මා නොවේ ඈ නුඹේ – 01 කොටස – Sherangi Shanika
“දෝණී මේ නිවාඩු දවසෙත් කොහෙද යන්න හදන්නෙ” යුවතිගෙ ගෙදර යන්න ලේස්ති වෙලා බුදුන් වැඳලා එන විහංසා දිහා බලාගෙන උදේන ඇහුවෙ පුදුමෙන්.
“ඇයි තාත්තා මම කිව්වෙ අද යුවතිගෙ ගෙදර යනව කියලා. උදෙත් කෝල් කරා කීයටද එන්නෙ අහලා.” විහංසා කියන්නෙ දිගැටි ඇස් ලොකු කරලා.
“අනේ පුතේ මට අමතක උනා. හා හා ඉක්මණින් යන්න එහෙනම්. නැත්නම් පාරටම වෙලාව ඉවරයි.” උදේන තමන් ඉදිරියේ දණ ගහලා වඳින කෙල්ලගෙ හිස ආදරෙන් අත ගාමින් කිව්වා.
විහංසා තද නිල් ඩෙනිම් එකට රතු පාට අත් දිග බ්ලවුස් එකක් ඇඳලා ඉණෙන් පහලට වැටුනු කොන්ඩෙ එකතු කරලා කට්ටක් ගහලා චූටි මේකප් එකක් දාලා සාමාන්‍ය විදියටයි යන්න ලේස්ති උනේ. ඇය එහෙම ඇන්දම හරිම ලස්සනයි. වැඩට යන්න අඳින්නෙ සාරිය නිසා අනිත් හැම දවසකම ඇය ඩෙනිම් අඳින්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම ඇය සාරිය ඇන්දම කොණ්ඩෙ ගෙඩියක් ගහන්න අමතක කලේ නෑ කවදාවත්. හැමෝම කිව්වෙ ඇයට එහෙම ලස්සනයි කියලා.
“විහංසා කැෂුවල් ඇන්දම ලස්සනයි” විහංසාට මතක් උනේ දැන් දවස් පහකට කලින් ඔෆිස් එකට ආව අනාගත බොස් කිව්ව කතාවක්. ඒ අහස්. සහස්‍රාගෙ පොඩි අයියා. විහංසා මුලින්ම අහස් දැකපු දවසෙ ඉඳන්ම ඇයට දැනුනෙ කාලෙක ඉඳන් දන්නවා වගේ හැඟීමක්. ඒ ඇස් කොහොමත් ඇයට හුරුයි. මුලින්ම දැකපු වෙලාවෙ ඉඳන් අහස් විහංසාගෙ සමාගමයට කැමති උනා. ඒ නිසා දැන් සහස්‍රා වගේම අහසුත් විහංසාගෙ යාලුවෙක්. විහංසාට යාලුවො කවුරුත් කතා කලේ සමී කියලා. විහංසා කියන කොටස තමන්ගෙ නමේ තියෙනවා කියලා දැනුනෙත් අහස් එහෙම කතා කරද්දි. තමන්ගෙ නම ඒ තරම් ලස්සනට කවුරුවත් කියල නෑ කියලයි විහංසාට හිතුනෙ.
ඒ එක්කමයි විහංසාට මතක් උනේ සහස්‍රා කිව්වා අද අහස් අයියට මනමාලියෙක් බලන්න යනවා කියලා. අද යුවති බලන්නත් මනමාලයෙක් එනවා. මාරයි. හිතට ගොඩක් ලඟ දෙන්නෙක්ගෙ අනාගතේ ගැන තීරණය කරන දවස එකක් වෙලා.
_______________________________________________________
යුවති ලස්සන කැන්ඩියන් එක ඇඳලා උරහිසෙන් ඩිංගක් පහලට වැටුන කොණ්ඩෙ කඩල දාලා තනියමම මේකප් කරගන්න ගමන් හිටියෙ විහංසා එද්දි.
“අම්මෝ චූටියෝ හරිම ලස්සනයි.” විහංසා කාමරේට ආවෙ යුවතිගෙ ලස්සන බලමින් කෑගහගෙන. මේක විහංසාට නුපුරුදු ගෙයක් නෙමෙයි නිසා ඇය කෙලින්ම එන්නෙ යුවතිගෙ කාමරේට. විහංසා යුවතිගෙ ගෙදර එන්න පටන් ගත්ත දවසෙ ඉඳන් විහංසා යුවතිට කතා කරන්නෙ යුවතිගෙ ගෙදර අය කතා කරන විදියටමයි. යුවතිත් විහංසාට කතාකරන්නෙ නම කියලා නෙමෙයි.
“අපෝ දෝණි අක්කා බොරු කියන්න එපා. මම තාම මේකප් කරලත් නෑ හලෝ.” යුවති කියන්නෙ මූණත් ඇද කරන්.
“ඒ උනාට මේකප් නැතුව ඔයා හරිම ලස්සනයි චූටි. ඇත්තමයි.” විහංසා මේකප් බොක්ස් එකත් ලඟින් තියාගෙන යුවතිගෙ ඉස්සරහින් වාඩි උනා.
“ඔයා වෙලාවට ආවෙ නැත්නම් තනියම තමයි මේකප් කරන්න වෙන්නෙ. වෙනද වගේ මේකප් කරල මදිනෙ. ඒ නිසා ටිකක් හොඳට ඕක ගාන්න. නැත්නම් මනමාලයා පැනල දුවයි මාව දැකලා.” යුවති කියන්නෙ අත් දෙක එහා මෙහා කර කර රඟපාන ගමන්.
“පිස්සී දඟ නොකර ඉන්නවා. මට මේක හරියට කරන්න.” විහංසා හෙමිහිට ලස්සනට යුවතිව මේකප් කරා. දෙන්නත් එක්ක නිකන් ඉන්න එකනෙ කියලා චාටඩ් ක්ලාස් එකෙන් පස්සෙ බියුටි කල්චර් කෝස් එකක් කරා. ඒකෙන් දෙන්නටම ලස්සනට මේකප් කරගන්න පුලුවන්කම තිබුනා.
“වාව්… සෝ කියුට් චූටි. ඇත්තමයි. අද මෙහෙම නම් ඔයා මනමාලියෙක් වෙද්දි හරිම ලස්සනට ඉඳියි. ආදරේ හිතෙනවා අපිටත්.” විහංසා කියද්දිම යුවතිගෙ අම්මත් ආවා.
“ඇත්තටම ලස්සනයිද අම්මා.” යුවති පොඩි එකෙක් වගේ අහද්දි වන්දනාට හිනයි.
“ඔව් මගේ දූ හරීම ලස්සනයි. පුංචි මනමාලියෙක් වගේ. හැබැයි චූටි දූ මේ මනමාලයෙක් බලන්න ආවට ඉක්මණට බඳින්න නම් වෙන්නෙ නෑ හොඳද?” වන්දනා කිව්වෙ කෙල්ලව ඉක්මණින් යවන්න ලෝභ කමේ.
“මාත් කොහොමත් දැන්ම යන්න අදහසක් නෑ. දෝණි අක්කගෙ හීන කුමාරයා හම්බ වෙනකන් ඉන්න ඕනෙ නේද දෝණියෝ. කවදා හරි අපි දෙන්නම බඳින්නෙ එකම දවසක. ඔන්න බෑ කියන්න නම් බෑ අම්මා.” යුවති හිනා වෙවී කියද්දි විහංසගෙ ඇස් වලට කඳුලක් ආවා.
විහංසාට මතක් උනේ නිතරම වගේ හීනෙන් පේන කොල්ලව. එයාව කවදාවත්ම දකින්න නොලැබුනොත් කවදාවත් කසාද බඳින්නෙ නෑ කියලා හිතමිනුයි විහංසා හිටියෙ. මේ ගැන ඇය යුවතිට වගේම සහස්‍රාටත් කියලා තිබුනා. දැන් අවුරුදු ගානක ඉඳන් තමන්ට මේ පේන්නෙ කවුද කියලා ඇය හැමදාම කල්පනා කලා. ඒ එක්කමයි ඇයට මතක් උනේ දැන් නම් ගොඩක් දවසකින් ඔහුව දැක්කෙ නෑනෙ කියලා.
“මොකද්ද මොකද්ද දෝණි ඒ කතාව. කවුද හීන කුමාරයා” වන්දනා අහද්දි විහංසා යුවති දිහාට ඇස් යැව්වෙ දැන් ඉතිං උඹම කියපං කියන්න වගේ.
“ආහ් මෙයා නිතරම හීනෙන් කොල්ලෙක්ව දකිනවලුනෙ අම්මා. එයා ගැන මම කිව්වෙ” යුවති එහෙම කියලා පුටුවෙන් නැගිටලා එහෙට මෙහෙට හැරෙමින් හැඩ බැලුවා.
“ම්ම්ම් කියන්න තරම් චූටිගෙ වැරැද්දක් නෑ නේද අම්මා.” යුවති අහන්නෙ වන්දනාගෙ කරට අත දාගෙන.
“ඔව් ඔව් මගේ කෙල්ලො දෙන්නා කවදත් මට ලස්සනයි.” වන්දනා කිව්වෙ විහංසාවත් ලඟට ඇද ගනිමින්.
විහංසා වන්දනාට ලං වෙන්නෙ ඇයට තමන්ගෙ අම්මව නිතරම මතක් වෙන නිසාත් ඇත්තටම වන්දනා ඇයට අම්මෙක් නිසාත්.
“වන්දනා කට්ටිය එනවා. පහලට එන්න.” දයාන් කතා කලේ සේනාධීර පවුලේ අය රැගත් වාහනය ගේට්ටුවෙන් ඇතුලට එනවත් එක්කමයි. වන්දනා ආදරෙන් යුවතිගෙ නලල සිපගෙන පහලට ගියේ යුවතිව වෙලාව ආවම පහලට එක්කන් එන්න විහංසාට මතක් කරමින්.
“මනමාලයා හැඩයිද දන්නෙ නෑ නේද දෝණියෝ. දැන් නම් බයයි වගේ හලෝ.” යුවති කිව්වෙ වෙනද වගේ සැහැල්ලුවෙන් නම් නෙමෙයි.
“අපෝ දැන්මම ඔහොම බය උනාම හරිද මැට්ටියේ. බය වෙන්නෙ මොකටද. ඒ ආවෙ ඔයාව බලලා යන්න මිසක් බලෙන් උස්සන් යන්න නෙමෙයිනෙ.” විහංසා කිව්වෙ යුවතිගෙ කම්මුලක් අත ගාමින්. ඇය දන්නවා යුවති අද හොඳටම එක්සයිට් වෙලා ඉන්නෙ කියලා.
“අනේ අක්කේ ගිහින් බලන්නකෝ. ඔයා කලින් බැලුවොත් තමයි වැඩිය හොඳ” යුවති ඒක ඇත්තටම කිව්වත් විහංසා හිතුවෙ විහිලුවක් කලා කියලා. ඇය ඒ නිසා හිනා වෙලා හිටියා මිසක් පහලට එබෙන්න ගියේ නෑ.
“චූටි ඒ කොල්ලා මුලින්ම ඔයාව දකින්නෙ අදනෙ. ඒ නිසා එයාගෙ හිතේ ඔයා ගැන ඇති වෙන ඉමේජ් එක සුභ වාදී වෙන්න නම් ඔයා අද හොඳට ඉන්න ඕනෙ. තේරුණාද? දඟ වැඩ බෑ. නිවිලා ඉන්න.” විහංසා කිව්වෙ යුවතිට තියෙන විසේ එසේ මෙසේ නැති නිසා.
“හරි හරි මම එහෙනම් අද ඔයා වගේ ඉන්නම්කෝ. හරිනෙ.” යුවති කිව්වෙ විහංසා වගේම අහිංසකව හිනාවෙලා.
“දූ පහලට යමු. දෝණි ඔයත් යමු.” වන්දනා කාමරේට ඇවිත් කතා කරත් විහංසා යන්න අදි මදි කරා.
“අනේ අම්මා මම එන එක හරි නෑනෙ. මම කෑම මේසෙ බලන්නම්. මෙයාව එක්කන් යන්න අම්මා.” විහංසා එහෙම කියලා පඩිපෙලෙන් බැහැපු ගමන් කුස්සියට දිව්වා.
“මොනාද වැඩ කුසුම් අම්මා” විහංසා කුස්සියට යද්දි කුසුම් බරටම වැඩ.
“අනේ දෝණි නෝනා නෝනට මොන වැඩක් වත් නෑ. මේ තේ ටික හදලා ගත්තම කරන්න කිසිම දෙයක් නෑ.” කුසුම් හිනා වෙලා කියලා ආයෙම තේ හදන්න ගත්තා.
ඒ අතරේ විහංසා හෙමිහිට සාලෙ දිහා බැලුවෙ යුවතිගෙ මනමාලයා කවුද බලන්න.
විහංසාට මියුරංගව පෙනුනෙ පැත්තෙන් උනත් ඇයට ඇගේ හිතේ උඩින්ම ඉඳපු අහස් අයියව අඳුර ගන්න අපහසු උනේ නෑ.ඇවිත් ඉන්න කට්ටිය දැක්කම විහංසා පුදුම උනා. ඇයට ඇගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා සහ ඔහුගේ පවුලේ අය අඳුර ගන්න බැරි උනේ නෑ. මේ පවුල් දෙක කොහොමත් එකට පෑහෙන පවුල් දෙකක්. දෙගොල්ලොටම මුදල් වලින් වත් පොහොසත් කම් වලින් බල පුලුවන්කාරකම් වලින් කිසිම අඩුවක් නෑනෙ. තකට තක. විහංසා එහෙම හිත හිත එතනම වාඩි උනා.
ටිකකින් කට්ටියම තේ බොන්න එනකොට විහංසා හෙමිහිට කුස්සිය පැත්තෙන් මිදුලට බැස්සේ යුවතිගෙ ගෙදර විහංසා ආසම තැනට යන්න. ටිකක් වෙලා ඉන්නකොට යුවති මියුරංග එක්ක මිදුලට ඇවිත් විහංසා ඉඳපු තැනට ආවා. විහංසා හිටියෙ බුදු මැදුර ඉස්සරහා තණ බිස්සේ වාඩි වෙලා.
“දෝණි අක්කා… මොකද සමවැදිලද? මේ බලන්න කවුද ඉන්නෙ කියලා.” යුවති තමන්ගෙ පිටුපසින් ඉඳන් විහංසා දිහා බලන් ඉන්න මියුරංගව පෙන්නුවා.
ඒ ඇස් දෙක දැකපු ගමන් විහංසාට දුක හිතුනා. අහස් බලන් හිටියෙ කටත් ඇර ගෙන. ඒත් කිසිම වෙනසක් නැතුව අද දැක්කා වගේ මූණ හදාගන්න මියුරංගට මහ වෙලාවක් ගියේ නෑ.
“දෝණි අක්කා මේ ඉන්නෙ මියුරංග සේනාධීර. එතකොට මියුරංග අයියා මේ ඉන්නෙ මගේ හොඳම යාලුවා සමින්දි.” යුවති දෙන්නට දෙන්නාව අඳුන්වලා දුන්නා.
“හෙලෝ… කොහොමද?” මියුරංග විහංසා දිහාට අත දිගු කරලා කතා කලා. විහංසාට පුදුමයි දන්න බවක්වත් ඇඟෙව්වෙ නෑනෙ. හීනෙන් මෙන් මියුරංගට අත දුන්නත් විහංසා උන්නෙ හීනෙක අතරමං වෙලා.
“අක්කා… අපි අර පැත්තට යන්නම්.” යුවති එහෙම කියලා මියුරංග එක්ක එහා තිබුන බෙන්ච් එකට ගියා. විහංසා හිස වැනුවා මිසක් මුකුත් කිව්වෙ නෑ.
“දෝණි එයාට කැමති ඇති. ඒකනෙ බොහොම තැන්පත් වෙලා ඉන්නෙ.” විහංසා එහෙම හිතුවා විතරයි.
“ඒයි සමී… ඔයා කොහෙද මෙහේ.” සහස්‍රා විහංසාගෙ පිටිපස්සෙ ඉඳන් අහද්දි විහංසා ගැස්සිලා ගියා.
“සහස්‍රා… අහස් අයියා මෙහේට එනවා කියලා මම දන්නෙ නෑ. මේ මගේ චූටි. මම අර ඔයාට කියන්නෙ.” විහංසා සහස්‍රාගෙ අතින් අල්ලන් කිව්වා.
“අනේ මේ එයාද? හරි ලස්සනයි නේද? මට ඔයාට කියන්න බැරි උනානෙ අයියා එන්නෙ මෙහෙට කියලා. යුවති කිව්වට මටත් එච්චරම නෝට් උනේ නෑ බං.” සහස්‍රා නම් දැන්මම යුවතිට කැමතියි වගේ කිව්වෙ. විහංසට මොකද්දෝ දුකක් දැනුනා.
“අයියෝ ඒකට මොකද කෙල්ලෙ. දැන් ඉතින් කියන්න ඕනෙ නෑනෙ. දැක්කනෙ.” විහංසා ඇගේ නොසන්සුන් ඇස් හංගමින් කතා කලා.
“ඇයි මට දුක හිතුනෙ. අහස් අයියා මට අයිති නෑ.” විහංසා දිගින් දිගටම හිතුවා.
ආයෙත් හමුවෙමු.