06
~~සමනල වසන්තය ~~~
06 කොටස
නුගේගොඩ ටවුමෙන් බස් එකෙන් බැහැලා පොළ පාර දිගේ ඇවිදගෙන යන ගමන් මම කල්පනා කලේ මේ කම්මැලි ක්ලාස් ගමනෙන් ෆන් එකක් ගන්නේ කොහොමද කියලා …
‘ඒයි සදූ මොකෝ බන් ලේට් උනේ … ‘ රොටරි එකට පය ගැහුවා විතරයි …කොහේදෝ ඉදලා දුවගෙන ආපු දක්ෂි මගේ අතක එල්ලුනා ..
‘අපේ ගෙදරට වදුරෝ පැනලා බන් උන් එක්ක චුට්ටක් චැට් කළා ..’ මමත් ඉතින් සදූ විදිහටම රගපෑවා …
‘අනේ ඇත්තට …ඔයා බය නැද්ද වදුරෙක් ඔයාගේ ඇගට පැන්නොත් එහෙම … ‘’ දක්ෂි ඇස් දෙක නළලේ තියාගෙන කියවන්නේ මම කියපු දේ විශ්වාස කරලා වගේ ..අනේ මුන් වගේ උන් හොදයි හරක් ගාලක එළ වැස්සියන්ට යවන්ට ….
‘මොනවට බයවෙන්නද බන් …උන් දැන් මගේ යාළුවෝ තරමට ෆිට් …’ පිටට එන්න ගියපු හිනාව කට ඇතුලෙම හිරකරගන්න ගමන් මම දක්ෂි දිහා බැලුවා … ගෑණි කතාව සිරා අරන් වගේ ..
‘මට නම් බයේ බැහැ අනේ …බුකුම් බුකුම් ගාද්දී උන් ….’
‘ ….බය වෙන්න එපා කෙසෙල් ගෙඩියක් කාරිය දීලා යාළු කරගනින් . ..ඊට පස්සේ උන් උබව බලන්න එද්දී කෙසෙල් ගෙඩි එහෙමත් අරන් එන්නේ ..’
‘සදූ උබත් වෙලාවකට හිරූ වගේ කට කැඩිච්ච කතා කියනවා නේ …’ දක්ෂි මුහුණ දික් කරගත්තේ නැතා එකපාරටම
‘ හිරූ කියන්නේ මගේ නංගි නේ දකූ …ඉතින් නංගි වගේ හොද කෙනෙක් වෙන්ට එපැයි අක්කත් ….’
‘අනේ මගේ කට ….මම කිව්වා කියලා හිතාගනින්කෝ …. ඒක නෙවේ සදූ උබ අද කියෝනවා වැඩි …මොකක්ද මේ වෙනස …’
‘වෙනසක් නැහැ බන් …මෙන්න මෙහෙ වරෙන් යන්න …’ මම දක්ෂිවත් ඇදගෙන ක්ලාස් එක පැත්තට ගියා
‘සදූ අන්න අදත් අරූ මග රැකගෙන ඉන්නවා …’ දක්ශි එහෙම කියද්දී මම බැලුවේ කවුද අපේ සදූට මේ බැරියර් දාන කොල්ලා කියලා … පොත් දෙකක් අතේ තියාගෙන කොල්ලෝ ගොඩක් මැදට වෙලා හිටිය සුදු උස කොල්ලාගේ දත් තිස් දෙකම තිබුනේ කටෙන් එළියේ ….. අද මම සදුගේ අනංගයාට විදීන්නම්කො ඊතල …..
‘සදූ ගුඩ් මෝර්නින් ..’ කොල්ලෝ ටික නිසා ක්ලාස් එක ඇතුලට යන්න විදිහක් නැති නිසා අපි දෙන්නා උන් ඉස්සරහා නැවතුනා
‘ගුඩ් මෝර්නින් ..’ මම මනමාල හිනාවකින් මුහුණ පුරවාගෙන මෑන් දිහා බැලුවා …. අනේ අම්මපා මම ගුඩ් මෝර්නින් කිව්වා විතරයි මූගේ කට කනේ නැවතුනේ ….
‘හම්මේ …. අද ඉර පෑව්වේ බස්නාහිරෙන්ද දන්නේ නැහැ නේද … චමියා .. ‘’ කොල්ලා එහෙම කියන ගමන් මගේ මුහුණට උවමනාවට වඩා ලංවුනා …
‘ඒක තමා මාත් මේ හිතුවේ අනුපයා …අද උදේ ඇදෙන් පල්ලෙහා වැටුනාද දන්නේ නැහැ මේ ගැහැනු දැරිවි ..’එතන හිටිය චමි කියන කොල්ලා බිනරට උල් පන්දම් දෙනවා …තවත් මෙතැන ටයිම් පාස් කරොත් මගේ බ්රේක් නැති දිවෙන් මොන මොනවා කියවෙයිද දන්නේ නැහැ … ඒ නිසා මෙතැනින් යන එක තමා ඇගට ගුණ …
‘මේ මට මෙතැනින් යන්න පුළුවන්ද….’ දක්ෂිගේ මුහුණ නිකන් මළ මිනියක් වෙලා බයටමද කොහේද
‘පුළුවන් ……………… පුළුවන් …යන්න පුළුවන් …’ අනුප එහාට වෙලා අපිට යන්න ඉඩ හදලා දෙද්දී …. මම දක්ෂිගේ අතකින් අල්ලාගත්තේ කෙල්ල මෙලෝ සිහියකින් හිටියේ නැති නිසා ….
‘ඇත්තටම සදූ උබට පිස්සුද …. ‘ ක්ලාස් එක ඇතුලට ගියපු ගමන් දක්ෂි මගේ මුහුණ දිහා බැලුවේ ඇස් දෙක ලොකු කරගෙන
‘තාම නං නැහැ ..ඉස්සරහට හැදෙයිද දන්නේ නැහැ … ඒක නෙවේ මට කියපන් …මොකද උබ බයවෙලා ඉන්නේ මේ තරම් කියලා ..’
‘සදූ උබ බබා වගේ කතා කරන්නේ නැද්ද අනුප කියන්නේ කව්ද කියලා …’
‘අනුප කියන්නේ අනුපට නේ ..’
‘ ඔව් අනුප කියන්නේ අනුපට තමා …ඒ උනාට …අනුපගේ තාත්තා කියන්නේ මැරයෙක් ….. ඒ මනුස්සයාගේ නම ඇහුවත් මේ පැත්තේ මිනිස්සු වෙව්ලනවා …. ඇත්තටම උබට මොන භූතයෙක් වැහිලාද ඔය විදිහට කතා කලේ ඌත් එක්ක … මාස හයක් ඌ උබ පස්සේ එනවා …උබ ඌත් එක්ක හිනාවත් උනේ නැහැ … ඒත් එකපාරටම උබ ඌට හිනාවෙනවා ..කතා කරනවා …. ඌ හිතයි ඌට කැමති කියලා .. ‘ දක්ෂි හුස්මක් කටක් නැතිව කියවනවා …අපොයි මම කරගත්ත විනාශයක්
‘අන්න සර් ආවා කට වහගෙන ඉස්සරහා බලපන් …’ .මම වගේ වගක් නැතිව පොතක් පෙරලා ගත්තේ දක්ෂි තවත් කියවයි කියලා .. මෙයා හරියට කතා කරන්නේ මම බිනර එක්ක ලව් කරන්න ගියා වගේ නේ ….
සදූගේ වැඩ ගොඩක් නිට් පොත දිහා බලන්න ආසාවේ බැහැ …. ඒ තරම් පිළිවෙලට වැඩකරන සහෝදරියක් හිටියාට මම ඊට හාත්පසින්ම වෙනස් …. අම්මා කියන විදිහට මට කවදාවත්ම පිළිවෙලට වැඩක් කරන්න බැරි වෙයි ….
සිංහල සර් පංතියට ඇවිත් පාඩම උගන්වද්දී මම ඇස් දෙක වටේට කැරකුවා ….සදුට පාඩම කියලා දෙන්න ඕන කියන එක මම අමතක කරලා හිටියේ … හුටා මෙන්න එහා පැත්තේ ඩෙස්ක් එකේ හිටිය කොල්ලා මගේ දිහා බලනවා හෝ ගාලා … වෙන කවුරුත් නෙවෙයි ඒ අනුප …. දක්ෂි සර් උගන්වන දිහා කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා … පාඩම අහගෙන ඉන්නත් කම්මැලි එකේ මම කලේ ඌ දිහා බලලා යාන්තමට හිනාවෙන එක ….. අනුපත් ඉතින් මොකක්ද එකට වැටුණු ඇබලයා වගේ මගේ දිහා බලාගෙන පැණිය දානවා …. දක්ෂි දැක්කොත් අනාථ වෙන නිසා මම ටක් ගාලා අනුපට ගස්සලා අහක බලාගත්තා … මෙන්න එක පාරටම රොකට් එකක් ඇවිත් මගේ කකුල් දෙක ලග වැටුනා …. මාත් ඉතින් දෙපාරක් හිතන්න ගියේ නැහැ පල්ලෙහාට නැවිලා කොලේ අහුලා ගත්තා …
‘ඔයා අද හදක් වගේ ….. සදූ …අපි එක සැරයක් හම්බවෙමු … අනුප ..’
දිග ඇරපු කොලේ ලියලා තිබ්බ දේ දැක්කාම මාව උඩ ගියා …මම නිකන් හිනාවුනාම මූ මොකටද මෙච්චර දිග දුර ගියේ …. වසලා හමාරයි සදු මාව අල්ලාගෙන කාලා දායි මෙව්වා දැනගත්තොත් … ඊට පස්සේ ක්ලාස් එක ඉවරවෙනකන්ම මම එහා පැත්ත නොබලා ඉන්න පරිස්සම් උනා … ඉන්ටර්වල් එකේදී මෙතැනින් පැනගන්න ඕන කියලා මම හිතාගත්තා …මොකද තවත් මෙතන හිටියොත් පොර මගෙන් කන් පිරෙන්නම හොදට දෙකක් අහගන්නවා …
‘සදු ….’ ඉනටර්වල් එක දුන්නා විතරයි අනුප ඇවිත් මගේ ඉස්සරහා හිටගත්තා .. මම පොරව ගණන් ගන්නේ නැතිව පොත් ටික බෑග් එක ඇතුළට දාගත්තා …
‘සදු මට ඔයාව හම්බවෙන්න ඕන ….’ අනුප එහෙම කියද්දී මම පොරගේ මුහුණ දිහා බැලුවා … ඒ මුහුණේ තිබ්බේ බැගෑපත් බැල්මක් …..ඒ උනත් බුරුලක් පෙන්නන්න හොද නැහැ … ඊට පස්සේ මු සදුට වදදෙන්න පටන්ගයි ….
‘මාව හම්බවෙන්න ……’ මම කට ඇදකරන ගමන් අනුප දිහා බලන ගමන් බෑග් එක කරේ දාගත්තා
‘ඔව් මට ඔයාව හම්බවෙන්න ඕන …’ පොර සිරාවටම සදුට ආදරේ කරනවා වගේ …. ඒ තරම් පොරගේ මුහුන හැගීම්බර අරබර මේබර වෙලා … පව් කියලත් හිතෙනවා වේලාවකට
‘ මාව …..ඔයාට …. ඒක නම් වෙන්න බැරි දෙයක් ….’ මම මුහුණ සීරියස් කරගත්තා ..
‘ඇයි බැරි …’
‘මොකද අපේ අම්මාට මාව හම්බවෙලා ගොඩක් කල් … ලබන ආත්මේ බලමු හොදේ …’ මම එහෙම කියාගෙනම පොත් බෑග් එක කරේ දාගත්තා …. මට එහා පැත්ත ඉදලා දක්ෂි බයටම ගැහෙනවා ..
‘සදු … ඔයා කවද්ද මේ විදිහේ ජෝකර් කෙනෙක් උනේ …’ අනුපගේ මුහුණ නිකන් වාහනේකට අහුවෙච්ච කෙසෙල් පොත්තක් වගේ වෙලා …. දන්නවා නම් මම සදු නෙවෙයි කියලා මු මොනවා කරයිද මන්දා …
‘අද උදේ ඔයාව දැක්කාට පස්සේ …’ මම එහෙම කියන ගමන් ක්ලාස් එකෙන් එළියට බැස්සා ….
‘සදු …සදු …උබ කොහෙද මේ යන්නේ …’ දක්ෂි පස්සෙන් දුවගෙන ඇවිත් මගේ ඉස්සරහා නැවතුනේ හති දාගෙනමයි …
‘මම ගෙදර යනවා …. ‘’
‘එතකොට ක්ලාස් එක ..’
‘අදට ඉගෙන ගත්තා ඇති … මම යනවා චෙරියෝ ….’ දක්ෂිට අතත් වනාගෙන මම පාරට පනිද්දී කෙල්ල කටත් අරගෙන බලාගෙන ඉන්නවා ….
‘නංගි ඔයාගේ වොච් එක වැටුනා …..’ මම මෙලෝ සිහියක් නැතිව ඇවිදගෙන ගිහින් නතර උනේ කවුරු හරි එහෙම කියද්දී … හප්පට මගේ පිටිපස්සේ හිටගෙන වොච් එකත් දික් කරගෙන හිටියේ දිනිත …මාව දැක්කා විතරයි මෑන්ගේ මුහුණ අටපට්ටම වගේ උනා ..
‘තෑන්ක්ස් අයියා …’මම එහෙම කියන ගමන් එයාගේ අතේ තිබ්බ වොච් එක ගත්තා … එදා වගේම ඒ මුහුණේ හිනාවක් නැහැ ….මෙයා නිකන් ඉන්නේ දරුවෝ දහයකට පහළොවකට කන්න දෙන්න තියෙන ශේප් එකෙන් නේ …
‘ඕකේ …’ තවත් එක වචනයක් කියපු දිනිත ආපහු යන්න හැරුනා ….
‘අයියා ඔයා එදා අපේ ස්කුල් එකට ආවා නේද …’ මම එයා දිහා බලාගෙන එහෙම ඇහුවේ ආඩම්බරේ පැත්තක තියන ගමන් …
‘ඔව් ….ආර්ට් ඩේ එකට ආවා …’ දිනිත එහෙම කිව්වේ එයාගේ වම් පැත්තෙන් එයාට සමාන්තරව ඉස්සරහට ඇවිදගෙන යන මගේ දිහා හොරාට වගේ බලන ගමන් …. ඒ කියන්නේ මෙයාට මගේ මුහුණ මතකයි ….
‘අයියා ඔයා ලස්සනට සිංදු කියනවා …එදා කිව්ව සිංදුව ගොඩක් ලස්සනයි …’
‘බොහොම ස්තුතියි ….’ එයා ටිකාක් විතර අමුතු චරිතයක් වගේ ..මෙච්චර ලස්සන කෙල්ලක් එයා ලගින් යද්දී ආඩම්බරේට යන හැටි විතරක් …
‘අයියා මගේ නම හිරුෂි …’ මොන හේතුවකටද මන්දා මම ඕනෑවට වඩා එයත් එක්ක කතා කරන්න උනන්දු වෙනවා ……
‘මම දන්නවා …’ ඒ කියන්නේ මෙයා මං ගැන දන්නවා … මෙයා මං ගැන හොයලාවත්ද
‘ඒ කොහොමද ….’
‘අනුලා එකේ පිස්සු කේස් එක හිරුෂි කියලා අපේ කොලේජ් එකේ කොල්ලෝ කතා කරනවා මට ඇහිලා තියෙනවා ..’ දිනිත එහෙම කියලා නෝන්ඩියට වගේ හිනාවෙද්දි මට හිටිය තැනම වළක් කපාගෙන් වැලලෙන්න හිතුනා ……
‘ඒ මම වෙන්න බෑ ඔයා කියන්නේ වෙන හිරුෂි කෙනෙක් ගැන වෙන්න ඕන ..’ ලැජ්ජාව වහගන්න ඕන නිසා මම එහෙම කිව්වා ….
‘දිනිත නැගපන් කොල්ලෝ ….’ එයා උත්තරයක් දෙන්න කට හදද්දිම අපි ඉස්සරහා බයික් එකක් නතර උනා
‘යමු එහෙනම් ….’ මම එතැන ඉද්දී දිනිත තවත් සැරයක්වත් මගේ දිහා බලන්නේ නැතිව ඉගිල්ලා ගියා ..
******
මම ගෙදර යද්දී සදූ සාලේ හාන්සි පුටුවක වාඩිවෙලා කාටුන් එකක් බලනවා ….
‘හිරූ ක්ලාස් එක අද කලින් ඉවරවුනාද අද …’
මාව දැක්ක ගමන් සදූ එහෙම ඇහුවේ බිත්ති ඔරලෝසුව දිහා බලන ගමන්මයි ….
‘ක්ලාස් එක ඉවර උනේ නම් නැහැ … මම ක්ලාස් එක ඉවර කරලා ආවා ….’ මම එහෙම කියන ගමන් සදූ දිහාවට හොර බැල්මක් දැම්මා …. හොද වේලාවට මේයාට කියපු දේ තේරෙන්න නැතිව ඇති ….නැත්තම් මෙතන දෙක වෙන්න අඩනවා …
‘ඒ කිව්වේ …’
‘ඒ කිව්වේ ඒක තමා …මට මහන්සි … ම්ම් යනවා කාමරේට …. ‘ පොත් බෑග් එකා ගලවලා සදුගේ ඔඩොක්කුවට දාන ගමන් මම කාමරේ දිහාවට අඩියට දෙකට දිව්වා … මෙයා දැනගත්තොත් කොහොමද අර අනුප කියන කොල්ලාව් මම ටිකක් ඇවිස්සුවා කියලා …. හම්මේ …ඉතින්
‘මම කැතයිද උනහපුළුවො ….. නිකන්වත් මගේ දිහා බැලුවේ නැහැ නේ මේ උලමා …. ‘ මම කන්නාඩියටා එබිලා හැඩ බැලුවා … මුහුණේ පිම්පල් එකක් ඇවිත් ..මේ පිම්පල් එක නිසා මාව කැතට පෙනුනද දන්නේ නැහැනේ … මම පිම්පල් එක මිරිකලා දැම්මා ….
‘මොකද හිරූ පිම්පල් කඩන්නේ කන්නාඩිය ඉස්සරහට වෙලා ..’
අම්මා කාමරේ ඇතුලට ආවේ ඔන්න ඔය වේලාවේ … අපේ අම්මාට හොරෙන් නම් මේ ගෙදර මොකුත්ම කරන්න බැහැනේ ….
‘කැතයි නේ අම්මා …’
‘පිම්පල් කැඩුවාම මුහුණේ පැච් හිටිනවා .. ඕක නවත්තන්න …’ දෙවියනේ මගේ මුහුණේ පැච් එකක් හිටියිද ..එහෙම උනොත් අර උලමා මගේ දිහා බලන එකක්වත් නැහැ ..
‘අම්මා මගේ මුහුණ කැත වෙයිද දැන් …’ මගේ හිතට බයක් ආවේ ….
‘ඔව් …අපි දන්නේ නැහැ ….. ‘’
‘අනේ අම්මා ඔය ඇත්තමද ඔයා කියන්නේ …’ අම්මා ලගට දුවලා ගිහින් එයාට තුරුළු වෙන ගමන් මම එහෙම ඇහුවා …
‘බයවෙන්න එපා මේ සුදු මුහුණ කැත වෙන්නේ නැහැ … ඇයි හිරු ක්ලාස් එකෙන් කලින් ආවේ අද ..’
‘අනේ අම්මා මට කම්මැලි හිතුනා …ඔයා දන්නවා නේ මම ක්ලාස් යන්න ආස නැහැ කියලා …ඉතින් මම ඉන්ටවල් එකේදී ක්ලාස් එකෙන් පැනගත්තා …’
‘හරි හරි …. අනේ මේ දරුවා හැදෙන හැටි නම් කොල්ලෙක් වගේ …. ‘’ අම්මා එහෙම කියද්දී මම එයාගේ බෙල්ල වටේ අත්දෙක දාගෙන කිස් එකක් දුන්නා
‘යන්න යන්න ගිහින් නාගන්න ..දාඩිය ගදයි …’ අම්මා නහය අකුලාගෙන මුහුණ බේරී කරගත්තේ මාව හුරතල් කරන්න ගියාම නිමාවක් නැති බව දන්න නිසා තමා ..
‘හරි මම එහෙනම් නාගෙන එන්නම් …’ ටවල් එකත් අරන් බාත් රූම් එකට යන ගමන් මට මැවිලා පේන්න පටන් ගත්තේ දිනිතගේ මුහුණ තමා …කොහේදෝ ඉදලා ඇවිත් මේ උලමා මගේ හිතට මේ තරම් වද දෙන්නේ මොකද අප්පා ……
මතු සම්බන්ධයි