දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ 29/ 30 අවසන් දිගහැරුම
29/ 30 කොටස්…
****අවසන් දිගහැරුම****
දැහැම් හා අනූපමා එදින සන්ධ්‍යා වරුවේ අශේන්ගේ නිවසට ගොඩ වැදුනේ කාලයත් එක්ක ජීවිතේ නොසිතන අයුරින් බොහෝ වෙනස්ව ගිය හැටි සිතනා අතරේමය….
අශේන්ගේ නිවස දැහැම්ට වගේම අනූපමාට ද බොහෝ සමීප වූයේ මීට අවුරුදු දෙකකට උඩදීය…එනම් අශේන් ජීවතුන් අතර සිටින කාළයේ ඔවුන් නිතර මෙහි ආවා ගියෝය…දැහැම්ගේ සොහොයුරා හා අශේන් ලගම මිතුරන් වීමද එක් කරුණක් වූ අතර එකළ මේ නිවසේ රැදුනු සතුට සැහැල්ලුව අශේන්ගේ වියෝවත් සමගින් හොරු අරන් ගොස් තිබුනා වැනිය…
අශේන්ගේ සොහොයුරිය හා මව දැනට නිවසේ පදිංච් වී සිටි අතර නිවසට ගොඩවන්නා හාම දැහැම්ගේ දෑස් නතර වූයේ බිත්තියේ රාමු කර සුදු මල් මාලයක් එල්ලා තිබූ අශේන්ගේ චායා රූපය වෙතයි…
ඒ හාම දැහැම්ගේ දෑසට කදුලක් එක් විය…
ඔවුන් දැකි අශේන්ගේ මව හා සොහොයුරිය නිවසේ ඉදිරියට පැමිණියේ කාලෙකට පසු නිවසට පැමිණි දැහැම් හා අනූපමා පිළිගන්නටයි…ඒ දෑස් වලටත් නිතැතින්ම කදුලක් උනා තිබුනේ අශේන්ගේ වියෝව යලි සිහිවීමෙනි…
නැන්දා….කොහොමද….අක්කත් ඉන්නවා…දැහැම් ඔවුන් අසලට ළං වී පැවසුවේ ලෙංගතු කම්න්..
එන්න දරුවනේ වාඩි වෙන්න…මායි ලොකු දුවයි ඉතින් ගෙදරට වෙලා ඉන්නවා….
අශේන්ගේ මව පැවසීය…
කොහොමද දැහැම් නංගි…අනූපමා කාලෙකින් දැක්කෙත්…කතා කර කර ඉන්නකෝ එහෙනම්..මම බොන්න දෙයක් හදාගෙන එන්නම්…
සොයුරිය එසේ පවසා නිවස තුලට වැදෙන්නට විය…
නැන්දේ….අනිද්දා බණ අහන්න එනවා නේද…එදාට අශේන්වත් මතක් කරලා අපි පිං පමුණුවමු…
අක්කාටත් කියන්න…
දැහැම් පැවසුවා…
එනවා දුව…නෑවිදින් කොහොමද….පුතා හිටියා නම් එයා මේ වැඩ කටයුතු කරනවනේ…ඒකෙත් හැට්…ඊට කලින් එයා යයි කියලා කව්ද හිතුවේ…
මව හූල්ලන්නට විය…
අශේන්ගේ මරණය අදටත් මට හීනයක් වගේ…එයා මාව දාලා යන්නම ගියා කියලා දැන දැනත් කවදා හරි එයි කියලා මම බලන් හිටපු කාලෙකුත් තිබුනා නැන්දේ…අශේන් හරියට හොරු අරන් ගියා වගේ….මොනදේ කොහොම සිද්ධ උනත් අදටත් මගේ පපුවේ අශේන්ගේ මතකය ඒ විදිහටම තියෙනවා…ඒක හැමදාම එහෙමයි…මලක් පහනක් පූජා කලත් මම අදටත් අශේන්ව සිහිකරනවා නැන්දේ…නැන්දා විදින වේදනාව මට අමුතුවෙන් කියන්න ඕනේ නෑ…ඒ නැන්දාගේ කුසින් වදපු දරුවා…මේ ගෙදරට අශේන් නැති අඩුව කවදාවත් පිරිමහන්න බෑ….
දැහැම් කදුළු කඩා වැටෙන අතරේම පැවසීය…
ඒක නම් එහෙම තමයි දුව…පුතා දුවට කොයි තරම් ලෙංගතුව හිටියද…ඒත් දුවේ ඒ මත්තේ නැහුනා කියලා දුවගේ ජීවිතේටත් යන කලදවසක් තියෙන්න ඕන…තාත්තගේ දානේ වැඩ කටයුතු ඉවර වෙලා දුව ඉක්මණින් පිළිවෙලක් උනොත් හොදයි නේද….මට අර දරුවා දකිනකොට මගේ කොළු පැටියා මතක් උනා…ඒ දරුවගේ කතා බහ ගති ගුණ අශේන් පුතා වාගෙමයි…අම්මා කියලා කට පුරා කතා කරන්න හැමෝටම බෑ දැහැම් දුව….
ඇය සුසුමක් හෙලා පැවසීය…
මොනදේ කොහොම සිද්ධ උනත් මම භානුක එක්ක ගමේ ආවම නැන්දා බලන්න එනවා නැන්දේ…මං ආවම වෙනදා වගේම මට රසට උයලා කන්න දෙනවා නේද…භානුකත් හරි ආසයි අශේන් වගේම ගමේ කෑම වලට….
දුව කොහේ ගියත් හැමදාටම මම එකයි…ඒ මගේ පුතා මට තෝට ගත්තු ලේලි ඔයා නිසා…
ඇය දෑස් පිසින අතරේ පැවසීය…
අනූපමා වැඩි කතා බහට එක් නොවූයේ දැහැම්ට ඉඩදීමට සිතායි….
සොයුරිය රැගෙන ආ තේ කෝප්පය පානය කල අවසන් වූ දැහැම් ඇය රැගෙන ආ කවරය තුලින් යමක් එලියට ගන්නට විය….
නැන්දේ……මේක මේ අවුරුදු ගාණට මම ළග තියාගෙනයි ජීවත් උනේ….මේ අශේන්ගේ පින්තූරෙට කතා කරන්න පුළුවන් නම් කියයි මම මේක දිහා බලාගෙන අඩපු තරමක්….මේක මම නැන්දට දෙන්නේ පරිස්සමෙන් අරන් තියන්න කියලා…මම මේක දැන් ලග තියා ගත්තොත් භානුකට කරන අසාධාරණයක්…අශේන් මගේ හදවතින් මැකිලා යන්නේ නෑ සදහටම….
දැහැම් අවසන් වතාවටත් ඒ චායාරූපය පුරාවට අතින් පිරිමැද දුක් මුසු සුසුමක් පා කර අශේන්ගේ මව අත තබා ඇයව මොහොතක් වැළදගෙනම හඩා වැටුනා…මවටත් සොයුරියටත් වැද අනූපමා සමගින් දැහැම් ආපසු නිවස බලා පැමිණෙන්නට වූයේ අශේන්ගේ නිවස දෙස නැවත එක් වතාවක් හැරී බලන අතරේමය….
**************************************
මේ අහපන් දැහැම්…අදින් පස්සේ උඹ හොදට කාලා බීලා ඉන්න ඕන…මොන දේ උනත් උඹ කරපු දේ හොදයි කෙල්ලේ…උඹ ඔය ෆොටෝ එක දිහා කොයි වෙලෙත් බලාගෙන හූල්ලන්න ගත්තා නම් නොකීවට භානූ අයියට උනත් අප්සට් යනවනේ…දැන් උඹ හිතන්න ඕන එයා ගැන විතරයි….
අනූපමා දැහැම්ට පැහැදිලි කරන්නට විය…
උඹ කිව්ව දේ හරි අනූ….භානුක කියන්නේ රත්තරං කොල්ලෙක්…ඒ වගේ මිනිස්සු හොයා ගන්න හරි අඩුයි..භානුක මට පුදුම විදිහට ආදරේ කරනවා…එයා මාව බලා ගන්නේ තාත්තා කෙනෙක් වගේ…මම දැන් එයාගෙ හිත රිදවන්න පොඩ්ඩක්වත් කැමති නෑ…..මට දැනුයි මතක් උනේ…මම ෆෝන් එක ගෙදර දාලා ඇවිල්ලා…භානුක දැන් බය වෙලා ඇති…යමන් ඉක්මනට ..
දැහැම් අනූපමාට පවසා පය ඉක්මන් කලාය…
අප්පේ යමං යමං….නැත්තන් කොල්ලා හැරෙන තැපෑලෙන් නුවර එයි….
අනූපමා සරදම් කරන්නට විය….
දැහැම් නිවසට ගිය හාම කාමරයට ඇතුල් වූයේ දුරකථනය ගෙන බැලීමටයි…ඇය අනුමාන කලා නිවැරදිය…ඒ වෙනකොටත් භානුකගෙන් ඇමතුම් 21 ක් පැමිණ තිබේ…කෙට් පණිවිඩද රාශියක් එවා ඇත…දැහැම් භානුකට ඇමතුමක් ගන්නට සිතනවාත් එක්කම නැවතත් භානුක ඇයට ඇමතුමක් ගත්තේය…
ඇය හලෝ කියන්නටත් මත්තෙන් භානුක කලබල වී සිටින්නට විය…
කොහෙද දැහැම් තමුසෙ ගියේ….යන මගුලක ෆෝන් එක අරන් යන්න බැයිද…මම දැන් කොච්චර කෝල් ගත්තද….තව පොඩ්ඩක් බලලා මම රස්සවත් දමලා ගහලා ආපහු නුවර එන්න ලෑස්ති උනේ…..
ඔහු කෝපයෙන් පැවසීය…
අනේ සොරි භානුක…ඇත්තටම මට ෆෝන් එක ගෙනියන්න අමතක වෙලා…මම ඔයාට කියන්න හිටියේ…අමතක උනා…මම අනූපමා එක්ක අශේන්ගේ අම්මා බලන්න ගියා භානුක…මට සමාවෙන්න…මම ඔයාව තරහා ගස්සවන්න හිතුවේ නෑ…
දැහැම් භානුකගෙන් සමාව අයදින්නට විය…
හරි හරි ළමයෝ මම ඒකට ඔයාට වැරැද්දක් කිව්වේ නෑ නේ…මම කලබල උනේ ඔයා මගේ කෝල්ස් වලට ආන්ස්වර් නොකල නිසා…ඔයාට මොකක් හරි කරදරයක් වත්ද කියලා මම බය උනා…හරි හරි දැන් ඉතින් කියන්නකෝ විස්තර…මට නම් ඉතිං මගේ කෙල්ල මතක් වෙනකොට ඉවසන්න බෑ…මොනවා කරන්නද….මම අනිත්දා උදේම මෙහෙන් පිටත් වෙනවා අම්මාත් එක්ක හොදද….
භානුක පැවසීය…
අනතුරුව දැහැම් භානුකට තමා අශේන්ගේ මව සමග කල කී දෑ ඇතුළු සියල්ල පැවසුව අතරේ භානුක නිහඩව සියල්ල අසා සිටින්නට විය..
බොහෝ වේලාවක් කතා කිරීමෙන් පසු භානුකගේ ඇමතුමින් සමු ගත් දැහැම් නිවසේ ඉදිරි වැඩකටයුතු සියල්ල අනූපමා සමගින් එක්වී සිදු කරන්නට විය…
පියාගේ හත් දවසේ දානයේ වැඩ කටයුතුද කිසිදු අඩුපාඩුවකින් තොරව සිදු කල දැහැම් ඇතුළු ඇගේ පව්ලේ පිරිස සියළු කටයුතු නිමා වී දැහැම් සහ මවත් ඇගේ සොහොයුරත් පමණක් නිවසේ සිටියදී නෑදෑ හිතවතුන් සියලු දෙනා පිටව ගියේ ඔවුනොවුන්ගේ නිවෙස් බලායි…
පොදු ධර්මතාවයට අනුව සියල්ලටම මුහුණ දිය යුතු බව දැහැම් සිතන්නට වුනා….
ජීවිතයේ පැමිණෙන දුක් කම්කටළු ආදී සියල්ල උපේක්ෂාවෙන් දරා ගත යුතුය….
කාලයාගේ ඇවෑමෙන් සියල්ල සාමාන්‍ය තත්වයට පත් වන්නේය….
පියාගේ ඇවෑමෙන් තුන් මසක් එළැඹ ගිය කල භානුකගේ පව්ලේ අයත් දැහැම්ගේ පව්ලේ අයත් එක්ව රාත්‍රී පිරිත් සඣායණයෙන් පසු ස්වාමීන් වහන්සේලා 15ස් නමකට දානය පිරිනමා අටපිරිකර පූජා කිරීමෙන් අනතුරුව පියාට පිං අනුමෝදන් කරවීය…දැහැම් ඒ සෑම අවස්ථාවකම අශේන්වද සිහිපත් කර පිං අනුමෝදන් කලාය….
**************************
ඉකුත් සති දෙකක කාළයකින් පසු භානුක දැහැම්ගේ මව හා සොහොයුරා සමගින් සාකච්චා කොට දැහැම් සමගින් විවාහ වීමට සැළසුම් කලේය…ඔහුට විවාහය ඉක්මණ් කරන්නට සිදු වූයේ ඇමරිකාවට යාමට සිදු වී තිබෙන නිසායි..මේ අයුරින් දැහැම්ව තනිකර යෑමට භානුකගේ සිතට ඉඩ නොදුන්නේය…ඇයත් සමගින් ඒ අවුරුදු දෙක ගෙවා යලි මව් රටට පැමිණෙන අපේක්ෂාවෙන් ඔහු පසු වන්නට විය…
දැහැම්ගේ පියාගේ වියෝව නිසා දැහැම්ට උවමනා වූයේ විවාහය ඉතා චාම් අන්දමින් ගැනීමටයි…භානුකගේ අදහසද ඇගේ අදහසම වූ නිසා ළගම නෑදෑයින් කිහිප දෙනෙකුගේ සහාභාගිත්වයෙන් ඉතා චාම් මනාලියක සේ සැරසුණු දැහැම් භානුකෙගේ පතිනිය වූවාය…
ඔවුන් දින කිහිපයකින් ඇමරිකාවට යාමට සැලසුම් කර තිබූ නිසා හෝටලයක් නොරැදී කෙලින්ම නිවසට ගියේ ඒ දින කිහිපය භානුකගේ නිවසේ හා දැහැම්ගේ නිවසේ ගත කිරීමේ අරමුණින් ය…
එදින රාත්‍රියේ දැහැම් භානුකගේ වූයේ සිතින් වගේම ගතිනුත් ඔවුනොවුන්ගේ වීමෙනි…දැහැම්ගේ ජීවිතේට ඒ දවස නැවුම් අත්දැකීමක් වූ අතර ඇය මෙතෙක් යුවතියක්ව හිද හෙට දිනයේ පටන් පරිණත ගැහැණියක් වී භානුකත් සමගින් ජීවිතේ වෙනස්ම ආකාරයකට පටන් ගන්නට හීන මවන්නට වුනා….
බිදක් වශයෙන් හෙට දිනයේ පටන් ඇයට පැවරෙන වගකීම් බොහෝමයකි…ඒ සියල්ලට මුහුණ දීමට ඇයට භානුකගේ ආදරය ශක්තියකි….ජීවිතය යනු පුදුමාකාරය…දැහැම් මේ සියල්ල එක පෙළට නැවත නැවත මෙනෙහි කලේ භානුකගේ නිරුවත් පපුතුරේ හිස හොවාගෙන සිටිනා අතරේය…භානුක දෙස බැලූ දැහැම් දුටුවේ ඒ මුහුණේ තෘප්තිමත් සිනාහාවකින් යුතුව බොහෝ සැනසිලි බවකි…භානුක සුව නින්දකට වැටී හුන්නේය….දැහැම් අවසානයේ තව තවත් ඔහුගේ උණුසුමට තුරුල් වී දෑස් පියා ගත්තේ ඈ මෙතෙක් ජීවිතයේ ලද නොලැබීම්,දුක්,වේදනා සියල්ල ඉවත් වී භානුක සමගින් හෙට දිනයේ පිය නගන අපූරු සුන්දර ලෝකයට සතුට පමණක්ම රැදේවා කියා පතමිනි….
සමාප්තයි….
දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ කතාව අදින් නිමාවෙනවා යාළුවනේ….මම මේ කතාව ලියන්න අදහස් කලේ දැහැම්ගේ චරිතය පාදක කරගෙනයි….ඇගේ ජීවිතේට වරින් වර නැගි කුණාටු හමුවේ දැහැම් මානසිකව හා ශාරීරිකවද බොහෝ ඇද වැටෙන්නට විය…මුලින්ම ඇය පණ සේ ආදරය කල පෙම්වතා අශේන් ඇය හා විවාහ වීමට මත්තෙන් රිය අනතුරකින් සදහටම සමුගන්නේ දැහැම්ගේ මුලු ජීවිතේම කණපිට හරවමින්…ඇය ඔහුගේ නිකමයෑම දරා ගත්තේ බොහෝ ආයාසයෙන්…ඇගේ සිත රවටාගෙන අශේන් යලි පැමිණෙන තෙක් බලා සිටින්නටද දැහැම් පෙළඹුනා…අවසානයේ ඇගේ මිතුරියගේ ඉල්ලීමට කොළඹ රැකියාවකට යාමට කැමැත්ත දක්වන්නේ අශේන්ගේ මතකයෙන් මිදීමට එයින් හෝ ඇයට හැකි වෙතැයි සිතනා අදහසින්….එහෙත් නොසිතූ මොහොතක ඇගේ දෑස් ඉදිරියට එන්නේ අශේන්ගේම රුවට සමාන තවත් තරුණයෙක්…එයින් කම්පනයට පත්වන ඇය ඔහුගෙන් අශේන්ව සොයා යෑමට වෙහෙසෙන්නීය…ගොඩාක් අය චෝදනා කලා දැහැම් මෝඩයි කියලා…ඒත් හිතන්න අපි උනත් ඒ වගේ අවස්ථාවක එහෙම හැසිරුනේ නැත්තන් ඒක පුදුමයක්….දැහැම් ඔහුගෙන් හොයන්න උත්සාහ කලේ අශේන්ව…අශේන්ගේ ගතිගුණත් ශශීල්ගේ ගති ගුණත් පරස් පර බව දැහැම් වටහා ගන්නේ අවසානයේයි….ඉන් පසු ඇය ජීවිතය කලකිරවා ගන්නේ පොඩ්ඩක් නම් නොවේ…ඇය සෙවූ ලේසිම දේ දිවි තොර කර ගැනීමයි…අපිට උවමනා වෙලාවට මරණය ලං කර ගන්න පුළුවන් කමක් නෑ යාළුවනේ…ඒකත් සිද්ධ වෙන්නේ දෛවය අනුව….භානුක දැහැම්ට ආදරය කරන්න ගන්නේ ඇයව දුටු මොහොතේ පටන් උවත් භානුක යනු බොහෝ ඉවසීමෙන් වැඩ කරණ යහපත් තරුණයෙක්…ඔහු ටිකෙන් ටික දැහැම්ට ළං වුනත් දැහැම් නොදැන සිටි එක් කරුණක් වූයේ රූපයෙන් ඔහු අශේන්ට පරස් පර වුවත් ගතිගුණ අතින් භානුක අශේන්ටත් වඩා ඉදිරියෙන් සිටින බව..අවසානයේ භානුකගේ ආදරයෙන්ම දැහැම් එය අවබෝධ කර ගන්නා අතර භානුක දැහැම්ගේ ජීවිතේම වෙනස් කරන්නේ ඔහු ඇගේ සතුට පමණක්ම අපේක්ෂා කල නිසයි…ආදරේ කරන්න අපි ආදරේ කරන කෙනෙක්ට වඩා අපට ආදරේ කරන කෙනෙකුට…ඒ ආදරේ ඒ බැදීම ගොඩාක් ශක්තිමත්….දැහැම්ගේ ජීවිතේ ඉදිරි කාලේ පුරාවටම භානුක ඇය හා එක් වන්නේ ඒ ආදරේ නිසාමයි….ඉතිං යාළුවනේ මේ මගේ පස් වෙනි නවකතාව….අදින් මේ කතාව අවසන්…මම කැමතී කතාව කියවලා ඔයාලට හැගුණු අදහස් චෝදනා සියල්ල දැන ගන්න…මම ටික කාලයක් විවේකීව ඉන්න තීරණේ කලා…දැනට මගේ තව කතාවක් මේ ගෲප් එකටම ලියනවා…. ඒ වගේම මේ ගෲප් එකේ ඇඩ්මින් මඩුල්ල ආදරෙන් මතක් කරන්න කැමති…ඔයාලගේ ගෲප් එකේ මගේ නිර්මාණ වලට ඉඩක් ලබලා දුන්නට ගොඩාක් ස්තුතියි ..ආදරණීය යාළුවනේ
ඔයාලා හැමදාම මට දක්වපු සහයෝගෙට ගොඩාක් ස්තූති…ආදරෙයි ගොඩාරියක්…..
Verry nice