සුරඟනක් කඳුළක් සලා 29
29 කොටස
මම සෙමින් වසා තිබු දොර තිරය ඈත් කර කාමරයට එබුනෙමි … මිලාන් ඔහු ඉහින් කනින් දාඩිය පෙරාගෙන වෙව්ලමින් ඇදේ වැතිරගෙන සිටිනවා දුටු මා විගසින් ඔහු වෙත ගොස් නළලට අත තබා පරික්ෂා කලෙමි …. නළල ගිනි කබලක් වගේ රත්වී ඇත .. මම ඔහුගේ උරහිස මත අත තබා සොලවා ඔහු කිද්දුවෙමි .. අමාරුවෙන් දෑස් විවර කල ඔහු මා දෙස බලා නැවත දෑස් පියා ගත්තේය … මම පැරසිටමෝල් පෙති දෙකක් රැගෙන විත් ආපසු ඔහු ඇහැරවලා පෙති දෙක අතට දුන්නා … මිලාන් අමාරුවෙන් උනත් ඒ පෙති දෙක බීවා … ඊට පස්සේ එයා ආයෙමත් ඇදට වැටිලා දෑස් වසා ගත්තා …
මේ ගෙවෙන්නේ රෑ මැදියමයි … නිවසේ සියලු දෙනා සුව නින්දේය …. මිලා අක්කි ඇහැරවන්න සිතුනද … ඇයට කරදර කිරීම කල යුතු නොවේ සිතුනි … මම ඔඩිකොලෝන් බෝතලය ගෙන විත් ඔහුගේ නළලට ඔඩිකොලෝන් ප්ලාස්ටරයක් දැමුවෙමි … කෙදිරි ගාමින් අමාරුවෙන් මෙන් සිටි මිලාන් දැන් තද නින්දේය … ඔඩිකොලෝන් ප්ලාස්ටර් නිසා ඔහුගේ හිසේ අමාරුව අඩුවී යන්නට ඇත … මොහොතක් හෝ ඔහු දමා ගියොත් නැවත ඔහු ඇහැරෙයි කියා මට බිය සිතුනී ….ඒ නිසා මා ඔහු අසලම රැය පහන් කරන්නට සිතුවෙමි … ඔහු මේ ලෙඩ උනේ මා නිසාය … ඉතින් මා ඔහුට කළගුණ සැලකීම කල යුතුය … ඔහුගේ නලලේ ඔඩිකොලෝන් ප්ලාස්ටර් දමමින් සිටි මා හට නින්ද ගියේ කොයි වේලාවකද යැයි නොදනිමි … මට ඔහුගේ හිස අද්දරම පුටුව මත නින්ද ගොස්ය … මම දෑස් විකසිත කර ඔහු දෙස බැලුවෙමි … ඔහු මා දෙස නෙතු නොපියා බලා උන්නේය … මට ලැජ්ජා සිතුනේ ඔහු කොතරම් වෙලාවක් මෙලෙස මා දෙස බලා සිටියා දැයි සිහිවූ විටය .. මගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වෙන්න ඇති …. වෙලාව උදෑසන පහ පමණ වෙන්නට ඇත .. මම නිදිබර හිනාවක් ඔහු වෙත පෑවෙමි … පෙර දින අමනාපකම් අමතක කර ඔහු මා හට පෙරලා සිනාවකින් සංග්‍රහා කළේය ..
‘මිලාන් දැන්ද ඇහැරුනේ … ’ මම ඇසුවේ අවුල් උන කෙස් එකතු කර වරලස ගැට ගසමිනි
‘නැහැ ගොඩක් වෙලා …’ එයා හිනා උනේ පොඩි එකෙක් දගකාර කමක් කරලා අහුවුන විදිහට
‘ එහෙනම් මට කතා කරන්න තිබ්බා නේ … ’ මම නෝක්කාඩු කීවෙමි
‘කතා කරා නම් මට ලස්සන සුරංගනාවියක් දිහා බලාගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ නේ .. එක දිගට පැය ගානක් …’ ඔහු හිනා උනේ මනමාල විදිහට…මම තව පාරක් ලැජ්ජාව නිසා රතු වෙලා ගියා …වෙලාවකට මිලාන් කියන කතා දරාගන්න බැරි තරම් හිතට දැනෙනවා …
‘පිස්සා පිස්සු කියවන්න එපා … දැන් කොහොමද උණ අඩුද … කෝ බලන්න …’ මම එයාගේ නළලට අත තියලා උණ බලන ගමන් එයා දිහා බැලුවා .. නළල ඊයේ තිබුනා වගේ නෙවේ උෂ්ණත්වය සාමාන්‍ය තත්වයට පත්වෙලා උණ අඩු වෙලා වගේ… ඒ උනාට එයාට සෙම නම් වැඩි වෙලා වගේ … හයියෙන් හුස්මගන්නවා ..නහයත් බර වෙලා වගේ .. මට පව් කියලා හිතුනා එයා හිටිය හැටි දැක්කාම
‘ උණ ගතිය නම් අඩුයි … දැන් ඉන්න බෑ මේ හෙම්බිරිස්සාවයි ඔලුවේ කැක්කුමයි තමා තියෙන්නේ ..’ අහිංසක විදිහට එහෙම කියපු එයා මගේ දිහා බලන් හිටියා
‘ සුරංගනා දන්නවද …ම්ම්ම් …ඔයා ලග ඉන්නවා නම් මට ලෙඩක් හැදුනත් දැනෙන්නේ නැහැ .. ’ එයා කිවේ මගේ ඇස් දෙක දිහාවම බලාගෙන
‘ මම ඔයාට බොන්න මොනවා හරි හදාගෙන එන්නම් … ’ මට උවමනා උනේ පුළුවන් ඉක්මනින් මිලාන්ව මග ඇරලා එතනින් පැනගන්න …
‘ යන්න එපා තව ටිකක් මෙතෙන්ට වෙලා ඉන්න …’ එයා මාව නවත්තන්න දගලනවා .. මම ඇහෙන්නේ නැහැ වගේ එතනින් පිටවෙලා ගියා … මට බය හිතුනේ ආයෙම එයා මන් ගැන බලාපොරොත්තු තියාගයි කියලා අනියන බියක් …
මම කුස්සියට ගිහින් කොත්තමල්ලි ඉගුරු මුට්ටියකට දාලා තැම්බෙන්න තිබ්බා ..කවදාවත් මේ දේවල් කරලා තිබ්බේ නැහැ මම ඒත් අම්මි අපිට සෙම අමාරුව හැදුනාම මෙහෙම කරනවා මම දැකලා තියෙනවා ඒ නිසා මම එයා කරන විදිහටම ඒ දේවල් කළා …. අම්මි එක පාරටම කුස්සිය ඇතුලට ආවා … එයා උදේ පාන්දරම මම කුස්සියේ ඉන්නවා දැකලා පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා ….
‘සුදු දු කවදාවත් නැතිව කුස්සියේ මොකද … ලිපත් පත්තු කරගෙන …’
‘ බලන්නකෝ අම්මි මිලාන්ට උණ අරන් ඊයේ තෙමිලා .. හෙම්බිරිස්සවත් එක්ක හොදටම මම කොත්තමල්ලි ඉගුරු ටිකක් තැම්බුවා දෙන්න කියලා … ’ අම්මිට හිනා මගේ වැඩ දැකලා එයා මම කොත්තමල්ලි එක හදන දිහා බලාගෙන හිටියා … මම වීදුරුවට කොත්තමල්ලි දැම්මා
‘ අම්මි මම මේක දීලා එන්නම් …’
‘ අනේ දරුවෝ ඔය ලමයා ඕක ඔහොම බොන්නේ කොහොමද හකුරු කෑල්ලක් වත් නැතිව … හකුරු කෑල්ලක් අරන්ම යන්න …’ මම හකුරු කෑල්ලකුත් අරන් එයා හිටිය කාමරේ දිහාවට ඇවිදගෙන ගියා .. මිලාන් ඇදේ හාන්සිවෙලා බලාගෙන ඉන්නවා .. මම එයා ලගට ඇවිත් අතේ තිබ්බ කොත්තමල්ලි වීදුරුව එයා දිහාවට දිගු කෙරුවා එයා මම දිහා බලාගෙනම ඒක අරන් බොන්න පටන් ගත්තා … උගුරක් බොද්දි එයාගේ මුහුණ ඇබුල් උනා ..මට ඒ මුහුණ දැක්කාම හොදටම හිනා
‘ මොනාද මේ ..’ එතකොට තමා එයා බොන්නේ මොනාද කියලා ඇහුවේ … මට හකුරු කෑල්ල දුන්නේ නැහැ කියලා මතක් උනෙත් එතකොට ..
‘ කොත්තමල්ලි ..’ මම හිනා ගියේ එයා මුහුණ ඇබුල් කරගෙන ඉන්න විදිහට …
‘ මට බොන්න බෑ මේක හරිම තිත්තයි …. ’ මිලාන් පොඩි දරුවෙක් වගේ නහයෙන් අඩනවා …
‘ බෑ කියලා බෑ මෙන්න මේ හකුරු කෑල්ල කාලා කොත්තමල්ලි එක බොන්න …’ මම හකුරු කෑල්ල එයාට දීලා එයාට ඇස් වලින් කොත්තමල්ලි විදුරුව පෙන්නලා බොන්න කියලා කිවා … එයා අමාරුවෙන් උනත් හකුරු කෑල්ල කාලා කොත්තමල්ලි විදුරුවම බීවා ….
‘අනේ ඇත්තමයි සුරංගනා මම කියන්නේ ඔයත් අපේ අම්මා වගේමයි .. …කොහොම හරි කොත්තමල්ලිත් පෙව්වා මට ‘’ එයා ගේ මුහුණේ සුන්දර අකමැත්තක් තිබුනේ ….
‘ දැන් ඉතින පොඩ්ඩක් වෙලා නිදාගෙන ඉදලා ඇහැරෙන්න එතකොට ඔලුවේ කැක්කුම අඩු වෙයි වෙයි ..’ මිලාන් මම කියන හැම දෙයක්ම හරි කැමැත්තෙන් කලේ .. මම එයාට නිදා ගන්න කියලා කාමරෙන් එලියට ඇවිදගෙන ගියා …
‘සුරංගනා …’ එයා මම දොර ලගට යනකන් ඉදලා ආයෙම කතා කරා … මම හැරිලා බැලුවා
‘ඇයි මිලාන් මොනා හරි ඕනද ….’
‘ මොකුත්ම එපා සුරංගනා මට කියන්න ඕන උනේ සුරංගනා ඔයා කොයි තරම් හොදද …. මට ඔයා නැති කරගන්න බෑ සුරංගනා .. මගේ අම්මාට පස්සේ මේ තරම් ආදරෙන් මට සැලකුවේ ඔයා තමයි .. මට ඒ ආදරේ නැති කරගන්න ලෝභයි සුරංගනා …’ එයාගේ කතාව හරිම හැගීම්බරයි … එයාගේ ඇස් ඇතුලේ එලියට පනින්න වගේ කදුලක් දගලනවා
‘ අනේ මිලාන් මට ඔයාව හොදම යාලුවෙක් …. මට ඒ යාලුවා විතරක් ඇති මිලාන් ..මට මගේ යාලුවා නැති කරන්න එපා ආදරේ ඉල්ලලා .. මම වදින්නම් …’ මම අත්දෙකම එකතු කරලා ඔහුට වැන්දා .. ඉන් පසුව වදනක් හෝ නොකී මා එතනින් දිව ගියෙමි …. පපුවට මත මහා බරකි … ඇගට දැනෙන්නේ පුදුමාකාර තෙහෙට්ටුවකි .. මම යහනේ වැතුරුනෙමි …. කදුළු වැල් දෙකක් ගලා ගියේය … නිදි මැරීම නිසා මට එහෙම්ම නින්ද යන්න ඇත …
මම අවදි වන විට දොළහ පමණ වෙන්න ඇත … නිවස මහා නිහඩතාවයක වේලි ඇත .. මට මිලානව සිහිවී මම ඔහුව බැලීමට කාමරය දෙසට ගියේ සියලු දේවල් අමතක කර දමාය… ඔහු වැතිරී සිටි යහන හිස්ය … බලාපොරොත්තු නොවූ දෙයක් දුටු විටකදී මෙන් හිත මහා කනස්සලකින් පාලුවකින් පිරි ගියේය … මම කුස්සිය දෙසට ගියෙමි …අම්මි දිවා ආහාරය පිළියෙළ කරන්නීය ….
‘ අම්මි …’
‘ දු ඇහැරුනේ දැන්ද …. ’
‘ ඔව් අම්මි … කෝ අම්මි මිලාන් .. ’
‘ ගෙදර යන්න ඕන කියලා ගියේ ඔය … මම මල්ලි එක්ක යන්න කිවා …. තනියම යවන්නවත් බෑ නේ …’
මිලාන් මට නොකියාම ගියේ මා සමග අමනාපයෙන් හිතාමතාම මා රිදවීමට විය යුතුය ….. හිතට දුකක් දැනුනේ ඔහු මට නොකියා ගිය නිසාද වෙනත් හේතුවක් නිසාද කියා නොහැගුනේය …
හෙට තවත් කොටසක්