මා නොවේ ඈ නුඹේ 47 කොටස

“මගේ කෙල්ල එන්න… මගෙ ලඟින් ඉඳගන්න.” අම්මා කතා කලා ලඟින් ඉඳගන්න. විහංසා ගිහින් ඉඳගත්තා.

මියුරංග ඇසි පිය නොහෙලා බලාගෙන හිටියෙ කෙල්ලගෙ ලස්සන. එදා උදම්ලාගෙ වෙඩින් එකට සාරි ගනිද්දි විහංසාට අරන්දුන්න සාරිය ඇය අදයි මේ ඇඳලා තිබුනෙ. ඒකට ඇය හරිම ලස්සනයි.

____________________________________________________________________

“මේ මොකද්ද?” විහංසා ඇහුවෙ මියුරංග ඇයට ආදරෙයි කියපු දවසෙ ඇයට මොකද්දෝ බොක්ස් එකක් දෙනකොට.

“අරන් බලන්නකෝ..” මියුරංග ඇහැක් ගහලා කිව්වම විහංසා හෙමිහිට පෙට්ටිය විවෘත කරලා බැලුවා.

“අනේ ලස්සනයි අයියේ.. මේක මම එදා…” විහංසා මතක් කලා. ඇයට මතක් උනා එදා ඇගේ හිත ගිය සාරිය මේක බව.

“ඕකට ආසයි නේද? අයියලාගෙ හෝම් කමින් එකට අඳින්න ඕක.” මියුරංග කියද්දි විහංසාගෙ ඇස් වලට කඳුලක් ආවා.

“බෑ බෑ..”

“එහෙනම්??”

“මේක අඳින්නෙ ඔයාගෙ ගෙදරින් මාව බලන්න එන දවසට.” විහංසා සාරිය තුරුල් කරන් කිව්වා. මියුරංග විහංසාව තමන්ගෙ පැත්තට ඇදල අරන් තුරුල් කරගත්තා.
____________________________________________________________________

“සුදු අයියා… මොකද්ද අනේ කරන්නෙ.” සහස්‍රා ඇඟිල්ලෙන් ඇන්නම තමයි මියුරංග මේ ලෝකෙට ආවෙ. විහංසා හිනාවෙවී බලන් හිටියා මියුරංග දිහා. මියුරංගට ලැජ්ජත් හිතුනා තමන් වශීවෙලා වගේ බලන් ඉඳපු හැටියට. හෙමිහිට හිස හරවල බලද්දි උදම්නුයි අපර්ණායි දෙන්නත් නෝන්ඩියට වගේ හිනාවෙවී බලන් ඉන්නවා මියුරංග දිහා. ඒ දෙන්නට රවලා මියුරංග ඉස්සරහ බලාගත්තා.

අද විහංසාගෙ ලොකු අම්මත් ඇවිත් හිටියා. කට්ටියට කෑම ලේස්ති කරන්නයි කෙල්ලගෙ වැඩ කටයුතු ගැන බලන්නයි අම්මා වගේම ලොකු අම්මා විහංසාගෙ ලඟින් හිටියා.

“අපි එහෙනම් කාරණාවට බහිමු නේද සෙනවිරත්න මහත්තයා.” අප්පච්චි ඇහුවා.

“ඔව් සේනාධීර මහත්තයා. ආහ් ඊට කලින් කියන්න එපැයි. මේ ඉන්නෙ මගේ අයියගෙ නෝනා. අයියට අසනීපයි. ඒකයි අක්කා විතරක් ආවෙ.” උදේන ලොකු අම්මාව අඳුන්වලා දුන්නා.

“බොහොම සතුටුයි අද ඇවිත් මේ වෙලාවට සහබාගී උන එකට.” අප්පච්චි අත් එකතු කරලා ආචාර කලා.

“මටත් සතුටුයි මේ වගේ පවුලක් එක්ක අපේ දුවට එකතු වෙන්න ලැබුන එකට. ඇත්තටම අපි ඔක්කොටම ඉන්න එකම මැණික තමයි මේ.” ලොකු අම්මා ඇස් අගට ආව කඳුලක් පිහිදලා කිව්වා. ලොකු අම්මලාට ලමයි නෑ. ඒ නිසා ඔවුන් විහංසාට පණ වගේ ආදරේ කරා.

“මේ වගේ දුවෙක් ලබන්න අපි කොච්චර වාසනාවන්තද.” අම්මත් කිව්වෙ විහංසාගෙ හිස අත ගාමින්.

“සෙනවිරත්න මහත්තයා නැකැත් යෙදිලා තියෙන විදියට ලබන මාසෙ හොඳ නැකතක් තියෙනවා. ලබන මාසෙ විසි අට. අපි නම් කැමතියි ඒ දිනේට වැඩේ කරන්න.” අප්පච්චි කියද්දි උදේනට නම් හිතුනෙ ලඟ වැඩියි වගේ. ඒත් කෙල්ලගෙ සතුට වෙනුවෙන් උදේනත් කැමති උනා.

“අපිට ප්‍රශ්නයක් නෑ නේද අක්කේ. දෝණි කැමති නම් අපි කැමතියි.” උදේන කිව්වා. විහංසා හෙමිහිට හිස උස්සලා උදේන දිහා බැලුවා. පුංචි කඳුලු පටලයක් තාත්තගෙ ඇස් දෙකේ තියනවා දැකපු විහංසාට දැනුනෙ පපුව ඇතුලෙ මොකද්දෝ වෙනවා වගේ.

“හරි හරි එහෙනම් ඔන්න තීන්දුයි.” අම්මත් කියද්දි විහංසාගෙ ඇඟම හීතල වෙලා ගියා. ඇත්තටම මියුරංගව කසද බඳින්න ඕන උනත් මේ තරම් ඉක්මණින් තාත්තව දාලා යන්න ඇයට ඕන උනේ නෑ.

“අංකල්..” විහංසා වෙව්ලන කටහඬින් කතා කලා. මියුරංග බැලුවෙ ගැස්සිලා වගේ.

“කියන්න පුතේ.” අප්පච්චි ආදරෙන් කියද්දි විහංසාගෙ ඇස් වලින් කඳුලක් වැටුනා.

“මම එදා ආව වෙලාවෙ අංකල්ට කොන්දේසියක් දැම්මා. මතකද?”

“මට මතකයි පුතේ. අපි සෙනවිරත්න මහත්තයාවත් අපේ ගෙදර එක්කන් යමු. එතකොට ඔයා තාත්තගෙන් දුරස් වෙන්නෙ නෑනෙ. නේද?” අප්පච්චි මේ තීරණේ අරන් තමයි ආවෙ ගෙදරින් එද්දිම.

විහංසා හිනා උනා. හදවතින්ම සතුටු උනා ඇය. මියුරංගගෙ මූණට හිනාවක් වගේම හිතට සහනයක් දැනුනෙ විහංසාගෙ හිනාව දැකලා.

“මොකද ඇඬුවෙ? දුකයිද?” මියුරංග ඇහුවෙ කාලා ඉවර වෙලා විහංසා එක්ක එලියට බැස්සම.

“ඔයාගෙ වෙන්න දින ගැන ගැන ඉන්නවා තමයි. ඒත් මේ තරම් ඉක්මණට තාත්තව තනි කරන්න බෑ.” විහංසා අඬ අඬ මියුරංගට තුරුල් උනා.

“මගෙ ලඟට ආවම තාත්තා නැති වෙනවද මෝඩි. අපි තාත්තව එහෙ එක්කන් යමු. අප්පච්චිත් කිව්වනෙ.” මියුරංග විහංසාගෙ හිස සිඹිමින් කිව්වා. විහංසා හිත සැනසීමෙන් මියුරංගගෙ පපුවට හිස තියන් ඇස් පියාගත්තා.

“විහංසා… මගෙ මැණික.” මියුරංග ආදරෙන් හිස අත ගගා කතා කලා.

“ම්ම්ම්… කියන්න අයියේ..”

“මොනම හේතුවක් නිසාවත් මගෙන් ඈත් වෙන්න එපා. ප්ලීස්. මම ආදරෙයි ගොඩාක්… මට ඔයා නැතුව ඉන්න බෑ.” මියුරංග කතා කරද්දි ඔහුගෙ ඇස් වලට කඳුලු ආවෙ ඔහුටත් හොරා. ඇත්තටම දැන් ඔහුට ඇය නැති මොහොතක් ගැන හිතන්නවත් බෑ. එහෙම හිතද්දිත් පපුවට මොකද්දෝ වෙනවා.

“මම දාලා යන්නෙ මැරුණොත් විතරයි. ඒ වෙනකන් ඈත් වෙන්නෙ නෑමයි.” විහංසා තවත් මියුරංගගෙ පපුවට තුරුල් වෙලා කිව්වා.

“ආපෝ… මේ දෙන්නා බඳින්න කලින්ම හනි මූන් යයි වගේ මේ යන විදියට නම්. නේද ලොකු අයියා.” සහස්‍රායි අපර්ණායි උදම් එක්ක එලියට ආවෙ නිකමට. එද්දි මේ දෙන්නා ඉන්නවා දැකලා එතෙන්ට එනගමන් සහස්‍රා හිනාවෙවී හයියෙන් කිව්වා. විහංසා හෙමිහිට මියුරංගගෙන් ඈත් උනා.

“අපෝ මේකිගෙ ලැජ්ජාව?” අපර්ණා විහංසාගෙ රතු උන කම්මුලක් තවත් මිරිකුවා. විහංසා බිම බලාගෙනම හිටියා.

“මොකද මල්ලි දෝණි කියන්නෙ?” උදම් අහද්දි තමයි මියුරංග විහංසාගෙ මූණෙන් ඇස් ඉවතට ගත්තෙ.

“ඉක්මණට බඳින්න බෑ කියන්නෙ.” මියුරංග හිනාවෙවී කිව්වා.

“මොන බොරුද? පේන්නෙ නැද්ද මේකිගෙ තියෙන මනමාල පාට.” සහස්‍රා විහංසාට කිතිකවමින් කිව්වා.

“අනේ.. සහස්‍රා එපා… අනේ අයියේ.” විහංසා මියුරංගගෙ ඇඟටම හේත්තු උනා. මියුරංගගෙ ඇස් වලින්… හිනාවෙන්… මුලු මූණෙන්ම ආදරේ වෑහෙනවා.

“බබා දැන් ඇති…” මියුරංග ආදරෙන් සහස්‍රාට තරවටු කලා.

“පේනවද ලොකු අයියා මෙයාගෙ ගනකම.” සහස්‍රා ඒ පාර උදම් ලඟට ගියා.

“විහිලු නෙමෙයි ඇත්තම කියන්න ලමයි. මොකද්ද තීරණේ.” උදම් ආයෙමත් ඇහුවා.

“අපි කැමතියි අයියා.” මියුරංග කිව්වෙ සතුට වෑහෙද්දි.

“වාව් ඒ කියන්නෙ මාස තුනකට පස්සෙ ආයෙත් අපිට කේක් කෑල්ලක් කන්න පුලුවන් කියලා නේද? ශා… නියමයි.” සහස්‍රා උඩ පැන්නෙ සතුටින්. උදම්ගෙත් අපර්ණාගෙත් වෙඩින් එක තිබිලා මාස තුනක් වෙනවා. සහස්‍රා හිතන් හිටියෙ මේ වෙඩින් එක ඉවර උන ගමන් අනුරාධ ගැන අප්පච්චිලාට කියන්න. ඒ නිසා ඇයට තවත් සතුටුයි.

කසාදය තීන්දු උනා. හරියටම දවස් විසි තුනයි තිබුනෙ වෙඩින් එකට. හැමදේම උදම් අපර්ණා එක්ක එකතු වෙලා සහස්‍රාත් අනුරාධත් තමයි කලේ. විහංසාගෙ එකම හීනෙ උනේ යුවතිත් දෙවනි මනමාලියෙක් කරගන්න.

“හෙලෝ… දෝණියෝ මාව මතකයි නේද?” යුවති කිව්වා.

“අමතක වෙන්න මමයැ කතා නොකර හිටියෙ. මම දවස් කීයක් කෝල් කරාද ඔයාගෙ නම්බර් එක බිසීනෙ.” විහංසා කිව්වේ දැන් මාස දෙකකින් විතර යුවතිව දැක්කෙත් නැති බව මතක් කරමින්.

“අනේ එහෙම එකක් නෑ.” යුවතිට සතුටුයි විහංසා කෝල් කරපු එකට. ඇය දවස් ගානක් තිස්සෙ ෆෝන් එක ඕෆ් කරලා තිව්වෙ විහංසාගෙ කෝල් වලින් බේරෙන්නමයි.

“කොහෙද ගිහින් හිටියෙ?” විහංසා ඇහුවෙ දවස් දෙක තුනක්ම ඇය ගෙදරට ගියත් ගෙදර කවුරුවත් හිටියෙ නැති නිසා.

“කොහෙවත් නෑ දෝණියෝ…” යුවති සති කීපයක් ගෙදර හිටියෙ නැති බව නොකියා කිව්වෙ.

“එහෙම වෙන්නෙ කොහොමද. මම එහෙ ආවනෙ දවස් කීපයක්ම. කවුරුවත් හිටියෙ නෑනෙ.” විහංසා කිව්වෙ පුදුමෙන්.

“ආහ් අපි අත්තම්මලගෙ ගෙදර ගියා. මට කියන්න බැරි උනා.” යුවති කියද්දි විහංසාට දැනුනෙ මොකද්දෝ අමනාපයක් හිතේ තියෙනවා වගේ.

“හරි හරි මම අද එහෙ එනවා. ඒක කියන්න ගත්තෙ.” විහංසා හැමදේම අමතක කරලා කිව්වා.

“ඔයාගෙ වෙඩින් එක කියන්නද? වාව්… ශෝක්නෙ.” යුවති සතුටින් උඩ පැන්නා.

“කොහොමද දන්නෙ?” විහංසා ඇහුවා.

“නෑ මට නිකමට හිතුනා. ඉතිං ශෝක්නෙ. කවද්ද තියෙන්නෙ?” යුවති බලන් හිටියෙ මේ දවස එනකන්නෙ. ඇයට සතුටුයි ඉතිං.

“චූටි…” විහංසා ආදරෙන් කතා කලා.

“ම්ම්ම්…”

“ඔයා වෙනස් වෙලා ගොඩක්.” විහංසා කතා කරන්නෙ සංවේගයෙන් බව යුවතිගෙ හිතට දැනුනා.

“එහෙම නෑ දෝණියෝ… මේ එහෙනම් ඔන්න මාත් එනවා ඔයත් එක්ක ගෙදර යන්න අද. හරිද? ඉන්න අම්මට කියන්නම් මම.” යුවති සතුටින් කිව්වා.

“හා… ශෝක්නෙ. මටත් ඔයා එක්ක කියන්න ගොඩක් දේවල් තියෙනවා.” විහංසාත් සතුටින් කතා කලේ. හවසට ඇය මියුරංග එක්ක ටිකක් එළියට යන්න දාගෙන තිබුනත් ඇය හිතුවා අද හවස් වරුවම යුවති එක්ක ගත කරනවා කියලා.

විහංසා හෙමිහිට මියුරංගගෙ ටේබල් එක ලඟට ගියේ අද යුවති වෙනුවෙන් ඉන්න ඕනෙ කියලා කියන්න.

“මොකද මේ ඇඹරි ඇඹරි එන්නෙ. මොකද්ද ප්‍රශ්නෙ?” මියුරංග ඇහුවා.

“මේකයි අයියා… ” විහංසා මියුරංගගෙ ඉස්සරහින් ඉඳගත්තා.

“කියන්න බලන්න කෝකද කියලා…??” මියුරංග ආදරෙන් කියද්දි විහංසාගෙ හිතේ තියෙන ආදරෙත් වැඩි වෙනවා.

“අද හවසට මම යුවතිලගෙ ගෙදර යමු කිව්වනෙ. ඒත් මට හිතෙනවා මම විතරක් යන්න කියලා. මොකද එයාව..” විහංසා හෙමි හෙමිහිට කියාගෙන යද්දි මියුරංග ඇයව නැවැත්තුවා.

“මගේ පිස්සු කෝච්චිය. මම ඔයාව එයාලගෙ ගේ ලඟට දාලා යන්නම්. දැන් ආයෙ ඒ ගැන කතා එපා. හරිද?” මියුරංග නැගිටලා ඇවිත් විහංසාගෙ උරහිසෙන් අත තියලා කිව්වා. විහංසා හිනාවෙලා හිස වැනුවා.

හවස දෙන්නත් එක්ක ඔෆිස් එකෙන් වේලාසනින්ම ආවා. මියුරංග විහංසාව යුවතිගෙ ගේ ලඟින් දාලා උදම්ගෙ සේල් එකට ගියේ විහංසාට තෑග්ගක් ගන්න.

“ආ මලයා… මොකද අද මේ පැත්තෙ…” උදම් මියුරංගව දැක්ක ගමන් හිනා වෙලා ඇහුවා.

“අම්මෝ වෙඩින් එකෙන් පස්සෙම මූව දැක්කෙ. කොහෙද බං ගිහින් හිටියෙ.” රදීෂ් ඇහුවෙ මියුරංගගෙ කරට අතක් දාගෙන.

“වැඩ වැඩ… මෙයා නෙක්ස්ට් මන්ත් මැරි කරන්නනෙ යන්නෙ.” උදම් හිනාවෙවී රදීෂ්ට කිව්වා.

“හැබෑද… ෆට්ටනෙ කොල්ලෝ.. අපිට පිට පිට වෙඩින් දෙකක් ආ….” රදීෂ් මියුරංගගෙ බඩට ගහලා ඇහුවෙ හිනාවෙවී.

“ඔව් ඔව් උඹලා වරෙල්ලකො මාව කාලා යන්න.” මියුරංග හිනාවෙවී ඉඳගත්තා.

“අපිට කිව්ව සැණින් අපි එනවා. උඹ දන්නවනෙ. මේ බං මම එළියට යන්න කියලා. ගිහින් එන්නම් බං.” රදීෂ් එහෙම කියලා අයියා මලෝගෙන් සමු අරන් ගියා.

“කියපං මලයා… කෝ උඹ අද බොඩිගාඩ් වැඩෙන් නිවාඩු දැම්මද?” උදම් අහුවෙ විහංසා ගැන. නැත්නම් හැම වෙලාවෙම මියුරංග විහංසාගෙ පස්සෙන්මනෙ.

“නෑ අද එයාව යුවතිගෙ ගෙදරට ඇරලුවා.”

“මොකද යුවතිට වෙඩින් එක කියන්නද?”

“ඔව් එයාලට වෙඩින් එක කියන්නයි යුවතිව දෙවනි මනමාලියෙක්ට ගන්න ඕනෙලුනෙ.” මියුරංග කිව්වා. උදම් ටිකක් කල්පනා කලා.

“ඒකට යුවති කැමති වෙයිද මලයා. මොකද කලින් උඹට කතා කරල තිබුනෙ ඒ ලමයා නිසා…” උදම් කියන්න යනදේ තේරුණ නිසා මියුරංග මැදින් පැන්නා.

“ඒක යුවති නිසයි නැවතුනේ අයියා. නැත්නම් මම හිත හදාගෙන හිටියෙ එයාව මැරි කරන්න. විහංසාගෙ සතුට වෙනුවෙන් මම යුවතිව මැරි කරන්න ලේස්ති උනා. එයාමයි වෙන කොල්ලෙක් ගැන කියලා මගෙන් අයින් උනේ.” මියුරංග කිව්වෙ ඇත්ත. ඔහු මුලින්ම යුවතිට ආදරේ කලානෙ. ඇගෙන් දැකපු තැන්පත් කමට සහ ඒ ගතිගුණ වලට.

“හ්ම්ම්.. හරි හරි කමක් නෑ එහෙනම්. කවුද අනිත් කොල්ලා. රදීෂ් ගමු නේද?” උදම් ඇහුවෙ සහස්‍රා අනුරාධ ජෝඩුව විතරක් ගන්න ගෙදරින් කතා කරපු නිසා.

“ආ.. නෑ නෑ ඒ ගැන කතා කරන්න තමයි වැඩියත්ම විහංසා එහෙ ගියෙ. අර යුවතිගෙ බෝයිව ගෙන්නගන්න පුලුවන්ද බලන්න ඕනෙ.” මියුරංග කිව්වෙ චමත් ගැන.

“හා.. ඇයි ඌ කොහේ එකෙක්ද?”

“ඉන්ග්ලන්ඩ් ගියාලුනෙ. අවුරුද්දකටද දෙකකටද කොහෙද.” මියුරංග නොසැලකිල්ලෙන් කිව්වෙ.

“හා හා… මේ දැන් කියපං කම්මැලි කමටද මෙහෙ ආවෙ නැත්නම්???” උදම් නලල රැළි කරලා ඇහුවා.

“නෑ මට ප්‍රසන්ට් එකක් ගන්න ඕනෙ.”

“කාටද?”

“මට ප්‍රසන්ට් දෙන්න ගොඩක් අය නෑ හරිද?” මියුරංග කියපු හැටියට උදම්ට හයියෙන් හිනාගියා.

“හරි හරි මොකද්ද ප්‍රසන්ට් එක.”

“ම්ම්ම් වෙහිකල් එකක්.” මියුරංග කිව්වා.

“හොඳයිනෙ. යමං එහෙනම් එළියට.” උදම් මියුරංගගෙ කරට අතක් දාගෙන එලියට ආවා. ලස්සන ලස්සන වාහන පේළි අතරේ මියුරංගගෙ හිත එක තැනක නැවතුනා.

“මේක මරු… මම කැමතියි මේකට.” මියුරංග කලු පැහැයට හුරු තද දම් පාට ෂයිනි ඇක්වා රථයක් ලඟ නැවතුනා.

“අද ගෙනාවෙ කොල්ලා. මේක හොඳ භාණ්ඩෙ.” උදම් කිව්වෙ ඇත්තටම.

“එල. මේක මරු.” මියුරංග නැගලා ස්ටාර්ට් කරලා බලලා කිව්වා.

____________________________________________________________________

“අම්මේ කාලෙකට පස්සෙ දෝණිට අපිව මතක් වෙලා තියෙන්නෙ. කොහොමද පුතේ.” වන්දනා මල් වලට වතුර දමමින් හිටියෙ විහංසා එද්දි. ඇය ඉක්මණින් ගිහින් විහංසාව වැළඳගත්තා.

“මම ආවා. ගෙදර කවුරුවත් හිටියෙ නෑ. චූටිටත් ගත්තා ෆෝන් වැඩ නෑ.” විහංසා කියද්දි වන්දනාට දුක හිතුනා. යුවති විහංසාව මග අරින එකට වන්දනාත් දුකෙන් හිටියේ.

“හා.. අපි ගමේ ගියානෙ පුතේ. යමු ඇතුලට. අන්න අරයා අද එහෙ යනවා කියල කෑමත් හදවනවා.” වන්දනා හිනාවෙවී කිව්වා.

“අනේ මොන කෑමද. ගිහින් උයාගන්න එකනෙ අම්මා. මම ඇතුලට ගිහින් බලන්නම්.” විහංසා එහෙම කියලා ඇතුලට ගියා.

“දෝණී….” යුවති දුවගෙන ඇවිත් විහංසාව වැළඳ ගත්තා.

“දැන් ඇතිද මාත් එක්ක තරහ වෙලා හිටියා.” විහංසා අහද්දි යුවතිගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.

“මම??? තරහ වෙලා හිටියා… නෑ දෝණි.” යුවති ඇස් වල කඳුලු පුරවගෙන කිව්වා.

“හරි හරි දැන් අමතක කරන්න ඒවා. කෝ මොනවද මට ගෙනියන්න හැදෙව්වෙ.” විහංසා කුස්සියට එබෙමින් ඇහුවා.

“අනේ දෝණි බේබි කාලෙකින් දැක්කෙ. ලස්සන වෙලා.” කුසුම් අම්මා කිව්වා.

“මගේ මොන ලස්සනක්ද කුසුම් අම්මා.” විහංසා කුසුම් අම්මාගෙ කරට අතක් දාලා බැලුවා මොනවද හදලා තියෙන්නෙ කියලා.

“අද චූටි බේබි මට කියලා රුලං අලුවා හැදෙව්වා. දෝණි බේබි ආසයිනෙ.” කුසුම් අම්මා කිව්වෙ රුලං දෝසි දීසිය විහංසාට දෙනගමන්.

“ශා ශෝක්නෙ කුසුම් අම්මා. මම ආසම කුසුම් අම්මා අතින් හදපු රුලං දෝසි කන්න.ම්ම්ම්… කාලා බලමු.” විහංසා දෝසි කෑල්ලක් අරන් කකා යුවති එක්ක උඩට ගියා.

“කෝ යන්න ලේස්ති වෙන්න උයන්නත් ඕනෙ ගිහින්.” විහංසා කිව්වෙ යුවති හරි බරි ගැහිලා ඇඳෙන් ඉඳගත්තම.

“හා… එහෙනම් අපි යනගමන් කතා කරමු.” යුවති ඒ පාර නැගිටලා ගිහින් ලේස්ති උනා.

ආයෙත් හමුවෙමු.

ටිකක් පරක්කු උනා මේ දවස් දෙකේම. ඒකට සමාවෙන්න. ගෙදර වැඩත් එක්ක අමාරුයි ලියාගන්න. කොහොම හරි කොටසක් ලියලා දාන්නෙ ඔයාලා බලන් ඉන්න නිසාමයි.

පහුගිය දවස් කීපෙකම මගේ කතා පේන්නෙ නෑ කියලා ගොඩක් අය කිව්වා. ප්ලීස් පුලුවන් නම් අද මේ කොටස කියවන හැමෝම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න.

තෙරුවන් සරණයි!
By Sherangi Shanika 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *