සුරඟනක් කඳුළක් සලා 36
36 කොටස
*******************
අද සුරංගනා ගේ කතාව ඔයාට කියන්නේ කවිශ්
*******************
ජිවිතයේ සුන්දරම දවස ගොඩක්ම ආදරය කරන පෙම්බරියගේ අත අල්ලාගෙන පෝරුවට නගින ඒ සුන්දර දවස ..ඔයාගේ අතින් අල්ලාගෙන යන්න හිටිය ජිවිතේ ලස්සනම ගමන අද වෙන කෙනෙක්ගේ අතින් අල්ලාගෙන යන්න වෙනවා කියලා දැනෙද්දී නම් මට හිතුනේ නම් ජිවිතේ අවසාන ගමන වගේ හැගීමක් …. සුරංගනා මගේ රත්තරන් මට ජාති ජාතිත් සමාවෙන්න … මම හිතින් ආයෙත් එයාගෙන් සමාව ඉල්ලුවා …
ගෙදර කට්ටියම උදේ පාන්දර ඉදලම මංගල ගමනට යන්න ලහි ලහියේම ලැහැස්තිවෙනවා ….. උදේ පාන්දර හතරට විතර ඇහැරුනාට මට නැගිටින්න කියලාවත් හිතුනේ නැහැ … ඒ තරම් මානසික අවුලකින් මම හිටියේ …
‘ නැගිටපන් මනමාලයා හයට පිටත්වෙන නැකත තියෙන්නේ කියලා දන්නවානේ …’ නෙහාන් ඇවිත් මාව නැගිට්ටවන්න ට්‍රයි කරනවා .. මට නැගිටගන්න ෆිට් එකක් නැතත් අමාරුවෙන් නැගිට්ටා ..
‘ දන්නවා මචං … ’
‘ එහෙනම් මහත්තයා ගිහින් වොෂ් එකක් දාගෙන වරෙන් … … ’ නෙහාන් මාව බාත්රුම් එකට තල්ලුකරලා දාලා වැහුවා … මම කන්නාඩියෙන් මගේ දිහාව බැලුවා …. මගේ මුහුණේ තිබ්බේ ලෙඩ පාටක් .. තමන්ගේ වෙඩින් එක දවසට කොල්ලෙක්ගේ හිතට දැනෙන සතුට මගේ හිතේ කොනකවත් තිබ්බේ නැහැ .. නෙහාන් දොර කැඩෙන්න තරම් හයියෙන් දොරට ගහනකොට තමා මට මතක් උනේ මම පැයක් විතර ෂවර් එක යටට වෙලා හිටියා කියලා …..මම බාත් රූම් එකේ දොර ඇරගෙන එද්දී නෙහාන් හිනා වෙනවා ….
‘ මොකද යකෝ වෙලා තියෙන්නේ මේ ..’ මම ටවල් එකවත් අදින්නේ නැතිව එලියට ඇවිත් … නෙහාන් ඒක පෙන්නන කන් මම දැක්කේ නැහැ ඒක .. මං ආපහු බාත්රුම් එකට ගිහින් ටවල් එක ඇදගෙන ආවා …
‘ මනමාලයාට ඉවසිල්ලක් නැහැ නේ මනමාලි දකිනකන් …’ මම මොකුත්ම කියන්නේ නැතිව හිනා උනා … මගේ හිතේ තියෙන දේවල් නෙහාන්ට කියලා ඌ අවුල් කරන්න මට හිතුනේ නැහැ
‘ මේ කවිශයා උබ අවුලකද ඉන්නේ ..’ මම කරන විකාර වැඩ දැකලා නෙහාන් මගෙන් අහනවා …. ..
‘ අවුලක් නැහැ මචන් මම ඇදගෙන එන්නම් උබ එළියේ වැඩ බලපං ..’ මම කිවේ නෙහාන් බලාගෙන ඉද්දි මට දැනුන අපහසුව මදක් හෝ නැතිවෙයි කියලා හිතලා
‘ ආ එහෙනම් ඉක්මට ඇදගෙන එලියට වරෙන් … ’ නෙහාන් එලියට ගියපු ගමන් මම දොර අගුල් දාලා වහලා දැම්මා
අම්මා තාත්තා වගේම භාවනාත් කැමති උනේ මම උඩරට විදිහට අදිනවට ඒ උනත් මම යුරෝපියන් විදිහ තමා ඇදුම් තෝරාගත්තේ … වෙඩින් එකට අමාරුවෙන් හරි කැමති උන නිසා එයාලා අනිත් දේවල් මට ඕන කරන විදිහට කරන්න ඉඩ දීලයි තිබ්බේ .. මොන දේ උනත් මගේ හිතට කිසිම ෆිට් එකක් තිබ්බේ නැහැ .. මගේ හිතට පොඩි හරි නිදහසක් ලැබුන ගමන් මගේ හිත සුරංගනාව සොයාගෙන ඉගිල්ලිලා යනවා … මට ඕනෑ උනේ සිහිය විකල් වෙනකන් බිලා ඒ මතකය අමතක කරලා දාන්න ..
ඊයේ රෑ සිහිය නැතිවෙනකන් බිලා ඉතුරු උන මත්පැන් බෝතලේ මට මතක් උනා …. මම හිතන්න කියලා මොහොතක්වත් වෙන්කෙරුවේ නැහැ ඇද යටට අත දාලා මත්පැන් බෝතලේ ඇදලා ගත්තා .. හරි අඩක් ඉතිරි වෙලා තිබ්බ බෝතලේ කටේ තියාගෙන මම එක හුස්මට බීගෙන බීගෙන ගියා … මත්පැන් උගුරින් උගුර පහලට ටික යද්දී … මගේ පියවි සිහියත් ටිකෙන් ටිකෙන් නැති වෙලා ගියා …
‘ කවිශයා දොර ඇරපන් යකෝ …. මනමාලිටවත් යන්නේ නැතිව ඇති ඔයිතරම් වෙලාවක් ඇදගන්න .. ’
නෙහාන් එළියේ ඉදලා කෑ ගහනවා .. මම හිටිය තැනින් නැගිටලා ගිහින් ඕනෑවට එපාවට ඇදුම් ඇදගත්තා … දොර ඇරගෙන මම එලියට යද්දී නෙහාන් … පුදුම වෙලා වගේ මගේ දිහා බලලා ආපහු මාවත් ඇදගෙන කාමරේට ගිහිල්ලා … මගේ අඩු පාඩු හැදුවා මිසක් මොකුත්ම කිවේ නැහැ ….
****************************
.
නෙහාන් තමා මගේ කාර් එක ඩ්‍රයිව් කලේ .. මම ඔහේ බලාගෙන හිටියා … මේ හැම දෙයක්ම මම කරන්න එකග උනේ මගේ අම්මා නිසා කියලා හිතලා මම හිත හදාගත්තා … මට සුරංගනා හා මා එක්වී මැවු හින එක එක බිදිලා විසිරිලා යනවා වගේ දැනුනේ ….කාර් එක බහිරවකන්ද පහුකරලා ගිහින් නතර කලේ භාවනාගේ ගේ ඉස්සරහා … එයාලාගේ ගෙදර අද ලස්සනට සරසලා .. කට්ටිය හිනා වෙලා සතුටින් අපිව පිළිගත්තේ … මත්පැන් නිසා මගේ සිහිය විකල් වෙලා වගේ තිබ්බේ …. මම ඔහේ කරන්න කියන කියන දේ කළා … වීඩියෝ පොටෝ ශුට්.. හැම එකක්ම යාන්ත්‍රිකයි වගේ …. හිතට කිසිම සතුටක් නැහැ … භාවනාගේ මුහුණේ හිනාව දොරේ යන්න වගේ …………………. අද එයා මෙහෙම සතුටු වෙන්නේ එයාගෙම යාලුවෙක් දුකින් ඉද්දි කියලා දැනෙද්දී එයාට දුකක් නැද්ද මන්දා …. මට භාවනා ගැන දැනුනේ පුදුම තරහක් …. මම අමාරුවෙන් තරහා පාලනය කරගත්තේ මිනිස්සු ගොඩක් මැද්දේ පිස්සෙක් වගේ හැසිරෙන්න බැරි නිසා …..
වෙඩින් එක තිබ්බේ මහවැලි රිච් එකේ … අපේ පවුල් දෙකේම නෑයෝ භාවනාගේ යාළුවො . හෝල් එකේ පිරිලා ….. කියන්න ගොඩක් අය හිටියත් හිතේ අකමැත්තෙන් කෙරෙන වෙඩින් එක මගේ යාලුවන්ගෙන් නෙහාන්ට විතරයි කිවේ ඒ නොකියා බැරිකමට … ඒ හැම දෙනාම මැද මම තනිවෙලා වගේ සිතුවිල්ලකින් මාව අසරණ වෙලා යනවා …පෝරු මස්තක ආසිරි ගී මැද මම එයාට මංගල මුද්ද දැම්මා … සුභ පැතුම් ගායනා ශාලාව දෙවනත් වෙන්න දාලා තිබ්බා …මට හොද සිහියෙන් හිටියා නම් මේ දේවල් වලට මුහුණ දෙන්න ශක්තියක් කොහොමවත් ලැබෙන එකක් නැහැ …… . මේක නාටකයක් වගේ මට ගෙවෙන හැම තප්පරයක හිතුනේ ….
ඕස්ට්‍රේලියාවේ ඉදලා ඇවිත් හිටිය භාවනාගේ එකම අයියා පහන් හැම දේකටම මුල් වෙලා වැඩ කරනවා මම දැක්කා … පුන්චි කාලේ ඉදලා ඕස්ට්‍රේලියාවේ ඉගෙනගෙන තිබ්බ පහන් ගේ ගතිගුණ කොහොමද කියලා වත් මම දැනගෙන හිටියේ නැහැ … මිනිහාගේ පෙනුමේ තිබ්බ තේජාන්විත බවට ඕනෑම කෙනෙක්ට දෙපාරක් බලන්ට හිතෙනවා …… මාත් එක්ක වචනයකට දෙකකට වඩා කතා කරන්න ආවේ නැති පහන්ගේ ඇස් වල මා ගැන තිබ්බේ කලකිරීමක් පිළිකුලක් වගේ හැගීමක්ද මන්දා …
කොහොම හරි හැමෝගෙම ආශිර්වාද සුභාශිංසන මැද හැම චාරිත්‍රයක්ම ඉවර උනා …….. අපිට මධුසමයට වෙන්කරලා තිබ්බ හෝටලයට යන්න පිටත් උනේ 4 ට විතර .. කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියේ මම …. මට භාවනා දිහා බලන්න කිසිම ආසාවක් තිබ්බේ නැහැ …. අද අපේ වෙඩින් එක උනාට එයා අද ලස්සනද නැද්ද කියලාවත් මම එයා දිහා බැලුවේ නැහැ … මගේ අකමැත්තෙන් මගේ අයිතිය ලියා ගත්තට කවදාවත්ම මගේ හිතේ අයිතිය එයාට අයිති වෙන්නේ නැහැ කියලා කියන්න හිතුනත් … මම නිහඩ වෙලා හිටියා .. අපි ගම්පොල ටවුන් එක පහු කරා විතරයි මගේ ෆෝන් එක රින්ග් වෙනවා … මම කාර් එක පොඩ්ඩක් නවත්තලා ෆෝන් එක ආන්ස්වර් කරා ….. එහා ඉමේ උන්නේ සුරංගනා ගේ මල්ලි ..
