මා නොවේ ඈ නුඹේ 42 කොටස
“ඔයාලා ඉන්න මම බලන්නම්.” අම්මා එහෙම කියලා කාමරේ දොරට තට්ටු කලා. අප්පච්චි දොර ඇරලා අම්මව ඇතුලට අරන් දොර වැහුවා දඩාං ගාලා.
“බඩී….” උදම්ගෙ සද්දෙට මියුරංග උඩට ගියා නෙමෙයි පිම්බා.
“බබා… මොකද උනේ???” මියුරංගත් සහස්‍රාගෙ කම්මුල් වලට තට්ටු කරමින් කතා කලා. ඒත් සහස්‍රාට සිහිය ආවෙ නෑ.
“බඩී… මොකද්ද ලමයෝ උනේ. මල්ලා වතුර එකක් අරන් වරෙන්.” උදම් කියනකොට මියුරංග මගක් දුවලත් ඉවරයි.
වතුර ඉහලා ටිකක් වෙලා ගියාම සහස්‍රාට සිහිය ආවා. සහස්‍රා අඬ අඬම ෆෝන් එක අරන් විහංසාට කෝල් එකක් ගත්තා. ඒත් විහංසා ආන්සර් කලේ නෑ.
“බඩී ඇයි මේ… මොකද?” උදම් අහද්දි සහස්‍රා උදම්ව බදාගෙන අඬන්න ගත්තා.
“ලොකු අයියා සමී ලයින් එකේ හිටියෙ එයාට සේරම ඇහෙන්න ඇති. සු…” සහස්‍රා කියන අතරෙම මියුරංග දුවලා ගිහින් වාහනේ ස්ටාර්ට් කරගත්තා.
“බඩී මම යනවා. මොකක් කරගනීද දන්නෙ නෑ. අම්මටයි අප්පච්චිටයි කියන්න.” උදම් එහෙම කියාගෙන ඔහුත් වාහනේ අරන් මියුරංග පස්සෙන් ගියා.
“අම්මා… අම්මා… අනේ අප්පච්චි…” සහස්‍රා දොර කැඩෙන තරම් හයියෙන් දොරට ගැහුවෙ.
“ඇයි බබා… මොකද?” අම්මා දොර ඇරන් ආවෙ සාමාන්‍ය විදියටමයි.
“අම්මා… සමී හැමදේම අහන් හිටියෙ. ඒක අයියට කියද්දිම සුදු අයියා කාර් එක අරන් ගියා. ලොකු අයියත් ඒ පස්සෙන් ගියා. අනේ අම්මා මට බයයි” සහස්‍රා අම්මව තුරුලු කරගෙන ඇඬුවා.
“ඉන්නකො ඔහොම පොඩ්ඩක්. මම අප්පච්චිට..” අම්මා කියද්දිම අප්පච්චි එලියට ආවා.
“නගිනවා දෙන්නම කාර් එකට.” අප්පච්චි එහෙම කියාගෙන ගිහින් වාහනේ ස්ටාර්ට් කරගත්තා. විහංසාගෙ ගෙදරට යනකන්ම කාගෙවත් කතාවක් ඇති උනේ නෑ.
මියුරංග කාර් එකෙන් බැහැලා දුවගෙන ගියේ කෙලින්ම විහංසාගෙ කාමරේට.
“විහංසා අනේ මැණික. කතා කරන්නකො. විහංසා …” මියුරංග විහංසාට කතා කලත් විහංසා හිටියෙ සිහිසුන්ව.
උදම් මියුරංගගෙ පිටිපස්සෙන්ම ආව නිසා ඔහුත් ඉක්මණින්ම ආවා. උදම් වතුර එකක් ගෙනත් විහංසාගෙ මූණෙ වතුර ටික ටික ගාලා විහංසාට සිහිය ගත්තා.
“ඔයා යන්න අහස් අයියේ.. මාව ඔයාලට අවනම්බුවක්. අනේ ඔයා යන්න. මටයි මගෙ තාත්තටයි පාඩුවෙ ඉන්න දීලා යන්න ප්ලීස්.” විහංසා අත් දෙක එකතු කරන් වැඳලා කියද්දි මියුරංග ඇස් වල කඳුලු පුරවන් බලාගෙන හිටියා.
“විහංසා මම ඉන්නවනෙ.” මියුරංග කතා කලේ ඇස් වල කඳුලු පුරවගෙන.
“එපා එපා ඔයා යන්න. මට රස්සාවත් නැති වෙයි දැන්. ප්ලීස් යන්න මෙහෙන්.” විහංසා දිගින් දිගටම කිව්වා.
“දෝණි පිස්සු නටන්න හදන්න එපා. මුලින්ම අප්පච්චි එහෙම කතා කලේ ඇයි කියලා බලලා ඉමු. ඒක නේද කරන්න තියෙන්නෙ?” උදම් විහංසාගෙ හිස අත ගාලා කිව්වා.
“එහෙම කියන්න හේතුව මම දන්නෙ නෑ අයියේ. මම වරදක් කරල නෑ කවදාවත්. මම දන්න තරමින් මේ වගේ දේකදි කිසිම කෙනෙක් මට අකමැති වෙයි කියලා මම හිතුවෙ නෑ.” විහංසා අඬ අඬම මියුරංගට තුරුලු උනා.
“බය වෙන්න එපා මගෙ මැණික. මම ඉන්නවනෙ. කවුරු අකමැති උනත් මම ඔයාට ඉන්නවා.” මියුරංග විහංසාගෙ හිස සිඹිමින් කිව්වා. උදම් මියුරංගගෙ පිටට තට්ටු කරලා එලියට යන්න හැරෙද්දිම උදේන ආවා.
“දෝණි…” උදේන විහංසාගෙ ලඟට දුවගෙන ආවා.
“ඇයි මගෙ පුතේ. මොකද මේ.” උදේන විහංසාව තුරුලු කරගත්තා.
“සොරි අංකල්. ඇත්තටම මේකයි…” උදම් කියන්න හදනකොටම වාහනයක් ඇවිත් ගේ දොරකඩ නවත්තනවා ඇහුනා. උදම් මියුරංග දිහාත් මියුරංග උදම් දිහාත් බැලුවෙ එක සැරේටමයි.
“සමී…” සහස්‍රා දුවගෙන ආවා. විහංසා උදේනගෙ උරහිසේ හිස තියාගෙන තාමත් ඇඬූ කඳුලින්.
“මොකද්ද දරුවෝ මේ ප්‍රශ්නෙ. නිදහසේ හිනාවෙලා ඉඳපු මගේ කෙල්ලට ඔය ලමයි මොනවද මේ කලේ?” උදේන ඇහුවෙ දුක මිශ්‍රිත තරහකින්.
“මිස්ටර් සෙනවිරත්න මට කතා කරන්න ඕනෙ.” අප්පච්චි ටිකක් සද්දෙන් කියද්දි උදේන නිකමට අනුමාන කලා වෙලා තියෙන්නෙ මොකද්ද කියලා.
“ඉඳගන්න සේනාධීර මහත්තයා.” උදේන සේනාධීර යුවලට අසුන් පෙන්වමින් කියලා ඔහුත් ඉඳගත්තා.
“සමී.. බය නැතුව ඉන්න. අපි ඉන්නවනෙ ඔයාට.” සහස්‍රා විහංසාගෙ හිස අත ගාමින් හිටියා. හැමෝම කාමරේ ඉඳන් සාලෙ දෙමව්පියන්ගෙ කතාවට ඇහුම්කන් දෙමින් හිටියෙ.
“මේකයි සෙනවිරත්න මහත්තයා…” අප්පච්චි කතාව පටන් ගත්තා.
“අපි මේ ළමයි තුන් දෙනාවම බොහොම වැදගත් විදියට හදලා තියෙනවා. මගේ දරුවො අතින් වරදක් වෙන්න යනකොට ඒක පෙන්නලා දෙන එක මගේ යුතුකම. සුදු පුතා මෙහෙට ඇවිත් ඔබතුමා එක්ක කසාදයක් ගැන කතා කලා කිව්වම මට කේන්ති ගියා.” අප්පච්චි කතාව නැවැත්තුවේ උදේන කතා කරන්න ලේස්ති උන නිසා.
“ඇත්තටම මම දැන් ගෙදර එද්දි මේ ලමයි දෙන්නා දෝණිගෙ කාමරේ හිටියා. මෙතන වෙලා තිබුනෙ මොකද්ද කියලවත් මම දන්නෙ නෑනෙ. ඒ ගැන අහන්න යද්දිමයි සේනාධීර මහත්තයලා ආවෙ. අනිත් එක මියුරංග පුතා වරදක් කලේ නෑ මම දැනුවත්ව. බොහොම වැදගත් විදියට පුතා යෝජනාව ගැන කිව්වා. මම කිව්වා ගිහින් දෙමව්පියො එක්ක එන්න කියලා. දරුවා ගියේ ඒකට එකඟ වෙලා.” උදේන කිව්වා.
“විහංසා දුව මට මගේ කෙල්ලට වඩා විශ්වාසයි. මොකද දැන් අවුරුදු ගානක ඉඳලා මම කෙල්ලව දන්නවා. මම ටිකක් මේකව බයිට් කරන්න හිතන් මුලදි ටිකක් තදින් කතා කලා. අන්තිමට මට ඇත්තටම කේන්ති ගියා. මට දුක මේ කෙල්ලගෙ වටිනාකම අපේ හාදයා නැති කරල දාන්න හදපු එකට. මේ වගේ දේකට කවුද උඩින් පාත් වෙලා වගේ එන්නෙ. අනික අපි අකමැති නම් කමක් නෑ. හොඳටම දන්නවා අපි කෙල්ලට උඩින්ම කැමති බව. මේවා පිළිවෙලක් ඇතුව කෙරෙන්න ඕන දේවල්නෙ සෙනවිරත්න මහත්තයා. කෙල්ලට ලැජ්ජාවක්නෙ එහෙම ආවට ගියාට මේවා සිද්ධ වෙන එක.” අප්පච්චි කතා කලේ කණගාටුවෙන්.
“අප්පච්චි!!!!” ලමයි තුන් දෙනාම සාලෙට ආවෙ එක සැරේටම.
“ඔයාලා හිතුවෙ කොහොමද මගේ දරුවෙක් වගේ ඉන්න කෙල්ලට මම අකමැති වෙයි කියලා. අම්මා ගිහින් දරුවව එක්කන් එන්න” අප්පච්චි කියද්දි අම්මා කාමරේට ගියේ සිනාමුසු මුහුණින්. විහංසා ඇඳේ වාඩි වෙලා කල්පනා කලා කලබල උනා වැඩියි නේද කියලා.
“දෝණි… එන්න පුතේ. අප්පච්චි කතා කරනවා.” අම්මා විහංසාගෙ නළලට හාදුවක් දීලා එක්කන් ගියා සාලෙට.
“මේ ඉන්නෙ අපේ බෝනික්කි. අම්මෝ ඕකට ඔච්චර අඬන්න ඕනෙද?” අප්පච්චි නැගිටලා විහංසාව තුරුලු කරගත්තේ කාගෙත් ඇස් වලට කඳුලු එක් කරමින්.
“මගේ දරුවට තමන්ගෙම දරුවෙක්ට වගේ සලකන පවුලක් ලැබුනු එක තරම් වටින දෙයක් මට තවත් නෑ. ඒක තමයි මට අවශ්‍ය කරල තිබුනෙ සේනාධීර මහත්තයා. මට දැන් නිදහසේ ඇස් දෙක පියා ගන්න පුලුවන්.” උදේන අත් දෙක එකතු කරලා කිව්වා.
“මොන පිස්සුද අංකල් දැන්ම ඇස් දෙක පියාගත්තම කවුද සමීගෙ වෙඩින් එකේ වැඩ කරන්නෙ. නේද අප්පච්චි?” සහස්‍රා ගිහින් උදේනගෙ අතින් අල්ලන් කතා කලේ. කට්ටියටම හිනයි. හැමෝම හදවතින්ම සතුටු උනා මේ වෙලාවෙ.
“එහෙනම් අපි ගිහින් එන්නම් සෙනවිරත්න මහත්තයා. අපේ කෙල්ලව තව ටික කාලයක් පරිස්සමෙන් බලාගන්න.” අප්පච්චි කිව්වෙ උදේනගෙ අත් දෙකෙන්ම අල්ලගෙන. තේ බීලා සතුටු සාමීචියෙ යෙදිලා කට්ටිය යන්න ලේස්ති උනේ හැන්දෑවෙ හතට විතර.
“අනේ අංකල්.. එක කොන්දේසියක් තියෙනවා.” විහංසා එකපාරම කිව්වා.
“මොකද්ද පුතේ?” අප්පච්චි ඇහුවෙ විහංසාගෙ හිස අත ගාලා.
“අංකල් මම මැරි කරත් තාත්තව තනි කරලා කොහෙවත් යන්න බෑ මට.” විහංසා ඇස් වල කඳුලු පුරවගෙන කියද්දි අම්මත් ඇවිත් විහංසාව තුරුලු කරගත්තා.
“හරි හරි තව කල් තියෙනවනෙ. අනික අපිට පුලුවන්නෙ සෙනවිරත්න මහත්තයව අපේ ගෙදර නවත්තගන්න.” අප්පච්චි දෙන්න තියෙන හොඳම විසඳුම කිව්වා.
“කිව්වත් වගේ ඒකට තව කල් තියෙනවනෙ. ඒ නිසා බලන් ඉමු මොකද වෙන්නෙ කියලා.” උදේන කිව්වා.
“එහෙනම් යමු නේද?” උදම් ඇහුවෙ යන පාටක් නැති නිසා.
“ඔව් ඔව් යමු. එහෙනම් අපි ගිහින් එන්නම්.” අම්මත් ගිහින් උදේනට ආචාර කරලා එලියට බැස්සා.
“ගිහින් එන්නම්. දැන් හැමදේම හරි නේද?” සහස්‍රා විහංසාගෙ කම්මුලක් කොනිත්තලා කිව්වා. විහංසා හිනා වෙවී හිස වැනුවා.
“අපි ගිහින් එන්නම් දෝණි. මගේ වෙඩින් එකෙන් පස්සෙ ඔයාලගෙ වෙඩින් එක රෙඩි කරගමු. දැන් එහෙනම් පාලු නෑනෙ වෙඩින් එක දවසට.” උදම් හිනාවෙවී කිව්වා.
“දැන් පාලු බබාට තමයි.” මියුරංග එහෙම කියාගෙන ඇවිත් විහංසාගෙ කරට අත දාගත්තා.
“ඒක තමයි.” සහස්‍රා මූණ එල්ලගත්තා. උදම් නම් සද්ද නැතුව හිටියා.
“යමු බඩී. මේ දෙන්නට කතා කරන්න දීලා.” උදම් සහස්‍රාව එක්කන් එලියට ගියා.
“අප්පච්චි මම බඩී එක්ක එන්නම්.” උදම් ගිහින් අප්පච්චිට කිව්වා. අප්පච්චි හිනාවෙලා වාහනේ ස්ටාර්ට් කරන් ගියා.
“සුදු අයියා අපි යනවා. ඔයා ඉඳලා එන්න එහෙනම්.” සහස්‍රා මිදුලෙ ඉඳන් කියලා වාහනේට නැග්ගා.
“හ්ම්ම්…. දැන් සේරම විසඳිලා නේද?” මියුරංග ලොකු හුස්මක් පිට කරලා කිව්වා. විහංසා හෙමිහිට මියුරංගගෙ පපුවට හිස තියාගත්තෙ ලොකු සැනසීමක් හිතට දැනෙද්දි.
“දෝණි… ඔයා දරුවත් එක්ක කතා කර කර ඉන්න. මම කෑම ටික ලේස්ති කරන්නම්. කාලම යන්න පුතා.” උදේන සාලෙට ඇවිත් කියලා කුස්සියට ගියා.
“අහස් අයියේ…” විහංසා කතා කලේ මියුරංගට තුරුල් වෙලාමයි.
“ම්ම්ම්…” මියුරංග සැරින් සැරේ විහංසාගෙ හිස සිප ගනිමින් හිටියෙ.
“මේ වගේ සැනසීමක් හිතට දැනුනෙ කාලෙකට පස්සෙ.” විහංසා හෙමිහිට කිව්වා.
“ම්ම්.. මටත් එහෙම තමයි. ඔයාට ආදරෙයි කියලා දැනුන දවසෙ ඉඳලා මම සෑහෙන්න දුක් වින්දා. අද තමයි හිතට නිවනක් දැනුනේ.” මියුරංග හිනා උනා.
“අද ඉඳන් හැමදාම ලස්සන වෙයි නේද?” විහංසා ඇහුවෙ මියුරංගගෙ මූණර එබිලා.
“ඔව්.. ඔයා මගෙ ලඟ ඉන්න හැම දවසක්ම ලස්සන දවසක් වෙයි.” මියුරංග ඒ මූණ දෝතටම අරන් කිව්වා.
“යමු. කෑම කාල යමු. තාත්තා මොනවද දන්නෙ නෑ ගෙනාවෙ.” විහංසා මියුරංගගෙ අතින් අල්ලන් කුස්සියට ගියා.
“ආ මම කතා කරන්න හැදුවෙ.” උදේන කෑම ටික මේසෙට ඇරලා ඉවරයි මේ දෙන්නා කුස්සියට යද්දි.
උදේන කඩේ ගිහින් ගෙනාවෙ තෝසෙයි චිකන් හොදියි. දෙන්නෙක්ට සෑහෙන ප්‍රමාණයට වඩා අද ගෙනාව එක ගැන උදේන සතුටු උනා. මියුරංගත් ආසාවෙන් කෑවා.
“මම ආස කෑමක්. ගෙදර හැදුවම තවත් රසයි.” මියුරංග කිව්වා.
“අපේ දෝණි හදන්න දන්නවා පුතේ. ඒත් ගොඩක් දවසට කඩෙන් ගෙනත් තමයි කන්නෙ.” උදේන කිව්වා.
කෑම කාලා ඉවර වෙලා මියුරංග උදේනට වැඳලා එලියට බැස්සෙ විහංසා එක්කමයි.
“පරිස්සමෙන් ගිහින් එන්න.” විහංසා කිව්වා.
“හෙට උදේට මම එනවා. ලේස්ති වෙලා ඉන්න. ම්ම්.. මට රස කෑමකුත් හදන් එන්න.” මියුරංග කනට කරලා කියද්දි විහංසාට හිනයි.
“මොනවද රස කෑමක්?” විහංසා ඇහුවෙ මියුරංග කැමති අකමැති දේවල් තාම දන්නෙ නැති නිසා.
“ම්ම්ම්.. ඔයා ආසම කෑමක් හදන් එන්න. මීට පස්සෙ මාත් ඒවට ආස වෙන්න ඕනනෙ.” මියුරංග හිනාවෙවී කියලා විහංසා නලලට හාදුවක් දීලා ගිහින් වාහනයට නැග්ගා. මියුරංගගෙ වාහනේ නොපෙනී යනකන්ම විහංසා බලන් හිටියා.
“අද ඉඳන් මගේ ජීවිතෙත් සම්පූර්ණයි.” විහංසා හිතුවා.
ආයෙත් හමුවෙමු.
අනෙ අම්මේ දැන්වත් මට බනින එක නවත්තනවද? හැමෝගෙම බැනුම් අහලා මටත් දැන් ඇති වෙලා. ගොඩාක් මහන්සි වෙලා හිතල හිතලා මේ කොටස ලිව්වෙ. ඇත්තටම වෙනද වගේ අදහස් ගලාගෙන ආවෙ නෑ. ඒ නිසා අඩුපාඩු තිබුනොත් සමාවෙන්න.
කතා ලියන්නෙ මගේ මානසික තෘප්තිය උදෙසාම පමණයි. මොකද අපිට මේකෙන් මුදල් ලැබෙන්නෙ නෑ. ඒ නිසා පුලුවන් නම් හැමෝම මානුෂිකව හිතන්න. කතාව කියවලා නිකන්ම යන්න එපා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න. ඒක තමයි අපිට ලැබෙන එකම දේ. දිගටම රැඳෙන්න යාලුවනේ.
තෙරුවන් සරණයි!