25
~~~සමනළ වසන්තය ~~
25 කොටස
දිනිතව දකින්නේ නැතිව එයාගේ ස්කුල් එකෙන් යන්න උන එක හිතට දුකක් උනත් විවාද තරගෙන් දිනපු සතුට නිසා මගේ දුක යටවෙලා ගියා … ස්කුල් වෑන් එකෙන් නුගේගොඩ ටවුන් එකෙන් බැහැපු මම අපේ ගෙවල් පැත්තට යන ප්‍රයිවෙට් බස් එකකට නැග්ගේ අම්මාට මගේ දිනුම ගැන කියන්න තිබ්බ හදිස්සිය නිසාමයි …
ගෙදර ලගින් බැහැලා ගේට් එකෙන් ඇතුළට යද්දීම මම දැක්කේ ගෙදර ඉස්සරහා නවත්තලා තිබ්බ ජීප් එක …. අප්පච්චි එන්න ඇති ගෙදර …මගේ හිත ඇතුලේ සතුට ඩබල් ත්‍රිබල් වෙලා ගියා ඒ සිතුවිල්ලටම …. අප්පච්චී ලගදී එනවා කියලා අම්මා කිවුවත් අද එන බවක් මම දැනගෙන හිටියේ නැහැ …
මම හිතුවා හරි අප්පච්චි ඇවිත් ….සාලේ පුටුවකට බරවෙලා එයා අම්මයි හීන් නැන්දායි එක්ක බර කතාවක හිටියේ …. නිළ ඇදුම පිටින් හිටිය නිසා මම දැනගත්තා අප්පච්චි ඇවිත් ඉන්නේ පුළුවන් ඉක්මනට යන්න කියලා ..
‘අප්පච්චි ..මගේ අප්පච්චි.. ඔයා ආවාද . …. අපි අද ඩිබේට්ස් එකෙන් දින්නා ’ මම දුවගෙන ගිහින් අප්පච්චිගේ බෙල්ලේ එල්ලුනා …..
‘මගේ දුව දක්ෂයි නේ …. කවදාවත් ඔයා පැරදිලා නැහැ …පුංචි කාලේ ඉදන් සහභාගී උන හැම තරගයෙන්ම දින්නා …. සාරා බලන්න කවදා හරි මගේ නම බබලවන්නේ මගේ හිරූ කෙල්ල තමා ….’ අප්පච්චි ගොඩක් ආදරෙන් තමා ඒ ටික කිව්වේ …
‘හිරූ අප්පච්චි දැන් ආවේ අහකට වෙන්න අප්පච්චිට මහන්සියි නේ .. පස්සේ ඔය දේවල් කියන්න අප්පච්චි තව වේලා ඉන්නවානේ .’ එකපාරටම අප්පච්චිගේ ඇගට කඩාගෙන පැන්න මාව දැක්ක ගමන් අම්මා ඇවිත් මගේ අතකින් අහකට අදින්න ගත්තා
‘කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න සාරා ….ආයේ මට කවදා එන්න වෙයිද දන්නේ නැහැනේ ‘ අප්පච්චි මගේ දිහා ආදරෙන් බල්ලා ඔළුව අතගෑවේ අම්මාගේ විරුද්ධතාවය ගණන් ගන්නේ නැතිවමයි ..
‘ඇයි අප්පච්චි එහෙම කිව්වේ ඔයා අදම යනවාද .. ’ මම අප්පච්චි දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් මුහුණේ තියාගෙනමයි
‘ඔව් දූ …. මට ජැෆ්නා වලට ට්‍රාන්සර් එකක් හම්බවෙලා … අපේ බුද්ධි අංශ වලට තොරතුරු ලැබිලා තියෙනවා ලගදීම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලොකු මිෂන් එකක් කරන්න යනවා කියලා … මට ඉහලින් අණ ලැබිලා තියෙනවා ජැෆ්නා ගිහින් මේ පිළිබද තොරතුරු හොයලා මර්ධනය කරන්න කියලා … ඒ වගේ මිෂන් එකක් මට භාර දීලා තියෙන්නේ ලොකු විශ්වාශයකින් …. කවදා කොහොම මේක ඉවරවෙයිද දන්නේ නැහැ ….’ අප්පච්චී බරපතල විදිහට එහෙම කියද්දී අම්මයි හින් නැන්දායි දෙන්නාම ඇස් වල කදුළු පුරවා ගත්තා …
‘අනේ අප්පච්චි ඔයා යන්න එපා ….’ මොකක්දෝ බයකින් හිත පිරිලා ගිහින් මගේ ඇස් වලට කදුළු උනන්න ගත්තා
‘මම ඔයාලාට ආදරේ තමා ..ඒ වගේම රටටත් ආදරේ …. රට වෙනුවෙන් සේවය කරන්න හැමෝම මග ඇරියොත් කොහොමද රට ආරක්ෂා කරන්නේ …. බයවෙන්න එපා මගේ දූ ඔයාගේ අප්පච්චිට කිසිම කරදරයක් වෙන්නේ නැහැ …. ’ අප්පච්චි අභිමානවත් විදිහට එහෙම කියද්දී මම මොකුත් කියන්නේ නැතිව එයා කියන දේවල් අහගෙන හිටියා .. ….
‘මගේ අප්පච්චිට බුදු සරණයි ..’ මම එයාගේ කතාව අහගෙන ඉදලා එහෙම කිව්වේ එයාගේ පපුවට තුරුල් වෙන ගමන්මයි ….ඒ පිය සෙනෙහසට උණුසුමට මම ගොඩක් ආදරෙයි … අප්පච්චි අපේ ලග නොහිටියාට එයා නිවාඩුවට අවාම අපිට ඕනෑවටත් වඩා ආදරේ දුන්නා …
‘අම්මා කිව්වා ඔයා මේ ලගදි මර්ඩර් එකක් දැකලා බයවුනා කියලා …මම හොයලා බැලුවා එහෙම කිසිම දෙයක් වෙලා නැහැ …. බයවෙන්න එපා …මම කොහේ හිටියත් ඔයාලාට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ …බොරුවට ඒ ගැන හිතලා අම්මාට කරදර කරන්න එපා …සදූත් එක්ක රණ්ඩු වෙන්නත් යන්න එපා ..’ අප්පච්චි මගේ නළලට කිස් එකක් දීලා මට ගොඩක් දේවල් කියලා දුන්නා ….
‘හරි අප්පච්චි ඔයා එහෙම කියනවා නම් ඒක ඇත්ත වෙන්න ඇති ….’ මම අප්පච්චී දිහා බැලුවේ ලොකු විශ්වාසයකින් … ගරුත්වයකින් …..
ගොඩක් රෑ වෙනකන් අපිත් එක්ක ඉදලා අප්පච්චි රාජකාරියට යන්න ලැහැස්ති වෙද්දී අම්මා අඩාගෙන ගිහින් එයාට තුරුළු උනා …
‘නාඩා ඉන්න සාරා …ඔයා ඔය විදිහට අඩද්දී අර දරුවෝ කොහොමද ඉවසන්නේ …මම මැරෙන්න නෙවෙයි නේ යන්නේ .. බය වෙන්න එපා මම පුළුවන් උන හැටියේ ඔයයි දරුවෝ දෙන්නයි බලන්න එනවා ’
අප්පච්චි අම්මාව තුරුළු කරගෙන එහෙම කියද්දී සදුයි මායි ගිහින් එයාලා දෙන්නා දෙපැත්තෙන් තුරුළු උනා …… විනාඩි ගානක් යනකන් අපේ ඇස් වලින් ගලාගෙන ආපු කදුළු වැල් නැවතුනේ නැහැ …
‘තෙරුවන් සරණින් දෙවි රැකවරණින් මගේ මැණික පරිස්සමින් ආපහු එන්න …’ අම්මා අප්පච්චීට දක්වපු ආදරේ තමා ඒ …ඒ තරම් ආදරේ කරන දෙන්නෙක් මගේ ජීවිතේට දැකලා නැහැ …අප්පච්චි වෙනුවෙන් ගොඩක් දේවල් කැපකරපු අම්මා අප්පච්චි කොච්චර දුරක හිටියත් එයාට තිබ්බ ආදරේ දශමයකින්වත් අඩු කරේ නැහැ … ඒ වගේ ආදරයක් ලැබුන අප්පච්චි වාසනාවන්තයි ….
‘ඉස්සර යුද්දේ දවස් වල මම කොච්චර බයෙන්ද හිටියේ . ..එයා ඒ දවස් වල යාපනේ වැඩ කලේ …. මහා යුද්දේ ඒ දවස් වල ….ටීවී එකේ යුද්දේ ගැන නිව්ස් දෙද්දී මාව වෙව්ලනවා .. ඔයාලා දෙන්නවත් තුරුළු කරගෙන මම රෑ එලිවෙකනක් අඩනවා …. එයාට කරදරයක් නැහැ කියලා දැනගන්නකන් කොච්චර පිච්චි පිච්චිද මම හිටියේ ….. මේ පපුවේ තිබ්බ ගින්දර කවුරුවත් දන්නේ නැහැ …. යුද්දේ ඉවරවුනා කියලා දැනගත්ත දවසේ මම හිනාවුනා සතුටට මුළු ගමටම කැවුම් බෙද්දා මේ අත්දෙකෙන් හදලා ..ආයේ කාටවත් මගේ මහත්තයාව උදුරගන්න බැහැ කියලා මම හැමෝටම කෝල් කරලා කිව්වා …. ඒ දවස් වල දැනුන බය …ඒ ගින්දර මට දැන් ආයෙම දැනෙනවා … ‘’ අම්මා මහා හයියෙන් අඩද්දී සදුයි මායි අම්මාට හවුල් උනා
‘අපේ නෝනේ වගේම කි දාහක් අම්මලා අඩන්න ඇතිද …. අපේ මහත්තයා උතුම් මනුස්සයෙක් ඒ තරම් රටට ආදරේ කරන කෙනෙක් අම්මපා මේ නේත්‍රා දෙකට මම දැකලා නැහැ ..අපේ මහත්තයා ගියේ රට වෙනුවෙන් හිතලා …. කිසිම කරදරයක් වෙන්නේ නැහැ අපේ මහත්තයාට ..’ නුගත් ගැහැනියක් උන හීන් නැන්දාගේ ඒ කතාව ඇත්ත කියන එක අපි තුන් දෙනාටම තේරුනා
ඊට පස්සේ අම්මා කතා කරේ අප්පච්චි හම්බවුන හැටි ..එයාට ආදරේ කරපු විදිහ වගේ දේවල් ….ඒ තරම් සුන්දර ආදරයක් ලබන්න අම්මා ගොඩක් වාසනාවන්තයි කියලා මට තේරුනා …මටත් ඕන උනේ ඒ වගේ ආදරයක් … කවදා හරි මට ලැබෙන කෙනත් මගේ අප්පච්චි වගේම වෙනවා නම් කියලා තමා මට ඒ කතා අහද්දී හිතුනේ ….
***
ඊයේ පාන්දර වෙනකන් ඇහැරගෙන අප්පච්චි ගැන කියවා කියවා හිටිය නිසා ගෙදර කට්ටියටම හොදටම නින්ද ගිහින් කාගෙන්වත් ශබ්දයක් නැති නිසා මම යාන්තම් ඇස් ඇරලා ඔරලෝසුව දිහා බැලුවා වේලාව හයත් පහුවෙලා ….
‘සදු ඇහැරෙන්නේ නැද්ද ඉස්කෝලේ යන්න …’ සදුගේ බෙඩ් ෂිට් එක පැත්තකට ඇදලා දාන ගමන් එහෙම කියාගෙන මම බාත් රූම් එකට දිව්වා … මම මුහුණ හෝදාගෙන එනකන්වත් හීන් අම්මාවත් අම්මාවත් ඇහැරලා නැහැ … මම අම්මාගේ කාමරේට එබිලා බැලුවේ එයාව ඇහැරවන්න හිතාගෙන් … අප්පච්චිගේ රාමු කරපු ෆොටෝ එකකුත් පපුව උඩ තියාගෙන හොදටම නිදි …. අම්මාගේ ඇස්වල වෙළුනේ නැති කදුළු පාරවල් කිව්වේ එයා පාන්දර වෙනකන් ඇඩුවා කියන එකයි …. අම්මා ලගට හෙමින් ඇවිදගෙන ගිහින් මම අප්පච්චිගේ ෆොටෝ එක පැත්තක තියලා ….. එයාගේ කම්මුලට කිස් එකක් දුන්නා .. ඊට පස්සේ මම කාමරේට දුවගෙන ගියේ ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙන්න ඕන නිසා … සදු අද ඉස්කෝලේ යන පාටක් නැහැ …. මම එයාව ආපහු ඇහැරවන්න යන්නේ නැතිව ලැහැස්ති උනා ..
‘අම්මා මම යනවා …’ තාමත් නිදාගෙන ඉන්න අම්මා ලගට ගිහින් එයාට වදිද්දී තමා අම්මා ඇස් ඇරලා බැලුවේ
‘හිරු ඉස්කෝලේ යන්නත් ලැහැස්ති උනාද …. ඉන්න මම තේ එකක් හදලා දෙන්නම් …’ අම්ම ඔරලෝසුව දිහා බලලා කලබලෙන් වගේ ඇදෙන් නැගිට්ටා …
‘එපා අම්මා ..මට පරක්කු උනා මම යනවා ….’ තවත් මොහොතක් වත් පරක්කු වෙන්නේ නැතිව මම ගෙදරින් බැස්සේ අම්මාට එහෙම කියාගෙනමයි …
වේලාව හරියටම හයයි තිහයි ….දවස් ගානකට පස්සේ වෙනදා ස්කුල් බස් එක …. ෆුල් ලෝඩ් වෙලා නිසා සුපුරුදු විදිහට මම ෆුට් බෝර්ඩ් එකට නැගගත්තා …එකපාරටම කාගේදෝ අතක් ළමයිගේ අස්සෙන් රිංගලා ඇවිත් මගේ ඉස්සරා නැවතුනා … මම ඔළුව උස්සලා බැලුවේ කව්ද මේ කියලා …… බලද්දී බස් එක උඩ ඉදලා දිනිත මගේ දිහාවට අත දික්කරගෙන ඉන්නවා …
‘උඩට නගිනවා …’ එයා ටිකක් සැරෙන් වගේ කියද්දී මගේ හිත හෙල්ලිලා යනවා වගෙයි දැනුනේ …මම දෙපාරක් හිතන්නේ නැතිව එයාගේ අතින් අල්ලාගෙන බස් එක ඇතුලට නැගලා එයා ලගින්ම හිටගත්තා …ළමයි පිරිලා නිසා හෙලවෙන්නවත් ඉඩක් නැහැ … දිනිතගේ අත තාමත් මගේ අතේ …. එයාගේ නහයෙන් පිටවෙන උණුසුම් හුස්ම මගේ මුහුණේ වදිනවා …. හිතට එකපාරම ආපු ලැජ්ජාව නිසාම මම බිම බලාගත්තා …
‘මම කියලා තියෙනව නේ … ෆුට් බෝර්ඩ් එකේ යන්න එපා කියලා ..’ එයා ආයෙම එහෙම ඇහුවේ අර හඩින්මයි ….එයා එහෙම කියද්දී මට දැනුනේ එකපාරම මගේ හාර්ට් එක උණුවේලා ඇස් වලින් උතුරනවා වගේ …
‘හිරු මේ අඩනවාද ඔයා …’ දිනිත බයවුණේ එකපාරම මගේ ඇස් වලට කදුළු ආවාමයි ….
‘මම අඩන්නේ නැහැ කොහෙන්ද මන්දා මේ කදුළු ඇවිත් ..’ ඇත්තටම මට අඩන්න ඕන උනේ නැහැ … මමවත් දන්නේ නැතිව මගේ ඇස් වලට කදුළු ඇවිත් ….
‘පිස්සි …’ එයා කවදාවත් නැතිව මට ගොඩක් දයාබර වෙලා …මම ඔළුව උස්සලා ඒ මුහුණ දිහා බැලුවේ මොකක්ද මේ වෙනස කියලා දැනගන්න …
‘Congratulate … ඊයේ ඔයාට විශ් කරන්න බැරි උනානේ …මට ගොඩක් සතුටුයි ..ඔයා ලස්සන කතා කරා එදා …’
‘තෑන්ක්ස් අයියා ….මම ඔයාව හෙව්වා ඔයා හිටියේ නැහැ නේ ….’
‘මට වෙන වැඩකට යන්න උනා …. ඔයාලා යන්න ඉස්සර එන්න ඕන උනත් එන්න බැරි උනා ..සොරි .’
‘ කමක් නැහැ ඔයා එන්න හිටියා කියන එකත් මට සතුටක් දන්නවාද …’ මම එහෙම කියද්දී එයා හරි ලස්සනට හිනාවුනා …
ඊලග හෝල්ට් එකෙන් ළමයි ගොඩක් බැස්සට පස්සේ මම අඩියක් පස්සට ගියත් දිනිත එයාගේ අත අහකට ගත්තේ නැහැ …
‘අඩෝ අනුපයාගේ කෙල්ල එක්ක උබ ඔච්චර ලංවෙලා ඉන්නේ මොකද …’ කොහේදෝ හිටිය ළමයෙක් මුළු බස් එකටම ඇහෙන්න කෑ ගහද්දි ක දිනිත මුහුණත් එක්ක ඇද කරගෙන අත අහකට ඇදලා ගත්ත විදිහට මාව පස්සට විසිවෙලා ගියා
‘දිනිත අයියා … ‘’ මම වේදනාවෙන් එහෙම කිව්වේ ….. කවුරුත් දෙයක් කිව්ව ගමන් ඔහොම මගේ අතින් අත අරිනවා නම් අපි දෙන්නාට ශක්තිමත් සම්බන්ධයක් ගොඩ නගා ගන්න බැරි වෙන බව මම හොදටම දන්න නිසා …ඒ තරම් බාල සමබ්න්ධයක් මට ඕන නැහැ …මම එයාට ආදරේ කියලා දන්නවා නම් …එයා මාව විශ්වාස කරන්න ඕන ..විශ්වාසයක් නැති තැනක ආදරයක් නැහැ කියලා මම දන්නවා
‘මගෙන් ඈත්වෙලා ඉන්න …..හිරූ …ඔයා මට ලංවෙන්න උත්සහ කරන්න එපා ..’ එයා එහෙම කියද්දී මගේ හිත කෑලි කෑලි වලට කැඩිලා බිදිලා යනවා වගේයි මට දැනුනේ …
‘දිනිත අයියා ඔයා කිසිම හේතුවක් නැතිව එහෙම කිව්වේ ඇයි ….. මම කවදාවත් වෙන කෙනෙක් ගැන හිතලා නැහැ ..ආදරේ කරා …ඔව් මම ඔයාට ආදරේ කරා ..දැක්ක දවස වගේ මම ඔයාට ගොඩක් ආදරේ කරා ..දන්නවාද මම ජිවිතේ ආදරේ කරපු එකම පිරිමියා ඔයා විතරයි ….. මගේ හැම හුස්මකම ඔයාගේ නමයි ලියවිලා තිබ්බේ …විශ්වාස කරන්න මගේ ආදරේ ඇත්තක් …ඔයා අද මාව අවිශ්වාස කරා කියන්නේ අපි ආදරේ කලත් ඔයා මාව අවිශ්වාස කරා කියන එකයි .. ඒ නිසා අපි ඈත්වෙන එකයි හොදම දේ . …’ මගේ ශරීරයේ හැම නහරයක් පුරාම නලියන වේදනාව මගේ වචනවලින් පිටවෙද්දී දිනිත මගේ දිහා බලාගෙන හිටියේ බයවෙලා වගේ …
‘එතකොට මම මේ ඇස් වලින් දැක්ක දේවල් බොරුද හිරූ ….එතොකට ඒ කව්ද .’ එයා තාමත් මාව අවිශ්වාස කරනවා වගෙයි මට පෙනුනේ ….
‘ සදූ …ඒ මගේ අක්කා සදූ ….’ මම එහෙම කියද්දීම තමා නුගේගොඩ ටවුන් එකේ බස් එක නතරවුණේ …
‘හිරූ මට සමාවෙන්න හිරූ ….’ දිනිත එහෙම කියද්දී මම මොකුත්ම කියන්නේ නැතිව බස් එකෙන් බැස්සා …එයා දිහා කෙලින් බලාගෙන තවත් එක වචනයක්වත් කතා කරන්න බැහැ කියන හැගීම තමා මට දැනුනේ …. තවත් නම් මගේ ජිවිතේට ආදරේ ඕන නැහැ කියන එකයි මගේ හිතට තදින්ම දැනුනේ …
මතු සම්බන්ධයි