12

~~සමනළ වසන්තය ~~
12 කොටස
‘උබත් ඇදගෙනනේ නාන්නේ …. ‘’ ඉන්ටර්වල් එකේදී මාව හොයාගෙන ආපු පුජනී එහෙම කියද්දී මම කට ඇදකරලා හිනාවුනා …
‘ලෝකේ පෙරලිලා උබේ ඔළුව උඩට වැටුනත් උබට ටික වේලාවයි ඒක මතක තියෙන්නේ ….. …’
මගෙන් උත්තරයක් නැතිවුනාම අමනාපෙන් වගේ එහෙම කියපු පුජනි මුහුණ දික්කර ගත්තා ..
‘දැන් ඇති බන් ඔය කන්කරච්චලේ නතර කරගනින්කෝ …… බලපන්කො උබේ මුහුණ නිකන් කුණු වෙච්ච තක්කාලි ගෙඩියක් වගේ වෙලා …. හිනාවෙලා හිටපන් මේ මං වගේ …’
පුජනිගේ මුඩ් එක වෙනස් කරන්න ඕන හින්දා මම එහෙම කියලා තද කරලා එයාගේ අතකින් අල්ලා ගත්තා …. මට මොකක් හරි කරදරයක් උනාම මට වඩා දුක් වෙන්නේ පුජනී …. සිද්දිය වෙලා පැය ගානක් යනකන්ම ඒ ගැන හිත හිතා දුක්වෙන එක කෙල්ලගේ පුරුද්දක් …. වෙලාවකට මට වදයක් වෙන තරමය ඒ ගැන කියවන එක එයාගේ හැටි …
‘අන්න කේතකි එනවා මේ පැත්තට …’ කතා කරකර ඉන්න ගමන්ම පුජනී පෙන්නුවා දිහා …. කේතකි අශිරා එක්ක ඇවිදගෙන එන්නේ මේ පැත්තට …ආයෙමත් මාත් එක්ක වලියක් දාගන්න හිතිලද දන්නේ නැහැ උන්දැට …
‘මෙයාට නම දාන්න තිබ්බේ කේතකි කියලා නෙවේ කේලමි කියලා …’ දෙන්නා අපි ලගින් හැරිලා ටක් එක පැත්තට යද්දී මම එහෙම කිව්වේ හෙමිට උනත් කේතකි ආපස්සට හැරුණ විදිහට මට හිතුනේ මම කිව්ව කතාව ඇහුනා තමා කියලා …
‘මොකක්ද කිව්වේ මිස් බක බක …’ කේතකි අතක් උස්සලා ඇගිල්ලක් දික්කලේ ලොකු කේන්තියකින් වගේ …
‘මොකුත් කිව්වේ නැහැ ..මෙන්න මෙහෙ වරෙන් යන්න …’ පුජනී මාවත් ඇදගෙන ක්ලාස් එක පැත්තට යන්න ගියේ මෙතන හිටියොත් තවත් වලියකට පැටලෙන්න වෙයි කියලා හිතලා වෙන්න ඇති …..කේතකිට කන්වල ඇගිලි ගහගන්න දෙකක් කියන්න බැරිවුණ දුක හිතට දැනුනත් දීප්ති මිස් කිව්ව දේ මතක් උන නිසා මම ඒ අදහස අත ඇරලා දැම්මා ….
*****
ඊට පස්සේ දවස් ගානක්ම ස්කුල් බස් එක මිස් උන නිසා දිනිත දකින්න චාන්ස් එකක් ආවේ නැති එක ගැන හිතට අවුල් වගේ …. කොහොම හරි පහුවදා උදේම ස්කුල් බස් එක අල්ලා ගන්න ඕනේ කියලා හිතලා තමා මම එදා රෑ නිදාගන්න ගියේ ….
‘ ඒයි අද ඉස්කෝලේ යන්නේ නැද්ද …’ පහුවදා උදේ පාන්දර සදු කතා කරනකන්ම මම හිටියේ බෙඩ් ෂිට් එක යට ගුලි ගැහිලා හිනයක් බල බලා
‘මට බෑ ….මම අද ගෙදර ඉන්නවා …. ‘’ මම බෙඩ් ෂිට් එක යට ශීතලට ගුලි ගැහුනා සදු කියන දේ නෑහුනා වගේ …
‘ඊයේ කිව්වා නේද අද උදේම ඉස්කෝලේ යන්න ඕන කියලා …’ සදු මතක් කරලා දුන්නේ මෙච්චර වෙලා මට අමතක වෙලා හිටිය දෙයක් …එතකොට තමයි මට මතක් උනේ අද උදේම ගිහින් දිනිතව බලන්න ඕන කියලා ….
‘ආ ….ඔව් නේ … මට අමතක උනා නේ ..’ මම ටක් ගාලා නැගිටලා බෙඩ් ෂිට් එක සදු හිටිය පැත්තට විසිකලා …
‘පිස්සු හැදිලාද මෙයාට …’ දඩිබිඩි ගාලා ඇදෙන් බිමට පැනලා මම කාමරෙන් එළියට දුවන ගමන් බිත්ති ඔරලෝසුවේ වෙලාව බැලුවා …. වේලාව හය පහුවෙලා ….. ස්කුල් බස් එක යන්නේ හයයි තිහට …
‘හිරූ තේ එක බොන්න …’ විනාඩි පහට මුහුණ හෝදාගෙන එළියට එද්දී අම්මා තේ එකත් අරන් ඉස්සරහාට ආවා … ‘
‘සදු මගේ ගවුමත් අයන් කරනවාද …’ මම අම්මා අතින් කිරි එක ගන්න ගමන් සදු ඇදුම් අයන් කරන තැනට ගියා ….
‘මට බෑ … ඔයා මැද ගන්න එකයි ඇත්තේ … ‘’ සදු සුදු ගවුම රැලි තියලා මදින ගමන් මගේ ඉල්ලීම නිෂ්ප්‍රභා කළා …
‘මෙයාගේ තියෙන ගණන් …’ මම එහෙම කියන ගමන් එයා මැදලා ඉවර උන ගවුම දිහා හොර බැල්මක් දැම්මා .. කරන්න දෙයක් නැහැ සිස් …අද තියෙන වාතාවරණය අනුව මට ඔයා අහින්සක සුකුමල හිත රිදෙන වැඩක් කරන්න වෙනවා …. මම දෙපාරක් හිතන්නේ නැතිව ඉස්සරහට පැනලා සදු අයන් කරපු සුදු ගවුම අතට ගත්තා …
‘දෙනවා මගේ ගවුම ….’ එයා මගෙන් ගවුම උදුරාගන්න ට්‍රයි කලත් මම නෙවෙයි පසු බෑවේ ටක් ගාලා කාමරේට පැනලා දොර වහගත්තා
‘අම්මා හිරු මගේ ගත්තා … ‘’ සදු අඩනවා ගේ දෙක වෙන්න ..
‘ඔයා අඩන්න එපා …මම ඔයාගේ ගවුම අයන් කරලා දෙන්නම් … ‘’ අම්මා සදුව නළවනවා …
‘බලන්නකෝ අම්මා හිරූ ඇයි මෙහෙම කරන්නේ ….හැම වෙලේම මගේ දේවල් උදුරාගන්නවා ..’ සදු අඩන්නේ මුළු ලෝකෙම නැතිවුන සයිස් එකට ….
‘ හිරූ … හිරූ ..මේ දොර අරින්න ….’ අම්මා ඇවිත් දොරට ගහද්දි ගවුම කරෙන් පහළට දාන ගමන්ම දුවලා ගිහින් මම දොර ඇරියා …
‘මොකද ඔයා සදු අයන් කරපු ගවුම ගත්තේ …. ‘’
‘… එයා මගේ ගවුම අයන් කරලා දුන්නා නම් මම මේ ගවුම ගන්නේ නැහැනේ .. ‘’ මම අම්මා ඉස්සරහා අහිංසක පාර්ට් එකක් දාන්න ගියත් අම්මා මොකුත් කියන්නේ නැතිව අල්මාරිය ඇරලා සුදු ගවුමක් අරන් එළියට ගියා …
ඇද අස්සේ තිබ්බ සපත්තු දෙක ඇදලා එළියට අරන් සදුගේ ඇද උඩ තියලා මම මේස් එකක් දාගන්න ගමන් කාමරේ දොර දිහා බැලුවේ කව්රු හරි කඩාගෙන බිදගෙන ආපු නිසා …. අළුතින් අයන් කරපු සුදු ගවුමත් අතේ තියාගෙන සදු මගේ දිහා බලාගෙන හිටියේ රවාගෙනමයි ….හැටි විතරක් දෙහිවල සූ එකෙන් පැන්න චිම්පන්චියෙක් වගේ ……
‘ගන්නවා මගේ ඇදෙන් කකුල ….බලනවා ඔය සපත්තු දෙකේ තියෙන ජරාව ඔක්කොම මගේ මෙට්ටේ ගෑවෙනවා …. ඔය මළ ජරාව අයින් කරගන්නවා … ඔතැනින් ….’ සදු කවදාවත් නැතිව කේන්ති අරන් කෑ ගැහුවේ මම උදේ පාන්දර එයා අයන් කරපු ගවුම ගත්ත දුකට වෙන්න ඕන …
‘අනේ මේ ඇද රාජ කුමාරියක්ගේ ඇදක්‌ නේ ..මඩ චුට්ටක් ගෑවෙන්න බැරි …’ මම නෝන්ඩි හිනාවක් දාද්දි … සදු ඉස්සරහට ඇවිත් මගේ සපත්තු දෙක ඇදෙන් බිමට විසි කළා ….
මම එයාට ඔරවන ගමන්ම සපත්තු දෙක අහුලලා අතට අරන් මගේ ඇදට ගිහින් රව රවාම සපත්තු දෙක දාන්න ගත්තා …
තවත් රණ්ඩු අල්ලන්න ගියොත් ස්කුල් බස් එක මිස් වෙයි කියන බයට සදුට දිවත් දික් කරලා මම කාමරෙන් එළියට පැන්නා …
‘අම්මා මම යනවා …..’
‘මේ බත් කටක් කාලා යන්න …’ මට ඕනේ උනේ ඉක්මනට ගෙදරින් එළියට පැනගන්න …
‘අනේ අම්මා බස් එක මිස් වෙයි ….’ මම අම්මා අනලා ගුලි කරපු බත් ගුලි දෙක තුනක් කාලා ඉවර වේලා වතුර වීදුරුවක් බීවේ කෑවා ඇති කියන්න …
‘හරියට කන්නෙත් නැහැ අනේ මන්දා … ඔයාට ලෙඩක් හැදෙනවා ලගදීම කන්නේ නැතිව …’ අම්මා පරණ බණම දේශනා කරද්දී මම එයාට වැදලා එළියට බැහැ ගත්තා ..
බස් හෝල්ට් එකට යනකන් මට තිබුනේ පුදුම හරිම හදිස්සියක් …. විනාඩියක්වත් මිස් වෙලා බස් එක යන්න ගියොත් අර මෝඩයාගේ මුහුණ අදත් මට බලාගන්න වෙන්නේ නැහැනේ … එයාව දකින්න මගේ හිතට තියෙන්නේ පුදුමාකාර පිපාසයක් ….
මම බස් හෝල්ට් එකට යද්දී හයයි විසි නවයයි …හරියටම තව විනාඩියකින් බස් එක මෙතැන නවතියි ….ඊට පස්සේ අර ආඩම්බර කාරයා මගේ ඉස්සරහා මහා ආඩම්බරයෙන් රගයි … මම ඉවසිල්ලක් නැතිව පාර දිහා බැලුවා … වෙනදා වෙලාවට විනාඩියක්වත් එහා මෙහා වෙන්නේ නැතිව බස් එක මගේ ඉස්සරහා නැවතුනා … හිතේ ගැස්ම වැඩිවෙද්දී සෙනග පිරිලා හිටිය බස් එකට අමාරුවෙන් ගොඩ වෙන්න පුළුවන් උනා මට … හුස්ම ගන්න ඉඩක් නැති උනත් මිනිස්සුන්ගේ ඔළු ගෙඩි අස්සෙන් අමාරුවෙන් ඔළුව දාලා මම බස් එක ඇතුලේ දිනිතව හෙව්වා …. හරි ආඩම්බරේට එයා යාළුවෙක් එක්ක බර කතාවක ….
බස් එක ඇතුලට රිංගන්න එච්චර කැමැත්තක් තිබ්බේ නැතත් අමාරුවෙන් හිරවෙවිම මම බස් එක ඇතුලට රිංගා ගත්තා ….
‘තල්ලු කරන්න එපා හලෝ ..’ කෙල්ලක් ඔරවලා බලද්දී මම ගණන් ගන්නේ නැතිවම ඉස්සරහට ගිහින් නතර උනේ දිනිත හිටිය තැන …එයාව දකිද්දී වෙනදා වගේම නිකන් බඩ ඇතුලේ අමුතුම රිදීමක් එන්නේ .. ඩක් ඩක් ඩක් …හිත අමුතු විදිහට මහා වේගෙන් ගැහෙනවා ….
දිනිත අයියා මාව දැක්ක පාර මුහුණ අමුතු කරගත්තා ….. හරියට කවදාවත්ම දැක්කේ නැති කෙනෙක් වගේ තමා එයා අහක බලා ගත්තේ …
අපෝ මෙහෙමත් නපුරෙක් ..කිසිම අනුකම්පාවක් නැහැනේ මුන්දෑගේ හිතේ …
‘හලෝ අයියා …..ගුඩ් මෝර්නින් .’ මම ආඩම්බරේ පැත්තක තියලා කතා කලේ ඉවසාගෙන ඉන්න බැරිම තැනයි …
‘ගුඩ් මෝර්නින් …’ ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටපු දිනිත අමාරුවෙන් වගේ එහෙම කිව්වා …අපෝ මෙයාගේ කටෙන් වචනයක් ගන්න තියෙන අමාරුවක් … කොල්ලොත් දැක්කා මෙහෙම කොල්ලෙක් නම් නොදැක්කා …
‘අයියා ….ස්කුල් යනවාද …’ මට ඕනේ උනේ එයාව කතාවට අල්ලගන්න
‘නැහැ මේ පොළේ යන්න කියලා බස් එකට නැග්ගේ ..’ එයා එහෙම කිව්වේ හරිම සීරියස් විදිහට ..ඒ නිසා මට හිතාගන්න බැරිවුනා මෙයා මේ ඇත්ත කියනවාද බොරු කියනවාද කියලා
‘මචං අද වවල් ගති නැති වෙලා වගේ සමහරුන්ගේ …’ දිනිත අයියාට එහා පැත්තේ හිටපු යාළුවා එහෙම කියලා මගේ දිහා බලාගෙන දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙනවා …. දිනිත යාන්තමට හිනාවුනත් යාළුවාට උත්තර දෙන්න ගියේ නැහැ …
‘දිනිත ඔයාගේ නෝට්ස් ටික මම අද හවස දෙන්නද …’
දිනිත අයියා හිටගෙන හිටිය තැන වාඩිවෙලා හිටිය කෙනෙක් එහෙම අහද්දී මම එයා දිහා බැලුවා … සුදු ගවුමක් ඇදලා හිටිය කෙල්ල දිනිත අයියාගේ යාලුවෙක් වෙන්න ඕන …
‘ප්‍රශ්නයක් නැහැ කාවින්දි …ඔයා ෆොටෝ කොපි ගහගෙනම දෙන්න ….’
‘ඔයා පාඩම් කරන්නේ කොහොමද එතකොට ..’
‘මම ඔය ටික පාඩම් කරලා තියෙන්නේ ..’
දිනිතට මගෙත් එක්ක තමා වචනයක් දෙකක් කතා කරන්න බැරි අර ගර්ල් එක්ක චැට් එක නවතින පාටක් නැහැ …හිතට දුකක්ද ඉර්ශ්‍යාවක්ද මොකක්ද මන්දා හැගීමක් එද්දී මම බස් එකේ ඉස්සරහට ඇවිදගෙන යන්න ගියා එයා දිහා බලන්නෙම නැතිව …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *