29
~~~සමනල වසන්තය~~~
29 කොටස
දවස් ගෙවිලා ගියේ හිතුවේවත් නැති තරම් ඉක්මනටයි …. හදිසි රාජකාරියට යාපනේට ගිය අප්පච්චිගෙන් කිසිම තොරතුරක් නැති නිසා අම්මා හොදටම කලබල වෙලා හිටියේ ….. බලාගත්ත අතේ බලාගෙන හිටපු අම්මා දැක්කම නම් හිත වාවන්නෙම නැති තරම් … සදූ වගේම මාත් හිතේ පුරවාගත්තු බයකින් හිටියත් අම්මාට අපේ බය පෙන්නන්න ගියේ නැහැ …..
ඒ ඉරිදා උදේ සදූත් එක්ක ක්ලාස් යන්න එළියට බහිද්දී වේගෙන් ආපු ජීප් එකක් අපේ වත්තට හරවද්දී අපි දෙන්නාම හිටිය තැනම නැවතිලා ඒ දිහා බැලුවේ අප්පච්චි වෙන්නැති කියලා හිතලා
‘‘මේ කැප්ටන් විජය බණ්ඩාරගේ ගෙදරද …’ ජීප් එකෙන් බැහැලා ආවේ අප්පච්චි වෙනුවට ප්‍රතාපවත් හමුදා නිලධාරියෙක් ….
‘ඔව් … අප්පච්චි ආවේ නැද්ද ..’ මම එහෙම අහන ගමන් ජීප් එකට එබිලා බැලුවත් ජීප් එක ඇතුලේ කවුරුත්ම පේන්න හිටියේ නැහැ …
‘අපි ගේ ඇතුලට ගිහින් කතා කරමු .,.. කෝ මිසිස් බණ්ඩාර ඉන්නවද ගෙදර …’ අපි දෙන්නා දිහා බලන ගමන් හමුදා නිලධාරියා එහෙම කිව්වා
‘එන්න සර් ගෙට …මම අම්මාට කතා කරන්නම් …’ සදූ එහෙම කියලා ගේ ඇතුලට දුවගෙන යද්දි මම හමුදා නිලධාරියා දිහා බලාගෙනම හිටියා ….එයා ගෙනාව ආරංචිය දැනගන්න තිබ්බ නොඉවසිල්ලෙන්
‘ සාජන් මේජර් ධම්මික ….’ අම්මා දැක්ක ගමන්ම ඒ නිලධාරියා කවුද කියලා අදුරාගත්තා ….
‘මිසිස් බණ්ඩාර ….. ඇවිත් වාඩිවෙමුකෝ …’ සාජන් මේජර් ධම්මික බැරෑරුම් විදිහට එහෙම කියද්දී අම්මාගේ මුහුණට තැතිගැන්මක් එකතුවුනා ….
‘මිසිස් බණ්ඩාර ….. මේක ටිකක් බැරෑරුම් කාරණයක් ….ඒ නිසා තමා මමම මේ කාරණයට පිටත් උනේ …. පොඩ්ඩක් කලබල වෙන්නේ නැතිව මම කියන දේ හොද සිහියෙන් අහගෙන ඉන්න …’
මේජර්වරයාගේ කටහඩ මුළු ගෙදර පුරාම ගිගුම් දෙද්දී සදු මගේ අතකින් තද කරලා අල්ලා ගත්තා ….
‘කියන්න මේජර් ධම්මික මගේ මහත්තයා ගැන කිසිම ආරංචියක් නැහැ …එයාට කරදරයක්ද කියලා කියන්න ..’ අම්මාගේ කටහඩ වෙව්ළුවා ….
‘අපිට ස්ථිර වශයෙන් කියනන් බැහැ කැප්ටන්ට කරදරයක් වෙලා කියලා . …ඒ උනාට ජැෆ්නා මිෂන් එකේදී කැප්ටන් එකපාරම අතුරුදහන් වෙලා තියෙනවා …’
මේජර් කටින් පිටවෙන හැම වචනයක්ම මට දැනුනේ අකුණු පාරවල් වගේ ….
‘අනේ මගේ මහත්තයා ..එයාට කරදරයක්ද …දෙවියනේ … මගේ මහත්තයාට කරදරයක්ද කියන්න …’ අම්මා වැලහින්නක් වගේ අඩාගෙන සිහිය නැතිව පුටුව උඩම වැටෙද්දී සදුයි මායි තරගෙට අඩන්න ගත්තා …. සාජන් මේජර් ධම්මික ලොකු දුකකින් වගේ තමා අපි දිහා බලාගෙන හිටියේ ….
‘මගේ අප්පච්චිට කරදරයක් නැහැ කියන්න …’ මම දෙපාරක් හිතන්නේ නැතිව සාජන් මේජර් ලගට දුවගෙන ගිහින් එයාගේ මුහුණ දිහා බැලුවා …
‘අපිට හරියටම කියන්න බැහැ … කැප්ටන්ට කරදරයක් කියලා …. අපි සැක කරන්න පුළුවන් හැම තැනකම හෙව්වත් හෝඩුවාවක් හොයාගන්න බැරිවුනා …. එදා හවස කැප්ටන් එළියට ගිහින් තියෙන්නේ කාටවත් කියන්නේ නැතිව ..ඒ නිසා අපිට මේ ගැන මොකුත් හිතාගන්න බැරිව ඉන්නේ … අපි කැප්ටන් හොයන එක නතර කරන්නේ නැහැ ….. අපි දිගටම කැප්ටන්ව හොයනවා ..’
සාජන් මේජර් ධම්මික ගොඩක් දේවල් කියලා අපේ ගෙදරින් යන්න ගියේ අපේ හිත්වලට පුංචි බලාපොරොත්තුවක් දෙන ගමන්මයි ….
‘අම්මා අපි අප්පච්චි වෙනුවෙන් බෝධි පුජාවක් තියමු …අප්පච්චිට කිසිම කරදරයක් වෙන්නේ නැහැ …’ වැටිච්ච තැනම වැටිලා අඩන අම්මා ලගට ගිහින් මම එයාව තුරුළු කරගත්තා …
‘එයාට මොකුත් උනොත් මම කොහොමද දරුවෝ ජිවත් වෙන්නේ …. එයාට කරදරයක් කියලා දැනෙද්දී මට හුස්ම වැටෙන්නේ නැහැ වගේ …. ’ අම්මා දුක කියෙව්වේ එයාලාගේ වෙඩින් ෆොටෝ එක දිහා බලාගෙනමයි …
‘බලන්න අම්මා … අපි දන්නේ එයා ගැන ආරංචියක් නැහැ කියලා විතරයි නේ …එයාට මොකුත් කරදරයක් කියලා කවුරුත් කිව්වේ නැහැනේ …ඒ නිසා කලබල වෙන්නේ නැතිව ඉන්න ..’
‘එයාට කරදරයක් වෙන්නේ නැහැ නේද මගේ දරුවෝ ..’
‘නැහැ අම්මා එයාට කිසිම දෙයක් වෙන්නේ නැහැ ..අපි පන්සලට ගිහින් බෝධි පුජාවක් කරමු …’
කොච්චර ශක්තිමත් ගැහැනියක් උනත් තාත්තාට කරදරයක් කිව්ව වෙලාවේ ඉදලා අම්මා මානසිකව කඩාගෙන වැටිලා හිටියේ …..
******
දවස් ගානක් එක දිගට ඉස්කෝලේ යන්නේ නැතිව මම ගෙදර නැවතුනේ හිත හදාගෙන ඉගෙන ගන්න බැරි නිසාමයි …. සදුත් හැමදෙයක්ම පැත්තකට දාලා අම්මා ලගින් ඉදලා එයාගේ හිත හැදුවා …..හිතින් කොච්චර ඇඩුවත් අපි අම්මා ඉස්සරහා හිනාවෙලා හිටියා …… මොකද එයා අපේ මුහුණුවල දුක දැක්කාම තවත් හිතින් වැටෙනවා කියලා දැනගෙන හිටිය නිසා …. අපි බලාගෙන හිටියේ කොයිම වෙලාවක හරි අප්පච්චි ගැන ආරංචියක් ලැබෙයි කියලා ….
මට දිනිතව මතක් උනත් මානසිකව වැටිලා හිටිය නිසා එයාට කෝල් එකක් දෙන්න තරම්වත් හිතේ එකලාසයක් තිබ්බේ නැහැ …
‘හිරු කව්ද හලෝ අර එහාට මෙහාට යන ඩයල් එක …මම ගොඩක් වෙලා නෝට් කරා . මිනිහා මේ පැත්ත බල බල තමා යන්නේ …’ මිදුලේ ඉදලා ගෙට ආපු සදු මාවත් ඇදගෙන ආපහු මිදුලට බැස්සා ….
‘කෝ කවුරුත් පේන්න නැහැනේ ..’ මම පාර දිහාව බැලුවත් ඒ වෙලේ කවුරුත්ම පේන්න හිටියේ නැහැ
‘ඇත්තමයි හලෝ බයික් එකක් අරන් මෙතැනින් එහා මෙහා ගියා ඒ මනුස්සයා ..’
‘තමුසෙට ඔළුව කචල්ද කොහෙද …. කෝ ඇති මිනිහෙක් නැහැ නේ ..’
‘එනවකො ගේට් එක ලගට යමු …’ සදු මාවත් ඇදගෙන ගේට් එක ලගට ගියා …. පාරේ පේන තෙක් මානෙක කවුරුත්ම පේන්න හිටියේ නැහැ …
‘එනවා මෙන්න මෙහෙ …. බෝධි පුජාවට යන්න ලැහැස්ති වෙන්නත් ඕන …’ සදුවත් ඇදගෙන මම ආපහු හැරුනේ ගේ දිහාවට යන්න හිතාගෙන …
‘හිරු ….’ අඩිදෙක තුනකට වඩා යන්න හම්බවුනේ නැහැ මට ඇහුනේ හුරුපුරුදු කටහඩක් … මම ආපහු හැරිලා ගේට් එක දිහා බලද්දී බයික් එකක් ගේට් එක ලග නවත්තලා …
‘ඔන්න ඔය බයික් එක තමා මම කිව්වේ ..’
‘ එනවා බලන්න කවුද කියලා .. ‘
‘හිරු යන්න එපා ප්ලීස් …අපි ගෙට යමු කවුද දන්නේ නැහැ …’ සදු බයට ගැහෙනවා …. මම එයාට නවතින්න කියලා ගේට් එක පැත්තට ඇවිදගෙන යද්දී බයික් කාරයා හෙල්මට් එක ගැලෙව්වා …. වෙන කවුරුත් නෙවෙයි ඇවිල්ලා හිටියේ දිනිත … දවස් ගානකට පස්සේ මගේ හිතට සතුටක් දැනුනේ හිතුවෙවත් නැති වෙලාවක දිනිතව දැක්කාමයි …
‘දිනිත අයියා ඔයා ….’ මම අඩියට දෙකට ගේට්ටුව ලගට ගිහින් ගේට්ටුවේ එල්ලුනා ….
‘මම තමා …ඇයි මේ දවස් ටිකේ ඉස්කෝලේ ආවේ නැත්තේ …මම මෙතැනින් යද්දී බලාගෙන ගියා ගෙදර දොරත් වහලා …. සදුගේ ෆෝන් එකත් ඔෆ් … මම බයවුනා කරදරයක් කියලා ඒකයි ආවේ හොයලා බලන්න කියලා ..’ දිනිතට කෝල් එකක් දීලා විස්තරේ කිව්වේ නැහැ කියලා මට මතක් උනේ එතකොට ….
‘සොරි අයියා ….. ‘’’ මගේ ඇස්වලට එකපාරට කදුළු ගොඩක් ආවා ..
‘සදු මම අඩන්න දෙයක් කිව්වාද .. මොකද මේ අඩන්නේ …’ දිනිත බයවෙන්න ඇත්තේ මම එයා කියපු දේවල් වලට අඩනවා කියලා ….
‘අයියා ඔයා මොකුත් කිව්වේ නැහැ … දන්නවාද අපේ අප්පච්චි මිෂන් එකක ඉද්දි අතුරුදහන් වෙලා ..එයා ගැන කිසිම ආරංචියක් නැහැ ..’
සට සට ගාලා කදුළු ගොඩක් වැටෙද්දී උගුරෙන් වගේ මම ඒ වචන ටික කියාගත්තා ….
‘ සදු අඩන්න එපා …අප්පච්චීට කරදරයක් වෙලා නැතිව ඇති …. ‘’ හිතුවෙවත් නැති වෙලාවක බයික් එකෙන් බැස්ස දිනිත ගේට්ටුවෙන් මෙහා පැත්තට ඇවිත් අත්දෙකෙන්ම මගේ මුහුණ අල්ලාගත්තා ..
‘මම අඩන්නේ නැතිව ඉන්නේ කොහොමද …. අප්පච්චි ගැන ආරංචියක් නැතිව අපි කොහොමද අඩන්නේ නැතිව හිනාවෙලා ඉන්නේ … කියන්න අයියේ මගේ අප්පච්චිට කරදරයක් වෙන්නේ නැහැ නේද ..’ චන්ඩියා වගේ අම්මාගේ හිත හැදුව මගේ හිතේ ශක්තිය දිනිත ඉස්සරහා දියවෙලා ගියා
‘අඩන්න එපා …අප්පච්චිට මොකුත් වෙන්නේ නැහැ . …මේ බලන්න මේ ඇස් වල කදුළු දකින්න මට ඕන නැහැ …මට ඕන ඔයා හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්නවා දකින්න ….. ’ දිනිත එයාගේ සාක්කුවෙන් ලේන්සුවක් ඇදලා අරගෙන මගේ මුහුණ තෙමුව කදුළු කැට පිහලා දැම්මා …
‘අම්මා අඩනවා අයියා …අර සදුත් අඩනවා …හැමදාම හිනාවෙලා හිටපු මාත් අඩනවා ….අඩු ගානේ අපේ ගෙදර කුස්සි අම්මා හීන් අම්මා එයාවත් හිනාවෙන්නේ නැහැ …එයත් අඩනවා … අප්පච්චි ගැන ආරංචියක් ලැබෙනකන් අපේ හිත්වල ගින්දර නම් නිවෙන්නේ නැහැ …’
සදු අපි දෙන්නා ගැන තේරුම් අරන් වගේ ගේ ඇතුලට යද්දී … හිතේ දුක ඉවරවෙනකන් මම දිනිත අයියා ඉස්සරහා දුක කියෙව්වා ….
මතු සම්බන්ධයි