20
~~~~සමනල වසන්තය~~~~
20 කොටස
ත්‍රිවිල් එක ඈත වංගුව පහුකරලා පේන්නේ නැති වෙනකන්ම මම ගේට් එක ලගට වේලා බලාගෙන හිටියා ….
‘හරි හොද ළමයෙක් වගේ ..’ අම්මා ආයෙම සැරයක් එහෙම කියුවා
‘මොන හොදක්ද පේන්නේ නැද්ද උණ හපුළුවෙක් වගේ …. ඔහොම හිටියාට මහා නපුරෙක් එයා ..’ අම්මාගේ කරේ එල්ලෙන ගමන් මම එහෙම කිව්වේ දිනිත ගැන මගේ හිතේ කිසි පැහැදීමක් නැහැ කියලා පෙන්නන්න ඕන උන නිසා … බැරි වේලාවත් මම දිනිත ගැන හොදක් කියුවොත් අම්මා අපිව බන්දලා දීලා අපේ ළමයින්ගේ උප්පැන්නත් හිතින් හදයි ….
‘අනේ අනේ මෙච්චර උදව් කරපු ළමයාට කතා කරන හැටි …. ඔයා නම් හිරු පුදුමාකාර ළමයෙක් තමා ….. ආ දැන් කියනවා කොහෙද ගියේ කියලා ..කොල්ලා වගේ බයිසිකලේ නැගලා ..බලනවා උණ හොදවුනා විතරයි …රස්තියාදු ගහන්න තියාගත්තා … ’ අම්මා තරවටු කරන ගමන් මගේ කනක් අල්ලලා තදට මිරිකුවා
‘ඌයියි …රිදුනා අනේ …’
‘ රිදෙන්න තමා මිරිකුවේ … මම වතුර උණු කරා දැන් ගිහින් ඔය ඇදුම් ගලවලා ඇග හොදා ගන්න ..බලන්න ඊරියක් වගේ මඩ නාගෙන කැතේ බෑ …’ අම්මා මාව පැත්තකට තල්ලු කරලා කුස්සිය පැත්තට යද්දී මම ඇග හොදන්න බාත්රූම් එකට ගියා .. වතුර වැටෙද්දී හිරුණු තැන්වලින් එන දැවිල්ල ඉවසගෙන මම ඇගපත සොදාගත්තා …. කුම්බලා මාළු කෑවා නම් විදවපන් බලලෝ කියනවා නේ ….
නා කියාගෙන ඇවිත් මම මේසේ තිබ්බ පොත් පිළිවෙලට අහුරන්න ගත්තා .. හෙට ඉස්කෝලේ යන්නත් එපැයි ….මගේ පොත් අස්සේ තිබ්බ සදුගේ පොතක් දැකලා මම ඒක අරන් පැත්තක තියන්න ලැහැස්ති වෙද්දී ඒක ඇතුලේ තිබිලා කොළයක් බිම වැටුනා … රෝස පාට ලස්සන කොලයක් හතරට පහට නවලා …මේ මොකක්ද …. හිතේ තිබ්බ සැකේට මම කොළේ දිග ඇරලා බැලුවා …. කොළේ පුරාවට සදූගේ අකුරු වලින් ලියපු නිසදැස් … නමක් ගමක් නැති උනත් ලියලා තිබ්බ ස්ටයිල් එකට මේක කොල්ලෙක්ට ලියපු එකක් …
එකම වරක් ඔබ දැක ගන්න – එන්න මගේ පණ වරක්
ඔබෙන් තොරව තව දිනක් -ගෙවන්න බැහැ මට තවත්
අපේ සදූ ආදරේ හින්දා කිවිදියක් වෙලාද … මයි ගෝඩ් …. මේ සදුගේ හිත ගත්ත කොල්ලා කව්ද කියලා හොයාගන්නම වෙනවා …බැරි වේලාවත් සදූ නරක කොල්ලෙක්ට අහුවෙලා නම් ..බැහැ බැහැ කොහොමත් එහෙම වෙන්න නම් ඉඩ දෙන්න බෑ …. මට ඉක්මනට මේ ගැන හොයලා බලන්න වෙනවා
‘අම්මා මමත් සදූගේ ක්ලාස් එකට යනවා ලබන සතියේ ඉදලා ..’ රෑ කෑම මේසේදි මම එහෙම කියද්දී සදූ ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටියේ වෙන්න බැරි දෙයක් වෙන්න යනවා වගේ ..
‘සදූ අද උදේ ඉර පෑව්වේ කොහෙන්ද දන්නේ නැහැනේ ..’ අම්මාටත් පුදුම ඇති මගේ හදිසි තීරණය ගැන ..මොකද හිරූ කියන්නේ එලෙව්වත් ක්ලාස් වල ගිහින් චාටර් වෙන්න කැමති නැති කෙල්ලක්නේ …
‘ඒක තමා අම්මා මාත් හිතුවේ ..’
‘ඇයි අනේ ඔයාලා එහෙම කියන්නේ ..’
‘නැහැ හිරූට ක්ලාස් යනවා කියන එක වහ කදුරු වගේ තිත්තයි නේ ..’
‘ඒක නම් එහෙම තමා …ඒ උනත් ඉතින් දැන් ක්ලාස් නොයා බැහැනේ … මට කරන්න ලොකු වැඩක් තියෙනවා ’ මම එහෙම කියන ගමන් හොරාට සදූ දිහා බැලුවා … කෙල්ල බත් එක දිහා බලාගෙන ඒ විනාඩියට බර කල්පනාවක … එයාට හිතෙනවා ඇති මම වාතයක් වෙන්න යන්නේ කියලා …
‘මොකක්ද අප්පේ ඒ …වැඩේ … ඔයා ඉගෙන ගන්න නෙවෙයිද ක්ලාස් යන්න හදන්නේ ..’ අම්මා මගේ දිහා බලාගෙන හිටියේ හිරූ ඒ පාර මොකක්ද කරන්න යන වැඩේ කියලා අහන්න වගේ
‘ඉගෙන ගන්න එක තමා අම්මාඅ ඒ ලොකු වැඩේ ..’ මම බොරුවක් කියුවේ … සදූට මං ගැන සැකයක් හිතෙයි කියලා ….එහෙම උනොත් එයාගේ හොරෙ මට අල්ලා ගන්න වෙන්නේ නැහැනේ
*******
‘ සදූ කෝ හලෝ මගේ නයි පැටියා ..’ පහුවදා උදේ ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙලා මම කාමරේ පිස්සාගේ පලා මල්ල වගේ ඇවිස්සුවා …
‘මම දැක්ක නයෙක් නැහැ ….බලනවා සමහර විට අර වත්ත පහළ තුබසට ගිහින්ද දන්නේ නැහැ …’ සදූ එහෙම කියන ගමන් කට කොනකින් කින්ඩියට වගේ හිනාවුනා .. ඔය වේලාවට තමා හිතෙන්නේ විනාඩියකට හරි මෙයා මගේ අක්කා කියලා හිතන්නේ නැතිව හොම්බට දෙකක් අනින්න .. ..
‘මම දන්නවා නේ තමුසේ බය නිසා ඒක විසික්කන්න ඇති ..’
‘ඈයියා …මට ඔය ජරාව අල්ලන්න ඕන නැහැ …තමුසේ දැම්ම අහකින් හොයාගන්නවා ..’
‘තමුසේ කියනකන් හිටියේ මම හොයාගන්න …’ අපි දෙන්නා එකෙකුට එකෙක් පරදින්නේ නැතිවෙන්න තමා කෑ ගැහුවේ …මේ ලගකදී ඉදලා අපේ සදු මට පාර්ට් දාගෙන එනවා …
‘මොකද අක්කා නගෝ අද උදෙන්ම පටන්ගත්තේ …. ‘’ අම්මාට අපි දෙන්නාගේ ගෝරනාඩුව ඇහිලා වෙන්න ඕන කඩාගෙන බිදගෙන කාමරේ ඇතුලට ආවේ …
‘මන්දා අම්මා මෙන්න මෙයා මේ නැති උන නයෙක් අල්ලාගෙන මාව කන්න හදනවා ..’ මම කතා කරන්න කලින් සදූ කට ඇරියේ අඩන්න මුහුණ හදාගෙනමයි
‘ඇත්තද හිරු සදු කියන්නේ …’
‘මෙයා මගේ අළුත්ම නයි පැටියා විසික්කරලා අම්මා …ඕක මම ගත්තේ ගිය සතියේ ..’
‘මොනවද හිරූ මේ පොඩි එකෙක් වගේ ප්ලාස්ට්ක් කෑලි එකතු කරන්නේ …ඔයා දැන් ලොකු ගැහැණු ළමයෙක් නේද … පෙරේදා කාමරේ අතු ගාද්දී ඔයාගේ ඇද අස්සේ තිබිලා ප්ලාස්ටික් කෑලි ටික මම ස්ටෝරුවට ගිහින් දැම්මා .. ‘’
අම්මා කලකිරීමෙන් වගේ එහෙම කියද්දී හොරෙන් හොරෙන් මගේ දිහා බලපු සදූ පිටට පනින්න ආව හිනාව කට අස්සෙම හිර කරගත්තා …
‘පස්සේ අල්ලා ගන්නම්කෝ ..’ සදුගේ ඇගේ හයියෙන් හැප්පිලා මම ස්ටෝර් රූම් එකට දිව්වා …
පුංචි කාලේ ඉදලා අද වෙනකන් අපිට සෙල්ලම් කරන්න හිටිය හැම සෙල්ලම් බඩුවක්ම අම්මා පිළිවෙලට ස්ටෝරු කාමරේ අහුරලා තිබ්බා … සෙල්ලම් බඩු අස්සේ දාලා තිබ්බ මගේ ප්ලාස්ටික් නයි පැටියාවත් අරන් මම ස්ටෝරුවෙන් එළියට බැස්සා ….
‘මොකද අරයා උදේම නයි පැටියෙක් හොයන්නේ ..’ අම්මා සදුගෙන් මොන මොනවදෝ අහනවා
‘කාටහරි අංචියක් අදින්න වෙන්න ඇති අම්මා ..අද නම් පංතියේ වසලා හමාරයි …අනේ අම්මා මේ හිරූට ටිකක් සංවරව ඉන්න කියන්නකෝ …’
අපෝ කේලමි …අම්මාගේ කනේ තියනවා හැම මගුලක්ම … කරුමේ කියන්නේ මෙයත් වැටුනා නේ මගේ පංතියටම …. ඉන්නවකෝ කේලම් කියනවාට හොද පාඩමක් උගන්වන්නම් … හෙමින් හෙමින් සදූයි අම්මයි කතාකර කර හිටිය තැනට ගිහින් එකපාරමට මම සදුගේ ඇගට ප්ලාස්ටික් නයාව දැම්මා …
‘අම්මේ මෙන්න මොකෙක්ද මගේ ඇගට වැටුනෝ …..’ සදූ කෑ ගහන ගමන්ම දුවලා නැවතුනේ ඇද උඩටත් නැගලා …
‘හූ … ඇද්ද බය ගුල්ලි ..’ ටක් ගාලා පැනලා ප්ලාස්ටික් නයාව අතට ගත්ත මම බෑග් එකත් අරන් ටක් ගාලා කාමරෙන් එළියට පැන්නේ අම්මාගෙන් පාරක් කන්න වෙයි කියලා හිතුන නිසා ..
‘ඉන්නවකෝ මම ඔයාව අල්ලාගන්නම් ගෙදර ආවාම …’ අම්මා එහෙම කියද්දී මම ගෙදරින් එළියට පැනලත් ඉවරයි …
බස් එක එන්න විනාඩි පහක්වත් නැහැ …මම ප්ලාස්ටික් නයාව ගවුම් සාක්කුවේ දාගෙන බස් හෝල්ට් එක ලගට දුවලා හිටගෙන පාරට ඔළුව දැම්මා …..දිනිත දකින්න තියෙන උවමනාව නිසා හිත මහා හයියෙන් ගැහෙනවා …. බස් එක මගේ ලග නවත්වද්දී මගේ හිතේ ගැස්ම වැඩිවුණේ ඊයේ උන සිද්දිය මතක් වෙලා ..
අමාරුවෙන් අමාරුවෙන් ෆුට් බෝර්ඩ් එකෙන් ඇතුළට රිංගලා මම බස් එක පුරාම බැලුවේ දිනිත ඉන්නවද කියලයි ..සෝ සෑඩ් බේයිබේ කොල්ලා පේන මානෙක නැහැ ….
‘නංගි කාවද ඔච්චර ඉස්සි ඉස්සි හොයන්නේ ..’ මට පිටිපස්සේ ඉදලා කව්රු හරි එහෙම අහලා හයියෙන් හිනාවුනා …මම රවලා ඔරවලා ඒ කොල්ලට ගස්සලා ශටර් එකෙන් එළිය බැලුවා ..දිනිත නැති එක ගැන මගේ හිතට ආවේ ලොකු ටෙන්ෂන් එකක් ….
‘අද එයා එන්නේ නැහැලු …’ ආයෙම සැරයක් එහෙම කියලා කොල්ලා බක බක ගාලා හිනාවෙනවා …මොන සමයමක්ද මූ … මගේ මතකේ හරි නම් මෙයා දිනිතගේ යාළුවෙක් …මෙයා කොහොමද දන්නේ නැහැ මම හොයන කෙනා කව්ද කියලා දන්නේ .. සමහර විට දිනිත මගේ ගැන මෙයාට කියලා වෙන්න ඕන
‘ඔයා මොනවාද ආ කියන්නේ …’ මගේ පිට්පස්සට වෙලා විකාර ගොඩක් කියවන කොල්ලා මට වදයක් වෙද්දී මම එකපාරටම හැරිලා එහෙම ඇහුවා …
‘කියුවේ අද ඉර පායන්නේ නැහැ කියලා නේ ..’
‘මල සමයං…’
මම ගස්සලා පද්දලා ඉස්සරහට හැරුනා විතරයි ගැහුවේ ඩ්‍රයිවර් අංකල් බ්‍රේක් එකක් ගැහුවා … ඉස්සරහට විසි වෙලා වැටෙන්න ගිහින් මම අනු නවයයි දශම නවයයි නවයෙන් බේරිලා හොද හුස්මක් අරගත්තා …මෙන්න බොලේ එක පාරම බස් එකේ හිටිය ස්කුල් ළමයි ටික කෑ ගහනවා බස් එක දෙක වෙන්න …
‘මෙන්න සර්පයෙක් බස් එකේ .. ‘’ කෙල්ලෝ ටික ෂිට් වල නැග ගද්දි කොල්ලෝ බස් එක පුරාම දුවනවා
‘කොහොමද මේ බස් එකට සර්පයෙක් ආවේ …’
‘ කව්ද දන්නේ’ හැමෝම එක එක කතා කියද්දී තමා මට මතක් උනේ මේ මම ගෙනාපු ප්ලාස්ටික් නයා කියලා … ඕක දැන් කියුවොත් හැමෝම එකතුවෙලා මට බනිනවා ……සද්ද නැතිව ඉන්න එක තමා සුදුසුම දේ ..
‘හැමෝම ඉන්න තැන්වල ඔහොමම ඉන්න …. මම බලන්නම් ..’ කොන්දා ඉස්සරහට ආවේ හීරෝ කෙනෙක් වගේ …. හෙමින් හෙමින් ප්ලාස්ටික් නයාට ලංවුන කොන්දා බඩ අල්ලාගෙන හිනාවෙන්න ගත්තා ..
‘මොකද බන් හිනාවෙන්නේ … ‘
‘මේ සර්පයෙක්යෑ ..ප්ලාස්ටික් කෑල්ලක් නේ …’ හිනාව අමාරුවෙන් නවත්තාගෙන කොන්දා ප්ලාස්ටික් නයාව ඇගිලි දෙකකින් එල්ලා ගද්දි ෂිට් උඩ නැගලා හිටිය කෙල්ලෝ ටික බිමට බැස්සේ ලැජ්ජාවෙන් මුහුණු රතු කරගෙනමයි …
‘කව්ද මේ ගොන් ජෝක් කරලා ෆන් ගන්න ඩයල් එක ..’
‘ඕකා අහුවුනා නම් මම … කරනවා හොද වැඩක් …’ කට්ටිය හීන මවනවා ප්ලාස්ටික් නයාගේ අයිතිකාරයා හොයන්න ඒවා නම් ඉතින් හදේ තමා …. මම හිතින් හිනාවෙන ගමන් ඉස්සරහා බැලුවා …
දිනිත අද නැත්තේ මොකද කියන එක මගේ හිත හොදටම අප්සෙට් කරලා තිබුනත් මම වැඩිය ඒ ගැන නොහිතා ඉන්න ට්‍රයි කළා …. මොකද හිතන්න හිතන්න මට එයාව වැඩි වැඩියෙන් මතක් වෙන්න පටන් අරන් තිබ්බ නිසා ….
මතු සම්බන්ධයි