‘ හෙලෝ කවිශ් කියපන් මගේ අක්කි කොහෙද ඉන්නේ … ’ මල්ලිගේ හඩ ඇහුනාම මට තේරුනා ලොකු දෙයක් වෙලා කියන එක …
‘ මම දන්නෙ නැහැ මල්ලි එයාට මොකද වෙලා තියෙන්නේ … ’ මාව වෙව්ලුවේ …. ඒ වෙලාවේ තිබ්බ සිතලටද … හිතට දැනුන බයටද කියලා මට හිතා ගන්න අමාරුයි … මගේ දිහා භාවනා බයවෙලා වගේ බලාගෙන ඉන්නවා මම ඇස් කොනකින් දැක්කා …
‘ උබ මගේ අක්කිව හංගලා මගුල් කෑවාද මිනිහෝ උබට කොන්දක් තියේද කියලා පොඩ්ඩක් අතගාලා බලපන් …. ’ අනේ මගේ සුරන්ගනාට කරදරයක් උනාද මට හිතුනේ මහා පව්කාර හැගීමක්
‘ මම එයාට වරදක් කලෙ නැහැ මල්ලි ….’
‘ එහෙනම් මගේ අක්කි දවස් දෙකක් තිස්සේ කොහෙද ඉන්නේ … උබලාගේ ගෙදර ගිය අපේ අම්මි අප්පච්චි බල්ලෝ වගේ එළවලා දැම්මේ මොකද උබගේ ගෙදර එවුන් කිසිම අනුකම්පාවක් නැතිව ..’ සියල්ල මට හංගා අම්මා තාත්තා කටයුතු කර ඇත ..මට ඔවුන් ගැන කලකිරීමක් කෝපයක් ජිවිතේ පලවෙනි වතාවට ඇතිවෙනවා වගේ දැනුනා … ඔවුන් මා හට සියලු දේ හංගා ඇත …
‘ මල්ලි රිලැක්ස් වෙන්න මම මේ දැන්ම එනවා …කොහොම හරි එයාව හොයාගන්නවා … ’ එලෙස කියූ මම පිස්සෙක් මෙන් සුක්කානමේ හිස ගසා ගත්තෙමි … භාවනාගේ අත මගේ ඔලුව උඩ සියුම් ලෙස එහාමෙහා වෙනු දැනුනි … මම පිළිකුලෙන් හිස ඔසවා ඇය බැලුවෙමි …
‘අත ගනින් පරට්ටි තෝ හින්දා තමා මේ හැමදෙයක්ම ..’ මං ඇගේ අත අහකට තල්ලු කර රථය හරවා නුවර පාරට දැමුවෙමි ….. මට ඕනෑ උනේ කොහේ හරි කාර් එක හප්පා මේ පව්කාර ආත්මයෙන් මිදී යාමටය .. නොහැකිය මා නිසා දුක්විදින අසරණිය සොයා ගත යුතුය .. ඇයට කුමක හෝ සිදුවී තිබුනොත් ඒ මා ජිවත් වෙන අවසාන මොහොත එය විය යුතුයි කියා මා තීරණය කලෙමි ….
‘ අයියේ මේ කොහෙද යන්නේ …’ භාවනා බලා උන්නී බියෙන් ගැහෙමිනි …
‘ අපායට යනවා …. ’ මට ඇය රිදවීමේ වියරුවකි තිබුනේ
‘ අනේ අයියේ … හෙමින් යමු …… ’ භාවනා ගැහෙන්නේ මම වේගය වැඩිකළ නිසා වෙන්න ඕනි
‘ මගෙත් එක්ක ජීවත්වෙන්න ආසයි කිවා නේ .. මාත් එක්ක මැරෙන්න ආස නැද්ද ..’ ඒ මොහොතේ මා මේ ලොව නපුරුම පුද්ගලයා වෙන්නට ඇත … කිසිවක් නොකී භාවනා නුවර බහිරවකන්දේ ඇගේ නිවස අසළින් රිය නවතනතුරුම ඇය උන්නේ අඩමිනි …
සෑම් අන්කල් ආන්ටි සේම නිවසේ සිටි සැවොම බලා උන්නේ සිදුවෙන්නේ කිමදැයි තේරුම් ගැනීමට නොහැකිව මෙනි ….
‘ බහිනවා ….’ මම භාවනාට සැර උනේ ඇය නොබැස නොසෙල්වී උන් නිසාය … මගේ ගෝරනාඩුවෙන් බියට පත් ඇය දිව ගොස් ඇගේ මවට තුරුළු උනෙත් මම නැවත මාවතට වාහනය දැම්මෙත් එකවරය…. කෙලින්ම සුරංගනා ගේ අසල රිය නවතා මා ඒ දෙස බැලුවෙමි .. එකදු විදුලි බුබුලකුදු නොදල්වා තිබු නිවසේ තිබුනේ …. අවමංගල නිවසක සිරියකි ….
සාලයේ පුටුවක හිද උන්න සුරංගනා ගේ පියා මා දැක උන් තැනින් නැගිට මා වෙත විත් මාගේ කමිසයෙන් අල්ලා ගත්තේය ….
‘ කෝ මගේ කෙල්ල …. කියපන් ’ ඔහු මාව තදින් සෙලවුවේය
‘අංකල් මම දන්නේ නැහැ ඇත්තමයි … අන්කල් .. අපි සුරංගනා නංගි හොයා ගමු ..’
‘ කොහෙන්ද හොයන්නේ යන්න පුළුවන් හැම තැනටම ගියා … පොලිසියට ගියා අන්තිමේදී මෝචරියටත් ගියා මගේ කෙල්ල හිටියේ නැහැ …. කවිශ් මගේ කෙල්ලට මෙහෙම උනේ උබ හින්දා නේද …. ‘ සුරංගනා ගේ පියාගේ හඩ මදින් මද උස්විය .. ගෙතුළ සිටි එකවැර පිරිසක් එලියට ආවේය ….
‘ කෝ යකෝ සුරංගනා ….’ මා වෙත එකවරම කඩා පැන්නේ … මිලාන් සුරංගනා ගේ මිතුරා ය …. ඔහු පාරක් දෙකක් මගේ කොන්දට එල්ල කළේය …
‘ ඔය රණ්ඩුව නවත්තලා මගේ කෙල්ලව හොයලා දීපල්ලා …’ භාවනාගේ අම්මා පැමිණ මිලාන් ඉවතට ඇද්දේය ….
මිලාන්ගේ දෑතින් කොන්දට වැදුණු පාරවල් වලින් නැගෙන වේදනාවට වඩා ..සුරංගනාට සිදු උන දේ සිතා ගන්නට නොහැකි උන විට දැනෙන වේදනාව දරුණුය …. මද වෙලාවකින් සන්සුන් උන සියලු දෙනාම එක්වී සුරංගනා සොයාගන්න විදිහ සාකච්චා කළේය …. සියල්ලන්ගේම අදහස උනේ නැවත පොලිසියට ගොස් ඒ පිලිබදව සොයා බැලීමය …
සියුම් වේදනාවක් ශරීරය පුරා පැතිරේ .. කොතරම් ශක්තිමත් සිතක් තිබෙන මිනිසෙකුගේ උවද මෙවන් අවස්තාවක අන්තයටම වැටෙනු ඇත …. මේ සියලු දෙනාටම වඩා මම ඔයාව ඕන සුරංගනා අනේ ආයෙම එන්න ඉන්න තැනකින් මගේ නංගි … මගේ හිත කෑ ගහලා එයාව ඉල්ලනවා … මගේ මගුල් දවස අද උනත් අවමංගල දවසක් වගෙයි මට දැනුනේ … භාවනා ගැන පුංචි දුකක් වත් මගේ හිතට දැනුනේ නැහැ .. එදා සුරංගනා මා මුණ ගැසී කොහේ හරි ගිහින් මොනා හරි කරගත්තද කියලා හිතට දැනෙනකොට මම එයා ගැන හෙව්වා මදි කියන වරදකාරී හැගීම මාව පිඩාවට පත්කළා ….
හෙට තවත් කොටසක්