මා නොවේ ඈ නුඹේ 60 කොටස

උදම්ගෙයි අපර්ණාගෙයි කෙලි පැටික්කි ගෙදරට එක්කන් ආවට පස්සෙ ඉඳන් විහංසාට වැඩ වැඩියි. බබාව එක්කන් ආවට පස්සෙ විහංසා ඔෆිස් යන එක නැවැත්තුවා. හැම වෙලාවෙම බබා එක්ක තමයි හිටියෙ. අඩුම තරමෙ ගොඩක් දවසකින් තාත්තව බලන්න යන්නවත් උනේ නෑ. ඒ අස්සෙ සහස්‍රාගෙයි යුවතිගෙයි දෙන්නගෙම වෙඩින් දෙකම එකම දවස් වලට තමයි වැටුනෙ. සහස්‍රාගෙ වෙඩින් එකෙන් සතියකට පස්සෙ යුවතිගෙ වෙඩින් එක. ඒකෙනුත් වැඩ වැඩි උනේ විහංසාට. අපර්ණා බබා ලඟ නිසා හැම වැඩේටම සහස්‍රා එක්ක යන්න උනේ විහංසාට. ඒ අතරෙ යුවතිගෙ වැඩ වලටත් යන්න උනා. මියුරංගත් ඔෆිස් එකේ වැඩත් එක්ක හිර වෙලා නිසා විහංසා එක්ක කතා කරන්න උනෙත් අඩුවෙන්. නිදියන ඩිංගෙදි විතරයි.

“මැණික….” මියුරංග ගෙදර ඇවිත් පැයකට විතර පස්සෙ තමයි යාන්තන් විහංසාව අල්ලගන්නෙ. විහංසාගෙ මූණෙන් වෙනදා පේන සතුට මියුරංග අද දැක්කෙ නෑ.

“ම්ම්… කෑම ලේස්ති කරල තියෙන්නෙ මහත්තයා.. යමු කන්න.” විහංසා මේ මාස හයටම එකම දවසක්වත් මියුරංග ගෙදර ඉන්න වෙලාවට ඔහු නැතුව කෑම කෑවෙ නෑ.

“බඩගිනිද?” මියුරංග ඇහුවෙ ටික වෙලාවක් කතා කරන්නවත් කෙල්ලට නිදහසක් නැති බව දැනුන නිසා.

“බඩගිනි නම් නෑ. ඒත් බඩී එක්ක සැලෝන් එකට යන්න තියෙනවා.” විහංසා ඇඳ උඩින් ඉඳගෙන කිව්වා.

“කවද්ද විහංසා ඔයාගෙ මේ දිවිල්ල නවතින්නෙ. කිසිම වෙලාවක එක තැනක නෑ. මහන්සි නැද්ද? අනික දැන් අපි අපේ ජීවිතේ ගැනත් හිතන්න ඕනෙ නේද?” මියුරංග ඇහුවෙ පසුතැවීමෙන්. ඔහුට ජීවිතේ ලොකු අඩුවක් දැනුනා.

“අපේ ජීවිත ගැන තව මොනවද හිතන්න තියෙන්නෙ අහස්? අපි දෙන්නා සතුටින් ඉන්නවනෙ…” විහංසා මියුරංගගෙ හිස අත ගාමින් අහද්දි මියුරංග විහංසාගෙ උකුලෙන් හිස තියාගත්තා.

“අපේ පවුලත් සම්පූර්ණ වෙන්න ඕනෙ මැණික. අයියලාගෙ බබාව නලව නලව හිටියම හරිද? අපිට දරුවෙක් ගේන්නෙ කවද්ද?” මියුරංග ටික දවසක් තිස්සෙ හිතේ තියන් ඉඳපු දෙයක් ඇහුවා.

“අපේ දරුවෙක් එන දවස වෙනකන් මම ආසයි මේ ජීවිතේ ඇතුලෙ ජීවත් වෙන්න. අපිට තව වයස තියෙනවනෙ. නේද?” විහංසා තමන්ගෙ හිත හංගගෙන කිව්වා. ඇත්තටම ඇයත් අපර්ණාගෙ දරුවා සුරතල් කරන හැම වෙලාවකම හිතුවා තමන්ගෙම දරුවෙක් හිටිය නම් කොච්චර සතුටක්ද කියලා.

“ඒ කියන්නෙ?” මියුරංග විහංසාගෙ මූණට එබිලා ඇහුවා.

“මම දන්නෙ නෑ අපේ ජීවිතේට ඒ සතුට එන්න මේ තරම් පරක්කු ඇයි කියලා. අම්මත් ඇහුවා මගෙන්.” විහංසා බිම බලාගෙන කිව්වා. මියුරංග ඇයව ලඟට කරන් හිස අත ගෑවා.

“අම්මා හිත රිදෙන මුකුත් කිව්වෙ නෑ නේද?” මියුරංග ඇහුවෙ සැකෙන්. අම්මා අම්මාම උනාට නැන්දම්මා වෙද්දි වෙනස් වෙන්න පුලුවන්නෙ.

“අනේ නෑ… ඒත් වෙනසක් මුකුත් නැද්ද ඇහුවා. මට ටිකක් දුක හිතුනා. ඒක හරි. එන්නකො යමු කෑම කන්න.” විහංසා මියුරංගගෙ අතින් ඇදන් පහලට ගියා.

“ලමයෙක් ගැන හිතන්න නිදහසක් තියෙන්න ඕන. මේ ගේ ඇතුලෙ කෝ ඔයාට නිදහසක්.” මියුරංග කතා කලේ තරහින්.

“සුදු පුතා… මොකද්ද ප්‍රශ්නෙ?” අම්මා ඇහුවෙ මියුරංගගෙ මූණ ඒ තරම් හොඳ නැති නිසා.

“මුකුත් නෑ අම්මා. මම මේ මෙයාට කිව්වෙ හැමදේටම දුවන්නෙ නැතුව තමන්ගෙ සෞඛ්‍ය ගැනත් හිතන්න කියලා. මහන්සි වෙනවා වැඩියිනෙ.” මියුරංග විහංසා කෑම බෙදන දිහා බලාගෙන කිව්වා.

“ඒක නම් ඇත්ත. කොහෙද මේ දරුවා කියන දෙයක් අහන්නෙ නෑනෙ. මම කිව්වා මට මේ වැඩ බලාගන්න පුලුවන් ඔෆිස් යන්න කියලා. අනික බබා තාම ගෙදර ඉන්නවනෙ. දරුවා ටිකක් ලොකු වෙනකන් විතරනෙ අපර්ණා ඔහොම ඉන්න ඕනෙ. ඊට පස්සෙ ගෙදර වැඩ වලට එයා එයිනෙ.” අම්මා කිව්වෙ ඇත්තටම හිතේ තිබුන දේ.

“ඔව් විහංසා හෙට ඉඳන් ඔෆිස් යන්න ලේස්ති වෙන්න. කෝ දැන් එන්න කෑම කන්න.” මියුරංග සැරෙන් කතා කලේ. විහංසාගෙ ඇස් දෙකට කඳුලු ඉනුවෙ හිතන්නත් කලින්. ඇගේ හිත රිදිලා තිබුනෙ. අම්මලාට ඇය ගෙදර ඉන්න එක කරදරයක් කියලයි ඇයට හිතුනෙ. ඒ නිසා ඔෆිස් යවන්න හදනවා කියලා ඇයට දුක හිතුනා. ඒ අස්සෙ මියුරංගත් සැරෙන් කතා කරද්දි කෙල්ලට දුකයි. සද්ද නැතුව කෑම කාලා අත සෝදන් කෑම මේසෙත් අස් කරලා කාමරේට ආවෙ ඇඟ සෝදගෙන සහස්‍රා එක්ක සැලෝන් එකට යන්න.

“දැන් කොහෙද ආයෙම දුවන්න හදන්නෙ?” මියුරංග ඇහුවෙ තරහෙන්.

“බඩී එක්ක සැලෝන් එකට යන්න ඕනෙ අහස්.” විහංසා ඇඳුම් අඳිමින් කිව්වා.

“පොඩ්ඩක් මේ කාමරේට වෙලා ඉන්න විහංසා. මම බඩී එක්ක යන්නම්.” මියුරංග වොශ් රූම් එකට යනගමන් කිව්වා. විහංසාට දුකයි. ඇය හෙමිහිට ඇඳෙන් ඉඳගත්තා.

“මට තිබුනෙ මෙහෙට නෑවිත් තාත්තා එක්ක එහේ ඉන්න.” විහංසාට පළවෙනි වතාවට තමන් ගත්ත තීරණය වැරදියි කියලා හිතුනා. ෆෝන් එක ගත්තෙ තාත්තට කෝල් එකක් ගන්න.

එහෙන් රිංග්ස් යනකොටම මියුරංග වොශ් රූම් එකෙන් එලියට ඇවිත් ෆෝන් එක උදුරලා ගත්තා.

“අහස් මම තාත්තට…” විහංසාට ඉතුරු ටික කියන්න නොදී මියුරංග ඇයව තදින් තුරුල් කරගත්තා.

“බඩීව සැලෝන් එකට දාලා අපි ගෙදර ගිහින් එමු. මගේ ඇඳුමක් දාගන්න අයියට බඩීව සැලෝන් එකෙන් ගන්න කියලා අපි අද එහේ ඉමු.” මියුරංග විහංසාගෙ හිස අත ගගා කිව්වා. ඔහු පසුතැවීමෙන් හිටියෙ. වැඩත් එක්ක ඇයව මග හැරුනා කියලයි ඔහුට හිතුනෙ.

“තෑන්ක් යූ… තෑන්ක් යූ සෝ මච්.” විහංසා අඬ අඬ ම කිව්වා.

“සමී ඔයා රෙඩිද?” සහස්‍රා එළියෙ ඉඳන් කතා කලා.

“යමු මම ඔයාව සැලෝන් එකට දාන්නම්.” මියුරංග කාමරෙන් එළියට ගියේ විහංසා ඇඳුම් බෑග් එකකට දාගන්න අතරෙ.

“අනේ අයියා ඔයා ඇවිත් වැඩක් නෑ. සමී එන්න ඕනෙ. එයා එන්නම් කිව්වනෙ.” සහස්‍රා නාහෙන් ඇඬුවා.

“හැමැ දේටම එයාවම හොයන්න එපා බඩී. තනියමත් දෙයක් කරගන්න පුරුදු වෙන්න. ඒ ලමයා ගෙදර වැඩයි අයියලාගෙ බබාගෙ වැඩයි ඔයාගෙ වැඩයි මගේ වැඩයි හැමදේම කරන්න එයා සර්වන්ට් කෙනෙක්ද? ඒ අස්සෙ තව ලමයෙක් නැත්තෙ මොකද කියලත් කාටත් ප්‍රශ්න. පුදුම වැඩක්නෙ. කිසිම නිදහසක් නෑනෙ මේ ගෙදර.” මියුරංග තරහෙන් එහෙම කියලා කාමරේ දොර දඩාං ගලා වහගෙන කාමරේ ඇතුලට ආවා.

“ඇයි එයාට කෑගහන්නෙ.” විහංසා ඇහුවෙ තරහෙන්.

“හැමෝම දැනගන්න ඕනෙ. මම ගෙනාවෙ මට වයිෆ් කෙනෙක් මිසක් සර්වන්ට් කෙනෙක් නෙමෙයි කියලා.” මියුරංග තවත් කෑගහනවා.

“අහස්… මොකද්ද ඔයාගෙ ප්‍රශ්නෙ? ඇයි බඩීට කෑගහන්නෙ. එයා මගේ හොඳම යාලුවා.” විහංසා තරහෙන් කියලා දොර අරිද්දි සහස්‍රා අඬ අඬ ඒ විදියටම එතන හිටියා. විහංසා සහස්‍රාව තදින් වැළඳගත්තේ අඬමින්.

“අඬන්න එපා. අයියා මොකකට හරි තරහෙන්. ඔයාට නෙමෙයි ඒ බැන්නෙ.” විහංසා හැකි තරම් සහස්‍රාව සනසන්න ට්‍රයි කරා.

“එයා කිව්ව හැමදේම ඇත්ත සමී. අපි හැමෝම අපේ වැඩ වලට ඔයාට කතා කරනවා. මාස දෙකකින් ඔයා අංකල්ව බලන්න ගියේ නෑ. අපිට ඩිංගක්වත් ඒක හිතන්න බැරි උනා. අපි කොච්චර ආත්මාර්ථකාමීද.” සහස්‍රා අඬ අඬ කිව්වා.

“සමී….බඩී… මොකද්ද උනේ? ඇයි මල්ලි කෑගැහුවේ?” අපර්ණා පහළ ඉඳන් ඇහුවේ ඇයට උඩට එන්න බැරි නිසා.

“ඔෆිස් එකේ ප්‍රශ්නයක් අක්කා. මම බලන්නම්.” විහංසා එහෙම කියලා සහස්‍රාගෙ කඳුලු පිහිදාලා පහලට යැව්වා.

“ඇයි මහත්තයෝ මේ?” විහංසා මියුරංගගෙ පිට අත ගාමින් ඇහුවා. ඔහුගෙ උරහිස් ගැස්සෙන විදියට විහංසාට තේරුනා ඔහු අඬන බව.

“අනේ කියන්නකෝ… මොකද්ද උනේ?” විහංසා ඇහුවා. මියුරංගගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ.

“විහංසා… මට පහුගිය ටිකේ වැඩත් එක්ක ඔයා එක්ක ටිකක් ඉන්න බැරි උනා. අද තමයි මට ඒක හොඳටම දැනුනේ. අප්පච්චි අනිත් බිස්නස් ටිකත් මට පැවරුව එකෙන් මට වැඩ වැඩි උනා. ආදරේ කොච්චර දුන්නත් වැඩක් නෑනෙ මට ඔයාට දෙන්න කාලය නැති උනානෙ.” මියුරංග විහංසාගෙ පපුවට හිස තියාගෙන කියෙව්වා. ඔක්කොටම වඩා මියුරංගට දුක හිතුනෙ විහංසාගෙ දුකින් පිරුණු මූණ.

“පිස්සු කෝච්චිය. මම එහෙම එකක් කිව්වද දැන්?” විහංසා හිනාවෙවී ඇහුවා. ඇයට ඕනෙ එච්චරයි. මියුරංග ඇය ගැන හිතනබව ඇයට දැනුනනෙ. ඒ ඇති ඇයට.

“ලේස්ති වෙන්න සතියක් දෙකක් ඔයාලගෙ ගෙදර ගිහින් ඉමු.” මියුරංග කියද්දි විහංසාට දැනුනෙ මුලු ලෝකෙම අත් දෙක උඩට ලැබුනා තරම් සතුටක්. මියුරංග විහංසාගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ හිනාව විතරයි.

“බඩී???” විහංසා ඇහුවෙ සහස්‍රා සැලෝන් එකට එක්කන් යන්න ඕනෙ නිසා.

“අපි එයාව සැලෝන් එකට දාලා අයියට එනගමන් එක්කන් එන්න කියමු.” මියුරංග විසඳුමක් දුන්නා.

“මම එයාට කියල එන්නම්.” විහංසා පහලට දිව්වා.

දෙන්නත් එක්ක සහස්‍රා සැලෝන් එකට දාලා ගෙදර ආවා.

“අනේ සොරි බඩී. අයියගෙ හිත හැදුනම එන්නම්. එයා මොකක්දෝ අවුලකින් ඉන්නෙ.” විහංසා සහස්‍රාව සැලෝන් එකට දාලා එන්න ලේස්ති වෙද්දි කිව්වා.

“අනේ ඒකට කමක් නෑ සමී. සුදු අයියගෙ හැටි අපි දන්නවනෙ. ඔයා සතුටින් ඉන්න. එයාගෙ හිත හදන්නකෝ.” සහස්‍රා විහංසාගෙ මූණ අත ගාලා කිව්වා.

“කාලෙකට පස්සෙ දෝණිට මාව මතක් වෙලා.” උදේන එලියට බැස්සෙ හිනාවෙවී.

“අනේ සොරි තාත්තා. මගේ වැඩ නිසයි සේරම උනේ.” මියුරංග උදේනගෙ දෙපා වඳිමින් කිව්වා.

“ඔන්න අපි අද ආවෙ ටික දවසක් ඉන්න හිතන්. මටත් මෙහේ ඉඳන් ඔෆිස් යන්න පුලුවන්නෙ.” මියුරංග කිව්වා. උදේනට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ සතුටක් දැනුනා.

“ෂා කොච්චර හොඳයිද. යමු යමු ඇතුලට. දෝණි එහෙනම් අද උයන්න. කාලෙකින් දෝණිගෙ අතින් උයපු කෑම වේලක් කෑවෙ නෑ.” උදේන කිව්වා.

“ලොකු අම්මලා අදත් ආවෙ නැද්ද තාත්තා.” විහංසා ඇහුවෙ ලොකු තාත්තට ගෙදර යන්න ඕනෙ කියලා ගෙදර ගිහින් තාම ඇවිත් නෑ වගේ පෙනුන නිසා.

“ඔහෙ නෑ… මම හිතන්නෙ අයියට යන්න කාලෙ හරි. එයාට දැනෙනවනෙ. ඒකයි ගෙදර යන්න ඕනෙ කිව්වෙ.” උදේන දුකෙන් කිව්වා.

“ඇයි තාත්තා නොගියෙ. මෙහෙට වෙලා තනියම ඉන්නවට වඩා කොච්චර හොඳයිද එහෙ ගියා නම්.” විහංසා ඇහුවා.

“දෝණිලා එයි කියලා බලන් හිටියෙ.” උදේන එහෙම කියද්දි විහංසා සද්ද නැතුව කාමරේට ගියා.

මියුරංගයි උදේනයි කතා කර කර ඉන්න අතරෙ විහංසා රෑට ඉඳි ආප්ප හැදුවා. කාලෙකට පස්සෙ උදේන රසට කෑම කටක් කෑවෙ.

“මගෙ දෝණිට පිං. මාව බලන්න ආවට.” විහංසා කුස්සිය අස් කරද්දි කුස්සියට ආව උදේන කිව්වා. මියුරංග කාමරේ මොකද්ද වැඩක් කර කර හිටියෙ. ඒත් විහංසාට නිදියන්න යමු කියන්න එද්දි මියුරංගට ඇහුනා තාත්තගෙයි දුවගෙයි කතාව.

“අනේ තාත්තා…. අක්කට තනියම බබාව බලාගන්න බෑ. ඒ නිසයි මම එයා එක්කම හිටියෙ. මේ නිදහසක් ලැබුන ගමන් ආවෙ. අහස් හැමදාම අහනවා ගෙදර යන්නෙ නැද්ද කියලා. දරුවා නිසයි එන එක දවසින් දවස කල් ගියේ.” විහංසා කුස්සිය අස් කරන ගමන් ඇස් හංගගෙන කතා කලා.

“ඒකට කමක් නෑ. මෙහෙම හරි මගෙ දෝණි ආවනෙ මාව බලන්න.” උදේන කිව්වා. මියුරංගට දුක හිතුනෙ ඔහු නිසා මේ තාත්තයි දුවයි ඈත් උනා කියලා තදින්ම හිතට දැනුන නිසා.

පහුවෙනිදා උදේ විහංසා මිදුල අතු ගාලා ඉවර වෙලා බංකුව උඩින් වාඩි වෙලා පාර බලන් හිටියා. යුවතිගෙ කාර් එක එනවා දැකලා විහංසාගෙ හිතට සතුටක් දැනුනා.

“දෝණි….” මියුරංග ඔෆිස් ගියාට පස්සෙ යුවති විහංසා බලන්න ආවෙ.

“කොහෙ යනගමන්ද මේ?” විහංසා ඇහුවෙ යුවති දැක්කෙත් ගොඩක් දවසකින් නිසා. කෝල් කරලා කතා කරාට යුවති වැඩිය සේනාධීර නිවසට එන්න කැමැත්තක් දැක්වූවෙ නෑ.

“මට ඉතින් ඔයාව බලන්න නම් එක්කො ඔයා අපේ ගෙදර එන්න ඕනෙ නැත්නම් ඔයා මෙහේ ආවාම මම මෙහේ එන්න ඕනෙ.” යුවති විහංසාගෙ දෙකොපුල් සිපගනිමින් කිව්වා.

“ඉතිං මොනවද විස්තර. දැන් වෙඩින් එකට රෙඩිද?” විහංසා ඇහුවා.

“ම්ම්ම්… ඔව්. ඇත්තටම මම ආවෙ ඔයාට දෙයක් කියන්න දෝණි.” යුවති මේ අර අදින්නෙ මොකටද කියලා විහංසා බලාගෙන හිටියා.

“මොකද්ද?” විහංසා සුළඟට එහෙ මෙහෙ දුවන යුවතිගෙ කෙහෙරැල්ලක් කන පිටිපස්සට කරන ගමන් ඇහුවා.

“ඔයා සතුටින් නේද?” යුවති ඇහුවා.

“ම්ම්ම්… ඔව්..” විහංසා කිව්වා.

“මට සහස්‍රා කෝල් කරා. එයා තමයි කිව්වෙ ඔයා එක්ක කතා කරන්න කියලා. එයාට දුකයි මියුරංග අයියා ඇයි එච්චර කේන්ති අරන් තියෙන්නෙ? ඒක ලොකු දෙයක් නෙමෙයිනෙ.” යුවති ඇහුවා.

“එයාට දුක හිතිලා. ඕක දවසකින් දෙකකින් ඇරිලා යයි. මගේ හිතේ ඒ ගෙදර කාත් එක්කවත් තරහක් නෑ. මට දුක මගේ උදව් ඕනම වෙලාවෙ මට මෙහෙම එන්න උන එකට.” විහංසා දුකෙන් කතා කලේ.

“ඔයා හරිම ලකී… සීරියස්ලි මට නම් කවදාවත්ම ඔයා වගේ වෙන්න බෑ.” යුවති හිනාවෙවී කිව්වා.

“ඒ මොකද? ඔයාට පුලුවන්. බලන්නකො ඔයා මැරි කරාට පස්සෙ මටත් වඩා හොඳ බිරිඳක් ලේලියෙක් වෙයි.” විහංසා කිව්වෙ යුවතිගෙ හිස අත ගාමින්.

“දන්නවද ආන්‍ටි හොඳටම අඬනවා ඔයා නෑ කියලා. අපර්ණා අක්කා සහස්‍රා හැමෝම දුකෙන් ඉන්නෙ. ඒ වගේ ආදරයක් මට නම් ලබන්න බැරි වෙයි කවදාවත්ම.” යුවති කිව්වා.

“මම දන්නවා එයාලා දුකෙන් කියලා. කොහෙද මෙයාට ඩිංග ඇත්නම් කේන්ති යනවනෙ.” විහංසා දිගටම කතා කලේ දුකෙන්. පසුතැවීමෙන්.

“එයාලා අයියා ගැන දන්නවනෙ. ඒ නිසා එයාලා ඔයා එක්ක තරහා නෑ කියන්න කිව්වා.” යුවති කිව්වා.

දවසෙම කතා කර කර ඉඳලා යුවති ගෙදර ගියා. සහස්‍රා එක්ක ඇගේ හැම වැඩකටම යන්නම් කියලා යුවති විහංසාට පොරොන්දු උනා. විහංසාගෙ හිත හැදුනෙ යුවති ඇවිත් ගියාට පස්සෙ.

“කවුරු හරි ආවද?” මියුරංග ඇහුවා.

“ඇයි ඒ?” විහංසා බැලුවෙ මෙයාගෙ ඉව කියලා හිත හිත.

“නෑ මුලු මූණම එලිය වැටිලා.” මියුරංග විහංසාව පිටුපසින් තුරුල් කරන් හිනාවෙවී කිව්වා.

“චූටි ආවා.” විහංසා හිනාඋනා.

“ඇයි?”

“නිකන් අනේ…. එහෙට එන්නෙත් නෑනෙ වැඩිය. මම මෙහේ කියලා තාත්තා කියලා. ඒ නිසා ඇවිත්.” විහංසා කිව්වා. නැත්නම් සහස්‍රාට කෝල් කරලා බනියි එයා එව්වා කියලා කිව්වා නම්.

“මොනවද කියන්නෙ?” මියුරංග විහංසාගෙ උරහිසට නිකට තියන් ඇහුවා.

“මුකුත් විශේෂයක් නෑ. නිකන් කතා කර කර ඉඳලා ගියා. බඩී එක්ක එයා යන්නම් කිව්වා වෙඩින් එකේ වැඩ වලට. ඒක ලේසියිනෙ.” විහංසා ඇඟට පතට නොදැනී කියද්දි මියුරංගට හිනයි. ඔහු හෙමිහිට විහංසාව ඔහුගෙ පැත්තට හරව ගත්තා.

“ගානට ප්‍රශ්නෙ ශේප් කරලා නේද?” මියුරංග හිනාවෙවී අහද්දි විහංසා ඔහුගෙ පපුවේ මූණ හංගගත්තා.

විහංසා උදෙන්ම ඇහැරුනේ අද ආයෙම ගෙදර යන නිසා. උදේ ඉඳන් විහංසාගෙ ඇඟට අමුත්තක් දැනුනත් ඇය ඒක ගනන් ගත්තෙ නෑ. එක පාරටම කැරකිල්ලක් වගේ ඇවිත් විහංසා පුටුවක් අල්ලගෙන ඉඳගත්තා.

“දෝණී….” තාත්තා පැන්නේ විහංසා වැටෙන්න ගිය නිසා.

“මැණික… ඇයි මොකද උනේ?” මියුරංගත් කාමරේ ඉඳන් දුවගෙන ආවා. මියුරංග විහංසා දෝතට වඩාගෙන ඇඳෙන් ගෙනිහින් තියලා ඩොක්‍ටර්ට කෝල් එකක් දුන්නා.

____________________________________________________________________

සතියකට පස්සෙ මියුරංගයි විහංසායි ගෙදර යද්දි හැමෝටම සතුටුයි. අම්මා ඉස්සරහට දුවගෙන ආවා.

“අනේ මට සමාවෙන්න දෝණි. මම දුර දිග හිතන්නෙ නැතුව ඔයාට කරදර කලා නේද? ඒකනෙ ඔයාට දුක හිතුනෙ.” අම්මා විහංසාගෙ දෙකොපුල් සිප ගනිමින් කිව්වා.

“අනේ ලොකු දෙයක් ආව එක. මම මාර අවුලෙන් හිටියෙ තව සතියයි වෙඩින් එකට.” සහස්‍රා විහංසාව අල්ලගෙන වටයක් කැරකුනා.

“ඒයි මැට්ටී අත අරින්න.” මියුරංග මැද්දට පැන්නා. සහස්‍රාගෙ මූණ ඇද උනා.

“දැන් මට සමීව අල්ලන්නත් තහනම්ද සුදු අයියා?” සහස්‍රා ඇස් වල කඳුලු පුරවන් අහද්දි විහංසා සහස්‍රාව තුරුල් කරගත්තා.

“අම්මා අප්පච්චි … අපි ආවෙ සුබ ආරංචියක් අරන්. ඔන්න ඔයාලා ආයෙම ආච්චියෙකුයි සීයෙකුයි වෙන්නයි යන්නෙ. අක්කා ඔන්න ලොකු අම්මා වෙන්නයි යන්නේ.” මියුරංග විහංසාගෙ උරහිස වටා අත යවලා කිව්වා.

“ඔය ඇත්තමද සුදු දූ..” අප්පච්චිට තමයි වැඩියෙන්ම සතුටු හිතුනෙ.

“අනේ මට හරිම සතුටුයි දෝණි. තුණුරුවන්ගෙ සරණයි.” අම්මා විහංසාගෙ හිස අතගාලා ආශිර්වාද කලා.

“මගෙන් සුබම සුබ පැතුම්. හොර කෙල්ල නිකමටවත් කිව්වෙ නෑ මට නේද?” සහස්‍රා විහංසාව තුරුල් කරන් ඇහුවා.

“ඊයෙ දැනගත්තෙ. ඒ නිසානෙ ඉක්මණට දුවන් ආවෙ.” විහංසා හිනාවෙලා කිව්වා.

“දැන් දෝණි රෙස්ට් කරන්න හොඳට. ඔන්න සුදු පුතා අපි නම් කරදර කරන්නෙ නෑ.” අම්මා වේලාසනින්ම කිව්වා.

“ඔව් ඔව්… අපෙන් නම් කරදරයක් නෑ. හැබැයි දන්නවද කෙල්ලට සාංකාව වගේ තිබුනෙ. දැන් හරියයි සමී ආවනෙ.” අපර්ණා හිනාවෙවී කිව්වෙ. ඇත්තටම බබාට සාංකාව වගේ තිබුනා පහුගිය දවස් ටිකේම.

“ඒකනෙ. අනේ මගෙ කෙල්ල බලන්න ඕනෙ මට.” විහංසා අපර්ණාගෙ කාමරේට ගියා.

“චූටි මැණික… පුංචි නැතුව පාලුවෙන්ද හිටියෙ.. ආ… කෝ එන්න බලන්න.” විහංසා දරුවත් එක්ක කතා කර කර වඩා ගත්තා. ඇයට සතුටුයි.

“මගේ දරුවත් මේ වගේ වෙයි.” විහංසා හිතුවා.

“කෝ බලන්න අපේ හොර කෙල්ල.. ඇත්තද මේ පුංචි නැතුව සාංකාව හැදුනා කියන්නෙ.” මියුරංගත් ආවා. කට්ටිය කතා කරනකොට දරුවා හිනාවෙනවා. ඒ හිනාව දැක්කම මේ දෙන්නටත් ගොඩාක් සතුටු හිතුනා.

“හරි හරි යමු කාමරේට. රෙස්ට් කරන්න ඕනෙ ඔයා ගොඩක්. ඩොක්ටර් කිව්වෙ ඇඟ දුර්වලයි කියලා.” මියුරංග එහෙම කියලා පරිස්සමෙන් විහංසාව උඩ කාමරේට එක්කන් ගියා.

“ඔන්න දැන් ඉඳන් මට ඕන විදියට ඉන්න ඕනෙ. පරිස්සමට. හරිද? මම සර්වන්ට් කෙනෙක් ගෙනත් දෙන්නම්. ඔයා වැඩ කරන්න තහනම්.” මියුරංග ආදරෙන් ඇයව තුරුල් කරන් කිව්වා.

“මං ආදරෙයි.” විහංසා මියුරංගගෙ පපුවේ මූණ තියාගෙන කිව්වා.

“මාත් ආදරෙයි මගෙ මැණිකට.” මියුරංග ඇගේ හිස සිපගෙන කිව්වා.

ආයෙත් හමුවෙමු.

🎉🎉🎉🎉🎉 සර්ප්‍රයිස් ලමයි…. ඔන්න කාලෙකට පස්සෙ උදේම කොටසක් ගෙනාවා.

ටික දවසක ඉඳලා හිතේ තියෙනවා පොඩි අදහසක්. ඔයාලා කැමතිද මම දැනට ලියපු කතා ඔක්කොම එක පොතක් විදියට එළි දකිනවට. කෝ බලන්න කැමති අය අත උස්සන්න. ප්‍රතිචාර අනුව පොතක් එළිදක්වන්න හිතුවා.

මෙතෙක් රැඳුනාට ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳෙන්න. අදහසක් කියාගෙන යන්න අමතක කරන්න එපා.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *