මා නොවේ ඈ නුඹේ 46 කොටස

“ආ සුදු පුතේ… අර ඔයා එක්කම ඉඳපු ගෑණු දරුවා වගේ කෙල්ලෙක් නම් ඔයාට හොඳටම මැච් වෙනවා. කියල වැඩක් නෑ.” ලොකු අම්මා කිව්වෙ මියුරංග ගෙට ඇතුල් වෙද්දිම. පවුලෙ පස් දෙනා ඇරුනම වෙන කවුරුවත් විහංසාගෙයි මියුරංගගෙයි සම්බන්ධය දන්නෙ නෑ. මියුරංගට හිනයි. ඔහු හිනා වෙලා උඩට ගියා ශේප් එකේ..

“ඒක නම් ඇත්ත පුංචි අම්මා. ඒ ගර්ල් මාර ලස්සනයි.” ලොකු අම්මගෙ දුවත් ඇවිත් අම්මගෙ කර වටේ අත දාලා කිව්වා.

“මොන විකාරද. සුදු පුතාට ඊට වඩා කොච්චර හොඳ එකක් කරගන්න පුලුවන්ද නේද අයියේ.” ඒ අප්පච්චිගෙ නංගී. අම්මා නම් සද්ද නැතුව කාමරේට ගියා. මියුරංගලාගෙ නැන්දගෙ උවමනාව එයාගෙ දුව මියුරංගට කසාද බන්දන්න.

“ආහ් ඒ දරුවගෙ මොකද්ද තියෙන අඩුව? හැඩෙන් අඩුද උගත් කමින් අඩුද ශෝක් කෙල්ල.” ලොකු අම්මා තවත් විහංසාගෙ ගුණ වයනවා. නැන්දට දැන් මලේ මල. නැන්දා ගස්සගෙන කාමරේට ගියා.

“අක්කේ බොරුවට වාද වෙන්න එපා. එයාගෙ කට දන්නවනෙ.” අප්පච්චි එහෙම කියලා හිනාවෙවී කාමරේට ගියා.

“සුදු පුතාට නෙමෙයි ඒ ගෑණු දරුවා අපේ පුතාට නම් හොඳට ගැලපෙනවා. නේද නංගී.” ලොකු නැන්දා ඇඳුම් මාරු කරන් ඇවිත් හොඳට වාඩි වෙලා කතාව පටන් ගත්තා.

“ඔව් ඔව් ඒක නම් හොඳයි. මම කිව්වෙත් ඒ ලමයා මියුරංග පුතාට ගැලපෙන්නෙ නෑ කියලා.” පොඩි නැන්දත් බරටම කතාවට ලේස්ති උනා.

ලොකු අම්මයි අනිත් කට්ටියයි කාමර වලට ගියා ඒ දෙන්නට ඕන දෙයක් කරගත්ත දෙන් කියලා.

“සුදු අයියට තේ හදන්නද?” නැන්දගේ දුව වරුණි මියුරංගගෙ කාමරේට කඩාගෙන වගේ ඇවිත් ඇහුවා. මියුරංග වොශ් රූම් එකේ ඉඳන් ආවා විතරයි. තාම ටවල් එක ඇඳන් හිටියෙ.

“අයියෝ වරුණි නංගී පිස්සුද මේ කඩාගෙන රූම් එකට එන්නෙ. මේ ආව ගමන් තේ බොන්න ඔයා හිතුවද මටත් පිස්සු කියලා.” මියුරංගට යකා නැග්ගා. මියුරංගගෙ සද්දෙට සහස්‍රාත් දුවගෙන ආවා.

“තමුසෙට පිස්සුද හලෝ කොල්ලොන්ගෙ කාමර වලට එන්නෙ. යනවා පහලට.” සහස්‍රා වරුණිගෙ අතින් ඇදලා පහලට ඇදන් ගියා.

“මොකද දරුවෝ මේ සද්දෙ?” ලොකු නැන්දා ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.

“සද්දෙ මොකද කියලා මෙයාගෙන් අහන්න ලොකු නැන්දා. කඩාගෙන බිඳගෙන කොල්ලොන්ගෙ රූම් අස්සෙ රිංගන්නෙ මෙයාට මාර අමාරුවක්නෙ තියෙන්නෙ.” සහස්‍රා වරුණිව තල්ලු කරා පොඩි නැන්දගෙ ලඟට. වරුණි අඬාගෙන පොඩි නැන්දව බදාගත්තා.

“ඇයි මයෙ රත්තරං.. මොකද්ද උනේ?” පොඩි නැන්දා වරුණිගෙ ඔලුව අත ගගා ඇහුවා.

“ඕක ඔහොම නෙමෙයි පොඩි නැන්දා කරන්න ඕනෙ. මෙයාට හොඳ තැනකින් කසාදයක් කරල දෙන්න. එතකොට ඔය අමාරුව හොඳ වෙයි.” සහස්‍රා කියවගෙන ගියා.

“බබා…” අම්මා කෑගැහුවා.

“ඇයි අම්මා මට කෑගහන්නෙ. මෙයාට මොන කැක්කුමකටද සුදු අයියා තේ බොනවද අහන් කාමරේට රිංගුවෙ. අනිත් එක පිට කොල්ලොන්ගෙ කාමර වලට රිංගනවද හැදිච්ච ගෑණු ළමයි?” සහස්‍රා තවත් කියවනවා.

“බබා දැන් ඇති. වරුණි දුව කලේ වරදක්. ආයෙ ඒ වගේ දෙයක් වෙන්න තියන්න එපා.” අප්පච්චි ටිකක් තදින් කිව්වා. සහස්‍රා තරහෙන් වරුණිට රව රවා පඩිපෙල නැග්ගා.

“අර තරම් දේවල් කියන්න මගේ දරුව මොනවද ඔය තරම් කලේ අයියේ.” පොඩි නැන්දා අඬන්න ලේස්ති උනා.

“වැරැද්ද නිවැරැද්ද තේරුම් ගන්න බැරි තරම් නංගි බබෙක් නෙමෙයිනෙ. කරුණාකරලා බොරුවට රණ්ඩු හදාගන්නෙ නැතුව ලමයට තේරුම් කරල දෙන්න හැදියාවක් ඇතුව ඉන්න කියලා.” අප්පච්චි එහෙම කියලා කාමරේට ගියේ අම්මටත් එන්න කියලා මූණෙන් කියාගෙන. ඒ නිසා අම්මත් පස්සෙන්ම ගියා සද්ද නැතුව.

“බබා… මොකටද අර තරම් කියවගෙන ගියේ ඒක සුලු දෙයක්නෙ.” මියුරංග සහස්‍රාගෙ කාමරේට ගියේ දොරත් වහගෙන.

“ඔයා දන්නෙ නෑ ඕකිට තියෙන අමාරුව. අනුරාධටත් නම්බර් එක දීලා. මට මරාගෙන මැරෙන්න හිතිලා ඉන්නෙ.” සහස්‍රා දත්මිටි කාගෙන කියද්දි මියුරංගට හිනා ගියා.

“මොකද හිනාවෙන්නෙ.” සහස්‍රා මියුරංගව ඇඳේ පෙරලගෙන බෙල්ල මිරිකගෙන ඇහුවා.

“මම හිතුවෙ මට තියෙන ආදරේටයි එහෙම කලේ කියලා බැලින්නම් පෙර වැරදි තිබිලා.” මියුරංග තවත් හිනාවෙනවා. ඒ වෙලාවෙ නම් සහස්‍රාටත් හිනා ගියා.

“බය වෙන්න එපා. මායි අයියයි ඉන්නකන් ඔයාට අනුරාධව නැති වෙන්න දෙන්නෙ නෑ.” මියුරංග සහස්‍රාගෙ හිස අත ගාලා කියද්දි සහස්‍රා පැනලා මියුරංගව බදාගත්තා.

“අයියා.. ” සහස්‍රා මියුරංගගෙ තුරුලෙ ඉඳන්ම කතා කලා.

“කියන්න.”

“ඉක්මණටම සමීව මැරි කරලා එක්කන් එන්න. එතකොට අපිට සතුටින් ඉන්න පුලුවන්.” සහස්‍රා කෙඳිරි ගගා කියනවා.

“ඉක්මණටම එක්කන් එනවා බබා. මටත් දැන් එයා නැති ජීවිතයක් නෑ.” මියුරංග කියද්දි සහස්‍රා හෙමිහිට ඈත් වෙලා මනමාල හිනාවක් දැම්මා.

“ආව් ආව්… එයාටත් එහෙම තමයි. කෝල් එකක් දුන්නද ඇවිත්.” සහස්‍රා අහද්දි තමයි මියුරංගට මතක් උනේ.

“මලා මට අමතක උනා හලෝ. මම යනවා. ඔයා පහළට යන්න ඕනෙ නෑ ඉන්නවා කාමරේට වෙලා. හරිද.” මියුරංග එහෙම කියාගෙන කාමරෙන් ගියා.

____________________________________________________________________

විහංසා ගෙදර ඇවිත් ඇඳුම් ගලවලා වොශ් එකක් දාගෙන ඇඳෙන් හාන්සි උනා. ෆෝන් එකෙන් ගත්තු ෆොටෝස් බලන්න ගත්තා. ඇය කල්පනා කලේ ඇය මනාලියක් වෙන දවසට ඇය කොහොම ඉඳීද කියලා.

“මාත් ලස්සනට ඉඳියි.” විහංසා හිනාවෙවී හිතුවා. ඒ එක්කම ෆෝන් එක රිංග් උනා.

“හෙලෝ.. දැන් තමයි මතක් උනේ මට කතා කරන්න. සොරි කියාගෙන එන්න එපා එහෙම උනොත් තරහයි.” විහංසා කියාගෙන ගියා.

“නෑ නෑ සොරි කියන්න නෙමෙයි හිටියෙ. මම මේ හිටියෙ ඔයාට ආදරෙයි කියන්න. අයි ලව් යූ සෝ මච්..” මියුරංග හිනාවෙවී කිව්වා.

“කපටියා මහ.” විහංසා හිනා උනා.

“කවුද?” මියුරංග ඇහුවා.

“මගේ මහත්තයා.” විහංසා කියද්දි මියුරංගට හයියෙන් හිනා ගියා.

“ඔයාගෙ මහත්තයා කපටියෙක්ද? අනේ එහෙනම් ඌ හරියන්නෙ නෑ. ඌව අමතක කරලා මාත් එක්ක යාලු වෙන්න.” මියුරංග කිව්වා.

“අනේ මේ… එන්න එපා කෝලම් කරන්න. ඒක නෙමෙයි මොකද කෝල් කරන්න පරක්කු උනේ?”

“ආහ් මේ බබා ප්‍රශ්නයක් දාගත්තනෙ.”

“කාත් එක්කද?” විහංසා ඇඳේ වාඩි වෙලා ඇහුවා.

“අර වරුණි එක්ක.” මියුරංග නොසැලකිල්ලෙන් කිව්වා.

“වරුණි කිව්වෙ අර අනුරාධගෙ පස්සෙන් ආව ගර්ල් නේද?” විහංසා අහද්දි මියුරංගට හිනයි.

“ආ ඒ කියන්නෙ ඔයත් දන්නවා ඒක?”

“ඔව් සහස්‍රාට යකා නැගලා හිටියෙ. පව් අනේ අනුරාධටත් බැන්නා.” විහංසා කිව්වා.

“ඒ කොල්ලට බැනල වැඩක් නෑනෙ. මේ වරුණිගෙනෙ වැරැද්ද.”

“ඒක ඇත්ත. සහස්‍රා හොටෙල් එකට යද්දිම අනුරාධට කියලා ගියේ එයා ලඟින්ම ඉන්න නැත්නම් ඔයා ලඟින් ඉන්න කියලා.” විහංසා කිව්වා.

“ඒක නෙමෙයි. මම සහස්‍රාට කියලා ආවෙ පැටලෙන්න යන්න එපා කියලා. මොකද එක පාරම පැටලුනේ.” විහංසා කල්පනා කරමින් ඇහුවා.

“ආහ් මේ පොඩි ප්‍රශ්නයක්.” මියුරංග සැහැල්ලුවෙන් කිව්වෙ ඇත්තටම උන දේ කිව්වොත් මෙයාව නලවගන්න වරු ගානක් යන නිසා.

“පොඩි ප්‍රශ්නයක් කිව්වෙ? මට කියන්න බැරි එකක්ද?”

“නෑ මැණික. ඒක නෙමෙයි ඔයාගෙ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් ටික වයිබර් කරන්න. මට වැඩක් කරන්න තියෙනවා.” මියුරංග හදිස්සියෙන් වගේ කිව්වා.

“කපටිකම. හා හා මම එවන්නම්. බුදු සරණයි.” විහංසා කෝල් එක කට් කලා.

“නූලෙන් බේරුනා. බබාට කියන්න ඕනෙ.” මියුරංග එහෙම හිතාගෙන සහස්‍රාගෙ කාමරේට යන්න එලියට ආවා.

“සුදු පුතා ඔයා මොකද මේ කාමරේට වෙලා. නෑදෑයො සේරම එලියෙ. ගෙදර ලමයි දෙන්නා කාමර වල. මොකද?” ලොකු අම්මා හිටියෙ කාමරේට එනගමන්. මියුරංගගෙ අතින් ඇදන් ලොකු අම්මා පහළට ගියා.

“අයියෝ ලොකු අම්මා. පහලට යන්න කලින් බබාට පනිවිඩයක් තියෙනවා කියන්න.” මියුරංග චුරු චුරු ගාලා යාන්තන් ලොකු අම්මගෙන් ගැලවිලා සහස්‍රාගෙ කාමරේට දිව්වා.

____________________________________________________________________

උදම්ගෙත් අපර්ණාගෙත් හෝම් කමින් එක දවස් දෙකකට පස්සෙ තිබුනා. හැමෝටම සතුටුයි. වැඩියෙන්ම සතුටු උනේ අම්මා. අපර්ණා මේ ගෙදරට එක්කන් එනකන් ඇඟිලි ගනිමින් හිටියෙ අම්මනෙ.

හෝම් කමින් එකට දවස් දෙකකට පස්සෙ හැමදේම සාමාන්‍ය තත්වයට පත් උනා.

“ගුඩ් මෝනින් ලමයි.” අපර්ණා කිව්වෙ කට්ටියම කෑම මේසෙට වාඩි උනාට පස්සෙ. වෙනදා උදේට කුස්සියෙන් එන සුවඳ වෙනස් වෙලා අලුත් සුවඳක් ආවා.

“අද අක්කද ඉව්වෙ?” සහස්‍රා ඇහුවෙ කෑම වර්ග වෙනස් නිසා.

“නෑ අද උයන්න ඕනෙ දේවල් කිව්වෙ දූ. බලන්න බබා රසද කියලා.” අම්මා කුස්සියෙ ඉඳන් හිනාවෙවී ආවා.

“වෙන්න බෑ. මේ සුවඳත් වෙනස්නෙ.” මියුරංගත් කිව්වා.

“හරි හරි සුවඳ වෙනස් උනාට රස වෙනදා රසමද බලන්නකෝ.” අපර්ණා කිව්වම හැමෝම කෑම බෙදාගත්තා.

අද පාන්දරම නැගිටලා අපර්ණා තමයි කෑම හැදුවෙ. අම්මා එද්දි අපර්ණා ඉඳිආප්ප ලිපට තියලත් ඉවරයි. අපර්ණා හිනාවෙවී බලන් හිටියෙ කට්ටියගෙ අදහස් කියනකන්. අම්මා වෙනදට උදේට ඉඳි ආප්ප හදන්නෙ හදිස්සියෙන්. ඒ හැදුවත් පරිප්පු පොල් සම්බල් වගේ වර්ග වලින් එකයි හදන්නෙ. ඒකයි කට්ටියට වෙනසක් දැනුනේ.

“හරිම රසයි දූ.. හරීම රසයි.” අප්පච්චි මුලින්ම කමෙන්ට් එක දුන්නා.

“ඒකනෙ මට හිතුනා අක්කා වෙන්න ඇති මේවා හැදුවෙ කියලා. හරිම රසයි අක්කා. හැමදාම එකම රසට කෑම කාලා දැන් අපිට වෙනස් රසවල් දැනෙයි නේද ඉස්සරහට.” සහස්‍රා කිව්වා.

“ආ… ඒ කියන්නෙ මෙච්චර දවස් කෑවෙ එපා වෙලාද?” අම්මා අහද්දි කට්ටියටම හිනයි.

මියුරංග විහංසා සුපුරුදු විදියට මුණ ගැහුනා ඔෆිස් ගියා.

“මැණික…”

“ම්ම්ම්….”

“ඉක්මණට මැරි කරමු නේද?” මියුරංග විහංසාගෙ කරවටේ අත යවලා ඇයව ලං කරගෙන ඇහුවා.

“ඇයි හද්ස්සියෙම?”

“නෑ හදිස්සියක්ම නෙමෙයි. ඒ උනාට අම්මලත් කැමතියි දැන්ම වෙඩින් එක ගන්නව නම්. තාත්තා කැමතියි නේද?”

“මොකටද?”

“ඉක්මණට දෝණි මට දෙන්න.” මියුරංග අහද්දි විහංසාට හිනයි.

“මම තාත්තට කියන්නම් අයියේ.”

“ආහ්.. අයියා අයියා කිය කිය හිටියා ඇති නේද? අඩු ගානෙ නම කියලවත් කතා කරන්න ඉතිං.” මියුරංග කිව්වෙ අහක බලන්. විහංසා හිනාව නවත්තගෙන හිටියා අමාරුවෙන්.

____________________________________________________________________

සේනාධීරලාගෙ වාහනේ මිදුලෙ නවතින කොටම උදේන එලියට බැස්සා. අද මේ එන්නෙ විහංසාගෙයි මියුරංගගෙයි කසාදෙට දින නියම කරගන්න.

“එන්න එන්න සේනාධීර මහත්තයා. මම මේ මග බලාගෙන හිටියේ.”

“ආයුබෝවන් මස්සිනා.” අප්පච්චි වාහනෙන් බැස්සෙ එහෙම කියාගෙනමයි.

“ආයුබෝවන් ආයුබෝවන්. එමු ඇතුළට.” උදේනගේ ඇස් පවා හිනා වෙනවා. හැමෝගෙම හිත් වල දැල් උනේ ඒ සතුටම තමයි. සහස්‍රා දුවගෙන ගියේ විහංසාව බලන්න.

“ආව් ආව් කෙල්ලගෙ ලස්සන. මගෙ අම්මෝ අද මෙහෙම ලස්සන නම් වෙඩින් එක දවසට කොහොම ඉඳීද.” සහස්‍රා දුවගෙන ගිහින් විහංසාගෙ දෙකොපුල් සිප ගත්තා.

“අනේ විහිලු කරන්න එපා සහස්‍රා. යමු කට්ටිය ගෙට ආවද?” විහංසා කණ්නාඩි මේසය ලඟින් නැගිට්ටා.

විහංසා හෙමිහිට කාමරෙන් එළියට බැස්සා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *