මා නොවේ ඈ නුඹේ 65 කොටස

“සමී…” අපර්ණා විහංසාට කතා කරන්න හදද්දිම විහංසායි අම්මයි දොරකඩ.

“ආ මේ අක්කනෙ. අපි ඒත් බැලුවා කවුද කියලා. එන්න අක්කෙ.” අම්මා කතා කලා.

“ලොකු අම්මා අද තමයි මාව බලන්න එන්නෙ නේද?” විහංසා මූණ නරක් කරන් අහද්දි ලොකු අම්මා ගෙනාව බෑග් එකෙන් හොයල හොයල පොඩි පැකට් එකක් දුන්නා විහංසාගෙ අතට. විහංසා දරුවව අම්මගෙ අතට දීලා ඒක ගත්තා.

“ආ… මේක මගෙ මැණිකටමයි ගෙනාවෙ. දන්නවනෙ ලොකු තාත්තගෙ වැඩ ඉවරයක් නෑනෙ. අද මේ අපේ අක්කයි මහත්තයයි ඇවිත් ඉන්නවා. ඒකෙන් ඒ දෙන්නට බාර දීලා ආවෙ.” ලොකු අම්මා ඉඳගන්න ගමන් කිව්වා.

“සුවඳයි… මොනවද ලොකු අම්මා. බත් එකක්ද?” විහංසා හරි සතුටින් ඇහුවෙ. ලොකු අම්මා හිනා උනා.

“කන්න… කාලා කියන්නකො රසද කියලා.” ලොකු අම්මා කිව්වා.

“ලොකු අම්මගෙ කෑම අපෙ අම්මගෙ කෑම වල රසමයි. මම ආසාවෙ හිටියෙ.” විහංසා එහෙම කියලා කෑම එකත් අරන් කුස්සියට ගියා.

“අම්මා නෑ කියල අඩුවක් කරන්නෙ නෑ මාත්. ඒත් එයාට අම්මව නිතරම මතක් වෙනවා.” මියුරංගගෙ අම්මා දුකෙන් කිව්වෙ.

“අනේ නංගියෙ මම දන්නවා ඔය හැමෝම අපේ දෝණිට ආදරෙයි කියලා. අම්මා නැති අඩුව කිසිම දේකින් වහන්න බෑ ඉතින්.” ලොකු අම්මා කිව්වා.

“උඹට මගේ කෙල්ලවත් අමතක උනා නේද කෑම දැක්කම. අනේ අනේ මෙහෙමත් පුංචි අම්මලා.” අපර්ණා හිනාවෙවී එහෙම කිය කිය සාලෙට ආවා.

“ආන්ටි මොනවද බොන්නෙ?තේ එකක් හදන්නද නැත්නම් කූල් මොනව හරි.” අපර්ණා ඇහුවා.

“කූල් මොනව හරි බොමු පුතේ. රස්නෙයිනෙ.” ලොකු අම්මා හිනාවෙලා කිව්වා.

“මේ ගෙදර අය හරිම වාසනාවන්තයි. ගෙදරට උතුරනවා මේ වගේ දරුවො ගෙදර ඉන්නකොට.” ලොකු අම්මා එහෙම හිතුවා..

“අන්න චූටි දූ ලොකු ආච්චි ඇවිත්. මොනවද අහන්න ගෙනාවෙ අපේ මැණිකට.” අම්මා දරුවා සුරතල් කරමින් හිටියා.

“ආ මම ගෙනාපුවා දෙන්නම්කො මූණ කට ටිකක් සෝදගෙන ඇවිත්. නැත්නම් චූටි පැටියට හොඳ නෑනෙ.” ලොකු අම්මා කිව්වා.

“ලොකු අම්මා මූණ කට සෝදන් එන්න.” විහංසා කෑම එක දිග ඇරන් කිව්වා.

“උඹට ඉතින් ඒවා මතක නෑනෙ. කාලා වරෙන්. මේක බීලම වොශ් එකක් දාගන්න ආන්ටි.” අපර්ණා විහංසාට බැන බැන කූල් ඩ්‍රින්ක් එකක් ගෙනත් ලොකු අම්මට පිරිනැමුවා.

“දෝණි හෙමිහිට කන්න. දූත් ගිහින් කන්න. මම බත් එක ලොකුවට බැන්දා.” ලොකු අම්මා අපර්ණාට කිව්වා.

“හා හා.. මේ දවස් වල කොච්චර ලොකුවට තිබුනත් එයාට කන්න කැමති දෙයක් නම් කෑම එක ඉවර කරලා තමයි නැගිටින්නෙ.” අපර්ණා හිනාවෙවී කිව්වා.

“පහුගිය ටිකේම කෑවෙම නැති තරම් අක්කේ. ඔන්න තාත්තව බලන්න ඕනෙ කියලා එක්කන් ගියා. එහෙදි තාත්තගෙන් කෑම කාලා ආවට පස්සෙ තමයි කන්න පුලුවන් උනේ. ඒ නිසා කන තරමක් කන්න දෙන්න.” අම්මා කිව්වා. ලොකු අම්මට හිනයි.

“ඒ තාත්තගෙයි දුවගෙයි කතාව හරි වෙනස් නංගි. ඒකයි ඒ. කොහොම හරි කෑම ටිකක් බඩට වැටෙනව නම් එච්චරයි.” ලොකු අම්මා කිව්වා.

“ඒ ඒ… මටත් කටක් දීපංකො. රස පාටයි බං.” අපර්ණා ගිහින් බලෙන්ම විහංසාගෙන් බත් කටක් කවා ගත්තා.

ලොකු අම්මා හවස යන්න සූදානම් උනා.

“ඉන්න ආන්ටි උදම් දැන් යනවා සේල් එකට. යන ගමන් ආන්ටිව දාගෙන යයි.” අපර්ණා කාමරේ ඉඳන් ආවෙ එහෙම කියාගෙන.

“පරක්කු වෙන්න බෑ දුවේ දෝණිලගෙ ලොකු තාත්තා බලාගෙන ඇති.” ලොකු අම්මා කිව්වා.

“යමු ආන්ටි.” උදම් ආවා. විහංසා ලොකු අම්මට වඳිද්දි ඇස් දෙකෙන් කඳුලක් වැටුනා. ඇය හරිම සංවේදියි. අපර්ණා විහංසාගෙ උරහිස තද කරලා අල්ල ගත්තා.

“බුදු සරණයි මගෙ මැණිකට.” ලොකු අම්මා විහංසාගෙ දෙකොපුල් සිපගෙන කිව්වා.

“බුදු සරණයි ලොකු අම්මා.” විහංසා මූණ බෙරි කරන් කියද්දි ලොකු අම්මට ලෝබයි.

“මම ඉක්මණටම එන්නම්කො මගෙ දෝණිව බලන්න.” ලොකු අම්මා සාරි පොටෙන් දෑස පිස දාගෙන කිව්වා.

මියුරංග එද්දි අද රෑ උනා.

“අනේ මැණික සොරි. ලොකු අම්මා යන්න කලින් එන්නමයි හිටියෙ ඒත් වැඩක් වැටුනා. සොරි.” මියුරංග ආව ගමන් විහංසා මියුරංගට තුරුල් උනා.

“කමක් නෑ. ලොකු අම්මා ආයෙ එන්නම් කිව්වා. දැනුත් කතා කරලා ඔයාව මතක් කරා කියන්න කිව්වා.” විහංසා හෙමිහිට කිව්වා.

“ම්ම්ම්… වොශ් එකක් දාගෙන ඉක්මණට එන්නම්..” මියුරංග විහංසාගෙ නළලට හාදුවක් දීලා වොශ් රූම් එකට ගියා.
____________________________________________________________________

පහුවෙනිදා සුපුරුදු පරිදි හැමෝම කෑම මේසෙට ඉඳගත්තා. දැන් හැමෝම එකට ඉඳගෙන කන්නෙ සෙනසුරාදාටයි ඉරිදාටයි විතරයි. හිනාවෙවී කතා කරකර කෑම කාලා කට්ටිය ආයෙම තම තමන්ගෙ සුපුරුදු වැඩ කටයුතු වල නිරත වෙනවා.

විහංසා මියුරංග එක්ක ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් නිසා පහළ තට්ටුවේ හිටියේ අපර්ණායි උදම්නුයි විතරයි. අම්මත් අප්පච්චි එක්ක උඩ අප්පච්චිගෙ ඔෆිස් රූම් එකේ මොකද්ද වැඩක්. වාහනයක් ඇවිත් නතර කරන සද්දෙට අපර්ණා කාමරෙන් එළියට ආවා. උදම් බබාගෙ ලඟ නිසා.

“බඩී…… ” අපර්ණා සතුටට කෑගැහුවා.

“අක්කා…” සහස්‍රා වාහනෙන් බැස්සා නෙමෙයි පැන්නා. දුවගෙන ඇවිත් අපර්ණා අල්ලගෙන වටයක් කැරකිලා අපර්ණාව තදින් වැළඳගත්තා.

“මට නම් හරිම සතුටුයි බඩී.” අපර්ණා සහස්‍රාගෙ දෙකොපුල් සිප ගෙන කිව්වා. සහස්‍රාගෙ ඇස් වල සතුටු කඳුලක් දඟ කරා.

“කෝ අම්මයි අප්පච්චියි.” සහස්‍රා ගේ ඇතුල බලලා ඇහුවා.

“යමු ගෙට. අම්මලා උඩ.” අපර්ණා සහස්‍රා එක්ක ඇතුලට ගියා.

“අම්මා… අප්පච්චි… කවුද ආවෙ බලන්න” සහස්‍රා සාලෙට ගිහින් දෑත් දෙපසට විහිදලා කෑගැහුවා..

“බඩී…” උදම් කාමරේ ඉඳලා බබත් අරන් සාලෙට ආවෙ සහස්‍රාගෙ සද්දෙට.

“ලොකු අයියා..” සහස්‍රා දුවගෙන ගිහින් දරුවව වඩා ගත්තා.

“චූටි මැණික… ම්ම්ම්…. ඔන්න නැන්දි ආවා.” සහස්‍රා කෙල්ලගෙ කම්මුලක් සිප ගත්තෙ ආදරෙන්. උදම් දෙන්නවම තුරුල් කරගත්තා.

“කෝ අනිත් ඩබල.” සහස්‍රා ඇහුවෙ මියුරංගලා ගැන.

“ඩොක්‍ටර් ලඟට ගියා. සමීට ඇඟට අමාරුයි වගේ කියලා.” අපර්ණා කිව්වා.

“ආහ් අපේ මැණික ඇවිල්ලා.” අප්පච්චි පහලට එන ගමන් කිව්වා. සහස්‍රා දුවගෙන ගිහින් අප්පච්චිට තුරුල් උනා.

“කෝ අනුරාධ?” උදම් ඇහුවෙ තාමත් අනුරාධ ගෙට ආවෙ නැති නිසා.

“තාම බෑග්ස් එලියට ගන්නව ඇති.” සහස්‍රා ගානක් නැතුව කිව්වා.

“අනේ ඇත්තට බඩී.” උදම් අපර්ණාට බබාව දීලා එලියට ගියා.

“එයා ඕවා කරන්න එපැයි. නේද අප්පච්චි.” සහස්‍රා අප්පච්චිගෙ තුරුලෙ ඉඳන් මූණ එල්ලන් කිව්වා.

“හ්ම්ම්… ඒ උනාට දැන් ඔය දෙන්නා වෙනම පවුලක්නේ. අනික මේ වගේ…….” අම්මා සහස්‍රාගෙ හිත නොරිදෙන විදියට තේරුම් කරලා දුන්නා. සහස්‍රා බිම බලාගෙන අහන් හිටියා මිසක් වචනයක්වත් කිව්වෙ නෑ.

“ආව ගමන්ම අම්මලා මට බනිනව නේද?” සහස්‍රා මූණ එල්ලන් ඇහුවා.

“අපෝ බලාගෙන… දැන් මගෙ හිතේ කිලෝ විස්සක් විතර බර ඇති. අමාරු නැද්ද එල්ලන් ඉන්න.” අපර්ණා සහස්‍රාගෙ හිසට ඇනලා අහද්දි සහස්‍රා හයියෙන් හිනා උනා.

“පලයන් යන්න.” සහස්‍රා අපර්ණාගෙ කර වටේ අත දාලා තුරුල් කරගත්තා.

“මගෙ කෙල්ල අතේ බං. අන්න අරෙහෙන් ඉඳගනින්.” අපර්ණා හිනාවෙවී කිව්වා. සහස්‍රා ඉඳගත්තා.

“අම්මා බබාව ගන්න. මම මෙයාට බොන්න මොනව හරි ගේන්නම්. අප්පච්චි තේ බොනවද?” අපර්ණා එළියට යන අප්පච්චිගෙනුත් ඇහුවා.

“හදන්න දූ.” අප්පච්චි එහෙම කිය කියම එළියට ගියා.

“අම්මා… මම හරිම පාලුවෙන් හිටියෙ.” සහස්‍රා අම්මගෙ ලඟට ගිහින් අම්මගෙ ඇඟට හේත්තු උනා.

“දැන් ඒ සේරම හරිනෙ බබා… දැන් ආයෙම ඔයා අපි එක්ක ඉන්නවනෙ.” අම්මා සහස්‍රාගෙ නළල සිප ගෙන කිව්වා.

“වාඩිවෙයං අනුරාධ. වෙලාවට ලී බඩු මුකුත්ම අරන් නොගියෙ. මොනවද බඩී මෙච්චර?” උදම් බෑග් වගයක් අරන් ඇවිත් සෙටි එක උඩට අත ඇරලා ඇහුවා.

“අයියෝ… ලොකු අයියා.. ඕවයෙ කැඩෙන බිඳෙන ඒවා තියෙනවා.” සහස්‍රා කම්මුල් දෙකට අත් දෙක තියාගෙන ඇස් ලොකු කරගෙන කියද්දි උදම් බය උනා.

“මලා… දැන් බිඳුනද දන්නෑ.” උදම් ඇහුවෙ ඔලුවෙ අතත් ගහගෙන.

“බලන්න බලන්න.” සහස්‍රා හනිකට කිව්වා. උදම් පණ දාගෙන බැලුවා බෑග් සේරම අවුස්ස අවුස්ස. හැම එකකම තිබුනෙ බබාට ගෙනාව සෙල්ලම් බඩු. සහස්‍රා බලන් හිටියා හිනාවෙවී.

“ඒ බඩී…. මේ මොනාද හලෝ…” අපර්ණා තේ අරන් එනගමන් ඇහුවා.

“මෙන්න මේ අපේ චූටි මැණිකට ගෙනාවෙ.” සහස්‍රා බබාගෙ කම්මුලක් අත ගාලා කිව්වා. ඒ එක්කම මියුරංගලා ආවා.

“අන්න සමී ආවා.” සහස්‍රා දුවගෙන ගියා.

“බබා… දැන්ද ආවෙ?” මියුරංග කාර් එකෙන් බැහැලා ඇහුවා.

“දැන් ටිකක් වෙලා සුදු අයියා. සමීට මොකද?” සහස්‍රා මියුරංගව තුරුල් කරන් ඇහුවා. මියුරංග හිනා වෙලා විහංසාට බහින්න දොර ඇරියා.

“සමී… මූණත් මැලවිලා කෙල්ල. මොකද උනේ?” සහස්‍රා විහංසාව කාර් එකෙන් බස්ස ගත්තා.

“මුකුත් නෑ බඩියෝ… කොහොමද ඉතින්.” විහංසා සහස්‍රාගෙ දෙකොපුල් සිපගෙන ඇහුවා.

“මම එනකොට ඔයා නෑ.” සහස්‍රා විහංසාගෙ අතින් අල්ලගෙනම ගෙට ගියා.

“ආහ්… චූටි මැණිකට තෑගි ලැබිලා.” විහංසා පුටුව උඩ තියෙන සෙල්ලම් බඩු දැකලා කිව්වා.

“කොහොමද අනුරාධ? මෙයා එක්ක ජීවිතේ එපා උනාද සතිදෙකට.” විහංසා හිනාවෙවී ඇහුවා.

“අප්පෝ ඒ ගැන කතා කරලා වැඩක් නෑ.” අනුරාධ ඇහැක් ගහලා කිව්වා.

“අනේ මෙයාට කෙසේ වෙතත් මට තමයි තනියම ඉඳලා එපා උනේ.” සහස්‍රා විහංසාගෙ පිටුපසින් ඉඳන් කර වටේ අත දාලා උරහිසට හිස තියා ගත්තා.

“අම්මා මෙයාට හොඳට රෙස්ට් කරන්න කිව්වා. ඔන්න මම නැති වෙලාවට මෙයා උඩට එහෙම නැගලා තිබුනොත් මම නරකයි කියන්න එපා මම මෙයාව එල්ලනවා.” මියුරංග විහංසාගෙ කන මිරිකලා එහෙම කියලා කාමරේට ගියා.

“මොකද එයාගෙ එච්චර ගනන්.” සහස්‍රා විහංසාගෙ මූණ දිහා හොඳට බලලා ඇහුවා.

“ඩොක්ටර් කිව්වා ගොඩක් පරිස්සම් වෙන්න කියලා. එනකන් බැන බැන ආවෙ. දන්නවනෙ හැටි. හිතන්න එපා.” විහංසා සහස්‍රාගෙ පිට අත ගාලා කිව්වා.

“හරි හරි දැන් එහෙනම් රෙස්‍ට් කරන්න ගිහින්. දැන් මාත් ඉන්නවනෙ. ශේප්.” සහස්‍රා හිනාවෙලා කිව්වම විහංසා හිනා උනා.

“චූටි කතා කරාද?” විහංසා අහද්දි සහස්‍රාගෙ ඇස් ගැස්සුනා විහංසාට හොඳටම දැනුනා.

“මට? නෑනෙ.” සහස්‍රා සාමාන්‍ය විදියට කිව්වා.

“හ්ම්ම්… මේ කෙල්ල මොනව කරනවද මන්දා. කෝල් එකක්වත් නෑනෙ. ගෙදරට කතා කරලත් නෑ.” විහංසා කල්පනා කර කර කිව්වා.

“විහංසා….” මියුරංග කාමරේ ඉඳන් කතා කරනවා ඇහුනා.

“අන්න අණ නිකුත් කලා. යන්න.” සහස්‍රා විහංසාට යන්න කියලා ගිහින් අප්පච්චිගෙ ලඟින් ඉඳගෙන තේ බිව්වා.

“ඩොක්ටර් කිව්වෙ හැම වෙලාවෙම හිටගෙනම ඉන්න කියලා. තමුසෙ හිටගෙනම ඉන්නවා ඒ නිසා.” මියුරංගට තරහයි.

“පහුගිය ටිකේම මගුල් කිය කිය අඬ අඬා හිටියා. කිසිම වෙලාවක ඇඳට වෙලා ඉන්නෙ නෑ ඇවිදින එකමයි වැඩේ. මම ගෙදර ඉන්නව නම් විතරයි කාමරේ ඉන්නෙ නැත්නම් ගේ වටේ ඇවිදිනවා. හරි හපන් කම්නෙ කරන්නෙ.” මියුරංග බැන බැන වොශ් රූම් එකට ගියා. විහංසා සද්ද නැතුව අහන් හිටියා.

කියන දේ හරි හෝ වැරදි ඒක අහගෙන පාඩුවෙ ඉන්න එක විහංසාගෙ පුරුද්ද. කාට උනත් ඒක පොදුයි. දෙන්නම එක වගේ තරහ ගන්න ගියාම අන්තිමට ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. විහංසා හෙමිහිට ඇඳෙන් වාඩි උනා. කොණ්ඩෙට ගහලා තිබුන කටු ගලවලා ගෙඩියක් කරලා බැඳගත්තා.. මියුරංග වොශ් රූම් එකෙන් එලියට එද්දිම විහංසා වොශ් රූම් එකට යන්න හැදුවෙ.

“කොහෙද යන්නෙ?” මියුරංග තරහෙන් ඇහුවා.

“නාන්න.” විහංසා බිම බලාගෙන කිව්වා.

“මොකද්ද කිව්වෙ? තමුසෙ හදන්නෙ ලෙඩ වෙලා මාව පිස්සෙක් කරගන්නද?” මියුරංග විහංසාගෙ අත රිදෙන තරම් තද කරගෙන ඇහුවා. විහංසාගෙ ඇස් වලින් කඳුලක් වැටෙනවත් එක්කම ඉකිබිඳුනෙ එක පාරටම.

“මගෙ රත්තරං… ඔයාවයි පැටියයි දෙන්නම පරිස්සම් කරගන්න ඕන නිසානෙ මේ සේරම කරන්නෙ මම. හ්ම්ම් ඇඟ සෝදන් එන්න. නාන්න එපා අද.” මියුරංග විහංසාගෙ නළල සිපගෙන ඇයව මොහොතක් තුරුල් කරන් හිටියා.

“අපෝ මේ දෙන්නා… අපිට කාමරේට එන්නම බෑනෙ.” සහස්‍රා ඇස් දෙක තද කරන් කිව්වා. විහංසා ඇස් පියාගෙන මියුරංගට තුරුල් වෙලා හිටියෙ. සහස්‍රාගෙ කටේ සද්දෙට විහංසා ඈතට උනා.

“බබා මේ කට නම් බොහොම වැඩියි.” මියුරංග සැර කරා. සහස්‍රා යමක් කියන්න කට අරිද්දිම ෆෝන් එක රිංග් උනා. ෆෝන් එක දිහා බලපු සහස්‍රාගෙ ඇස් ගැස්සිලා ගියා.

“හා හා මම ගිහින් පස්සෙ එන්නම්.” සහස්‍රා එළියට දිව්වෙ සැනින්.

විහංසා කඳුලු පිහිදාගෙන වොශ් රූම් එකට ගියා. මියුරංග ඇඳුමක් දාගෙන එළියට ගියේ සහස්‍රාගෙ වෙනසක් දැනුන නිසා.

“ඔව් ඔව් සනීපෙන් ඉන්නවා.” සහස්‍රා කලබලෙන් කතා කලේ. මියුරංග සහස්‍රාගෙ පිටිපස්සෙන් ඉන්නවා දැකපු අනුරාධ ඉක්මණට සහස්‍රාට සිග්නල් එකක් දුන්නා මියුරංග පිටිපස්සෙ කියලා. ඒක මියුරංග දැක්කෙ නෑ..

“ඔව් අම්මේ දැන් ටිකකට කලින් ආවෙ. තාම කතා කර කර ඉන්නවා. චේන්ජ් කලේවත් නෑ.” සහස්‍රා හිනාවෙවී කතාව වෙනස් කලා.

“මටත් දෙන්න සහස්‍රා.” අනුරාධ ෆෝන් එක ඉල්ලන් එළියට ගියේ අම්මා එක්ක කතා කරනවා වගේ.

මියුරංග කල්පනාවෙන් බලාගෙන හිටියා සහස්‍රාගෙ මූණ දිහා.

“සුදු අයියා… මොකද සමීගෙ මූණ රතු වෙලා තිබුනෙ? ඔයා මොනාද කිව්වෙ?” සහස්‍රා ඇහුවා.

මියුරංග කිසිම කතාවක් නැතුව කුස්සියට ගියා.

ආයෙත් හමුවෙමු.

😂😂😂😂😂😂😂😂🔫 කෝ බලන්න ආවෙ යුවතිගෙ අම්මා හරි විහංසාගෙ ඇඟේ හැප්පුන කෙනා කියලා කියපු අය 👉👉👉 මේ කොණට වෙන්න. 😂😂😂😂 හයියෝ හිනාවෙලා පණ යනවා 😂😂😂😂😂😂😂

හැබැයි මම ආසයි මගෙ කොල්ලො කෙල්ලො ටික කතාව එහෙම ගෙස් කරන එකට. දිගටම රැඳෙන්න ලමා….යි ආදරෙයි හැමෝටම ❤️

තෙරුවන් සරණයි!
By Sherangi Shanika. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *