පරිසර වහගෙන කළුවර පැතිරිලා ගිහින් තිබ්බත් සද එලිය නිසා ඒ අදුර යටවෙලා පරිසරයට ශාන්ත බවක් එකතුවෙලා තිබුනා .. මම හෙමින් හෙමින් වල ලගින් චුට්ටක් ඈතට ඇවිදගෙන ගියා … තැනින් තැන රංචු ගැහිලා හිටිය කොල්ලෝ විහිළුවක් කලත් මම ඒ කියන දේවල් ගණන් ගන්න ගියේ නැහැ … මට ඕන උනේ ටිකක් තනිවෙලා ඉන්න ..
මම ඈතින් පේන හන්තාන කන්ද දිහා බැලුවා කදු පන්තිය අතරින් එබිලා බලන හද හරිම ලස්සනට පෙනුනේ …. ඒ දිහා බලාගෙන ඉද්දි හිතේ තියෙන දුක නිකන්ම දියවෙලා යනවා වගෙයි මට දැනුනේ ..
‘කොහෙද ඇවිදින්නේ තනියම ….’ මගේ පිටිපස්සේ හිටගෙන හිටියේ මම අහන්න ආසම කරන හඩේ අයිතිකාරයා …..
‘තේමිය අයියා ..’ මම හැරිලා බලද්දී තේමිය අයියා මගේ ඉස්සරහා …මේ තරම් ලගින් එයාව දැක්කේ කොච්චර නම් කාලෙකට පස්සෙද ….
‘මම ඇහුවේ තනියම කොහෙද ඇවිදින්නේ කියලා ..’ තේමිය අයියාගේ කටහඩ වෙව්ලනවා ….. එයා මට වඩා අඩියක් විතර ඈතින් හිටිය නිසා එයා ලගින් ආව අරක්කු ගද නහය පාසරු කරගෙන මොලේ වෙනකන් පැතිරිලා යනවා වගේ මට දැනුනේ …
‘අයියා ……ඔයා ඩ්‍රින්ක් අරන්ද ඉන්නේ …’ තේමිය අයියා ලගින් ආව සැර මත්පැන් ගද ඉවසගන්න බැරිව මම නහය එහෙම ඇහුවේ එයා ඇහුව ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතිවමයි ..
‘ඔව් ..මම බිලා ඉන්නේ තමුන්ට ඒ ගැන අහන්න අයිතියක් නැහැ ..’ රතු පාට වෙලා තිබ්බ ඒ ඇස් දෙක දිහා බලන්න බය හිතෙන තරම් නපුරු කමක් තිබ්බේ …
‘ඇයි දෙයියනේ එහෙම කියන්නේ ….ඔයා මම යන්නේ කොහෙද කියලා හොයනවා නම් … මට බැරිද ඔයා බිව්වේ ඇයි කියලා අහන්න …’
‘ඒ අයිතිය තමුන් නැති කරගත්තා … මාව රවට්ටලා …මට වංචා කරලා …. . .. ‘ මගේ දිහාට ඇගිල්ලක් උරුක් කරලා එයා එහෙම කිව්වේ රළු හඩින්
‘එහෙනම් මන් ගැන හොයන්න එපා …. ඔයා ගැන හොයන්න මට අයිතියක් නැති නම් මන් ගැනත් ඔයා හොයන්න එපා ..’ මගේ මුරණ්ඩු හිත තේමිය අයියාට එකට එක කියන්න තරම් අකීකරු වුනා …
‘තමුන් නෙවෙයි ඕන බැල්ලියක් මේ වෙලාවේ මේ වගේ තැනක ඉන්නවා දැක්කොත් මම එහෙම අහනවා … ’
තේමිය අයියාට මාව බැල්ලියක් ගානට දැම්මා එහෙනම් …. මම කොච්චර ආවාසනාවන්තද ආදරේ කරන කෙනාගේ කටින්ම ඔහොම අහන්න වෙන එක තරම් අවාසනාවක් තවත් නැතිව ඇති … දුකක් එක්ක තේමිය අයියා ගැන කලකිරීමක් හිතට දැනෙද්දී හොරෙන්ම ඉනුව කදුලක් ඇස්වලින් එලියට පැන්නා …
මතු සම්බන්ධයි …