සුරඟනක් කඳුළක් සලා 20
20 කොටස
පාසල් නොයා මම සති ගණන් ගත කෙරුවෙමි …… අම්මි හෝ අප්පච්චි කිසිවිටක මට පාසල් යන්න කියා බල කලේ නැත … මල්ලි මා දෙස බලන්නේ කම්පා උන දෑසිනි ..ඔහුට දුක ඇතිවා විය හැකිය .. ඔහුගේ එකම සහෝදරිය … සැමියා මිය ගිය ගැහිනියක මෙන් කාමරයෙන් එලියට නොබැස බලා ගත් අත බලා සිටීම ගැන ඔහු කම්පා වෙනවා ඇත … දිනිති සහ මිලාන් කීපවරක් දුරකතනයෙන් කතා කලද මා ඇයට කතා කිරීම පවා ප්‍රතික්ෂේප කලෙමි
සුසුම් හෙලමින් සිනාවක් මුවේ නැතිව ජිවත් වීමට මා දැන උන්නේ නැත … අපේ නිවසේ සිටි දගකාරම කෙල්ල මමය … ඉතින් ඒ දගකාරියගේ සිනාව අද හොරු අරන් ගොස්ය ආච්චි අම්මා හෝ සියා තාත්තා මා දුටුවහොත් පුදුම වෙනු ඇත ..
‘ මේ කෙල්ලගේ නැටවිල්ල හොදටම වැඩි දුව …. බලන්නකෝ… අපේ පවුලේ කවුරුත් මෙහෙම නැහැ ..දැන්මම හදා ගන්න වෙයි ..’
මම හයියෙන් සිනා වෙමින් දග කරන අයුරු දකින ආච්චි අම්මා ඒ දිනවල අම්මිට දොස් නගයි …
‘ දැන් කාලේ කෙල්ලෝ ඔහොම තාමා පුතාලගේ අම්මේ …’
සියා තාත්තා ආච්චි අම්මාව සන්සුන් කරයි … එවන් දගකාරිය අද සිනාවක් කතාවක් නැතිව ජීවිතය හැර දමා සිටින අයුරු දුටුවහොත් ඔවුන් කම්පා වෙනු නියතය ..
නිවසේ පහනක් උව දැල්වීමට අම්මි තුලද උවමනාවක් නොවිණි ….. ඇයට දරාගනු නොහැකි ව ඇත්තේ මා ජීවිතය විදවමින් සිටීම විය හැක …. මගේ කාමරය තුල මම ලෝකයක් හදා ගත්තෙමි … උදේ දහය වන තෙක් නිදා ගන්නා මම දහයට පමණ අවදි වී .. මුහුණ කට දොවා නැවත කාමරය තුලට වැදෙන්නෙමි … අම්මි පිගානකට බත් ටිකක් බෙදාගෙන එන්නේ මා කෑම ගැනීමට හෝ කාමරයෙන් පිටතට නොයන නිසාය … ඇය කවන බත් කටක් දෙකක් අමාරුවෙන් උගුරෙන් පහලට යයි … කුස පිරේ එවිට මට කෑම එපා වේ … සිතේ සතුට නැති විට කෑමට හෝ පිරියක් නැති වී යයි … මම කෑම ගැනීම නවතා දමමි … අම්මි ඇස් වල කදුළු ගොඩක් පුරෝගෙන මා දෙස මොහොතක් බලාගෙන ඉද පිටවී යන්නේ බලා සිටීමට නොහැකිම විටය … ඉන් පසුව මා කරන්නේ නැවත පැය ගානක් නිදා ගැනීමය .. මා අවදි වන්නේ මල්ලි පාසල් ගොස් පැමිණ මට කතා කෙරු පසුය … ඔහු කතාවක් නොමැතිව හෝ පැය ගණන් මා අසලම කාලය ගත කරයි ..රාත්‍රිය උදා උන පසුව අප්පච්චි නිවසට පැමිණෙයි … ඉන් පසුව අම්මි මල්ලි අප්පච්චි තිදෙනාම කාමරයට පැමිණෙන්නේ මා සදහා වෙන්වුන කෑම එකද රැගෙනය .. රාත්‍රියේ මා ආහාර ගන්නේ අප්පච්චිගේ බල කිරීම නිසාමය … ඉන් පසු අම්මි කරන්නේ නින්ද යන තුරු මගේ හිස අත ගෑමය… ..
කවිශ් අයියා නමි න් තව දුරටත් ඇඩිමට නොහැකි තරම් මගේ කදුළු ඉවර වී තිබුනා විය හැක ….. කවිශ් යනු මගේ හුස්මය …. ඔහු නොමැතිව මේ ගෙවෙන දවස් කොතරම් අසීරුද …. ඔහු නොමැති විට මා හිස් ශරීර කුඩුවක් පමණක්ම විය
උසස් පෙලට තිබුනේ දින කීපයකි … ලොකු නැන්දා මිලා අක්කි සමගින් අපේ ගෙදරට ආවේ මිලා අක්කිට නුවර හොස්පිටල් එලට වෛද්‍ය වරියක ලෙස පළමු පත්වීම ලැබීම නිසාය …ඇය අද සිට අපේ නිවසේ නැවතී රැකියාවට යන බව අම්මි මට කිවේ හිතේ සැනසීමෙන් මෙනි … ඇය සිතන්න ඇත්තේ මිලා අක්කා නිසා මට හිත හදාගැනීමට පහසු වෙයි කියා විය යුතුය …බොහෝ දිනකට පසු නිවසේ සිනා හඩක් පැතිරුනේ එදාය …මිලා අක්කි මා කාමරෙන් එලියට ඇදගෙන ගොස් පිරිස අතර තබා මා හිනැස්සීමට කැම්පස් එකේ දී සිදු වුන රස කතා කියන්න උනේ අම්මි මා සම්බන්ධ දේවල් ඔවුන්ට පවසා ඇති නිසා විය යුතුය …
එදින රාත්‍රියේ ඇය මගේ කාමරයට පැමිණියේය …
‘ නංගා අපි එලියට යමු …පොඩ්ඩක් ..’ මට ඇය කියන දේ නොඅසා සිටිය නොහැකි විය
අපි අපේ මිදුලේ සුදු අරලියා ගස ලග ඇති සිමෙන්ති බංකුවට ගොස් වාඩි උනේ කතාවක් නැතිවමය … රෑ අහසේ ලස්සන සද පිදි ඇත්තේ පෝය ලග නිසා විය යුතුය …. අරලිය ගහ වටේට වැටිලා තිබ්බ අරලියා මල් වලට සද එලිය වැටුනාම අරලිය මල් පෙනුනේ ලස්සන සුදු පාවඩ එලලා වගේ …. මම වැටිලා තිබ්බ අරලිය මලක් අතට අරන් එක එක පෙති කඩලා බිමට දැම්මා …අක්කි ඒ දිහා බල හිටියේ දුකෙන් වගේ
‘ ලස්සන මල පෙති ටික කඩලා දැම්මා නේ … ’
අක්කි බරට සුසුමක් හෙලලා හෙමින් කිවා ඒ කතාව එයා කිවේ මන් ගැනද මල ගැනද කියලා මට තේරුම් ගන්න අමාරු උනා … මම ඉතිරි වෙලා තිබ්බ මල් නටුව පොඩි කරලා බිමට දැම්මා … අක්කිගෙ ඇස් ඇතුලේ කදුළු ගොඩක් එකතු වෙලා තියෙනවා මම සද එලියට දැක්කා ..
‘ නංගා ඔයා එක්සෑම් එක කරන්න ඕන …’ අක්කි කිවේ තිර හඩින්
‘ මට බල කරන්න එපා ප්ලීස් ….’ එයා තවත් මොනවත් කියන්න කලින් මම ගේ ඇතුලට දුවලා ගියා .. මට අමතක කරලා දාන්න ඕන දේවල් මතක් කරන එකම වචනයක්වත් කතා කරන්න මම කැමති උනේ නැහැ
………………………………………………………………………………………………………………………………..
පහුවදා උදේ මිලා අක්කි බලෙන් ම මාවත් ඇදගෙන ෂොපින් ගියේ එයා වැඩිය නුවර කඩවල් දන්නේ නැති නිසා එයාට වැඩට අදින්න ඕන කරන ඇදුම් කීපයක් මිලදී ගන්න ආවේ …. අපි සිටි සෙන්ටර් එකේ දෙවෙනි මහලේ තියෙන ඔඩෙල් එකට ගියේ එතන කොලිටි ඇදුම් තියෙන නිසා .. ටික වෙලාවක් ෂොප් එක ඇතුලේ අපි ඇදුම් තෝරා තෝරා ඉද්දි …දැක්ක දෙයින් මම ගල් ගැහුනා …
කවිශ් අයියාගේ අතේ එල්ලිලා භාවනා ඔඩෙල් එක ඇතුලට එනවා …. කවිශ් අයියාගේ කනට ලංවෙලා එයා මොන මොනාද මුමුණ මුමුණ ආවේ …. එයා කියන දේවල් වලට කවිශ් අයියා හිනා වෙනවා … ටික වෙලාවකින් එයාගේ ඉන වටේට කවිශ් අයියාගේ අත වේලිලා ගියා … කොහොම හරි දෙන්නා ගොඩක් සතුටින් කියලා නම් මට තේරුනා .. එතකොට මම විතරමද දුක් විදින්නේ කවිෂ් අයියා ඉන්නේ සතුටින්ද …. අඩන්න අමතක වෙලා තිබ්බ මගේ ඇස් වලට කොහේදෝ තිබ්බ කදුළු ගොඩක් එකතු උනා …. මම හෙමින් අත්ලෙන් කදුළු පිහදාගෙන අනිත් පැත්ත හැරුනේ .. කවිශ් අයියා මාව දකී කියලා හිතලා ….
අක්කි ඇදුම් ගොඩක් තෝරාගෙන මාත් එක්ක සල්ලි ගෙවන්න කවුන්ටර් එක ලගට ගියා…. අක්කි සල්ලි ගෙවනකන් මම පැත්තකට වෙලා බිමට රවාගෙන හිටියේ
‘සුරංගනා …’ ගොඩක් දවසකට පස්සේ ඒ කට හඩ ඇහුනාම මගේ හදවත ගැහෙන වේගයත් වැඩි උනා … මම ඇහෙන්නේ නැහැ වගේ අහක බලාගෙනම හිටියේ ….
‘ සුරංගනා ..’ මට දැනුනා එයාගේ අත මගේ උරහිස උඩ නැවතුනා වගේ .. මට හිතා ගන්න බැරි උනා මන් මොකද කරන්නේ කියලා … මට සෑම් අංකල් … ආන්ට් , අම්මි අප්පච්චි පිළිවෙලට මතක් උනා … මම වෙනසක් නොපෙන්වා එයා ඉන්න පැත්තට හැරිලා හිනා වුනා … භාවනා පේන්න හිටියේ නැහැ …අක්කි බිල් එක දාගන්න පෝලිමේ හිටියේ …
‘ අයියා ….’ මම කිසිම දෙයක් නොවුන ගානට හිනා වුනා …
‘මොකද මේ ඇදිලා ගිහිල්ලා ….’ එයා දුකෙන් වගේ මගේ ඔලුවේ ඉදලා කකුල් දෙක ලගටම බැලුවා
‘ මම මේ දවස් වල ස්ලිම් වෙන්න ඩයට් කරනවා නේ …’ එයාට ලජ්ජා හිතෙන්න ඇති මම එහෙම කීවාම ..එයාගේ කන් දෙක රතු උනා ..
‘ඔයා ඉස්කෝලේ යන්නේ නැත්තේ ඇයි නංගි ….. ’ඔහු මම කිව කතාවට මොකුත්ම කියන්නේ නැතිව මගෙන් ඇහුවා
‘ කම්මැලි මට බෑ එක්සෑම් කරන්න … ’
‘ මුරණ්ඩු වෙන්න එපා නංගි පිස්සු කරන්නේ නැතිව එක්සෑම් කරන්න ….’ මම හිනා වෙන්න හිතුනා . …
‘කවිශ් අයියා ..’ භාවනා එක පාරටම එතැනට ඇවිත් අපි දිහා බලාගෙන ඉන්නවා … මගේ පිළිකුලෙන් වගේ බලන් හිටිය හිටිය එයා කවිශ් අයියා දිහාවට හැරුනා .. එයාගේ අතේ ටි ෂර්ට් එකක් තිබුනා …
‘ අයියා මෙහ් මේක මන් ඔයාට ගත්තේ …. බලන්නකෝ හොදද කියලා … … ’
‘ අපි යනවා සුරංගනා එක්සෑම් කරන්න නංගි … ඔය විදිහට විනාශ වෙන්න එපා ’ එහෙම කිවේ එයා මගේ වෙනසක් දැකලා වගේ …ඔයා දන්නවා නම් ඔයාගේ ආදරේ මාව විනාශ කළා කියලා …. ඔයා අඩයි අයියේ මම දන්නවා ඔයා අඩයි
භාවනා ලග කියලා මතක නැහැ වගේ එයා විනාඩියක් දෙකක් එක දිගට මගේ දිහා බලන් හිටියේ අනුකම්පාවෙන් වගේ … මට මං ගැනම හිතට දුකක් ආවේ … හිත කෑ ගැහුවා .. ‘ අඩපන් සුරංගනා අඩපන් ’ කියලා ..ඒත් මගේ ඇස් වලට එක කදුළු බින්දුවක්වත් ආවේ නැහැ …
භාවනා කවිෂ් අයියාවත් එක්කරන් චේන්ජ් කරන රූම් එක පැත්තට ගියා … මම එකදු ඇහිපිල්ලමක් හෝ නොගහා ඔහු යන අයුරු බලා උන්නා…
මිලා අක්කි මගේ ලගට ඇවිත් කථා කරනවා මට ඇහුනේ නැහැ
‘ නංගා නංගා …. ’ අක්කි මගේ උරහිසෙන් අල්ලලා මාව හෙලෙව්වා ..
‘ කවුද ඒ බෝයි කවිශ් ද ..’ අක්කි දකින්න ඇති වෙච්ච දේවල් ඔක්කොම එයා මන් ගැන ලොකු දුකකින් හිටියේ …. මම යන්තම් හිනාවෙලා හිස වැනුවා .. එයා හිතන්න ඇති එයා කිව දේ හරි කියලා
මිලා අක්කි මගේ අතේ එයාගේ අත පටලවා ගත්තා
‘ යමු …’
මෙච්චර වෙලා එකම කදුළක් වත් හෙලන්නේ නැතිව හිටපු මට ගෙදර ගිහිල්ලා ඇදට වැටුනාට පස්සේ මහා හයියෙන් ඇඩුනා … අද මට මගේ ආදරේ කවිශ් අයියාවත් මගේ හොදම යාළුවා භාවනාවත් නැහැ කියලා දැනෙද්දී නම් මගේ හිත රිදුම් දෙන්න ගත්තා … මම උමතු නොවුනා පුදුමයි … . මම වියරුව පහවෙලා යනකන් කොලයක් අරන් කුරුටු ගෑවා ….
මේ දෑස ඔබ සොයයි ඔබ සොයා ඉගිල යයි
ඔය සෙනෙහෙ ඉල්ලලා වියරුවෙන් කෑ ගසයි
මා උන්න ඔය හිතේ මට ඉඩක් නැති හැඩයි
මතකයෙන් යන්න ඔබ දැන් ඔයා මගේ නෙවෙයි
අන් අතක පැටලිලා ඔබ යනෙන විට සෙමින්
මා යන්නේ කෙලෙසකද නොදුටු ලෙස රත්තරන්
ඇස් වලට කදුළු දෙන මතකයක් උන ඔයා
මගේ එකම ආදරය රත්තරන් ඔබ තමා
අන්තිමේට ඒ කොලේ මෙහෙම ලියවිලා තිබුනා .. මගේ ඇහැකින් වැටුණු ලොකු කදුළු බින්දුවක් නිසා නිසදැස බොද වෙලා ගියා …
මිලා අක්කි කාමරේට ඇවිත් මට ගොඩක් දේවල් කිවා …අන්තිමේදී එයා මට තේරුම් කරලා දුන්නා මම මේ නැති කරගන්නේ ජිවිතේ හොදම කාලය කියලා …