27
~~~සමනළ වසන්තය ~~~
27 කොටස
දිනිතගේ ආදරේ නිසා මම ගොඩක් සතුටින් හිටියේ … තමන් කුළුදුලේ ආදරේ කරපු කෙනාගේ ආදරේ හම්බවෙන්නේ කියෙන් කි දෙනාද ඒ අතින් මම ගොඩක් වාසනාවන්ත උනා …..
‘උබ කොහොම හරි ඌට කැමති උනා එහෙනම් …’ අපේ ආදරේ ගැන හා හා පුරා මම කිව්වේ පුජනීට .
‘ම්ම් …මම දිනිතව දැක්ක දවසේ ඉදලාම ගොඩක් ආදරේ කළා … මම ආදරේ කල කෙනා ගොඩක් ආදරේ අරන් මගේ ලගට ආවාම කොහොමද මම ඒ ආදරේ එපා කියන්නේ …’
‘හම්මේ මෙයාගේ මුහුණේ පෙම් පාට පිරිලා උතුරන්න යනවා …මගේ සුභ පැතුම් කෙල්ලේ ..’ පුජනී හදවතින්ම අපේ ආදරේට විශ් කළා …
‘ ආදරේ කළාට කමක් නැහැ …. හැබැයි ඉගෙනගන්න එක අතපසු කරන්න එපා .. ‘’ පුජනී විශ් කරන ගමන් එහෙම කියන්න අමතක කලේ නැහැ …. ආදරේ කළා කියලා ඉගෙන ගන්න එක අතපසු කරගන්න මම ඒ තරම් දුර්වල කෙල්ලක් නෙවෙයි …හැමදෙයක්ම සමබරව කරගෙන යන්න ශක්තියක් මගේ හිතේ තියෙනවා …
‘දිනිත අයියේ මම හිතුවා ඔයා අද එයි කියලා ….’ ඉස්කෝලේ ඇරිලා යද්දී මම එනකන් බලාගෙන හිටිය දිනිත අයියා ලගට ගිහින් මම එයාගේ අතක එල්ලුනේ පාර කියලා හිතන්නේ නැතිවමයි ..
‘අත ගන්න අහකට … කවුරු හරි දැක්කොත් හොද නැහැනේ …’ දිනිත ටක් ගාලා අත අහකට ගත්තාම මගේ හිතට ආවේ දුකක් …
‘ඇයි ලැජ්ජායිද මාත් එක්ක යන්න ..’ මම මුහුණ අහකට හරවා ගත්තේ මට දුක හිතුනා කියලා පේන්නත් එක්කමයි
‘ලැජ්ජාවක් නම් නැහැ .. ඒ උනාට ඔයා ඉස්කෝලේ යුනිෆෝම් එක පිටින් කොල්ලෙක්ගේ අතක එල්ලිලා යනවා දැක්කොත් ඉස්කෝලේ ටිචර්ස්ලා ….මොනවාද වෙන්නේ ඔයාට …. එයාලා ඔයා ගැන මොනවා හිතයිද ..’ දිනිත ආදරෙන් තේරුම් කරලා දෙද්දී තමා මට තේරුනේ එයා කිව්ව කතාව ඇත්ත කියලා
‘ මට තේරුනා අයියේ …’
‘ඔය තේරුනේ මැට්ටි ගොනාට වගේ ..’ දිනිත දගකාර විදිහට මගේ දිහා බලලා එහෙම කිව්වා
‘මට ගොනා කිව්වා මැට්ටා ….’ මම බොරු තරහක් මවාගත්තා ….
‘ආ …සොරි සොරි ..ඔයා ගොනා නෙවේ ගොනිනේ …’ එයා එහෙම කිව්වේ මාව අවුස්සන්න වෙන්න ඕන …..මම බොරුවට තරහක් පෙන්නලා ආයෙම අහක බලාගත්තා
‘මම තරහායි …’
‘ඒ උනාට මම යාළුයි නේ ..’
අපි දෙන්නා කතා කර කර බස් හෝල්ට් එකට යද්දී අපේ ඉස්කෝලේ කෙල්ලොන්ටයි වෙනදා මගේ දිහා බල බලා එක එක කතා කියපු කොල්ලන්ටයි මැජික් වගේ …. මම දිනිත එක්කම ඇවිදගෙන ගියේ එයා මගේ කියලා හැමෝටම පේන්නත් එක්කයි …
‘දිනිත අයියේ ….’
‘කියන්න හිරූ …’
‘අපි ඉරිදා කොහේ හරි ඇවිදින්න යමු …’ දිනිත එක්ක තනි වෙලා එයාට කියන්න ගොඩක් දේවල් තිබ්බ නිසා මම එයාගෙන් ඇහුවා ..
‘ ඉරිදා මට ක්ලාස්නේ හිරූ …එක්සෑම් ලග නිසා ක්ලාස් කට් කරන එක පාඩුවක් …’
‘එහෙනම් කමක් නැහැ .. ..’ හිතට අප්සෙට් උනත් මම එහෙම කිව්වේ එයා ක්ලාස් කට් කරනවාට මගේ හිතෙත් කැමැත්තක් තිබ්බේ නැති නිසා ….
‘තරහාද …..’ දිනිත මගේ මුහුණ දිහා බලලා එහෙම ඇහුවේ ටික දුරක් යනකන් මම එයා එක්ක කතා කරේ නැති නිසා …
‘නැහැ ….’
‘හොද ළමයා …අපි ආදරේ කරා කියලා ඉගෙනීම කඩා කප්පල් කරගන්න හොද නැහැ ..ඒවාගෙම අම්මලා තාත්තලාගේ හීන කඩන්නත් හොද නැහැ …. ’
දිනිත කොච්චර හොද කොල්ලෙක්ද කියලා මට එයාට ලංවෙලා හිටිය දවස් ටිකට හොදටම දැනිලා තිබ්බා … සමහර කොල්ලෝ ආදරේ කරපු කෙල්ලව පලවෙනි දවසෙම රෙස්ටුවරන්ට් වලට ගෙනියලා කෙල්ලගේ ආත්ම ගෞරවය කෙලෙසන කොල්ලෝ ඉන්න ලෝකේ …. තමන් ආදරේ කරන කෙල්ල වගේම දෙමව්පියන් ගැන හිතන කොල්ලෙක් මට ලැබුන එක මගේ පිනක් …… ඒ තමා සැබෑ ආදරය …
********
‘සදූ මට අර හංගගෙන ඉන්න ෆෝන් එක පොඩ්ඩක් දෙනවකෝ කෝල් එකක් ගන්න ..’
දවස් තුනක් එක දිගට නිවාඩු ආපු නිසා දිනිතව දකින්න බැරි උන සාංකාවෙන් ඉද්දි මට එකපාරම මතක් උනේ සදූගේ ෆෝන් එක ….
‘එකේ සල්ලි නැහැ හලෝ …. අනික තමුසේ කාට කතා කරන්නද ෆෝන් එක අරන් …කාට හරි කෝල් එකක් ගන්න ඕන නම් අර ලෑන්ඩ් ෆෝන් එකෙන් ගන්නවකො ….’’ සදූ එයාගේ ෆෝන් එක මට දෙන්න කැමති නැහැ කොච්චර ඉල්ලුවත්
‘ෆෝන් එක දුන්නේ නැත්තම් මම අම්මාට කියනවා …තමුසේ ෆෝන් එකක් හංගගෙන ඉන්නවා කියලා ….දෙනවාද …නැද්ද ..’
මම සදූට තර්ජනය කරන්න ගත්තාම එයා මුහුණ රතු කරගත්තත් තාමත් ෆෝන් එක දෙන්න කැමැත්තක් නැහැ
‘ අනුප විතරයි මේ නම්බර් එක දන්නේ …. කාට හරි නම්බර් එක දුන්නා කියලා දැනගත්තොත් එයාට තරහ යයි ….’
‘ඔන්න දැන් අනුපට වඩා මට තරහා යනවා …. අම්මා ….අම්මා ..’ මම ටිකක් සද්දෙට කතා කරේ සදුව බය කරන්න හිතාගෙන උනාට අම්මා ඒ විනාඩියට කාමරේට එබුනා
‘මොකද ඒ පාර දෙන්නා … ‘’ අම්මා අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා
‘නැහැ අම්මා මේ සදු ….’ මම කතාව නවත්තලා සදු දිහා බැලුවා …එයා ඔළුවෙන් මට කියන්න එපා කියලා කියනවා …
‘මොනවාද සදු කියන්නේ ….’
‘සදුට සරුංගල් යවන්න ගෝල් ෆේස් යන්න ඕනෙලු …’
‘ආ …ඒකද ….. ම්ම්ම්ම් ඔයාලාත් මේ දවස් ටිකේ ගෙදරම නේ … ඔන්න මම නිදුක පුතා කතා කරපු වේලාවේ කිව්වා මෙහෙ එන්න කියලා …..එයා ආපුවාම දෙන්නත් එක්ක ගිහින් එන්න …’ මම බොරුවට එහෙම කිව්වම කවදාවත් නැතිව අම්මාගෙන් ඒකට ෆර්මිෂන් ලැබුනා ..
‘දැන් දෙන්නත් එක්ක බොරුවට කෑ ගහන්න තියාගන්න එපා ..මේ ළමයි කෑ ගහන විදිහට අහල පහල මිනිස්සු හිතනවා ඇති මේ ගෙදර ඉන්නේ පිස්සෝ කියලා …’ අම්මා තරවටු කරගෙනම කාමරෙන් එළියට ගියා …
‘මෙන්න ෆෝන් එක ..ඇති තරම් කෝල්ස් ගන්නවා …..’ සදු මගේ අතේ ෆෝන් එක තිබ්බාම මම දත් තිස් දෙකම පෙන්නලා හිනාවූනා …
‘ අර නැහැ කිව්ව ක්‍රෙඩිට් තියෙනවා ඇති නේ ෆෝන් එකේ ….. ‘’ එහෙම කියාගෙන මම මිදුලට දුවගෙන ගියේ දිනිත අයියාගේ මොබයිල් නමබර් එක ඩයල් කරන ගමන්මයි …
‘හෙලෝ … ’ දෙපාරක් රින් උනේ නැහැ දිනිත අයියා ෆෝන් එක ඉස්සුවා ..
‘හෙලෝ දිනිත ඉන්නවද …’ මම කටහඩ වෙනස් කරලා කතා කරේ දිනිතව පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙනමයි
‘ඔව් දිනිත තමා මේ කතා කරන්නේ .. කවුද මේ කතා කරන්නේ …’
‘මම මේ කතා කරන්නේ තොටලග සුමනා …’
‘තොටළඟ සුමනා ..එහෙම කෙනෙක් මම අදුරන්නේ නැහැ … කොහෙන්ද ඔයාට මගේ නම්බර් එක ..’
‘ඇයි ඔයාට මතක නැද්ද … වෙසක් බලන්න ආව වේලාවේ ඔයාගේ නම්බර් එක මට දීලා කිවේ කෝල් කරන්න කියලා ….’
‘කව්ද මට මතක නැහැ …මම එහෙම කාටවත් නම්බර් එක දීලා නැහැ ….’
‘හොදට මතක් කරන්න ….’
‘මට මතක නැහැ …’
‘මතක නැද්ද …අර කළු කොට සුමනා ….. ‘’
‘ඇත්තටම පිස්සුද ඔයාට ….’ දිනිතට හොදටම තරහා යන්න ඇති එයා එකපාරම කෝල් එක කට් කරා .. මම අනිත් අතට ආපහු කෝල් කරත් එයා දෙතුන් සැරයක්ම කට් කරා …. ඒත් ඉතින් මම නිකන් හිටියේ නැහැ එක දිගටම කෝල්ස් ගත්තා …
‘මේ ඇත්තටම තමුන්ට පිස්සුද හා … ‘’ ඉවසලා බැරිම තැන වෙන්න ඇති එයා ආයෙම කෝල් එක ආන්සර් කරේ
‘ඔව් මට පිස්සු ….ඔයා දැක්ක දවසේ ඉදලා …’
‘එහෙනම් පිස්සුව හොද කරගන්න අංගොඩ ගිහින් ….’
‘ඔයාට බැරිද මගේ පිස්සුව හොද කරන්න ..’
‘හිරූ මම ඔයාට කියන්නේ නැහැ …. මම දන්නවා නේ මේ වගේ පිස්සු වැඩ කරන්න ඉන්නේ ඔයා කියලා …’ මට දිනිතව දිගටම බයිට් කරන්න හම්බවුනේ නැහැ එයා මාව අදුරගෙන තිබ්බා …
‘ඔයා මාව අදුරාගත්තා නේ කොහොම හරි …’
‘මම දන්නවා නේ මම වෙනුවෙන් පිස්සු වැඩ කරන එකම පිස්සි ඔයා කියලා …කාගේද මේ ෆෝන් එක .’
‘මේක මගේ අති උතුම් සහෝදරිට එයාගේ පෙම්වතාගෙන් ලැබුණු ගිෆ්ට් එකක් ….ඒක නෙවෙයි අයියේ මම දැන් ෆෝන් එක කට් කරනවා …. ෆෝන් එක දිගටම එන්ගේජ් උනොත් සහෝදරිගේ ප්‍රේමවන්තයා කිපෙයි ’
‘එහෙනම් සදුදා හම්බවෙමු …පරිස්සමින් ඉන්න හිරු …. තෙරුවන් සරණයි ..’
‘තෙරුවන් සරණයි අයියා …’
මම ෆෝන් එක කට් කරලා ගෙට යන්න කියලා හැරෙද්දී අපේ ගේට් එක ඇරෙනවා ඇහිලා ආපස්සට හැරුනා කව්ද මේ අවේලාවේ අපේ ගේට් එක ඇරියේ කියලා බලන්න . ….මුහුණේන් එකක් හිනාවෙන් පුරවාගෙන නිදුකයියා මගේ දිහාවට එද්දී තමා මට මතක් උනේ නිදුකයියා අද එනවා කියලා අම්මා කිව්වා කියලා මතක් උනේ ……
‘නිදුකයියා …’ මම එයාට හොරෙන්ම ගවුම් සාක්කුවට ෆෝන් එක දාන ගමන් නිදුකයියා දිහාවට දිව්වා .
‘හිරූ ….’
‘ අම්මා කිව්වා ඔයා එනවා කියලා ..මම හිතුවේ හවස් වෙලා එයි කියලා …’
‘හොස්ටල් එකේ ඉදලා එපා වෙලා හිරූ …ඒක නිසා මෙහෙ එන්න ඕන කියලා හිතුනා ‘ නිදුකයියා ගෙනාපු ලොකු බෑග් එක පුටුවක් උඩින් තියලා හරි ආදරණිය විදිහට මගේ දිහා බැලුවා …
‘අම්මේ ..අම්මේ …නිදුකයියා ඇවිත් ….. ‘ මම අහක එයාගේ බැල්ම මග ඇරලා ගෙට ඔළුව දාලා අම්මාට කතා කරද්දී ..සදූයි අම්මයි දෙන්නාම ඉස්සරහට ආවා …
‘පුතා ආවාද ….නංගිලා දෙන්නත් බලාගෙන හිටියේ ඔයා එනකන් ගෝල්ෆේස් යන්න ‘ අම්මා එහෙම කිව්වම අයියාගේ මුහුණ තවත් එළිය උනා …
‘අපිට හවස යන්න පුළුවන් නේ ….පුංචි අම්මත් එනවද …’
‘මට එන්න බෑ පුතා නංගිලා දෙන්නත් එක්ක ගිහින් එන්න ….. ‘’
මට හිතුනේ අම්මා ඉස්සරහා කට වරද්දාගෙන කරගත්ත මෝඩකම කියලා ….. දැන් නිදුකයියාගේ අර බැල්මෙන් මුළු හවස් වරුවෙම මගේ දිහා බලාගෙන ඉදිවී …. ඒ බැල්ම මගාරින එක තමා අමාරුම වැඩේ ඉතින් ….. කුම්බලා මාළු කෑවා නම් විදවපන් බළලෝ කියනවා නේ ….. මම එහෙම හිතන ගමන් ශේප් එකේ කාමරේ දිහාවට ඇවිදගෙන ගියා ……
මතු සම්බන්ධයි