08

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~
08 කොටස

මා කොළඹ සිට යළි නිවසට පැමිණියේ සිහින අයියා දැකීම නිසා ඇතිවූ සතුටද හිතේ දරාගෙනය …. දැන් නම් මට ඕනෑම දෙයකට මුහුණ දීමට තරම් සවියක් ඇත …. ඉතින් මා සිත සැනසිල්ලේ දින ගෙව්වෙමි … නිවසේ කිසිවෙකු නොමැතිව මා පමණක් තනිවූ විටෙක ….තනිකම දරාගත නොහැකිම අවස්ථාවක සිහින අයියා සිහිවී ඇඩුවා සැබෑවී …. එහෙත් මගේ සිතේ වූ ශක්තිය නම් අඩු වුවා නොවේ …

සිතේ තිබු සතුට දෙගුණ තෙගුණ කරමින් අවුරුදු නිවාඩුවට අයියා පැමිණියේය …. ඒ දින කීපය මා ගෙව්වේ මහා සතුටකිනි … ලද ඇසිල්ලකින් උව මම්මා ගේ දුරකථනය ගෙන රහසින් සිහින අයියා ඇමතුවෙමි …

‘ තාත්තා මම ගර්ල් කෙනෙක්ට ආදරේ කරනවා …මට එයාව මැරී කරන්න ඕන ..’

කාලයකින් පවුලේ අය අතර සාමකාමිත්වය පුපුරා යන්න අයියාගේ වදන් සමත් වන බව මා නොදැන උන්නෙමි …
‘ අපිට ගැලපෙන පවුලක කෙල්ලක්ද ඔය .. ‘’ තාත්තාගේ කටහඩේ තිබුනේ නොසතුටකි

‘මම දන්නේ නැහැ අපේ පවුලට ගැලපෙනවාද නැද්ද කියලා නම් …. එයා මට හොදට ගැලපෙනවා …. දුප්පත් තමයි ඒ උනාට එයාගේ ආදරේ ගොඩක් පෝසත් … ’
අයියා කතා කලේ නොබිදෙන ස්වරයෙනි …

‘ මේ අහපන් පුතා …උබලාට ඕන විදිහට ඔය දේවල් සිද්ද වෙන්න බෑ ….අපිට ගැලපෙන පවුලක කෙල්ලක් මම උබට හොයලා දෙන්නම් ….. වහාම ඔය සම්බන්දෙ නතර කරලා දාපන් …’

තාත්තා තමාගේ අවසන් වචනය ප්‍රකාශ කරද්දී අයියා ඔරවාගෙන එතනින් ඉවතට පියමැන්නේය ….
‘අයියා …… ඔයා ගොඩක් දුකින් නේ ඉන්නේ …’
එදින පුරාවට කාමරයෙන් එලියට නොපැමිණි අයියා සොයා මා ගියෙමි .. ඔහු ඉදිරියේ අඩක් හිස්වූ මත්පැන් වීදුරුවක් වූ අතර මා දුටු සැනින් ඔහු එය සගවා ගැනීමට වෙර දැරිය …

‘ඇයි නංගි තාත්තා ඔච්චර නපුරු … අපේ ජිවිත අපිට ඕන විදිහට ගෙවන්න දෙන්නේ නැත්තේ ඇයි එයා ..’
අයියාගේ මුහුණේ උවේ කිසිදිනක මා ඔහු වෙතින් දැක නැති පරාජිත පෙනුමකි …

‘අයියා මට තේරෙන්නේ නැහැ තාත්තා ඉස්සර ඔහොම නැහැ … එයාට මොනා වෙලාද කියලා හිතාගන්න බෑ …. අයියා ඒවා ගැන හිතලා ඔය විදිහට දුකින් ඉන්න එපා .. ‘’

අයියාගේ හිත හැදෙන්න වචන කීපයක් කිවත් එලෙස ඔහු සැනසිය නොහැකි බව මා දැන උන්නෙමි ..
*****

සිහින අයියා වෙත ආදරය ප්‍රකාශ කර හෙටට හරියටම වසරකි ….මෙතරම් බාධක කම්කටොලු මැද පෙර තිබු ආදරය වැඩි වුවා මිස අඩුවුවා නම් නොවේ …

‘ නංගි මම යාළුවෙක් ගේ ගෙදර යනවා අද හවසට එන්නේ නැහැ …’
අයියා නිවසින් පිටව ගියේ සිහින අයියා ඇමතීමට ක්‍රමයක් මා සිතමින් උන් අතරය ….

‘හා අයියා පරිස්සමට ගිහින් එන්න ..’

‘මගේ කාමරය පොඩ්ඩක් අස්කරලා දානවා එහෙනම් ..’
අයියා යන්න ගිය පසු මා ඔහුගේ කාමරය දෙසට ගමන් කලෙමි … කාමරයේ තැන තැන වැටි තිබු දුම්වැටි අළු කියා පෑවේ පෙර දා මුළු රැය පුරා අයියා සිගරට් පුච්චා දැමු අපුරුවයි ….. පපුව පිච්චුනේ මා ගැන මෙන්ම අයියා ගැනද උපන් ශෝකයෙනි ….

අයියාගේ ජංගම දුරකථනය මේසය මත දමා ගොස් තිබුණි … මගේ හිතට දැනුනේ සතුටකි …. සිහින අයියා ඇමතීමට ක්‍රමයක් නොමැතිව උන් මට මෙය දෙවියන් දුන් ත්‍යාගයක් මෙනි … කාමරය අස්පස් කෙරූ මා එයින් නික්මුනේ අයියාගේ දුරකථනද ගෙනය …

රාතී‍්‍රය උදාවුවේ අන් දිනවලට වඩා ප්‍රමාදවය …
‘සිහින අයියා …’
මා සිහින අයියා ඇමතුවේ පපුව ගැහෙද්දිය ….
‘ නිකිණි …. ඔයාද මේ ….මම බැලුවා දන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක් ආවාම කවුද කියලා ..’
සිහින අයියාගේ කටහඩේ වුවේ සතුටකි ..
‘ අයියා … මම ඔයාට කෝල් කරන්නේ කොහොමද කියලා හිත හිත ඉද්දි අපේ අයියාගේ ෆෝන් එක හම්බවුනා …. ’
‘ ම්ම්ම් කාලාද ඉන්නේ …’
‘ඔව් අයියා … ඔයා කාලද ඉන්නේ … ‘’
‘මම දැන් කෑවේ පැටියෝ …අම්මාට කියලා බත් කවා ගත්තා …’
‘ අයියා මතකද හෙට දවස ඔයාට …’
‘හෙට දවස …හෙට අප්‍රේල් විස්ස නේද …මට මතක් වෙන්නේ නැහැනේ .. ..’
‘මම තරහයි ….මම ෆෝන් එක තියනවා ….’
‘හෝව් හෝව් ඔහොම ඉන්න ….මට අමතක නැහැ පැටියෝ .. ‘’
‘ආ කියන්න මොකක්ද කියලා ..’
‘හෙට වගේ දවසක තමා මට රත්නපුරේ මැණිකක් හම්බ උනේ ….මට හම්බ වුන වටිනාම වස්තුව …’
ඔහු කතා කලේ මගේ හදවතටය … ඉතින් මා ලොවේ වාසනාවන්තම පෙම්වතිය වීමි ..
‘මම ඒ තරම් වටිනවද අයියා …’
‘ඔව් ..ගොඩක් වටිනවා … ගොඩක් …’
ඉතින් මා ඒ වදන් ඇදහුවෙමි ,….
‘ආදරෙයි අයියා මහා ගොඩක් ..’

ඉතින් ඒ රැය පුරාවට අප දෙදෙනා සිත්සේ කතාබහ කළෙමු … අපි අපේ හදවත් ගැහෙන රාවයට කන්දීගෙන උන්නෙමු …..

****
මා සිත තුල තිබු සැනසීම පහව යමින් තිබුනේ මා දැකීමට උන් මනාලයා එන දිනය ලගා වූ විටය …. මා සිතක් නැත්තියක ලෙසට ඔහේ උන්නෙමි …. කෙලෙස හෝ ඔහුට මා එපා කිරීම මගේ අරමුණ විය …

මම්මා විසින් ලා රෝස පැහැ සාරියක් අන්දවා මා ලක ලැහැස්ති කරද්දී මා මුවෙන් වදනකුදු නොදොඩා නොසෙල්වී උන්නෙමි ..
‘කොල්ලා බැංකුවක වැඩ කරන්නේ ..ගෙවල් දොරවල් ඔක්කොම තියෙනවා …මේ ලගදී කාර් එකකුත් අරගෙන …අනික පෙනුම උනත් වරදක් නැහැ ..’

මා සුදානම් කරමින් මම්මා පැවසුවේ මනමාලයාගේ පුරාජෙරුවයි ….. ඔය කිසි දෙයකට මගේ හිතේ සිහින අයියා වෙනුවෙන් ඇති සෙනෙහස මැකිය නොහැකි බව මම්මා වුව නොදැන ඉන්න ඇත ..

‘සිරියාවන්ත කෙල්ල ….අපි නම් කැමති ….දෙන්නා කතා බහ කරලා අපිට කැමැත්ත කියන්නකෝ ..’
මනාලයාගේ පාර්ශවයෙන් කැමැත්ත ලැබුනේ මා දුටු මොහොතේමය ….. මනමාලයා සමග මා තනිකර පිරිස මිදුල දෙසට පියමනිද්දී මා හිස ඔසවා මනාලයා දෙස බැලුවෙමි …සැබැවින්ම ඔහු කඩවසම්ය …ඕනෑම කෙල්ලක කැමති වන පෙනුමකි ඔහු සතු වුවේ ..

‘ ඔයා කැමතිද නංගි මට …’ ඔහු ප්‍රශ්නය ඇසුවේ ඍජු ලෙසය ….. මා කෙලින්ම බැලුවේ ඔහුගේ දෑස දෙසය ..
‘අයියා …මට ඔයාට කැමති වෙන්න තිබුනා …. ඒත් ඔයා මම ගැන ඇත්ත දැනගෙන ඉන්න ඕන ..’
මා පවසන්නට කිසිවක් නොකියා ඔහු මා දෙසම බලා උන්නේය ..
‘ අයියා මගේ අම්මයි තාත්තයි වෙන්වෙලා ඉන්නේ …එයාලා අතරේ ඉස්සර ඉදලාම රණ්ඩු සරුවල් තිබුනා …. නීතියෙන් වෙන් නොවුනාට දෙන්නා කවදාවත් එකට ඉදලා නැහැ … ‘’
‘ඉතින් ඒක මට ඔයාට අකැමැති වෙන්න කාරණයක් නෙවෙයි නේ ..’
‘ඒ උනාට අයියා .. මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා ….අපේ ගෙදරින් එයා ට කැමති නැහැ …. මම ඔයාව බැන්දත් මට ආදරේ කරන්න පුළුවන් එයාට විතරයි …..ඔයා එහෙම කැමති නම් මම ඔයාව බදින්නම් ..’

ඔහු මුහුණ රත්පැහැ ගන්වාගෙන බලා ඉද්දි මා එතනින් ඉවතට පිය නැගුවෙමි ..

‘අපි කියලා එවන්නම් අපේ තීරණය …’

ඔවුන් යන්න ගියේ තීරණය දන්වා එවන බව පවසමිනි …. මා දෙවියන් යැද්දෙමි ඒ ඔහු මට අකැමති වේවා යැයි කියාය …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *