මා නොවේ ඈ නුඹේ 44 කොටස

මියුරංග විහංසාගෙ අතින් අල්ලගෙනම කම්පැණි එක ඇතුලට ගියා. ඇතුල් වෙද්දිම හැමෝම අත්පුඩි ගහන්න ගත්තා. ඒ එක්කම පාට පාට කඩදාසි කැබලි වැස්සක් එක්ක සුබ පැතුම් හඬ විතරමයි ඇහුනෙ. ස්තූති කරලම දෙන්නගෙ කටවල් රිදුනා.

“හරි හරි හැමෝටම ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මෙහෙම එකතු උන එකට. දැන් එහෙනම් වැඩ පටන් ගමු. නේද?” මියුරංග පැයකට විතර පස්සෙ එහෙම කියලා විහංසා එක්කම කැබින් එකට ගියා.

“හ්ම්ම්…” විහංසා ලොකු හුස්මක් හෙලුවා.

“මම දැනන් හිටියෙ නෑ ඔයාට කම්පැණි එකේ අය මේ තරම් ආදරෙයි කියලා.” මියුරංග කියද්දි විහංසා බැලුවෙ ඇස් ලොකු කරන්.

“මට???”

“ඔව්. මේ හැමදේම කරල තිබුනෙ ඔයා වෙනුවෙන්. මම ඇවිත් තාම පොඩි කාලයයිනෙ.” මියුරංග සැහැල්ලුවෙන් කියද්දි විහංසාට හිනයි.

“මම හිතන්නෙ අපි දෙන්නම වෙනුවෙන් කියලා.” විහංසා බෑග් එක ඇගේ ටේබල් එක උඩින් තියලා මියුරංගගෙ ටේබල් එක ලඟට ගියා.

“හරි මැඩම්. එහෙම වෙන්න ඇති. මම පිළිගන්නවා.” මියුරංග හිස නමලා කියද්දි විහංසා හිනාව හංගන් හිටියෙ අමාරුවෙන්.

“කෑම අරන් ආවෙ. කාලා ඉමු නේද?”

“හා යමු යමු. බලමුකො මගෙ කෙල්ල ආසම කෑම මොනවද කියලා.” මියුරංග විහංසා එක්කම රෙස්ට් රූම් එකට ගියා.

ඉඳිආප්ප එක දිග අරිද්දිම ආවෙ බඩගිනි වැඩි වෙන තරම් සුවඳක්.

“අම්මෝ විහංසා මාර සුවඳයි. ඒ වගේම පෙනුමත් නියමයි.” මියුරංග කන්න කලින්ම වර්ණනා කලා.

“කාලා ඉවර වෙලාම ගුණ අගුණ කියන්නකෝ..” විහංසා හිනාවෙලා කිව්වා.

මියුරංග කාලා ඉවර වෙනකන්ම වචනයක් වත් කතා කලේ නෑ. විහංසාට කන්න ඉතුරු උනෙත් නෑ කාගෙන කාගෙන ගියා. විහංසා බලාගෙන හිටියෙ ඇස් වලින් ආදරේ උතුරද්දි.

“වාව් විහංසා ඔයාට මම තවුසන්ඩ් ප්‍රසන්ට් මාක්ස් දෙනවා. වන්ඩර්ෆුල්.” මියුරංග විහංසාගෙ හිසට අත තියලා කිව්වෙ ඇත්තටමයි. විහංසා බලාගෙනම හිටියා.

“ආ.. ඒක නෙමෙයි. ඔයා කාලද ආවෙ?”

“සේරම ඉවර කරලා අහන අපූරුව.” විහංසා හිනාවෙවී හිතුවා.

“ඔව් මම කාලා ආවෙ. මම නොකෑවත් මොකද ඔයා බඩ පිරෙන්නම කෑවනෙ.” විහංසා කිව්වා.

“ඇත්තටම රසයි. අප්පච්චි කිව්වා වෙලාවක ඔයාලගෙ ගෙදර කෑමකට එන්න ඕනෙ කියලා.”

“ඉතිං එන්නකෝ. මම ආසයි කවුරුහරි එනව නම්.” විහංසා සතුටින් කිව්වෙ.

“ම්ම්ම්.. එහෙනම් ඉක්මණට ම එන්නම්කො අපි. ආහ් ඒක නෙමෙයො මම අපි දෙන්නගෙ ෆොටෝ එකක් දැම්මා එෆ් බී එකට. ඔයා වැඩිය යන්නෙ නෑ නේද?”

“අනේ මට යන්න වෙලාවක් නෑනෙ.” විහංසා කිව්වෙ ඒ තරම් උවමනාවකින් නෙමෙයි.

“එහෙනම් අකවුන්ට් එකක් හදල තියෙන්නෙ. ඒක හැදුවෙ චූටි. මට ඕකට යන්න උනේම නෑනෙ ෆෝන් එකක් තිබුනෙ නෑනෙ ඉස්සර”

“හ්ම්ම් ඒකත් ඇත්ත. කෝ ෆෝන් එක දෙන්න.” මියුරංග විහංසාගෙ ෆෝන් එක අරගත්තා.

“මේ පාස්වර්ඩ් දන්නවද?”

“චූටිගෙන් අහන්න.”

“ආ අරන් අහන්න.” මියුරංග ෆෝන් එක දුන්නා. යුවතිගෙන් විස්‍තර අහගෙන ලොග් වෙලා මියුරංගට කැමති ෆොටෝස් දාලා අකවුන්ට් එක අප්ඩේට් කරා.
____________________________________________________________________

හවස විහංසාව ගෙදරට බස්සවලා මියුරංග ගියේ හරියටම හය වෙද්දි ලේස්ති වෙලා ඉන්න කියලා. විහංසා කෑම උයලා තාත්තත් එක්ක ලේස්ති වෙලා හිටියා.

“යමු නේද අංකල් එහෙනම්. අප්පච්චිලා දැන් ගෙදරින් පිටත් වෙලා ඇති.” මියුරංග වාහනෙන් බැහැලා ඇවිත් කතා කලා.

“මේ යන්නෙ කොහෙ පන්සල්ද පුතා.”

“කැළණි අංකල්. අපි ඉස්සර හිටියෙ කැළණියෙ නිසා ඒ කාලෙ ඉඳන්ම පුරුද්දට කැළණි පන්සල්ම තමයි යන්නෙ.”

“හා හා ඒක හොඳයි. දෝණිත් කාලෙකින් කැළණි පන්සල් ගියේ නෑ. දෝණී… ඉවර නැද්ද ලමයෝ තාමත්.” උදේන ගේ ඇතුලට හැරිලා කතා කලා.

අත් දිගට දාපු සුදු දිග ටොප් එකට කහ පාට මල් වැටුනු සුදු දිග සාය ඇඳලා ඉඳපු විහංසා සුරංගනාවියක් වගේ ලස්සනයි. මියුරංග ඇස් පිය නොහෙලා බලාගෙන හිටියා.

“යමු නේද?” විහංසා ලඟටම ඇවිත් කතා කටද්දි මියුරංග ගැස්සිලා ගියා.

“ආ.. හ..හරි යමු.” මියුරංග එහෙම කියලා විහංසාගෙ පිටිපස්සට එබිලා බැලුවෙ කොණ්ඩෙ පීරලා තියෙන විදිය. දිග කොණ්ඩෙ ගොතලා නිසා තවත් ලස්සනයි.

“ඔයා අද නම් සුරංගනාවියො පරාදයි විහංසා. මගෙ කෙල්ල පාරෙ එක්කන් යන්න බයයි.” මියුරංග කිව්වෙ ආදරෙන්.

“තාත්තා බලන් ඉන්නවා අහස් අයියේ යමු.” විහංසා ගිහින් කාර් එකේ පිටිපස්සෙ සීට් එකට නැග්ගා. තාත්තට ඉස්සරහ සීට් එකට නගින්න දුන්නා.

පන්සලට යද්දි හැමෝම ඇවිත්.

“අනේ මගෙ කෙල්ල හරිම හැඩයිනෙ.” අම්මා ගිය ගමන්ම විහංසාව වැළඳ ගෙන කිව්වා. අපර්ණායි සහස්‍රායි බලන් හිටියෙ හිනාවෙවී.

“දන්නවද සමී… අපේ අම්මට ඉස්සෙල්ලා ආව කනට වඩා පස්සෙ ආව අඟ ලොකු වෙලානෙ.” සහස්‍රා කිව්වෙ බොරු තරහක් මවාගෙන. විහංසා බලන් හිටියෙ මේ අම්මගෙයි දූගෙයි හැමදාම සීතල යුද්ධ තියෙන බව අත්දැකීමෙන් දන්න නිසා.

“අනේ බබා කට වහන් ඉන්නවා පන්සලට ඇවිල්ලත් කටට නිවනක් නෑ මේ ලමයගෙ. ඔයා එන්න පුතේ අපර්ණා දූ නංගිත් එක්ක ගිහින් පැන් කළ පුරවන් එන්නකෝ. සුදු පුතා ඔයත් යන්න.” අම්මා සහස්‍රාට බැනලා අපර්ණායි විහංසායි මියුරංගයි යැව්වා එහාට.

“ඔයා එහෙම කියද්දි ඒ දරුවො දෙන්නට දුක හිතෙයි බබා. ආයෙ එහෙම කියනව නෙමෙයි ඒ වගේ කතා.” අම්මා සහස්‍රාට සැර උනා.

“මම කරන්නෙ විහිලු බව සමී වගේම අපර්ණා අක්කත් දන්නවා අම්මා.” සහස්‍රා එහෙම කියලා අර තුන් දෙනා ගිය තැනටම ගියා.

“අප්පච්චි අනේ හාමුදුරුවොන්ට වඩින්න ආරාධනා කරලා එන්නකො. තව ටිකකින් සේරම වැඩ ඉවර වෙනවා.”

“හා මම කියන්නම්.” අප්පච්චි හාමුදුරුවොන්ට ආරාධනා කරන්න ගියා. උදම් විහංසාගෙ තාත්තත් එක්ක පහන් වැට ලඟ හිටියෙ.

“සුදු අයියා මෙයාව ඇහැක් වගේ බලාගන්න. නැත්නම් අපිට උසාවි ගානෙත් යන්න වෙයි.” සහස්‍රා කියද්දි අපර්ණාට හිනයි.

“බඩී කට වහන් ඉන්නවා. අම්මා ආවොත් ආයෙත් බැනුම් අහන්න වෙයි.” අපර්ණා කිව්වෙ සහස්‍රාගෙ කරට අතක් දාගෙන.

“පිස්සුද අපේ අම්මා ඒකට මුකුත් කියන එකක් නෑ. මොක්ද මෙයා මේ දිලිසි දිලිසි ඉන්න හැටියට කවුරු හරි උස්සන් ගියොත් අපේ අම්මා තමයි අපිට විරුද්ධව නඩු දාන්නෙ.” සහස්‍රා ඔහේ කටට එන දේවල් කියවනවා. විහංසායි මියුරංගයි නම් ඕවට උත්තර දෙන්න යන්නෙ නෑ.

“අපර්ණා අක්කේ ඔයා ඕවට හවුල් වෙන්න එපා. මෙයාගෙ කොහොමත් පොඩි අවුලක් තියෙනව ඒ කාලෙ ඉඳන්ම. ඔයාට අපේ ගෙදරට ආවම තේරෙයි.” මියුරංග එහෙම කියලා පැන් කළ දෙකක් අරන් ගියා.

ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා බෝධි පූජාවක් කලා. හැමෝම බොහොම ශ්‍රද්ධාවෙන් වන්දනා කරලා රෑ අට විතර වෙද්දි පන්සලෙන් ආවා.

“එහෙනම් අපි ගිහින් එන්නම් සෙනවිරත්න මහත්තයා. බොහොම ස්තූතියි ආවට.” අප්පච්චි විහංසාගෙ තාත්තට කිව්වා.

“අනේ ඕක මොකද්ද සේනාධීර මහත්තයා. අපිත් මේ කාලෙකින් කැළණි ආවෙ. අපිව මේ පිං කමට එකතු කරගත්ත එකට ඔයාලටයි පිං සිද්ධ වෙන්න ඕනෙ.”

“පරක්කු වෙනවා අප්පච්චි. මම අපර්ණාව දාලා එන්නම්.” උදම් එහෙම කියලා උදේනට වැඳලා විහංසාටත් කියලා අපර්ණා එක්ක ගියා.

“සුදු පුතා එහෙනම් මෙයාලව දාලා එන්න. පරිස්සමෙන්.”

____________________________________________________________________

වෙඩින් එක ලබන සතියෙ. උදම් අපර්ණා වගේම පවුල් දෙකේම අය හිටියෙ ගොඩක් සතුටින්.

“ගුඩ් මෝනින් මහත්තයා. නිදිද?” අපර්ණා කෝල් එක ගත්තෙ උදේ හතත් පහු වෙලා.

“ම්ම්ම්… නිදි මතයි අපර්ණා. ඇයි මේ උදේ පාන්දර?” උදම් නිදිමතේම කෙඳිරුවා.

“ඇයි අහන්නෙ අද සැලෝන් එකට යන්න ඕනෙ උදම්. නැගිටින්න. අටට අපොයිමන්ට් එක.” අපර්ණා කියද්දි තමයි උදම්ටත් මතක් උනේ.

“ඕහ් ශිට් මට අමතක උනා අපර්ණා. සොරි. ඉන්න මම ටක් ගාලා ලේස්ති වෙන්නම්. අනේ තරහ නැතුව බඩීටයි දෝණිටයි කෝල් කරල ලේස්ති වෙන්න කියන්නකො. බායි බායි…” උදම් එහෙම කියාගෙන ඇඳෙන් පැන්නා.

“අනේ මෙහෙමත් මහත්තුරු.” අපර්ණා ෆෝන් එක දිහා බලන් හිනා වෙවී කිව්වා.

“ඇයි දූ…” අපර්ණාගෙ අම්මා අහන් හිටියෙ කියපු එක.

“සැලෝන් එකට අටට අපොයිමන්ට් එක. උදම් තාමත් නිදි. මට කියනවා බඩීටයි දෝණිටයිත් කෝල් කරලා ලේස්ති වෙන්න කියන්නලු. ගෙදර ඉන්න ලමයට කියන්නත් මම ගන්න ඕනෙ. වෙලාවකට පිස්සෙක් වගේ අම්මා.” අපර්ණා හිනාවෙලා කියද්දි අම්මට සතුටුයි. ඒ දෙන්නා සතුටින් නිසා.

“ඒ දරුවට වැඩනෙ දූ. ඔයාලා දෙන්නා අවබෝධයෙන් ඉන්න. එතකොට ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ. තේරුණාද?” අම්මා අපර්ණාගෙ හිස අතගාලා ගියා.

අපර්ණා කෙල්ලො දෙන්නට කෝල් කරද්දි දෙන්නම ලේස්ති වෙලා හිටියෙ. විහංසා නම් මේ සතියම නිවාඩු දැම්මා. මියුරංග ඔෆිස් ගියා දෙන්නම නැවතුනාම වැඩ අවුල් වෙන නිසා.

“අද ෆේෂල් එකක්. ඔයා අපිව ඩ්‍රොප් කරලා සේල් එකට ගිහින් එන්න උදම්.” අපර්ණා වාහනේට නැග්ග ගමන්ම කිව්වා.

“ඔව් අද සේල් එකට යන්නම ඕනෙ.” උදම් තුන් දෙනාව සැලෝන් එකට දාලා සේල් එකට ගියා.

සහස්‍රාගෙ ෆෝන් එක රිංග් උනේ උදම් යනවත් එක්කම වගේ. අනුරාධ.

“හෙලෝ.. අපෝ ඇති යන්තම් දවස් ගානකට පස්සෙ මාව මතක් වෙලා.” සහස්‍රා කෝල් එක ආන්සර් කරපු ගමන් නෝක්කාඩු කිව්වා.

“මාර වැඩේ සහස්‍රා.” අනුරාධ කතා කලේ අවුලෙන්.

“ඇයි අයියේ..??” සහස්‍රාට මොකද්දෝ බයක් දැනුනා.

“නංගි අර කොල්ලා එක්ක පැනලා ගිහින්. අප්පච්චිට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් හොස්පිට්ල් ඇඩ්මිට් කලා. ඊයෙ දවසටම ෆෝන් එක අල්ලන්නවත් උනේ නෑ.”

“අනේ හිමදි කෝල් එකක්වත් දුන්නෙ නෑනෙ මටවත්.”

“ඒක තමයි. අඩුම ගානෙ මට හරි කියන්න තිබුනා.”

“ඔයා අවුල් වෙන්න එපා. ඒ බෝයි හරි හොඳයිනෙ. හිමදිට දුකක් දෙන එකක් නෑ.”

“ඒත් අප්පච්චි.”

“අප්පච්චිව බලාගන්න ඔයා ඉන්නවනෙ අයියේ.”

“මට පුලුවන්ද අප්පච්චිට දුව නැති අඩුව පුරවන්න.” අනුරාධ හිටියෙ ගොඩක් දුකෙන්.

“ඔයා දුක් වෙන්න එපා හැමදේම හරියයි. ම්ම්ම්…” සහස්‍රා අනුරාධගෙ හිත හදන්න උත්සාහ කලා.

“කොහේද ඉන්නෙ මැණික දැන්?”

“අපි සැලෝන් එකට ආවා. අදත් ෆේෂල් එකක්.”

“හා මම තියන්නම් රෑට ගන්නම්. බුදු සරණයි.” අනුරාධ ෆෝන් එක තිව්වා.

“ඇයි සහස්‍රා…” විහංසා ඇහුවෙ සහස්‍රාගෙ මූණ මැලවිලා ගිය නිසා.

“හිමදි පැනල ගිහින්.”

“ඔයාලටත් නොකියම.”

“ඔව් ඒකනෙ බලන්න.”

“හ්ම්ම්.. එයා කෝල් එකක් දෙයි. ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි.”

“ඔව්.. බලමු.” තුන් දෙනාම සැලෝන් එක ඇතුලට ගියා.

____________________________________________________________________

යුවති ෆෝන් එකත් අතේ තියාගෙන කල්පනා කලා.

“උදම් අයියා මැරි කරාට පස්සෙ දෝණිගෙයි මියුරංග අයියගෙයි වෙඩින් එක තියෙයි. ඉක්මණට ඒ දෙන්නා එකතු උනා නම් මට මෙහෙම හිර වෙලා ඉන්න ඕනෙ නෑනෙ.” යුවති හිතුවා.

“පුතේ.. චූටී…” වන්දනා කාමරේට ආවෙ යුවති ඇඳටම වෙලා කල්පනා කර කර ඉන්න නිසා.

“අම්මා…”

“ඇයි පුතේ මේ… ඔයා ඔහොම ඉන්නකොට මටයි තාත්තටයි හිතට හරිඅමාරුයි චූටි.” වන්දනා ඇස් වල කඳුලු පුරවන් කිව්වෙ.

“අනේ. ඇයි අම්මා එහෙම කියන්නෙ. මම මේ හොඳට ඉන්නවනෙ.” යුවති අම්මව තුරුල් කරන් කිව්වා.

“ඔයාගෙ ඇහිපිල්ලමක් වෙනස් උනත් අපිට දැනෙනව පුතේ. ඔයා දන්නවනෙ ඒක.” වන්දනා කිව්වෙ යුවතිගෙ හිස සිඹිමින්,

“මට සමාවෙන්න අම්මා.” යුවති අම්මව බදාගෙන අඬන්න ගත්තා.

ආයෙත් හමුවෙමු.

ඊයෙ කොටසයි අද කොටසයි බෝරින් නේද? මම දන්නවා. ඒකට සමාවෙන්න. මම බිසී නිසා අදහස් නැතුව ලොකු ස්ට්‍රෙස් එකකින් කතාව ලිව්වෙ. හැබැයි ඔන්න හෙට ඉඳන් ආයෙම කතාව සුපුරුදු විදියට එනවා. බලාපොරොත්තුවෙන් ඉන්න.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *