2 කොටස…

“Good morning සුදු මැණික…”

“Morning morning….”

ළගට යනකොටම චාමික එහෙම කිව්වම හෝල්ට් එකේ ඉදපු දෙතුන් දෙනෙක් හිරුනි දිහා අමුතු විදිහට බැලුවා කියලා හිරුනිට තේරුණා..”අනේ ඇත්තට මේ මෝඩයටත් කට වහගෙන ඉන්න බෑනේ…ලැජ්ජාවේ බෑ..”හිරුනිගේ මූණ රතු වෙලා දාඩියත් දාලා කියලා චාමික දැක්කා…”මන් කියපු දේට ලැජ්ජ හිතිලද කොහෙද…”

“හිරූ…”

“ම්ම්ම්ම්..”

“අද මේකප් එකක්වත් දාගෙන ආවද ඔය තරම් රතු වෙලා තියෙන්නේ…”

“අනේ මන්දා මෙයාත් මොනවා කියවනවද කියලා…”හිරුනි ඔළුව දෙපැත්‍තට වැනුවෙ නෑ කියන්න වගේ…

“ඔයාගේ කට ගෙදර තියලද ආවේ ආ…”

ඒකටත් ඔළුව වනලා නෑ කිවුවා මිසක් හිරුනි වචනයක්වත් කතා කරේ නෑ..”මේ කෙල්ල වචනයක්වත් කතා කරන්නේ නෑනේ..”

” හිරූ..ඔය තරම් අහින්සක වෙන්න එපා..මට ඔයාව ඉඹින්න හිතෙනවා…”

චාමිකගේ ඒ වචන වලට නම් තවත් ඔළුව බිමට හරවගෙන පොළවට විරිත්ත විරිත්ත ඉන්න හිරුනිට බැරි උනා..තරවටු බැල්මකුත් එක්ක ඔළුව උස්සලා චාමික දිහා බලපු හිරුනි චාමිකට රවනවා දැකලා චාමිකගේ මූණට හිනාවක් ආවා…

“ඔන්න ඔහොම ඉන්නවකෝ හලෝ..මං ආස නෑ ඔයා ගොළුවෙක් වගේ ඉන්නවට..”

“හරි මැට්ටෝ…”

මූණට හිනාවක් අරගෙන චාමිකගේ ඔළුවට අතින් ගහන ගමන් හිරුනි එහෙම කිව්වා..චාමික දන්නවා හිරුනි හිනා වෙලා සතුටින් ඉන්නේ ගෙදරින් පිට ඉන්න ටික වෙලාවෙදි විතරයි කියලා..හිරුනි එයත් එක්ක ඉන්න වෙලාවට ඒ සතුට හිරුනිට දෙන්න චාමික කැප වෙන්නේ ඒ නිසයි..”මේ අහිංසකිට දෙවියො මොන හෙතුවක් නිසා මෙහෙම දුකක් දෙනවද මන්දා..”හිරුනි ළග ඉන්නකොට මේ ප්‍රශ්නේ සියවතාවක් විතර චාමික එයාගේ හිතෙන් අහනවා..හිරුනිගේ හිනාව දකිනකොට චාමිකව පිච්චෙනවා වගේ..ඒ හිනාව යට කොයි තරම් කදුළු හැංගිලා තියනවද කියලා මතක් වෙනකොට චාමිකගේ ඇස්වලටත් කදුළු එනවා..

“මොකෝ ඔහොම බලන්නේ…”

“මුකුත් නෑ මැට්ටියේ..අන්න බස් එකක් එනවා..අපි යමු…”

දෙන්නම ගිහින් බස් එකට නැගලා හිස් තිබුන ශීට් එකක ඉදගත්තා.

—————————————-

“සංකේත්..මේ අහපන්..”

“ඇයි මොකෝ..”

“මොකෝ…මොකෝ තමයි…යකෝ…මට කියපන් මෙතන උඹටද පිස්සු මටද පිස්සූ..නැත්නම් අපි දෙන්නටමද පිස්සූ..”

“ඒ මොකද..”

“ඒ මොකද අහන්නේ..ඇයි යකෝ..හැමදාම මෙතනට ඇවිල්ලා ඇර කෙල්ල දිහා බලාගෙන උඹ අනිමිස ලෝචන පූජාව කරනවා..මං හාමතේ වේලෙනවා..ඊටත් උඹට පේන්නේ නැද්ද ඕක හරියන මගුලක් නෙමෙයි කියලා..”

“ඇයි ඒ..”

“අර කොල්ලා ඒකි යන යන තැන ඉන්නවා ඉදි කට්ටයි නූලයි වගේ..උඹ හදන්නේ තුන්වෙනි සිල් පදේ කඩන්නද අනුන්ට අයිති මල් නෙලන්න ගිහිල්ලා….”

“මේ තරිඳුවා..මට කියලා උඹගේ ඔය හොදට තියන දත් වහල්ල අතට ගන්න ආසයිද…නෑනේ..එහෙනම් කට වහගෙන පැත්තකට වෙලා ඉදපන්…මං මගෙ කෙල්ල ගැන බලාගන්නම්…”

“ඔව් ඔව් බලාගනිය් යස අගේට..”

“මොකද්ද කිව්වේ උඹ…”

“නෑ නෑ මං මුකුත් කිව්වේ නෑ…මේ අර බලපන්.උඹේ කුමාරිහාමී ගියා..දැන්වත් යමං මෙතනින් පින්සිද්ද වෙයි….”

“හරි යමං..”

“හැබැයි පුතෝ ඊළග දවසෙවත් උඹ අර කෙල්ලට උඹගේ ඔය හිතේ තියන හැගීම් දැනීම් ප්‍රකාශයට පත් කරේ නැත්නම් ආයේ අම්ම මුත්තා කිව්වත් මන් නෙමෙයි උඹත් එක්ක මේ ගමන එන්නෙ හරිද…”

“උඹ දැන් මේ බයික් එකේ යන්න එනවද..නැත්නම් ඔතනට වෙලා කියෝ කියෝ ඉදලා බස් එකේ එනවද..”

“අනේ මන්දා බන් සංකේත්..මට හිතාගන්න බෑ මගේ මොන කරුමෙකට උඹ වගේ අපත යාලුවෙක් මට සෙට් උනාද කියලා..”

සංකේත්ට බැන බැන තරිඳු ගිහින් බයික් එකේ පිටි පස්සෙන් ඉදගත්තා..සංකේත් විජේවර්ධන …මාස දෙකක් තිස්සේ මේ විදිහට හැමදාම හිරුනි එනකන් බස් හෝල්ට් එකට ටිකක් එහාට වෙලා බලාගෙන ඉන්නවා..හිරුනි නම් මේ ගැන දන්නේ නෑ…ඒත් චාමිකට සංකේත් ගැන ඉව වැටුනි හින්දා චාමික හිටියේ සංකේත් ගැන හොද අවධානයෙන්..හැමදාම හිරුනි චාමිකත් එක්ක බස් හෝල්ට් එකේ ඉන්නවා සංකේත් දැක්කත් ඒ ඉන්නේ හිරුනිගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා නම් සංකේත්ට හිතුනේ නෑ..තරිඳු මොන දේ කිව්වත් සංකේත් එයාගේ හිත වෙනස් කරගන්න කැමති උනේ නෑ..”අනිත් දවසේ නම් එයත් එක්ක කොහොමහරි කතා කරනවා..”තවත් බලාගෙන ඉදලා බැ කියල හිතුන නිසා සංකේත් තීරණයක් ගත්තා හිරුනි එක්ක කතා කරන්න…

—————————————-

“හිරූ..පොඩ්ඩක් ඉන්න මං අර කඩේට ගිහින් එන්නම්…”

“අයියෝ ඉක්මනට ගිහින් එනවකෝ..මට පරක්කු වෙනවා..”

“හරි හරි බබා..පොඩ්ඩක් ඉන්නවකෝ..”

දවසෙම ක්ලාස් තිබුන නිසා හිරුනි හිටියේ ගොඩක් මහන්සියෙන්..ඊටත් ඉක්මනට ගෙදර ගියේ නැත්නම් අද රෑට කන්නත් නැති වෙනවා කියලා හිරුනි දන්නවා..චාමික කඩේට දුවලා ගිහින් ඉක්මනට ආවා..

“ආ හිරූ..මෙ පොත ගන්න…”

“ඒ මොකටද..”

“මං දැක්කා ඔයාගේ පොලිටිකල් පොත ඉවර වෙලා තිබුනා..මේක ගන්න එතකොට මේ නෝට්ස් ටික..ඊයෙ තමයි යාලුවෙක්ගෙන් ඉල්ලගත්තේ..”

චාමික එයාට පුලුවන් විදිහට හිරුනිට ඉගෙන ගන්න උදවු කරා..අඩුපාඩු අරන් දුන්නා..චාමික කියන්නේ හිරුනිගේ හොදම යාලුවා..හිරුනිට ගොඩක් යාලුවෝ හිටියත් ඒ කිසිම කෙනෙක්ට චාමිකගේ තැන ගන්න බැරි උනා..ගෑනූ ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ළගින් ආශ්‍රය කරනකොට ගොඩක් අය හිතන්නේ එයාලා ආදරවන්තයෝ කියලා…හිරුනියි චාමිකයි ගැනත් ඒ විදිහට හිතපු අය හිටියා..ඒත් ඒ දෙන්නගේ හිතේ නම් එහෙම දෙයක් හීනෙකින්වත් තිබුනේ නෑ..එයාලාගේ තිබුනේ යාලුකමකටත් එහා ගිය සහෝදර බැදීමක්.චාමික හිරුනිට ආදරේ කරේ එක කුස උපන් සහෝදරියෙක්ට වගේ..

“හොදට මතක තියාගන්න හිරූ..ඔයාට ඔය අපායෙන් ගැලවෙන්න තියෙන්නේ මේ විභාගේ විතරයි කියලා…ඔයා පරිස්සමින් ඉන්න..බුදු සරණයි..”

හිරුනිගේ ඔළුව අතගාන ගමන් චාමික එහෙම කියනකොට හිරුනිගේ ඇස්වලට කදුළු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..හිරුනිව ගේ ළගට ඇරලවලා යන හැම දවසකම චාමිකගේ කටින් මේ වචන ටික පිට වෙන එක දැන් පුරුද්දක් වෙලා..තමන්ගෙම අම්මා තමන්ව පිට කෙනෙක් කරද්දි තමන්ගේ කියලා කිසිම කෙනෙක්ගෙන් ආදරයක් කරුණාවක් නොලැබෙද්දි චාමිකගෙන් මේ ලැබෙන ආදරය හිරුනිට මහ මෙරක් වගේ..මං ගැනත් හිතන්න එක්කෙනෙක් හරි මේ ලෝකේ ඉන්නවා නේද කියලා දැනෙනකොට හිරුනිට දැනෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්..

“මං යන්නම් චාමික..බුදු සරණයි ..”

හිරුනි කදුළු පිහිදාගෙන ඉක්මනට ගෙදරට ගියා..පොත් ටික මේසේ උඩින් තියලා ඒ ගමන්ම කුස්සියට ගියේ ඒ වැඩ ටික ඉවර කරලම වොශ් එකක් දාගන්නවා කියලා හිතාගෙන…

“ආ උඹ ආවද..මේ තේ එක ගිහින් දීපන් තාත්තට..අන්න කාමරේ හිටියා..”

“හා අම්මේ..”

කමලගේ අණට කීකරු වෙලා හිරුනි ගියේ ජයවර්ධනව හොයාගෙන..තමන්ගෙම තාත්තා නොවුනත් හිරුනි ජයවර්ධනට කතා කරේ තාත්තා කියලා..

“තාත්තේ මේ තේ එක…”

“ආ කෝ දීපන්..මට අර පත්තරේ ගෙනත් දීපන්..”

කාමරේ ඇද උඩ හාන්සි වෙලා ඉදපු ජයවර්ධනට තේ එක දීලා ආපහු යන්න හදනකොටම මේසේ උඩ තිබුන පත්තරේ ගෙනත් දෙන්න කියපු නිසා හිරුනි සාලෙට ඇවිත් පත්තරේ අරගෙන ගිහින් ජයවර්ධනට දුන්නා..

“ආ තාත්තේ…”

ඒත් එක්කම ඇදේ වාඩි වෙලා ඉදපු ජයවර්ධන තේ කෝප්පේ පොලේ ගහලා හිරුනිව අතින් ඇදගෙන ඇවිත් කාමරෙන් එළියට තල්ලු කරා..හිරුනිව තල්ලු වෙලා ගිහින් එතන තිබුන පුටුවල පැටලිලා බිම ඇදගෙන වැටුනා…

“උඹ හිතාගෙන ඉන්නේ මං හිගන්නෙක් කියලද..කටේ තියන්න බැරි විදිහට තේ එක හදලා තියෙන්නේ..උඹ හොදට මතක තියාගනින් අනුන්ගේ ළමයින්ට කන්න අදින්න දෙන්නේ අත කහනවට තියන සල්ලි නිස නෙමෙයි මගේ මනුස්සකමට..ඒ හින්දා මට ඕනි විදිහට මේ ගෙදර ඉදපන්..නැත්නම් පලයන්..”

“ඇයි මටම මෙහෙම වෙන්නේ..තේ එක හැදුවේ මම නෙමෙයිනෙ …තේ එකේ වැරැද්ද නෙමෙයි තියෙන්නේ ඒක ගෙනාපු කෙනාගේ වැරැද්ද..ඒ කියන්නේ මං..තාත්තාට කොහොමත් මාව පේන්න බෑනේ..මං වගේ කාලකණ්ණි කෙල්ලෙක්..ඔයාට පේනවද මගේ තාත්තේ..මං මේ ගෙදර වැඩකාරියෙක් ගානයි ..ඔයා හිටියා නම් මට මෙහෙම කරන එකක් නෑ..මාව හොයාගෙන එන්න ප්ලීස්..නැත්නම් මාවත් ඔයා ඉන්න තැනකට ගන්න.”

කවදාවත් දැකලා නැති තමන්ගේ තාත්තාගෙන් හැමදාම හිරුනි ඉල්ලන එකම ඉල්ලීම තමයි මේ…

මතු සම්බන්ධයි 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *