19
~~~සමනල වසන්තය~~~
19 කොටස
ගොඩක් දුර බයිසිකල් එක පැදගෙන ගිහින් අන්තිමේට හැරිලා බලද්දී මම නුගේගොඩ ටවුන් එක කිට්ටුවටම ගිහින් … අම්මා බයවෙලා ඇති කියලා මට මතක් උනේ ඒ වේලාවේ තමා .. බයිසිකල් එක හරවාගෙන මම ආපහු ගෙදර එන්න ලෑල්ලට පෑගුවා ..
‘නංගි ඉස්සරහා වලක් තියෙනවා ….’
පාරේ හිටිය කොල්ලෙක් එහෙම කියුවත් බ්‍රේක් කරගන්න බැරිව මම බයිසිකලෙත් එක්කම වළට වැටුනා …ඉස්සරලා දවසේ වැස්ස නිසා වලේ පිරිලා තිබ්බ මඩ වතුර ඔක්කොම මගේ ඇගේ ….. ටික වේලාවක් යනකන් වෙච්ච දේ හරියටම මට තේරුම් ගන්න බැරිවුනා …
‘මොකද හිරූ උනේ ..’
මගේ ඉස්සරහට දුවගෙන ආපු කෙනා වෙන කවුරුත් නෙවෙයි දිනිත …. එයාගේ සපත්තු දෙක දිහා මම ටික වේලාවක් යනකන් බලාගෙන හිටියේ ඔළුව උස්සලා බලන්න බැරි තරම් ලැජ්ජාවක් හිතට ආපු නිසා …මට මොකක් හරි අලකලංචියක් වෙද්දී දිනිත මගේ ඉස්සරහාට එනවා ….එයාට ඉවක් තියෙනවාද දන්නේ නැහැ මට මොනා හරි වෙද්දී ඉස්සරහට එන්න ..
‘අද දවසම මෙතන වැටිලා ඉන්නද කල්පනාව … තව ටිකක් ඔහොම වැටිලා හිටියොත් අර මිනිස්සු ඇවිත් ඔයාව උස්සලා පැත්තකට විසිකරලා දායි ’
දිනිත එහෙම කියුවේ ඇයි කියලා මට තේරුනේ පාර දෙපැත්තේ වාහන එක දිගට හෝන් කරනවා ඇහුනාමයි ….. මම වළේ වැටිලා නිසා වාහන වලට කිසිම පැත්තකට යන්න විදිහක් නැහැ …. මට නැගිටින්න ඕන උනත් තනියම නැගිටින්න බැහැ බයිසිකල් එක කකුල උඩට වැටිලා කකුල කැඩිලා වගේ රිදෙනවා ..
‘මට බෑ …’ මම ලැජ්ජාවෙන් උනත් දිනිතගේ මුහුණ දිහා බැලුවේ අනේ මාව නැගිට්ටවන්න කියලා කියන්න බැරි උනත් එයා මට නැගිටින්න උදව් කරයි කියන සිතුවිල්ලෙන් …. මගේ හැගීම් තේරුම් අරන් වගේ එයා බයිසිකල් එක අයින් කරලා මගේ උරහිස් දෙකෙන් අල්ලාගෙන ඉස්සුවා …
‘ඌයීයි ….ඔයා මට රිද්දුවා ….’ මම එහෙම කියලා කෙදිරි ගාද්දී දිනිත මොකුත් කියන්නේ නැතිව මාව පාර අයිනට එක්ක ගියා …
මලක් වගේ කෙල්ලක් අල්ලන්න ඕන විදිහවත් දන්නේ නැහැනේ මේ මනුස්සයා උරහිසෙන් අල්ලලා මාව ඉස්සුවේ තරහා කාරයෙක් වගේ ….
‘ඇයි තමුසේ මලක්ද රිදෙන්නේ නැතිවෙන්න අල්ලන්න …’ බුම්මගෙන ඉන්න මගේ දිහා බලලා එයා කිසිම ගානකට නැතිව එහෙම කියනවා ….වෙන වෙලාවක නම් මම එයාට ලෙක්චර් එකක් දෙනවා ඒ ගැන … ඒ උනත් වෙලාවේ හැටියට මෙයා තරහා කරගෙන බැහැනේ …
‘ඔයා නම් නපුරෙක් අයියා … ‘’ මම එහෙම කියලා කෙදිරි ගාන ගමන් බයිසිකලේ දිහා බැලුවා … බයිසිකලේට මොකුත් වෙලා නැහැ .. මට විතරයි විනේ වෙලා තියෙන්නේ
‘ඔන්න තමුන්ගේ දණහිස් දෙකේ ලෙලි ගිහින් ….’ දිනිත එහෙම කිව්වාම තමා මගේ දණහිස් තුවාල වෙලා කියලා මම දැක්කේ …
‘අනේ මට බයයි අයියා …. අම්මා මට බනිවි ….’ මට අම්මා බනින විදිහ මැවී මැවී පේනවා …
‘තමන් දැනගන්න එපාය අම්මලාගෙන් බැනුම් අහන්නේ නැති විදිහට වැඩ කරන්න … ඔතැනම ඉන්නවා මම ප්ලාස්ටර් දෙකක් අරන් එන්නම් ’ දිනිත මාව එතන තියලා ලග තිබ්බ කඩේකට දුවගෙන ගියා …
විනාඩි දෙක තුනකට පස්සේ දිනිත මගේ ලගට් ආවේ ප්ලාස්ටර් දෙකකුත් අරගෙනමයි ….. එයා මම ගැන හිතන්නේ නැත්තම් මේ තරම් මට උදව් කරන්නේ ඇයි … එයා මං ගැන හිතනවා ඇති …මට ආදරේ කරනවාත් ඇති …..
‘මෙන්න මේ ප්ලාස්ටර් දෙක අලවාගන්න …. ’
මම අමාරුව පිටම කොන්ද නවලා ප්ලාස්ටර් එක අලවා ගත්තා කිසිම දෙයක් කියන්නේ නැතිව ….. මොකද මෙයා ප්ලාස්ටර් එක අලවන්න උදව් කරයි කියලාද
‘දැන් කොහොමද ඔයා ඔහොම යන්නේ …. බයිසිකල් එකේ නම් යන්න එපා ..මම ඔයාව ගිහින් දාන්නම් ..’ දිනිත එහෙම කිව්වේ අණකරනවා වගේ …
‘එතකොට මගේ බයිසිකල් එක ..’
‘බයවෙන්න එපා …මම ඔයාලාගේ ගෙදර ගාවටම බයිසිකල් එක එවන්නම් ….’ එහෙම කියලා දිනිත පාරේ ආව ත්‍රිවිල් එකකට අත දැම්මා …
‘නගින්න …’ එයා මම නගිනකන් බලාගෙන හිටියත් මම හෙල්ලෙන්නෙවත් නැතිව එතැන හිටගෙන හිටියා …
‘මම කවදාවත් ත්‍රිවිල් වල තනියම ගිහින් නෑ ..’ මම මුරණ්ඩු විදිහට එහෙම කියද්දී එයා මගේ අතින් අල්ලලා ත්‍රිවිල් එකට නැග්ගුවා …..
‘මාත් එනවා බය වෙන්න එපා …’ දිනිතගේ සුවද මට ගොඩක් ලගින් තමා දැනුනේ … මම ඇස් කොනින් දිනිත දිහා බලද්දී එයා මගේ ලගින්ම වාඩිවෙලා ඉස්සරහා බලාගෙන ඉන්නවා …
මට දිනිත එක්ක කතාකරන්න ඕන උනත් මගේ හිත ඇතුලේ තිබ්බ හැම හැගීමක්ම ව්‍යාකුල වෙලා කියන්න ඕන මොනවාද කියලා මට අමතක වෙලා ගියා ..
‘පහු ගිය දවස් ටිකේ හිරූ ස්කුල් ගියේ නැත්තේ මොකද ..’ ත්‍රිවිලර් එකෙන් බහින්න ඔන්න මෙන්න තියෙද්දී දිනිත එක පාරටම එහෙම ඇහුවාම මම ගැස්සිලා එයා දිහා බැලුවා … දිනිත උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා .. ඒ කියන්නේ මේ දවස් ටිකේ මම නැති එක එයාට දැනිලාද
‘උණ හැදිලා හිටියා අයියා … ‘’ මම අමාරුවෙන් එහෙම කිව්වාම එයා පුදුම වෙලා වගේ තමා මගේ දිහා බැලුවේ
‘ උණ හැදිලා හිටිය මනුස්සයා … පිස්සුද මේ බයිසිකල් පදින්න තියාගත්තේ .. ’ දිනිතගේ කටහඩේ තිබ්බේ අමනාපයක් ….
‘දැන් මට හොදයි නේ …’ මම හෙමින් එහෙම කියන ගමන් එයාගේ මුහුණ බැලුවා ….මගේ දිහා බලාගෙන හිටිය දිනිතගේ ඇස් වලට මගේ ඇස් දෙක යාවෙලා මොහොතක් තියන්න ඇති ….. අපි දෙන්නා ටික වෙලාවකට ගොළු වෙලා හිටියේ ….
‘මහත්තයා මෙතැන නේද තැන …’ ඩ්‍රයිවර් අපේ ගේට් එක ඉස්සරහා ත්‍රිවිල් එක නවත්තලා අපි දෙන්නාට කතා කරනකන්ම අපි මුහුණට මුහුණ බලාගෙන ගොළුවෙලා හිටියේ
‘මම යනවා අයියා ….තෑන්ක් යූ ..’ ත්‍රිවිල් එකෙන් බැහැලා දිනිත අයියාට ස්තුති කරන ගමන් මම ගෙදර දිහා බැලුවා අම්මා මිදුලට වෙලා මම එනකන් බලාගෙන ඉන්නවා …දැන් ඉතින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම කෙළවරක් නැතිවෙයි ….
‘දැන් ගිහින් එක තැනකට වෙලා ඉන්නවා දගලන්නේ නැතිව …. ‘’ දිනිත අයියා යන පාටක් නැහැ මට උපදෙස් දෙනවා ..එයාව මෙතන දාලා ගේට් එකෙන් ඇතුලට යන්නත් බැහැ . …. අම්මා මාව දැකලා ගේට් එක පැත්තට එනවා දැක්කාම මගේ කකුල් දෙක ගිටාර් ගහන්න ගත්තා ..
‘හිරූ කොහෙද ඔයා ගියේ …’ අම්මා කතා කරන්නේ නම් හොද මුඩ් එකෙන් නෙවෙයි ….. එයාට හොදටම තරහා ගිහිල්ලා කියලා මුහුණ බැලුවාම පේනවා ….
‘අම්මා මම …මේ ..මේ …’ අම්මා මගේ කට දිහා බලන අතේ පාරේ ත්‍රිවිල් එක ලග හිටගෙන ඉන්න දිනිත දිහාවත් බලනවා …
‘මේ ළමයා කව්ද … ‘’ අම්මා මගේ උත්තරේ අහන එක පැත්තක තියලා …දිනිත අයියා දිහා බැලුවා ..
‘මේ මගේ යාළුවෙක් ….මම බයිසිකල් එක පැදගෙන යද්දී වැටුනා ..වෙලාවට මේ අයියා එතැන හිටියේ .’ මම වෙච්ච දේවල් ඔක්කොම අම්මාට කිව්වේ දිනිත අයියා ගැන අම්මාගේ හිතේ පැහැදීමක් ඇතිවෙන විදිහටයි …
‘බොහොම ස්තුතියි පුතා …හිරූ හරිම මුරණ්ඩු ළමයෙක් …මම කිව්වා එක තැනකට වෙලා ඉන්න කියලා …මම කුස්සියට ගිය පමාවට එළියට පැනලා … ‘’ අම්මා දිනිත අයියා අතින් මගේ වැරදි කියනවා … එයා මන් ගැන මොනවා හිතයිද මන්දා ….. දිනිත අයියා උනහපුළුවෙක් වගේ හරි අහිංසක විදිහට අම්මා දිහා බලාගෙන ඉන්නේ …අපේ අම්මාටත් මේ ටිකට දිනිතව හිතට අල්ලලා වගේ මගේ වැරදි ටික ඔකොම කියෝනවා
‘පුතා එන්න තේ එකක් බිලා යන්න …. ‘’ කතාව ඉවර කරලා අම්මා දිනිත අයියාට තේ බොන්නත් ඉන්වයිට් කරනවා …..
‘වෙන වෙලාවක තේ බොන්න එන්නම් ආන්ටි ….මට දැන් ක්ලාස් එකක් තියෙනවා ….මම එහෙනම් ගිහින් එන්නම් …හිරූ ඔයාගේ බයිසිකල් එක හවසට ලැබෙන්න සලස්වන්නම් …’ දිනිත හරි සංවර විදිහට එහෙම කියලා ත්‍රිවිල් එකේ නැගලා යන්න ගියා
‘හරි හොද ළමයෙක් …බලන්නකෝ කොච්චර සිරියාවන්තද ….’ අම්මාගේ හිතට දිනිතව හොදටම අල්ලලා ගිහින් වගේ …. ලේසියෙන් අම්මාගේ හිතට පිරිමි ළමයෙක් ගැන හොදක් හිතෙන්නේ නැහැ …හම්බවෙලා පලවෙනි දවසෙම දිනිත අයියා ගැන අම්මාගේ හිතට දැනෙන සිතුවිලි ගැන නම් මගේ හිතට සතුටක් දැනුනේ …
මතු සම්බන්ධයි