මා නොවේ ඈ නුඹේ 10 කොටස

“ගිහින් එන්නම් තාත්තා බුදු සරණයි.” බුදුන් වැඳලා ඇවිත් විහංසා තාත්තට වැඳලා ටවුන් එකට ගියා. උදේන බලන් හිටියෙ මලක් වගේ පිපිලා ඉන්න කෙල්ල දිහා.

විහංසා යද්දො සහස්‍රා ඇවිත් හිටියෙ. දෙන්නත් එක්ක ශොපින් කරලා කරලා දවල් වෙද්දි හොඳ ගනන්. කොහොම හරි යන්තන් දොළහමාර විතර වෙද්දි තව ගන්න තිබුණෙ දෙන්නට එක වගේ ස්ලිපර්ස් විතරයි. හැමදේම කෙල්ලො දෙන්නා ගත්තෙ එකම ඩිසයින් වලින් පාට දෙකකින්. කාලෙකට පස්සෙ මෙහෙම විනෝද වෙන්නෙ කියලා විහංසා හිතුවා.

දෙන්නත් එක්ක හරියටම එකයි දහය වෙද්දි ටවුන් එකේ තිබුණ සාමාන්‍ය හොටෙල් එකකට ආවා. සහස්‍රා මොකක්දෝ දේකට ස්ට්‍රෙස් වෙලා කියලයි විහංසාට හිතුනෙ. ඒත් ඇය මුකුත් ඇහුවෙ නැත්තෙ කවදත් ඇයට එහෙම පුරුද්දක් නොතිබුන නිසා.

“කොච්චර ලොකු උනත් මේකෙ කවුරුවත් නෑනෙ සහස්‍රො. මේ අපි වෙන එකකට යමුද. මගෙ හිතට හරි නෑ.” විහංසා ඉඳගන්නෙ නැතුව කිව්වා.

“පිස්සු නැතුව වාඩි වෙයන් බං” සහස්‍රා ඇයව ඇදලා වාඩි කෙරෙව්වා.

“මේ විනාඩියක් ඉඳපං හොඳේ. මම රයිස් ඕඩර් කරල එන්නම්.” සහස්‍රා නැගිටින්න හදද්දි විහංසා අතින් ඇල්ලුවා.

“අනේ බං මගෙ හිතට හරි නෑ අපි වෙන තැනකට යමු.” විහංසා බෑග් ටිකත් අරන් නැගිටිද්දිම….

“හැපී බර්ත් ඩේ ටූ යූ…
හැපී බර්ත් ඩේ ටූ යූ…
හැපී බර්ත් ඩේ ඩියර් සමී…
හැපී බර්ත් ඩේ ටූ යූ…” කට්ටියක් වට වෙලා මූස් ස්ප්‍රේ කරා විතරයි විහංසා දැක්කේ. කෙල්ල ඇස් පියා ගත්තා.

“හරි හරි ඇස් අරින්න. කෝ… දෝණී…” ඒ කටහඬට විහංසා ඇස් ඇරියා නෙමෙයි ඇස් ඇරුනා.

“චූටි???” විහංසා පුදුමෙන් කතා කලේ.

“අනේ මගෙ මෝඩ කෙල්ල. කොහොමද හිතුවෙ මම ඔයා එක්ක තරහ උනා කියලා. කවද ඉඳලද ම්සෙ සර්ප්‍රයිස් එකට රෙඩි උනේ අපි. නේද අංකල්.” යුවති කියද්දි විහංසාත් බැලුවා.

“තාත්තා…. හරිම නරකයි. මට අමතක වෙලා තිබුණෙ.”
විහංසා උදේනට තුරුලු උනා.

“අද කිරිබත් හැදුවෙ මගෙ දෝණිගෙ විසි පස් වෙනි උපන් දිනේ නිසා.” උදේන මොකක්දෝ පෙට්ටියක් විහංසා අතින් තියලා නලල සිප ගත්තා.

“බුදු සරණයි මගෙ දෝණිට.” උදේන කිව්වා.

“එතකොට මේක මගෙන්.” සහස්‍රා ඇවිත් තවත් පෙට්ටියක් දුන්නා.

“මෙනි හැපි රිටර්න්ස් ඔෆ්ද ඩේ සමී.” ඇය විහංසාගෙ දෙකොපුල සිප ගත්තා.

“මගෙන් මොනවද කියලද බැලුවෙ?” යුවති ඇහුවා.

“මට වෙන මොනවත් මොකටද චූටි මට ඔයා ඉන්නෙ.” විහංසා ඇයව වැළඳ ගෙන කිව්වා.

“එහෙම බෑ. වටිනම තෑග්ග දෙන්නෙ මං. ඔන්න බලන්න..” එහෙම කියපු යුවති විහංසාගෙ ඇස් දෙක වැහුවා.

ඒ එක්කම ලස්සන කේක් එකක් ගෙනත් ටේබල් එක උඩින් තිව්වෙ මියුරංග.

“දැන් හරි. ඔන්න බලන්න.” යුවති විහංසාගෙ ඇස් අත ඇරියා.

“හරිම ලස්සනයි. තෑන්ක් යූ ඔයාල හැමෝටම. මටත් අමතක වෙලා තිබුන මගේ බර්ත් ඩේ එක මතක තියන් හිටියට ගොඩක් තෑන්ක්ස්.” විහංසා ඇස් වලට නැගුනු කඳුලක් පිසදාගෙන කිව්වා.

“දැන් මේ හොඳ වෙලාවෙ අඬන්නෙ මොකද?” සහස්‍රා ඇයව තුරුලු කරන් ඇහුවා.

“ඔයාවත් නිකමටවත් ඇඟෙව්වෙ නෑ නේද?” විහංසා අමනාපෙන් වගේ කිව්වා.

“කිව්ව නම් මේ වගේ සර්ප්‍රයිස් වෙනවද මැට්ටී.”

විහංසා කේක් එක කැපුවා. හැමෝටම කේක් කැව්වා. යුවතිට කේක් කැව්වම ටිකක් ලොකු මොකක්දෝ බෝඩ් එකක් වගේ එකක් දුන්නා. මියුරංගත් ලස්සනට ඔතල තිබුන පොඩි පෙට්ටියක් දුන්නා.

විහංසා කාලෙකට පස්සෙ හදවතින්ම සතුටු උනා. හවස හැමෝම බීච් ගියා. උදේන බඩු ටිකත් අරන් ත්‍රී වීල් එකක ගෙදර ගියා. මියුරංගගෙ වෙහිකල් එකේ කට්ටියම බීච් ගියා.

මියුරංග කට්ටියටම අයිස් ක්‍රීම් ගෙනාවාම සහස්‍රායි යුවතියි අයිස් ක්‍රීම් කන්න දිව්වත් විහංසා මුහුදු රළ පාගමින් විනෝද උනා. එක පාරම මුහුදු රැල්ල එද්දි විහංසා පොඩි දරුවෙක් වගේ කෑ ගහගෙන දුවද්දි ඒ අවස්ථාව ලස්සනට කැමරා කාචයට හසු කරගන්න කෙනෙක් සමත් උනා.

කොහොම උනත් මේ සර්ප්‍රයිස් වැඩේ නිසා විහංසාගෙ හිතේ සතුට වැඩි උනා වගේම තව දෙයක් උනා. ඒ තමයි මියුරංගගෙ හිතේ යුවති ගැන මොකක්දෝ හැඟීමක් ඇති උනා. කට්ටියම හොඳට විනෝද වෙලා හවස යුවතිවත් විහංසාවත් ගෙවල් වලට දාලා මියුරංගයි සහස්‍රායි ගෙදර ගියා.

“දෝණි අද ගොඩක් සතුටින් නේද?” උදේන කාමරේට ආවෙ විහංසා ගෙදර ඇවිල්ලත් යුවති එක්ක කෝල් එක ඉවර උනාට පස්සෙ.

“ඔව් තාත්තා. මට අද හරිම සතුටුයි. මම හිතුවෙ චූටි ඇත්තටම මාත් එක්ක තරහ වෙලා කියලා. මම ඒත් බැලුවා හේතුවක් නැතුව ඇයි එක පාරම එහෙම කලේ කියලා.” විහංසා හිනාවෙවී කිව්වා.

“අපි බලමුකො දෝණිගෙ යාලුවො මොනවද දුන්නෙ කියලා.” උදේන ඇඳෙන් වාඩි උනේ තෑගි ටික ඇඳ උඩ නිසා. යුවති අම්මගෙනුයි තාත්තගෙනුයිත් කියලා මොනවද තෑගි වගයක් ගෙනත් තිබුනා.

“මේක තාත්තා දුන්න එක. බලමුකො මොනවද කියලා.” විහංසා අතට ගත්තෙ උදේන දුන්නු පෙට්ටිය.

“වාව් තාත්තා. ඒක ලස්සනයි.” විහංසා ඔරලෝසුව අතට තියන ගමන් කිව්වෙ.

“පරණ ඩිසයින් එකක් තමයි. ඒත් ඕක ඔයාගෙ අම්මගෙ පුතේ. ඕක එයා ගත්තෙ එයාට අසනීපෙ ගැන දැන ගත්ත දවස් වල මාත් එක්කම ගිහින්. ඔයාගෙ විසි පස් වෙනි උපන් දිනේට දෙන්න කිව්වා.” උදේන ඇස් වල කඳුලු පිහිද ගෙන කිව්වා. විහංසාගෙ ඇස් තෙත් උනා.

“මට මගෙ අම්මගෙ ආදරේ කවදාවත් අමතක වෙන්නෙ නෑ තාත්තා.” විහංසා තාත්තට තුරුලු උනා.

“හරි හරි දැන් අනිත් ඒවත් බලමු. කෝ ගන්න.” උදේන කිව්වෙ ටික වෙලාවක් කෙල්ලට අඬන්න දීලා.

“මේක යුවතිගෙ. මේ මොකද්ද මන්දා මෙච්චර ලොකු.” විහංසා එහෙම කියමින් කොලය ගැලෙව්වා.

“අනේ… චූටි මට කොච්චර ආදරෙයිද බලන්න තාත්තා. මේක ගත්තෙ චාර්ටඩ් ක්ලාස් එකේ අන්තිම දවසෙ.” විහංසාගෙ කඳුලු ආයෙත් අලුත් උනා.

අඬ අඬම ඇය අනිත් තෑගිත් ගලවලා බැලුවා. සහස්‍රාගෙන් සමී කියලා ඉන්ග්ලිෂ් වලින් ගහපු ලස්සන පෙන්ඩන්ට් එකක්. මියුරංගගෙන් අලුත්ම වර්ගයේ හෑන්ඩ් ෆෝන් එකක්. ඒක දැක්කම ඇයට බැලුනෙ ඇගේ ලඟ තිබුනු පොඩි ෆෝන් එක. ඇයට ෆෝන් එකක් ගන්න වත්කම ඕනවටත් වඩා තිබුනා. මොකද ඇගේ වැටුප කීයද කියලවත් ඇය දන්නෙ නෑ. ඒක එහෙම්මම පොතට යනවා මිසක් ඇගේ ලඟ ඒ පොතවත් නෑ. අවශ්‍ය හැමදේම තාත්තා අරන් දුන්නා. ඒත් කවදාවත් ඇයට හොඳ ෆෝන් එකක අවශ්‍යතාවක් දැනුනෙ නෑ. යුවතිගෙ අම්මගෙන් සාරියක් සහ තාත්තාගෙන් ගිෆ්ට් වවුචර් එකක් ලැබිලා තිබුනා. මේ සේරම් යුවතිගෙ වැඩ බව විහංසා දන්නවා. ඇයට එහෙම තමයි. මොන දේටත් ඇය තමයි වැඩියෙන්ම දෙන්න ඕනෙ. ඒක ඇගේ ආසාව.

විහංසා නින්දට වැටුනෙ හිත සතුටින්. ඇය කල්පනා කලේ හෙට දවස යුවති කලින්ම වෙන් කර ගත්තෙ මොකටද කියලා.

__________________________________________________________________

“මේ ඇයි ඔය තරම් විහංසාට ආදරේ?” මියුරංග ඇහුවෙ ගෙදර යනගමන්.

“සමී කියන්නෙ මට මතක කාලෙ ඉඳන් මගේ යාලුවා. ඔයා දන්නවනෙ මගේ යාලුවොන්ගෙ හැටි. ඒ අතරින් මගේ හිතේ උඩින්ම ඉන්නෙ සමී. වෙලාවකට ලොකු අයියගෙ හරි ඔයාගෙ හරි වයිෆ් කරන් මේ ගෙදරට ගේන්න හිතෙන තරම්. ඇත්තමයි.” සහස්‍රා කියද්දි මියුරංග එහෙම්මම වාහනේ බ්‍රේක් කරා.

“මොකක්?”

“හරි හරි අයියෝ යුවති ඔයාගෙ තමයි. ඕකට ඔච්චර හයියෙන් බ්‍රේක් කරන්න ඕනෙද. මං හොඳටම බය උනා.” සහස්‍රා ලිව්වෙ මියුරංගට එකක් ගහන ගමන්.

“මොකද්ද හලෝ ඒ කිව්ව හරුපෙ.”

“මම කිව්වෙ ඉස්සර මං හිතන් ඉඳපු හැටි. කොහෙද මම එයාව ඔයාට අඳුන්නලා දුන්නා විතරයි අම්මලා ඔයාට යුවතිව බැලුවනෙ. අපරාදෙ.” සහස්‍රා කිව්වෙ ඇත්තටම.

“බූරු කතා නොකියා ඉන්නවා. ගෙදරදි එහෙම ඕව කියනව නෙමෙයි.” මියුරංග සැර කරා.

“හ්ම්ම්…” ඉතුරු ටික කියාගන්න උනේ නෑ සහස්‍රාට. ඇය කියන්න හිටපු දේ හිතේම තියාගෙන ගෙදර ඇවිත් කාමරේට ගියා.

“තෑන්ක් යූ රංග අයියා.” යුවති කිව්වෙ මියුරංගට කෝල් එකක් අරන්.

“ඇයි තෑන්ක් කරන්නෙ?”

“හැමදේටම. දෝණිව සර්ප්‍රයිස් කරන්න දුන්න හැම සපෝර්ට් එකකටම තෑන්ක් යූ.”

“හරි හරි ඒ හැමදේම කලේ මාත් ගොඩක් ආසාවෙන්. පලවෙනි වතාවට දැක්කෙ මේ වගේ යාලුකමක්.”

“ඒ යාලුවෙක් නෙමෙයි. මගෙ හැමදේම. එයාගෙ සතුට වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ.” යුවති ආදරෙන් කියද්දි මියුරංගට මතක් උනේ විහංසා කියපු කතාව. ඇයත් මේකම කිව්වා නේද කියල මියුරංගට මතක් උනා.

“යුවති…..” මියුරංග කතා කලා. යුවති හිතුවෙ ලොකු කතාවක් කියන්න යන්නෙ කියලා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *