සුරඟනක් කඳුළක් සලා 38
38 කොටස
ඊලග උදයේ පාන්දරම මා අවදි උනේ මා උන් කාමරයේ දොරට හෙමි හෙමින් තට්ටු කරන හඩක් ඇසීමෙනි … මම නොසෙල්වී උන් තැනම උන්නෙමි .. සිතට බිය දැනෙන්නේ පෙර දා රැයේ පහන් හැසිරුණු අයුරු සිහිවෙන විටය .. මද වෙලාවක් එසේ තට්ටු කල ඔහු මගෙන් ප්‍රතිචාරයක් නොවූ කල නිහඩ විය .. තවත් සුළු වෙලාවකින් යතුරක් සෙලවෙන හටත් ඇසුණේය .. දෙවියනේ මම නොදැන උන්නාට ඔහු ලග මේ කාමරයේ අමතර යතුරක් තිබී ඇත … කාමරයේ දොර සෙමින් විවර කරගත් ඔහු අවසරයක් නොගෙනම කාමරයට පිවිස බිම වාඩිවී බියෙන් ගැහෙන මා දෙස මද වෙලාවක් බලා ඉද පහත් වී ඔහුගේ අතක් මා දෙසට දිගු කළේය … මම ඔහුගේ දෑස් දෙස බැලුවෙමි එහි පෙර දා රැයේ මත්ගතිය නොවිය … මම ඇසිපියක් හෝ නොගසා ඒ දෑස් දෙස බලා උන්නේමි … ඔහු මගේ දෑසට පරාජය වී අහක බලා ගත්තේය … මට ඔහුගේ දෑත් වාරුවක් අවශ්‍ය නොවේ මම උන් තැනින් නැගිට ගොස් කැඩපත අසල පුටුවේ වාඩි වී එයින් පෙනෙන මාගේ රුව දෙසම බැලුවෙමි .. ඒ උන්නේ සුරංගනා නම් නොවේ .. රැය පුරා ඇඩිම නිසා මගේ මුහුණ ඉදිමි ඇස් රතුවී තිබුණි .. මට දුක සිතුනේ අවිහිංසක මා ගැනමය … මම කැඩපතින් පෙනෙන මගේම රුව දෙස ඔරවා බැලුවෙමි .. පහන් ඔහු උන්නේ යහනේ වාඩි වී කැඩපතින් පෙනෙන මගේ රුව දෙස බලාගෙනය .. ඔහුට මෙතනින් පිටවී යාමට ගානක් නැති හැඩය … මට උවමනා උවේ ඔහු නොපෙනෙන මානෙක ගොස් තනිවිමටය ….
‘ ඔයා ඇයි අයියේ මෙහෙ ආවේ … ’ මගේ හැම වචනයකම ඔහු ගැන කලකිරීම තරහාව තිබුනා විය හැක
‘ ඊයේ රෑ මම ඔයාට නපුරු උනා වැඩිද මන්දා …. මට සමාවෙන්න සුරංගනා .. ’ ඔහු සමාව අයදින බැල්මක් කැඩපතින් මා දෙස හෙළුවේය
‘ අනේ අයියේ ඔයාට සමාව දෙන්නම් මාව ගෙදර ඇරලවන්න ’ මේ ගෙදර නාදුනන මිනිසුන් අතර සිට සිතින් දහස්වර මැරී මැරී උපදිනවට වඩා … මට ආදරය කරන අය අතර ඉන්නට ලැබේ නම් මම ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට දැන් නම් පසුබට නොවෙමි …
‘ තව ටික දවසක් මෙහෙ ඉන්න භාවනාගේ ප්‍රශ්නේ සෙට්ල් උන ගමන් මම ඔයාව ගෙදර ගිහින් ඇරලවන්නම් .. ’ ඔහු කියන්නේ තිර හඩිනි ..
‘ මම මේ ගෙදර තව එක දවසක් හරි හිටියා නම් මාව බයටම මැරිලා යයි … අනේ අයියේ මාව පණ පිටින් මරන්න එපා ….’ මම කෑ ගසා ඇඩුවෙමි ..
‘ මම මේ වෙලාවේ ගොඩක් අසරණයි සුරංගනා … මගේ නංගිගේ ජිවිතේ මට මේ හැමදේටම වඩා වටිනවා …. ’ ඔහු කිවේ එය ඔහුගේ අවසාන තීරණයයි
‘ ඔයා මාව අසරණ කරලා භාවනාට දෙන සතුට මොකක්ද … ’ මම ඔහුගෙන් ප්‍රශ්න කලෙමි …. තවත් වචනයක් හෝ කතා කරන්න බියෙන්දෝ ඔහු මා ඇසු පැනයට ප්‍රති උත්තරයක් නොදීම පිටව ගියේය
‘ අයියේ මට කියලා යන්න …. ’ නිහඩව පිටවෙන ඔහුගෙන් මම නැවත ඒ පැනය විමසුවෙමි .. නමුත් හෙතෙම මා දෙස නොබලා කුමක්වත් නොකියා ඔහු කාමරයෙන් පිටව යන්නට ගියේය
ජිවිතේ සත්තකව තිබු සියලුම දේවල් අහිමිව හිස්ව ගියා මෙන් හැගීමකින් ශරීරය අප්‍රාණික වී ගොස් මා උන් තැනම සිහිය නැතිවී ඇදවැටෙනවා මතකය … මා අවදි උනේ කුසුමා නැන්දාගේ උකුලේ ඇගේ උනුසුමේය …
‘ මොකද නෝනේ මේ … ’
‘ අනේ නැන්දා මට මෙහෙන් යන්න ඕනේ … පින් අයිතිවෙයි මට යන්න දෙන්න ..’ මම ඇයට ආයාචනා කලෙමි
‘ මට තේරෙනවා පුංචි නෝනේ .. ඒ උනාට අපි ගැහැණු නේ … ගොඩක් අසරණයි .. මට පුළුවන් නම් උදව් නොකර ඉන්නේ නැහැ … ඔය උන්නා වගේ දවසක් දෙකක් ඉදින්නකෝ .. මම පහන් බේබිට කතා කරන්නම් … ඔය දරුවා ලග ලොකු අය ලග නැති හොද ගතිගුණ තියෙන්නේ …’ ඇය පහන් පිළිබද කතා කරන්නේ පැහැදීමෙනි… මියගිය සිතට බලාපොරොත්තුවේ පුංචි ආලෝකයක් ආවද කවදා කෙලෙසක මේ හිර ගෙදරින් මිදෙන්න වේදෝ හිත තිබුනේ බියකි ..
‘අනේ නැන්දේ මට මේ ගෙදර හුස්ම ගන්නත් අමාරුයි … මම අර පහන් අයියාට බයයි …ඊටත් වඩා ඊටත් වඩා මම අර වත්තේ වැඩ කරන පියදාස මාමාට බයයි … ’
‘ දැන් නාඩා ඉන්න දරුවෝ .. මම ඉන්නවා නේ බය වෙන්න කාරණයක් නැහැ අපේ බේබි මහත්තයත් එලියට ගියේ ලොකු පුරස්නෙකින් වගේ …. මම දන්නවා බේබි මහත්තයා හොද තීරණයක් අරන් එයි … ’ ඇයගේ මුවින් එලෙස පිට උවද ඇගේ මුහුණෙන් පිලිබිබු උවේ ඒ එසේ නොවන බවයි ..
**********************
ඉබිගමනින් ගෙවෙන හැම දිනක්ම සිතට ගෙන ආවේ බියමුසු පසුතැවීමකි .. එදා පහන් මා සමග කතා කර ගියාට පසු නැවත මා දැකීමට හෝ පැමියේ නැත .. ඔහු ලග තිබු අමතර යතුරෙන් දොර ඇරගෙන විත් මට කරදරයක් කරයි කියා සිත ගිනිගෙන තිබුනද ඔහු නිකමට හෝ පැමිණියේ නැත… කාමරයටම වී ගෙවුණු දින කීපය ජිවිතේ මුසලම දවස් කීපය අතරට එක්වෙමින් තිබුණි … කාමරයටම වී ඉද එපාම උන මොහොතක මම කාමරයෙන් එලියට බැස්සෙමි … මම තරප්පු පෙල බැසගෙන විත් සාලය පසුකරගෙන මෙහි පැමිණියාට පසු පළමුවරට මේ නිවසෙන් පිටතට අඩියක් තැබුවෙමි …
මම මොහොතක් එකම තැන හිද අවට බැලුවෙමි … පියදාස නම් පුද්ගලයා විසින් ගෙවත්ත මනාව පවත්වාගෙන යන බව ඒ එකම බැල්මට මට වැටහුනේය …. එක කොටසක් මහා රූස්ස දේවදාර කළුවර ආදී ගස් වර්ග නිසා ගුප්ත බවක් එක්වී තිබු අතර තවත් කොටසක තිබුනේ අලංකාර ලෙස වගාකළ මල්ය මම ඒ දෙසට පියනැගුවෙමි …. මේ පරිසරයේ තිබු මුසල ගුප්ත බව ඒ මල් වගාකර ඇති කොටසේ නොවිය … මම ආශාවෙන් මල් වගාකර ඇති කොටසේ ඇවිද එහි සුන්දරත්වය විදගත්තෙමි .. නිවසින් එලියට බැසීම ගැන මගේ සිතට පළමුවරට සතුටක් ආවේ ඒ මොහොතේය .. ලස්සනම ලස්සන රතු රෝස මල් පදුරක වැසූ සමනලයෙක් මල් පොකුරේ එක මලකින් රොන් ගෙන තවත් මලකට පියාබා යන්නේ මල් සියල්ලම තමන්ගේ බව පෙන්වීමට මෙනි .. මම මල් පොකුරට ලංවී එක ලස්සන මලක් අත පත ගා මලෙහි සුන්දරත්වය විදගත්තෙමි
‘ ඒයි ඒයි කවුද ඔය මල් කඩන්නේ … කාගෙන් අහලද මල් කඩන්නේ … ’ පියදාස අත තිබු උදැල්ලත් රැගෙනම මා දෙසට එයි … ඔහුගේ මුහුණේ තිබුනේ තිරිසන් සතෙකුගේ ස්වාභාවයකි … කුසුමා නැන්දා ඔහු පිළිබද කි යම් යම් කතා සිහිවීම නිසා මගේ බිය දෙගුණ තෙගුණ විය …
‘ නෑ මාමේ මම මල් කැඩුවේ නැහැ … මම නිකන් බැලුවා විතරමයි . ’ මම සැලෙන දෙතොලින් අපහසුවෙන් වචන පිට කෙරුවෙමි
‘ ආයේ එහෙම මේවාට අත තියනවා නෙවේ … මේ ගස් මල් මගේ දරුවෝ … මේවා පිට එකාලාට අල්ලන්න අයිතියක් නැහැ ..’ ඔහුට තිබුනේද තිරිසන් සත්ව හඩකි … මිනිස් වාසයක නොයිද සතුන් හා ගස්වැල් සමග පමණක් ගනුදෙනු කල ඔහු මෙලෙස වීම පුදුමයක් නැත … ඔහුගේ එලියට පනින්න මෙන් තිබු රතුපාට ඇස්වලට යටින් හිටියේ තිරිසන් ජීවියෙකි .. ඒ ඇස් වල තිබු ඒ භයානක භාවයට මොහොතකට මගේ හදවතේ යම් තැනක් බියෙන් සලිත වී ගියේය .
‘කොහෙන් කඩා පාත්වෙච්ච කුනාටුවක්ද මන්දා . . ’ මදක් හෝ මා දෙස නොබැලු ඔහු වැහිබර අහස දෙස බලාගෙන කළුවර ගුප්ත පෙදෙසට යන්නට ගියේය .. මම වෙව්ලන දෙපාවලින් ගේ දෙසට ගියා නොව පා වුනා වෙන්නට ඇත …මෙය ඉතා භයානක තැනකි …. මේ සුන්දරත්වයට යටින් ඇති භයංකරත්වය ඉතා දැඩිව මගේ හිතට දැනුනේය …. කුසුමා නැන්දා කොහේදෝ සිට එකවරම මා ඉදිරියට පැමිණියේය… මා එළියේ සිට නිවසට පැමිණෙනු දැක ඇගේ දෑස් ලොකු වී මා දෙසටම යොමු විය ..
‘ පුංචි නෝනේ කොහෙද ගියේ මේ …’ අර කරුණාවන්ත හඩ වෙනුවට මා පිළිබද අප්‍රසාදය මුසු උන හඩකින් එයා කතා කලේ
‘ හුළං ටිකක් වදින්න කියලා මම පොඩ්ඩක් එලියට ගියා කුසුමා නැන්දා ..මට කාමරේ ඇතුලේ ඉදලා ඇති වෙලා ..’
‘ මට කියලා ගියා නම් නොව හොද .. මේ දරුවා වත්තේ පිටියේ ඇවිදින්න නොගියා නම් තමා හොද … මේක මහා භයානක තැනක් … කවුරු හරි මුනිච්චි උනා නම් මහා නස්පැත්තියක් වෙන්නේ ’ ඇය පැවසුවේ මා සමග නොහොදිනි ..
‘ මම ආයේ යද්දී කියලා යන්නම් …මට සමාවෙන්න …’ මම සමාව ඉල්ලන බැල්මක් ඇයවෙත හෙලා පියගැටපෙළ නැග කාමරයට ගියෙමි …
*****************
පෝය දිනය ආසන්න නිසාද මන්දා සද පීදිලා අහසේ ඉදලා ලස්සනට හිනාවෙනවා මම ඒ සදේ ලස්සන දිහා බලාගෙන උන්නේ වශීවෙලා වගේ … කවුළුවෙන් පේන ඒ ලස්සන විදගන්න හිතට දැනුන ආසාවෙන් මම සදළුතලේ දිහාවට ඇවිදගෙන ගියා … මම එතන තිබ්බ පුටුවක වාඩිවෙලා වටපිට බැලුවා …සදකිරණ වැටිලා මුළු සදළුතලේම ආලෝක වෙලා .. මම ඉන්න තැනට හරියටම ඉස්සරහින් පෙනුනේ ලස්සනට මල් වවලා තිබුන කොටස … සද කිරණ වැටිලා ඒ පැත්ත නිකන් පෙනුනේ දිව්‍යලෝකය වගේ … මම දැක්කා ලස්සනට පිපිලා තිබ්බ රෑ මනමාලියෝ කඩුපුල් මල් … ඒ මල්වල සුවද නහයට ගෙනාවේ සිත පිස්සු වට්ටන හැගීමක් ….. දේවතාවොත් වඩිනවා ඇති මේ ලස්සන මල් බුදු පුදට නෙලාන යන්න .. ඇස් දෙක අහකට ගන්න නොහිතෙන තරම් පුදුම ලස්සනක් ..
පහන්ගේ කාර් එක ආවේ හරියටම දහයේ කණිසම වැදිලා විනාඩි දහයකට විතර පස්සේ … ඊටත් පැය ගානක් පහුවෙලා යනකන් මම ඒ සුන්දරත්වය දිහාව බලාගෙන උන්නා . … මගේ ඇසි පිය පියවිගෙන වගේ එද්දී මල් යාය අස්සේ ඉදලා කවුරු හරි මගේ දිහාව බලාගෙන ඉන්නවා වගේ හැගීමක් දැනිලා ගැස්සිලා ඇහැරුනා … හිතේ ඇති උන බයට මුළු ඇගම දාඩියෙන් නෑවිලා ගිහින් තිබ්බේ .. වෙව්ලනවා වගේ … මම හිතුවේ මම දකින්න ඇත්තේ හීනයක් වෙන්න ඇති කියලා … ආයෙමත් අර සුන්දරත්වය දිහා බලලා විදින්න තරම් හිතට සැනසීමක් ආවේ නැති නිසා මම එතනින් නැගිට්ටා කාමරයට යන්න ඒ පැත්ත නොබලාම …. එකපාරටම නරියෙක් කොහෙද ඉදලා හු කියන්න ගත්තේ මගේ හිතේ බය දෙගුණ තෙගුණ කරන ගමන් … මම සිතේ තිබ්බ සැකය නැති කරගන්න ඕන උන නිසා කාමරයට යන්න තිබ්බ කකුල එහෙම්ම තියෙද්දීම ආපහු හැරිලා බැලුවා මල් යාය දිහා .. අනේ සත්තමයි මම ජිවිතේ දැක්ක භයානකම රූපය මම දකින්න ඇත්තේ .. ඒ යක්ෂ මුහුණ විරිත්ත ගත්ත කට … මගේ ජිවිතේ කවදාවත් මට අමතක වෙන්නේ නැති වෙයි .. ඔහු ඇදගෙන උන්නේ කලුපාට ලෝගුවක් වගේ එකක් …. මම හිතේ ඇති උන බයට හු කියාගෙන සදළුතලෙන් කාමරේටත් ..කාමරෙන් තරප්පු පෙලටත් ගිහින් නතර උනේ පහන්ගේ කාමරේ … නිදාගෙන හිටිය එයා ඇහැරෙන්න ඇත්තේ මගේ කෑ ගැහීම නිසා වෙන්න ඕනි …එයා ඉස්සරහට පැනලා වැටෙන්න ගිය මාව අල්ල ගත්තා … මම දැක්කා කුසුමා නැන්දත් ඒත් එක්කම අපි ඉන්න තැනට එනවා ..
‘ මොකද සුරංගනා උනේ .. මෙච්චර වෙලා ඇහැරලා ද හිටියේ … ’ පහන් එක දිගට ප්‍රශ්න කරන්නේ වෙලා තියෙන දේ තේරුම් ගන්න බැරිව වගේ …මම ගැහෙන දෙපා වාරු කරගෙන එතන තිබ්බ ඇදේ වාඩි උනේ මාව ඇදගෙන වැටෙයි කියලා බය හිතිලා … ඊට පස්සේ මම වචනයක් නෑර මම දැක්ක දේවල් විස්තර කරා .. කතාව ඉවරවෙද්දි පහන් කුසුමා දිහාවට හැරිලා ඇස් වලින් මොනවද කියද්දී කුසුමා නැන්දා එතනින් පිටවෙලා ගියා
‘ මට ගොඩක් බයයි පහන් අයියේ …. ’ මම කතාව ඉවරවෙලා ගොඩක් අසරණ විදිහට එයා දිහාව බැලුවා .. පහන් එතන තිබ්බ ජෝගුවෙන් වතුර වීදුරුවක් වක්කරලා මට බොන්න කියලා දුන්නා .. මම එක හුස්මට වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා …ඊට පස්සේ මම වීදුරුව පැත්තකින් තියලා පහන් අයියා දිහා බැලුවා
‘ඔයා එහෙනම් මෙතන මේ ඇදෙ නිදා ගන්න .. මම ඉස්සරහා සෝපා එකේ නිදා ගන්නම් ’ එයා එහෙම කියලා කාමරෙන් එලියට යන්න හැදුවා …
‘අනේ මට බයයි තනියම ඉන්න ..’ මට අම්මි අප්පච්චි මල්ලි කවිශ් අයියා මතක් උනා … මා මගේ ජිවිතේ වැඩියෙන්ම ආදරේ කර තිබුනේ ඔවුන්ටයි .. ඉතින් ඔවුන් හිටියා නම් මේ බිය දැනෙන එකක් නැතිවෙයි … ඉබේම ඇස් වලින් එලියට පැන්න කදුළු ගොඩක් සට සට ගාලා කම්මුල් දිගේ පහලට ගලාගෙන ගියා
‘ එහෙනම් ඔයාට නින්ද යනකන් මම මේ පුටුවේ වාඩිවෙලා ඉන්නම් …’ එයා ලග තිබ්බ හාන්සි පුටුවේ වාඩි උනා … මගේ හිතට පුංචිම සැනසීමක් හරි ලැබුනේ ඒ වෙලාවෙයි .. මේ නාදුනන මිනිසුන් අතර මදක් හෝ අදුනන පුද්ගලයා ඔහු නිසා මට ආරක්ෂාකාරී බවක් දැනුනා ..
තවත් කොටසක් හෙට