15

~~සමනල වසන්තය ~~~
15 කොටස
‘මොකද මේ මුහුණ පුළුටු කරගෙන ..’ ටීවී එක දිහා බලාගෙන හිටිය නිදුකයියා මාව දැකලා ඇස් පුංචි කළා …
‘ඔළුව රිදෙනවා මගේ …’ මම බොරුවක් කියාගෙනම කාමරේට දිව්වා ….
‘අව්වේ ඇවිල්ලා වෙන්න ඇති .. තව ටිකකින් ඕක ඇරිලා යාවි .. පැනඩෝල් දෙකක් බොනවා .’
නිදුකයියා කිව්ව දේ ඇහුනේ නැති විදිහට මම ඇදට පැනලා බෑග් එක අවුස්සලා අවුස්සලා අර පාර්සල් එක හොයාගත්තා … කව්ද මට මේ විදිහේ දෙයක් දෙන්න හිතන්න ඇත්තේ ….කොච්චර හිතුවත් මට ඒ ගැන හිතාගන්න බැරි තරම් … මෙයා කව්රු උනත් මම ගැන ගොඩක් හිතන කෙනෙක් කියලා නම් සහතිකයි…
‘හිරූ හිරූ ….. ’ නිදුකයියා දොර ලගට ඇවිත් කතා කරනකන් මම කල්පනා ලෝකේ අතරමන් වෙලා හිටියේ …
‘ආ …අයියා …. ඇයි … ඇයි මට කතා කලේ …’ පාර්සල් එක කොට්ටේ යටට කරන ගමන් මම අයියා දිහා බැලුවා …
‘මොකක්ද ඒ හැංගුවේ …කෝ පෙන්නනවා …’ නිදුකයියාට මගේ හොරේ මාට්ටු වෙන්න වගේ යන්නේ ….
‘ඔයාටත් ඕන නැති දෙයක් නැහැ නේ අයියා …ඒ ..ඒ කෙල්ලෝ පාවිච්ච් කරන දෙයක් …ඔයාට බලන්න ඕන නම් මම පෙන්නන්නම් …’
‘අනේ මේ මට බලන්න ඕන නැහැ … මෙන්න මෙහෙ එනවා කෑම කන්න ..’ ලැජ්ජාව නිසා මුහුණ රතු කරගෙනම අයියා කාමරෙන් එළියට ගියේ මම තවත් මොකුත් කියයි කියලා වෙන්න ඕන ..
හම්මේ දෙවියෝ බැලුවා වගේ මගේ දිහා …සුදු ගවුම මාරු කරගෙන කෑම කාමරේ පැත්තට ඔළුව දැම්මාට මට කන්න තරම් බඩගින්නක් තිබ්බේ නැහැ ….
නිදුකයියා බත් එක බෙදාගෙන බලාගෙන ඉන්නේ මම එනකන් වෙන්න ඕන ….
‘අයියා ඔයා කන්න … මම පස්සේ කන්නම් හරිද …’ එහෙම කියන ගමන් මම කුස්සියේ දොර ලගට ගියේ ගිරා පැන්චාව බලන්න …
‘මෙහෙ එනවා හිරූ … පස්සේ නෙවෙයි මේ දැන් කන්න ඕන ඔයා … ‘ නිදුකයියා සැරකරද්දී මම එයා ලගට දුවගෙන ගියා …
‘හරි එහෙනම් එක බත් කටක් කන්නම් … ඔයා කවන්නකෝ ..’ මම නිදුකයියා ඉස්සරහට ගිහින් කට ඇරගෙන හිටියා ….. අයියා බත් ගුලියක් ගුලි කරලා මගේ කටට එබුවා …
‘අයියා ඔයා මගෙත් එක්ක තරහක් තියෙනවාද කියනවකො .. ..’ අමාරුවෙන් බත් ගුලිය උගුරෙන් පල්ලෙහාට දාගෙන මම වතුර වීදුරුව අතට ගත්තේ එහෙම අහගෙනමයි …
‘ඇයි එහෙම ඇහුවේ ..’
‘මට ඔච්චර ලොකු බත් ගුලියක් කැව්වේ හිරකරලා මරන්නද ….’ මම එහෙම කියද්දී නිදුකයියාට හොදටම හිනා …
‘ඔයාට නම් හිනා නේ .. ඔයාට ඉතින් මොකද මම නේ මැරෙන්නේ … දැන් කෑවා හොදටම ඇති … මම යනවා ….’ නිදුකයියාට බැනගෙනම මම පිටිපස්ස දොරෙන් එළියට බැස්සා
‘ පෙත්තෝ ඔයාට පේර අරන් අක්කා ආවා ..’ පේර ගෙඩියක් ගිරා පැංචාට කවන ගමන් මම එයත් එක්ක කතා කරන්න පටන් ගත්තා …
‘ඔයාවත් දන්නවාද අනේ මට අර විදිහට තෑගි එවන්නේ කව්ද කියලා ..එයා කව්රු වෙන්න ඇතිද පෙත්තෝ .’
මම ගොඩක් වෙලා ගිරා පැංචා එකක් කතා කර කර හිටියා ….. නිදුකයියා කිසි ශබ්දයක් නැත්තේ එයා පාඩම් කරනවා වෙන්න ඇති …… ගේ ඇතුලේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහුණත් එයා ආන්ස්වර් කරන පාටක් නැහැ … දුවලා දුවලා ගෙට ගිහින් මම රිසීවර් එක කනේ තියාගත්තා …
‘හෙලෝ …..’ ම්හ්හ්හ්හ් එහා පැත්තෙන් නෝ කතා …. නෝ සිනා …
‘හෙලෝ කව්ද මේ ෆෝන් එකේ එල්ලිලා ඉන්න වවුලා …’ මම ඇහුවා විතරයි එහා පැත්තේ හිටිය කෙනා මහා හයියෙන් රිසීවර් එක තිබ්බා …මේ මොන මංගල්‍යයක්ද … රිසීවර් එක තියලා මම ආපහු එළියට දුවන්න ලැහැස්ති උනා විතරයි මෙන්න ආයෙම ෆෝන් එක රින්ග් වෙනවා …
‘හෙලෝ ..හෙලෝ …..’ එහා පැත්තේ හිටිය කෙනාගේ හුස්ම ගන්න හඩ විතරයි ඇහෙන්නේ …
‘මේ කතා කරන්නකෝ හලෝ ..අපිට වැඩ තියෙනවා ….. ෆෝන් වල එල්ලිලා ඉන්න කාලයක් නැහැ ..’ ඉවසාගෙන ඉන්න බැරිම තැන මම පොඩ්ඩක් විතර සැරවුනා …
‘හෙලෝ …’ එහා පැත්තෙන් ආවේ ගොරෝසු පිරිමි කටහඩක් …. අහලා පුරුදුයි වගේ උනත් මට ඒ කව්ද කියන එක නිච්චි නැහැ ….
‘හෙලෝ කව්ද මේ …’
‘ මම තමා ඔයාට අර ගිෆ්ට් එක එව්වේ …. කියන්න ඔයා කැමතිද ඒකට …’ එයාගේ වචන මගේ හාර්ට් එක ටච් කරනවා වගේ දැනෙද්දී …මම හුස්මක් කටක් ගන්නේ නැතිව ඔහේ අහගෙන හිටියා …
‘ඔයා කව්ද …කියන්න ….ඔයා කව්ද …….’ කතා කරගන්න පුළුවන් උන හැටියේ මම එහෙම ඇහුවේ එයා කව්ද කියලා දැනගන්න මගේ හිතට ඕනෑවට වඩා උවමනාවක් තිබ්බ නිසා …
‘මම ඔයාට ආදරේ කරන කෙනෙක් …. ‘’
‘ඔයා මට ආදරේ කරනවා නම් ඔයා කව්ද කියලා කියන්න …’
‘ඔයාම හොයාගන්න මම කව්ද කියලා …’
‘මට ඔය කා ගැනවත් හොයා හොයා ඉන්න වයර් ෂෝර්ට් එකක් නැහැ ..ඔයා කව්ද කියලා කියනවා නම් කියන්න ..නැත්තම් මම ෆෝන් තියනවා …’ මම තරහෙන් කියවගෙන ගිහින් දඩාරියන් ගාලා රිසීවර් එක ෆෝන් එක උඩට අත ඇරියා …
‘මොන පිස්සෙක්ද දන්නේ නැහැ …..මට හම්බ උනොත් මූව අර තෑගී වලින් මුහුණට දමලා ගහනවා …’ හිතට ආව තරහට මම තනියම කියෙව්වා ….
විනාඩි පහක් ගියේ නැහැ ෆෝන් එක ආයෙම කෑ ගහනවා ….
‘හෙලෝ … ‘ආයෙම කතා කරේ අර අදුරන්නේ නැති කොල්ලා ….. මෙයා මොකාටද එන්න හදන්නේ …මගේ ෆෝන් නම්බර් එකත් හොයාගෙන මෙයා මොකාටද මේ එන්න හදන්නේ …
‘ ඔයාට හෙම්බ් හැදුනේ නැහැ නේද තෙම්ලා …’ මේ මොන අටමගලයක්ද … මෙයා ඉස්කෝලේ ඇරුන වේලේ ඉදලා මාව ෆලෝ කරලාද කොහෙද … ….
‘මට හෙම්බ්රිස්සාව හැදුනත් ඔයා ඒ ගැන හිතන්න එපා ..ඔයාද අර කුඩේත් එව්වේ …කරුණාකරලා මට වදයක් වෙන්න නම් එපා හරිද … මම ඔයා කව්රු උනත් ඔයාට කැමැති වෙන්නේ නැහැ …’
තවත් එයත් එක්ක කතා කරන්නේ නැති ව මම ෆෝන් එක තිබ්බා ….. මෙයා නම් කාඩ්බෝර්ඩ් වීරයෙක් …. මෙයා නියම පිරිමියෙක් නම් මගේ ඉස්සරහට ඇවිත් කතා කරන්න එපෑයි .. හැංගි හැංගි වෙස් බැන්දත් කවදා හරි ඔයාට මගේ ඉස්සරහට එන්න වෙයි නේ … එදාට තමා ඔයා මගෙන් ලුණු ඇබුලුත් එක්ක අහගන්නේ ….
***********
‘ සදූ ඔය පනාව දෙනවා මට …’ සදූ කොන්ඩේ පීර පීර හිටිය පනාව ඇදලා ගන්න මට එයාගෙන් අවසරයක් ඕනේ උනේ නැහැ ..
‘මම පීරලා ඉවරත් නැහැ ඔයා පනාව උදුරාගත්තා … මොනවද හලෝ මේ …..’ සදූ සුපුරුදු පරිදි නහයෙන් අඩාගෙන අම්මා හොයාගෙන යද්දී මම ඇහුනේ නැති ගානට ලස්සනට කොන්ඩ කරල් දෙක ගොතාගෙන පනාව ඇද උඩට විසි කරලා දැම්මා …
‘ හිරූ කෝ මේ සදූට පනාව දෙන්න …’ සදූ අම්මාගේ අතේ එල්ලිලා කාමරේට ආවේ ඇස් වල කදුළු පුරෝගෙනමයි …
‘සදූ තොත්ත බබා …ඔන්න මම ඇද උඩ දැම්මා පනාව ..එතැනින් අහුලාගන්නවා ..’
‘කෝ මෙතැන ඇති පනාවක් නැහැනේ .. ‘ සදූ ඇද පුරාම පනාව හොයන ගමන් අඩනවා …
‘එහෙනම් ඉරටු මිටියක් අරගෙන කොන්ඩේ පිරගන්නවා …’ මම දිවත් ඇද කරලා කාමරෙන් එළියට දිව්වේ අම්මාගෙන් එකක් කන්න වෙයි කියලා හිතුන නිසා …
‘අම්මා මම යනවා ..’ මම මිදුලට බැහැලා එහෙම කියාගෙනම ගේට් එක ලගට දුවද්දීම ඈතින් ස්කුල් බස් එක එනවා … පාරට දුවගෙන ගිහින් මම අත දැම්මාම ඉස්සරහාට යන්න ගිය බස් එක බ්‍රාස් ගාලා එතැන නැවැත්තුවා …. වෙනදා වගේම අදත් බස් එක ඇතුලේ සෙනග පිරිලා උනත් යාන්තම් ෆුට් බෝර්ඩ් එකට නැගලා මම ඔළුව ඉස්සුවා …එයා අද නැහැ වගේ ….මට එහෙම තමයි හිතුනේ …
‘ටිකට් ගන්න ….. කෝ ඔය ළමයා ටිකට් ගන්න …’ කොන්දා ෆුට් බෝර්ඩ් එකේ හිටිය මගේ දිහා බලාගෙන උගුර යටින් බෙරිහන් දෙනවා …හිටිය විදිහට බෑග් එකට අත දාන්නත් බැහැ …. අල්ලාගෙන හිටිය යකඩ කණුව අත ඇරියොත් නතර වෙන්න වෙන්නේ බිම වැටිලා ….
‘අංකල් එයාට ටිකට් එකක් දෙන්න …’
ඉස්සරලා මම දැක්කේ රුපියල් සියේ කොළේ ….. කව්ද මේ මං වෙනුවෙන් ටිකට් ගන්න ඉදිරිපත් උන පින්වතා … මම ඔළුව උස්සලා බැලුවා …. කොන්දාට රුපියල් සීයක් දික්කරගෙන හිටියේ දිනිත …මෙයා කොහෙන්ද මතු උනේ ….. මොකද මේ කවදාවත් නැතිව මෙයා මට අනුකම්පා කරන්නේ …
කොන්දා ටිකට් එක දීලා ගියාට පස්සේ එයා මගේ බැල්ම ගණන් ගන්නේ නැතිවම අහක බලාගත්තා … මේ තරම් නපුරු කමක් ….
‘කසුන් අද කාලේ සමහර ගැහණු ළමයි හිතන්නේ පිරිමි වගේ ෆුට් බෝර්ඩ් වල යන එක වීරකමක් කියලා ….කවදා හරි ඔය වීරකම් නැති වෙලා යන්නේ ….ෆුට් බෝර්ඩ් එකෙන් වැටිලා කොන්ද කඩා ගත්ත දවසට ..එතකොට ඉතින් ඉන්න පුළුවන් නේ අබ්බගාතයෙක් වගේ … ‘’
දිනිත එයාගේ යාළුවො එක්ක මගේ වැරදි කියනවා මට නෙවෙයි වගේ ….. ඔයා නම් හින්ට් ගහන්න දන්නෙම නැහැ අයියේ ….
ලැජ්ජාව හින්දම මම අමාරුවෙන් උනත් බස් එක ඇතුලට නැගගත්තා ..
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *