13

~~~සමනළ වසන්තය~~~
13 කොටස
දිනිත අයියා මාව ගණන් නොගන්න එක මගේ හිතට මහා ලොකුවට දැනුනා….ඉස්කෝලෙට යනකන්ම මම කල්පනා කරේ ඇයි එයා මාව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැත්තේ කියන එක …. අනිත් කෙල්ලෝ කොල්ලෝ ඉස්සරහා ලස්සනට හිනාවෙලා කතා බහ කරන එයා මගේ ඉස්සරහදි හැසිරෙන්නේ හිනාවෙන්න දන්නේ නැති කොල්ලෙක් වගේ …
‘මොකද නිකන් අශ්වයා මැරිච්ච කව් බෝයි වගේ ඉන්නේ … ‘’වෙනදා වගේ කතාවක් බහක් නැතිව පංතියට වෙලා කල්පනා කර කර ඉද්දි පුජනි මගේ ලගට ආවා
‘මට හිතට ෆිට් එකක් නැහැ පුජා ..’ මගේ මුහුණේ අදුරු වලාකුළු වලින් පිරිලා වහින්න ලගයි කියලා මට දැනුනා …
‘මොකක්ද දැන් වෙන්නේ කියපන් …’
‘වෙන්නේ මොනවා වෙන්නද …අරූ මාව ශතේකට ගණන් ගන්නේ නැහැනේ ..’ බරවෙලා තිබ්බ නහය උඩට අදින ගමන් මම එහෙම කිව්වේ දුක් මුඩ් එකෙන් …
‘කවදාවත් සැලෙන්නේ නැති උබ කොල්ලෙක් හින්දා ඔහොම ඉන්න එපා බන් … හරි …උබට ඌව ඕනෑම නම් අපි ගිහින් කතා කරමු …’ මම අවුල් වෙලා කියලා දැනිලා පුජනී සිරියස් ව්දිහට තමා එහෙම කිව්වේ ..ආයේ දෙකක් පුජනී දිනිත එක්ක මේ ගැන කතා කරනවා සහතිකයි ….
‘ඌට මාව දැනෙන්නේ නැත්තම් … මම ඇයි බලෙන් එයාගේ ආදරේ හිගා කන්නේ … මට තාම තේරුම් ගන්න බැරි මේ ආදරේද කියලා .. සමහර විට මේ නිකන් හැගීමක් වෙන්නත් ඇති ….. ඒත් මට කවදාවත් ගගුන්ලා ලගදී මේ වගේ දැනිලා නැහැ …ජිවිතේ පළවෙනි වතාවට තමා මට මේ තරම් සීරියස් විදිහට කොල්ලෙක්ව දැනෙන්නේ ..’
‘හරි ….උබ දැන් මොකක්ද කරන්න යන්නේ ….. ඌට කියන්න කැමතිත් නැහැ …. අමතක කරලා ඉන්න කැමතිත් නැහැ …. උබ ඔච්චර සීරියස් වෙන්න එපා හිරූ …. මොකද ඔය විදිහට ඉන්න එක උබට කොහොමත් ගැලපෙන්නේ නැහැ …’
පුජනී මගේ හිත ගොඩක් දුරට හැදුවා ….. මම හිතාගත්තා දිනිත ගැන නොහිතා ඉන්න …
‘ඒයි මේ හෙට වැලන්ටයින් එකට ,,,, ලහිරුට දෙන්න හොද ගිෆ්ට් එකක් කියපන්කො …..’ පුජනී එහෙම ඇහුවේ ඉස්කෝලේ ඇරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී … මෙයා මගෙන් අහන්නේ මම කොල්ලෙක්ට වැලන්ටයින් ගිෆ්ට් දීලා තියෙනවා වගේ නේ …
‘හොද ඒවාගෙන් චිත්ත මීටර් දෙක තුනක් අරන් දීපන් …’ මම විහිළුවට වගේ එහෙම කියද්දී කෙල්ල මුහුණ රතු කරගත්තා
‘එයාට චීත්ත මොකටද …එයා ගවුම් අදින්නේ නැහැ මයේ හිතේ …’
‘හේ හේ …මෝඩි උබ නම් ගොන් බදින කණුවක් වේලාවකට .. මම ජෝක් එකක් කලේ …. උබ තීරණය කරපන් ….ඌට දෙන්න ඕන දේ ..’
‘හරි හරි මාත් එක්ක එනවාද ගිෆ්ට් එකක් යන්න …’
‘බෑ කියලා බැහැනේ … ඉස්කෝලෙ ඇරිලා යන ගමන් ගම්මු … ’මම එහෙම කිව්වාම තමා පුජනිගේ මුහුණ එළිය උනේ …
හවස ඉස්කෝලේ ඇරිලා සදුට තනියම ගෙදර යන්න කියලා මම පුජනී එක්ක නුගේගොඩ ටවුන් එකට ගියා ..
‘අපි කාර්ඩ් එකක් අරගෙන එමු නේද …’ පුජනී මාවත් ඇදගෙනම බුක් ෂොප් එකක් ඇතුලට ගියා ..මුළු බුක් ෂොප් එක පිරෙන්නම ස්කුල් ළමයි …කාර්ඩ් තෝරනවා … පුජනී කාර්ඩ් එකක් තෝරනකන් මම පැත්තකට වෙලා බලාගෙන හිටියා …. මොකද මට කියලා කාර්ඩ් එකක් දෙන්න කොල්ලෙක් ඉන්නවා කියලායෑ …. පැය භාගයක විතර මහා පරිශ්‍රාමයිකින් පස්සේ ඔන්න පුජනි කාර්ඩ් එකකුත් තෝරාගෙන ෂොප් එකෙන් එළියට ආවේ දාඩිය පෙරාගෙන බරපතල වැඩක් කරා වගෙයි …
‘මහන්සියි නේ …බොමුද කුල් වතුර එකක් ..’ පොත් බෑග් එක අස්සේ තිබ්බ වතුර බෝතලේ අතට අරන් මම පුජනිට දික් කළා …
‘හොද පණ ගියා බන් … අපිට හරියන එකක් තෝරාගන්නත් එපාය …’ පුජනී ආඩම්බරෙන් ඔළුව හොලව හොලවා එහෙම කියද්දී නම් මට හිතුනේ මේ ආදරේ කියන්නෙත් එක්තරා ලෙඩක් කියලා .
‘දැන් මොනවාද කරන්නේ ..’
‘දැන් ගිහින් පොඩි ගිෆ්ට් එකක් ගමු ….’
නුගේගොඩ ටවුම පුරාම පැය දෙකක් විතර රස්තියාදු ගහලා පුජනි තෝරාගත්තේ වොච් එකක් ……..
‘මම එයාට ආදරේ කරාට පස්සේ එයත් එක්ක ගත කරන පලවෙනි වැලන්ටයින් එක … එයත් මට ගිෆ්ට් එකක් දෙයි නේ …ඒක මොකක් වෙයිද දන්නේ නැහැ … සමහර විට රින්ග් එකක් වෙන්නත් පුළුවන් …මට හෙට වෙනකන් ඉවසිල්ලක් නැහැ අනේ ’
පුජනී මේ ගිනි කාෂ්ට අවුමේ කරවේවි ටවුන් එක මැද්දේ හිටගෙන දවල් හීන දකිනවා වගේ …. ලහිරු කියන්නේ නොම්බර එකේ රස්තියාදු කාරයෙක් ….මම ලහිරුව වැඩිපුරම දැකලා තියෙන්නේ නුගේගොඩ බෝ ගහ හන්දියේ ඉන්නවා ….එහෙම කොල්ලෙක්ට පුජනී මොකට කැමැත්ත දුන්නද කියලා නම් මට තේරෙන්නේ නැහැ …. ලහිරු ගැන නරක ආකල්පයක් හිතේ තිබුනත් එයාගේ හිතේ තියෙන බලාපොරොත්තු බිදෙන විදිහේ මොකුත්ම කියන්න මට ඕන උනේ නැහැ ….
*******
පහුවදා උදේ මම ඇහැරෙද්දි සදූ සුදු ගවුම ඇදලා කොන්ඩේ පිරනවා ….. බිත්ති ඔරලෝසුවේ වේලාව හයයි කියලා සටහන් වෙලා .. ඊයේ පෙරේදා තිබ්බ හදිස්සිය අද මට තිබ්බේ නැහැ .. ..
‘හිරූ ඔයා අද ඉස්කෝලේ යන්නේ නැද්ද .. ‘’ ඇදේ ගුලි ගැහෙන ගමන්ම සදූ දිහා එක ඇහැකින් බැලුවා ..
‘යන්න ඕන ….’ හෙමින් එහෙම කියන ගමන් මම ඇදෙන් බිමට බැස්සා
වෙනදා කඩියා වගේ දුවලා පැනලා වැඩ කරාට අද නම් මට දුවලා පැනලා වැඩක් කරන්න හිතක් නැහැ .. මුහුණ කට හෝදාගෙන ඉවර වෙලා මම යුනිෆෝර්ම් එක අදිද්දී සදූ ලැහැස්ති වෙලා ඉවර වෙලා පොත් බෑග් එකත් කරේ දාගත්තා …
‘මම එහෙනම් යනවා ..ඔයා එන්නේ නැහැ නේ …’
‘ඔයා යන්න මම එන්නම් …’ මම කොන්ඩ කරලක් ගොතන ගමන් කන්නාඩියෙන් සදූ දිහා බැලුවා .. එයාට අද පුදුම හදිස්සියක් නේ තියෙන්නේ …මොකක්ද මේ වෙනසට හේතුව කියලා තමා මට හිතාගන්න අමාරු උනේ ….
යාන්තම් හයයි තිහ වෙද්දී ඇදගෙන ඉවර වෙලා මම කෑම කාමරේට එබුනා …අම්මා නිදුකයියා එක්ක බර කතාවක …. මම නිකමට වගේ ඇහුම්කන් දුන්නා මගේ නමත් ඇහුන නිසා
‘හිරූ හරිම කොච්චි කරලක් තමා …. අනේ මන්දා පුතා මේ ළමයාට පුදුම විදිහට තරහා යන්නේ ..වෙලාවකට මට බය හිතෙනවා …… ඒ වගේමයි පුදුම දැගලිල්ලක් තියන්නේ මේ කෙල්ලට ..’
‘පුංචි අම්මා බය වෙන්න එපා … මේ වයසට ගැහැණු ළමයි ඔහොම තමා …’
‘මට සදූ ගැන නම් කිසිම බයක් නැහැ … හිරූ ගැන නම් මගේ හිතට පුදුම බයක් දැනෙන්නේ …මෙහෙම ඉදලා මේ ළමයා වැරදි සම්බන්ධයකවත් පැටලෙයිද …. එහෙම උනොත් නම් බාප්පාගෙන් මට කිසිම සමාවක් නැතිවෙයි …’
අම්මාගේ හිත ඕනෑවට වඩා මං ගැන කලබල වෙලා …
‘අම්මා මම යනවා …… ‘’ තවත් එයාලාගේ කතාවට කන්දෙන්නේ නැතිව මිදුලට බැහැලයි මම නැවතුනේ …අම්මා මොන මොනවදෝ කියනවා ඇහුනත් මම ඇහුනේ නැහැ වගේ පාරට ගියා ….අම්මාගේ හිතේ මම ගැන ඒ තරම් බයක් තියෙනවා කියලා හිතද්දී නම් මට පුදුම දුකක් ආවේ ..
‘අක්කි ..අක්කි ….’ නුගේගොඩ ටවුන් එකේදී පහ වසරේ විතර ඉගෙන ගන්න පිරිමි ලමයෙක් මගේ ලගට ඇවිත් කතා කරනකන්ම මම හිටියේ ඔය දේවල් ගැන හිත හිතමයි
‘මටද කතා කරේ මල්ලියෝ ..’ මම පොඩ්ඩා දිහා බලලා ඇස් පුංචි කළා
‘ඔව් …… අක්කි ඔයාට මේක දෙන්න කිව්වා ..’ එහෙම කියපු පොඩ්ඩා එයාගේ අතක තිබ්බ පුංචි පාර්සලයක් මගේ අතක තිබ්බා …
‘ක ..කව්ද ….’ මේ වගේ දෙයක් දෙන්න කව්ද ඉන්නේ .. .
‘අර අර අතන ඉන්නේ ..’ පොඩ්ඩා එහෙම කියලා ඇගිල්ල දික් කරපු දිහාවට මම බැල්මක් දැම්මා … ඒත් එතැන කව්රුත්ම නැහැ . …මේ පොඩ්ඩා වෙන කාට හරි දුන්න දෙයක් මට දුන්නාවත්ද ..
‘මටමද දෙන්න කිව්වේ ..’
‘ඔව් අක්කි ..ඒ අයියා මෙතැන හිටියා නේ ..’
‘කව්ද එයාගේ නම …’
‘නම නම් දන්නේ නැහැ අක්කි ….. ‘’ පොඩ්ඩා එහෙම කියලා මම තවත් මොකුත් අහයි කියලා බයේද කොහෙද පැත්තකට දුවගෙන ගියා
මේක ඇතුලේ බෝම්බයක්වත්ද තියෙන්නේ … හිතේ බය පැත්තක තියලා මම එතැන හිටගෙනම පාර්සල් එක ලිහුවා …. පාර්සල් එක ඇතුලේ මිකී මවුස් කීටෑක් එකකුයි රෝස මලකුයි තව කාර්ඩ් එකකුයි …මම ටක් ගාලා කාර්ඩ් එක අතට ගත්තා
‘හිරූ ….මගේ හිත ආදරෙන් පිරිලා …. ආදරේ ඉතිරිලා ඊයේ මාව ලිස්සුවත් එක්ක …මේ කාඩ් එක ඔයාට දෙන්න ඕන නිසයි මම පරිස්සම් වෙලා ආවේ රත්තරන් … ඔයාට මම ආදරේ …. මම කව්ද කියලා හොයාගන්න එක ඔයාට භාරයි ..’
කාර්ඩ් එක පුරාම ඒ වගේ දේවල් ගොඩක් ලියලා ..කව්ද මේ රහසිගත ප්‍රේමවන්තයා ….. මම ආයෙම ටවුන් එක පුරාම ඇස් දෙක යැව්වේ ඒ කව්ද කියලා හොයාගන්න ඕන උන නිසා … ඒත් කව්රුත්ම පේන්න නැහැ … මම පාර්සල් එක බෑග් එකට දාගෙන ඉස්කෝලේ පැත්තට ඇවිදගෙන ගියා ….
‘අන්න . අද ෆිෆෙට්ලා බෑග් චෙක් කරනවාලූ ….’ පුජනී එහෙම කිව්වේ මම පංතියට ගොඩ වෙද්දීමයි ..
‘ඒ මොකටද …’
‘අද ආදරවන්තයන්ගේ දවසනේ … ‘’ඒක ඇහුව ගමන් මට හීන් දාඩියක් දාන්න ගත්තේ බෑග් එක ඇතුලේ තිබ්බ පාර්සල් එක මතක් වෙලා .. අද නම් මට හොදි නැතිව පාන් කන්න වෙන්නේ …
‘මොකද උබ ඒක ඇහුව ගමන් බයවුණේ ….’ පුජනීට මගේ මුහුණේ වෙනස පෙනිලා ඒ ටිකට ..
‘පොඩ්ඩක් හිටපන් මම පස්සේ කියන්නම් …. ‘’ මම එහෙම කියලා කල්පනා කලේ පාර්සල් එක හංගන්න පුළුවන් තැනක් …. හොදම තැන මිස්ගේ ටේබල් එක ….කව්රුත් පේන්න හිටියේ නැති නිසා පාර්සල් එක අතට අරන් මම ටේබල් එක ලගට දුවගෙන ගියා ….ඊට පස්සේ කබඩ් එක ඇරලා පාර්සල් එක හැංගුවා ….. අම්මෝ ඇති යන්තම් … දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ …
‘මොකද හොර පුසී වගේ කැරකෙන්නේ .. ‘’ මම හොද වේලාවට මිස්ගේ ටේබල් එක ලගින් ඈත්වූනේ නැත්තම් මම කරපු හොර වැඩේ මාට්ටු වෙනවා … ඒ වේලාවේ ෆිෆෙට්ලා දෙතුන් දෙනෙක්ම අපේ පංතියට ආවේ කඩාගෙන පනින හමුදාවෙන් ආවා වගේ …
‘නැහැ ..නැහැ අක්කේ … මම මේ කෝටියයි …. පන්තිය අතුගාලාද කියලා බැලුවේ ..’ මම බබා පාර්ට් එකක් දැම්මා ..
‘හරි හරි දැන් හැමෝම බෑග් ගන්නවලා එළියට ….’ පංතියේ හිටිය සමහර කෙල්ලොන්ගේ මුහුණු ඇබරිලා ගිහින් …. බෑග් චෙක් කරලා ඉවරවෙද්දී ෆිෆෙට්ලා අතේ චොක්ලට් ටොෆි ලියුම් ගොඩයි … අද තමා මම දැනගත්තේ අපේ පන්තියේ ගොඩක් කෙල්ලොන්ට කොල්ලෝ ඉන්නවා කියලා …
‘අපි දීප්ති මිස්ට මේ හැම කෙනෙක් ගැනම කම්ප්ලේන් කරනවා ….’ ෆිෆෙට්ලා පංතියෙන් එළියට බැස්සේ එහෙම කියාගෙන උනත් අපි දන්නවා ඕවාට ඉතින් අබ සරණයි කියලා …..
‘මොකක්ද උබ අතන හැන්ගුවේ …..’ ෆිෆෙට්ලා ගිය හැටිය පුජනිට මගෙන් අහන්න ප්‍රශ්න කෝටියක් තියෙන්න ඇති … ඒ උනත් එයා අහන ප්‍රශ්න වලට දෙන්න ඕන උත්තර මොනවාද කියලා මමවත් දැනගෙන හිටියේ නැහැ ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *